Thursday, July 9, 2020

ඔබේ දෑසයි ඔබේ දෑසයි ...

සුභාවිත ගීත ක්ෂේත්‍රයේ මහගම සේකර නාමය පිලිබඳ නොදන්නා කෙනෙකු වේනම් එය පුදුමයකි ඊටත් වඩා අභාග්‍යයකි. ඔහු විසින් විවිධ පැතිකඩ ඔස්සේ රචනා කරන්නට යෙදුනු ගීත අතර "ඔබේ දෑසයි.." ගීය ද ඉතා සුන්දර මෙන්ම සාහිත්‍ය වශයෙන් ද වැදගත් වන ගීතයකි. අප හෙළයේ මහා ගාන්දර්වයානන් වන පණ්ඩිත් අමරදේව යන් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය සේකරයන් සතු භාෂාමය දැනුම මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යමයමය දැනුමද නොමදව විදහා දක්වන ගීතයකි.   

ඔබේ දෑසයි.. 
ඔබේ දෑසයි..
නීල උත්පල දිගටි දෑසයි..
මීන චංචල කිඳුරු දෑසයි..
කිඳුරු දෑසයි.....

මෙම ගීතයට පදනම් වනුයේ ථෙරි ගාථා වල හමුවන ජිවක අඹ වනයේ වාසය කළ සුභා තෙරණිය සහ අදාල කතා පුවතකි. සුභා තෙරණිය බොහොම රූමත්. දිනක් සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය තුල ගමන් කරමින් සිටින අවස්ථාවක ඇයව දකින තරුණයකු ඇයගේ රූපයට වෙසෙසින් ම ඇයගේ ආකර්ශනීය දෙනුවන් වලට වශීවී ඇය ගමන් කරන පාර අහුරා මෙසේ පවසන්නට යෙදුනි.

"අපි දූරගතා සරම්හසෙ, ආයතපම්හෙ විසුද්ධ දස්සනෙ
නහි මත්ථි තයා පියත්තරා, නයනා කින්නරි මන්ද ලොචනෙ"

මෙහි අර්ථය නම්,

"දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මඳක් පිබිදුනු ඇස් ඇති ඔයා, කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනව.මං ඔය ඇස්දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ."

සේකරයන් විසින් මෙහි එන "නයනා කින්නරි මන්ද ලොචනෙ" පදය "මීන චංචල කිඳුරු දෑසයි.."  ලෙසින් මෙම ගීතයක එක්තු කර ඇත.

නීල යනු නිල් පැහැති යන්නයි. උත්පල යනු නිල් මහනෙල් යන අර්ථය ගෙන දේ. මීන යනු මාලුවන්ගේ මෙන් චන්චල කිඳුරියකගේ මෙන් සුන්දර ආදී ලෙස ඔහු කරන වර්ණනාව මෙහි දැක්වේ.

ඈත අහසේ තාරකා සේ..
වශී කර මා සිත සිනාසේ..
දුරක සිටියත් ළඟක සිටියත්..
ඔබේ ඇස මට නිබඳ සිහිවේ..
ඔබේ ඇස මට නිබඳ සිහිවේ..

මෙම පද පෙලෙහි ද ථෙරි ගථා වලින් ලද අභාෂය දැකිය හැක. මෙහි එන "දුරක සිටියත් ළඟක සිටියත්.. ඔබේ ඇස මට නිබඳ සිහිවේ.." යන පද දෙකට ඉහත ගථාවේම අතුලත් "කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනව" යන කොටස ඉවහල් වී ඇති බව පෙනේ. 

ඔබේ අඩවන් නුවන් දුටු සඳ..
රාග ගින්නෙන් දැවෙයි මා හද..
එවන් දෑසින් සිහිල් දිය ඉස..
නිවන් ගිනිගෙන දැවෙන මා හද..
නිවන් ගිනිගෙන දැවෙන මා හද..

අවසාන පද කීපයද සේකරයන් ථෙරි ගාථා වලින්ම පෝෂණය කර ගැනීමට සම්ත් වී ඇත."ඔබේ අඩවන් නුවන් දුටු සඳ..රාග ගින්නෙන් දැවෙයි මා හද.." යන දෙ පද "තව මෙ නයනානි දක්ඛිය, භිය්‍යො කාමරතී පවඩ්ඪති" එනම් "ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාවමයි.." ලෙසින් ඔහු පද ගලපවයි.  

සේකරයන් සතුවූ නිර්මාණාත්මක හැකියාව හැරුණු කොට ඔහු තුල වූ භාෂාව, සාහිත්‍යය පිලිබඳ දැනුමද මෙවැනි නිර්මාණ තුලින් මොනවට පැහැදිලි වේ. මහගම සේකර ශූරීනි, පණ්ඩිත් අමරදේව ශූරීනි අපි ඔබලාට නිවන් සුව පතමු...!

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි යි. .........

ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත් ළඟක සිටියත්
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

මගේ හදවත අඳුර දුරලන
මිණි පහන් වැට ඔබේ දෑසයි
මගේ හදවත අඳුර දුරලන
මිණි පහන් වැට ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි

ඔබේ අඩවන් නුවන් දුටු සඳ
රාග ගින්නෙන් දැවෙයි මා හද
ඔබේ අඩවන් නුවන් දුටු සඳ
රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස
නිවන් ගිනිගෙන දැවෙන මා හද
නිවන් ගිනිගෙන දැවෙන මා හද

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි යි. .........

පද රචනය : මහගම සේකර
සංගීතය සහ ගායනය :  පණිඩිත් අමරදේව



හමල් වරෝ ...

හමල් වරෝ යහස්සයෝ
හස් සන්දල්ලා
තුරු ගල් කොහොළ් හූ
මල් ගල්හි හැල්ලා
ගනනින් මුත් කලබ්
කළ තම්බළපල්ලා
පැරැයා දිගැස් තදුන්
හසුන් කුම් වාල්ලා
(සීගිරි කුරුටු ගීයකි.)

තේරුම: සහස් සුවහස් තුරු පත් සොලවමින් මාරුතය හමා යයි.තුරු පැත්තේ ගලේ කොහා හඬලයි. මල් ගලේ වැහි වැටී ඇත. ගනන් කළ නොහැකි තරම් කනා මැදිරියන් ළපළු තඹ පැහැ කරයි.
දිගැසිය නුඹේ හසුනකින් පමණක් කුමක් කරන්න ද? (උපුටා ගැනීමකි)



ළිහිණින් රෑන පියා සලන්නේ ...

ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්‌මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ..

ගඟදිය හඬන්නේ
විහඟුන් අහන්නේ
නුඹ කොතැනකද කියාලා....//
පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්...

මට හිමි මනාලී
පිට ගං ගියාවේ
විරසක නොවෙන් කියාලා...//
සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා
වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...

ප්‍රථම ප්‍රේමය... කාටත් හරිම සුන්දර මතකයක්‌.... ප්‍රේමයෙන් ජය ලැබූවන් ඉන්නවා... ඒත් ප්‍රථම ප්‍රේමයෙන් ජය ලැබූ අය.... අල්පයි. පළමු ප්‍රේමය බොහෝ විට තාවකාලිකයි.... හරියට සේපාලිකා මලක්‌ වගේ.... ආයුෂ කෙටියි.... කඳුළක්‌ වගේම ඒ වේදනාව පසු කාලයේදී මිහිරක්‌.

ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්‌මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

අහස්‌ කුස අඳුරු වළාවන්ගෙන් ගිලගෙන.... හීන් පොදයක්‌ වැටෙනවා. මන්දාරම් වැස්‌සත් අත ළඟයි.... ඒ බව කියාපාමින්දෝ ළිහිණි රෑනක්‌.... ඈතට ඈතට පියා සලනවා.... මේ හැන්දෑව.... ගස්‌වල මලුත් පිපිලා.... ඒත්.... මා හැරදා ගිය ඔබේ වතමඬල.... මට හීනෙන්වත් පෙනෙන්නේ නැහැ....

පෙම්වතකුගේ සිතිවිල්ලක්‌... ඔහු හැරදා පෙම්වතිය අරගෙන... පිටගං ගිහින්... ඒ තවත් කෙනෙකුගේ අත අරන්....

මේ ගීය ලියුවේ ධර්මරත්න පෙරේරා. ගීය වඩාත් සාර්ථක වී තිබෙන්නේ රචකයා ප්‍රථම ප්‍රේමයේ වේදනාව විඳි කෙනෙක්‌ නිසා ගීය ගැන ඔහු කියන කතා අහන්න... "ඔව්... මමත් ප්‍රථම ප්‍රේමයෙන් උපන් ගීත රචකයෙක්‌. මට ඕනෑ වුණා මගේ අත්දැකීම කාගෙත් පොදු අත්දැකීමක්‌ බවට පත්කරන්න. මාව මේ ක්‍ෂේත්‍රයට ගෙන ආවේ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර. දවසක්‌ ප්‍රියා සූරියසේන, කුලරත්න ආරියවංශ ගෙන් ගීතයක්‌ ඉල්ලා තිබෙනවා. ඔහු මාව ප්‍රියාට හඳුන්වා දුන්නා. එදා ගීත රචකයෝ එහෙමයි වැඩ කළේ. ඉන් පස්‌සේ සරත් දසනායක ප්‍රියාට හදපු තනුවකට ගීය ලියන්න මට සිදුවුණා. මේක අභියෝගයක්‌ වුණා. කුලරත්න ප්‍රියාට මං ගැන දුන් සහතිකය රැකගන්නත් ඕනෑ නේ...

ගඟදිය හඬන්නේ
විහඟුන් අහන්නේ
නුඹ කොතැනකද කියාලා
පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්...

අපි ආදරෙන් ගංතෙර දිගේ ඇවිද ගියා.... අත් පටලාගෙන පෙම්බස්‌ මුමුණමින් ගස්‌ සෙවණේ තුරුළු වී හිටි හැටි... කුරුලු කිරිල්ලන්.... අපේ තනි නොතනියට හිටි හැටි... ඒත් අද ඔයා මාව දාලා ගිහිං... ගඟදිය හඬනවා. කුරුල්ලන් අහනවා. ඔයා කොහෙද කියාලා. මම මොනවද කියන්නෙ... මගේ හදේ ගිනි නිවන්න ආයෙත් මාව හොයාගෙන ගමට ඇවිත් යන්න...

මේ පෙම්වතාට ඇය හා වෛරයක්‌ ඉපදී නැහැ. වෙනත් කෙනකුගේ අත අරගෙන ගිය පෙම්වතියට බොහෝ පෙම්වතුන් වෛර කරනවා. මඟතොට හමුවෙලා පව් පුරවා ගන්න එපා කියලත් කියනවා. ඒත් මේ පෙම්වතා එහෙම නොවෙයි. ඔහු ඇයගෙන් ඉල්ලන එකම ඉල්ලීම ගමට ඇවිත් යන්න කියලා විතරයි....

යළිත් ගීයේ රචකයා ධර්මරත්න පෙරේරා හඬ අවදි කළා. මගේ වචන පෙළ ප්‍රියා ගයද්දී සරත් දසනායක කිව්ව මේකට ඇඩ්ලියු එකක්‌ දැම්ම නම් මරු කියලා. ඒත් ඒ වෙද්දී මියුසික්‌ ට්‍රැක්‌ අරන් තිබුණ නිසා අලුතින් ඇඩිලියු දැමීම අමතර වියදමක්‌. එදා සරත් දසනායකගේ ආශාව කොයි මොහොතක හරි ඉෂ්ඨ කරන්න මම ආශාවෙන් ඉන්නවා. ඒ කියන්නේ මේ ගීය ආයෙත් පටිගත කරන්න... ඒ අලුත් ගීය ගයන්න ප්‍රියාත් කැමැත්තෙන් ඉන්නවා.

මට හිමි මනාලී
පිට ගං ගියාවේ
විරසක නොවෙන් කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා
වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...

ඔහුගේ අත ගෙන මනාලියක සේ පෝරු මස්‌තකයට පය තබන්න හිටි පෙම්වතිය පිටගං ගිහිං.... ඇය ඔහු හැරදා ගියේ මා එක්‌ක තරහා වෙන්න එපා... කියලා ආයාචනා කරමින්...

සංසාරේ කොහේදි හරි යළිත් ඉපදිලා අපි හමුවෙමු... ආයෙත් වෙන් නොවේවා කියලා අපි පෙරුම් පුරමු.... විරහ වේදනා විඳින මේ පෙම්වතාගේ අවසාන ප්‍රාර්ථනය එයයි.

"ළිහිණින් රෑන" අදත් ඉතාම ජනප්‍රිය ගීයක්‌ බවට පත්ව තිබෙන්නේ පද රචනාව නිසාමද නැහැ... සරත් දසනායකගේ සංගීතය. ඒ ගැන කවර කතාද සරත්ගේ සංගීතයට, ධර්මරත්නගේ ගී පද එකතු කළත් එය ගයන්න ගැලපෙන හඬක්‌ අවශ්‍යමයි. ප්‍රියා සූරියසේනගේ දුක්‌බර සිහින් හඬ විරහ වේදනා විඳින පෙම්වතකුගේ හැඟුම්බර හඬකට ගැලපෙන බව නම් පිළිගන්නට වෙනවා.

පද රචනය - ධර්මරත්න පෙරේරා
සංගීතය - සරත් දසනායක
ගායනය - ප්‍රියා සූරියසේන





සිප එන සමනල මුදුනින් ...

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම නිදහස ලැබු දිනය වන ජන රජ දිනය මැයි මස 22 වනදාට යෙදී තිබේ.
 
1972 වසර් මැයි මස 22 වනදා සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්  අතර එමඟින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්විය.

එදින දහවල් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්විම පැවැත්විම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ විම අද වැනි දිනක සිදුවිය. එනයින්ම ජනරජ ලාංජනයත් , ඊට ධර්ම චක්‍රයත් – ඉරත් – හඳත් – පුන්කලසත් – පළාපෙති මධ්‍යයේ අසිපත අරා සිටින සිංහ රුවත් එක්වන්නේ මේ දිනා ගත් සැබෑ නිදහස නිසාය. ඒ පමණක් නොව ජාතික ධජයේ රතු පැහැ කොටසේ සිවු කොණට බෝපත් හතරක් එකතුවන්නේ ද 1972 මැයි 22 වනදා ලද ජාතික ජයග්‍රහණය හේතුවෙනි . ඒ පමණක් නොව queens house ජනාධිපති මන්දිරය වූයේ ද මෙදින පටන්ය.

මෙම ජනරජ දිනය සනිටුහන් කරමින් කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් විසින් රචිත ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගයන මෙම අපූර්ව ගීතය ඔබ මීට ප්‍රථම අසා ඇති බවට විශ්වාස කරමි.

