Monday, November 30, 2020

අවන්හලක ඉපදී...

අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //


මෙහි ඇති සුළු කලක විනෝදේ

මත දෙවියන් යැයි රඟන මෙවේලේ

මළ පසු මට හිමි සොහොන් කොතේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං


අමතක කර ආදර ලෝකේ

සැමදා බොමු මේ ජය පානේ

ජීවත් වන මේ සුළු කාලේ

මගෙ මිතුරා වේ මධු පානේ

මගෙ මිතුරා වේ මධු පානේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //

මේ අවන්හලේ මං


ගායනය - ෂෙල්ටන් මුතුනමගේ

පදරචනය - ජයන්ත ප්‍රනාන්දු

සංගීතය - ජයන්ත ප්‍රනාන්දු


අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ නමින් ෂෙල්ටන් ගායනා කළ, ගීතය ගැන චෝදනා එල්ල වුණා නේද?

‘ඒ ගීතය නැව්වල වැඩකරපු මගේ මිතුරෙකු වන ජයන්ත ප්‍රනාන්දු ලියල හදාගෙන කියපු ගීතයක්. පස්සෙ මම ඉල්ලගෙන ගායනා කළා. මම ගායනා කළාම ‍රසිකයන් අතරට ගියා. සමහරු මේ ගීතයේ අදහස ගැන විවිධ මත පළ කරල තිබුණ තමයි. ඒත් මධුලෝලියකුගේ සිතුවිලි කියවෙන ගීතයක් හැටියට මේ ගීතයට කැමති පිරිසක් ඉන්නවා.’

ඔය ගීතය මගේ අදහසක්වත් මම කියලා ලියවගත්ත එකක්වත් නෙවෙයි. ගීතය ගැයුවාට ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් හෝ කැමැත්තකුත් නෙවෙයි. ඇත්තටම මෙය මුළු ජීවිතයම මීවිත කියලා හිතන කෙනෙක්ගේ සිතුවිලි ගැන කියවෙන ගීතයක්. මෙය ලිව්ව ජයන්තගේ මාමා  කෙනෙක් ඉන්නවාලු "කෙනත්" කියලා. ඔහු මත්පැන් තමන්ගේ ජීවිතය කියලා හිතන කෙනෙක්ලු. ජයන්තගේ මේ මාමාගේ ක්‍රියාකලාපය මුල්කරගෙන තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. මේ ගීතයේ "මේ සසරේ පින්කර ඇති  එකම කෙනා මං" කියන පදවල "කෙනා" නමින් හඳුන්වලා තියෙන්නේ කෙනත් කියන නම කෙටි කරලයි. මොකද බොහෝ දෙනෙක් ඔහුව අමතලා තියෙන්නේ "කෙනා" කියලයි. මේ කෙනත් මාමා තමන්ගේ ජීවිතය මත්පැන් කියලා හිතපු පුද්ගලයෙකු ලු. 

මේ ගීතය රසිකයන් අතරට වේගයෙන් ගියා. බොහෝ දෙනා හිතුවේ මම මත්පැන්වලට ගිජු වෙලා ඒක ගැන සින්දුවක් කියනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි මේක.


(උපුටා ගැනීම - සාරවිට ශාන්ත කුමාර විතාන) 




නින්ද නැති රැයේ ...

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


කිළිපොලා සැළී යමින් නොහිමි සීතලේ

තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


ගායනය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - ගුණදාස කපුගේ


"නින්ද නැති රැයේ" ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් අදහස් දක්වමින්.... 

