Wednesday, April 7, 2021

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ...

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//


මගෙ සමරු පොතේ රෝස පිටු සොයා

මුතු අකුරු පේළියක් ලියු ඔයා ..//

සිහිවටනයක් ලෙසින් තවත් තියේ

සමනල පියාපතක් ද ජීවිතේ


නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ


සිත දුරක ගියා ආදරේ සොයා

මුතු කඳුළු බිංදුවක් ගලා ගියා

සමු ගැන්ම වේදනාවකී ලොවේ

මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ


නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ

රතු රෝස මලක පෙති හැලී තියේ

මට නපුරු වුණේ ඇයි දයාවියේ

මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - ධර්මරත්න පෙරේරා

තනුව හා සංගීතය - නිමල් ජයකොඩි


නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ” ජනප‍්‍රිය ගීත කලාවේ සන්ධිස්ථානයක්?


ධර්මරත්න පෙරේරා මහතා අදහස් දක්වමින් "දවසක් මම ගියා අපේ යාළුවෙක්ගේ විවාහයකට අත්සන් කරන්න. මේ යාළුවා ගෑනු ළමයෙක්. ඇයගේ පොඩි පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා කෙනෙක් එක්ක. නමුත් එයාම හිතලා මේක ජයගන්න බෑ, ගෙදරින් විරුද්ධ වෙයි කියලා, ඇය ඒ සම්බන්ධය නවත්තලා වෙනත් කෙනෙක් එක්ක තමයි විවාහ වුණේ. ඉතිං අපේ පත්තරේ පත්තර යාළුවොත් ගියා මේ විවාහ උත්සවයට. ගිහිල්ලා අත්සන් කරන්න තිබුණ නිසා මං අත්සන් කරලා එහෙම ඉන්නකොට සතුටු සාදය වෙලාවේ කවුරුහරි මගේ යාළුවෙක් ඇවිල්ලා ඇහුවා ”කොහොමද දැන් අර පරණ මිත‍්‍රයා මෙතෙන්ට ආවොත් එයා මොනවා අහයිද” කියලා. මං ඉතිං එක සැනින්ම කිව්වා ”මට නපුරු වුණේ ඇයි දයාවියේ” කියයි කියලා. මට ඒක එක පාරටම කටට ආවා. කට්ටිය හිනාවුණා. මට හිතට ඇල්ලූවා ඒ වචන පෙළ. මං ගෙදර එනකොටත් මතක් කරන් ආවා තවත් දේවල්. කොහොම හරි එදා ? මං ඔය ගීතය ලිව්ව. ලියලා ඒක ඉතිං තිබුණා මං ගාව. සමහර ගායකයොත් ඕක දැක්කා, මට හොඳට මතකයි. ඕක බැලූව දැක්ක අය ඔය ගීතය මඟ ඇරලා ගියා. මං ඉතිං කාටවත් කියන්න ගියෙත් නෑ ඕක කියන්න කියලා.


එතකොට ඒ ගීතය සනත් නන්දසිරිට ලබා දුන්නේ?


ඔහොම ඉන්නකොට සනත් අයියා කැසට් එකක් කරන්න අන්තිම ගීතය මට වෙන්කරලා ලියන්න කියලා තිබුනා. මනෝජ් පීරිස්ට කියලා තිබුනා ධර්මෙට මේ පණිවිඩ තිබ්බා තාම නෑ මෙන්න මේ පණිවිඬේ කියන්න සිංදුව ගැන කියලා. පස්සේ මනෝජ් තමයි මට ඔෆිස් එකට ඔය පණිවිඩේ කිව්වේ. ”අන්න අර සිංදුවක් පරක්කුයි, සනත් අයියා කිව්වා ධර්මේ අයියට සිංදුවක් එවන්න කියලා. බලනකොට මං අමුතුවෙන් ලියන්න ඕනෙත් නෑ, මටම හිතුනා මේ සිංදුව සනත් අයියට හරියයි කියලා. මම ගිහිල්ලා දුන්නා සනත් අයියට. දුන්නහම සනත් අයියා මේක අපි දැන්ම දෙමු කියලා නිමල් ජයකොඩි සංගීතඥයාට කතාකලා. හුඟක් අය ඒක දන්නේ නෑ. සංගීත නිර්මාණය නිමල් ජයකොඩිගේ බව. ඔහු අද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ හුඟක් ඉහළ තනතුරක් දරණ කෙනෙක්. නිමල්ට ටෙලිෆෝන් එකෙන් ගීතයේ වචන දුන්නේ. නිමල් ටිකක් දුර ඉන්නේ. එයත් කව්රුහරි යාළුවකුගේ ගෙදර ඇවිල්ලා තමයි මේ වෙලාවට සනත් අයියා කතා කරනවා කියලා ඒ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. මං ඉතිං ඇහුවා නිමල් කොහොමද මේ මෙලඩි එක දැම්මේ කියලා. ”අනේ අයියේ මුකුත් නෑ, මට මුල වචන ටික දැක්කහම ඉන්ටර්ඩක්ෂන් මියුසික් ඔක්කොම මතක් වුනා”, ඉන්ටර්ඩක්ෂන් මියුසික් එක හදලා ඉවරයි කිව්වා ගෙදර යනකොට. හිතන්න බැරි ජනප‍්‍රියත්වයක් අරගෙන ආවා. මං හිතනවා හරි මිහිරියි හරි නැවුම් ඒ තනුව. සංගීතය ඇහෙනකොටත් වචන මතක් වෙනවා. ඒ තරම් ජනප‍්‍රිය වුනා ඒ ගීතය. නිමල් ලක්ෂපතිආරච්චි මං අඳුනගෙන හිටියෙත් නෑ. නමුත් දවසක් කතා කරලා මට කිව්වා ”මචං මට මේ සිංදුව හම්බුනා, මේක අනිවාර්යයෙන්ම හිට් එකක් වෙනවා” කියලා. තව දෙයක් කියන්න ඕන. මේක සිරසෙන් තමයි ජනප‍්‍රිය වුනේ හුඟක්. ඊට පස්සේ තමයි අනිත් මාධ්‍ය මේක හොයලා ප‍්‍රචාරය කරන්න ගත්තේ.


