Thursday, July 9, 2020

ඔබේ දෑසයි ඔබේ දෑසයි ...

සුභාවිත ගීත ක්ෂේත්‍රයේ මහගම සේකර නාමය පිලිබඳ නොදන්නා කෙනෙකු වේනම් එය පුදුමයකි ඊටත් වඩා අභාග්‍යයකි. ඔහු විසින් විවිධ පැතිකඩ ඔස්සේ රචනා කරන්නට යෙදුනු ගීත අතර "ඔබේ දෑසයි.." ගීය ද ඉතා සුන්දර මෙන්ම සාහිත්‍ය වශයෙන් ද වැදගත් වන ගීතයකි. අප හෙළයේ මහා ගාන්දර්වයානන් වන පණ්ඩිත් අමරදේව යන් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය සේකරයන් සතු භාෂාමය දැනුම මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යමයමය දැනුමද නොමදව විදහා දක්වන ගීතයකි.   

ඔබේ දෑසයි.. 
ඔබේ දෑසයි..
නීල උත්පල දිගටි දෑසයි..
මීන චංචල කිඳුරු දෑසයි..
කිඳුරු දෑසයි.....

මෙම ගීතයට පදනම් වනුයේ ථෙරි ගාථා වල හමුවන ජිවක අඹ වනයේ වාසය කළ සුභා තෙරණිය සහ අදාල කතා පුවතකි. සුභා තෙරණිය බොහොම රූමත්. දිනක් සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය තුල ගමන් කරමින් සිටින අවස්ථාවක ඇයව දකින තරුණයකු ඇයගේ රූපයට වෙසෙසින් ම ඇයගේ ආකර්ශනීය දෙනුවන් වලට වශීවී ඇය ගමන් කරන පාර අහුරා මෙසේ පවසන්නට යෙදුනි.

"අපි දූරගතා සරම්හසෙ, ආයතපම්හෙ විසුද්ධ දස්සනෙ
නහි මත්ථි තයා පියත්තරා, නයනා කින්නරි මන්ද ලොචනෙ"

මෙහි අර්ථය නම්,

"දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මඳක් පිබිදුනු ඇස් ඇති ඔයා, කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනව.මං ඔය ඇස්දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ."

සේකරයන් විසින් මෙහි එන "නයනා කින්නරි මන්ද ලොචනෙ" පදය "මීන චංචල කිඳුරු දෑසයි.."  ලෙසින් මෙම ගීතයක එක්තු කර ඇත.

නීල යනු නිල් පැහැති යන්නයි. උත්පල යනු නිල් මහනෙල් යන අර්ථය ගෙන දේ. මීන යනු මාලුවන්ගේ මෙන් චන්චල කිඳුරියකගේ මෙන් සුන්දර ආදී ලෙස ඔහු කරන වර්ණනාව මෙහි දැක්වේ.

ඈත අහසේ තාරකා සේ..
වශී කර මා සිත සිනාසේ..
දුරක සිටියත් ළඟක සිටියත්..
ඔබේ ඇස මට නිබඳ සිහිවේ..
ඔබේ ඇස මට නිබඳ සිහිවේ..

මෙම පද පෙලෙහි ද ථෙරි ගථා වලින් ලද අභාෂය දැකිය හැක. මෙහි එන "දුරක සිටියත් ළඟක සිටියත්.. ඔබේ ඇස මට නිබඳ සිහිවේ.." යන පද දෙකට ඉහත ගථාවේම අතුලත් "කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනව" යන කොටස ඉවහල් වී ඇති බව පෙනේ. 

ඔබේ අඩවන් නුවන් දුටු සඳ..
රාග ගින්නෙන් දැවෙයි මා හද..
එවන් දෑසින් සිහිල් දිය ඉස..
නිවන් ගිනිගෙන දැවෙන මා හද..
නිවන් ගිනිගෙන දැවෙන මා හද..

අවසාන පද කීපයද සේකරයන් ථෙරි ගාථා වලින්ම පෝෂණය කර ගැනීමට සම්ත් වී ඇත."ඔබේ අඩවන් නුවන් දුටු සඳ..රාග ගින්නෙන් දැවෙයි මා හද.." යන දෙ පද "තව මෙ නයනානි දක්ඛිය, භිය්‍යො කාමරතී පවඩ්ඪති" එනම් "ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාවමයි.." ලෙසින් ඔහු පද ගලපවයි.  

සේකරයන් සතුවූ නිර්මාණාත්මක හැකියාව හැරුණු කොට ඔහු තුල වූ භාෂාව, සාහිත්‍යය පිලිබඳ දැනුමද මෙවැනි නිර්මාණ තුලින් මොනවට පැහැදිලි වේ. මහගම සේකර ශූරීනි, පණ්ඩිත් අමරදේව ශූරීනි අපි ඔබලාට නිවන් සුව පතමු...!

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි යි. .........

ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත් ළඟක සිටියත්
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

මගේ හදවත අඳුර දුරලන
මිණි පහන් වැට ඔබේ දෑසයි
මගේ හදවත අඳුර දුරලන
මිණි පහන් වැට ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි

ඔබේ අඩවන් නුවන් දුටු සඳ
රාග ගින්නෙන් දැවෙයි මා හද
ඔබේ අඩවන් නුවන් දුටු සඳ
රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස
නිවන් ගිනිගෙන දැවෙන මා හද
නිවන් ගිනිගෙන දැවෙන මා හද

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි යි. .........

පද රචනය : මහගම සේකර
සංගීතය සහ ගායනය :  පණිඩිත් අමරදේව



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...