Wednesday, October 28, 2020

වන්නි වන පෙතේ..

වන්නි වන පෙතේ..

ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..

වෙසතුරු සදිසි පියවරුන්..

අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..


කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා

ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..

ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී

බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..


වන්නි වන පෙතේ...


කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල

මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද

දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..


වන්නි වන පෙතේ...


ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය : රෝහණ වීරසිංහ


සුනිල් එදිරිසිංහයන් ගායනා කරන "වන්නි වන පෙතේ” ගීතයට පසුබිම් වූ හේතුව පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්..... 

අපේ තාත්තා බොහොම පිටිසර අමුඩේ ගහපු කොන්ඩේ බැඳපු ගොවියෙක්. අපේ ගෙදර ලොකු ඉස්තෝප්පුවක් තිබුණා. එතන වැල් ඇඳක් තිබුණා. පොඩි මිටි බංකුවක් තිබුණා. හවසට අයියලාගේ යාළුවො ආවහම එකතුවෙලා දාන් අදින්නේ පංච කිරන්නේ ඔක්කොම ඔය ඉස්තෝප්පුවේ තමයි. අපේ ගේ මිදුල උඩින් මිනිස්සු ගියා. එතන පාර නෙමෙයි. පාර වෙනම තියෙනවා. පාර ටිකක් දුරයි. ඒක හින්දා මිනිස්සු ලේසියට මිදුල උඩින් තමයි යන්නේ. ඒක අපේ ගෙවල්වල කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නැහැ. අද වාගේ වැටවල් ගහගෙන තාප්ප බැඳගෙන ගෙවල් ඇතුලේ බන්ධනාගාරගත වෙලා හිටියේ නෑ අපේ ගම්වල මිනිස්සු. 

ඉතිං ඔහොම යනකොට අර වැල් ඇඳ උඩ ඉඳන් බත් කන තාත්තා පාර දිගේ යන අයට තාත්තා කතා කරනවා. සිරිසේන ළමයෝ වරෙන්කො බත් ටිකක් කන්න. ඒ තාත්තගේ හැටි. පුරුද්දක්. ඇත්තටම ඒක මේ අපේ තාත්තගේ විතරක් නෙමේ අපේ ගම්වල තාත්තලාගේ පුරුද්දක් ඒක. අපේ ගෙදර නව දෙනෙක් හිටියා අම්මයි තාත්තයි එක්ක. අපේ අම්මා පහළොවකට විතර උයනවා. ලොකු බත් හැලියක් තම්බනවා. කොස් ටිකක් කූරු ගාලා හාල් මැස්සන් හොද්දක් හදලා එච්චර තමයි ආහාරවේල. නැත්නම් මඤ්ඤොක්කා ටිකක් කූරුගාලා කරවල හොද්දක් හදනවා. කව්රුහරි අමුත්තෙක් ආවොත් පරිප්පු ටිකක් හදලා පපඩමක් බදිනවා. එහෙම නැත්නම් සැමන් එකක් කඩෙන් අරං ගිහිල්ලා හදනවා. ඒ ඇරෙන්න වෙන නෑ. හැම තැනම එක වගේ ආහාර වට්ටෝරු තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. හුඟක් වෙලාවට දෙතුන් දෙනෙක් වරදින්නේ නෑ ඉතිං. තාත්තා කුඹුරට ගියත් අම්මා ඇඹුල අරං එනකොට තාත්තා වක්කඩෙන් අත පය හෝදගෙන කමතට ගොඩවෙලා අහල පහල ඉන්න එක්කෙනා දෙන්නට කතා කරනවා තේ ටිකක් බොන්න වරෙන්, බත් ටිකක් කන්න වරෙන් කියලා. එහෙම දීලා කාලා පුරුද්දක් තියෙන අය තමයි අපේ ගම්වල හිටියේ. වෙස්සන්තර පාරමිතාව පුරනවා වගේ එහෙම එකක් තමයි මං දැක්කේ. 

ඔහොම ඉඳලා තාත්තා අන්තරා වෙනවා. මම එතකොට කුලී ගෙදරක. දරුවෝ පාසල් යනවා ආණ්ඩුවේ රස්සාවක් කළේ. ඒ වැටුපෙන් තමයි ජීවත්වෙන්නේ. මාස භාගයක් යනකොට පඩිය ඉවරවෙනවා. අපි බොහොම සීමාසහිත ක‍්‍රමයකට ජීවත්වෙන්න ඕන. ඉතිං මං තාත්තගේ මළ ගෙදරට ගිය වෙලාවේ ගමේ හිටපු හැමෝම කියපු දෙයක් මට ඇහුනා ”අනේ ඉතිං ගමටම කන්න දුන්න මනුස්සයනේ මේ” කියලා. ඒ කටයුතු ඉවරවෙලා ඇහැලියගොඩින් බස් එකට නැගල මං එනකොට දෝංකාර දුන්නේ ඔය වචන ටික විතරමයි. එතකොට මට මතක් වුණා ගමටම කන්න දුන්න මනුස්සයගේ පුතා කොළඹට වෙලා මාස භාගයක් පඩියෙන් ජීවත්වෙලා ඉතුරුබාගේ ණය වෙලා සමාජයේ කටයුතු කරගෙන ළමයින්ගේ කටයුතු කරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා. අපේ අම්මලා තාත්තලා කරපු දේවල් අපට කරගන්න බෑ. අපේ අම්ම්ලාට තාත්තලට වගේ අපිට දාන පාරමිතාව පුරන්න හැකියාවක් නෑ. ඒ හැඟීම තමයි තාත්තාගෙන් මරණින් පස්සේ මං ඒ ගීතයෙන් ලිව්වේ. පුරුදු පරිදි ගීතය ලියලා සුනිල්ට දුන්නා මං. සුනිල් ඒක රෝහණට දීලා සංගීතය නිර්මාණය කරලා ගායනා වුණා. අද දක්වාම ඒ ගීතය මිනිස්සු අතර තියෙනවා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)





Monday, October 26, 2020

පුංචි සිතේ පුංචි සිනා ...