මාව මොනරාගලට මාරු කළාට පස්සේ මං හිටිය නවාතැන ඉස්සරහට පේනවා මරගල කන්ද. ඒ කන්ද මීදුමෙන් වැහිලා යනවා. ඒක උඩින් හඳ පායනවා. පොද වැස්සක් වැටෙනවා. මට ඉතිං පරිසරයත් එක්ක මතක් වෙනවා ඇය. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප‍්‍රථම පේ‍්‍රමයේ. හඳ කඳුළු මීදුමක හැංගිලා අඬනවා. මං කල්පනා කරනවා ඒ ඇය තමයි. ගෙදර තනිකරලා දාලා ආපු ඇගේ ඒ නිල් ඇස් වල එළිය කාන්තිය නිවිලා යනවා. ඒ කියන්නේ අඬන්න සූදානම් වෙනවා. වැහි බිංදු වැටේවි, ඔන්න අඬන්න පටන් ගන්නවා. තොල් සැලෙන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් ඇවිල්ලා ආයේ ඉක්මනටම මං ආයේ මගේ සේවයට යන්න පිටත් වෙන්න ඕන ආයේ අවදිවෙලා පහුවෙනිදා. 

ඇය වෙනුවෙන් හුඟක් කවි ලියා තියෙනවා ගීතවලට වඩා. මේක විවාහයට පෙර ලියවුණු ගීතයක්.

මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරණයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහයකට විතර පස්සෙ නැවත පටිගත කරනවා. ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිටපිටම වසර 03 ක් පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි. 

(උපුටා ගැනීමකි)







පින්න මලේ සුද ...

පින්න මලේ සුද ඇන්න ගිහින්වද

මුහුණ පුරා පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා //


දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

අන්න බලාපන් අත වනතේ

මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට

ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ


පින්න මලේ....


ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ

එන්නෙ අළුත් අවුරුදු කාලේ

ගන්න එපා පර දේස සිරිත් නෙක

මේක අපේ සිංහල දේසේ


පින්න මලේ....


ගායනය - එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - අමරසේන කංකානම්ගේ


 "පින්න මලේ සුද" පේ‍්‍රම ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින්......

 

එඩ්වඩ් දවසක් මට කිව්වා ”අමරේ, මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඩ්වඩ්ට කිව්වා අනේ එඩ්වඩ් මං සිංදු ලියලා නං නෑ, කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඩ්වඩ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා, කොහොම හරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයාගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.

 

ගීතය ලියද්දි නිකමටවත් හිතුනද මෙතරම් ජනප‍්‍රිය වෙයි කියලා? 

අනේ නෑ. මොකද මං දන්නේ නැහැනේ ඉතිං ඇත්තටම ගීතයක තියෙන්නා වූ ක‍්‍රමවේදයන් මොකක්වත්. අහපු පළපුරුද්ද විතරයි මට තිබුණේ. කවි ලිවීමේ හැකියාවක් තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. එඩ්වඩ් ආවට පස්සෙවත් මං ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එහේ සෑහෙන ගායකයෝ හිටියා. මර්වින් පෙරේරා, ප‍්‍රියා සූරියසේන, ලීලානන්ද රත්නායක වගේ අය. නමුත් කවදාවත් ඒ කාටවත් මං සිංදු ලියලා දුන්නේ නෑ අනේ මේක කියන්න කියලා. එඩ්වඩ් මගෙන් බලෙන් ඉල්ලා ගත්තා. ඒක හින්දා තමයි බලෙන් මට ලියන්න වුණේ. මං එඩ්වඩ් ගෙන් ඇහුවා මොනවගේ ගීත ද ඕන කියලා. ඔයා නිදහසේ ලියන්න; මට ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නෑ කියලා කිව්වා. පින්න මලේ ගීතය මම එහෙම නිදහසේ ලියපු ගීතයක්. නිල් නුවනුත් එහෙමයි. කෙටියෙන්ම කියතොත් එඩ්වඩ් නැත්නම් මං කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නෑ. 

