Wednesday, March 3, 2021

ඔබට වරම් නැති ...

ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ

ඉවත ගලා ගිය කඳුළක දියවී

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...


ඔහුට පුදන්නට පූජාසනයේ

නොකිලිටි මල් පිපුණිද ළඳුනේ

පෙති ගිලිහී ගිය පරසතු කුසුමක

සුවඳ කොහේ කොතැනද රැඳුනේ...


ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයෙ තුංමංසල හමුවේ

බලා හිඳිනු මිස හඬා වැටෙන්නට

කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ...


පද රචනය - රංජිත් රූබසිංහ

සංගීතය - නාලක අංජන කුමාර

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


හා හා පුරා කියා කරන ආදරය කොයිතරම් පිවිතුරුද.... ඒත් ඒ පළමු පෙම විවාහයෙන් කෙළවර වෙනවා නම්..... නැහැ. හැම පෙම්වතෙකුටම ඒ වරම් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනාගේ ප්‍රථම ප්‍රේමය තාවකාලිකයි. කෙටි කලකින් මේ ආදර බැම්ම බිඳී යනවා.


ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ

ඉවත ගලා ගිය කඳුළක දියවී

ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ


ඔබේ ආදරය මටත් මගේ ආදරය ඔබටත් හිමිවෙන්න තරම් අපි වාසනාවන්තයින් නොවෙයි. අපි දෙන්නටම වරම් නැති ආදරය කොහේදොa සැඟවෙලා යන්න ගිහින්. නෙතගින් වැටුණ කඳුළු බිඳුවත් එක්‌කම දියවෙලා බොඳවෙලා නොපෙනී ගියේ අපේ ප්‍රථම ප්‍රේමයයි.


අවංකව ආදරය කළ පෙම්වතෙකුගේ හිත ශෝකබරිතව කතා කරනවා. රංජිත් රූබසිංහ මේ ගීය ලියුවේ රජරට සේවයේ වැඩකරන අතරේ. ඔහු තවමත් ඉන්නේ රජරට සේවයේ.


මම මේ ගීය ලියුවේ අසූව දශකය මුල. දිවුල්ගනේගේ සරල ගී වැඩසටහනක්‌ රජරට සේවයේ තිබුණා. එදා ඔහු එක්‌තරා ගීයක්‌ ගයන්න තෝරාගෙන හිටියා. ඒ ගීයේ තනුව නාලක අංජන කුමාරගේ. නාලකට ඒ දවස්‌වල වයස අවුරුදු දහසයක්‌ විතර ඇති. පාසල් සිසුවෙක්‌ වුණත් නිතර රජරට සේවයට එනවා. ඉතින් මේ තෝරාගෙන තිබූ ගීයේ පදමාලාවට දිවුල්ගනේ කැමැති වුණේ නෑ. රංජිත්, නාලකගේ මේ මෙලඩි එකටම ලස්‌සන වචන ටිකක්‌ දාමු කියලා දිවුල්ගනේ මට කිව්වා. එක්‌වෙන්න බැරිවුණ පෙම්වතුන් දෙදෙනෙක්‌ ගැන විරහ ගීයක්‌ හදමු කියා කිව්වා. මම ලියුවා. ඒ මගේ ළඟම මිතුරෙකුට වූ සත්‍ය අත්දැකීමක්‌ පාදක කර ගනිමින්.


මගේ මිතුරා සහ මම ඒ කාලේ කාර්මික විද්‍යාලයක ඉගෙන ගත්තා. ඔහුට රස්‌සාවක්‌ තිබුණේ නෑ. ගැහැනු ළමයෙක්‌ එක්‌ක යාළු වුණා. ඒ ඔහුගේත් ඇයගේත් කුලුඳුල් පෙම. මම තමයි උදව් කළේ. ඔහු ඇයට මා ලවා කවි ලියවා ගත්තා. ඔහු ඇත්තටම ඇයට ආදරය කළා.


ඔබට පුදන්නට පූජාසනයේ

නොකිලිටි මල් පිපුණිද ළඳුනේ

පෙති ගිලිහී ගිය පරසතු කුසුමක

සුවඳ කොහේ කොතැනද රැඳුණේ


ඈ ඔහු දමා ගියා. දෙමව්පියන්ගේ විරෝධතාව නිසාම. හේතුව පෙම්වතාට රැකියාවක්‌ නැතිකම. ඇයට ඔහුගෙන් වෙන් වෙන්න හිත දුන්නෙම නැහැ. ඒත් දෙමව්පියන්ට අකීකරු වෙන්නේ කොහොමද දෙදෙනාගේ ආදර සබඳකම හොඳින්ම දැන සිටි පවුලේ ඥතියකු එක්‌කම අවසන ඈ විවාහ වුණා. පෙම්වතාට පුද කළ පළමු පෙම හරියට නොකිලිටි මලක්‌ වගේ. ඒත් ඒ නොකිලිටි මල ප්‍රේම පූජාසනයෙන් ආයෙත් අරගෙන තවකෙකුට පුදන්න පුළුවන්ද තවකෙකුට පුදන්නට නොකිළිට මල් පිපෙනවද... ඇය තවකෙකුට පිදුවේ පිවිතුරු වූ පළමු පෙම නොවේ. පෙති ගිලිහිලා විසිරී ගිය පරසතු මලක සුවඳක්‌ දැනෙනවද.. එදා ඔහුට පිදූ නොකිලිටි මල් සුවඳ කෝ කොතැනද...


මගේ මිත්‍රයා රට හැර ගියා. ඇයට දරදඬු තීරණයක්‌ ගන්න ඔහු ඉඩ තැබුවේ නෑ. දෙමව්පියන්ගේ කැමැත්තට අකමැත්තෙන් හෝ එකඟ වෙන්න. ඈ තීරණය කළා දෙමව්පිය නෑ සබඳකම් නිසා ඇයට කරකියාගන්න දෙයක්‌ නැතිවුණා. ඒත් අද ඇය හොඳින් පවුල් ජීවිතය ගත කරනවා.


ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයෙ තුංමං සල හමුවේ

බලා හිඳිනු මිස හඬා වැටෙන්නට

කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ


අපි ආ මග වැරදුණා. තුංමංසලක අපි තුන්දෙනා බලා ඉන්නවා. පළමු පෙමට ආයුබෝවන් කියා. මා සිටි මංසලෙන් මා ඉවත් වෙන්නම්. තවත් හඬන්නට මගේ ඇස්‌වල කඳුළු නැහැ. මං ඔබට සමුදෙන්නම්. මගේ හිතේ වෛරයක්‌ නෑ.


මේ ගීයට එදා රජරට සේවයේ වාදක මණ්‌ඩලය විසින් පසුබිම් සංගීතය සැපයුවා.


(උපුටා ගැනීම - ගීයක මිහිර)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...