මෙම ගීතය ගායනා කරන ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ  ගායන ශිල්පී සංගීතඥ ආචාර්ය වික්‍ටර් රත්නායකයන්ගේ වකුගඩු තුළ සිදුකළ ශල්‍ය කර්මයකින් පසුව ඔහු තරමක් සුව අතට පත්වෙමින් සිටියත්, ශල්‍ය කර්මයේ සංකූලතා මත නැවත ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් මේ වන විට යළිත් ඔහු දැඩි සත්කාරයට ඇතුළත් කර ඇත. ඉතා ඉක්මණින් වික්ටර් රත්නායකයන් යළි යථා තත්ත්වයට පත්වී ඔහුට ඉක්මන් සුව සැලසේවායි පතමු. ඒ සමඟම මෙවැනි විශිෂ්ඨ ගීතය පදරචනය කළ නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ට නිවන් සුව පතමු. 

සිප එන සමනල මුදුනින්
සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින්
ලංකා.. රන් තඹර කැකුළ
විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී...

භූ පාලන නව රැල්ලේ
එක ධජයක සෙවණැල්ලේ
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක



මංගල මධු සමය පතා ...

මංගල මධු සමය පතා
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා
කුස ගින්දර නිවා ගන්න
දියඹට යනවා

හෝ... හෝ... හෝයියා හෝයියා //

රැල්ල බිඳින අඳෝනාව
ජීවන මළපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙළේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ අතු පැලේ

හෝ... හෝ... හෝයියා හෝයියා //

අඳුර දවන තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරු බඳ තුරුළේ දැණුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුර කොණේ තොටුපලේ

හෝ... හෝ... හෝයියා හෝයියා ///

අදටත් රසික ප්‍රතිචාර අඩුවක් නැති මේ ගීතය රචනා වුණේ මෙහෙමයි. ආචාර්ය දයාරත්න රණතුංගයන්ට තම සරල ගී වැඩසටහනක් සඳහා ගීතයක් අඩුව තිබිය දී එතුමා උපාලි ධනවලවිතානයන්ව මුණ ගැසී තම අවශ්‍යතාව කිව්වාම "මේ හදිසියේ මට ගීතයක් ලියන්න නිමිත්තක් පහලවෙන්නේ නැහැ. අපි නිවාඩු දවසක පොඩ්ඩක් ගෙදරින් එළියකට ගිහින් නිවී හැනහිල්ලේ කල්පනා කරමින් හොඳ ගීතයක් ලියමු" කියා එතුමා යෝජනා කරනවා.

ඒ අනුව ඉරිදා දවසක මේ දෙදෙනාම ගාලුපාර දිගේ කළුතර ගාල්ල පැත්තට වාහනයක නැගී යනවා. මුහුදු වෙරළක් අයිනේ ගිමන් විඩාව හැරීමට නැවැත්වූ පසු ඒ අසල තිබූ ගල්තලාවක් මත හිඳගෙන ඔවුන් මුහුදු වෙරළ දෙස බලා සිටිනවා. සැන්දෑ යාමයේ මුහුදු යෑම සඳහා ධීවරයින් ඔරුවට නගින්නට සූදානම් වන වෙලාව මේ වන විට එළඹෙමින් තිබුණා. එසේ පැමිණි ධීවරයින් අතර තරුණ ධීවරයෙක් තම අලුත විවාහ වූ බිරිඳ සමග පැමිණ සිටියා. තම සැමියා තමන්ගෙන් වෙන්වී මුහුදට යන අවස්ථාව නැරඹීමට පැමිණ ඔහුට සමුදෙන්නට පැමිණි තරුණ බිරිඳට නැවත තම සැමියා දකින්නට ලැබෙයිද? මුහුද රළු වෙයිද? යන හැඟීම් ඇයට ඇතිවෙනවා නේද යන ප්‍රස්තුතය උපාලි ධනවලවිතානයන්ගේ හිතට නැගෙනවා.

"මේ ධීවර ජනතාවගේ ජීවිත කොච්චර දුෂ්කරද? මේ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ." එතුමා කී විට, "අපි ඒ ගැන කතාකරමු." යැයි දයාරත්න රණතුංගයන් පවසනවා. "ඔව් අපි මේ ගැන ගීතයක් ලියමු. අපි මින් එහාට යන්න ඕන නැහැ." මෙසේ ප්‍රස්තුතය ගැන කතාකරන විට ආචාර්ය දයාරත්න රණතුංගයන්ට මතක් වෙනවා දර්බාරි කානඩා රාගය ගැන. එහි ස්වර සංගතියත් හරියටම මුහුදු රැල්ල නැගෙන ආකාරය වගේමයි. එම රාගය ගායනා කල පසු ධීවර ජනතාවගේ ජීවිතයත් අපූරුවට අලලා මේ පද මාලාව රචනා වෙනවා.

තනුව නිර්මාණයේ දි මේ දෙදෙනාත්, සරත් ද අල්විස් මහතාත් තිදෙනා ම එකතුවී දර්බාරි කානඩා රාගය ඇසුරු කරමින් මේ ගීතය නිර්මාණය සිදුවෙනවා.

දර්බාරි කානඩා රාගයත් ඇත්ත වශයෙන් ම සංගීත චිකිත්සාවේ එන ප්‍රබල රාගයක්. එහි ස්වර සංගතිය අනුව හඳුන්වන්නේ, තාපස චරිතයක් ලෙසයි. කානඩා යන රාග නාමය "කානර්" නම් ක්‍රිෂ්ණා දෙවිඳුගේ එක්‌ ස්‌වරූපයක්‌ සඳහා යෙදූ නාමයකි. දර්බාරි යනු පර්සියානු බසින් හින්දි බසට පැමිණි "අධිකරණය" නම් වූ තේරුම ඇති වචනයක්. මේ රාගය නින්ද නොයාමේ රෝගයටත් ඉතා ප්‍රබල ඖෂධයක් ලෙසත් සංගීත චිකිත්සාවේ සඳහන් වෙනවා.


ජය සිරිමා හාමුදුරුවනේ ...

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු අපේ ජාතියේ මුදුන් මල්කඩය. සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදු බව පසක් කරගනු වස්, සෙවන පැතූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද ඉන්දියාවේද වැඩ නොවසති. එතැන වැඩවසන්සේ පසුව පැන නැගුණු බෝධියකි. එහෙත් එම මුල් බෝධියෙන්ම මතුවූ අංකුරයක් වන අපේ ශ්‍රී මහා බෝධිය වර්තමානයේදී ලොව පවතින පැරැුණිම වෘක්ෂය බවටද පත්ව තිබේ. ඉතින් මේ සිරිමා බෝධිය පිළිබඳව බොදු ගීත රචකයන් අතින් ලියැවුණු. ගායකයන්ගේ ගායිකාවන්ගේ මුවින් ගැයුණු ගීත ගණනික් රාශියකි.

ඒ අතරින් දීපිකා ප‍්‍රියදර්ශනී ගයන ජය සිරිමා හාමුදුරුවනේ ගීතය සුවිශේෂීය.

මෙම ගීතයට පද එක් කළ මහින්ද චන්ද්‍රසේකර ගීත රචකයා අනුරාධපුරයේම නැතිනම් නුවර කලාවියේම වාසයකරන්නෙකි.
ඉතින් අපි මහින්දට සවන් දෙමු.

‘‘මගේ ගම මැදවච්චිය. මේ නිසා පුංචි දවස්වල ඉඳලාම ජය ශ්‍රී මහා බෝධියට අප නිතර නිතරම වගේ එනව යනවා. හිටපු ගමන් කිරි ආහාර පාත්තරයක් අරගෙන ඇවිත් පූජාකරලා යනවා.

