Monday, November 23, 2020

රූ රැසේ අඳිනා ...

රූ රැසේ අඳිනා ලෙසේ අත්

ලෙළ දි දී විදුලිය පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ

නාදනූ පා තබ තබා..


කම් පසේ දෙන සැර ලෙසේ දෙස

බල බලා නෙතඟින් සබා..

මම් කෙසේ පවසමි එසේ වර

සුර ළඳුන් දුන් රඟ සුබා....


පුන් මදාරා මල් දමින් මුදු

දිගු සුනිල් වරලස ගොතා..

මන්මදා කිතු ලිය ලෙසින්

උරතුර සරා දිලි මුතු ලතා....


මන් නදා වන මිණි මෙවුල් නද

වෙණ නදින් එක්කොට ඉතා..

උන් එදා දුන් රඟ දුටොත් තව

සක් සැපත් කවරෙක් පතා...


පිපි සමන් කුසුමන් පටින් තන

රන් හසුන් මෙන් මන් බැඳේ..

ලඹ සවන් දිගු රන් පසින් දන

නෙත් නුවන් බඳිමින් තදේ....


මඳ පවන් වැද ලෙළ පහන්සිළු

මෙන් රැඟුම් දෙන රන් බඳේ...

දිලි ඔවුන් රූ සිරි නුවන් වන්

බඹ වුවත් දැහැනින් මිදේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න හා ලතා වල්පොල 

සංගීතය - සුසිල් ප්‍රේමරත්න 

ගුත්තිල කාව්‍යය ඇසුරින් නිර්මාණය කළ ගීතයකි.


සුසිල් ප්‍රේමරත්න මහතා කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි ඉතාම දක්ෂ ගායකයෙක්. එතුමාගේ පියා ලංකාවේ බිහිවූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීයෙකු වූ සාර්ලිස් මාස්ටර්. මේ ගීතය ගයන ලතා වල්පොලගෙ මුල්ම නම රීටා ජෙනිවීව්. ගායන කටයුතු වලට ගැලපෙන විදිහට ඇයට ලතා කියල නම දාල තියෙන්නෙත් සුසිල් ප්‍රේමරත්න මහතා විසින්. 

මේ ගීතයෙන් කියවෙන්නෙ ගුත්තිල-මූසිල වීණාවාදන තරඟයෙදි ගුත්තිල ගුලි තුනක් උඩ දැම්ම හා දිව්‍ය ලෝකයෙන් මිහිපිටට පැමිණෙන දිව්‍යාංගනාවන් දැක්වූ රැඟුම් විසිතුරු වර්ණනාවයි.

අසූව දශකයේ රූපවාහිනීයෙන් දක්නට ලැබුණු සුසිල් ප්‍රේමරත්න රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරමින් දෙවඟනක් චිත්‍රයට නඟන අයුරු එවක අපගේ සිත්ගත් මතකයේ රැඳුණු දසුනක්.  

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා

රන් රසේ එක් වෙණ ලෙසේ වෙත් නාද නූපා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා

මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....


මේ කවිය තරම් ජනප්‍රිය වූ තවත් කවියක් පුරාණ කාව්‍යවලීන්හි ඇත්දැයි සිතීමද දුෂ්කරය. එපමණ අලංකාර වූ මේ කවිය ඇත්තේ, නොපරදින මෙවන් කවි 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයේය. පන්සිය පනස් ජාතක කථා වලින් 235 වන ජාතකය වන ගුත්තිල ජාතකය ඇසුරෙන්. "ගුත්තිල කාව්‍යය" රචනා කරනු ලබන්නේ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, 1450 දී පමණය.

පෘතුගීසී ආධිපත්‍ය පැතිරයමින් හා දේශපාලන ප්‍රවාහය අවුල් වියලු වෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයක් වන කෝට්ටේ යුගය එකළු කරමින් ස්වර්ණමය සාහිත්‍ය යුගයක් බිහිකළ මෙකල සාහිත්‍ය නිර්මාණ අතරින් මුල් තැනක ගුත්තිල කාව්‍ය වැජඹේ.

තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පරිවේණාධිපතිකම දැරු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝල නමක් වූ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, "ගුත්තිල කාව්‍ය" රචනා කරනු ලබන්නේ තම ගුරු හිමියන් සමඟ වූ ඇතිවූ ආරවුලකදී, කොපමණ ආරවුල් පැමිණීයද තමන් ගුරුන් වහන්සේ අභිබවා නොයන බව පෙන්වා දීම සඳහායැයි මතයක් පවතී.  

රාහුල වෑත්තෑවේ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑවේ හිමිගේ සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි. දෙදෙනා අතර විශාල වයස් පරතරයක් ද නොතිබිණී. එය විදාගම මෛත්‍රී හා රාහුල අතර පැවති ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි විය. තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත් සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ ඉරිසියාවට හේතු විය. රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනා අතර විරසකයක් ඇතිවිය. මෙහිදී රාහුල හිමියන් විසින් වෑත්තෑවේ හිමියන්ගේ ආහාර පිඟානේ කීප පළකට පළා මැල්ලුම් බෙදීමෙන්, පල නොකියා පළා බෙදුවේ යැයි කියමනක්ද ඇතිවිය.

මේ තත්වය මත, තමන් කිසිවිටෙක ගුරුවරයා ඉක්මවා කටයුතු කරන බව සනාථ කිරීමට, වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය ලියා, ගුරු ස්වාමීන් වහන්සේට පිළිගැන්වීය. එහි ආරම්භය මෙසේ විය...


සියපින් සිරින් සරු

දෙතිස් ලකුණින් විසි තුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිම් මුනි උතුමන් තිලෝගුරු


කාව්‍ය දුටු සැණීන් ශාස්ත්‍රාණුකූලව, කාව්‍ය ඇරඹී ඇත්තේ වායු ගණයෙන් බව වටහා ගත් රාහුල හිමියන්ට, වෑත්තෑවේ හිමියන්ට සිවුර පමණක් නොව රට හැර යන්නටද සිදුවන බව ප්‍රත්‍යක්ෂ විය. ජනප්‍රවාදයේ එන්නේ තම ගෝල හිමිනම වූ වෑත්තෑවේ හිමි ලියූ ගුත්තිල කාව්‍යය බැලූ ගුරු හිමි වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් "වෑ වැත්තේ මේ වැත්තේ - නැව් නොනැගත්තේ (වෑත්තෑවේ මේ වතාවේ නැව් නොනඟීද?) යනුවෙන් ඇසූ බවය.

එලෙසම ග්‍රත්තිල කාව්‍ය රාහුල හිමියන්ට පිදූ වෑත්තෑවේ හිමියෝ, සිවුරු හැරදා - විදෙස් ගත වූ බව සඳහන්ය.  


(උපුටා ගැනීමකි)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...