(උපුටා ගැනීම යුගන්ති යශෝධරා /දිවයින)




Tuesday, April 6, 2021

සුදෝ පොඩ්ඩක් අඬන්න ...

සිනහවයි කඳුළයි සදා

ලෝකයේ බල දෙක මහා

සිනාසී හැඬුවත් හඬා

සිනහ පෑවත් එක තමා


සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න ....//


ඔයා හෙළු කඳුළැලි අගේ

ගලන විට කම්මුල් දිගේ ...//

දිමුතු මුතු වාගෙයි පෙනෙන්නේ

ලස්සනක් නැහැ ඔය වගේ


සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න


බොරු කියා ඔබ හැඬෙව්වත්

ළපටි හදවත රිදෙව්වත් ....//

මගේ ආලය මමයි දන්නේ

නැහැ වෙනස්කම් සිතින්වත්


හො හෝ

සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න


රත්තරන් අත් දෙක තබා

අඬන විට ඔබ ඉකි ගසා ..//

මගේ ආලය තවත් වැඩිවෙයි

තවත් අඬවමි බොරු කියා


සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදියි

කඳුළු බිඳුවක් හෙළන්න ....//


ගායනය - මොරිස් දහනායක

පද - සිරිල් ඒ. සීලවිමල

සංගීතය - පැට්‍රික් දෙනිපිටිය

හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaica Farewell ගීයෙන් උපුටා ගෙන ඇත.


හැරී බෙලාෆොන්ටේ 1957 දී නිකුත් කළ ඇල්බමයකට ගැයූ ජැමේකියානු ජන ගී ආරේ ගීයකි.


මෙම ගීතයට පසුබිම් වූ කාරණය සිරිල් ඒ. සීලවිමල මහතාගේ බිරිඳ වන අනුලා අබේනායක මහත්මිය අදහස් දක්වමින් "ඔය මොරිස් දහනායක ගයන ”සුදෝ පොඞ්ඩක් අඬන්න” අපේ විවාහයට කලින් හදපු ගීතයක්. පැටි‍්‍රක් දෙනිපිටියගේ සංගීතය. සීලවිමල කියවලා තියෙනවලූ පත්තරේක ද කොහෙද ඔය පෙම්වතියව අඬවන හැටි ගැන පොඩි ලිපියක්. ඔහුටත් හිතුනලූ මාව පොඞ්ඩක් අඬවන්න ඕන කියලා. මුල් කාලේ ඉතිං අපිට අම්මගේ තරමක විරුද්ධත්වයක් තිබුණනේ. ඒක හින්දා ඔහු මට දවසක් කිව්වා ”දැන් ඉතිං මොනවා කරන්නද, අම්මත් කැමති නෑනේ, හිතින් අත් ඇරලා දාමු එහෙනං” කියලා හිතකින් නෙමෙයි විහිළුවට ඔහු කිව්වා. ”මට නං එහෙම කරන්න බැහැ” කියලා මට ඉතිං ඇඬුනා. ඒ ගමන මට කිව්වා ”එහෙනං තේ එකක් හදාගෙන එන්නකෝ” කියලා. මං තේ එකක් හදාගෙන එද්දී ඔහු ”සුදෝ පොඞ්ඩක් අඬන්න, හරිම ආසයි බලන්න, ඔයා ලස්සන අඬන විටදියි, කඳුළු බිඳුවක් හෙළන්න” ගීතය ලියලා තිබුණා


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)






Wednesday, March 31, 2021

උතුරු කොනේ ...

උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


කොතැනක සිටියත් ඉපැදුණු  මියයන බිම එකනේදෝ

ඒ බිම එක් වී සුරකින යුතුකම

අප සතු නේදෝ


උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා

නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා


උතුරු කොනේ නුඹ හිනැහෙන්

නඩරාජා මල්ලියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සුමනසිරි මල්ලියේ

උතුරු කොනේ නුඹ හිනැහෙන්

සෙල්ලම්මා නංගියේ

දකුණු කොනේ නුඹ හිනැහෙන්

සෙනෙහෙලතා නංගියේ


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - චන්ද්‍රා වාකිශ්ඨ

තනුව - විශාරද ගුණදාස කපුගේ


උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ලියන්න බලපෑ පරිසරය පිළිබඳ කළ විමසීමක දී චන්ද්‍රා වාකිෂ්ඨ මහතා සිය මතකය අවදි කළා.


”මගේ තාත්තා උඩරට ප‍්‍රදේශයේ වෙළෙඳ කටයුතු කළ කෙනෙක්. තලවාකැලේ තමයි බිස්නස් කළේ. තාත්තගේ කඩකාමරය අවට ඔක්කොම වගේ හිටියේ දෙමළ අය. ඒ අයයි අපියි අතර පුදුම බැඳීමක් තිබුණා. මටත් ඒ කාලේ දෙමළ කතා කරන්නත් පුළුවන්. අම්මගේ ගම මාතර. අපි මාතර ඉඳලා තලවාකැලේ යද්දි එහේ ඉන්න දෙමළ අයට මාළු ඇඹුල්තියල්, කොණ්ඩ කැවුම්, අටුකොස් වගේ දේවල් ගෙනියනවා. අපි ගියාම තාත්තගේ කඩකාමරය නිදාගන්න ඉඩමදි නිසා ඒ අවට දෙමළ අයගේ ගෙදරක තමයි නිදාගන්න සූදානම් කරන්නේ. ඉතින් ඒ අය අපි ගියාම මුරුක්කු, උළුඳු වඬේ, තෝසේ, පොල් රොටී වගේ එක එක ජාතියේ කෑම හදාගෙන එනවා. මට තාමත් ඒ සුවඳ මතක් වෙනවා. නිදාගන්න ඒ අයගේ කොට්ට පැදුරු එක්ක පෙරවන රෙදි ට‍්‍රංකා පෙට්ටි ඇතුළෙන් අරන් දෙද්දී තිබුණු සැවැන්දරා මුල් සුවඳ. ඉතින් ඒ බැඳීම මේ ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ලියන්න බලපෑවා.”