ඒත් 1985 දී අපේ ජයසිරි මා බෝ හාමුදුරුවන් වැඩ ඉන්න භූමියට කොටි ත‍්‍රස්තවාදීන් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළා. මේ ප‍්‍රහාරයෙන් පස්සෙ බෝධීන් වහන්සේ වඳින්න පුදන්න යන්න සිද්ධ වුණෙත් තහංචි මැද පරීක්‍ෂණවලට පවා ලක්වෙලා. දොරටුව ළඟ පොලිසිය ගෑණුන්ට එක පෝලිමක් පිරිමින්ට තව පෝලිමක්. අපි කිරි ආහාර පාත්තරයක් අරගෙන ගියොත් ඒකත් ගලෝල කූරු ගහල බලනවා මොනවහරි පුපුරන ද්‍රව්‍යයක්වත් හංගලද කියලා. ඒත් අපි මේ කිරි ආහාර පාත්තරේ අරගෙන එන්නේ පුදුම විදිහෙ ශ‍්‍රද්ධාවකින්. ලූණුවත් බලන්නෙ නැතුව.

මේ විදිහට මළුවට ඇතුල්වෙන අපිට උඩ මළුවට නම් යන්න ලැබෙන්නෙම නෑ.

ඒත් ඉස්සර, ඒ කියන්නෙ අපි පුංචි කාලේ නම් අපි කිසිම තහංචියක් නැතුව උඩ මළුවටත් ඇතුල් වුණා. ඒ කාලෙ රන්වැටක් තිබුණෙත් නැහැ. තිබුණෙ යකඩ වැට විතරයි.

ඉස්සරෝම කාලෙ මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කැලෑවෙන් වැහිල තිබිලා තියෙන්නෙ. මේ බෝධීන් වහන්සේ හොයාගත්තු හාමුදුරුවෝ තනියෙන්මයි බෝධීන් වහන්සේ රැුකගෙන තියෙන්නේ.

වියළි කාලෙට අනුරාධපුරේ වැව් ඔක්කොම හිඳෙනවා. වතුර ටිකක් ඉතුරු වෙන්නෙ තිසා වැවේ විතරයි. ඉතින් කැලේ ඉන්න අලි ඔක්කොම තිසා වැවට එනවා වතුර බොන්න. ඊට පස්සෙ මේ ගොල්ලො උඩ මළුව පැත්තට හැරෙනවා. බෝ කොළ කන්න අලි හරිම කැමැතියි. මේ කොළවල තියෙන කිරි රහට උන් ආස නිසා.

ඉතින් අලින්ගෙන් බෝධීන් වහන්සේ රැුකගන්න එක සෑහෙන ප‍්‍රශ්නයක්. බැරිම තැන හාමුදුරුවෝ බෝධීන් වහන්සේ බාරකාර ගම්වල අයට කතාකරල මේ බෝධීන් වහන්සේ රැුකගන්න එකතුවෙන්න කියලා ඉල්ලීමක් කළා.

මගේ ගම මැදවච්චිය කිව්වනෙ. මගේ ආච්චිලගේ කාලෙදි පුළුවන් තරම් දර එකතුකරගෙන කරත්ත ගණනාවක පටවගෙන මළුවට එන පුරුද්දක් තිබුණා. සතියක් තිස්සෙ රෑට ගිනි මැල ගහගෙන මේ බෝධිය අලින්ගෙන් ආරක්‍ෂා කරනවා. උදේට බෝධියට වන්දනාමාන කරනවා. පූජා පවත්වනවා. එක පැත්තකින් මේක ලොකුම පිංකමක්.

මේ කට්ටිය ආපහු යන්නේ ඊළඟ කරත්ත පේලිය අවට පස්සෙ.

ඉතිං මෙන්න මේ උපාසක නඬේක කෙනෙක් බෝධීන් වහන්සේ වන්දනා කරන්න ආවොත් ඒ ඇත්තට හරි ඇත්තියට හරි හිතෙන දේවල් තමයි මම මේ ගීතයට ලිව්වෙ.’’

ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදිමැරුවා
ගිනි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ

වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුණ
අපේ බාර පිළිගන්න හොඳයි

රන්වැට පාමුල සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි.

(සංගීතය - රෝහණ වීරසිංහ)



ළා සඳ එළියේ නා පෙති හැලිලා ...

ළා සඳ එළියේ නා පෙති හැලිලා 
නා මල් සුවඳයි විහිදෙන්නේ 
මා දිවි රැය සුවඳින් මල් පුබුදා 
සඳදිය ඉල්ලයි හිමි සඳුනේ..

මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ 
පිළිසරණත් ඔබමය වන්නේ 
අද සිට මගේ ඉටු දෙවියන් ඔබ වේ 
ඔබගෙනි සැප දුක විමසන්නේ..

නා පෙති සිඹලා තරු එළි නිවලා 
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම් 
පළමු වතාවට හිමි සඳුනේ..
ඔබේ දෙපා මත හිස රඳවන්නම් 
ම්..හ්.. හ්.. ම්.. හ්.. ම්..

මේ ගීතය දයා ද අල්විස් මහත්මියගෙන්, නිරංජලා සරෝජිනි මහත්මියගේ විවාහය සඳහා "මංගල තෑග්ග" ලෙස රචනා කර දුන් ගීතයක්. නිරංජලා සරෝජිනී "මෙනෙවිය", අබේවර්ධන බාලසූරිය මහතා සමග විවාහ වෙන්නට සති දෙකකට පෙර සරල ගී වැඩසටහනක් නියමිතව තිබුණා. ඒ සඳහා ගීතයක් නිර්මාණය කර දෙන මෙන් ඇය දයා ද අල්විස් මහත්මියගෙන් ඉල්ලා සිටියා. තව සති 2 කින් විවාහ වෙන්නට නියමිත තම ළබැඳි මිතුරියට, විවාහ වූ දින මධුසමය ගත කරන රාත්‍රියේ දී මනාලියගේ සිතේ ඇති සතුට සහ තම ළයාදර සැමියා වෙනුවෙන් පුදන සෙනෙහස දැක්වෙන ආකාරයට එතුමිය පද මාලාව සකස් කර දුන්නා.

මේ ගීතය ප්‍රචාරය වූ පසු එක්තරා පුද්ගලයෙක් දයා ද අල්විස් මහත්මියගෙන් අසා තිබෙනවා "ඔබේ දෙපා මත හිස රඳවන්නම් පළමු වතාවට හිමි සඳුනේ" කියලා තියෙන කොටසේ හැටියට දැන් කාලේ ඔහොම ගෑණු ඉන්නවා ද කියා!!! මොකද "පළමු වතාවට" කියන වචන දෙක නිසයි එහෙම අහලා තියෙන්නේ.

ගායනය - නිරංජලා සරෝජිනී
පදරචනය - දයා ද අල්විස් 
සංගීතය - එච්.එම්. ජයවර්ධන 

යොවුන් වියට පත් වුනාට පසුව යුවතියකගේ ජීවිතයේ එන ඊලඟ විශේෂ අවස්ථාව තමයි විවාහ ජීවිතයට ඇතුලත්වීම. එලෙස විවාපත් වී, මධු සමය ගත කරන යුවතියකගේ සිතුවිලි, තම හිමියන්ට කරන ආමන්ත්‍රණයක ස්වරූපයෙන් කියවෙන ගීතයක් රචනා කර තියෙනවා ප්‍රවීණ ගීත රචිකා දයා ද අල්විස් මහත්මිය. මේ අතිශය සුන්දර අවස්ථාව සහ සිතුවිලි, එයටම සරිලන අතිශය සුන්දර පදමාලාවකින් චිත්‍රණය කරන්නට දයා ද අල්විස් මහත්මිය සමත් වෙලා තියෙනවා. එච් එම ජයවර්ධනයන් සංගීතවත් කල නිරංජලා සරෝජිනී මහත්මිය ගායනා කරන ලා සඳ එළියේ නම් ගීතයයි ඒ.