මං දන්නා ළමයෙක් හිටියා තමන්ගේ ජීවිතේ පිළිබඳ හරිම නොසැලකිලිමත්. හරියට අඳින්නේ නෑ. හරියට හිස පීරන්නේ නෑ. තරුණ ළමයෙක්. නමුත් පසු කාලයකදී මම එයාව දැක්කා බොහොම හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. මට හිතුනා ඇත්තටම මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මෙයා මොකක් හරි පේ‍්‍රම සම්බන්ධතාවයක පැටලිලයි කියන හැඟීම මගේ ඔලූවට ආවා. මං ඒ ළමයාගෙන් ඇහුවේ නෑ ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා. නමුත් මට එහෙම හිතුනා. ඒ සිතුවිල්ල තමයි ඔය ගීතයට හේතු වුණේ. 

පින්න මල කියන උපමාව හුඟ දෙනකුට හුරු නෑ. හුඟ දෙනෙක් හිතන්නේ අර කනතුවල අරහේ මෙහෙ තියෙන පින්න මල් කියලා. නෑ එහෙම පින්න මලක් නෙමෙයි මේ. මේක නෙලූම් මලක් වගේ. හරිම සුවඳයි. වෙල් දෙණිවල තමයි මේ මල පිපෙන්නේ. පින්න මල කොයි තරම් සුදුද කිව්වොත් පෙත්ත වටේ ලා රෝස පාටක් තියෙනවා. හැන්දෑ වෙනකොට ඒක පරවෙනවා. ඒ තරම් ලස්සනයි. මං ඒක තමයි උපමාවට ගත්තේ ඒ පින්න මල. අනික ඒ ගීතය ලියනකොට ගමේ මිනිස්සුන්ගේ සිරිත් විරිත්, ඒවත් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇවැස්ස නෑකම. ඇවැස්ස මස්සිනා තමයි මේ ගීතය කියන්නේ, නෑනට.

 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




Monday, November 23, 2020

රූ රැසේ අඳිනා ...

රූ රැසේ අඳිනා ලෙසේ අත්

ලෙළ දි දී විදුලිය පබා

රන් රසේ එක් වන ලෙසේ වෙණ

නාදනූ පා තබ තබා..


කම් පසේ දෙන සැර ලෙසේ දෙස

බල බලා නෙතඟින් සබා..

මම් කෙසේ පවසමි එසේ වර

සුර ළඳුන් දුන් රඟ සුබා....


පුන් මදාරා මල් දමින් මුදු

දිගු සුනිල් වරලස ගොතා..

මන්මදා කිතු ලිය ලෙසින්

උරතුර සරා දිලි මුතු ලතා....


මන් නදා වන මිණි මෙවුල් නද

වෙණ නදින් එක්කොට ඉතා..

උන් එදා දුන් රඟ දුටොත් තව

සක් සැපත් කවරෙක් පතා...


පිපි සමන් කුසුමන් පටින් තන

රන් හසුන් මෙන් මන් බැඳේ..

ලඹ සවන් දිගු රන් පසින් දන

නෙත් නුවන් බඳිමින් තදේ....


මඳ පවන් වැද ලෙළ පහන්සිළු

මෙන් රැඟුම් දෙන රන් බඳේ...

දිලි ඔවුන් රූ සිරි නුවන් වන්

බඹ වුවත් දැහැනින් මිදේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න හා ලතා වල්පොල 

සංගීතය - සුසිල් ප්‍රේමරත්න 

ගුත්තිල කාව්‍යය ඇසුරින් නිර්මාණය කළ ගීතයකි.


සුසිල් ප්‍රේමරත්න මහතා කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි ඉතාම දක්ෂ ගායකයෙක්. එතුමාගේ පියා ලංකාවේ බිහිවූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීයෙකු වූ සාර්ලිස් මාස්ටර්. මේ ගීතය ගයන ලතා වල්පොලගෙ මුල්ම නම රීටා ජෙනිවීව්. ගායන කටයුතු වලට ගැලපෙන විදිහට ඇයට ලතා කියල නම දාල තියෙන්නෙත් සුසිල් ප්‍රේමරත්න මහතා විසින්. 

