Saturday, July 11, 2020

බඹරෙකු ආවයි නිරිත දිගේයා ...

බඹරෙකු ආවයි නිරිත දිගේයා.......

පදරචනය - මඩවල එස්.රත්නායක
සංගීතය - පන්ඩිත් අමරදේව
ගායනය - පන්ඩිත් අමරදේව

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රසේයා
මල් පර වූවයි - සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි - එලෝ ගැබේයා

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි උනාදෝ

සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්
නල මුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්
බල බිද දමා හිරු යන විට අවර ගිරෙන්
සලමින් පිපුණු මල් පැණි බොනු රිසිව වරෙන්

මේක කාන්තාවක්ගෙ අත්දැකිමක් වුනත් අමරදේව මහත්තය ගායනා කලා කියල, අර්ථයේ හරි වෙනයම් තැනක හරි කිසිම අඩුවක් වෙලා නැහැ.

නක්ෂත්‍රය පිළිගන්න සමහර ඈයො කියන විදියට නිරිත දිසාව කියන්නෙ නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වෙන දිසාව. මේ කාන්තාව කියන බඹර ඇවිල්ල තියෙන්නෙත් නිරිත දිසාවෙන් තමයි. මේ කියන්නෙ කවුරුත් නෙමෙයි කළු කුමාරය ගැන තමයි.

කළු කුමාර උපත ගැන එක එක විදිහෙ කතා තියනවා. කොහොම උනත් මෙයා කරන්නෙ ස්ත්‍රීන්ව ලෙඩ කරන එක. විවාහය ප්‍රමාද වුන අය වගේම ස්වාමියාගෙන් නිසි සැලකිල්ලක් නැති ස්ත්‍රීන් ගැන විශේෂයෙන් මෙයා සැලකිලිමත් වෙනව. කාන්තාවන්ව අධික රාගයෙන් මත් කරල ලෙඩ කරනව. මේක කරන්නෙ බලහත්කාරකමින් උනත් ඊට පස්සෙ කළු කුමාරයගෙ උණුසුම නැතුවම බැරි වෙනවා. හැම වෙලාවෙම කල්පනාව මෙයා ගැනම තමයි. මේක ස්ත්‍රීන්ට විතරක් හැදෙන එක්තරා විදියක මානසික ව්‍යාධියක්.

මේ සින්දුවෙ ඉන්න කාන්තාවටත් එහෙම දෙයක් වෙලා. හැබැයි ඒ බලහත්කාරකම වෙලා තියෙන්නෙ හැබැහින්මයි. තමන් රැකගත්ත සියළුම සියළුම දේවල් මොහොතකින් නැති වෙලා. ඒ වුනාට දැන් ඒ රසය අමතක කරන්න බැරිවෙලා.ඒකයි, හද පෑරූවයි මියුරු රසේයා කියල කිව්වේ.

දැන් ඒ වැරැද්ද කරපු කෙනාව හොයනවා. හැංගිලා ඉන්න තැනකින් එන්න කියල කියනවා. තවමත් තමං ගැන හිතමින්ම ලඟ පාතක කෝහේ හරි ඉන්නවද කියල අහනවා. ආවේ  නැත්නම් තමන්ගෙ ලෝකෙම අඳුරුයි කියනවා.

කොහේ ගියත්,වෙනයම් හොඳ කටයුත්තකට ගියත් කමත් නැහැ. එන්න කියනවා. ලෝකයාට පෙනෙන නිසා දහවල් කාලෙ එන්න අමාරු නම් හිරු නැති රාත්‍රී කාලෙ එන්න කියනවා.

මානසික හැලහැප්පීම් ගැන, සින්දුවලට පද හසුරවන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේක ලේසියෙන් ජය ගත්ත කෙනෙක් තමයි මඩවල එස් රත්නායක මහත්තය. කැලේ ගහක මල් පිපිලා සින්දුවත් ඒ වගේම එකක් තමයි.



බෙල්ලෝ මුතු බෙල්ලෝ ...

බෙල්ලෝ මුතු බෙල්ලෝ
මෙන්න මං ගෙනාවා
එන්න ගන්න මේවා

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ....//

සිලිමට දෙන්නෙ දෙකයි
උණු කැවුම් වගේ විකිණෙයි
පරමාද වුනොත් ඉවරයි
වෙන ගන්න කෙනෙක් නැතිවෙයි ....//

ගන්න ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අද වාසනාව ඇත්තේ
මුතු බෙල්ලො කැඩූ පොත්තේ
දෑවැද්ද දෙන්න දූගේ
හරි ජයට ගන්න දීගේ ...//

තෝර ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අසරණ දුප්පත් කාටත්
වෙන්නට බැරි ඇයි පෝසත්
හැමදාම නෑ ලැබෙන්නේ
හරි කලාතුරිනි එන්නේ ...//

හොඳ මාලයක් හදන්න
මේ මුතු අරන් බලන්න ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ...//
බෙල්ලෝ මුතු බෙල්ලෝ

ගායනය - ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය - බැසිල් එම්. සිල්වා
තනුව හා සංගීතය - වර්නන් පෙරේරා

ක්‍රිස්ටෝපර් පෝල් මහතා මෙම ගීතය සෑඳුණු විදිහ ගැන අපූරු මතකයක් ආවර්ජනය කරමින් මගේ ගීත කිහිපයක් තැටිගත කළත් ඒ ගීත ඒ තරම් ජනප්‍රිය වුණේ නැහැ. 1958 දී මඩකලපු වෙරළට බෙල්ලො ගොඩ ගැහුවා. ඔය කාලේදී මඩකලපුවේ බෙල්ලෝ කොළඹට ගෙනත් ගෝනිවල දාගෙන ලංකාවේ වටේටම බොහෝ දෙනෙක් බෙල්ලෝ විකුණුවා. ඕකත් මගේ ඔළුවේ තියාගෙන දවසක් මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක මොරටුව සල්ගාදු හෝටලයට ගියා. ඒ දෙන්නා තමයි බැසිල් එම්. සිල්වා සහ වර්නත් පෙරේරා කියන්නේ. ඒ කාලේ සල්ගාදු හෝටලයේ හරි රහ මස්කට් කෑලි තියෙනවා. මම මස්කට් කෑලි තුනකුයි, එළකිරි කෝප්ප තුනකුයි ඕඩර් කළා. මස්කට් කෑල්ලක් රුපියලයි. එළකිරි කෝප්පයක් ශත හැත්තෑපහයි. ඔය මස්කට් කෑලි තුනයි එළකිරි කෝප්ප තුනයි කාලා බීලා ඉවරවෙද්දී සින්දුව හදලත් ඉවරයි.

බෙල්ලෝ මුතු බෙල්ලෝ
අපි ගෝනි ගානේ ගත්තා
නංගී පොඩි මල්ලී
අඩුගානේ දෙන්න එනවා

වර්නත් පෙරේරා දාපූ ඒ ගී තනුවෙන් තමයි ගුවන් විදුලියේ ක්‍රිස්ටෝපර් පෝල් කියන ගායකයාගේ නම හැදුණේ. ඒ 1959දීයි.



සීත රෑ යාමේ අඳුරේ ...

සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා...

දුලීකා... දුලීකා...

මා බලා සිටියා දිවා රෑ
කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ
නාඳුනන සිහිනේ...

මා ඔබේ හසරැල් ජලාසේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරකා එළියේ...

කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා : කවුද මේ ගීතය ගයන්නේ?

ප්‍රේමසිරි කේමදාසයන් : සනත් නන්දසිරි.

පෙරේරා මහතා :  අපෝ සනත්ට මේ ගීතය කියන්න බෑ.

කේමදාස මහතා : එහෙනම් කවුද හොඳ? ජෝතිපාල ද ?

පෙරේරා මහතා : මේ ගීතය කියන්න ලංකාවේ කෙනෙක් නෑ.

කේමදාස මහතා :හොඳයි මම සනත්ගේ ශෛලිය වෙනස් කරලා හරි කියවන්නම් කෝ.

දුලීකා චිත්‍රපටියට ඇතුළත් වූ මේ ගීතය නිර්මාණය වෙන අතරේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්. පෙරේරා මහතාත්, සංගීත අධ්‍යක්ෂණය කල ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතර ඇති වූ දෙබසයි ඒ. එවකට සනත් නන්දසිරි මහතා භාරතයේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් තබ්ලා වාදනය හා ගායනය සඳහා විශාරද උපාධි දෙකක් ලබා මෙරටට පැමිණ ගායනා කලේ ද එතුමා ඉගෙන ගත් උත්තර භාරතීය රාගධාරී ශෛලියේ ගීත වීම නිසා එදා පෙරේරා මහතාට එවන් අදහසක් පහල වන්නට ඇති.

කෙසේ නමුත් පෙර පුහුණුවීමක් බැලීමට සඳහා කොළඹ 7 පිහිටි නිවසකට පෙරේරා මහතාට කේමදාසයන් ඇරියුම් කරන අතර පෙරේරා මහතා එදින ආවේ එතරම් කැමැත්තකින් නොවේ. නමුත් ගීතය එක්වරක් එතුමා ඉදිරියේ සනත් නන්දසිරි මහතා ගැයීමෙන් අනතුරුව සතුටින් නැගී සිටි පෙරේරා මහතා "කේමා. උඹ හරියට හරි. සනත්ට මේක කියන්න පුළුවන්. අපි මේක කරමු" යැයි පැවසුවා.

දැන් ගීතය පටිගත කරන්න ලෑස්ති කරගත්තා. එකල බොහෝ විට ගීත පටිගත කරන ලද්දේ රාත්‍රී කාලයේ දීයි. අද වගේ තාක්ෂණය දියුණු නැති යුගයක Music Tracks වෙනම පටිගත කර, එයට ගායනය වෙනම කිරීමේ සිරිතක් එදා තිබුණේ නැහැ. ගායනය සහ වාදනය එකවිට කරන අතර පොඩි හරි වැරදීමක් වුණොත් නැවත මුල සිට ගීතය පටිගත කරන්න ඕන.

එදා එච්. ආර්. ජෝතිපාල මහතාත් ස්ටූඩියෝ එකට ඇවිත් හිටියා. ඒ මේ ගීතයෙන් පස්සේ ආදර මල් පවනේ ගීතය ගයන්න.

දැන් මේ ගීතය පටිගත කෙරෙනවා. ඒ වෙලාවේ කේ. ඒ. ඩබ්. පෙරේරා මහතා කලබලෙන් වගේ දුවගෙන එනවා. "කේමා.. මේකේ කෑල්ලක් අඩුයිනේ". "ඇයි මොකද්ද ප්‍රශ්නේ?" "දුලීකා කියලා කියන්න එපැයි අනිත් අයත්. ඒක නෑනේ." මේ චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත් දර්ශනය රාත්‍රී සමාජ ශාලාවක විජය කුමාරතුංගයන් ගායනා කරන ආකාරයට තමා යොදලා තිබුණේ. "දුලීකා" යනුවෙන් විජය කුමාරතුංගයන් කියන විට එතැන සිටින අනෙක් සියළු දෙනාත් "දුලීකා" යනුවෙන් අත්වැල් ගායනයක නිරතවෙන රූපරාමුවක් තමා තිබුණේ.

දැන් මොකද කරන්නේ? එතකොට වේලාව මධ්‍යම රාත්‍රී 12ට පාන්දර 1ට විතර ඇති. ඒ වෙලාවට කොහෙද වෙනත් ගායක ගායිකාවෝ හොයන්නේ. අවසානයේදී කේමදාසයන් එවිට වාදක මණ්ඩලයේ සිටි ගිටාර් වාදකයන් තිදෙනාට මෙන්න මෙහෙම කියනවා. "මිස්ට නෙවිල්, දුලීකා කියලා කියන්න. අර්නස්ට් ඔයත් එහෙම කියන්න. කුරේ ඔයත් කියන්න". අවසානයේ දී ගීතය පටිගත වෙනවා. අදටත් නොමැකී තිබෙන මේ ගීතයේ එදා ගිටාර් වාදනයෙන් සහ ගායනයෙන් සම්බන්ධ වුණේ, අපේ රටේ දක්ෂම ගිටාර් වාදකයින් තුන්දෙනෙක්.