ඇය මේ ගීතයේ යොදාගෙන ඇති රූපක ඉතාම විශිෂ්ඨයි:

"මා දිවි රැය සුවඳින් මල් පුබුදාසඳ දිය ඉල්ලයි හිමි සඳුනේ"
"නා පෙති සිඹලා තරු එලි නිවලා සඳවත සැතපෙයි මල් යහනේ"

මේ මාතෘකාව ගැන කියන්නට මීට වඩා සුදුසු පද තවත් ඇත්ද කියන එක සැකයි.

එච් එම් ජයවර්ධනයන්ගේ සංගීතයත්, ගීතය අවසානයේ එන වදන් නොමැතිව කරන ගායනයත් ගීතයේ අදහසට ඉතාම හොඳින් ගැලපෙනවා.

මේ ගීතයේ අනෙක් පැතිකඩ තමයි පරිසරය සහ සොබා දහම සමග ඇති සම්බන්ධතාවය. දයා ද අල්විස් මහත්මිය මේ ගැන වරෙක පුවත් පතකට කියා තිබුණේ මෙහෙමයි.

"මගේ ගීත සාහිත්‍යය පුරාම දිවයන්නේ මා හා පරිසරය අතර තියෙන සබඳතාවයි. පරිසරයයි මගේ ජීවිතයයි කියන්නේ එකක් මිස දෙකක් නෙවේ. කුඩා කාලේ මම චිත්‍ර අඳින්න බොහෝම දක්ෂයි. මං ඇඳපු හැම චිත්‍රයකම වගේ තිබුණේ ගහ, කොළ, ඉර, හඳ වගේ සොබාදහම සම්බන්ධ වස්තූන්. එයින් මිදෙන්න මට අද බැහැ. ඒ නිසා මගේ ගීත බොහොමයක පාරිසරික විචිත්‍රත්වය සැඟවිලා තියෙනවා. සොබාදහම ඇසුරෙහි යම් නිර්මාණයක් කරනකොට එය මගේ හදවතට දැනෙනවා වැඩියි.

නූතන තරුණියකට මෙවැනි මධුසමයක වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැ‍ඟෙන්නේ ද එහෙයිනි. ගැහැනිය, පිරිමියාගේ පාද නමස්කාර කළ යුතු ද යන්න මෙකළ බොහෝ විට නැ‍ඟෙන ප්‍රශ්නයකි. මේ සියලූ ප්‍රශ්නවලට සරිලන එක ම උත්තරයක් සොයා සපයා ගැනීම පහසු නැත. කෙසේ වුව ද ඒ කාලේ තරුණියන් මේ කාලේ තරුණියන් තරමට ම දේවල් දැන ගෙන සිටියේ නැත. විද්‍යාවේ, තාක්ෂණයේ මහිමයෙන් බොහෝ දේ නිරාවරණය වෙමින් පවතින මෙකළ ස්ත්‍රී-පුරුෂ භාවයට, විවාහයට, මෙන් ම ප්‍රේමයට ද සැපයී ඇති නව අර්ථකථන බොහෝ ය.

අද වන විට පේ‍්‍රමය හෝ විවාහය හිමිකරගෙන ඇත්තේ එදාට වඩා වෙනස් වටිනාකම් ය. එහෙත් ජීවිතය සුන්දර වන්නේ, සිත පිනායන්නේ ලෝකයේ අභිරහස්, අභිරහස් ලෙසින් ම පැවතුණ විට දී යැයි අදහසක් පළකර ඇත්තේ ඉන්දියානු චින්තකයකු වූ භගවාන් ශ්‍රී රජ්නිශ් හෙවත් ඕෂෝ ය. කෙසේ වුව ද ඒ යුගයේ යුවතියකට මධුසමය, මධුසමයක් ම වූ බව නම් නිබොරු ය.



මා මළ පසු සොහොන් කොතේ...

මා මළපසු සොහොන්  කොතේ...
දුක් ගීයක් ලියනු මැනවි....
එකතකාට ඒ ගී රාවය...
සිහින් හඩින් මට ඇසේවි....

එලෙස ලියූ මහගමසේකරයන් කලින්ම අප හැරදා ගියේය.....අමරදේවයන් එම ගීපද සිහින් හඩින් ගැයුවේය.....ඔහුට ඇසුනාදැයි නොදනිමි... 

2016 නොවැම්බර් 03 වෙනිදා ....හරියටම අද වගේ දවසක හෙළයේ මහා ගාන්ධර්වයාණන් ....W.D,අමරදේවයන්ද අප හැර ගියේය....අවුරුදු තුනක් ගෙවුණි...  තවමත් ඔහු ජීවමානය.....එදා ලෙසම ගී හඩ අපට ඇසේ...  මිය ගිය බවක් නොහැගේ.....ඒ තරමටම ඔහු අපව ග්‍රහණය කර ගත්තේය...හඩින් පමණක්ම නොවේ...හදවතින්ම ඔහු සොදුරු මිනිසෙකි...නිහතමානී කමින්ද එලෙසමය.දුක් ගී නොලිව්වද....ඔබ ගැයූ ගී අසා..තවමත් අපි සොවින්ය. අද පමනක් නොවේ...හෙට දිනයටත්..එය එසේමය....පතන්නෙමු නැවතත් අමා මහ නිවන් සුවයම ඔබට.. 

මේ ලොව යම් කිසිවෙකු
මාහට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය 
සිහින් හඩින් මට කියාවි..............

මා මළ පසු සොහොන් කොතේ...
දුක් ගීයක් ලියනු මැනවි....///

නන්නාඳුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව...
දුක් ගීයක් ලියනු මැනව..//

අඩසඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක..
අඩසඳ බැසගෙන යන සද
රැහී හඩන රැව් අතරින්.....
 එතකොට  ඒ ගී රාවය 
යාන්තමින් මට ඇසේවි......//

මහගම සේකර තමාගේ ‘තුංමං හන්දිය’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වූ ඔහු අතින් කවියක් ලියැවිණි. ඒ මෙ පරිද්දෙනි.

මා මියගිය දවසක
සොහොන් කොතේ
ලියන්න පෙම් ගීයක්
නොදන්න අත් අකුරින්
අඩ සඳ පායා එන
සීතල රැයක
රැහැයියන්ගේ රැව් මැද
එතකොට ඒ ගී හඬ මට ඇසේවි
මේ ලොවේ යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී හඬ මට කියාවි

පසුව එයින් ගීතයක් පබැඳූ සේකර එය අමරදේවයන් වෙත මෙබඳු කෙටි සටහනක් ද සමඟ මෙසේ යොමු කෙළේය.

ප්‍රිය අමරේ;
පහත සඳහන් ගීය සරල ගී වැඩසටහනකට සුදුසු යැයි සිතේ. ගීයේ තේමාව මෙයයි. කාගෙන් හෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලයම ගෙවා - එහෙත් ඒ නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලකි. රාත්‍රියක සොහොන් පිටියක ඇති නිහඬතාව - කලකිරීම – පාළුව - ශෝකාකූල ගතිය ආදී හැඟීම් දනවන සංගීතයක් සුදුසු යයි සිතේ.



