Monday, July 27, 2020

පෙම්බර මධු මගේ ...

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ගායනය : වික්ටර් රත්නායක
පදරචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය : පී එල් ඒ සෝමපාල

මේ ගීතය ඇතුළත් වෙන චිත්‍රපටයේ නමත් ‘පෙම්බර මධූ’මයි. චිත්‍රපටයේ නිෂ්පාදිකාව (සිනෙරු චිත්‍රපට) වන සීතා රත්වත්ත මහත්මියට ගීතය වෙනුවෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ හඬ පාවිච්චි කරන්න අවශ්‍ය වී තිබෙනවා. ඒ ඇයගේ ප්‍රියතම ගායකයා වික්ටර් වීම නිසා. නමුත් මේ ගීතයේ පදරචකයා කරුණාරත්න අබේසේකර වීම නිසා ගැටළුවක් වී තිබුණා. ඒ කාලේ දී කරුණාරත්න අබේසේකර සහ වික්ටර් රත්නායක අතර ගැටුමක් ඇතිවෙලා වික්ටර් රත්නායක කරුණාරත්න අබේසේකරගේ කිසිම පදරචනාවක් ගායනා නොකරනවා කියන ස්ථාවරයේ ඉඳලා තියෙනවා කියන කතාව නිසා.

මේ අවස්ථාවේදී නිෂ්පාදිකාව උපක්‍රමශීලී වෙලා වික්ටර් රත්නායකට කියනවා, මේ ගීතයේ ගී පද රචකයා ධර්මසිරි ගමගේ කියලා. ගීතය පටිගත කරන්න මොහොතකට පෙර මේක කරුණාරත්න අබේසේකරගේ කියලා දැනගන්න වික්ටර් රත්නායක මහත්තයා නැවතත් ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ඒ වටා හිටපු අය ඔහුව ගීතය ගායනා කරන්න එකඟ කර ගෙන තියෙනවා.

නමුත් මේ ගීතයත් හින්දි ගීතයක අනුකාරකයක්. මෙහි හින්දි ගීතය වන "මෙරේ දුවා හේ කේ තුම්" ගීතය ඇතුලත් වෙලා තිබෙන්නේ 1959 වසරේ තිරගත වූ චිරාග් කහා රෝශ්නි කහා (Chirag Kahan Roshni Kahan) නම් චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මසූද් රානා විසින්.

ඇන්තනි පීටර් හෙට්ටිආරච්චිගේ කතාවක් ඇසුරින් සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “පෙම්බර මධූ” (1977) චිත්‍රපටය ලාංකේය සිනමාව තුළ විකල්ප අවසාන සහිත එකම චිත්‍රපටය විය හැක. එකම චිත්‍රපටයේ එක් අවසානයක් (අධ්‍යක්ෂවරයාට අනුව සුඛාන්තමය අවසානය) සහිත චිත්‍රපටය එක් සිනමා ශාලාවකදීත් අනෙක් අවසානය (අධ්‍යක්ෂවරයාට අනුව ඛේදාන්තමය අවසානය) සහිත චිත්‍රපටය තවත් සිනමා ශාලාවකදීත් එකම වකවානුවකදී ප්‍රදර්ශනය වී ඇත. විකල්ප යථාර්ථ පිළිබඳ නම් දරා සිටින සිනමාකරුවා පෝලන්ත ජාතික ක්‍රිස්තෝෆ් කීස්ලොව්ස්කිය. එකම චිත්‍රපටය තුළ විවිධ ආකෘති මඟින් කීස්ලොව්ස්කිගේ සිනමාව තුළ විකල්ප යථාර්ථ නිරූපණය වුව ද සුගතපාල සෙනරත් යාපා එකම චිත්‍රපට කතාවට අවසාන දෙකක් ගොඩනගමින් එකම නමින් යුත් චිත්‍රපට දෙකක් ලෙස විකල්ප යථාර්ථ ඉදිරිපත් කර ඇත.

(1977.04.22) “පෙම්බර මධූ“ චිත්‍රපටය තිරගත විය. “පෙම්බර මධූ“ චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේය.

සේනක (විජය කුමාරණතුංග) තම නිවසේ සේවය කළ සේවිකාවකගේ (ශාන්ති ලේඛා) දියණියක් වන මධූ (මාලනී ෆොන්සේකා) සමඟ ආදර සබඳතාවයක් ඇති කර ගනියි. ඔවුන් දෙදෙනා හඳුනන්නේ කුඩා කල සිට ය. පසුව ඔවුන් දෙදෙනා විශ්ව විද්‍යාල වරම් ලැබ එකම විශ්ව විද්‍යාලයේ දී නැවත හමු වේ. ඔවුන් සමඟ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන විවාහක කාන්තාවක් වන ඩල්සි (ගීතා කුමාරසිංහ) සමඟ සේනක ලිංගික සබඳතාවයක් පවත්වයි. ඒ බව දැන ගන්නා මධූ, සේනක සමඟ පවතින ආදර සබඳතාවය නවතා දමයි. ඔවුන් දෙදෙනා නැවත සමඟි කරවන්නට ඔවුන් දෙදෙනාගේම හිතවතෙකු වන අසෝක (රවීන්ද්‍ර රන්දෙනිය) උත්සාහ කරන නමුත් එය අසාර්ථක වේ. විශ්ව විද්‍යාල අවසන් විභාගයෙන් අසමත් වන සේනක ව්‍යාපාරික කටයුතු වලට යොමු වේ. අවසන් විභාගයෙන් සමත් වන මධූ ගුරුවරියක් ලෙස පත්වීම් ලබයි. මධූ විවාහ වීමට නියමිත බව දැන ගන්නා සේනක එය කඩාකප්පල් කර දමයි. ඒ හේතුවෙන් අවිවාහකව සිටින මධූ පසුව සිය මවට ප්‍රතිකාර කළ වෛද්‍ය ලාල් (ටෝනි රණසිංහ) සමඟ විවාහ වීමට කැමැත්ත පළ කරයි. සේනක තවමත් මධූ පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගන්නා ලාල්, සේනකට මධූ මුණ ගස්වා ඇගේ තීරණය දන්වන ලෙස ප්‍රකාශ කරයි. ඒ අනුව චිත්‍රපටයේ එක් අවසානයක දී සේනක හා මධූ නැවත එක් වන අතර අනෙක් අවසානයේ දී සේනක මුහුදට බිලි වී මිය යයි.

අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය. දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.








නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...