Friday, October 9, 2020

අජානේය ස්කූටර් ...

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා

කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා

බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා

විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //


සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා

පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා

මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා

ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා


අජානේය ස්කූටර්..... 


සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා

උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා

රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා

කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


අජානේය ස්කූටර්.. //


ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය – රෝහණ විරසිංහ

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය පසුබිම පිළිබඳව අදහස් දක්වමින් "ස්කූටර් කියන වචනය ගීතයක එන පළමු අවස්ථාව අජානීය ස්කූටර් ගීතයේ මං හිතන්නේ. ඉස්සර මගේ වැඩිමල් මිත‍්‍රයෙක් හිටියා කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔහු උපාධිධාරියෙක්. ඒ කාලේ උපාධිධාරීන් හුඟක් රස්සා නැතුව හිටියා. මගේ මිත‍්‍රයා තාවකාලිකව වැඩ කළා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ඒකෙ මාර්ග කම්කරුවෙක්ම නෙමෙයි. කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන වැඩ මූලිකයෙක් විදිහට. උපාධිධාරියෙක් වෙලා ඔහු ඒ වැඩ කළා. නමුත් ඔහුට ගැළපෙන රැකියාවක් නෙමෙයි ඒක. එයාට විශ්වවිද්‍යාලයේ පේ‍්‍රමයක් තිබුණා. නමුත් ඒ පෙම්වතිය ඔහුට පිටුපාලා ඉහළ පැලැන්තියේ පෙම්වතෙක් හොයාගෙන යනවා. දවසක් මගේ මිතුරා අර පාරක් හදන තැනක වැඩ කරද්දී එයා දකිනවා එයාගේ පැරණි පෙම්වතිය තමන්ගේ සැමියා හෝ අලූත් පෙම්වතා සමග මෝටර් සයිකලයක නැගිලා ඔටුන්නක් වගේ හෙල්මට් එකත් දාගෙන බොහොම උජාරුවට යනවා උරහිසේ එල්ලිලා. මොහු අඳුන ගන්නවා ඇයව. ඇය මොහුව දැකලා අහක බලා ගන්නවා. ඕක තමයි සිද්ධිය. ඔය වගේ සිද්ධියක් තියෙනවා උම්මග්ග ජාතකයේ. සිරි කාලකණ්ණි ප‍්‍රශ්නය. දිසාපාමොක් ළඟ ඉගෙන ගන්නවා පිංගුත්තර කියලා දක්ෂ ශිෂ්‍යයෙක්. දක්ෂතම ශිෂ්‍යයාට හම්බවෙන තෑග්ගක් හැටියට හම්බවෙනවා දිසාපාමොක්ගේ දුව. සාම්ප‍්‍රදායික තෑග්ගක් හැටියට ඔහු භාර ගත්තත් ඔහුගේ ඇයට කිසි ආදරයක් නැහැ. ගමට යද්දී කැලෑව මැද්දෙන් බඩගිනි දැනිලා ගහකට නැග්ගම පලතුරක් කඩන් කන්න, පිංගුත්තර වහා ගහෙන් බැහැලා ඇයට බහින්න බැරි වෙන්න කටු අතු දාලා පැනලා යනවා. ඔතනින් යන වේදේහ රජු ඇය දැකලා තම බිසව කරගෙන, දවසක් දෙදෙනා උයන් කෙළියට යද්දී දකිනවා පාරේ පුරුෂයෙක් වැඩ කරනවා. ඒ තමයි පිංගුත්තර. ඔහු දැකලා ඇයට හිනා යනවා. රජතුමා ඇය නිකරුනේ හිනා වූයේ යැයි කිපෙනවා. රාජ උදහසින් ඇය බේරා ගන්නේ මහෞෂධ පඬිතුමා. ඉතිං අර මගේ මිත‍්‍රයාගේ කතාවයි ඔය කතාවයි ගලපලා තමයි ‘අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා’ ගීතය ලිව්වේ.

