Wednesday, February 17, 2021

සූසැට බරණින් සැරසීලා ...

සූසැට බරණින් සැරසීලා

නා කපනා වැහි වැටෙන වෙලේ

විසාකා තුමෝ පැමිණි විලාසෙන්

මට එන්නට බෑ නිසංසලේ .........//


පමා වූණෝතින් මන්දාරම් යකු

පලාපු දර ටික තෙමා දමාවී

පමා වූණෝතින් රත්තියි පැටියයි

ඕවිට අයිනේ තෙමී නැහේවී


සූසැට බරණින්.....


පමා වුණොත් දොළ දෙගොඩ තලාලා

ඒදඬු මංකඩ අගුලු දමාවී

එහෙම වූණෝතින් උපුලියි වූටියි

කදුළු වතුර බී බලා ඉඳිවී


සූසැට බරණින්....


ගායනාව : නීලා වික්‍රමසිංහ

පද රචනය : ජයරත්න ගමගේ

තනුව : වික්ටර් රත්නායක


”සූ සැට බරණින් සැරසීලා” ගීතය, ගැයුණු දා පටන් අද දක්වාම ඇති මහත් ජනාදරයට පත් සුවිශේෂී ගීතයක්?


ජයරත්න ගමගේ මහතා අදහස් දක්වමින් "මේ ගීතය මං ලිව්වේ 74 විතර. මට අවුරුදු විස්සක් විතර වයසේදී. එතකොට මම ඒ වයසේ අනිත් ළමයින්ට වැඩිය පොඞ්ඩක් එහාට ගිහිල්ලා හිටියේ. අවුරුදු දහසය දහ හත කාලේම දේශීයත්වය, ලංකාවේ ඉතිහාසය, මිනිසුන්ගේ සහ දේශපාලන ප‍්‍රශ්න පිළිබඳ මගේ උනන්දුවක් තිබුණා. ඒ පසුබිමේ ජාත්‍යන්තර කාන්තා වර්ෂය ප‍්‍රකාශයට පත් කළා. ඒ වගේම අපේ ගම්බද කාන්තාවෝ ඒ කාලේ බොහෝවිට රැකියාවකට ගියේ නැහැ. පුරුෂ පක්ෂයෙන් ගෙදරට අවශ්‍ය සැපයීම් කළා. කාන්තාවෝ සම්පූර්ණ ගෙදර දොර කටයුතු බලාගත්තා. ඔවුන්ට ලොකු වැඩ කොටසක් තිබුණා. ඔවුන් දර කඩා ගන්න ඕන, වතුර ගේන්න ඕන, වී ටික වේල ගන්න ඕන. එතකොට දරු මල්ලන් බලා ගන්න ඕන, තව ඒ හා සම්බන්ධ අනිත් අය ගේ කටයුතු කරන්නත් ඕන. එහෙම පසුබිමක ඒ කාන්තාවෝ හුඟක් කාර්ය බහුලව, අධික විදිහට ශ‍්‍රමය වැය කරමින් ජීවත් වුණා. විනෝද වෙන්න කියලා දැන් තියෙන විනෝද මාධ්‍ය මුකුත් තිබුණෙත් නෑ. එතකොට එහෙම පරිසරයක හිටපු කාන්තාවන්ගේ ජීවිතයයි නාගරික ඇති හැකි කාන්තාවන්ගේ ජීවිතයි අතර සංසන්දනයක් තිබුණා මගේ හිතේ. ඒ සංසන්දනය තමයි මේ ලියවුණේ. පොඩි කාලේ දහම් පාසල් එහෙම ගියාම විශාඛාවන්ගේ ස්වරූපය, ඇය අර මහා මේල පළඳනාව ඇතුළු හුඟක් ආභරණ පැළඳගෙන මහා වැස්සක් වහින වෙලාවේ ජේතවනාරාමයට බොහොම සන්සුන් ගමනින් ආවා කියලා කියනවා. එතුමියට ප‍්‍රශ්නයක් නැහැ. තෙමි තෙමි ආවෙත් භක්තිය නිසා වෙන්නත් ඇති සමහරවිට. නමුත් ඒ හා සමාන චර්යාවක් හැසිරීමක් දරන්න පුළුවන් කමක් නැහැ අපේ ඒ කාලේ ගම්බද හිටපු කාන්තාවන්ට. ඔවුන්ට නොයෙකුත් රාජකාරී. ඉතිං ඔය ඔක්කොම කල්පනා වෙද්දී මගේ ඔලූවට ආවා ඒ වචන ටික. ඊටපස්සේ විනාඩි කිහිපයකින් මං ගීතය ලියලා අවසන් කළා.


කාට දෙන්නද ගීතය රචනා කළේ?


ඉස්සෙල්ලම නං ගීතයක් හැටියට ලියලා තිබ්බ එක විතරයි කළේ. මොකද මාව කව්රුවත් දන්නෙත් නෑ ඒ කාලේ. හැබැයි පසු කාලයේ මම ඔය ලියන ගීත තුන හතර එක්කහු කරලා ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන්ට තැපැල් කළා. කව්රුත් ඒවා ගත්ත හැඩක් තිබුණේ නෑ. දවසක් අහම්බෙන් ඉරිදා පත්තරේක නීලා වික‍්‍රමසිංහගේ පින්තූරයක් ලොකුවට තිබ්බා ඇය ගැන විස්තරයකුත් එක්ක. ඇය එතකොට මං හිතන්නේ අරුන්දතියේ සංගීතය ඉගෙන ගන්නවා. ඒ ගමන මං ඇයගේ ලිපිනය හොයාගෙන යැව්වා මේ ගීතයයි තව දෙක තුනකුයි. මේ ගීතය ඇය අරං තිබුණා නව පද මාලා කියන වැඩසටහනට. වික්ටර් රත්නායකයන් තමයි සංගීතය නිර්මාණය කරලා තිබුණේ.


ඒ කාලේ ඔය ගුවන් විදුලි සංස්ථාවේ ගීත අනුමත මණ්ඩලයෙන් ගීතයක් අනුමත උනාම රුපියල් තිස් දෙකයි පනහක් ද කොහෙද ගෙව්වා මට මතක විදිහට. මට ඒ මුදල ගෙනත් දුන්නෙත් ප‍්‍රියානන්ද විජේසුන්දර මහත්මයා.


සූ සැට බරණින් ප‍්‍රචාරය වූ මුල්ම දවසේ ගීතය අහන්න ලැබුණද?


ඔව්. නීලා වික‍්‍රමසිංහ මහත්මිය මට ලියුමක් එවලා තිබුණා අහවල් දවසේ ප‍්‍රචාරය වෙනවා කියලා. මේ කාරණාව දැනගත්තහම මම හිතපු දේකට පිළි ගැනීමක් ලැබුණා කියලා හැඟීමක් ආවා. ආඩම්බරයක් නෙමෙයි, ඒක ගැන යම්කිසි ප‍්‍රසාදයක් ඇතිවුණා කියන්න පුළුවන් ඒ වයසේදී.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...