මේ ගීතයෙන් කියවෙන්නෙ ගුත්තිල-මූසිල වීණාවාදන තරඟයෙදි ගුත්තිල ගුලි තුනක් උඩ දැම්ම හා දිව්‍ය ලෝකයෙන් මිහිපිටට පැමිණෙන දිව්‍යාංගනාවන් දැක්වූ රැඟුම් විසිතුරු වර්ණනාවයි.

අසූව දශකයේ රූපවාහිනීයෙන් දක්නට ලැබුණු සුසිල් ප්‍රේමරත්න රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරමින් දෙවඟනක් චිත්‍රයට නඟන අයුරු එවක අපගේ සිත්ගත් මතකයේ රැඳුණු දසුනක්.  

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා

රන් රසේ එක් වෙණ ලෙසේ වෙත් නාද නූපා තබ තබා

කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා

මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....


මේ කවිය තරම් ජනප්‍රිය වූ තවත් කවියක් පුරාණ කාව්‍යවලීන්හි ඇත්දැයි සිතීමද දුෂ්කරය. එපමණ අලංකාර වූ මේ කවිය ඇත්තේ, නොපරදින මෙවන් කවි 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයේය. පන්සිය පනස් ජාතක කථා වලින් 235 වන ජාතකය වන ගුත්තිල ජාතකය ඇසුරෙන්. "ගුත්තිල කාව්‍යය" රචනා කරනු ලබන්නේ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, 1450 දී පමණය.

පෘතුගීසී ආධිපත්‍ය පැතිරයමින් හා දේශපාලන ප්‍රවාහය අවුල් වියලු වෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයක් වන කෝට්ටේ යුගය එකළු කරමින් ස්වර්ණමය සාහිත්‍ය යුගයක් බිහිකළ මෙකල සාහිත්‍ය නිර්මාණ අතරින් මුල් තැනක ගුත්තිල කාව්‍ය වැජඹේ.

තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පරිවේණාධිපතිකම දැරු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝල නමක් වූ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, "ගුත්තිල කාව්‍ය" රචනා කරනු ලබන්නේ තම ගුරු හිමියන් සමඟ වූ ඇතිවූ ආරවුලකදී, කොපමණ ආරවුල් පැමිණීයද තමන් ගුරුන් වහන්සේ අභිබවා නොයන බව පෙන්වා දීම සඳහායැයි මතයක් පවතී.  

රාහුල වෑත්තෑවේ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑවේ හිමිගේ සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි. දෙදෙනා අතර විශාල වයස් පරතරයක් ද නොතිබිණී. එය විදාගම මෛත්‍රී හා රාහුල අතර පැවති ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි විය. තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත් සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ ඉරිසියාවට හේතු විය. රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනා අතර විරසකයක් ඇතිවිය. මෙහිදී රාහුල හිමියන් විසින් වෑත්තෑවේ හිමියන්ගේ ආහාර පිඟානේ කීප පළකට පළා මැල්ලුම් බෙදීමෙන්, පල නොකියා පළා බෙදුවේ යැයි කියමනක්ද ඇතිවිය.

මේ තත්වය මත, තමන් කිසිවිටෙක ගුරුවරයා ඉක්මවා කටයුතු කරන බව සනාථ කිරීමට, වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය ලියා, ගුරු ස්වාමීන් වහන්සේට පිළිගැන්වීය. එහි ආරම්භය මෙසේ විය...


සියපින් සිරින් සරු

දෙතිස් ලකුණින් විසි තුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිම් මුනි උතුමන් තිලෝගුරු


කාව්‍ය දුටු සැණීන් ශාස්ත්‍රාණුකූලව, කාව්‍ය ඇරඹී ඇත්තේ වායු ගණයෙන් බව වටහා ගත් රාහුල හිමියන්ට, වෑත්තෑවේ හිමියන්ට සිවුර පමණක් නොව රට හැර යන්නටද සිදුවන බව ප්‍රත්‍යක්ෂ විය. ජනප්‍රවාදයේ එන්නේ තම ගෝල හිමිනම වූ වෑත්තෑවේ හිමි ලියූ ගුත්තිල කාව්‍යය බැලූ ගුරු හිමි වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් "වෑ වැත්තේ මේ වැත්තේ - නැව් නොනැගත්තේ (වෑත්තෑවේ මේ වතාවේ නැව් නොනඟීද?) යනුවෙන් ඇසූ බවය.