සඳ කැන් වැසිලා ...

සඳ කැන් වැසිලා - වික්ටර් රත්නායක
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ 
සොයා එන්න ගණඳුර තරු නිවලා 
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන`යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සිතුවිලි රළ අනුවය. 

"ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ"

අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැඳෙයි.

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙක් සොයනු දැනේ"

ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

"මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"

සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් පසින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්යවාදී සිතුවිලි සමූහයක ප්රතිවර්තනයක් ද?

එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ ...
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි"

ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.



මේ මැයි ගහ යට ...

| මේ මැයි ගහ යට |

කව්රුත් ප්‍රියකරන මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගායනයෙන් හා මිල්රෝයි ධර්මරත්නයන්ගේ සංගීතයෙන් ඔපවත්වී එදා මෙදා තුර අමරණීය ගීතයක් විදිහට ලාංකීය ජනතාවගේ හඳවත් වලට සමීප වීඇති මේ මැයි ගහ යට ගීතය රචනා කර ඇත්තේ අජන්තා රණසිංයන්ය...

මෙය ඔහුගේ පෞද්ගලිගක අත්දැකීමක් හරහා නිර්මාණය වූවකි..

ගීතයෙන් කියවෙන මැයි ගහ පිහිටා ඇත්තේ බේස්ලයින් පාරේ මවුන්ට්මේරි කියන ප්‍රදේශයේ. (දුම්රිය නිල නිවාස, රේල් වේ ක්‍රීඩාංගණය ඉදිරිපිට නාලන්ද විද්‍යාලය පසුපස) ඒ හරියෙ මැයි ගස් ගොඩක් තිබිල තියෙනව ප්‍රදේශයේදී අජන්තා රණසිංහයන් ලද අත්දැකීමක් ගීතයකට පෙරළුනා..

"අපි හමුවුනේ ඒ හරියෙදි. මල් පිපෙන කාලයට ගහ පිරෙන්න මල් පිපෙනවා ඇයගෙන් වෙන්වෙලා අවුරුදු දහයකට විතර පස්සෙ මම  මේ පාරෙන් මගෙ කාර් එකෙන් ගමට ගියා.මට මැයි ගහ දැක්කහම අතීතය මතක් උනා. මම.කාර් එකෙන් බැහැල ඒ ගහ යටට ගියා. එදත් මැයි මල් වැටිල තිබුන. හීන්පොද වැස්සක් වැටුන. අදටත් තේරෙන්නේ නෑ එදා ඒ ගහ යට නතරවුනේ ඇයි කියල. වැස්ස තුරල් වුනා මට අතීතය මතක්වුනා. මම ඒකාලෙ ගීත ලියන්නෑ මේ අත්දැකීම මගේ හිත අස්සෙ තිබුන. එය තමයි පසුකලෙක ගීතයක් ලෙස ලියැවුනේ.." යනුවෙන් ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් පවසා ඇත.

එම තරුණිය ප්‍රසිද්ධ ගායකයෙක්ගේ නැගනියක් (ඇය එච්.අයිරාංගනී - අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ නැගණිය) පසුව ඇය ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සමග විවාහ විය.

මේ මැයි ගහ යට දවසක්දා
වැස්සට අපි උන්නා...
රතුකැට වාගේ මැයි මල් පිපි පිපී
අපට සෙවන දුන්නා...//

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ..

මේ මැයි ගහ...

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙකු නැත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ...//

මේ මැයි ගහ...



ලදුනේ...

අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් එක්තරා සෑදෑ වරුවක දළදා සමිදු වැදපුදා ගන්න ගියෙ තවත් යහඵවෙක් එක්ක. ඒ යන අතරමග ඔහු දැක්ක එක්තරා ලස්සන යුවතියක්. දුක්මුසු පෙනුමකුත් එක්ක. සුදුවතින් සැරසිලා තෙල්. මල්. දෝතින් අරන් දළදා සමිදු වදින්න  යනවා. නැවත වරක් හැරිල බලන්න හිතෙන තරමට ලස්සන යුවතියක් ඇය. ඔහු සමග ගිය යහඵවා කියනවා ඇය ගැන විස්තර..
"ඇය ගණිකා වෘත්තියෙ යෙදෙන යුවතියක්. හැම දවසකම රැකියාවට යන්න කලින් හවසට දළදා සමිදු  වැදලා යන්නේ.".
ඔහුට මේ ගැන විස්තර හොයන්න හිතෙනවා...
ඇය දෙමාපියන්ට අකීකරු වෙලා විවාහ ⁣වුන යුවතියක්...අන්තිමේදී ඇගේ සැමිය ඇය අතහැර ගිහින්. දරුවෙක් සමග තනිවෙලා. නෑදෑයො ඇයව ප්‍රතික්ෂේප කරලා..අකීකරු නිසා. අන්තීමේදි ඇය අකමැත්තෙන් හරි මේ රැකියාවට  යොමු වෙනවා. දරුවා වෙනුවෙන්..ජීවත් වෙන්න. ඔහු මේ විස්තරේ ගීතයක පද බවට පෙරලනවා..

මෙම ගීතයෙ විශේෂත්වය මා දකින විදියට. රචකයා විසින් සමාජයේ පිළිකුල්ම රැකියාව කරන කාන්තාවක් වුවද ඇය දෙස යම්කිසි සාධාරණ අනුකම්පා සහගත ආකාරයට බලනවා. දෙනෝ දහක් රාත්‍රි  ඇගේ පහස ලබන පිරිමින්ම දහවලේදී ඇය  පිලීකුල් කිරීම විවේචනය  කිරීම  අසාධාරණ බව ඔහු පෙන්නල දෙනවා. ඔහු ඇයව කිසාගෝතමියට..පටාචාරවට සමාන කරනවා. ඔවුන්ද සමාජ අසාධාරණයට ලක් වූ කාන්තාවන් නිසා. ඇගේ හදවතේ තියෙන දුක වේදනාව මිනිසුන්ට නොපෙනෙන බව හරි අපුරුවට කියල දෙනවා.. 

අමරසිරි පීරිස් ලයාන්විත හඩ...  ප්‍රේමසිරි කේමදාසයන්ගෙ . තනුවට.හරි අපූරුවට ගැලපුණා.  

ලදුනේ...    //-
ඔබේ දෑස  දැක ගත්තෙමි සැදෑ කලෙක
ලදුනේ.....//-
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ ...
නෑයෙක් නෑකම නොකියන වීදි සරන
ලදුනේ...//-

තෙල්මල් ගෙන දෝත දරා..
මුනි  කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ  කලෙක  ලදුනේ   ලදුනේ.   ...
බුදුන් දැක නිවන් දකින්...
දෙව්ලොව යන පාර අහන්...
ඔබද පටාචාරවකි
ඔබද කිසාගෝතමියකි.     
 
පිරිමින්ගේ පාප කදට දෝෂ විඳින ලදුනේ   ලදුනේ...
අදුරේ පව් කරන දනා...එලියේ රවන ලදුනේ.. 
ලැම පමණක් ලොවට පෙනෙන 
ලය නොපෙනෙන  ලදුනේ ..ලදුනේ....  
කුහුඔුවෙකුට වරදක්  නැති..
වැරදිකාර ලදුනේ... 

ලදුනේ....//-.