කෙසේ වෙතත් එම ගීතය මුල්වරට ජනතාව අතරට පත්වූ ආකාරය ගැන විවිධ අදහස් තිබේ. එය මුලින්ම කොළඹ සරසවියේ ‘ප‍්‍රාර්ථනා’ ගී ප‍්‍රසංගයේ දී ගායනා කෙරිණි. ඉන්පසුව එය ගුණදාස කපුගේ විසින් තෝරාගෙන ගුවන්විදුලි ගීයක් බවට පත් කළ බවට අදහසක් තිබේ. එහෙත් එය ගුවන්විදුලියේ ප‍්‍රචාරය වූවාදැයි නිශ්චිත නැත. ගීත රචක චන්ද්‍ර වාකිස්ට පවසන ආකාරයට එම ගීතය සරසවි ප‍්‍රජාවට පරිබාහිර සමාජයේ දී පළමුවෙන්ම ප‍්‍රසිද්ධියට පත් වූයේ 1977 දීය. ඒ කොළඹ නගර සභා පරිශ‍්‍රයේ පවත්වන ලද "චේ ගුවේරා" සැමරීමේ උළෙලකදීය.

”ඒක සංවිධානය කරලා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ. අද ජීවතුන් අතර නැති ජ.වි.පෙ. නායකයන් රැසක් එදා එතන හිටියා. ඉතින් එදා සමරු උළෙලින් පස්සේ තිබුණු සංදර්ශනයක දී ගුණදාස කපුගේ මහතා ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ ගීතය ගායනා කරලා තිබුණා.”

(උපුටා ගැනීම - අජන්තා එම්. ජයසේකර/ජනරල)




මිනින්දෝරු කන්තෝරුවේ ...

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික

සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද

ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන

තරහ අවසරයි යනවද දංවැල් අරගෙන


පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන

හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන

රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...


දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග

තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල

වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට

වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

සංගීතය - එච්.එම්. ජයවර්ධන

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙම ගීතය පිළිබඳව අදහස් දක්වමින් "මිනින්දෝරු කන්තෝරුව’ හරිම අපූරු අත්දැකීමක්. මම සමෘද්ධි අමාත්‍යාංශයේ සේවය කරන කාලයේ අනුරාධපුර, දඹුල්ල පාරේ සිවලාකුලම තෝඩාමඩු ගම්මානයට ගියා. අපේ රාජකාරි කටයුතු අතරතුර මට අධික තිබහක් දැනුණා. මම ඒ අසල තිබුණු ගෙදරකට ගියා වතුර ටිකක් බොන්න. ඒ ගෙදර මධ්‍යම පන්තියේ නිවෙසක්.

මේ ගෙදර එක් පැත්තක විශාල නුග ගහක් තිබුණා. මේ නුග ගහ පාමුල පහන් වැටක් ඉඳී කොට තිබුණේ හරිම පිළිිවෙළට. ඒ පහන් පැල අවට ලස්සනට මල් වවලා තිබුණා. මං එතනට යන මොහොතෙත් අසූ වියැති පුද්ගලයෙක් මේ බිම අමදිමිනුයි හිටියේ. මේ මාමණ්ඩිගෙ නම මුතු බණ්ඩා. මං මේ මාමණ්ඩිගෙන් වතුර ඉල්ලුවා. මාමණ්ඩි අපිට බඩ පිරෙන්න වතුර දුන්නා.

වතුර බීල අහවර වුණාම මං දැක්කා ලූනු වගයක් තිබෙනවා. අපි ලූනු ඉල්ලුවාම මුතුබණ්ඩා මාමණ්ඩි ලූනු වඩි දෙකක් පුරවලා දුන්නා. අපි සල්ලි දුන්නට ඒක තරහෙන් ප්‍රතික්ෂේප කළා.

මේ පහන් පැල මට දැන් ප්‍රශ්නයක්. මං ඇහුවා ‘මාමණ්ඩියේ මෙතන මොකද මෙච්චර ලස්සනට තියාගෙන ඉන්නේ’ කියලා. මේ තමයි මහත්තයෝ මගේ පවුල ඉන්න තැන කියලා මාමණ්ඩි හයියෙන් තාලයට ලස්සනට කවියක් කිව්වා.

‘කපා කොටා බටු තිබ්බටු සිඟිත්තේ

රන් මැණිකා අද නිදිදෝ කනත්තේ


මේ කවියත් එක්කම මාමණ්ඩිගේ දෑසට කඳුළු ඉණුවා.

‘මහත්තයෝ මට මගේ පවුල වෙනුවෙන් වතාවත් කොරන්ඩ ලැබෙන්නෙ තව ටික දොහයි’ මාමණ්ඩිය කිව්වේ කණස්සල්ලෙන්.

‘ඉතාම ඉක්මනට මේ ඉඩම මැනලා වෙන් කරන්න අපේ මලයගෙ දරුවො නඩුවක් දාලයි තියෙන්නේ. එතකොට මගේ පහළ ඉන්න තැන මායිමෙන් එහාට පනිනවා. ඊට පස්සේ මේ ගරු සැලකිලි කරන්ට ලැබෙන එකක් නෑනෙ මහත්තයෝ.