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ //


පුංචි දේට කතා වෙලා 

රණ්ඩු වෙලා ‍වෛර බැඳන්

කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා

අම්මාලාට හොරෙන් ඇවිත් 

සෙනෙහෙ සිතින් යාළු වෙලා

පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ


පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ


දෙමාපියන් කතා නැතුව 

වෛර වුණත් ඒ වාගේ

පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ

මල් වාගේ දුවේ පුතේ 

ලොකු අයටත් අඬ ගහලා

ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ


පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ ///


ගායනය – නීලා වික්‍රමසිංහ

සංගීතය – රෝහණ වීරසිංහ 

ගේය පද – කුලරත්න ආරියවංශ

නීලා වික්‍රමසිංහ ගායනා කරන "පුංචි සිතේ පුංචි සිනා" ගීතයට පසුබිම් වූ වස්තු බීජය කුලරත්න ආරියවංශයන් පැහැදිලි කරමින්... 

නීලා වික‍්‍රමසිංහගේ පළවෙනි කැසට් ඒකට ඒ ගීතය ලිව්වේ. මම හැදුනේ වැඩුනේ බෙන්තර. මේ ගම ලඳු දෙණි ඕවිටි කුඹුරු හේන් ඇළ වේලි කඳු වැටි මිටියාවත් ඔය ඔක්කෝම තියෙන ගම්මානයක්. අපේ ගෙවල් කිට්ටුව තිබුණා එක පවුලක සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තුනක්. ඉඩම් ආරවුල් වලට කට්ටිය තරහයි. හැබැයි මේ ගෙවල්වල දරුවෝ ටික අපේ ගෙවල් වලට පල්ලෙහා තිබුණ දිග වෙල් යායේ, ඉපනැල්ලේ අපිත් එක්ක සෙල්ලං කරනවා. ඉතිං අර තරහ ගෙවල්වල දුවලා පුතාලා මට මතකයි ඒ ගෙවල්වල දෙමව්පියන්ට හොරෙන් ඇවිල්ලා මේවායේ සෙල්ලම් කරනවා. දරුවන් පුංචි කාලේ දරුවන්ගේ හිත්වල මේ කුහකකම් වෛර ඒ වගේ දේවල් නෑ. ඒගොල්ලන්ගේ හිත් බොහොම පිවිතුරුයි කියන එක තේරනවා. දරුවෝ එකට ඉන්නවා. ඔන්න ඔය අත්දැකීම මට ඒ දවස්වල දැනිච්ච දෙයක්. පස්සේ කාලෙක ඕක තමයි ලිව්වේ ගීතයකට. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ කියලා ලියැවුනේ. මේකෙත් සංගීතය රෝහණ වීරසිංහයන්ගේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)  




Monday, October 12, 2020

සියාතුවේ මා මිතුරේ ...

සියාතුවේ මා මිතුරේ //

අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //

සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්

ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්

වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්

දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

සියාතුවේ...

හඞලා කුමටද මිතුරේ සියාතුවේ

හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ

ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ

ගලනා දිය අපි හැමටයි සියාතුවේ

සියාතුවේ...

ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - වසන්ත කුමාර කොබවක 

සංගීතය - රෝහණ වීරසිංහ 

සුනිල් එදිරිසිංහයන් ගයන "සියාතුවේ මා මිතුරේ" ගීතයට පසුබිම් වූ හේතුව වසන්ත කුමාර කොබවකයන් පැහැදිලි කරමින්......

විශ්වවිද්‍යාල ජීවිතෙන් පස්සේ ගුරු වෘත්තීය අවුරුදු එකහමාරක් වගේ සුළු කාලයක් කරපු මම හිතේ ආසාවට රාජ්‍ය දැව සංස්ථාවේ වෘත්තියක් තෝරා ගත්තා. එතැනදී රාජ්‍ය දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කරන ලද ව්‍යාපෘතියකට අපිව කැඳවා ගත්ත. මේ කැඳවීම ලද අය එතකොට විවාහ ජීවිතයට ඇතුල් වෙලත් නැති තරුණයෝ. අපි හය දෙනෙක් හිටියා. ඒ ව්‍යාපෘතියේ මුල්ම අවස්ථාවේදී අපිට යන්න වුණේ මඩකලපු, පොලොන්නරුව, අම්පාර, මොනරාගල වගේ ඈත පැතිවල ස්වභාවික වනාන්තරවල පිළිබඳ සමීක්ෂණ කටයුතුවලට. ඉතිං අපි දුර බැහැර ගිහිල්ලා සමහර වෙලාවට කඳවුරුවල එහෙම නැත්නම් අපි හොයාගත්ත තාවකාලික නිවහනක තමයි නතරවෙලා දිනපතා අපි කැලෑවලට යන්නේ. නිල වාහනයේ ගිහිං නතර කරලා එතනින් පස්සේ අපි පයින් යන්න ඕන. ඔහොම යනකොට අපි ගෙනියන වතුර ප‍්‍රමාණය සහ කෑම ඉවරවෙනවා. වතුර ගොඩක් ඔසවාගෙන යන්නත් බෑ හුඟක් දුර. ඒ වෙලාවට අපි ගැමි ගොවි ගෙදරකින් හරි පිරිසුදු ජලය තියෙන තැනකින් හරි තමයි ජලය සපයා ගන්නේ.

