Wednesday, July 22, 2020

පියුමෙහි පැණි බොති වන බමරූ ...

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ ...//

කුසගිණි හැදුනට ඉඳුල් නොකවු
තණ කොළ නුබුදිති සිංහ පැටවු ...//

හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
ගව තෙල් නොදමයි රන් බඳුනේ ...//

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ

ගැයුවට ඉමිහිරි පද උපුටා
කොවුලෙකු වෙනවද කළු කපුටා ...//

සුදු පැහැ හැරියේ කවුද කිරේ
මුතු නොබඳී ගිරවියගෙ කරේ ...//

පියුමෙහි පැණි බොති වන බමරූ
මල මත නොරැඳෙති කළු දෙබරූ
දහවල් නොදිලෙයි අඹරෙ තරූ
අවරින් නොනැඟෙයි නැගෙනහිරූ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

කරුණාරත්න අබේසේකර මහතා විසින් "පියුමෙහි පැණි බොති’ ගීතය රචනා කළේ 1965 වසරේදී තිරගත වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ ‘චණ්ඩියා’ චිත්‍රපටය වෙනුවෙන්. ඒත් ඒ ගීතය එම චිත්‍රපටයට යොදා ගැනුණේ නැහැ.

මෙම ගීතය සී.ටී. ප්‍රනාන්දු මහතාගේ  අනන්‍යතා ගීතය ලෙස බොහෝ දෙනා හඳුන්වති.  මේ ගීතය සී.ටී. ගේද කැමතිම ගීතය විය. මේ නිසා ඔහු තම නිවස “වන බඹරෝ” ලෙස නම් කළේය. 

"පියුමෙහි පැණි බොති වන බඹරු’ කියන ගීතය කොපි කරමින් බහමාස්වල සංගීත කණ්ඩායමක් විසින් ද ගීතයක් නිර්මාණය කර ඇත.

සී. ටී. ප්‍රනාන්දුගේ හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලන්ඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කර ඇත. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල්ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ප්‍රනාන්දුය. 1969 ජූනි 24 වැනි දා ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඊට පසුදා සී.ටී. හා පැට්රික් දෙනිපිටිය බී.බී.සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකටද සහභාගී වී ඇත. එදා එම පිළිසඳර මෙහෙයවා ඇත්තේ එවක බී.බී.සී. සන්දේශයේ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසිනි.

මෙම ගීතයට සංගීතය සැපයූ පැට්රික් දෙණිපිටිය ගිටාරයේ හඬ සිංහල ගීතයට මුසු කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඔහු අතින් ඉටු වී තිබේ. සී.ටී. ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීත සියල්ලේම සංගීත අධ්‍යක්ෂණය කර ඇත්තේ පැට්රික් දෙණිපිටියයි. (හෙළජාතික අභිමානේ, පියුමෙහි පැණිබොති, මා බාලකාලේ, සඳවට රන්තරු, අවදිවන්න අවදිවන්න ඇතුළු ගීත 18ක) මේ සෑම ගීතයකටම පාහේ පැට්රික් දෙණිපිටිය ගිටාරයේ හඬ මුසු කර ඇත.

සුනිල් සාන්තයන්ගේ ශිෂ්‍යයකු වූ පැට්රික් දෙණිපිටිය තමා සංගීත සංයෝජනය කළ ගීත රාශියකට විවිධ අයුරින් ගිටාරය යොදාගෙන ඇත. සිංහල සංගීතයට හවායන් (Hawaiian) ගිටාරය හඳුන්වා දී තිබුණේ පැට්රික් දෙණිපිටියයි. 







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...