මුතුබණ්ඩා මාමණ්ඩිගෙ මේ කතාව මගේ හිතට ගෙනාවේ දැඩි සංවේගයක්. මේ කතාව ගීතයකට නඟන්න හොඳම තැන තමයි මිනින්දෝරු කන්තෝරුවෙ උදවිය ඉඩම මැනල මේ නුග ගහ එහා වත්තට අයිති වෙන්න විදිහට වැට ගහන තැන. මං ගීතය ලියුවා.

මුලින්ම ලියුවේ ‘සරුව ජනෙල් කන්තෝරුවෙ මූලාදෑනි ටික’ කියලා. සරුව ජනෙල් කිව්වේ ‘සර්වේ ජර්නල්’ කියන එක. නමුත් දිවුල්ගනේගේ ඉල්ලීම පිට හැමෝටම දැනෙන මිනින්දෝරු කන්තෝරුව කියලා යෙදුම භාවිත කළා.

(උපුටා ගැනීම - සරසවිය චතුර ගීතනාත් බණ්ඩාර) 




මිනිසා ...

මිනිසා

මරණ තුනක් ඇති මිනිසා

බලා සිටී

නිරුවත් දෑසින්

බලන්න කන්‍යාවී


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිඳිද්දී

සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

වයන්න වීණා

කන්‍යාවී


නියඟලා මල් පාට දේදුණු

දෙබෑ කර එන ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා

බලෙන් පුබුදන

හංසයා

බලන්න නිරුවත් දෑසින්

ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කළඑළි ගන්වා

වයන්න වීණා

කන්‍යාවී


මිනිසා.....

මරණ තුනක් ඇති මිනිසා


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිඳිද්දී

සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

වයන්න වීණා

කන්‍යාවී


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - ලූෂන් බුලත්සිංහල

තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


අසුව දශකයේ දවසක ලුෂන් බුලත්සිංහල හොයාගෙන පරාක්‍රම නිරිඇල්ල එනවා ඔහුගේ සිරිමැදුර චිත්‍රපටයේ තිරනාටකයත් අරගෙන චිත්‍රපටියට ගීතයක් ලියාගන්න. තිරනාටකය කියවපු ලුෂන්ට සිහියට එනවා අපේ පැරණි කවියක්.


"වනේ ගිජිදාය දුටුවොත් වනසාය

ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය.

අතකින් කරවැලකි අතකින් දඬුබෑය

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"


චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය අනතුරකින් කශේරුව ආබාධිතයෙක් වීම නිසා කතා කිරිමේ හැකියාව නැතිවු කෙනෙක්. ඔහු සංගීතඥයෙක්. ඒ නිසාම ඔහු සංගීතයට ඇලුම් කරන සහෝදරයාගේ බිරිඳත් එක්ක සම්බන්ධතාවයක් ඇතිවෙනවා. නමුත් නිවසේ මෙහෙකාරිය තමයි ඔහුගේ සියලු අවශ්‍යතා ඉටුකළේ. ඔවුන් දෙදෙනා අතරත් සම්බන්ධයක් තියනවා. මේ තුන්කොන් අරගලය එක්ක ලුෂන් අතින් ලියවෙනවා මෙහෙම පදවැලක්.


දඩුවැල් බෑයයි සේද සළුවයි

දරා දෝතින්

මේ බලන්න සරස්වතී

මරණ තුනක් ඇති මිනිසා

බලා සිටී.

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිදිද්දී


පරාක්‍රම නිරිඇල්ලයි, කේමදාස මාස්ටර් එක්ක කාරෙකේ යන ගමන් ලුෂන් මේ පදවැල කියවනවා. පදවැල අහගෙන හිටපු මාස්ටර් කාර් එක නවත්තනවා.

"මරණ තුනක් ඇති මිනිසා බලා සිටී ඒක තමයි ලයින් එක. ලුෂන් එතනින් සිංදුව පටන් අරන් ආපහු ලියන්න."

තරමක සංකීර්ණ වුවත් සංකල්ප රූප වලින් අලංකාර වූ මේ ගීතය රචනා වෙන්නේ එහෙමයි. 


ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම, මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. 


නියඟලා මල් පාට දේදුනු

දෙබෑ කරගෙන එනු ගිරා පොව්වන්

පියුම් කැකුලක් තුඩින් පාරා

බලෙන් පුබුදන හංසයා බලන්න නිරුවත් දෑසින් 

මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය. මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.


ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කල එලි ගන්වා

වයන්න වීණා කන්‍යාවී

ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි

කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.

(උපුටා ගැනීමකි)




Monday, March 22, 2021

ප්‍රේමවතී මන්ම්පේරි ...