මෙහෙම එක වතාවක අපි ඈත ගොවි බිම් හරහා ගිහිං ආපහු එනකොට ගෙනිච්ච වතුර ඉවරවෙලා කට්ටියම බොහොම පිපාසයෙන් හිටියේ. වතුරත් හොයාගෙන කැලෙන් එළියට ආවම අපි වැටුණේ වැවක් පාමුල තියෙන පොඩි හේන් යායකට. ඒ හේන් යායට ආසන්නව කුඹුරක් තිබුණා. හොඳටම වියළි කාලය නිසා සරු සාරව තිබිච්ච හේන් යායත්, කුඹුරු යායත් කරවෙලා ගිහිං තිබුණා. නමුත් උඩින් පේන්නේ වැවක්. අපි ඒ ගොවි ගෙදරට ගියාම පොඩි ළමයි එළියේ සෙල්ලම් කර කර හිටියා. ගැමි, ගොවි ලියක් එළියට ආවා. බොහොම දරිද්‍රතාවයෙන් දුක්බර ජීවිතයක් ගත කරන බව පෙනුනා ඔවුන්. අපි වතුර හොයාගෙන ආවා කිව්වහම ඒ කාන්තාව විපිළිසර වෙලා මං දිහා බලලා කිව්වා මහත්තයෝ ගෙදර ඇත්තෝ තව ටිකකින් එයි කියලා. ඇය හයියෙන් කෑ ගැහුවා ඇහුනද එන්න, මේ මහත්තයලා කට්ටියක් ඇවිල්ලා කියලා. අපි බලං හිටියා දැන් ගොවි මහත්තයා එනකං. බැලූවහම අනේ එක කකුලක් නැහැ. මං හිතන්නේ මාරු වැලකට හරි වෙඩිල්ලකට හරි අහුවෙලා වෙන්න ඇති, කිහිලිකරුවකින් ඔහු ආවා. අපි වතුර ගැන ඇහුවහම ඉන්න මහත්තයෝ වතුර ටිකක් දුරින් ගේන්න ඕන කියලා කිව්වා. 

ඊට පස්සේ මේ තනි කකුලෙන් යන මනුස්සයට කියලා වතුර ගෙන්නන්නෙ කොහොමද? අපි ඇහුවා වැව එහායින් පෙනෙද්දී වතුර හිඟය මොකද කියලා. අනේ මහත්තයෝ ඔහොම තමයි වතුර මෙහෙ බෙදා හරින විදිහ. අපි ඉතිං දෙස් දෙවොල් තිය තියා කන්නලව් කරනවා. ඒ වුණාට අපිට ඉතිං වතුර ලබන්නේ නෑ හරියකට කියලා ඔහු කිව්වා. ඔය සිද්ධිය අපිව හරියට සසල කළා. අපි එනකොටත් කතා කර කර ආවේ මේ වගේ අහිංසක ගොවි ජනතාව, ජල කළමනාකරණයේ තියෙන අඩුපාඩු සහ මේ ප‍්‍රශ්නය නිසා මොනතරම් විදිහට හුදකලා වෙනවද දුක් විඳිනවද කියලා. සරුසාරව වවන්න පුළුවන් ගොවිබිම් කොයිතරම් නිකං විනාශ වෙලා යනවද. අපි අහලා තියෙනවනේ අටු කොටු පිරුණේ වැව්වලින් ආපු දියවරෙන් කියලා. ඒ වැවම තමයි මේ අදටත් තියෙන්නේ. නමුත් අද නිසි කළමනාකරණයක් නැතිකම සහ ගොවියන්ගේ ඒ අඬහැරය නිලධාරීන්ට දැනෙන්නේ නැති එකයි ප‍්‍රශ්නේ. ඉතිං මෙතන කොතන හරි අවනඩුවක් තියෙනවා. ඒ සිද්ධිය හරියට මගේ හිතේ තිබුණා. පොඩි කාලේ කතා පොත්වල අපි දැකලා තියෙනවා සියාතු කියලා ගොවියන්ගේ නම. ඉතිං මං එතනින්මයි පටන් ගත්තේ ගීතය ලියන්න. රෝහණ වීරසිංහයන් මේ ගීතයට කොතරම් ආත්ම ගත වුණාද කියනව නං ගොවියන්ගේ අඬහැරය සියාතුවේ මා මිතුරේ කියන තැන පසුබිමින් ඇසෙන අඬහැර ආකාරය සුනිල් එදිරිසිංහයන් එක්ක සමගාමී වෙමින් ගායනා කරන්නෙත් රෝහණ වීරසිංහයන්. සමාජ යථාර්ථය ගැන මා අතින් ලියැවුණු ගීත අතර මා ඉතාම කැමති ගීතයක් සියාතුවේ. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




Friday, October 9, 2020

අජානේය ස්කූටර් ...

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා

කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා

බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා

විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //


සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා

පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා

මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා

ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා


අජානේය ස්කූටර්..... 


සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා

උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා

රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා

කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


අජානේය ස්කූටර්.. //


ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය – රෝහණ විරසිංහ

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය පසුබිම පිළිබඳව අදහස් දක්වමින් "ස්කූටර් කියන වචනය ගීතයක එන පළමු අවස්ථාව අජානීය ස්කූටර් ගීතයේ මං හිතන්නේ. ඉස්සර මගේ වැඩිමල් මිත‍්‍රයෙක් හිටියා කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔහු උපාධිධාරියෙක්. ඒ කාලේ උපාධිධාරීන් හුඟක් රස්සා නැතුව හිටියා. මගේ මිත‍්‍රයා තාවකාලිකව වැඩ කළා රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. ඒකෙ මාර්ග කම්කරුවෙක්ම නෙමෙයි. කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන වැඩ මූලිකයෙක් විදිහට. උපාධිධාරියෙක් වෙලා ඔහු ඒ වැඩ කළා. නමුත් ඔහුට ගැළපෙන රැකියාවක් නෙමෙයි ඒක. එයාට විශ්වවිද්‍යාලයේ පේ‍්‍රමයක් තිබුණා. නමුත් ඒ පෙම්වතිය ඔහුට පිටුපාලා ඉහළ පැලැන්තියේ පෙම්වතෙක් හොයාගෙන යනවා. දවසක් මගේ මිතුරා අර පාරක් හදන තැනක වැඩ කරද්දී එයා දකිනවා එයාගේ පැරණි පෙම්වතිය තමන්ගේ සැමියා හෝ අලූත් පෙම්වතා සමග මෝටර් සයිකලයක නැගිලා ඔටුන්නක් වගේ හෙල්මට් එකත් දාගෙන බොහොම උජාරුවට යනවා උරහිසේ එල්ලිලා. මොහු අඳුන ගන්නවා ඇයව. ඇය මොහුව දැකලා අහක බලා ගන්නවා. ඕක තමයි සිද්ධිය. ඔය වගේ සිද්ධියක් තියෙනවා උම්මග්ග ජාතකයේ. සිරි කාලකණ්ණි ප‍්‍රශ්නය. දිසාපාමොක් ළඟ ඉගෙන ගන්නවා පිංගුත්තර කියලා දක්ෂ ශිෂ්‍යයෙක්. දක්ෂතම ශිෂ්‍යයාට හම්බවෙන තෑග්ගක් හැටියට හම්බවෙනවා දිසාපාමොක්ගේ දුව. සාම්ප‍්‍රදායික තෑග්ගක් හැටියට ඔහු භාර ගත්තත් ඔහුගේ ඇයට කිසි ආදරයක් නැහැ. ගමට යද්දී කැලෑව මැද්දෙන් බඩගිනි දැනිලා ගහකට නැග්ගම පලතුරක් කඩන් කන්න, පිංගුත්තර වහා ගහෙන් බැහැලා ඇයට බහින්න බැරි වෙන්න කටු අතු දාලා පැනලා යනවා. ඔතනින් යන වේදේහ රජු ඇය දැකලා තම බිසව කරගෙන, දවසක් දෙදෙනා උයන් කෙළියට යද්දී දකිනවා පාරේ පුරුෂයෙක් වැඩ කරනවා. ඒ තමයි පිංගුත්තර. ඔහු දැකලා ඇයට හිනා යනවා. රජතුමා ඇය නිකරුනේ හිනා වූයේ යැයි කිපෙනවා. රාජ උදහසින් ඇය බේරා ගන්නේ මහෞෂධ පඬිතුමා. ඉතිං අර මගේ මිත‍්‍රයාගේ කතාවයි ඔය කතාවයි ගලපලා තමයි ‘අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා’ ගීතය ලිව්වේ.

සිය පෙම්වතිය හැර යාමේ දුකට වඩා ඇයගේ නව කල්ක්‍රියාව හේතුවෙන් හටගන්නා සංවේගය පෙම්වතා ඉදිරිපත් කරයි. අජානේය අශ්වයා යනු බෞද්ධ සාහිත්‍යයේ යෙදෙන වචනයකි. හෙණ ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්වයන් සිවු දෙනකු පිළිබඳ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ 6,7,8 සූත්‍රවල සඳහන් වේ. එනම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා ( සීහො ච මිගරාජා ) යන සිව්දෙනාය. අජානේය අශ්වයා ශක්තිමත් බල සම්පන්න සත්ත්වයෙකි. ගීත රචකයා එම අශ්වයාට සමාන කරන්නේ මෝටර් බයිසිකලයයි. වාතයේ වේගයෙන් යන එම බයිසිකලයේ පිටුපස අසුනට වී ඔහුගේ පැරණි පෙම්වතිය නගරයේ සිරි නරඹන්නීය. ඇය එසේ සිරි නරඹනුයේ තම අලුත් පෙම්වතාගේ උරහිස් දෙකට අත්තබා මදක් එසැවීගෙනය. ඉතින් ඒ යන විලාසයට ඇගේ කිරුළ බිම වැටේදැයි පැරැණි පෙම්වතාට සැක සිතී ඇත. කිරුළ යන වචනය තුළ ගැබ්වන අර්ථය ඉතාමත් ගැඹුරුවක් පෙන්නුම් කරයි. කාන්තාවකගේ කිරුළ පතිවෘත්තාවයි. ඉතින් මේ යන ගමනට සිය පැරණි පෙම්වතියගේ කිරුළ අහිමිවේදැයි ඔහු කල්පනා කරයි.

‘සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා‘ යන වැකියෙන් ඔහු තමා ඉගෙනගත් ශිල්පය හා ලද රැකියාව විග්‍රහ කරයි. ශිල්ප හැට හතරක් ඉගෙන ගෙන පරතෙරට ගිය බව ඔහු කියයි. තමා පාරේ වැඩකරන කම්කරුවෙක් බව ඔහු නොසඟවයි. උදැල්ල ලැබී ඇත්තේ ඒ සඳහාය. තමා උගෙන ගත් ශිල්පයන්ට අනුව කම්කරු රැකියාවද හොඳින් කළ හැකි බව ඔහු පෙන්නුම් කරයි. ඔහු සිය පැරණි පෙම්වතිය නව පෙම්වතා සමග මෝටර් බයිසිකලයෙන් යන මාර්ගයේ වැඩකරමින් හිඳී. තමාගේ තුරුළට වී එකල පෙම් සුව විඳි සිය පැරණි පෙම්වතියට දැන් තමාගෙන් පිටවන දහදිය දුගඳක් වී ඇත. ඔහු එය කියන්නේ ව්‍යංගයෙනි. තම ගතින් වැටෙන දා බිඳුවලින් පිටවන දුගඳ නිසා මෝටර් සයිකලයෙන් යන පෙම්වතියට ඉවසිය නොහැකි තැන සිය ලේන්සුව ගෙන ඇය නහය වසා ගන්නීය. එයද විලවුන් සුවඳ තැවරූ ලේන්සුවකි. රසික හද කම්පනය කරවන සුලු වාක්‍ය ඛණ්ඩ යොදා ගනිමින් රචකයා පෙම්වතියගේ පිටුපෑම විග්‍රහ කරයි.