නෙවිල් ප්‍රනාන්දු, අර්නස්ට් සොයිසා සහ ගුණසේන කුරේ ඒ තිදෙනායි.



මහ වැස්සක පෙර නිමිති ...

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද
සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
මා දැන් මහළු වියේ

පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ ගීතය, රචනා කලේ ප්‍රවිණ ගී පද රචක කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින්. මේ ගීතය සඳහා මූලික ප්‍රස්තුතය එන්නේ, ධර්මවර්ධනයන් විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ තරගයක් සඳහා රචනා කල කෙටිකතාවකින්. එහි නම "මහළුවිය".

ඊට අමතරව තවත් අපූරු සිද්ධියකුත් මෙයට හේතුවෙලා තියෙනවා. දිනක් ධර්මවර්ධනයන් පේරාදෙණිය දුම්රිය ස්ථානයේ සිටින මොහොතක සිරිපොද වැස්සක් කඩා වැටෙනවා. එම අවස්ථාවේ දී මහළු පුද්ගලයෙකුත් දුම්රිය ස්ථානයේ බංකුවක ඉඳගෙන ඉඳලා සිටිනවා. ඒ මොහොතෙම තරුණ යුවලක් කුඩයක් යටින් දුම්රිය ස්ථානය මැදින් ගමන් කර තිබෙනවා. මේ යුවල දුටු අර මහළු පුද්ගලයා හුන් තැනින් නැගිට ඒ යුවල නොපෙනී යනතුරුම බලා සිට නැවත ඉඳගන්නවා. මේ සංසිද්ධිය පසෙකට වී බලා සිටි කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ඒ සිද්ධිය එලෙසම ගීතයට යොදාගෙන ඇති අයුරු පදමාලාව දෙස බැලුවාම පෙනෙනවා නේද?




මා එදා දෑසින් සනහා ...

මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැදුනා
අද එනවයි ඔබ දිව්රා ගියා....//

මන් දැන් ඉන්නේ ආශා ගීතේ කොදුරා
රන් වන් රන් රේඛා මැද සිහිනේ සගවා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා

මා එදා ....

එක්‌වන් වීලා මහාදේ රහසක් සගවා
යන්තම් වත් මා නෑඔබ ගාවින් ඉදල
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා
දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා
නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා

මා එදා ....

මේ ගීතය ඇතුළත් වුණේ ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කල "හිතුවොත් හිතුවාමයි" කියන චිත්‍රපටියේ. ඉතින් මේ පද මාලාව ඇන්ජලින් ගුණතිලක මහත්මියට මුලින්ම ලැබුණාම එතුමිය මුලින්ම හිතලා තියෙන්නේ, මේක දුක් ගීතයක් කියලා. ඉතින් එහෙම කියලා හිතාගෙන ඇය පටිගත කරන දවසේ දී කැළණිය සරසවි චිත්‍රාගාරයට යනවා. දැන් ගීතය පටිගත කරන්න පටන් ගත්තා. සංගීත අධ්‍යක්ෂණය කරපු සරත් දසනායක මහතාත් Cubical එකට වෙලා ඉන්නවා වැඩේ හරියට යනවා ද කියලා බලන්න.

ඇන්ජලීන් මහත්මිය ගයන්න පටන් ගත්තා හැබැයි අර දුක් ගීයක් කියලා හිතා ගෙන ඒ හැඟීමෙන්. එකපාරටම සරත් දසනායක මහතා පුටුවෙන් නැගිටලා එනවා. දැන් ඇන්ජලීන් මහත්මිය බයේ ගැහෙනවා මොන වරදක් හොයන්න ද මේ එන්නේ කියලා. ළඟට ඇවිත් සරත් දසනායකයන් ඉතාම ආදරෙන් කියනවා ඇයට "ඇන්ජී, මේක දුක් ගීතයක් වෙන්න බෑ. මේකේ දුකයි සතුටයි බලාපොරොත්තුවයි කියන හැඟීම් තුනම එන්න ඕනේ" කියලා. ඊට පස්සේ හරියටම ඒ හැඟීම් එන විදියට ඇය ගයනවා.

සරල ගී වැඩසටහන් වලට ගීත ගයනවා වගේ නෙමෙයි චිත්‍රපටියකට පසුබිම් ගායනය කරන එක. ඒ ගීතය අඩංගු දර්ශනය, රඟපාන නළු නිළියන් සහ මොනවගේ හැඟීම් ද උද්දීපනය වෙන්න ඕනේ කියන එක චිත්‍රපටි පසුබිම් ගායන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් දැනගත යුතුමයි කියන එක. ඉතින් ලංකාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත ගණනකට ගායනයෙන් දායක වූ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ඒ අත්දැකීම කොච්චර වටිනවාද?



සිත ඔබ පා මුල රඳවා ...

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.

අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ
සදා රැඳේවා...
ඔබේ ලොවේ...

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක්‌ සේ
සදා රැඳේවා...
ඔබේ හදේ...

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.

පදමාලාව - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌

ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක්‌ වෙන් වුණොත් සිතට දැනෙන වේදනාව කියා නිම කරන්න බැහැ. මේ බිඳී සුනු විසුණු වන්නේ ප්‍රථම ප්‍රේමය නම් වේදනාව තවත් වැඩියි.

බිඳුණු පෙමක වේදනාවේ අන්තය බොහෝ විට වෛරයයි. ආදරයයි වෛරයයි අතරේ වෙනස හරියට කෙස්‌ ගසක්‌ වගේ කියලයි කවියෝ කියන්නේ. මේ වෛරය හරිම දරුණුයි. පෙම්වතා පෙම්වතියගෙන් වෙන්වුණොත් පෙම්වතිය පෙම්වතාට වෛර කරනවා. පෙම්වතිය පෙම්වතාගෙන් වෙන්වුණොත් පෙම්වතා පෙම්වතියට වෛර කරනවා.

විරහ වේදනාව ඉවසා ගන්න බැරි වූ පෙම්වතුන් ජීවිතයෙන් පලා ගිය අයුරු අපි කොතෙකුත් අසා තිබෙනවා. වෙන්වීමේ වෛරය බොහෝ විට දරුණු වූ පසු පෙම්වතා පෙම්වතියව මරා දැමූ අවස්‌ථාවන් අප අසා තිබෙනවා. මේ හැම දේකටම මුල සිතෙහි බැඳි ආලයයි.

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.

මේ වෙන්වීම වෛරයට හැරුණු අවස්‌ථාවක්‌ ගැන ලියෑවුණු පද පෙළක්‌ නොවේ. විරහ වේදනාව, වෙන්වීමෙන් ඇතිවූ සිත් වේදනාවට එකිනෙකාට දොස්‌ පවරා ගන්නා ගීත අප අසා තිබෙනවා. ඒත් මේ එවන් ගීයක්‌ නොවේ.

මේ දෙදෙනා කලක්‌ ඉතාම ආදරයෙන් වෙළී සිටි අය. ඒත් දැන් ඒ සෙනෙහස බිඳී ගොසින්. දෙදෙනා කොතරම් සුන්දර වූ ලෝකයක්‌, විජිතයක්‌ මවන්න ඇතිද. ඒත් ඒ විජිතය දැන් අහිමියි. ඒ ලෝකයට සමුදෙන්න වෙලා. මම ඔබෙන් වෙන් වෙන්නම්. ඒත් මම තරහ නැහැ. ඔබට යහපතක්‌ම වේවා. ඔබේ සිතට දුක්‌ වේදනා ඇති නොවේවා.

ඕ ප්‍රාර්ථනා කරනවා. බලන්න කොතරම් අපූරුද කියලා. දෙදෙනා අතර තිබෙන ආදරය වෙන්වුණත් ඒ වි හමයි.

මේ ගීය ලියුවේ කුලරත්න ආරියවංශ. පැරණි ගීයක්‌. ගායන ශිල්පිණියත් ඒ දවස්‌වල අදට වඩා බොහෝම තරුණයි.

දීපිකාගේ වැඩසටහනකට මට ගීතයක්‌ රචනා කරන්න කිව්වා. ඇයට තියෙන්නේ භාවපූර්ණ හඬක්‌. ඒ හඬ නිසාම ඇයට ගී ලියද්දී ප්‍රේමය වස්‌තු විෂය කරගෙන ලියන්න නැඹුරු වෙනවා.

සිනා පොදක්‌ වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මා
කඳු ලැල්ලක්‌ වී ඔබගේ දෑසෙන්
වෙන්වී යන්නට උරුම වුණේ ඇයි.

මේ කුලරත්න දීපිකාට ලියූ පළමු ගීය. මේ ගී දෙක එකිනෙකට වෙනස්‌.

"සිනාපොදක්‌ වී" ගීය මහාචාර්ය කාලෝ ෆොන්සේකා අහලා අප්‍රසාදය පළ කළා. ඔහු හොඳ රසිකයෙක්‌. එතුමා මගෙන් ඇහුවා ඇයි ප්‍රේමයෙන් වෙන් වූ පසුව තරුණිය තරුණයාට චෝදනා කරන්නේ කියා. මහාචාර්යතුමා කැමැති නැහැ අතහැරුණු පෙම්වතාට පෙම්වතිය හෝ පෙම්වතියට පෙම්වතා හෝ දොස්‌ කියනවාට. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඊට නිදහස තිබිය යුතුයි කියා තමයි මහාචාර්යතුමා මට කිව්වේ. කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කොහොමත් රැඩිකල් අදහස්‌ තියෙන කෙනෙක්‌නේ. මට මතකයි සුනිල් ආර්. ගමගේ ලියූ කපුගේ සහෘදයා ගයන "ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින් " ගීයටත් එතුමා දොස්‌ කිව්වා. ඉතින් "සිත ඔබ පා මුල රඳවා" ගීය ලියද්දී මට සිහිපත් වුණා මහාචාර්යතුමා කියූ ඒ කතාව.

අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ
සදා රැඳේවා
ඔබේ ලොවේ....

මේ තරුණිය තමන් අතැර ගිය පෙම්වතා දෙස බලන්නේ උපේක්‍ෂාවෙන්. ඔහු සමග ගත කළ අතීතය ඇයට සුන්දර මතකයක්‌. එය සිහිනෙන් විඳි සුවඳක්‌ වගේ සදා කාලයටම ඇයට වටිනවා. හරියට කැටපත් පවුරක ලියූ ගීයක්‌ වගේ. ඔබේ හද තුළ සදාකාලයටම සටහන්වේවායි ඇය පතනවා.

ඇයගේ පැතුම මොනතරම් සොඳුරුද ඇත්තටම ආදරය කළ දෙදෙනෙක්‌ වෙන් වුණොත් වෛර කරන්න බැහැ. එකිනෙකාට සුබ පතනවා හැරෙන්නට. මේ ගීතයෙන් කුලරත්න ආරියවංශ කවියා ගී පද රචකයා ලබාදෙන්නේ එවන් අරුතක්‌.

මේ ගීතයේ තනුව හරිම ආකර්ෂණීයයි. රෝහණ වීරසිංහ යනු කිනම් ගී පද වැලක්‌ වුවත් ආකර්ෂණීය තනුවකින් සහ මධුර සංගීතයකින් හැඩකරන සංගීතඥයෙක්‌. පදවැලේ අරුත් දීපිකාගේ හඬින් තව තවත් උද්දීපනය වෙනවා. ඇගේ හඬ හැඟුම්බරයි. මේ ත්‍රිත්වයේම එකතුවෙන් බිහි වූ ගීය. සවනට, මනසට ලබා දෙන්නේ සුන්දර රසයක්‌.




ලෙන්චිනා මගේ නංගියේ ...

ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ
ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ

පෙත්තරේ ළඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යං කළුවර වුණා

ලෙන්චිනා ....

පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලි කුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා

ලෙන්චිනා ....

පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - සුනිල් එදිරිසිංහ

රත්න ශ්‍රියන්ගේ අත්දැකීමක් ඇසුරෙන් ඔහු මේ ගීතය රචනා කර ඇත. රජයේ සේවයකු බැවින් 1987 පැවති පළමු පළාත් මැතිවරණයේ ඡන්ද ස්ථානයක වැඩ කිරීමට ඔහුට සිදු විය. එහිදී ඡන්දය භාවිතා කිරීමට පැමිණි අයගේ නම හඬ නගා කීමට ඔහුට පැවරුණ එක රාජකාරියක් විය. මෙම රාජකාරිය කරන රත්න ශ්‍රියන්ට පෙනුණා ඔහු නම් කියවද්දී හොඳට හැඳ පැලඳ ආ තරුණ තරුණියන් අපහසුතාවයට පත් වෙනවා. සමහරු රවනවා, සමහරු ඇඹරෙනවා, මහපටැඟිල්ලෙන් පොළොව හාරනවා. මේ ඇයි කියලා හිතලා බලද්දී ඔහුට වැටහෙනවා තමන් කියවන්නේ මොවුන්ගේ සම්පුර්ණ නම බවත් ඔවුන් අයත් වන කුල ගෝත්‍ර වල විස්තර මේ නම් වල ඇතුලත් වන බව.

තමන් කුල හීන යයි හැගෙන අයට තම නම ඇසීම ලජ්ජාවට කාරණයක් බව රත්න ශ්‍රියන්ට වැටහුණේය. මෙම අත්දැකීමෙන් ඔහුගේ සිත සසල විය. ඔහුට මතක් වෙනවා බුදු රජාණන් වහන්සේ දේශනා කළ වසල සුත්‍රය.

න ජච්චා වසලො හොති
න ජච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මණො

උපතින් කෙනෙකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නොවේ. කරන ක්‍රියාව අනුවම කෙනෙකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වේ.

මෙම ගීතය අතීතයේ වූ රැකියා ක්‍රම පදනම් කරගත් කුල ක්‍රමය හෙලා දකින ගීයකි.

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ

ගොවි, කරාව, දේව, කුඹල්, වහුම්පුර වැනි නොයෙකුත් කුල අතර රජක කියන්නෙ පහත්යැයි සම්මත කුලයක්. මෙහි එන ලෙන්චිනා රජක කුල තරුණියක්. ලෙන්චිනා හැමදාමත් ගොංමන් අඳුරේ රෙදි සොදන්නීය. මේ කියන අඳුර කුල වාදයේ අඳුර හෝ නූගත්කමේ අඳුර හෝ දුප්පත්කමේ අඳුර විය හැක. ඇය හැමදාමත් මේ විදියට අඳුරට වෙලා වැඩ කරන්නෙ ඒක තමන්ගෙ උරුමය, එහෙම නැත්නම් කරුමය ලෙස සලකමින් විය හැක.

පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා

ගමේ කාගෙත් පව් සෝදන්න සිදිධ වෙන්නෙ ලෙන්චිනාට. මේ අදුරු කළු පව්කාර ඇදුම් අතර ලෙන්චිනා පවිත්‍ර රත්‍රන් ලෙස බැබලෙනවා හරියට කළු වලාකුළු අතර සඳ රත්‍රන් පැහැයෙන් බබලනවා වගේ. කතා නායකයා ඇයට යෝජනා කරන්නෙ මේ අන්ධකාරෙන් ගොඩ එන්න.මේ ක්‍රමයට තිත තියන්න.

පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා

මේ කිළි කුණු කවදාවත් සෝදල ඉවර කරන්න ලෙන්චිනාට නොහැක. ඒ අන් අයගේ පව්කාර කම් ඇයට සෝදා යලි පින්වතුන් බවට පත් කරන්න බැරි හින්දාය. ඒත් සමාජයේ පහත් යයි සැලකෙන කුලයක උපන්නත්, ක්‍රියාවෙන් ඇය පින්වතියක් බැවින් ඇය බබලනවා.

ජසයා හා ලෙන්චිනා කෝලමේ නාද මාලාව ආශ්‍රය කරගෙන ගීතය රචනා වී ඇති අතර රෝහණ වීරසිංහයන් කෝලම් සංගීතය ඇසුරෙන් මෙම ගීතයේ තනු නිර්මාණය කර ඇත.




සැරයටියෙන් අපි යනෙන තුරා ...

සෝමපාල ලීලානන්ද එක් ගීතයක් හැර අන් සියලු ගී ලීවේ පූර්ව නිර්මිත තනුවලට වීම සුවිශේෂත්වයකි. සෝමේ පූර්ව නිර්මිත තනුවකට නො ලියූ එකම ගීතය ‘සැරයටියෙන් අපි යනෙන තුරායි.’ යන ගීතයයි.

"මේක මගේ දින පොතේ නොදැනුවත්වම ලියැවුණු කවියක්. දවසක් දසේ ඔය කවිය දැක්කා. ඒකට තමයි තනුවක් දාලා සින්දුවක් විදියට නිර්මාණය කළේ. අපේ ගමේ හිටියා පොල් කඩන මිනිහෙක්. එයාගේ ඇස් පේන්නෙ නැහැ. කෝටුවක් අරගෙන තමයි ඇවිදින්නෙ. එයාගේ ගෑනු මනුස්සයාත් එයත් එක්කමයි හිටියේ. ඒක තමයි මේ සින්දුව ලියන්න නිමිත්ත කරගත්තේ."

සින්දුවේ එක තැනක තියෙනවා.

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතමුව සසරින් නික්මෙනදා

“මේ වචන ටික මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධයි. එයින් කියැවෙන්නේ සංසාරේ එකට ඉන්න ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවන බවයි. එතකොට ඇය කියනවා

සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

ඉතින් සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් ඔහු යන්නේ ඇයත් සමඟයි.

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සැරයටියෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු..

ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිවම එද්දිය හමුවූයේ..

මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ..

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරන කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා..

සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..

පද: සෝමපාල ලීලානන්ද.
තනු: සරත් දසනායක
හඬ: විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා



නිල් කඳුපවුරයි ...

නිල් කඳුපවුරයි මහවැලි දිය අගලයි
විරුවන් දිනු මා ඉපැදුණූ ගම මහනුවරයි
ගම මහනුවරයි ගම මහනුවරයි ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි...

දළදා හිමි සිව් දෙවි වැඩ වසනා
රසඳුන් මල් ගොමු බිඟුසර නඟනා
සිහිලස දෙන වැව් කොමලිය රඟනා
සරුබිම හැමදා සිරිකත රැඳුණා

ගම මහනුවරයි ගම මහනුවරයි ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි...

පඬිවරු යතිවරු නිරතුරු ගැවසේ
සිප්සත දී නිති සරසවි නිවැසේ
සඳළුතලා මත කිඳූරියො හිනැහේ
එහි උපදින්නට පින් කළ යුතුවේ

ගම මහනුවරයි ගම මහනුවරයි ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි...

මේ ගීතය සඳහා තනුව නිර්මාණය වූ ආකාරය හරිම අපූරුයි. කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් සහ චන්ද්‍රකුමාර කඳනාරච්චි දෙදෙනාම මහනුවරින් බිහිවූ ලංකා පුත්‍රයන් දෙදෙනෙක්. හැබැයි මේ ගීතය නිර්මාණය වන වකවානුවේ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් පදිංචිවෙලා සිටියේ නාරාහේන්පිට තලකොටුවවත්ත ප්‍රදේශයේ හරියටම එතුමාගේ නිවස ඉදිරිපස නිවසේ සිටියේ අප අතරින් වියෝ වූ විජය කුමාරතුංගයන්.

මේ ගීතය නිර්මාණය වන්නේ කේ.ඩී.කේ. මහතාගේ නිවසේ ඉස්තෝප්පුවේ පඩිපෙලේ ඉඳගෙන. කඳනාරච්චි මහතාත් සිටිනවා. ගීතයේ තනුවට අවශ්‍ය මූලික පදනම වැටුණේ හරිම අපූරුවට. ඉදිරිපස විජය කුමාරතුංගයන්ගේ නිවසේ සිටියා සුරතලයට ඇති කල මුව පැටියෙක්. ඒ මුව පැටියාගේ බෙල්ලේ ගෙජ්ජියක් බැඳ තිබුණා. ඉතින් ගීතය නිර්මාණය වෙනකොටත් අර මුව පැටියා ඔළුව වනනවා, කන කහනවා. එහෙම කරනකොට අර ගෙජ්ජියත් හඬ නැගෙනවා. මේ ඔස්සේ අපූරු තනුවක් කඳනාරච්චි මහතාගේ හිතේ මැවෙනවා. ඔහු විසින් ගීතයේ වචන ලියා අවසන් වනවිට සියළුම සංගීත ඛණ්ඩ සහිතව තනුව මුමුණා අවසන්. එහි සංගීත සංයෝජනය කලේ උපාලි කන්නන්ගර මහතා විසින්.



සැන්දෑ අහසේ ...

ජීවිතයේ සැඳෑ සමය අභිමුව සිටින පුද්ගලයකු සිදුකරන අතීතාවර්ජනයක් පිලිබඳ කියැවෙන මෙම ගීතය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ආචාර්ය දයාරත්න රණතුංගයන් මෙය සංගීතවත් කොට ගායනා කරනු ලබයි. ගීතයේ සුන්දරත්වය සේම ගීතය සැකසුනු පසු බිමද ඉතා සුන්දර නිසා එය මෙහි අවසානයේ දක්වා ඇත.    

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

මල හිරු බැස යන සැන්දෑවක (මෙහි එන කතා නායකයාගේ ජීවිතයද දැන් සැඳෑ සමයට එලඹ තිබේ) වියපත් මිනිසකු තමන්ගේ තරුණ කාලය ගැන ආවර්ජනයක යෙදෙයි.

ඔහුට කවුලුවකින් බැසයන හිරු පෙනේ. එය ඔහු දකින්නේ කාලය මිය යන ලෙසිනි. කාලය නම් අජීවී දෙයකි. නමුත් මෙහි කාලයට ජීවී ලෙසින් දක්වා ඇත."කාලය කවුළු දොරින් මිය යනවා". මෙය රූපක යොදා ගැනීමට උදාහරණයකි.  ඔහු වියපත් වූවා සේ කාලයද මියයමින් සිටී. ජීවිතයේ ඇති අනියත බව ඔහුට සිහිවේ.

ගෙවී ගිය අතීතයේ ඔහුට ඔහුගේ පෙම්වතිය සිහිවේ. අඳුරු අතීතයේ සිට ඔහුට කණ වැල අල්ලන් එන්නේ ඇයයි. ඔහුට ඇය අහිමි වුවත් ඔහු ඇය දෙස බලන්නේ වේදනාවෙන් හෝ තරහකින් නොවේ. ජීවිතය යනු එක්වීම සහ වෙන්වීම බව දැන් ඔහු අවබොද කරගෙන ඇත. ඇය ඔහු වෙත නො එන බව ඔහු දනී. ඔහුගේ මතක ඔහු වෙත ඇයව නැවත කැන්දාගෙන විත් තිබේ.

ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි ඔහු දයාවෙන් බලයි. අතීතයේ විප්‍රයෝගයන් ඔහුට එදා දුකක් ගෙනාවත් අද ඔහු ඒ සිදුවීම් මෙනෙහිකොට සතුටක් ලබයි. කලෙක විරහව දුකක් වන සේම කලෙක එය සතුටක් ගෙන දෙන්නටද පිලිවන.


බලාපොරොත්තුව
සිතට තුරුලු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවැටී කඳුළු සලනවා.

මතකයේ මාවත දිගේ එන ඇය දෙස බලා සිටින්නේ බලාපොරොත්තුවයි. මෙහිදී ද රචකයා අජීවි දේ සජීවි ලෙසින් ගීතය හා මුසු කරයි. ඔහුගේ දුකට මිහිර දෙන නැතිනම් දුක නැමති සිතට රුකුල් දෙන පාලුව සහ තනිකම ඔහු අවට සිටිමින් කඳුලු සලයි. මෙහිදී ද රූපක යොදා ගැනීම මැනවින් සිදු කර ඇත. කඳුලු සලන්නේ ඔහු නොවේ පාලුව සහ තනිකමයි. 