ප්‍රේමවතී මන්ම්පේරි තරුණිය

කතරගමේ විසූ රූප රැජිනිය

පතිවත කෙලසලා ඇගේ

මැරුවා තිරිසෙනෙක් වගේ

ඒ සිත් පිත් නොමැති උදවිය


එක්දාස් නමසීය හැත්තෑ එකේ වරුෂයේ

සිදුවුනු සිද්දියක් මේ අපේ ලංකාද්වීපයේ

රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසූ භූමියේ

උන අපරාධය පවසමි ශුද්ධ භූමියේ

කතරගමේ රූප රැජිනිය මනම්පේරි නමගත්

ඇගේ හැඩරුවට වශී උනා කාගෙත් නෙත් සිත්

ණැනවත් තරුණියක් ඇය පවුලක දුප්පත්

ඇයට සිදුවුනු දේ අමතක වෙනවද කවදත්


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


මනම්පේරි මේ සුන්දර රූප රාජිනි

ඇයව සොයා හදිසියේ ජිප් එකක් පැමිනුනි

කිසිවක් කරකියාගන්ට ඇයට බැරින්වුනි

ඒ නිළධාරින් ඈ කැඳවන් යන්න සැරසුනි

මේ ලෙස මා ගෙනයන්නට කල වරද කුමක්ද

ඒයි මන්ම්පේරි කතා නැතුව එනවාද නැද්ද

අකමැත්තෙන් වුව ඇයට යන්න සිද්ද

ඔය පාලු කුටියකට ඇය කැඳවන් ගියේ මන්ද


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


එම පාලු කුටිය තුල තරුණිය හිර කරලා

කැඳවන් ගිය සැම දෙනා එතැන රොක් වෙලා

විලි වසා සිටි වස්තරේ ගලවන්න අන කලා

විලි ලැජ්ජයි දැන් ඇය වැළපුනි කඳුලු සල සලා

ඇයව වැදු මවයි කුඩා සොයුරියයි සිහිවිය

සුකුමල මුව කමල කඳුලින් තෙත් විය

මට යන්න දෙන්න හෙලි නොකරමි කල විපැත්තිය

ඇගේ ඉල්ලීමට කන් දුන්නද මරුග කට්ටිය


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


දණ ගස්වා නිර්වස්ත්‍රව ඇඳන් යන විට

වෙඩි උන්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට

පිට පිට වෙඩි උණ්ඩ නිකුත් උනා හනිකට

හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද

ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුලු සිරුරෙන්

කලින් කපා තිබුනු වලක් තුලට හිටි ගමන්

වල වසා දමන්නට එතැනට පැමිනිනු ඇලඩින්

හිතුවය මෙලසටයි පැවසුවේ ඉකිබිඳමින්


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


අවසාන මොහොතේ උදව්වක් කරන්න පා දයා

ඔබට බුදු බව අත්වේවී ඇලඩින් අයියා

මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා

ඇයට පවසන්න ජීවතුන් අතර මෙමං නැත කියා

එපමනයි ලැබුනේ ඈට ඔහු හට පවසන්න

තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට

අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට

අවසන් හුස්ම හෙලා නෙත් පියා ගත්තා සදහට…


ප්‍රේමවතී මනම්පේරී තරුණිය ....


ගායනය, තනුව හා පදරචනය - ඇන්ටන් ජෝන්ස් 


කතරගම වන සත්ව දෙපාර්තමේන්තුවේ මුරකරුවකු වශයෙන් සේවය කළ හෙන්ද්‍රික් අප්පුහාමිගේ හා ලීලාවතී ඔබේසිංහ යන අයගේ වැඩිමහල් දියණිය වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට ලක්වන විට 22 වැනි වියේ පසුවූවාය. කතරගම විද්‍යාලයේ දීප්තිමත් සිසුවියක වූ ඇය, විද්‍යාලයේ එකල අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් සියල්ල උසස් අන්දමින් සමත් වූ අතර කතරගම ප්‍රදේශයේ සිටි උගත් බුද්ධිමත් තරුණියක ලෙසට ද, ප්‍රදේශවාසීන් අතර පිළිගැනීමට ලක්ව සිටියාය. ධර්මාචාර්ය විභාගයට මුහුණ දුන් අතර එයින්ද ඉහළින්ම සමත්ව කතරගම දහම් පාසලේ දහම් ආචාර්යවරියක ලෙස සේවය කරන්නට ද අවස්ථාව ලැබුවාය.


කතරගම අවුරුදු කුමරිය වශයෙන් අභිෂේක ලබන්නට තරම් රූසපුවකින් යුක්තව සිටි ඈ කතරගම සිට තිස්සමහාරාමය දක්වා වූ මහා මාර්ගය අසල වූ නිවසක පදිංචි වී සිටියාය. අවුරුදු කුමරිය ලෙස ඔටුණු පැලඳීමත් සමග බොහෝ පිරිමින්ගේ ඇස් ඇය දෙසට යොමුවීම නැවැත්විය නොහැකි විය. මේ අතර ප්‍රේමවතී දෙස ගිජු බැල්මෙන් බැලූ තවත් අයෙකු ද වූයේය. අවුරුදු උත්සවය දා ප්‍රේමවතීට වේදිකාවේ දී සුබ පැතූ එවකට කතරගම පොලීසියේ ස්ථානාධිපතියි. ඒ උත්සවය අවසන් වී දින කිහිපයකට පසුව ස්ථානාධිපති ප්‍රේමවතී මුණ ගැසුණේය. ඇය කෙරෙහි තමාගේ මනාපයක් ඇති බවට ප්‍රකාශ කර සිටියේය. එසේ ඔහු දින කිහිපයක්ම බලපෑම් කරමින් ප්‍රේමවතී හමුවීමට පැමිණිය ද ඇය කතරගම ස්ථානාධිපතිව ගණන් නොගත්තාය. ස්ථානාධිපති සැරසෙන්නේ තමාගෙන් අයුතු ප්‍රයෝජන ගෙන තමාව වනසන්න යැයි ප්‍රේමවතී හොඳින්ම වටහාගෙන තිබුණාය. ඇයගෙන් පිළිතුරක් නොලද තැන හොඳයි මම බලාගන්නම් යයි ස්ථානාධිපති කේන්තියෙන් පවසා පිටත්ව ගියේය.