එලෙසම ග්‍රත්තිල කාව්‍ය රාහුල හිමියන්ට පිදූ වෑත්තෑවේ හිමියෝ, සිවුරු හැරදා - විදෙස් ගත වූ බව සඳහන්ය.  


(උපුටා ගැනීමකි)




මගෙ අමල් බිසෝ ...

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා

හොඳ පරිස්සමින් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ

නුඹ මූදුකරේ තනියෙන්


යස ඉසුරු අරන් සුදු මහත්වරුන්

ඒරොප්පෙ ඉඳන් ඇවිදින්

මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි

නුඹ නොදැක්ක සේ ඉඳපන්


මගෙ අමල් බිසෝ…


ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්

ගෙට එබී බලයි හොරැහින්

මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්

නුඹ හෝදිසියෙන් ඉඳපන්


මගෙ අමල් බිසෝ… //


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ

සංගීතය - රෝහණ වීරසිංහ


 "මගේ අමල් බිසෝ” ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

විවෘත ආර්ථික ක‍්‍රමයත් එක්ක විදේශ සංචාරකයින්ගේ පැමිණීමත් එක්ක අපේ රටේ ඇතිවෙච්ච කලබගෑනි ප‍්‍රශ්න තිබුණා. මූහුදු බඩ පළාත්වල ඒ සංචාරක ව්‍යාපාරය නිසා ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවුණා. ඇතැම් වෙලාවට මත්කුඩු වගේ දේවල් නිසා. සමහර තැන්වල මේ ළදරු තවාන් කියලා වචනයක් අපේ සංස්කෘතියට එකතු වෙනවා. කුඩා දරුවන් එක තැනකට එකතු කරලා ඒ දරුවන් මුදලකට විකුණනවා සංචාරකයින්ට. ඒ කාලේ මාධ්‍යවල මේක ප‍්‍රචාරය වුණා කියවන්න ලැබුණා. ඉතිං එක අහලා මට ඇතිවෙච්ච හැඟීම තමයි මං ගීතයක් හැටියට ගොනු කළේ.

ගීතය ලියනකොට මට මතක් වුණේ අපි කුඩා කාලයේ අත්දැකපු ජනප‍්‍රවාදයේ එන කතන්දරයක්. ඒක තමයි අමල් බිසෝ කතන්දරේ. ගීතයේ හැටියට ගීතයේ ඉන්න පුද්ගලයා රට ගිය කෙනෙක්. මූහුදු බඩ පළාතක තමයි පවුලේ අනිත් උදවිය ඉන්නේ. රට ගියාට බයයි පවුලේ අයට අතවරයක් කරදරයක් වෙයිද කියලා. ඒක හින්දා ඒ රට ඉඳගෙන පවුල අමතා කියන ආමන්ත‍්‍රණයක් හැටියට තමයි ඒ ගීතය ලියවුණේ. ඒ දෙකම මං ඒකට සම්බන්ධ කරගත්ත. රෝහණ වීරසිංහ මේ ගීතය අවබෝධ කරගෙන ඉතා උචිත නාද මාලාවක් සකස් කළා. සුනිල් එදිරිසිංහ ඉතා හැඟීම්බරව ගායනා කළා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Wednesday, November 18, 2020

එගොඩ ගොඩේ මල් නෙලනා ...

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ

මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ

එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ

නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ


දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා

දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා

ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා

පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා

මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා


කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා

පැදුරු වියා ලස්සන රටා මවනවා

අඳුර මකා හවසට හඳ පායනවා

සොඳුර නිසා ගමටම කිරි උතුරනවා

ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා


ගී පද - රවී රණසිංහ 

සංගීතය - මිල්රෝයි ධර්මරත්න 

ගායනය - පෝල් ප්‍රනාන්දු


ගී පදරචක රවී රණසිංහ මෙම ගීතයට පසුබිම පැහැදිලි කරමින්....