සුනිල් සරත් පෙරේරා ගීතය පිලිබඳ මෙසේ අදහස් දක්වා තිබුනි. 

"මෙය මගේ ගී රචනා ජීවිතයේ මුල් අවධියේ රචනා වූ ගීතයක්. මා මුල සිටම ගීතයක් රචනා කිරීමේ දී කිසියම් දාර්ශනික නැඹුරුවකට ඒ ගීතය ලියන්නට උත්සාහ ගත්තා.

මේ ගීතයත් සරල ගීයක් වුවත් කිසියම් දර්ශනයක්, ජීවිතය පිළිබඳ ගැඹුරක් මතුකරන්නට අත්හදාබැලීමක් කළ ගීයක්. අපේ ගීත රචකයන් බොහෝ දෙනකු මෙවන් අත්හදාබැලීම් කරන්නට නැඹුරු වුණේ නැහැ.

”ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මියයනවා.

ජීවිතයේ අනියත බව මින් ධ්වනිත වෙනවා. ඒ වගේම පෙ‍්‍ර්මයේ වින්දනය ලැබූ තරුණයකු සිය ජීවිතයේ සැන්දෑ සමයේ දී අතීතය පිළිබඳ යම් ආවර්ජනයක යෙදීමක් මේ ගීතයෙන් මා කියා තිබෙනවා.

ඔහු සිය අහිමි වූ පෙම්වතිය පිළිබඳව ආවර්ජනය කරන්නේ ඈ පිළිබඳ කෝපයක් සැකයක් හෝ සැහැසිකමක් නැතිවයි. ඉතාමත් උපේක්ෂාවෙන් සංයමයෙන් යුතුව ඇය ගැන ඔහු සිහි කරනවා. එමෙන්ම කරලිය කෙරෙහි පමණක් නොව තමා කෙරෙහිද ආත්ම දයාවක් තරුණයා තුළ පවතිනවා.

ඈත අතීතෙන් පියවර නඟමින් කණවැල අල්ලන් කවුදෝ එනවා බලාපොරොත්තුව ළයට තුරුලු වී ඈ එන පෙරමඟ බලා සිටිනවා”

ඔහුගේ බලාපොරොත්තුව තවමත් පෙරමඟ බලා සිටිනවා. බලා සිටින්නේ බලාපොරොත්තුවයි. මෙහි දී මා රූපකාර්යයට මුල් තැන දෙමිනුයි මේ ගීතය රචනා කළේ. මේ භාෂාත්මක කාව්‍ය ප‍්‍රයෝග අත්හදාබලන්නට මා උත්සාහ කළා.

බලාපොරොත්තුව බලා සිටිනවා කාලය කවුළු දොරින් මිය යනවා’ යනාදී යෙදුම් අමුතු භාෂාත්මක ප‍්‍රයෝගයි.

වියෝ වූ පෙම්වතිය පිළිබඳව ඔහු තුළ ඇත්තේ දයාවක්. ඒ වගේ ම මා ‘විරහව‘ රසයක් ලෙස ඉස්මතු කරන්නට උත්සාහ කළා.

මළ හිරු බහින සැන්දෑවක තරුණ විය පිළිබඳ ව ආවර්ජනයක යෙදෙන වියපත් මිනිසකුගේ සිතිවිලි සංයමයෙන් යුතුව මා මේ ගීතයට ඇතුළු කළා. මගේ ගීත රචනාවට විශාරද ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ කටහඩින් හා සංගීතයෙන් විපුල මෙහෙයක් සිදුවී තිබෙනවා.

ඔහු මේ සඳහා සංගීතය සපයා තිබෙන්නේ යමන් කල්‍යාණ රාගය මුල් කොට ගෙනයි එය ගීතයේ අර්ථයට හා ගීතයෙන් කියැවෙන කාලයට ඉතා උචිත රාගයයි.

යමන් රාගය ඉරානයෙන් ආ “ඉමන්” නම් වූ රාගයයි. ඉන්දියාවට එය ආවේ ඉරාන සංගීතඥයන් ගෙන් මේ රාගයෙන් සැන්දෑ කාලය නිරූපණය වනවාක් මෙන්ම අලුත් පරිසරයකට සිත මෙහෙයවනවා.

මගේ බොහෝ ගීතවල මේ දාර්ශනික නැඹුරුව මෙන්ම රූපක යොදා ගැනීම බහුලව දකින්නට පුළුවන්. මේ ගීතය ගීතයක් ලිවීමේදී රූපක යොදාගන්නා අයුරු පිළිබඳ නිදර්ශන සපනයවා යැයි මට හිතෙනවා.”

දයාරත්න රණතුංගයන්ද මෙම ගීතයේ සහ රචකයාගේ පසුබිමත් මෙසේ මතකයට නගා තිබුණි.

“මේ ගීතය ගැන කතා කරන කොට මගේ හිත 1960 දශකයේ අවසාන භාගය දක්වා දිව යනවා. ගීතයට අදාළ නොවූවත් මේ ටික මට නොකියාම බැහැ.

ඒ කාලේ ගීත ක්ෂේත‍්‍රයට කොහෙත්ම සම්බන්ධයක් නැති හෝටල් ක්ෂේත‍්‍රයේ රැකියාව කළ තරුණයෙක් මට නිතර ඔහු ලියූ ගී පදවැල් ගෙනැවිත් දෙනවා. ඔහු වැඩ කළේ ගෝල්ෆේස් හෝටලයේ.

මා ඔහු සමඟ මිතුරු වුණා. ඉඳහිට මාත් ගෝල්ෆේස් හෝටලය පැත්තට ගොස් ඔහු හමුවුණා. මෙතැන නම් ඔබට කොහෙත්ම ගැලපෙන තැනක් නොවෙයි” කියා මා ඔහුට කීවේ ඔහුගේ දක්ෂතා හඳුනාගත් බැවින්.

මා යෙදූ තනුව නිර්මාණය කළේ රාගධාරී සංගීතය ඇසුරින්. මේ ගීතයේ සුන්දර බව මධුර බව තීව‍්‍ර වන කාලය හෙවත් ගාන සමයට එළැඹී මා ‘යමන් කල්‍යාණ’ රාගය ඇසුරු කොට ගීත තනුව නිම කළා. මේ ගීතය වාදනයට හා ගායනයට සුදුසුවන්නේ සැන්දෑ කාලයයි."

පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය සහ ගායනය : ආචාර්ය  දයාරත්න රණතුංග




ඔබට මා ආදරය කල බව මෙතරම්...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේය පද රචනයට එච් එම් ජයවර්ධන සංගීතවත් කොට විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන මෙම ගීතය බිරිඳක තම ස්වාමියාගේ තාවකාලික වෙන්වීමෙන් පත්වන අසරණ කම, පාලුව, තනිකම ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සමත්වූ ගීතයක් ලෙසින් දැක්විය හැකිය.

ඔබට මා ආදරය කල බව මෙතරම්...
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්... 

අප බොහෝ දෙනෙකුන් හට පොදු වූ සත්‍යතාවක් ඇය ඉස්මතු කර පෙන්වයි. "මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්". අප ආදරය කල අයගේ අගය දැනෙන්නේ බොහෝවිට ඔවුන් අප හැර ගියායින් පසුවය. ඔවුන් අපව සැහැල්ලුවෙන් තබන නිසාම, අපේ ජීවිත වල පීඩනයන් අප සමඟ බෙදා ගන්නා නිසාම, අප වෙනුවෙන් කැප වෙමින් අපේ සියලු ඕනෑ එපා කම් සොයා බලන නිසාම අපට ඔවුන්ගේ අගය තේරුම් ගැනීමට තරම් අවශ්‍යතාවක් ඇතිනොවේ. මෙය දරුවන් විසින් දෙමව්පියන්ට, පෙම්වතුන් එකිනෙකාට, අඹුසැමියන් ඔවුනොවුන් වෙත, මිතුරු මිතුරියන් යන ඕනෑම කුලකයකට අදාල කර දැක්විය හැකිය.  

මෙම ගීතයෙන් අප ආදරණීය සුනිල් ආරියරත්නයන් ගෙනහැර දක්වනුයේ තම සැමියා වෙනත් රටකට පිටත්වූ අවස්ථාවේ එම බිරිඳට දැනෙන සිතුවිලි දහරයි. 

ඇය ඔහුට මුලු හදවතින්ම ආදරය කොට ඇත. නමුත් මෙතරම්? ඇය සැබැවින්ම ඇය දැන සිටියාටත් වඩා ඔහුට ආදරය කර තිබේ. වෙන්වීම තුල එය ඇයට තදබල ලෙස දැනෙන්නට ගනී.මෙය තවත් බලවත්ව දැනීමට හේතුව ඔහු සැතපුම් දහස් ගනනක් දුර රටකට යන නිසා යුතුය.

වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ...
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුලඟේ...

ඔහු රැගත් ගුවන් යානය උඩු ගුවනේ නොපෙනී යන තුරුම ඇය ඒ දෙස කඳුලු පිරි දෙනෙතින් බලා සිටින්නට ඇති. පෙර ඔව්න් දෙදෙනාම මෙලෙසම නිල් අහස දෙස බලා සිටි වාර අනන්තවත් තිබෙන්නටත් ඇති. නමුත් එදා සුන්දර නිල් අහස ඇයට අද හිස් බොල් අහසකි. සුන්දර රටා මැවූ වලාවන් අද ඔහුගේ අවසාන දසුන ඇගේ නෙතින් වසන ඇයට එරෙහි වූවකි.  

ඇය සැම දාමත් ඔහුගේ සිනහව ප්‍රිය කරන්නට ඇති. එය රචකයා උපමා කරනුයේ මද සුලඟට ලතාවකට ඒ මේ අත නැලැවෙන සිත නිවා සනසන පහන් වැටක් ලෙසිනි. නමුත් අද ඇය දකින්නේ මද සුලඟ වෙනුවට ඔහුගේ  සිනහව නැමති පහන් වැට නිවා දමන ඉහල අහසේ ඇති සැඩ සුලඟයි. ඔහු රැගත් යානය ඔහුව ඇය වෙතින් මොහොතින් මොහොත ඈතට රැගෙන සැඩ සුලං කපා ගෙන නොපෙනී යයි.

ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ..
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ...

ඇයගේ ලොවට ආලෝකය, ශක්තිය, පැවත්ම, ජීවිතය ලබාදුන් හිරුත්, සිසිලස, කාන්තිය, සැනසුම ලබා දුන් සඳුත් ඔහුය. ඔහුගේ මේ වෙනව යාම තාවකාලික උවත් එය ඇයගේ ජීවිතයට ඇති කරන බලපෑම අති මහත්ය. ඇයගේ ලෝකයේ හිරු, සඳු දෙකම මියැදී ගොසිනි. හිරු, සඳු නැති ලොවක පවතින මූසල ඝන අන්දකාරය තරම් අඳුරක් ඇගේ ජීවිතයද වෙලාගෙන ඇත.  

අවසාන වශයෙන් ඇය සානුකම්පිත ප්‍රශ්නයක් ඔහුගෙන් අසයි. මෙතරම් කාලයක් එක යහනක එකට තුරුලුව, ඔහුගේ උණුසුමින් සැනහී, එක පොදියට එකට ගුලිවී සිටි ඇය දැන් කෙසේ මේ හිරු සඳු නැති අන්දකාර පාලු නිවසේ සීතල පැදුර් කෙසේ සිත වාවා ගෙන නිදන්නද යන ප්‍රශ්නයයි.

ඇතැම්විට අඹු සැමියන් ඔවුනොවුන් ගෙන් දුරස් වීම පෙම්වතුන් දුරස් වීම තරම් හැඬු කඳුලින් බර නොවූවද එහි පවතින සංකීර්නත්වය බොහෝ සෙයින් ගැඹුරුය. එය මොනවට විදහා පාන ගීතයක් ලෙසින් මෙම ගීතය දැක්විය හැකිය. 