වක්කඩ ලඟ දිය වැටෙන තාලයට ...

1929 අප්‍රියෙල් මස 7 දින රදාවාන ප්‍රදේශයේ උපන් මහගම සේකර මහතා, සිංහල සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු ලෙස හැදින්වීම නිවරදිය. ගීත ,නවකතා, කෙටිකතා , නාට්‍ය ඔහු අතින් රචනා වූ අතර චිත‍්‍රපට අධ්‍යක්ෂණයටද ඔහු දායක වී ඇත. තවද රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ලෙසද කටයුතු කළ එතුමා 1976 වසරේ ජනවාරි 14  දින මියගිය අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු  වයස 46කි.

මහගම සේකර මහතා විසින් රචනාකළ "වක්කඩ ලග දිය වැටෙන තාලයට" ගීතය පංඩිත අමරදේව මහතා විසින් ගායනා කරයි

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...

ගීතය රසවිදින්න අවස්ථාවේ අපිට මැවෙන්නේ කුඹුරක දර්ශනක් නමුත් වැස්සක් වැටෙන්නට නියමිත කුඹුරක දර්ශනයට වඩා එහා ගිය ශෘංගාරාත්මක අර්ථයක් මේ ගීතයේ මහගම සේකර මහතා සගවා තියෙනවා.

"වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා"

ගීතයේ කියැවෙන සිදුවීම ඇතැම්විට ගොවියෙකුට සම්බන්ධ සිදුවීමක් වෙන්නට පුලුවන්. පලමු පද පේලියෙන් අපිට තේරුම් ගන්නට පුලුවන් ගැමි පරිසරයකට වැස්සක් ඇදහැලෙන්නට නියමිත පෙර නිමිති අවට පරිසරය හරහා මතුවෙමින් තිබෙන බව. ගැමියෙකුට, ගොවියෙකුට වැස්සක් යනු බොහෝ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න සිදුවීමක්.

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා...

කටරොළු මල් පිපී ඇති ලෙසින් අදහස් වන්නේ බොහෝවිට ගැමියාට පවතින වැසි වාතාවරණය හමුවේ තවත් සොදුරු දසුනක් නෙත ගැටීමක් ලෙස අපට සිතන්නට පුලුවන්.

තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...

පෙර කටරොළු මල් පිපී ඇති බවට දුන් ඉගිය කාන්තාවක් පිළිබඳ කියවූවක් බව අපට හොදාකාරවම ⁣මෙතනදි තේරුම් ගන්න පුලුවන්. තුන් දවසක් අමනාපෙන් සිටි ඇතැම් විට ඇය දින කිහිපයක් ඔහු හා විරසක වී සිටියා විය හැකියි. නැතිනම් දෙදෙනාගේ සම්බන්ධ වෙනුවෙන් පැවති බාධාවක් මගහැරී ගියා වන්නට පුලුවන්.

තවද මල්වර වූ කාන්තාවක් ඔසප්වීමේදී දින තුනක කාලයක් කිලි පවතින බවට පැරැණි ගැමි මතයක් ඇති අතර, දින තුන අවසානයේ ස්නානයෙන් කිලි මිදෙන බව කියැවේ. මේ හේතුවෙන් ගැමි අඹු සැමි යුවලක් මේ කාලයේදී තරමක් සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැලකී සිටිනවා විය හැකිය.

ගීතයේ කියවෙන දෙයට අදාලව මෙම සිදුවීම බොහෝසේ ගැලපෙන බවට අපට සිතන්නට පුලුවන්.

කටරොළු මලෙහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea. කටරොලු මලට මෙම නාම යොදා ඇත්තේ එය ස්ත්‍රී බාහිර ලිංගයට සමානය.මහගම සේකරයන් කටරොළු මල් හරහා උපමා කරන්නට දැරූ උත්සාහය පිළිබඳ හේතුව දැන් ඔබට පැහැදිලි ඇති.

"කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා" ලෙසින් මහගම සේකරයන් කියන්නට උත්සාහ කරන්නට ඇත්තේ තමන්ගේ කිලි මිදීම නිසා සැමියාට ඒ පිළිබඳ ඇය විසින් ඉගි ලබාදීම සම්බන්ධයෙන් විය යුතුයි.

වැසි සහිත කාලගුණයක් යනු ශෘංගාරාත්මක සිතුවිලි පහලවීමට ඉඩක් ඇති අවස්ථාවක් ලෙස බොහෝ නිර්මාණ හරහා කියැවෙන කරුණක් සේකර මහතාද අපූරුවට ගලපා ඇත.

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න

මෙම පද පේලියේදී ගීතයේ රිද්මය තරමක් වැඩිවී ගීතයට යම් ජවයක් ලබාදේ. තවද එමගින් ගීතයේ ඇති ශෘංගාරාත්මක බවද තරමක් වැඩිවේ. මෙහිදී යුවල විසින් කිසියම් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම පිලිබඳ සේකර මහතා විසින් කියන්නට උත්සාහ දරා ඇති බවට වටහා ගන්නට පුලුවන්.

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...

මෙම සිදුවීම අතර කාලයේ ගීතයේ මුලින් ඉගි ලබාදුන් වැස්ස ඇදහැලෙමින් ඇත. අහසින් වැටෙන වැහි වතුර ගලන්නේ බොහෝ බාධක හරහායි. එලෙසම දෙදෙනා ශෘංගාරාත්මක සතුටක් බලාපොරොත්තු වෙන බවට මෙහිදී රසිකයාට කියන්නට උත්සාහ දරා ඇත.කුඩා ළමුන්පවා මේ ගීතය ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කරන අවස්ථාව ඔබ දැක ඇති. ඉහත අප කතා කළ සිදුවීම සේකර මහතා විසින් ගීතයේ බලාපොරොත්තු වූ අදහස නම්, * කුණුහරප * ලෙස කෙනෙකුට කියන්නට හැකියාවක් ඇත. ගීතය ළමයෙකුට කිසිසේත්ම සුදුසු නොවන ගීතයක් ලෙස වර්ග කරන්න හැකිය.

නමුත් සේකර මහතා අති විශිෂ්ඨ ලෙස සියල්ල උපමා කර ඇත්තේ පරිසරයටයි, කුඹුරක් , වැස්සක් , දියඇලි , මල් , ගල් හරහා සියලු කරුණු වියන්ගයක් බවව සේකර මහතා පරිවර්තනය කර ඇත.

සේකර මහතා විසින් ගීතයේ බලාපොරොත්තු වූ අදහස නම්, ලෙස මා ඉහතදී හැදින්වූයේ මෙම ලිපිය කිසිසේත්ම ගීතයේ අරුත නොවන බවට කෙනෙකුට තර්ක කිරීමට හැකියාවක් ඇත. එසේ මේ කරුණු ගීතයට සම්බන්ධ නොවන බව සිතමු. නමුත් අප කතා කළ කරුණු යම් ගැලපීමක් නැහැ ලෙසටද අපට සම්පූර්ණයෙන් කිව නොහැක.

ලිපිය අවසානයේ මෙම ගීතය අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස ඔබ වර්ග කරනවා නොඅනුමානයි. සැබවින් එය එසේමය.. නමුත් මෙවන් නිර්මාණ ඉදිරියටත් බිහි කිරීමට සේකර මහතා හෝ අමරදේව මහතා අද අප අතර නැත.



ඔබ පෙම් කරනා ...

