Wednesday, September 2, 2020

රෑ අහසේ ...

රෑ අහසේ

තරු කැට පායා දිලුනා...

මා තනි වී

සිතිවිලි සයුරේ වෙලුනා...


ඔබේ සුමුදු අත මා අත් පටලා

තරු දහසක්‌ පායා ඇති දිනයක

පියමං කෙරුවා පෙර අප දෙදෙනා

තරු කැට අතරේ රැඳී දිලෙනවා

සිතට දැනෙනවා...


තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා

සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරුකැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා...

පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල

සංගීතය - ආත්මා ලියනගේ

ගායනය - ආත්මා ලියනගේ

තරු පායා ඇති රැයක නිසොල්මනේ මොහොතක්‌ අහස්‌ කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක්‌ වගේ. එහෙමත් නැතිනම් මල්වත්තක්‌ වගේ. අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා.

කෙතරම් සුන්දරද තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්. සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි.

මේ තරු කැටවල සුන්දරත්වය විඳි කිවියන් කී දෙනෙක්‌ කව් ගී පබඳින්න ඇත්ද? තරු දිලෙන රැයක නුබ කුස දෙස බලාසිටිද්දී සොබා දහම කෙරෙහි හිත තුළ ඇති වන බැඳීම කොතෙක්‌ දැයි කියා නිම කළ හැකිද.

රෑ අහසේ

තරු කැට පායා දිලුනා.......

මා තනිවී

සිතිවිලි සයුරේ වෙලුනා........

තරු කැට පායා දිලෙන රැයක තනි වූ සිතකට දැනෙන දැනීම්, හැඟෙන හැඟුම් ගැන කවර කතාද. එවන් මොහොතක තනි වූ සිතක්‌ සිතිවිලි සයුරේ එබී, කිමිදී, වෙලී ලබනා සැනසුම අතිශය සෞන්දර්යාත්මක නොවේද?

ආත්මා ලියනගේට මේ ගීතය ලියා දුන්නේ කුඩා කල පටන්ම ඔහු හා ඇසුරු කළ මිතුරෙක්‌. හේ ප්‍රේමලාල් උඩුමුල්ල. ඉතා සරල පදමාලාවක්‌. නමුත් ඒ තුළ මොකද්දෝ සුන්දර බවක්‌ සැඟවී තිබෙනවා. ආත්මාගේ ගැඹුරු මෙන්ම සංයමයෙන් යුත් හඬත් ඒකට හේතුවක්‌ වෙන්න ඇති.

ඔබේ සුමුදු අත මා අත් පටලා......

තරු දහසක්‌ පායා ඇති දිනයක

පියමං කෙරුවා පෙර අප දෙදෙනා

තරු කැට අතරේ රැඳී දිලෙනවා

සිතට දැනෙනවා

මේ පෙම්වතා තරු පිරි රැයක තනිව සිතිවිලි සයුරක නිමග්නව සිටිනවා.

ඔහුට සිහිපත් වෙනවා. ආදරබර පෙම්වතිය සමග ගත කළ ජීවිතය. දෙදෙනා අතිනත පටලාගෙන තරු පිරි රැයක ඇවිද ගිය හැටි. ඒ මතකය ඔහුට අහසේ තරුකැට අතරින් පෙනී නොපෙනී යනවා. එදා ඇය හා විඳි ආදරයේ මිහිරියාව අදත් ඔහුගේ සිතට දැනෙනවා.

දවසක්‌ ආත්මා බොක්‌ස්‌ ගිටාරයත් අරගෙන ගල්පාත රබර් වත්ත මැද තියෙන අපේ මහගෙදරට ආවා. ඒ මට කියලා සිංදුවක්‌ ලියාගන්න. ඔහු ගිටාරය වැයුවා. එක දිගටම මට වචන ගලාගෙන ආවා. මා අතින් ලියුවුණු පළමු ගීය. රෑ අහසේ නිර්මාණය වුණේ ඒ විදිහටයි. ප්‍රේමලාල් උඩුමුල්ල ගීතය ජනිත කළ හැටි පැවැසුවා.

මම ආත්මාට තවත් සින්දු පහක්‌ විතර ලියුවා. ඒත් ඒවා ඔහු විසිකළා. මම යළි ඒවා අහුලා ගත්තා. දැන් ඒ ගී අඩු පාඩු හදමින් යළි නිර්මාණය කෙරෙනවා.

තරු එළියක්‌ වී දෙනෙනට වැටිලා

සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා....

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරු කැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා.

මේ තරුද සමගින් සඳ පායා ඇති රැයක්‌. තරු එළියෙන් ඔබේ මුහුණ වැහිලා. චන්ද්‍ර කාන්තියෙන් ඔබේ මුහුණ සේදිලා පායා ඇති තාරුකා මා මතකයට නංවන්නේ ආදරණීය හැඟුමන්. ඒ ඔබත් මමත් ප්‍රේමයෙන් වෙලිලා පියමං කළ ආකාරයයි.

තරු කැට පායා දිලෙන ආකාශය දෙස බලා සිටිමින් සිතිවිලි සයුරක වෙලි සිටින මේ පෙම්වතා එක්‌කෝ ප්‍රේමයෙන් පරාජිත වූවෙක්‌ විය හැකියි. එහෙමත් නැතිනම් සිය බිරිය පෙම්වන්තියකව සිටි කාලයේ ඇය සමග ආදරය කළ හැටි සිහිපත් කරන්නෙකුද විය හැකියි.

ගී පද රචකයා ප්‍රේමලාල් වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන නිලධාරියෙක්‌. අවුරුදු තිස්‌පහක්‌ විතර පැරැණි මිත්‍රයා ආත්මා වෙනුවෙන් යළි ගී ලිවීමට දැන් ප්‍රේමලාල් සූදානම්.

රෑ අහසේ ගීතයට ලැබුණු ප්‍රතිචාරය නම් මම දන්නේ නැහැ. ළඟදී ආධුනික තරු ප්‍රසංගයකදී මේ ගීය තරුණයෙක්‌ ගැයුවා. මට සතුටක්‌ දැනුණා. ආත්මා කියනවා මේ ගීයට හුඟ දෙනෙක්‌ කැමැතියි කියලා. 

(උපුටා ගැනීම - දිවයින මීවිත)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...