මෙම ගීතයේ අප බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් සොයා ගැනීමට හැකිවිය. එනම් මෙම ගීතය අප ආදරණීය ගායක සෝමතිලක ජයමහ විසින් ද ගායනා කර ඇති බවයි. එහි සංගීත නිර්මාණය ද ඔහු විසින්ම සිදුකොට ඇත. නමුත් එතුමා පවසන පරිදි එම ගීතය දැන් ප්‍රචාරය නොවේ. එමෙන්ම එහි පිටපතක් හෝ සොයා ගැනීමට නැත.



මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ ...

මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා //

වාන්ගු හඬ පූජාවේ තුන්යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා //

මරතෝණ්ඩිය රටා ඇඳී...

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙල එතුණා නුඹ එහි සිර කරලා
පාට පාට සමනළියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා //

මේ ගීතය රචනා කල මහින්ද චන්ද්‍රසේකර මහතා ගුරු වෘත්තියේ යෙදෙන කාලයේ පානම, පොතුවිල් ආදී ප්‍රදේශවල සේවය කරලා තියෙනවා. ඉතින් එතුමා ඒ ප්‍රදේශවල මුස්ලිම් ගම්මාන ගැන හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා, ඔවුන්ගේ සංස්කෘතිය, අභිචාර විධි ගැන එහෙම. ඒ වෙනකොට එතුමා විවාහ වෙලා නැහැ. එතුමා විවාහ වෙන්නෙත් පොතුවිල් වලදී මුණගැසුණු තරුණියක් එක්ක. හැබැයි ඇය සිංහල කාන්තාවක් හොඳේ!!!!

මුස්ලිම් සංස්කෘතිය ඇවිල්ලා හරිම ආවෘත සංස්කෘතියක්. පිට කාටවත් ඒ සීමාවෙන් ඇතුළට යන්න බැහැ. අපි එයට ගරු කරන්න ඕන. කිසිම ආගමක් හෝ ජාතියක් තවත් ආගමකට යටත් නැහැ. ඉතින්, මහින්ද චන්ද්‍රසේකර මහතා තමන් නිරීක්ෂණය කල කරුණු එක්රැස් කරලා හරිම අපූරු විදියට ගලපලා මේ ගීතය රචනා කරලා තියෙනවා. හරිම ලස්සනට රූපාවලි අපේ හිතේ ඇඳෙනවා.

සාමාන්‍යයෙන් මුස්ලිම් තරුණියන්ට කාන්තාවන්ට ඔවුන්ගේ ඉස්ලාම් ධර්මයේ හැටියට යම් යම් සීමාවන් තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට නිදහස අහිමි බවක් තිබෙනවා කියා මට සිතෙනවා. එසේ ඉන්න මුස්ලිම් තරුණියකට තිබෙන සීමාවෙන් එළියට එන්න කියලා හරිම අහිංසක විදියට ඉල්ලන සිංහල තරුණයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් මේ ගීතය රචනා වෙලා තියෙන්නේ.

මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ - මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ - මුස්ලිම් අත්වල ලස්සනට මරතෝණ්ඩිය රටා ඇඳලා තියෙනවා. හැබැයි ඒවා මොට්ටැක්කිලි තිරෙන් වැසිලා තියෙන නිසා එළියට පේන්න නැතිව වැලපෙනවා.

මූක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා -රාමලාන් සඳ බලන්න එන්න පාතිමා - මූක්කු තෝඩි තිරුවංගල් කියන්නේ, දිලිසෙන ආභරණ වර්ග. ආලෝකයට අතවනලා කතා කරනවා එන්න බැබලෙන්න කියලා. හඳ බලන්න එන්න එළියට. ඇතුළේ කොටුවෙලා ඉඳලා බලන්න ඕන නෑ.

වාන්ගු හඬ පූජාවේ තුන්යමටම ඇසෙනා - තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා - ඉස්ලාම් අයගේ යාච්ඤාවන් ඇහෙනවා මුළු දවස පුරාම. ඒවා ඇහෙන කොට පුංචි දුකක් ඇතිවෙනවා ඒ තැන්වලට යන්න බැරි නිසා.

කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා - හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා - ගේ ඇතුළේම ඉඳලා කාන්සිය හැදුණාම වැටේ කවුළු දොරින් එබෙනවා. ඇගෙන් අහිංසක ඉල්ලීමක් කරනවා හිත දොරකඩ තියලා ආපහු යනවද කියලා.

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා - මේක මහින්ද චන්ද්‍රසේකරයන් ඇස් දෙකට දැකපු දෙයක් ඇසුරින් රචනා කරලා තියෙන්නේ. පොතුවිල් පැත්තේ එළු පට්ටි තියෙනවා. මුස්ලිම් තරුණියන් මේ එළු රෑන් දක්කාගෙන යනවා බොහෝ දුර.

මේ ගීතයට සංගීතය සැපයුවේ විශාරද ගුණදාස කපුගේ මහතා තමන්ගේ උපන්දිනය දවසක වීමත් විශේෂයි. එනම් අගෝස්තු 7 දාවක.



මේ අයුරින් අපි සංසාරේ ...

මේ ගීතයේ පද මාලාව පල කරන්න කලින් මෙහෙම හැඳින්වීමක් මට දෙන්න වෙනවා. ලංකාවේ ගීත කලාවේ එකම ප්‍රස්තුතයක් දිහා ස්ත්‍රී පුරුෂ දෘෂ්ටිකෝණ දෙකකින් බලා රචනා කරපු ගීත දෙකක් තමා (Male Version & Female Version) මේ අයුරින් අපි සංසාරේ කියලයි මම දකින්නේ. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්.

ඇත්තටම බැලූ බැල්මටම මේ අයුරින් අපි සංසාරේ ඇහුණ ගමන් අපිට මතක් වෙන්නේ ටී. එම්. ජයරත්නයන් ගායනා කරන ගීතයක් හැටියටයි. නමුත් බොහෝ අය නොදන්නවා වුණාට මෙහි ස්ත්‍රී දෘෂ්ටි කෝණයෙන් එහෙම නැත්තන් female version එකක් නීලා වික්‍රමසිංහ මහත්මියත් ගායනා කර තිබෙනවා. මේ ගීත දෙකේම පද රචකයා ආචාර්ය අජන්තා රණසිංහයනුයි.

බොහෝ කාලයක් ආදරය කරලා එක්කෙනෙක් අනෙකාට රිදවලා වෙන්වෙලා ගියාම කොයිතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්ද? මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේම අත්දැකීමක්. එතුමා තම තරුණ කාලයේ එක්තරා තරුණියකට ආදරය කරලා තියෙනවා. එනමුත් පසුකාලීනව එම තරුණිය නොසිතූ විදියට එතුමාගෙන් වෙන්වෙලා ගිහින් තියෙනවා. ඒ වේදනාව අපේ සාහිත්‍ය ජනකතා ආශ්‍රයෙන් උදාහරණ දක්වමින් අජන්තා රණසිංහයන් මේ ගීත දෙකම රචනා කරලා තියෙනවා. ඒ වගේම මේ ගීත දෙකේම විශේෂත්වය තමයි පද මාලාවේ වාක්‍ය අවසන් කරලා තියෙන්නේ ඇති-ඇති සහ ඇති-නැති යනුවෙන්. ඒක ජන ගී වලත් දකින්න පුළුවන් ලක්ෂණයක්. අපි ඉස්සෙලාම පද මාලාවන් දෙක බලමු.

මුලින්ම ටී. එම්. ජයරත්නයන් ගැයූ ගීතය. (Male Version)

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..

මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..
මේ අයුරින් අපි....

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය 
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..
මේ අයුරින් අපි...

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට 
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..

මේ අයුරින් අපි...

ටී. එම්. ජයරත්නයන් පවසන ආකාරයට මේ ගීතයේ මුලින්ම තිබිලා තියෙන්නේ අන්තරා කොටස් දෙකක් පමණයි. නමුත් පසුකාලීනව මේ ගීතයට තවත් අන්තරා කොටසක් එකතු කරා. ඒ අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය යන කොටස. ඒ කොටස එකතුකරලා නැවත පටිගත කිරීමක් කරලා තියෙනවා.

දැන් බලමු විශාරද නීලා වික්‍රමසිංහයන් ගැයූ ගීතය. (Female Version)

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..

මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

නල දමයන්තී පෙම් පුවතේ ඔබ
නල කුමරුන් වී ඉන්න ඇති..
දමයන්තිය සේ මා පැමිණියදා
මේ ලෙස මට රිදවන්න ඇති..
මේ අයුරින් අපි....

වැළපුණ දා ඔබ එනමුදු බැව් මා 
රිදුණ හිතින් පවසන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඒ බව ඔබ තව දන්නෙ නැති..
මේ අයුරින් අපි...

Male Version එකේදී අන්තරා කොටස් 3 ක් තියෙනවා. Female Version එකේදී අන්තරා කොටස් 2යි තියෙන්නේ. ගී පද රචනා දෙකම අරන් බැලුවාම දෙකේ වෙනස ඔබට හොඳින් වැටහේවී.

ඒවාගේම මෙහි සංගීතය ගැනත් කියන්න ඕන. විශේෂයෙන්ම ලංකාවේ ජනසංගීත රටාවක් අපිට ඇහෙනවා. අපේ රටේ ජනසංගීතයේ Harmony Singing කියන සංකල්පයක් නැති වුණත් මෙහි අතුරුවාදන කොටස්වල (Interlude) අපිට ඒ බව දැනෙනවා. ටී. එම් ජයරත්නයන්ගේ ගීතය අසනවිට අතුරුවාදන කොටස්වල හොරණෑවට අමතරව වයලීනය අපට ඇහෙනවා වෙනත්ම ආකාරයකින්. ඔබ හොඳින් නිරීක්ෂණය කලොත් එය අවබෝධ වෙයි. මේකට කියන්නේ Quartal Harmony එහෙම නැත්තන් හතරවෙනි අන්තරය කියලා.

ගායනය - නීලා වික්‍රමසිංහ
ටී. එම්. ජයරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පදරචනය - අජන්තා රණසිංහ





කවුරුවත් නෑ... කවුරුවත් නෑ ...

කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි.

මේ අපේ රට විවෘත ආර්ථිකය විසින් ඩැහැගත් පසුව තොටියකු වේදනාව පිටකර හරින ආකාරය. ඔහු බලාන ඉන්නවා එගොඩට යන්නට කිසිවකු එනකල්. ඉරගලත් වැටිලා. පාරුව ඇතුලට අන්ධකාරය වැටෙනතුරු ඔහු බලා සිටියා. වෙනදාට නම් මේ වෙලාවට ඔහු ලන්තෑරුම දල්වනවා. ඒ පාරුවට එළිය එන්න. ඔහු ලන්තෑරුම සෙව්වා. ඒ සමඟම "නෑ.... ඕනේ නැහැ... ඒක ඔහේ තිබුණා වේ...." එගොඩට යන්න කවුරුවත් නැති එකේ මොකටද ලන්තෑරුම පත්තුකරලා... තොටියා වේදනාවෙන් වැළපෙනවා.
 
මේ ගීය ලියුවේ හේමසිරි ගුණතුංගයන්, කේමදාස මාස්‌ටර්ගේ ඉල්ලීම මත. ඒ ගැන ගුණතුංගයන් මෙහෙම විස්තර කරනවා.

"කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා විරෝධාකල්ප ගීත එකතුවක්‌ කරන්න. ඒ 88-89 කාලයේ. අමරසිරි පීරිස්‌ගායකයා තමයි මාව කේමදාස මාස්‌ටර් ළඟට යොමු කළේ. මට ලියන්න කියුවේ එක සිංදුවයි. මම සිංදු හතරක්‌ම ලියලා දුන්නා. මේ සිංදුවේ මම පටන්ගත්තේ ඉරගල වැටිලා කියලා. ඒත් මාස්‌ටර් කිව්වා "එහෙම හරි නැහැ.... අපි "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගනිමු කියලා.