සුනිල් ආර්. ගමගේ මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් 1975 දී ලියවුනු මේ ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගයනා කරන ඉතා ප්‍රසිද්ධ ගීතයක්

ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා ...

ගීතයෙන් කියවෙන්නේ වචනවලින් තේරෙන අරුතෙන්ම පෙම්වතකු හැරගොස් තවකෙකු සමග කල්ගෙවන පෙම්වතියක් ගැන පෙම්වතාගේ විරහ වේදනාවයි. සුනිල් ආර්. ගමගේ මහතා පවසන පරිදි මේ පෙම්වතා ඔහුගේ මිත්‍රයෙක්. මිතුරා පාසල් යන සමයේ සිට ඇයට පෙම්බන්දා. නමුත් අවාසනාවකට මොවුන් දෙදෙනා විශ්වවිද්‍යාල දෙකකට තේරුණා. සුනිල් ආර්. ගමගේ මහතා පවසන පරිදි ඔවුන් නමින් කමල් සහ ස්වර්ණා නම් වේ. කමල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ස්වර්ණා කොළඹ විශ්වවිද්‍යාලයටත් තේරුණා. ඉන්පසු දෙදෙනාට හමුවීමට නොහැකි වුණා. කාලයක් ගතවෙනකොට පෙම්වතාට තේරුණා ඇයගේ වෙනස්කම්. ඇය ඇගේ විශ්වවිද්‍යාලයේ තවත් අයෙකු හා මිතුරුව සිටියා. කමල්න් බොහෝ අවස්ථාවන්හි කොළඹට පැමිණ ඒ වන විට රැකියාවෙහි නිරත සුනිල් සමග බස් රථයෙන් නිවෙස් බලා යාමට පුරුදුව සිටියා.

දිනක් ඔවුන් 120 බස් රථයක ගමන් කරමින් සිටින විට බසයට හදිස්සියේ ස්වර්ණා තව අලුත් පෙම්වතා සමග ගොඩ වුණා. ඔවුන් දුටු සුනිල් මහතා තම මිතුරාගෙන් ඒ බව විමසා සිටියා. තම මිත්‍රයා විඳින වේදනාව සුනිල් මහතා හොඳින් දුටුවා. ඔහු ඒ වේදනාව පද පෙළකට ගොනු කර ඇත.

මෙම ගීතය පළමුව ගායනා කරන්න නියමිතව තිබී ඇත්තේ සුනිල් එදිරිසිංහ මහතාටයි. නමුත් සුනිල් එදිරිසිංහ මහතාගේ අදහස වී ඇත්තේ එය ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කල යුතු බවයි. කපුගේ මහතාගේ කටහඬ වඩාත් හොඳින් අරුතට ගැලපෙන බවයි. පසුව පටිගත කිරීම සඳහා සුනිල් එදිරිසිංහ මහතා නොපැමිණීම හේතුවෙන් කපුගේ මහතා විසින් ගීතය ගායනා කර තිබෙනවා.



එදා මෙදා තුර කඳුලට විවරව ...

(සත්‍ය සිදුවීමක් පසුබිම කරගත් ගීයකි)

1975 වසරේ දවසක සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. එයාගේ නම විමල් ජයශාන්ත. තැපැල් ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළියක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව. මම අයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවා නම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේදෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙන කොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා. මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඥාතියාට ගෞරව කරන්න...ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට. ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා

මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා

දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින්
කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්

ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර.........

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ

ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර.........



චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ...

"චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ"

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉගෙනගත්තේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක. තමන්ගේ ගමේ ඉඳන්, ඉස්කෝලෙට සැතපුම් විස්සක විතර දුරක් තිබුණා. උදේ හවා හැමදාම මේ දුර ගාටන එක අමාරු නිසා, මේ කොලු ගැටයා ඉස්කෝලේ බෝඩිමේ නතරවෙලා තමයි ඉගෙනීම් කටයුතු කළේ.

හැම සති අන්තෙම ගෙදර යන ඔහු, වැස්සෙන් බේරෙන්න වගේම, ගිමන නිවාගන්න පාවිච්චි කළේ ඒ ගමන අතරමග තිබුණු වඩු මඩුවක්. මේ වඩුමඩුවේ වඩු රාළත්, ඔහුගේ තරුණ දියණියත් ජීවත්වුණේ එයටම ඈඳා හදපු පුංචි නිවසක. මේ වඩු රාළ, ගැටවර වියේ හිටි රත්න ශ්‍රී එක්කත් හරි හිතවත්. තමන්ගේ බිරිඳ මියගිය හැටිත්, ඉන්පස්සේ එකම දියණිය අමාරුවෙන් හදා වඩා ගත්ත හැටිත් ඔහු රත්න ශ්‍රී එක්ක විටින් විට පැවසුවා.

දවසක්දා මේ විදියට වඩු මඩුවට ගොඩවුණු ඔහුට දැකගන්න ලැබුණේ ඒ වඩු රාළ බොහොම දුකින් ඉන්න විදියයි. තරුණ රත්න ශ්‍රී මේ ගැන ඔහුගෙන් ඇහුවේ කුතුහලයෙන් යුතුවයි. බැලින්නම් වඩු රාළගේ තරුණ දියණිය, සිදාදියේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මේ ගැන කියද්දී ඔහුගේ දෑසින් කඳුළු වැටෙන හැටි, යොවුන් තරුණයෙක් වුණු රත්න ශ්‍රීගේ මතකයේ තැන්පත් වුණේ, හරි අපූරු විදියට. මේ සිද්ධිය වසර ගණනාවක් ඔහුගේ හිතේ තියෙනවා,

පසුව ඔහුට කියවීමට ලැබෙනවා රුසියානු සාහිත්‍යයයේ දැවැන්තයකු වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ තානායම්කරු කියන කෙටිකතාව,තානායමක් කරන මහලු පියෙකු දොන්යා නම් දියනියක් රැකබලාගන්නවා නගරෙන් ආ සිටුවරයකු  සමග දියනිය පලායනවා  පියා දියනිය සොයා යනවා නමුත් දියනිය පෙන්වන්නෙවත් නැහැ සිටුවරයා සල්ලි මිටියක් විසිකරනවා පියා දෙසට සල්ලි පාගා දැමූ පියා මෙහෙම හිතනවා "නගරයෙන් එන ජේත්තුකාර තරුණයන්ට රැවටිලා පැනලායන ඉතිහාසෙ එකම කෙල්ල දොන්‍යා වෙන්න බෑ,ඉදිරියටත් එහෙමවෙයි,හැබැයි ඔව්න් අද හොදට සේද අදිනවා හෙට පාර අතුගානවා" මේ කතා දෙකම පදනම් කරගෙන ඔහු අතින් ගීතයකට පෙරලෙනවා.

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඬ හා රෝහන වීරසිංහගේ සංගීතය ඒකට එකතු වෙද්දී, දියණිය අහිමි වුණු පියෙකුගේ සිතිවිලි අතරට අපටත් යන්න අවස්ථාව ලැබෙනවා.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ



සරග මල ...

සරග මල
පලන ගල
ළග මලබර වරල
සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක
අතිනි ගත හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල
ළග මලබර වරල

වරල
වරල
වරල
වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු
මහනෙල සපු
මහනෙල සපු කුසුමක
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
මහනෙල සපු කුසුමක අතිනි ගත හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල

සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග සරග සරග මල
පලන පලන පලන ගල

සරග මල
පලන ගල
ළග මලබර වරල
මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත

තේරුම - සුවඳ මල් පැලඳි, මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...