"ගොළු හදවත විවර කරන්න" ගීතයට පෙරාතුව පෝල් ප්‍රනාන්දුට නිර්මාණය කර දුන්නේ ‘මල් එතනෝ’ ගීතයයි. සැබැවින්ම මේ ගීතය පෝල්ගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් කිව්වොත් ඒක වඩා නිවැරැදියි.

පෝල් මගේ හැකියාව දැනගෙන හිටියා. ඔහු නිතරම ‘ගැමි’ ශෛලියට ගීතයක් හදලා දෙන්න කියලා මට කියනවා. දවසක් අපි යාළුවෝ කට්ටිය එක්ක ඉන්න වෙලාවක කටුබැද්දේ මල්ලිකා හෝටලයේදී මම මේසෙට තට්ටු කරමින් මේ ගීතය කිව්වා. ඒක අහපු පෝල් එකපාරටම කිව්වා "අන්න මචං මට ඕනෑ සිංදුව" කියලයි. මේසෙට තට්ටු කරමින් පෝල්ට එදාම මම ඒ ගීතය පුහුණු කළා. පස්සේ ගීතය පටිගත කළා. පුදුම විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ‘බයිලා කුමාරයා’ හැටියට ප්‍රසිද්ධ වෙලා ඉඳපු පෝල්ගේ ගායන ශෛලිය එහෙම පිටින්ම කනපිට හැර වූ ගීතය එයයි

මේ ගීතයට පසුබිම් වූ "මල් එතනා" මගේ හදේ ඇඳුණු රුවක්. හැබැයි පුංචි අත්දැකීමක් අනුසාරයෙන් තමයි මේ ගීතය මගේ අතින් රචනා වෙන්නේ. එක්තරා අවස්ථාවකදී මම ගියා ඥාතියකුගේ තුන් මාසේ දානෙකට අම්බලන්ගොඩ පැත්තේ. දවස් කිහිපයක් මම එහේ නතර වෙලා හිටියා. ඒ පැත්තේ අය නාන්න යන්නේ වැවට. වැවේ ඕලු මල් පිරිලා, හරිම සුන්දරයි. දවසක් අපි කොල්ලෝ හතර පස් දෙනෙක් වැවට ගිහින් නාගෙන එද්දී, රේල් පාර දිගේ ගෑනු ළමයි කට්ටියක් නාලා යනවා. චීත්ත, හැට්ට ඇඳගෙන, උකුළු මුකුළු කරමින්, හරි සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඔවුන් ගියේ. මෙන්න මේ පුංචි සිදුවීම තමයි මට ‘මල් එතනෝ’ ගීතය ලියන්න පාදක වුණේ.


(උපුටා ගැනීම - සරසවිය පුවත්පත)




Tuesday, November 17, 2020

ජීවිතේ කවියක් ...

ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්

කඳුලැලි බිදක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිදි රසයක්...


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

හැඟුම් අවදිව නැගේ තනිකම


ජීවිතේ කවියක්...


සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට


ජීවිතේ කවියක්..


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 


මෙය 1990 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.

"ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්”  ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

මම රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලේ තමයි ගජමන් නෝනා කියන ටෙලි නාට්‍යය රූප ගත කරන්න පටන් ගත්තේ මගේ අධීක්ෂණය යටතේ. ඒ සඳහා ගජමන් නෝනාගේ ජීවිතය හොයාගෙන යන ගමනට මටත් එකතුවෙන්න පුළුවන් වුණා. ඇගේ ජීවිතය පිළිබඳව තොරතුරු හොයලා බැලූවා, පිටපත ලියන්න කලින්. ගජමන් නෝනා ගැන අහලා තිබුණ විදිහ නෙමෙයි ගජමන් නෝනාගෙ ජීවිතය කියලා ඉන් පස්සේ අපට තේරුණා. අසීමිත දුක් කන්දරාවක් අනුභව කරපු කාන්තාවක් තමයි ගජමන් නෝනා. 