මාස්‌ටර් මේ විරෝධාකල්ප ගීත එකතු කරලා "සොහොයුරාණෙනි" කියලා කැසට්‌ පටයක්‌ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදැක්‌වුවා. නුගේගොඩ රැස්‌වීමේදී ඒ කැසට්‌ එක ගත්තු කෙනෙක්‌ මට කිව්වා මචං උඹ සිරිමාවෝට සිංදු ලියුවා නේද කියලා. ඒ වෙනකල් මම දැනං හිටියේ නෑ මාස්‌ටර් මගෙන් සිංදුවක්‌ ඉල්ලුවේ මේකට කියලා. මේ කැසට්‌ පටය කරලා තිබුණේ සමන් වීරමන්. මැතිනියගේ උපන්දිනේට තෑගි දෙන්න. මගේ ගීත හතරම මේ කැසට්‌ පටයට අරගෙන තිබුණා."

ගායනය - අමරසිරි පීරිස්
තනුව - ප්‍රේමසිරි කේමදාස
පදරචනය - හේමසිරි ගුණතුංග\




පරවුණු මල් වල සුවඳ අතීතේ ...

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා 

අතීතේ පර වුණු මල්වල සුවඳ යනු කිම? සැමියා සමග යහතින් වසන කාලයේ සිත්වූ සුවයයි. සහනයයි. එකල ඇය ඒ තතු දිවිහිමියෙන් පවතී යැයි සිතා අනාගත රන්රුවන් විමන් මැව්වාය. ඒ සියල්ල ඇගේ හිස මත පතිත විය. එයින් ඉතිරි වූ දායාදය නම් පියා නැති දුවණියෝය. අඳුර ජීවිතය අරක් ගෙනය. ඒ අඳුර යන්තම් බිඳ හෙට දිනය උදා වන්නේ ඒ දියණියන්ගේ මුවෙහි කැකුළු සිනාවෙන් ගලා එන ආලෝකයෙනි. 

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතු මල් චිත්‍රපටයේ එන පරසතු මල්වල සුවඳ අතීතේ ගීතය ගැන මහාචාර්ය සුචරිත ගම්ලතුහු පවසති. මේ ගීතය මහගම සේකරයන් රචනා කළ අතර සුජාතා අත්තනායක ගායනා කර ඇත. 

මේ ගීතය ගැන පරසතු මල් චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය අපට පවසා සිටියේ මෙසේය. 

පරසතුමල් චිත්‍රපටයේ එන දරු නැලවිලි ගීතය රචනා කිරීමට භාර ගත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි. නමුත් ඒ දවස්වල ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හිටියෙ නෑ. ගීතයේ කොටසයි ලියලා තිබුණේ. ඒ පාර පරසතුමල් චිත්‍රපටයේ තිර නාටක ලියූ පී.කේ.ඩී. සෙනෙවිරත්නයි මමයි මහගමසේකර හොයාගෙන ගියා. සේකර හිටියේ ගම්පහ සියනෑ පාරේ. මම හිටියේ පරාක්‍රම පාරේ. අපි හොඳ යාළුවෝ. තිර නාටකය බලලා සේකර අවස්ථා තේරුම් ගත්තා. සේකරයි, මමයි ගම්පහ ඉඳලා කොළඹ එනකොට කඩවත කිරිල්ලවල හරියේ තැනකදී සේකර කාරෙක නවත්වන්න කිව්වා. චිත්‍රා මේ හරියේ නවත්වන්න. සේකර කිව්වා. 

ඕන්න සේකර කාර් එකේ දොර ඇරගෙන කොළයකුත් අරං ලියනවා. 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම් දෝ 
දුවට මවක මිස පියෙකු කොයින් දෝ 

හරි මචං යමු. සේකර කිව්වා. 

පරසතුමල් වල සුවඳ අතීතේ ගීතයේ ලියවුණේ එහෙමයි. පසුව සේකර ඉතුරු ටික සම්පූර්ණ කළා. චිත්‍රා බාලසූරිය එසේ කියද්දී මට මතකයට ආවේ මියයාමට පෙර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ හා මේ ගීතයේ තනුව නිර්මාණය කළ ලයනල් අල්ගම මේ ගීතය ගැන කියූ කතාවකි. 

ලයනල් අල්ගම සංගීතඥයකු මෙන්ම හොඳ සිනමා ලෝලියෙකි. බටහිර චිත්‍රපට නැරඹීමට බෙහෙවින් ඔහු ප්‍රිය කළේය. මහගම සේකර විසින් ලියූ පරසතු මල්වල සුවඳ අතීතේ ගීත රචනය තම අතට ලැබුණු පසු එහි තනුව ගැන සිතමින් ඔහු මරදානේ නිව් ඔලිම්පියා සිනමාහලේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලීමට ගියේය. විවේක කාලයේ ඔහු සිසිල් බීම බෝතලයක් බීමට සිනමාහලේ කැන්ටිමට ගියේය. එහි තිබූ ඔර්ලෝසුවේ කටු ගමන් කරන්නේ කිසියම් නැළවිලි ස්වරයකින් හීන් හඬකින් බව ඔහුට දැනුණි. තම සාක්කුවේ තිබූ කඩදාසියක ඔහු තනුව සටහන් කරගෙන ඇත. ඒ ඇසුරින් ඔහු ශාස්ත්‍රීය රාගයක ආශ්‍රයෙන් පරසතු මල්වල සුවඳ අතීතේ ගීතය නිර්මාණය කළ බව ඔහු අපට පැවසුවේය. 

පරසතුමල් චිත්‍රපටය තිරගත වී වසරකින් 1967 වසරේ සරසවිය චිත්‍රපට උළෙලේ දී 1966 වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානය දිනා ගත්තේ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ගැයූ සුජාතා අත්තනායකය. අල්ගමයන් තුළ එදා ඇතිවූ සතුට වචනයෙන් කියා නිම කිරීමට බැරි බව කීවේය. ඔහුට මේ ගීතය නිර්මාණය කිරීමට පදනම දැමූ නිව් ඔලිම්පියා සිනමාහලේ ඔර්ලෝසුව මතක් විය. 

සති දෙකකට පසු මල්මාලයක් ද රැගෙන ඔහු සිනමාහලට ගියේය. ඔහු දැන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ විවේක කාලය එනතුරුය. විවේක කාලය පැමිණියේය. කඩදාසියක ඔතා තිබූ මල්මාලාවද රැගෙන ඔහු බීම කැන්ටිමට ගියේය. චිත්‍රපටය නැවත ආරම්භ කරන සීනුව නාද විය. කැන්ටිමේ සෙනග සිනමාහල තුළට ගියෝය. එහෙත් කැන්ටිම බාරව සිටින මුදල් අයකැමියා මුදල් ගණන් බලයි. ඔහු දැන් සිටින්නේ නොඉවසිල්ලෙනි. ඔහු එහා මෙහා ඇවිද්දේය. මුදල් කැෂියර් යාන්තම් නැගිට ගියේය. 

වට පිට බැලූ ලයනල් අල්ගම බිත්තියේ එල්ලා තිබූ ඔර්ලෝසුව වෙත ගොස් මල්මාලාව පළඳවා තම යුතුකම ඉටු කළේය. දැන් ඔහුට ලොකු සහනයක් ලැබුණා වගේය. සිනාසෙමින් සිනමාහල තුළට ගියේය. දෙසතියකින් පමණ ඔහු එම සිනමාහලට ගියේය. එහි කැන්ටිමේ තිබූ ඔර්ලෝසුව බැලීමට ඔහු ගියේය. මැළවී, ගැලවී පෙති ගැලවී ගිය මල්මාලාව තවමත් එහි එලෙසම තිබුණේය. ඔහුට සිනා ගියේය. සුජාතා සම්මාන ලැබූ පරසතුමල්වල සුවඳ අතීතේ ගීතය ඉතාමත් ජනප්‍රිය විය. 

ගායන ශිල්පිනී සුජාතා අත්තනායක කියන්නේ තම චිත්‍රපට ගායන දිවියේ හොඳම චිත්‍රපට අතුරින් සුවිශේෂ ගීතයක් බවය. 

සංගීත අධ්‍යක්ෂ ලයනල් අල්ගම මේ ගීතය නිර්මාණය කිරීමේදී ස්වරංජනී රාගයෙන් පටන් ගෙන කමාජ් රාගයෙන් අවසන් කළ ගීතයක් හැටියට මම දකින්නේ. ඇත්තෙන්ම මෙහි ස්වර සංකලනය, මිහිර, රසාස්වාදය මා නොඅඩුව ලැබුවා. මට අද වාගේ මතකයි මේ ගීතය කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේ පටිගත කළ දිනය. 

එදා මහගම සේකරයන් ඇවිත් හිටියා. සද්දන්ත මේ පුරුෂයා නිශ්ශබ්ද කෙනෙක්. අපේ ගීතය පටිගත කරනකොට ඔහු සිටියේ චිත්‍රාගාරයෙන් පිට. මොකද ඒ චිත්‍රාගාරය පුංචි එකක්. ඔහු එළිමහනේ දුම්වැටි බොමින් හිටියා. මම සේකරයන් ලියූ ගීත ගුවන් විදුලියේ පංච මධුර වැඩසටහනේ ගයලා තියෙනවා. සංගීතවත් කළේ අමරදේවයන්. සේකරයන්ගේ මුල්ම චිත්‍රපට ගීතය ගැයුවේ සාරවිට චිත්‍රපටයේ. 

පරසතුමල් ගීතය මම ලයනල් අල්ගම සමග පුහුණුවෙනකොට ඔහුගේ බිරිඳ ටෙලිෆෝනය මුර කරනවා. මොකද? ටෙලිෆෝන් හඬ අපේ වැඩේට බාධාවන නිසා. ඔහු ඉතා කැපවීමෙන් දැඩි සංයමයෙන් තමයි ගීතයට ස්වර ලිපි ලිව්වෙ. උසස් පරිපූර්ණ චිත්‍රපට ගීතයක් හැටියට ලෙස රටම මේ ගීතය පිළිගත්තා. ගාමිණි ෆොන්සේකා මිය යනතෙක්ම අගය කළ ගීතයක් මේ. 

වරක් ජාඇළ ගෙදරට ගාමිණී මටත් මගේ සැමියා නවරත්නටත් ආරාධනා කළා රාත්‍රී භෝජන සංග්‍රහයකට. එදා ඔහුගේ සර්පිනාව ගෙනැවිත් පරසතුමල් ගීතය ගයන්න කිව්වා. මම ගීතය ගැයුවා කීප වතාවක්ම. රාත්‍රී 12 පසුවන තුරු මට ගීත ගයන්න වුණා. අන්තිම වරට මේ ගීතය ගයන විට ගාමිණීට නින්ද ගිහින්. අපි ඔහුට බාධා නොකොට ගෙදර ආවා. ඔහු නැගිට්ට නම් මට තව ගීත කියන්න වෙනවා. සුජාතා කීවාය. 

ඒ.ඩී. රන්ජිත් කුමාර




හෝපළු වන පෙත ...

හෝපළු වන පෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන...

ළැම විල පියකරු හසුන් රකින්නී 
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්තන රංගන කළ මැන... 

හෝපළු වනපෙත......

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී
මන්මද නර්තන රංගන කළ මැන...

හෝපළු වනපෙත......

මේ ගීතය වික්ටර් රත්නායකයන් අතින් නිර්මාණය වූයේ ‘ස’ ප්‍රසංගය අතරතුරය. එය සිදු වූයේ තරමක ආන්දෝලනාත්මක සිදුවීමක් නිසා. වික්ටර් රත්නායකයන් මේ ගීතයට කලින් ගැයුවේ දයානන්ද ගුණවර්ධනයන් රචිත, ලයනල් අල්ගමයන් විසින් සංගීතවත් කළ ‘සොඳුරිය ඔබගේ වුවන මලක් නම්’ ගීයයි. ‘වික්ටර්ගේ ‘ස’ දුවන්නේ මගේ ගීතය නිසා’ යැයි වරෙක ලයනල් අල්ගමයන් කර තිබූ ප්‍රකාශය නිසා වික්ටර් රත්නායකයන් ඉන් මතුවට ඒ ගීතය නොගයන්නට තීරණය කලා.