ඊළඟ පද පෙළෙහි ඔහු උපමාවක් භාවිතා කරයි. ඒ උදුම්බරා මලයි. උදුම්බරා මල පිපෙන්නේ රාත්‍රී කාලයටයි. එය රෑ පුරා සුවඳ විහිදුවා යළි උදෑසන මිලිනව යයි. එබැවින් රචකයා පෙම්වතුන්ගේ සදාකාලික සිහින උදුම්බරා මලට උපමා කරයි. එවැනි උදුම්බරා මලක් සෑම පෙම්වතකුගේම සිතෙහි පිපෙන බව කියන රචකයා තමාට අහිමි වුණු පෙම්වතිය ගැන දොස් නොකියයි. ‘කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා‘ යනුවෙන් ඔහු සිය හැඟීම් ප්‍රකාශ කරන්නේ සිත හදා ගැනීමට අවැසි සියලු සාධකයන් ගෙනහැර දක්වමිනි.

ප්‍රේමයේ එක් පැතිකඩක් මනාව විවරණය කරන රත්න ශ්‍රී විජේසිංහයන් අපූරු සංකල්ප රූපයක් මෙම ගීතය හරහා විද්‍යාමාන කරයි. ප්‍රේමයේ විරහවට වඩා වැඩි යමක් මේ ඔස්සේ රසික සිත්හි ජනනය කරවීමට ඔහු සමත්කම් දක්වයි. කරුණාරත්න දිවුල්ගනේගේ මධුර හඬ ස්වරය ගීතයට ආදරණීය හා ශෝකාකූල විඳීමකට අවැසි ඉඩ හසර මනාව ලබා දෙයි.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින හා ලංකාදීප)





Thursday, October 8, 2020

කියයි මිහිරි කතා ...

කියයි මිහිරි කතා නිතර රසට ගොතා

බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා

ඔමරි කරන ලතා සුවද සමන් ලතා

ආවෙමි හද පතා හිනා වෙයන් ලතා


රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ

ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ

නුවන් බදන රුවන් දසුන

ඔබයි සොදුර සිත නළවන

සැපතකි මට ඔබේ සෙවන

එන්න දයාවී


කියයි මිහිරි කතා නිතර රසට ගොතා

බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා

ඔමරි කරන ලතා සුවද සමන් ලතා

ආවෙමි හද පතා හිනා වෙයන් ලතා


මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී

මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී

සවන පිනන මන බන්ධන

ගී අසමින ඔබට ගයන

මගේ පුන්චි පැල ඇතුලට

එන්න දයාවී


කියයි මිහිරි කතා නිතර රසට ගොතා

බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා

ඔමරි කරන ලතා සුවද සමන් ලතා

ආවෙමි හද පතා හිනා වෙයන් ලතා


ගායනය - ධනපාල උඩවත්ත 

පදරචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ 

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන 


මෙම ගීත රචනයට පසුබිම් වූ හේතුව සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විස්තර කරමින්. මගේ බිරිඳ දයාලතා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. 

අපි විවාහ වෙන්න කලින් ඉස්සරම, පුන්සිරි සොයිසාගේ "සෙව්වන්දියකට පෙම් බැන්ඳා" ගීතය ලියපු කාලේ පුන්සිරි අපේ ගෙදරට ආවාම කිව්වා සමන් අයියා ධනේටත් (ධනපාල උඩවත්ත) සිංදුවක් ලියලා දෙන්නකෝ කියලා. මං ඉතිං ගීතයක් ලියලා දුන්නා. දවසක් මේගොල්ලන්ගේ ගෙවල් කිට්ටුව පානදුරේ තිබුණා සංගීත සංදර්ශනයක්. ධනපාලත් ඒකෙ සිංදු කියනවා. මං ධනේට කිව්වා ධනේ ඔය සිංදුව පොඞ්ඩක් කියන්න කියලා. ධනපාල උඩවත්ත එදා ඒ සංගීත ප‍්‍රසංගයේදි ඒ ගීතය ගායනා කළා. ඒ ”කියයි මිහිරි කතා” ගීතය. ඒ මට දයාලගේ ගෙදරට යන්න වරම් නැති කාලේ, අර ප‍්‍රසංගයට පහුවෙනිදා මං යනකොට මෙයාලගේ ගෙවල් පාරෙන් දයාගේ අම්මා කියනවා ගෙදරට ඇවිත් කියන්න බැරි එව්වා ලවුඩ් ස්පීකර් වලින් කියෝනව කියලා. ඇය එහෙම කිව්වට කමක් නෑ ඉතිං. මොකද මං මේක මගේ බිරිඳට ලියපු ගීයක්. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)







රෑ වැඩ මුරය ...

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ

මල් විය නොවෙද මේ දියකර හරින්නේ

මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ


රෑ වැඩ මුරය ...


නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ

හද සුසුමන්ද පවනක් වී හමන්නේ

තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ

ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය: බන්දුල නානායක්කාරවසම්

සංගීතය: රෝහණ වීරසිංහ

ඇඟළුම් ක්ෂේත‍්‍රය ගැන කතා කරනකොට අදටත් ප‍්‍රමුඛව කතා කරන්නේ බන්දුල නානායක්කාරවසම්ගේ රෑ වැඩ මුරය ගීතය පිළිබඳව. අවුරුදු 35 ක් තිස්සේ මේ ගීතය එක ලෙස ජනප‍්‍රියතත්වයේ තියෙනවා. මේ සුලබ ප‍්‍රස්තුතය ගැන විවිධ ගීත ලියවුණත් ඒ කිසිවක් මේ ගීතය තරම් කතා බහට ලක්වුණේ නෑ කියන එකයි විචාරකයින් ගේ මතය.