සිය පෙම්වතිය හැර යාමේ දුකට වඩා ඇයගේ නව කල්ක්‍රියාව හේතුවෙන් හටගන්නා සංවේගය පෙම්වතා ඉදිරිපත් කරයි. අජානේය අශ්වයා යනු බෞද්ධ සාහිත්‍යයේ යෙදෙන වචනයකි. හෙණ ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්වයන් සිවු දෙනකු පිළිබඳ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ 6,7,8 සූත්‍රවල සඳහන් වේ. එනම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා ( සීහො ච මිගරාජා ) යන සිව්දෙනාය. අජානේය අශ්වයා ශක්තිමත් බල සම්පන්න සත්ත්වයෙකි. ගීත රචකයා එම අශ්වයාට සමාන කරන්නේ මෝටර් බයිසිකලයයි. වාතයේ වේගයෙන් යන එම බයිසිකලයේ පිටුපස අසුනට වී ඔහුගේ පැරණි පෙම්වතිය නගරයේ සිරි නරඹන්නීය. ඇය එසේ සිරි නරඹනුයේ තම අලුත් පෙම්වතාගේ උරහිස් දෙකට අත්තබා මදක් එසැවීගෙනය. ඉතින් ඒ යන විලාසයට ඇගේ කිරුළ බිම වැටේදැයි පැරැණි පෙම්වතාට සැක සිතී ඇත. කිරුළ යන වචනය තුළ ගැබ්වන අර්ථය ඉතාමත් ගැඹුරුවක් පෙන්නුම් කරයි. කාන්තාවකගේ කිරුළ පතිවෘත්තාවයි. ඉතින් මේ යන ගමනට සිය පැරණි පෙම්වතියගේ කිරුළ අහිමිවේදැයි ඔහු කල්පනා කරයි.

‘සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා‘ යන වැකියෙන් ඔහු තමා ඉගෙනගත් ශිල්පය හා ලද රැකියාව විග්‍රහ කරයි. ශිල්ප හැට හතරක් ඉගෙන ගෙන පරතෙරට ගිය බව ඔහු කියයි. තමා පාරේ වැඩකරන කම්කරුවෙක් බව ඔහු නොසඟවයි. උදැල්ල ලැබී ඇත්තේ ඒ සඳහාය. තමා උගෙන ගත් ශිල්පයන්ට අනුව කම්කරු රැකියාවද හොඳින් කළ හැකි බව ඔහු පෙන්නුම් කරයි. ඔහු සිය පැරණි පෙම්වතිය නව පෙම්වතා සමග මෝටර් බයිසිකලයෙන් යන මාර්ගයේ වැඩකරමින් හිඳී. තමාගේ තුරුළට වී එකල පෙම් සුව විඳි සිය පැරණි පෙම්වතියට දැන් තමාගෙන් පිටවන දහදිය දුගඳක් වී ඇත. ඔහු එය කියන්නේ ව්‍යංගයෙනි. තම ගතින් වැටෙන දා බිඳුවලින් පිටවන දුගඳ නිසා මෝටර් සයිකලයෙන් යන පෙම්වතියට ඉවසිය නොහැකි තැන සිය ලේන්සුව ගෙන ඇය නහය වසා ගන්නීය. එයද විලවුන් සුවඳ තැවරූ ලේන්සුවකි. රසික හද කම්පනය කරවන සුලු වාක්‍ය ඛණ්ඩ යොදා ගනිමින් රචකයා පෙම්වතියගේ පිටුපෑම විග්‍රහ කරයි.

ඊළඟ පද පෙළෙහි ඔහු උපමාවක් භාවිතා කරයි. ඒ උදුම්බරා මලයි. උදුම්බරා මල පිපෙන්නේ රාත්‍රී කාලයටයි. එය රෑ පුරා සුවඳ විහිදුවා යළි උදෑසන මිලිනව යයි. එබැවින් රචකයා පෙම්වතුන්ගේ සදාකාලික සිහින උදුම්බරා මලට උපමා කරයි. එවැනි උදුම්බරා මලක් සෑම පෙම්වතකුගේම සිතෙහි පිපෙන බව කියන රචකයා තමාට අහිමි වුණු පෙම්වතිය ගැන දොස් නොකියයි. ‘කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා‘ යනුවෙන් ඔහු සිය හැඟීම් ප්‍රකාශ කරන්නේ සිත හදා ගැනීමට අවැසි සියලු සාධකයන් ගෙනහැර දක්වමිනි.

ප්‍රේමයේ එක් පැතිකඩක් මනාව විවරණය කරන රත්න ශ්‍රී විජේසිංහයන් අපූරු සංකල්ප රූපයක් මෙම ගීතය හරහා විද්‍යාමාන කරයි. ප්‍රේමයේ විරහවට වඩා වැඩි යමක් මේ ඔස්සේ රසික සිත්හි ජනනය කරවීමට ඔහු සමත්කම් දක්වයි. කරුණාරත්න දිවුල්ගනේගේ මධුර හඬ ස්වරය ගීතයට ආදරණීය හා ශෝකාකූල විඳීමකට අවැසි ඉඩ හසර මනාව ලබා දෙයි.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින හා ලංකාදීප)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...