 සිය මිතුරු කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ට කියා මේ ගීතය රචනා කර ගෙන එය සංගීතවත් කොට ගායනා කළේ ඔහු සතු අදීනත්වය හා නොනැමෙන සුළු ගතිය නිර්මාණශීලීව විදහා පාමින්. මේ ගීතයේ තනුව සඳහා එතුමා යොදාගෙන ඇත්තේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන භාගේශ්‍රී රාගය ඇසුරු කරගනිමින්.

ධර්මවර්ධනයන් මේ ගීතය රචනා කර තිබෙන්නේ ඉන්දීය කවියෙකු වූ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය නම් කාව්‍ය ග්‍රන්ථය ඇසුරින්. ගෝවින්ද කියන්නේ විෂ්ණු දෙවියන්ටයි. විෂ්ණු දෙවියන්ගේ අවතාර දහයක් ගැන සාහිත්‍යයේ සඳහන් වෙනවා. එයිනුත් ක්‍රිෂ්ණා ලෙස එතුමා මනුලොව ඉපදුණු විට සිදුවූ පුරාවෘත්ත සංස්කෘත බසින් කාව්‍යමය ස්වරූපයෙන් ලියා තිබෙනවා.

මෙවැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ධර්මවර්ධනයන්ට කියවීමට අවස්ථාව ලැබුණේ එතුමා නිවේදකයෙක් වීමට පෙර පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ලෙස කටයුතු කර ඇති නිසා. ඒ වගේම මල්වතු විහාරයේ වෑඋඩ දේවමිත්ත ස්වාමීන් වහන්සේගෙන් එතුමා කුඩා කල සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ඉගෙනගෙන තියෙනවා. එතුමාගේ අතේ නිතරම පොතක් තිබූ බව එතුමාගේ මිතුරන් පවසනවා. ඉතින් මේ ගීතය එතුමා ලැබූ පරිචය ගැන මොනවට පැහැදිලි කරනවා.

මේ ගීතයෙන් ඇත්තටම කියවෙන්නේ සරස්වතී දෙවඟන ගැනයි. සාමාන්‍යයෙන් එතුමිය ගැන අභිනන්දන ගීත තමයි අපිට නිතරම අසන්නට ලැබෙන්නේ. නමුත් මෙතන ඇයට වේදිකාවට ඇවිත් නර්තනයක් ඉදිරිපත් කරන්නට කියා ආරාධනා කරනවා.

හෝපළු වන පෙත -හෝපළු කියලා කියන්නේ අසෝක නම් ගස්වර්ගයටයි. අසෝක මල් වලට හෝපළු යන වචනයත් යෙදෙනවා.

ළැම විල පියකරු හසුන් රකින්නී - නිතරම සිනා මුසු මුහුණින් සිටින පියකරු ළැමක් ඇති.

සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී - සිහින් ඉඟක් ඇති පුළුල් උකුලක් ඇති. 

අංජන ගල්වන පංකජ නයනී - ඇසේ අංජන ගල්වන සරස්වතිය, මෙතන පංකජ කියන්නේ මඩේ උපන් කියන තේරුම නෙමෙයි. නෙළුම් මලක් තම ආසනය ලෙස තබාගෙන සිටින යන අර්ථයෙන් තමා සරස්වතියට පංකජ කියලා තියෙන්නේ. සංස්කෘත භාෂාවේ පංකජ කියන වචනයට නෙළුම් මල කියන තේරුමත් එනවා. පංකජ කියලා බ්‍රහ්මයාටත් කියනවා. ඉතින් සරස්වතිය කියන්නේ බ්‍රහ්මයාගේ බිරිඳ නේ. ඇයටත් පංකජ කිව්වාට ප්‍රශ්නයකුත් නැහැ.

වෙණ චංචල කළ සත්සර දියණී - වීණාව වයන සංගීතයට අධිපති දියණිය.

දැන් බලමු තේරුම.

සරස්වතී දේවීය, අසෝක ගසින් පිරි වනයම මන්මත් කරවන නර්තනයනක් ඉදිරිපත් කරනු මැන. 

නිතරම සිනා මුසු මුහුණින් සිටින පියකරු ළැමක්, සිහින් ඉඟක් සහ පුළුල් උකුලක් ඇති සරස්වතිය, මන්මත් කරවන නර්තනයනක් ඉදිරිපත් කරනු මැන.

ඇසේ අංජන ගල්වන, නෙළුම් මලක් තම ආසනය ලෙස තබාගෙන සිටින, වීණාව වයන සංගීතයට අධිපති දියණිය, මන්මත් කරවන නර්තනයනක් ඉදිරිපත් කරනු මැන.

ඉතින් මේ ගීතයේ තනුවට භාගේ ශ්‍රී රාගය යොදාගන්නට හේතුවත් ආචාර්ය වික්ටර් රත්නායකයන් පවසන පරිදි, මෙහි මාත්‍රා 16 බැගින් අඩංගු වෙලා තිබෙන නිසාත් ගීත ගෝවින්දය ඇසුරින් ලියා තිබෙන නිසාත්ය. අනිත් එක භාගේශ්‍රී රාගයේ ස්වර සංගතියෙන් අපට හැඟවෙන්නේ, පෙම්වතියක් තම පෙම්වතා එනතුරු බලා සිටින විට ඇතිවන හැඟීමයි. එහි ගායන සමය රාත්‍රී දෙවන ප්‍රහාරයයි. එනම් රාත්‍රී 9-12 කාලය.

ඉතින් මෙතන සරස්වතියට ඇවිත් නර්තනයට ආරාධනා කරන තුරු අපිට ඇතිවන හැඟීම ඒ තනුවෙන් උද්දීපනය වෙනවා නේද?

ගායනය - වික්ටර් රත්නායක
පදරචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව - භාගේශ්‍රී රාගය



දිගු නෙත් හරැල්ලේ ...

දිගු නෙත් හරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනැහුන උදයේ ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින්
ගත කළ සොඳුරු පැයේ
මල් හිනැහුන උදයේදී ආදරයද මට කීවේ

දිගුනෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසම් සුසුමින් නෙතු බොඳවෙද්දී
සැඩ හිරු නැඟි මද්දහනේ... ආදරයද මට කීවේ

දෙදෙනා ආ මග අද මා තනිවම
ඔබ නෑ මගෙ හෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු සෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුණ දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දැවේ
ආදරයද ඔබ කීවේ

ගී පද - කුසුම් පීරිස්‌
තනුව/සංගීතය - අජිත් ජයවීර
ගායනය - දයාරත්න පෙරේරා

දවස උදාවෙද්දි හිමිදිරියේ අරුණළු නැඟ එද්දී හිතට දැනෙන සුවය කියන්න බැරි තරම්. හැඟීම් සමුදායක්‌ හිතේ උපදිනවා. මුල්ම මුල් වතාවට හිත තුළ ආදරයක්‌ පටන් ගනිද්දීත් එහෙමයි. දවසක්‌ ආරම්භයේදී වගේම තමයි ආදරය මෝරන මුල්ම වෙලාවේදීත් හිතට දැනෙන මිහිර... කියාගන්න බෑ. හරිම සුවදායකයි. ගතටත් හිතටත්.

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගෙ හිත අමතා
හිරු හිනහුන උදයේහි ආදරයද මට කීවේ

හිරු හිනැහෙන මොහොතක ඉපැදුනු ආදරයත් ඈ ඔහුට ආදරය ප්‍රකාශ කළේ දිගු දැසින් සිනාසිලා. ඒ බැල්ම දවස පුරාම ඔහුගේ හිතට සැනසුමක්‌ ගෙන දුන්නා.

කුසුම් පීරිස්‌ ප්‍රවිණ නිවේදිකාව ගීත රචිකාවක්‌ ලෙස දස්‌කම් පෙන්වූ තවත් ගීයක්‌. තනුව අජිත් ජයවීරගේ.

මගේ මිතුරෙකු ගැහැනු ළමයකුට ආදරය කළා. ඒත් ඇය ටික කලකින්ම වෙන කෙනෙක්‌ එක්‌ක යාලුවෙලා. දැන් ඔහු ඇයට වෛර කරනවා. ආදරය කළාම කොහොමද වෛර කරන්නේ කියලා හිතුනා. දයාරත්න පෙරේරාට සරල ගී වැඩසටහනකට සිංදුවක්‌ ලියා දෙන්න කීවෙත් මේ කාලෙදි "ඉතින්" වෛර කරන් නෑ. මං කවදාවත්" කියන කොටස පළමුව මගේ අතින් ලියෑවුණා. කුසුම් ගීය රචනා කළ හැටි පැවැසුවා.

උදේ හවා කල ගෙවන තුරාවෙදි
පටුමාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින්
ගත කළ සොඳුරු පැයේ
මල් හිනැහුන උදයේදී ආදරයද මට කීවේ

දිගුනෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසම් සුසුමින් නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැඟි මද්දහනේ ආදරයද මට කීවේ

උදේ දවල් හවස තුන් කාලයම ගෙවෙනතුරු පටු මාවත්වල. ගස්‌වැල් හෙවනේ ආදරය කළ හැටි ඔහුට සිහිපත් වෙනවා. ඒ ආදර සිසිලස වීඳි පැය හරිම සුන්දරයි. ඈ ඔහුට ආදරය ප්‍රකාශ කළේ මල් පිබිද හිනැහෙන උදයක... ඒත් චණ්‌ඩ හිරු රශ්මියෙන් රත්වූ මද්දහනෙදි... ඇගේ හදවතත් ප්‍රචණ්‌ඩවෙලා උදෑසනදී ඇගේ ඒ ලස්‌සන දිගු නෙත්වලින් උපන් සිනහව මද්දහනේදි ඔහුගේ හිත රිදවන තරමට ප්‍රචණ්‌ඩවෙලා. දැන් ඔහුගේ සුසුම් පවා උණුසුම්. නෙත් කඳුළින් බොඳවෙලා. ආරවුලක්‌. හිරු නැග එද්දි ඇරැඹි ආදරය... මද්දහනේදි. වෛරයකට හැරෙන්නයි සූදානම.

මේ ගීතය දෙස බලන්න. සාමාන්‍ය ගීයක ස්‌ථායී කොටසට වඩා වෙනසක්‌ මේ ගීයේ ස්‌ථායි කොටසේ දකින්න පුළුවන්. ස්‌ථායි කොටස්‌ තුන එකිනෙකට වෙනස්‌. කුසුම් පීරිස්‌ ගී පද රචිකාවිය කළ ඒ වෙනස ගීයටත් අලුත් අලංකාරයක්‌ ගෙන දෙනවා.

මේ ගීය කුසුම් පීරිස්‌ ලියුවේ අජිත් ජයවීරගෙ මෙලඩියටයි. කුසුම්ගේ හිතවතියක්‌ හිටියා බත්තරමුල්ලේ. එහිදී තමයි මේ මෙලෙඩි එකට කුසුම් ගීතය ලියුවේ. ගායකයා, සංගීතඥයා සහ ගී පද රචිකාව එක්‌ව සාකච්ඡා කරමින් නිර්මාණය කළ ගීයක්‌ නිසා මේ ගීතය අදටත් සාර්ථක ලෙස ප්‍රතිචාර ලබනවා" ගායක දයාරත්න පෙරේරා පැවැසුවා.

දෙදෙනා ආ මග අද මා තනිවම
ඔබ නෑ මගෙ සෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු සෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දැවේ
ආදරයද ඔබ කීවේ

ඈ ඔහු හැර අනෙකෙකු සමග ගිහින් දැන් ඔහු තනිවෙලා. දෙදෙනා ආදරයෙන් වැළඳගෙන ආ ගිය මාවතේ අද ඔහු තනියම... ඈ ඔහුගේ සෙවනෙන් නික්‌ම ගිහින්. ඒත් ඔහු ඇයට වෛර කරන්නෙ නෑ. අවංක ආදරයක්‌. වෛරයකට පෙරළන්න පුළුවන්ද... බැහැ. ඔහු ප්‍රාර්ථනා කරනවා ඇයට අලුත් පෙම්වතා සමඟ සැනසීමෙන් ඉන්න කියලා. ආදරය කියන්නේ මොනතරම් රෞද්‍ර වූ හීනයක්‌ද ඒ පාඩම ඔහුට කියලා දුන්නෙත් ආදරයම තමයි.