මේ ගීතය පිළිබඳව බන්දුල නානායක්කාරවසම් අදහස් දක්වමින් "සුනිල් අයියගෙන් මට විශාල කීර්තියක් ලැබුණේ රෑ වැඩ මුරය සහ වියෝ වූ පසුවයි ගීත දෙකෙන්. කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලා ගැන අහලා තිබණනට ඒ කාලේ කොග්ගල ඇඟළුම් කර්මාන්ත පුරය එහෙම තිබුණේ නෑ. කුරණ, කටුනායක තමයි මේ කර්මාන්තයේ ළමයි අපිට දකින්න පුළුවන් වුණේ. අපි දවසක් මළගෙදරක යද්දී මහ රෑ යාමෙක මේ ළමයි කෑ කෝ ගහගෙන කර්මාන්ත ශාලාවට යනවා දැක්කා. අපි මළගෙදර ගිහිං එනකොට ඒක ඉතා නිහඬව නිසංසලව තිබුණා. ඒක ඇතුළේ කිසි සද්දයක් බද්දයක් නෑ. අපි එද්දී එතැන ටිකක් නැවැත්තුවා. එතැන සුදු බිත්තියක් තිබුණා. උඩ සිවිලිමක් තිබුණා. ඒ දෙක අතරින් නියෝන් එළිය එළියට ගලාගෙන යනවා. කර්මාන්ත ශාලාවේ ලස්සන තණ බිමේ නියෝන් එළිය විහිදිලා විසිරිලා දොරේ ගලලා ගිහිං තිබුණා. මට හිතුණා මේක ඇතුළේ මේ ළමයින්ගේ තාරුණ්‍යය පුදුම විදිහට දියවෙනවා කියලා. මේ ගීතය ජනකවි ආරට ලිව්වේ. සිංහල ජනකවි වලට මං හරි කැමතියි. කුලේ අයියයි සුනිල් ආර්. ගමගේ දෙන්නා තමයි මේ ගීතය ලියන්න පසුබිම හැදුවේ.

අතීත ජන සමාජය තුල පුද්ගල වෘත්තීය දිවිය හා බැඳුනු ජන කවි අප අසා ඇත්තෙමු.. ඔවුන් ඉන් බලාපොරොත්තු වුයේ සිය වෘත්තීය දිවියේ ඇති කටුක කටෝර, දුක්ඛිත ස්වභාවය මදක් හෝ අස්වසා ගැනීමයි. එකල ඔවුහු ස්වයන්පෝෂිත වුහ. යුගයෙන් යුගයට සියලු දෑ අලුත් වෙද්දී ආර්ථිකය සංවර්ධනය කරා ගමන් කරවීමට පාලක පිරිස් උනන්දු විය. විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති බිහිවිය. රට යම්තාක් දුරකට හෝ සංවර්ධනය වන්නට ඇත. නමුත් ඒ හා බැඳුන නොයෙක් සාමාජීය ගැටළු, පුද්ගල ජීවිතයේ සංවර්ධන ගැටළු විටින් විට අහන්නට දකින්නට ලැබිණි.

බන්දුල නානායක්කාරවසම් ගීත රචකයා මේ ගීතයෙන් සියුම්ව ස්පර්ශ කරන්නේ එවකට දැඩි කතාබහට ලක් වූ සමාජයේ තවත් වෘත්තියකි. ඒ ඇඟලුම් වෘත්තියයි. අපනයන වෙළඳ කලාප වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙද්දී ඒ හරහා රැකියා දහස් ගණනින් නිර්මාණය විය. ග්‍රාමීය සහ අර්ධ නාගරික දරිද්‍ර තාවය හේතුවෙන්ම නොයෙක් ප්‍රදේශ වලින් ශ්‍රමය මේ බිහි වන රැකියා වෙත ඇදෙන්නට විය. නගරයේ සමාජ විෂමතාවන් ගැන නොදත් ගමේ ගමේ අහිංසක යුවතියන්ද ඔවුන්ට තිබු සිහින කිහිපයක් මල්ලක දමාගෙන නගරයට ආවේ ඉන් කිහිපයක් හෝ සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. නගරයේ ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර නොවූ තැන, නගරයේ ඔවුන්ගේ කියා කිසිවෙකු නොසිටි තැන සිදු වුයේ හමු වූ, කතා කල පමණින් යමෙකුගෙන් පිහිට පැතීමයි. අතිශය ආත්මාර්ථකාමී සමාජයේ ඔවුන් රවටා ඔවුන්ගෙන් සිය වුවමනා සපුරා ගැනීමට පිරිසක් බිහි වන්නේ මෙලෙසයි. ඔවුන් මුහුණ පාන ජීවිතය රචකයා දකින්නේ මෙලෙසයි.

රෑ වැඩ මුරය අවසන්වන කණිසමට

නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට….

රාත්‍රී වැඩ මුරය නිමා කල ඇඟලුම් යුවතිය දැඩි වෙහෙසට පත්වීම නිසාම ඇගේ මුහුණ පර වී ගිය මලක් සේ දිස් වෙයි. කිසිඳු සතුටක් සිනාවක් ඒ තුල නෑ. රෑ වැඩ නිමා වී නවාතැන් බලා යන ඔවුන්ට රාත්‍රිය උදා වෙන්නේ උදෑසනයි. නින්දක් කියා සුළු විවේකයක් හෝ ඔවුන්ට ඇත්තේ උදෑසන පමණකි. එය සැබෑවටම පෙර කල පවක් ගෙවනා සේම දුකකි..

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ

මල්විය නොවෙද මේ දියකර හරින්නේ

මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ..

