Tuesday, January 26, 2021

සොර දෙටුවෙක් ...

සොර දෙටුවෙක් කස තැළුම් කකා

දංගෙඩියට ගෙන යන ගමනේ

වදක බෙරේ දැක සොරා ගන්ට එය

කදිමයි ලොබ සිතුවාලූ

කදිමයි ලොබ සිතුවාලූ


අනේ මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


බුදු පුතෙකුන් පිඬු සිඟා වැඩිය හොත්

දෙන්නට වේ යැයි සැක සිතලා

මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී

පැණි කොමු පිස කෑවේලූ

පැණි කොමු පිස කෑවේලූ


අනේ මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


සුරා සොඬෙක් ගිරි කුලකින් විසිවී

මහ පොළොවට පාවී එද්දී

ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි

අහෝ සැපයි කීවාලූ

අහෝ සැපයි කීවාලූ


අනේ මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් .....///


ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස

පද - පරාක්‍රම කොඩිතුවක්කු

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත්, 1998 දී “නව රිද්ම ගී 16” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2005 දී “සුනිල් ගී 22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


සොරදෙටුවෙක් ගීතය අදටත් අතිශය ජනප‍්‍රියයි?


පරාක්‍රම කොඩිතුවක්කු අදහස් දක්වමින් "මේ ගීතය මම රචනා කළේ බෞද්ධ විඥ්ඥානයක් ඇතුව. අපේ බෞද්ධ සාහිත්‍යයේ සූත‍්‍ර පිටකයේ ජාතක කතා සියල්ල බුදුන් වහන්සේ තමන්ගේ දැකපු දහම් කියන්නට යොදාගත්ත කතන්දර කියලයි සැලකෙන්නේ. ලෝ වැඩ සඟරාව, ලෝකෝපකාරය, සුභාෂිතය, මේ මහා කාව්‍ය තුන දහම් කාව්‍ය තුනක් විතරක් නෙමෙයි ජීවිත කාව්‍ය තුනක්. අපේ රටේ උසස් අධ්‍යාපනයේදී දරුවන්ට මේවායේ එළිය දහරක්වත් දකින්න නැති එකයි තිබෙන අවාසනාව. මේ ගීතය මං රචනා කළේ ලෝ වැඩ සඟරාවේ හතලිස් තුන්වන කවිය ආශ‍්‍රිතව. වධයට සොරු බැඳගෙන යනකොට ඒකත් සැපයක් විදිහට සලකනවා නං ඒ මොහොත ඔහුට ලැබෙන එකම සැපේ මරු වෙත යෑම පමණයි කියලා කියන මේ බෞද්ධ දහම් චින්තාව ඇසුරින් මම මේ ගීතය රචනා කළා. බලන්න මිනිස් සිත කෙතරම් පුහුදුන් ද කියලා. සොරාට පේනව වධක බෙරේ තියෙන මල් ලියකම් සුන්දරත්වය, ඒක ඇන්න ගන්න ඇත්නම් කියලා මේකා හිතනවා, ඒ වෙලාවේ. කොහොම ලෝබකමක් ද. ඒක තමයි මම මේ ”අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්” කියලා ලිව්වේ. ගීතයේ අනෙක් කොටස ”සුරා සොඬෙක් ගිරි කුලකින් විසීවී, මහ පොළවට පාවී එද්දී, ගත දැවටෙන ඒ, සීත සුළං රැලි” මේකා හිතනවා අහෝ සැපයි කියලා, මරුනේ කියලා හිතනවා. මොහොතකින් පොළොවට වැටිලා චප්ප වෙනවා. නමුත් ඒ අහසේ ඉඳන් පහතට පාවී එනකොට ඇඟේ වදින සුළං රැල්ලටත් ආස කරනවා. කොහොම තණ්හාවක්ද?

සොර දෙටුවෙක් ගීතයේ සම්ප‍්‍රදාය මොකක්ද ?

දැන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ සරල ජනකවියක් විදිහට. නමුත් මම මේකට අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් කියලා අන්තරා කොටසක් එකතු කළා. අපේ ගීතවල තියෙන ඌනතාවයක් තමයි හාමොනි එකක් නෑ. සමූහ බලපෑමක් කරන්නේ නෑ. ඒ සඳහා තමයි මම මේ කොටස රචනා කළේ. ඒක හරියටම සුනිල් පැහැර ගත්තා. ඒ කොටස මිනිස්සු නටමින් ගායනා කරනවා මම දැකලා තියෙනවා. මොකද ඒකෙ ඒ තරම් භාව සන්තර්පනයක් කරනවා. සමූහ ගීත ගායනය හරියට අර මාස්ටර් සර් ගීතය වගේ. එකේදිත් ඒකල ගීය තනිව ගායනා කරද්දී නොතිබුණ මහා පිපිරුමක් ගෙනාවනේ භාතිය සංතුෂ්. එදා එහි තිබුණේ තනි කම්කරුවෙක් වතු හිමියන්ට දණ ගහගෙන කෙඳිරි ගාන හඬක්. නමුත් මාස්ටර් සර් ගීයේදී භාතිය සංතුෂ් ගෙනාව මහා කම්කරු ජනතාවක් කෑ ගහන හඬකට. රෝහණ වීරසිංහ අපට ඉන්න ඉතාම රමණීය තනු නිර්මාපකයා. ඔහු කවිය ඔබ වගේ ගීයක් සංගීතයේ බටහිර රසායනය පෙරදිග සංගීතය හා මුසු කරනවා. ඒක මුසුවන ගැටය, ඒ දෙමුහුන් කරන තැන අපට හොයාගන්නවත් බෑ. සොරදෙටුවෙක් ගීයෙත් ඒ විදිහට නවීනත්වය සාම්ප‍්‍රදයිකත්වයට, එකට එකතු වීමේ හයිය තියෙනවා.


* මේ ගීතය ලියන්න හිතුවේ ඇයි ඔබ?

සුනිල්ගෙම ආරාධනයකට තමයි මේ ගීතය ලිව්වේ. අලූත් තාලයේ ගීතයක් ඕන කියලා ඔහු මට ආරාධනයක් කරලා තිබුණා, මම සුනිල්ව දැකලාවත් නැති කාලයේ. සුනිල් එතකොට පහන් තරුවක් වගේ බබලමින් එන කාලේ. අලූත් විදිහේ ගීතයක් ගැන තිබුණා ආසාවක් සුනිල්ට. නිකං පොදු ජනතාවට කතා කරන ගීතයක් වගේ. ඉතිං මං ඒක ලියන්න පෙළඹුනෙත්, විවෘත ධනවාදය, වෙළෙඳ පොළ ක‍්‍රමය, ආරම්භ වෙලා, ඒ අවධිය විශාල සමාජ විපරීතයකට ගමන් කරමින් තිබුණේ. මිනිස්සු හුඟක් තණ්හාවෙන්, ඇවිලිලා මහා හඹා යාමකට පත්වුණා. බෞද්ධ ශිෂ්ටාචාර ගුණාංග සියල්ල විපරීතයට පත්වුණ යුගයක්. අන්න ඒ තණ්හා ගමන තමයි මම ජනතාවට කතා කරන්න උත්සාහ කළේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...