හිරු හිනැහෙන උදයක උපන් ආදරය සැඩ හිරු රැස්‌ ඇති මද්දහනකදි කැඩී බිඳී සුන්වී ගියා. හැන්දැව දෙදෙනා එකිනෙකාගෙන් සමුගන්නා හැන්දැව හිරු වැළපෙමින් හඬා වැටෙන හැන්දැවේ ඔහුගේ නෙත් කඳුළින් තෙත් වෙලා.

ඔයා මගේ නෙත් කඳුළින් තෙමලා... ඔහුගේ හදවත සනසාලනවා. හිරු උපදින උදයේදි ඔයා මට ආදරෙයි කියා කිව්වා. ඒ වගේම හිරු වැළපෙන මේ හැන්දැවෙදි ඔයා අලුත් පෙම්වතාටත් කිව්වේ ආදරෙයි කියලද... ඔහුගේ හඬා වැටෙන සිත ඇගෙන් විමසනවා.

අජිත් අලහකෝන්



පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ ...

පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ   
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ’’   

වනේ පුරා සොයා ගොසින් ​කෝටු කඩලා   
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා   
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබලා   
උදේ පටන් දවස පුරා කූඩු තනාලා   

කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ   
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ   
රැලේ රැලේ පුළුන් දමා යහන සදන්නේ   
අගේ මටයි ළදරුවනේ, එය නොකඩන්නේ   

මෙදා මගේ නිවෙස ඇතා සතුට වඩාලා   
උදාර වූ කිරිල්ලගේ දරුවො පිරිලා   
එදා අනේ අපට ගලෙන් ගැයුව සියල්ලා   
වැඳා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා   

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා   
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා   
සමාවෙලා මේ අප වෙතේ දිවි රැක ගන්ටා   
නමා යදිමි දෙන්න පුතේ වෙතෙන රඳන්ටා   

හරියටම මීට වසර 65 කට ඉහත ගීතය සී.ටී. ප්‍රනාන්දු විසින් ගයා එච්.එම්.වී. (ඩබ්ලිව්.එන් 70) ලෙස තැටියට නැංවී ඇත. මේ ගීතයෙන් කියවුණේ අහිංසක නිදහස් ජීවිතය ගැනය. ගීතයේ රචකයා වූයේ ආර්.එන්.එච්. පෙරේරාය.   

මේ ගීතයේ උපත ගැන අපට තොරතුරු කීවේ ආර්.එන්.එච්. පෙරේරා ගේය පද රචකයාගේ දියණිය වන මීගමුවේ ඒ.කේ.බී.පී. ප්‍රනාන්දු මාවතේ පදිංචි රංජනී පෙරේරා කරුණාසේනය.
   
පෙරේරා මහතා ගීත රචනයට පිවිස ඇත්තේ 1943 වසරේය. තමා ලියූ ප්‍රථම ගීතය වූ ‘‘ආලෝකේ කියා ලෝ කියන්නා’’ ගීතය පවසා ඇති ඒ මහතා, එකල හැම ගීත රචකයාටම බෝවී තිබූ රෝගයක් ගැන ද 1955 වසරේ සිළුමිණ පුවත්පතට අදහස් දක්වා තිබුණි.   

හැම ගීත නිබන්ධකයකුම තමන්ගේ ගීත වස්තු කොට ගෙන තිබුණේ ආලය සම්බන්ධ මාතෘකා. මා සිතුවා ආලය නැතිව අහිංසක කුරුල්ලන්ගේ නිදහස් දිවි පෙවත ගැන ගීතයක් ප්‍රබන්ධ කිරීමට. 1943 වසරේ මේ ගීතය ලිව්වේ ‘කුරුලු විලාපය’ නමින්. ආර්.එන්.එච්. පෙරේරා හතළිහ දශකයේ පදිංචිව සිටියේ නුගේගොඩ පැලවත්තේ නිසංසල නිවසකය. නිවස පිහිටා තිබුණේ පුංචි වත්තකය. හැම තැනම ගහකොළය. හරියට පුංචි කැලෑවක් සහිත මේ පරිසරයේ කුරුලු හඬ දසතින් ඇසී ඇත. මේ පරිසරයේ නිවසේ කාමරයක හරිකේන් ලාම්පුවක එළියෙන් ඔහු ළමා පොත් සහ ගීත ලියා ඇත.   

හුඟාක් ලියා ඇත්තේ ළමුන්ට හරියන කුමාර කතාය. ඒ පොත් පෙළට පියාසර කළ ඇතා කුඩා වීරයා, හරිම පාඩම, පුදුම කිරුළ වගේ පොත් ඇතුළත් වී ඇත.   

ගායකයකු ලෙස කළ එළි බසින සී.ටී. ප්‍රනාන්දු ආර්.එන්.එච් ගේ ඥාතියෙකි.   

සී.ටී. අන්කල් අපේ ඥාතියෙක්, වගේම පවුලේ මිත්‍රයෙක්. මගේ අම්මගෙ අයියගෙ පුතා සී.ටී. බෝඩින් වෙලා හිටියෙත් අපේ නුගේගොඩ පැලවත්තේ ගේ ගාවමයි. සී.ටී. අන්කල් අම්මා මිය ගියාට පස්සේ එයාව හැදුවේ අපේ අම්මා. තාත්තා සී.ටී. අන්කල්ට කතා කළේ සිරිල් කියලා. එයාගේ සම්පූර්ණ නම සිරිල් ටීඩී ප්‍රනාන්දු. සී.ටී. තාත්තට කතා කළේ රිචඩ් කියලා. මගේ තාත්තා ස්වභාවධර්මයට ආසයි. තාත්තා වැඩ ඉවර වෙලා ඇවිත් රෑ කෑම කාලා කළු සුරුට්ටුවක් බිබී කල්පනා කර කර ඉන්න කොට ඔන්න සී.ටි. අන්කල් ගිටාරයකුත් අරගෙන අපේ ගෙදර එනවා. සී.ටී. අන්කල් ගීතයක තාලයක් ගිටාරය වයමින් මුමුණනවා. තාත්තා ඒකට උචිත වචන යොදනවා. බර බාගේ බර බාගේ, සුවඳ රෝස මල් නෙළා, අම්බිලි මාමේ ඔබ මොකද කරන්නෙ වගේ ගීත තාත්තා අතින් ලියැවෙන්නේ ඔය විදිහට.   

අපිට තිබුණේ පුංචි වත්තක්. නුගේගොඩ ඉතා නොදියුණු ගමක් වගේ ඒ කාලේ (1943) තිබුණේ. මම පවුලේ වැඩිමලා. පුංචි මාව අතින් අල්ලාගෙන තාත්තා වත්ත පහළට එක්ක යනවා. අපි ගහ කොළ එක්ක කතා කරනවා. දවසක් අපිට කුරුල්ලෙකුගෙ විලාපයක් ඇහුණා. එයාගේ කුරුළු කූඩුව කවුදෝ කඩලා දාලා. පැටව් කොහේ ගියාද කියලා දන්නේ නෑ. එයා විලාප දිදී පැටව් හොයනවා. අනුමානයක් නෑ අවට ඉන්න දඩබ්බර ළමයි කූඩුව කඩල ඇති. තාත්තා සංවේගයෙන් යුතුව කුරුල්ලන්ගෙන් මෙහෙම ඇහැව්වා.   

අැයි උඹ අඬන්නේ, පැටව් නැත් ද? කූඩුව කැඩුවා ද? ඔය විදිහට.   

තාත්තා මාත් එක්ක ගෙට ගොඩ වුණේ සංවේදී හැඟීම් ඇතිව. එදා රෑ තාත්තා හරිකේන්තියෙන් ලාම්පුවේ එළියෙන් මේසයේ ඉඳගෙන මොනවද ලිව්වා. ඒ කාලේ අපිට ලයිට් නැහැ. ඔන්න රෑ සී.ටී. අන්කලුත් ගෙදර ආවා. සිරිල් මම හොඳ ගීතයක් ලිව්වා. තාත්තා ලියපු කඩදාසියක් සී.ටී. අන්කල්ට දුන්නා.   

සී.ටී. අන්කල්ගේ මුහුණ එළියවෙලා. හඳ එළියෙන් ඒ හිනා මල් ඉතිරිලා. කඩදාසිය බලාගෙන ඔහු ගිටාරය තාලයකට වයනවා. ඒක හෙමින් ගලා යන රිද්මයක්. රිචඩ් මේකෙන් අපූරු ගීතයක් හදන්න පුළුවන්.   

පින් සිදුවෙන්නේ   
අනේ බාල ළමුන්නේ   
මගේ කුඩා නිවස කඩා   
බිම නොදමන්නේ   

සී.ටී. අන්කල් ගයනවා. ඒක අහල තාත්තාගේ මුහුණ එළියවෙලා. ඔහොමයි ඔය ගීතය උපන්නේ. රංජනී මතකය අවදි කරමින් කීවාය.  




පනාමුරේ...

පනාමුරේ.... පනාමුරේ...
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා
අභීත නද පා
හස්‌ති රජා ඒ//

කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

සොහොයුරු කැල සොයනා වූ නිදහස
සඳහා පණදුන් ආලේනී...
ජාතිය උදෙසා ජීවේ පුදලා
සිහිවේ සිහිවේ නාමේ ඔබගේ
කළේ සවන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

පනාමුරේ.....

තිරිසන් භවයේ උපනත් ඔබගේ හෝ...
සැමදා සිහිවේ එඩිතර භාවේ
රුදු මිනිසාගේ ඒ වෙඩි පහරින්
එඩිපා ළය දී ගියේද සුරලෝ
පනාමුරේ කැලයේදී...

පනාමුරේ.

1950 අගෝස්තු මස 09 දින වෙඩි පහරකින් මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් රට පුරා මහත් අනුකම්පාවක් ඇති විය.   

අලි පරපුරේ විමුක්තිය උදෙසා එම හස්තියා දිවි පූජා කළ නිසා ජනතාව තුළ ගෞරවාන්විත භක්තියක් ඇත් රජු කෙරෙහි ඇතිවිය.   

භාරතයේ මහා සංගීතඥ නවුෂාඩ්ගේ සංගීත නිර්මාණයකට අනුව බිහි වී තිබූ ගීතයක තනුවකට අනුව “පනාමුරේ ඇත් රාජා” ගීතය සුගතපාල මලලසේකර විසින් රචනා කරන විට පනාමුරේ හස්තියා මිය​ගොස් මාස තුනක් හෝ ගත වී නොතිබිණි.  

සුගතපාල මලලසේකර “පනාමුරේ ඇත් රාජා” ගීතය ලියා එම ගී පද පෙන්වූයේ මහා කවි ආනන්ද රාජකරුණා මහතාටය. රාජකරුණා මහතා එම ගී පද පරීක්ෂා කර බලා ඉමහත් සතුට පළ කළේය. මෙම ගීතයේ “ගණ” පිහිටීම අනුව හස්තියාගේ මරණයට වගකිව යුතු අයට මහත් අපල ගෙන දෙන බව ද රාජකරුණා මහතා අවධාරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්‍ෂ ධුරය දැරූ ඩී.එම්. කොළඹගේ මහතාගේ ද අනුග්‍රහය ඇතිව 1951 ජනවාරි මුල්භාගයේදී තමාම ලියූ ගීතය සුගතපාල මලලසේකර මහතා විසින් ගායනා කරනු ලැබූ අතර සංගීතඥ මොහොමඩ් ගවුස් එය සංගීතවත් කළේය. එදා ​කොළොම්බියා තැටිගත කළ එම ගීතය ගුවන් විදුලි සංස්ථාවේ තවමත් සුරක්ෂිතව තිබේ. ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වී දින තුනකට පසුව 1951 ජනවාරි 21 දින පනාමුරේ හස්තියාට වෙඩි තබන්නට අණ කළ හිටපු කතානායකවරයකු වූ ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතා කතානායක පුටුවේ දී හෘදයාබාධයක් සැදී මියගියේය.

        
  



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...