ඇයට මෙන්ම ඇගේ දෑඟිලි වලටද එක දිගට මැසීම හැරෙන්නට කිසිඳු විවේකයක් නැත. ඇගේ සුන්දරත්වය මැහුම් ශාලාවේ කෘත්‍රිම ආලෝකයටම වියැකී යැයි.. මේ ගෙවී යන්නේ ජීවිතයේ විඳින්නට තියන මල් වයසම නොවේද.. මැෂිමේ ශබ්දයට මුවා වී ඇගේ හදවතේ දුක නිසාම නිරන්තරයෙන්ම හඬයි.. “මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ”.. ගීතයේ පද සියල්ලෙන්ම රසික හදවත එක එල්ලයේම ස්පර්ශයට සමත් එක් පද පේලියකි.

නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ

හද සුසුමන් ද පවනක් වී හමන්නේ

තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ…

ඈ හෙලන කඳුළු සයුරක මහා දිය කන්දට සමයි.. හෙලු සෝ සුසුම් හමන සුළඟට සමයි.. නගරය තුල තමාට තමා පමණක්ම වෙයි. ඇයගේම කියා ඈට පිහිට වන්නට කිසිවෙකුත් නැත. ඇය මැෂිමක් සමග දැඩි වෙහෙස වී මේ සිදු කරන්නේ ඇඳුම් මැසීම පමණක් වුවත් ඒ පිටුපස සැඟවී ඇති ඇගේම ජීවිතයේ, ඇගේ පවුලේ අඩුපාඩු සපුරාලීම ඇගේ එකම අරමුනයි..

“ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ” ගීතය තුල ඇති තවත් විශේෂ පද පේලියකි. නිසැකවම රසික හද කම්පාවට පත් කරවන සුලුය…


(උපුටා ගැනීමකි)




Tuesday, October 6, 2020

කවිකාරියේ ...

කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා //


දෙකනේ රිදී තෝඩු ලා

නළලේ කොකුම් පාට ලා

වීණා වයා තාලෙටා

කවි ගී අසා ආවේ මා


වීණා වයා කවි ගී ගයා

අපි යන්නේ රුපියල් සොයා


කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා


හිඟමන් නොයා මාවතේ

මහදේ රැ‍ඳෙන් රූපිකා

සසරේ ගෙනා ආදරේ

අඳුරයි ඔබේ දෝතටා


දෙවි සාමිනේ මංදා අනේ

සිත මාගේ චංචල වෙලා


කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා //


ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර

සංගීතය - මහින්ද බණ්ඩාර

ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ


"කවිකාරියේ සින්දු කියනා ලඳේ" ගීතයට පසුබිම් වූ ප්‍රස්තුතය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් පැහැදිලි කරමින්.........

කීර්ති පැස්කුවෙල්ගේ හුඟක් ගීත මම ලියපුවා. ඒ කාලේ අපේ පානදුරේ ගෙවල් කිට්ටුව හරස් පාරක ගාඩි රැහේ අය ඇවිත් වාඩිලා ගෙන හිටියා. ඉතිං එතන ඉන්නවා, සුදු පාට ලස්සන නෙමෙයි, තලෙළු පැත්තෙනුත් කළු පැත්තට බර යුවතියක්. ඇය පොල් කටු වීනාව ගගහා ඔතන සිංදු කියනවා. හැන්දෑවට එහෙ මෙහෙ යනවා. මේ හුඟක් ඉස්සර. ඉතිං ඇය මා එක්ක කතා කරනවා බයෙන් බයෙන්. මට පේ‍්‍රමණීය හැඟීමක් පහළ වෙලා තිබුණේ නැහැ ඇය පිළිබඳ. නමුත් අතනින් යනකොට අර ඇය ගයන ගී අහගෙන ඉඳලා යන්න කැමැත්තක් තිබුණා. 

දවසක් දා හම්බවෙච්ච වෙලාවේ එක පාරටම ඉඳන් කිව්වා ‘සාමි අපි හෙට යනවයි’ කියලා. එතකොටයි මං දැනගත්තේ මේ ගොල්ලෝ සුමානයකට වැඩිය ඉන්නේ නෑයි කියලා. එතන කුකුලෝ එළුවෝ ඔක්කොමත් එක්ක ඉන්නේ ඔවුන්. හැබැයි හරි සුන්දරයි මේ යුවතිය. මේ සිදුවීම මගේ ඔලූවේ තිබුණා. දවසක් දා මහින්ද බණ්ඩාර කීර්තිටයි ධම්මිකාටයි ගීතයක් ලියන්න කියලා මෙලඩි එකක් මට දුන්නා. ඒ මෙලඩි එක අහනකොටම මට හිතුනේ ඒකට ගැලපෙයි කියලා අර සිද්ධිය. ඉතිං ඒ වෙලාවේ තමයි ලිව්වේ කවිකාරියේ සිංදු කියනා ළඳේ. ඉතාම ජනප‍්‍රිය වුණා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




මා වවුලන් රෑ පුරාම ...

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා

මං එනතුරු හඬා වැටෙද්දී

නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ

හොල්මන් ගැන කතා කියද්දී

මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

පද රචනය - කුලරත්න ආරියවංශ

තනුව - රෝහණ වීරසිංහ


අමරදේවයන්ගේ ”මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා” ගීතය රචනා කිරීමට පසුබිම් කාරණය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්...... 