එකල රාජ්‍ය බලය හෙබවූ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය බලයෙන් පහකර රටේ පාලන බලය සියතට ගැනීම රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ කැරලිකරුවන්ගේ ඒකායන අරමුණ වී තිබුණු අතර ඒ අනුව 1971 අප්‍රේල් මස ආයුධ සන්නද්ධ කැරැල්ලක් දියත් කරනු ලැබිණි. ඔවුහු ඒ සඳහා දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන කිහිපයකටම එකවර ප්‍රහාර එල්ල කළහ. ජවිපෙ විසින් එලෙස ප්‍රහාර එල්ල කරන ලද පොලිස් ස්ථාන අතර එක් පොලිස් ස්ථානයක් වී තිබුණේ කතරගම පොලිස් ස්ථානයයි. කතරගම පොලිස් ස්ථානයට එල්ල කළ පළමු ප්‍රහාරය යම් තරමකට සාර්ථක වී තිබුණද, එය කැරලිකරුවන් බලාපොරොත්තු වූ තරමින්ම සාර්ථක ප්‍රතිඵල අත්කර දී නොතිබුණේය. 1971 අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා කතරගම තම පාලනයට යටත්කරගෙන තිබූ කැරලිකරුවෝ හමුදාව පැමිණීමත් සමග පසුබැස්සහ. කතරගම හමුදා පාලනයට නතුවීමත් සමග යටපත්ව තිබූ කේන්තිය මතුවී ඒමෙන් පොලිස් ස්ථානාධිපති අර කැරලි නායිකාව අරගෙන යන්න ඕනෑ යයි පොලිස් භටයන්ට කීවේය.


දිනය අප්‍රේල් 16 වැනිදා වෙලාව පෙ.ව. 9 පමණ වී තිබුණි. ප්‍රේමවතී මනම්පේරි සුපුරුදු පරිදි නිවසේ රැඳී සිටියාය. අම්මාද ඇය අසලින් සිටි අතර තම නිවස දෙසට පැමිණෙන වාහනයක හඬක් ඇසුණේය. පැමිණ තිබුණේ කතරගම පොලිස් ස්ථානයේ ජීප් රථයයි. නිලධාරීහු දෙදෙනෙක් වාහනයෙන් බැස ගොස් ප්‍රේමවතීව කොණ්ඩෙන් ඇදගෙන ජීප් රථය ඉදිරියට ගෙන ආහ. ප්‍රේමවතීගේ අම්මා හිස අත්බැඳ කෑගැසුවාය. සහෝදර සහෝදරියන් හඬා වැටුණහ. නමුත් පොලිස් නිලධාරීහු ප්‍රේමවතීව අත්නොහැරියහ. ප්‍රේමවතී පටවාගත් පොලිස් රිය පැමිණ නතර වී තිබුණේ කතරගම ලංගම විශ්‍රාම ශාලාවේ හමුදා කඳවුර වෙතය. කතරගම ප්‍රදේශයේ ජවිපෙ ප්‍රධානම පෙළේ කැරලිකාර නායිකාවක් බවට ප්‍රකාශ කරමින් ප්‍රේමවතී මනම්පේරිව භාරදෙන ලද්දේ, කතරගම හමුදා කඳවුරේ ස්වේච්ඡා භටයකු හා ලුතිනන්වරයකු වන ඇල්ෆ්‍රඞ් විජේසූරිය නම් නිලධාරියාටය. අප්‍රේල් කැරැල්ලේ කතරගම ප්‍රදේශයේ ප්‍රේමවතී මනම්පේරීගේ දායකත්වය පිළිබඳව ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ලුතිනන් විජේසූරිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන ලද නමුත් අඩු තරමින් පන්ති පහට සහභාගිවී තිබේදැයි යනුවෙන් කරන ලද ආරෝපණය පවා ඇය එකලෙසම ප්‍රතික්ෂේප කළාය.


1971 අප්‍රේල් 17 වැනිදා කතරගම පූජා නගරයේදී ඇයව නිරුවත් කොට දෑත් ඔසවා මා පන්ති පහට සහභාගි වූවායි කියමින් මහ පාරේ ගමන් කරන ලෙසට කරන ලද අණ හමුවේ පවා ඇය කැරැල්ලට දායකත්වය දැක්වූ බවට කරන ලද ආරෝපණය පිළිගත්තේ නැත. ඈ වීදිය මැද්දෙන් මිනිසුන් ඉදිරියේ ලැජ්ජාව නොඉවසිය හැකිව මහමග හඬමින් ගමන් කළාය. ඇයට පිටුපසින් ගිනි අවිය මානාගෙන ලුතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙකු අණ දෙමින් ගමන් ගත්හ. අසල පිහිටි ගුණසිරි හෝටලයේ හුන් දෙතුන් දෙනෙක් ඇස් අදහාගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක් හෝ පහත් කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුක සෙබළා අනතුරු හඟවා තිබුණ ද, ප්‍රේමවතීගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැජ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි.


තුවක්කුව පත්තු විය. ප්‍රේමවතී මදක් වැනෙමින් දෑතින්ම විළිවසා ගනිමින් මොහොතක් සිට ඇද වැටී ඇඹරුණාය. නිරායුධව, නිර්වස්ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවත ද තුවක්කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක් පිටවිය. ලේ ගලාගෙන ගියේය. මහ පොළවේ හතර රියන් වළක් කැපී අවසාන වනතෙක් ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. ඇයට ප්‍රාණය තිබෙන්නට ඉඩක් ඇතැයි කිසිවෙක් නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්ම ගන්නවා පමණක් නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත්, ඇය වළදමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී තේරුම් ගත හැකි විය. නැවතත් සාහසිකයන්ගේ රයිපලය ඇගේ හිසට එල්ල විය. ප්‍රේමවතීගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිසද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය. ප්‍රේමවතීව එම ස්ථානයේදී වළ දැමිණි.

