Wednesday, October 28, 2020

වන්නි වන පෙතේ..

වන්නි වන පෙතේ..

ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..

වෙසතුරු සදිසි පියවරුන්..

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..


කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා

ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..

ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී

බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..


වන්නි වන පෙතේ...


කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල

මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද

දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..


වන්නි වන පෙතේ...


ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය : රෝහණ වීරසිංහ


සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "වන්නි වන පෙතේ” ගීතයට පසුබිම් වූ හේතුව පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්..... 

අපේ තාත්තා බොහොම පිටිසර අමුඩේ ගහපු කොන්ඩේ බැඳපු ගොවියෙක්. අපේ ගෙදර ලොකු ඉස්තෝප්පුවක් තිබුණා. එතන වැල් ඇඳක් තිබුණා. පොඩි මිටි බංකුවක් තිබුණා. හවසට අයියලාගේ යාළුවො ආවහම එකතුවෙලා දාන් අදින්නේ පංච කිරන්නේ ඔක්කොම ඔය ඉස්තෝප්පුවේ තමයි. අපේ ගේ මිදුල උඩින් මිනිස්සු ගියා. එතන පාර නෙමෙයි. පාර වෙනම තියෙනවා. පාර ටිකක් දුරයි. ඒක හින්දා මිනිස්සු ලේසියට මිදුල උඩින් තමයි යන්නේ. ඒක අපේ ගෙවල්වල කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නැහැ. අද වාගේ වැටවල් ගහගෙන තාප්ප බැඳගෙන ගෙවල් ඇතුලේ බන්ධනාගාරගත වෙලා හිටියේ නෑ අපේ ගම්වල මිනිස්සු. 

ඉතිං ඔහොම යනකොට අර වැල් ඇඳ උඩ ඉඳන් බත් කන තාත්තා පාර දිගේ යන අයට තාත්තා කතා කරනවා. සිරිසේන ළමයෝ වරෙන්කො බත් ටිකක් කන්න. ඒ තාත්තගේ හැටි. පුරුද්දක්. ඇත්තටම ඒක මේ අපේ තාත්තගේ විතරක් නෙමේ අපේ ගම්වල තාත්තලාගේ පුරුද්දක් ඒක. අපේ ගෙදර නව දෙනෙක් හිටියා අම්මයි තාත්තයි එක්ක. අපේ අම්මා පහළොවකට විතර උයනවා. ලොකු බත් හැලියක් තම්බනවා. කොස් ටිකක් කූරු ගාලා හාල් මැස්සන් හොද්දක් හදලා එච්චර තමයි ආහාරවේල. නැත්නම් මඤ්ඤොක්කා ටිකක් කූරුගාලා කරවල හොද්දක් හදනවා. කව්රුහරි අමුත්තෙක් ආවොත් පරිප්පු ටිකක් හදලා පපඩමක් බදිනවා. එහෙම නැත්නම් සැමන් එකක් කඩෙන් අරං ගිහිල්ලා හදනවා. ඒ ඇරෙන්න වෙන නෑ. හැම තැනම එක වගේ ආහාර වට්ටෝරු තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. හුඟක් වෙලාවට දෙතුන් දෙනෙක් වරදින්නේ නෑ ඉතිං. තාත්තා කුඹුරට ගියත් අම්මා ඇඹුල අරං එනකොට තාත්තා වක්කඩෙන් අත පය හෝදගෙන කමතට ගොඩවෙලා අහල පහල ඉන්න එක්කෙනා දෙන්නට කතා කරනවා තේ ටිකක් බොන්න වරෙන්, බත් ටිකක් කන්න වරෙන් කියලා. එහෙම දීලා කාලා පුරුද්දක් තියෙන අය තමයි අපේ ගම්වල හිටියේ. වෙස්සන්තර පාරමිතාව පුරනවා වගේ එහෙම එකක් තමයි මං දැක්කේ. 

ඔහොම ඉඳලා තාත්තා අන්තරා වෙනවා. මම එතකොට කුලී ගෙදරක. දරුවෝ පාසල් යනවා ආණ්ඩුවේ රස්සාවක් කළේ. ඒ වැටුපෙන් තමයි ජීවත්වෙන්නේ. මාස භාගයක් යනකොට පඩිය ඉවරවෙනවා. අපි බොහොම සීමාසහිත ක‍්‍රමයකට ජීවත්වෙන්න ඕන. ඉතිං මං තාත්තගේ මළ ගෙදරට ගිය වෙලාවේ ගමේ හිටපු හැමෝම කියපු දෙයක් මට ඇහුනා ”අනේ ඉතිං ගමටම කන්න දුන්න මනුස්සයනේ මේ” කියලා. ඒ කටයුතු ඉවරවෙලා ඇහැලියගොඩින් බස් එකට නැගල මං එනකොට දෝංකාර දුන්නේ ඔය වචන ටික විතරමයි. එතකොට මට මතක් වුණා ගමටම කන්න දුන්න මනුස්සයගේ පුතා කොළඹට වෙලා මාස භාගයක් පඩියෙන් ජීවත්වෙලා ඉතුරුබාගේ ණය වෙලා සමාජයේ කටයුතු කරගෙන ළමයින්ගේ කටයුතු කරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා. අපේ අම්මලා තාත්තලා කරපු දේවල් අපට කරගන්න බෑ. අපේ අම්ම්ලාට තාත්තලට වගේ අපිට දාන පාරමිතාව පුරන්න හැකියාවක් නෑ. ඒ හැඟීම තමයි තාත්තාගෙන් මරණින් පස්සේ මං ඒ ගීතයෙන් ලිව්වේ. පුරුදු පරිදි ගීතය ලියලා සුනිල්ට දුන්නා මං. සුනිල් ඒක රෝහණට දීලා සංගීතය නිර්මාණය කරලා ගායනා වුණා. අද දක්වාම ඒ ගීතය මිනිස්සු අතර තියෙනවා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...