ගමක තනිවෙච්ච අයියා කෙනෙක්ගේ ශෝකී හැඟීම් තමයි ඔය ගීතයේ තියෙන්නේ. අපේ මහ ගෙවල්වලට උඩින් තිබුණා කුරුඳු කැලෑවක්. අපිත් යාලූවෝ එක්ක යනවා දන් හිඹුටු කඩන්න. පස්සේ කාලෙක යනකොට බෙදලා දීලා තිබුණා ඉඩ කඩන් එළි කරලා කට්ටියට ඒ කැලෑව. දවසක් පරණ පුරුද්දට උඩහට කැලේට ගියාම මම දැක්කා එක ගෙදරක ඉන්නවා වයසක අයියා කෙනෙක් තනියම නිකං ගේ කෑල්ලක් අටෝගෙන. බැලූවම දැන් තනියම ඉන්නේ අම්මා තාත්තා නැතිවෙලා. මෙයා මේ හුදකලාවේ ඉන්නේ. මට පස්සේ නිකං හිතුනා ඒ චරිතය මම උනා නං මොකද වෙන්නේ කියලා. ඊළඟට දවසක් ඔය කුරුඳු කැලේ යනකොට අපේ මල්ලිව මග ඇරිලා මට මතකයි එහෙම සිදුවීමක්. ඔන්න ඔය අතීත සිදුවීම් කිහිපයක් එක්ක තමයි ඔය ගීතය ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)





ඇති දේ ඇති සැටියෙන් ...

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ //


පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ


පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ

දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ //


ඉඳ හිටි හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ


ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ

දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ //


සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..

කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..


ගායනය - ලක්ෂ්මන් විජේසේකර

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - වසන්ත කුමාර කොබවක


”ඇති දේ ලොව ඇති සැටියෙන්” ගීතය පිළිබඳව වසන්ත කුමාර කොබවක අදහස් දක්වමින්....

මම හැත්තෑව දශකයේ තමයි ගුවන්විදුලි ගීත රචනයට පෙළඹුනේ. ඉතිං ඒ කාලේ අපි ආධුනිකයෝ විදියට ගුවන් විදුලියට යනවා එනවා. ඒ කාලේ මට ජ්‍යෙෂ්ඨයින්, උගතුන් රාශියක් මුණ ගැහෙනවා. ඒ අතරින් පේ‍්‍රමකීර්ති ද අල්විස් කියන ජ්‍යෙෂ්ඨ ගීත රචකයට මම ඉතාමත්ම ආදරය වුණේ නිවේදන හැකියාව, මාධ්‍යවේදියෙක් හැටියට සහ ගීත රචනා ලෝකයේදී අමුතුම ආකාරයේ ප‍්‍රස්තුත තෝරාගෙන කටයුතු කිරීම, මටත් ආභාසයක් ලබා ගන්න පුළුවන් වූ රචකයෙක් සහ ශරීරයෙන් ඉතා කුඩා වුණාට ලියූ දේ ඉතාමත්ම ප‍්‍රබල කෙනෙක් වූ නිසා. ඔහු ඒ දවස්වල අපිව දැක්කහම හිනාවෙලා කොහොමද මල්ලි කියාගෙන යනවා. දවසක් මට මතකයි කව්රුහරි මාව ඔහුට අඳුන්වලා දුන්නහම එතුමා ”හොඳට ලියාපන්” කියන එක විතරයි කිව්වේ. එදා ඒ වචනය මට විවරණ දුන්නා වගේ. 

මෙහෙම කාලයක් ගත වෙද්දී එක දවසක උදේ මම මගේ අලූත් වෘත්තියට, රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තියට යන්න ලෑස්ති වෙනකොට, ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරවාරයේ කිව්වා නාඳුනන තුවක්කුකරුවකු විසින් පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාව ඝාතනය කරලා කියලා. පළවෙනි දවස නිසා එදා මං වෘත්තියට යන්න ඕන හින්දා ගියත් මං හැකි ඉක්මනින්ම ඇවිල්ලා හෝමාගම කටුවාන පාරේ පේ‍්‍රමකීර්ති අයියගේ ගෙදර හොයාගෙන ගියා. ප‍්‍රවීණයෝ ගණනාවක් ඇවිත් තිබුණා. ඒ කාලේ භීෂණය කියන එක තිබිච්ච මහ භයානක කාලයක්. එදා පේ‍්‍රමකීර්ති මහත්මයාගේ ආදාහනය අවසන් වුණාට පස්සේ මට මහා තනිකමක් වගේ දෙයක් දැනුනා. හරියට අපිට හිටිය පවුලේ ජ්‍යෙෂ්ඨ සොහොයුරෙක් නැතිවුණා වගේ. 

ඒ වගේම සිද්ධියක් වුණා අපි හුඟක් ආදරය කරපු විජය කුමාරතුංග රංගධරයා ගේ වියෝ වීම. මට මතකයි කොළඹ මහා දිග පෝලිම් තිබුණා එතුමාට අන්තිම ආචාරය දක්වන්න. එතුමා එක්ක මට කතා කරන්න හම්බවෙලා තියෙන්නේ එකම එක වතාවයි. මේ සිද්ධි දෙකම මට හරියට බලපෑවා, අපේ කලා ක්ෂේත‍්‍රයන් බොහොම සුවඳවත් කරන්න හිරු සඳු වගේ එහෙම නැත්නම් මල් වගේ ඉන්න හොඳ මිනිසුන් නේද මේ අපේ ලෝකෙන් උදුරා ගන්නේ කියලා. ඔය සංසිද්ධීන් ඔහොම හිතේ තිබෙද්දී දවසක් ලක්ෂ්මන් විජේසේකර මට කිව්වා එයා වැඩිපුරම ගායනා කරලා තියෙන්නේ පේ‍්‍රම ගීත නිසා වෙනත් ගීතයක් ලියන්න කියලා. ලක්ෂ්මන් විජේසේකරගේ ඇරයුමත් එක්ක මගේ හිතේ කැකෑරෙමින් තිබ්බ ඒ ශෝකය පාළුව සහ ඒ වියෝවීම් පිළිබඳ සිතුවිලි තමයි පද මාලාවක් විදිහට ලියවුණේ. මේ ගීතය ලිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. රෝහණ හොඳටම දන්නවා සමාජ යථාර්ථය පිළිබඳව ලියැවෙන ගීවලට තනු යෙදීමේදී ගීතයේ ආත්මය හොඳට විග‍්‍රහ කරලා තේරුම් අරගෙන තනු නිර්මාණය කරන්න. 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...