ඝාතනය සියැසින් දුටු ඩෙස්මන් වයිට් මහතාගේ තොරතුරු දැනුම්දීමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹුණේය. 1971 මැයි 24 වනදා ප්‍රේමවතී මනම්පේරිගේ මිනිය ගොඩගෙන පරික්ෂණ පවත්වන ලදී. පසුව මේ පිළිබඳ නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින්  ගාල්ලේ අපරාධ නඩු අධිකරණය වෙත යොමු කරන ලදී. ඒ අනුව මෙම නඩුව විභාග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඩී. කිව්. ඇම්. සිරිමාන්න මහතා විසිනි. පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නීතිඥ කෙනත් සෙනවිරත්න මහතාය. නඩු විභාගය අවසානයේදී පළමු විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඞ් විජේසූරිය හා දෙවන විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර 16 ක සිරදඬුවමක් නියම විය. පසුව ඔවුන් එම තීන්දුවට එරෙහිව අපරාධ අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළෝය. ඒ. සී. අලස් (සභාපති) වී. තාමෝදරම් හා ඩී. විමලරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ එය විභාගයට ගනු ලැබූ අතර එහිදී කලින් තීන්දුවම අනුමත වූ අතර සිරදඬුවම්වල වෙනසක් නොවීය.


වසර 16 ක සිරදඬුවමක් විඳිමින් සිටි විජේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මිය ගියේය. සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටිය දී 1988 - 89 භීෂණ සමයේදී ජවිපෙ සාමාජිකයන් විසින් පිහියෙන් ඇන ඝාතනය කළ බව වාර්තා විය.


“මේක මගේ කරුමෙ... මං කා එක්කවත් තරහ නෑ..” යනුවෙන් මිය යන මොහොතේ ඇය පවසා සිටි බව සඳහන්ය. මිනිසුන්ගේ පහත් ආශාවන් සපුරාලීමට අකමැති වූ අහිංසක තරුණියකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේ එලෙසිනි. ඇගේ චරිතය ඉතිහාසය පුරා සදාකල් පවතිනු ඇත. ඇයට හිමි ඒ තැන ලබාදීම යුක්තිගරුක පුරවැසියන් වශයෙන් අප සැමගේ යුතුකමයි.


(උපුටා ගැනීම - එම්. තාරික්)






Wednesday, March 17, 2021

අම්මා සඳකි ...

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී...

ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..

පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..


සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..

කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..

මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..

පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..


මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..

මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..

පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..

අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..


ගායනය : ටී.එම්. ජයරත්න

පද රචනය : මාලනී ජයරත්න

සංගීතය : රෝහණ වීරසිංහ


ඔබේ ජනප‍්‍රිය වෙච්ච පළවෙනි ගීතය ”අම්මා සඳකි” ගීතය නේද?

 

මේ ගැන මාලිනී ජයරත්න මහත්මිය අදහස් දක්වමින් "කාලයක් තිස්සේ මගේ පපුවේ තිබිච්ච ප‍්‍රශ්නයක් ඔය. අම්මලා විතරද බුදුවෙන්නේ කියන ප‍්‍රශ්නය. මොකද මම දියණියක් හැටියටත් දැක්කේ අපේ ගෙදර උනත් වටපිටාවේ ගෙවල් උනත් දරුවෝ ළංවෙලා ඉන්නේ අම්මට. තාත්තලා උදේට වැඩට ගිහිල්ලා හවස්වෙලා එන්නේ. ආදරේ තිබ්බට තාත්තට ළංවෙන්න එදා කාලේ දරුවෝ හරි බයයි. අපට අවවාදයක් දෙන්න වරදක් දැක්කොත් දඬුවම් දෙන්න එහෙම මිසක තාත්තා දවසෙම ඇත්තෙත් නැහැනේ අම්මා වගේ. ටික ටික තේරුම් යනකොට මට දැනෙනවා තාත්තා අපි වෙනුවෙන් නේද මේ උදේට ගිහිල්ලා හැන්දෑවට එන්නේ. රස්සාවකට නේද මේ යන්නේ. තාත්තා ගේන සල්ලිවලින් නේද අම්මා මේ ඔක්කොම කරන්නේ. මට හරි දුකක් දැනෙනවා තාත්තා ගැන. එතකොට මගේ පපුව තුළ නිරායාසයෙන් ලෙන්ගතුකමක් ඇතිවෙනවා. ඒකත් එක්කම මං විවාපත් වුණාම මම දකිනවා මගේ දරුවොත් මගේ පස්සෙන් තමයි. මොකද මගේ ස්වාමිපුරුෂයා සෑහෙන කාර්යබහුල කෙනෙක් වෙලා හිටියේ මගේ දරුවෝ පොඩි කාලේ. ඒගොල්ලෝත් අම්මා අම්මා ගගා දුවයි පුතයි දෙන්නා අත් දෙකේ එල්ලීගෙන තුරුල් වේවි මගේ පස්සෙන්ම තමයි. ඒ කාලේ මහත්තයට රෙකෝඩින්ග්ස් තියෙනවා, අලූත් කැසට් බිහිවෙනවා, ගුවන්විදුලි වැඩසටහන් තියෙනවා, රාත‍්‍රී කාලවලදී ප‍්‍රසංග වලට යනවා, වගේම රැුකියාවකුත් කරනවා ගුරු සේවය. එතකොට ඔහු හරිම කාර්ය බහුලයි ඒ කාලේ. කෑම ටික කන්න වෙලාවක් නෑ. ඒ කාලේ ඔහුට වඩා දරුවෝ දෙන්නම මගේ ඇසුරේ තමයි හැදෙන්නේ. එතකොට මට දැනෙනවා මං පුංචි කාලේ ලබපු අත්දැකීම මේ දරුවන්ටත් ලැබෙනවා ඇති කියලා මං පුළුවන් තරං ඒගොල්ලන්ට තාත්තගේ අගය කියලා දෙනවා. පුතේ අප්පච්චි කන්නවත් වෙලාවක් නැතුව ඉන්නේ, ඔයගොල්ලෝ නිසා තමයි මේ ඔක්කොම කරන්නේ. අම්මා උයන්නේ අප්පච්චි ගෙනල්ලා දෙන බඩු. පුංචි ලෝකෙට දැනෙන්න මම හෙමින් කියලා දෙනවා අප්පච්චිගේ ඇති වටිනාකම. අප්පච්චි හොඳටම ආදරෙයි. හුරතල් කරනවා තුරුල් කරගෙන ඉන්නවා සෙල්ලං කරනවා. නමුත් දරුවන්ට මං ඒ දේවල් කියලා දුන්නා මම කුඩා කාලේ දැකපු දේ නිසා. ඔය අතර මට පුද්ගලිකව අත්දැකීම් දෙකක් ලැබෙනවා. ඒ දෙක තමයි ප‍්‍රබලව බලපෑවේ මේ ගීතය ලියන්න.

 

මොකක්ද ඒ සිදුවීම? 

මගේ ස්වාමියාගේ හිතවත්ම යහළුවෙක් හිටියා. මහත්තයා විවාහ වෙන්න කොළඹ ඇවිත්

 

ඒගොල්ලන්ගේ ගෙදර තමයි නැවතිලා හිටියෙත්. එදා ඒ හැමදේම කළේ ඒ යුවල. නිතර අපි ගෙවල්වල යනවා එනවා. ඔය අතරේදී එක කාලයක් ගෙවුනා අපි දෙගොල්ලන් ට යන්න එන්න මුණගැහෙන්න බැරිවුණ. දවසක් හැන්දෑවක අපි පිටකෝට්ටේ පන්සලට ගිහිං එමින් ගමන මං මහත්තයට කිව්වා අපි යන්කො පොඞ්ඩක් බලල එන්න කියලා. පන්සල පිටුපස්සේ තමයි එයාලගේ ගේ තිබුණේ. කුලී ගෙයක උනත් මධ්‍යම පංතියේ හොඳ සැප පහසුකම් සියල්ලෙන් පිරුණු නිවසක් ඔවුන්ට තිබුණේ. පුදුමයි අපි යනකොට ලයිට් එකක්වත් දාලා නෑ. දොරට ගහලා ගහලා කව්රුත් නැති තැන එන්න හැරෙනකොට මෙන්න දොර ඇරුණා. එදා ඒ අපේ හිතවතා හිටපු හැටි දැක්කම පුදුමයි, සරමක් ඇඳගෙන කොන්ඬේ අවුල්වෙලා, ලොකු වෙනසක්. ගෙයි බඩුමුට්ටු මුකුත් නෑ. එක කාමරේක දරුවෝ ටික බිම නිදි. මට හිතාගන්න බෑ. අපේ මහත්තයා ඇහුවා ඇයි මේ කියලා. එතකොටත් අර මාස අටේ දරුවා ඇහැරගෙන අඬනවා. ”චුටි දුව නිදාගන්නේ නෑ, ඇත්තටම ජයේ මට කරන්න දෙයක් නෑ, මං මේ පිරිත් කියනවා දුව නිදිකරන්න” කියලා කිව්වා. මම ඒ පාර දරුවා වඩාගෙන තුරුල් කරන් ඔලූව අතගානකොට දරුවට ඉබේම නින්ද ගියා. බලපුවම එයාගේ බිරිඳ දරුවෝ හතරදෙනා එයාට දාලා, එයාව දාලා ගිහිං වෙන අනියම් සම්බන්ධයක් තිබිලා. ඊටපස්සේ ඔහු මේ දරුවන්ගේ යුතුකම් ඔක්කොම කළා. ඒ පුදුමාකාර තාත්තා ගැන දරුවෝ ගැන ඔවුන්ව එදා දැකපු විදිහට මගේ හිතට ආවේ පුදුමාකාර කම්පනයක්. ඔය සිද්ධිය අතරේ අපේ තවත් අසල්වාසී පුතෙක් එය ගේ තාත්තව ගේ හදනකන් තියාගත්තා මුරකාරයා වගේ වැඩකාරයා වගේ. එයා ටිකෙන් ටික ඉහළට යනකොට තාත්තව හෙමින් ඈතකට ගිහිං ඇරලූවා. ඉන්පස්සේ අර ජීවත්වෙන පියා නැති විදිහට හැමතැනම කතාවක් පැතුරුවා. ඔය අතරේ තාත්තා ආපහු ආවා ඒ ගෙදරට. පස්සේ කාලේ මේ පැත්තට ඇවිල්ලා මට විස්තර කිව්වා. මෙතනින් යන එනකොට මගේ පුතා එහෙම කොන්ඩ සීයේ කියනවා. කොණ්ඩයක් බැඳලා තිබ්බේ ඒ සීයා. ඒ සීයා පුංචි පුංචි කතන්දර කියනවා මේගොල්ලන්ට. දවසක් මාව දැකලා අනේ නෝනේ කියාගෙන ආවා. මං ඇහුවා කොහෙද සීයේ ගිහිල්ලා හිටියේ සීයා කියලා. එතකොට තමයි කිව්වේ පුතා ජීවත්වෙන මට මරණ සහතිකෙකුත් හැදුවනේ නෝනේ කියලා. ඒ වෙලාවේ මම හිතාගන්න බැරි වේදනාවකට පත්වෙලා තමයි මේ ගීතයේ අවසන් කොටස ලියලා අවසන් කළේ. ඔන්න ඔය වගේ කරුණු හේතු ගොඩක් උඩ තමයි මගේ අතින් ඔය ගීතය ලියවුණේ. ඒක අතිසාර්ථක ගීතයක් වුණා. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහන පටිගත කරලා දින විසි එකක් ඇතුළත වැඩිම වාරයක් ප‍්‍රචාරය වූ ගීතය හැටියට මේක වාර්තාවක් තිබ්බා. මගේ මුලින්ම ජනප‍්‍රිය වුණේ මං හිතන්නේ ඒ ගීතය තමයි.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින)




නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ ...

නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...// මගෙ සමරු පොතේ රෝස පිට...