අපට එහෙම චරිතයක් හම්බවෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා. මං හිතන්නේ පටාචාරාවට වඩා දුකක් අනුභව කළා ගජමන් නෝනා. පටාචාරාවට අවසානයේ බුදු හාමුදුරුවෝ පිහිට වෙනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා ඇය රහත් භාවයට පත් වෙනවා. ගජමන් නෝනාට එහෙම පිහිට වෙන්න කව්රුත් හිටියේ නෑ. ඇය හැබැයි ජීවිතයේ සියලූ දේවල් අනිත්‍යයි කියලා අවසාන කරගන්නේ නෑ, ඇය මැරෙනතුරුම ජීවත්වෙනවා. ඒ ජීවත්වෙන්න ඇයට තිබිච්ච එකම හයිය තමයි එකම ශක්තිය තමයි කවිය. ඇය කිවිඳියක්. ඒ කවිකම තමයි ඇයට ආශිර්වාදයක් වුණේ. කඳුලයි හසරැල්ලයි මැද්දෙන් ගත කරපු ජීවිතයක් තමයි ගජමන් නෝනා ගෙ තිබුණේ. මධුර තනුවක් නිර්මාණය කළා රෝහණ වීරසිංහ. ඉතා හැඟීම්බරව ගායනා කළා නන්දා මාලිනී. ඒ නිසා ඒ ගීතයත් අදටත් අප අතර පවතිනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)





Friday, November 13, 2020

සිනා දොළක් වන් සිනාමලී ...

සිනා දොළක් වන් සිනාමලී

මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී

බලා උන්නෙ එනතුරු පෙර වාගේ

ඇයි පිට පාරෙම අද...


පෙරට වඩා අද හැඩකාරයි

ආඩම්බර පාටයි

නාඳුනන ලෙස කෝල බැලුම් නෙත

නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ

ඇයි සිනා නැතුව අද...


වදුලු පුරා දං හිඹුටු සොයා

කෙළිදෙළෙන් නිදැල්ලේ

දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය

නුඹේ ළපටි සිත දෙගුරුන් අවුල් කළාදෝ

ඇයි කතා නැතුව අද...


පද රචනය -  කුලරත්න ආරියවංශ

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්..... 

අපි ගමේ හැදිච්ච අයනේ. ඒ කාලේ අපේ ගම්වල පිරිමි ළමයි ගැහැනු ළමයි එකට සෙල්ලම් කරනවා. දුව පනිනවා. ඔහොම ඉඳලා ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනාට පස්සේ ඒ කාලේ අපිටත් ඇහෙනවා ඉතිං මේ අම්මලා වැඩිහිටියෝ එහෙම කියනවා පිරිමි ළමයි එක්ක සෙල්ලමට යන්න එපා දැන්, ඔයා ලොකු ළමයෙක්නේ වගේ දේවල්. ඒගොල්ලන්ට ඒ අර සිදුවීම ටිකක් බරපතළ කරලා ජීවිතේ කියලා දෙනවා ඉතිං. දරුවාගේ තියෙන අර කෙළිලොල් නිදහස් පැවැත්ම ඊට පස්සේ පොඞ්ඩක් වෙනස් වෙනවා. ගැමි පරිසරයේ සිද්ධ වෙච්ච අපි පොඩි කාලේ තිබිච්ච දෙයක්. 

ඉතිං ඔය අත්දැකීම තමයි මං ඔය වික්ටර් රත්නායකයන්ට පස්සේ කාලෙක ගීතයක් රචනා කරද්දී ලිව්වේ. සංගීතය එතුමාගෙමයි. ගීතය තමයි ‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය. හැත්තෑව දශකයේ මුල්ම කාලයේ ගායනා කරපු ගීතයක්. මට දැනගන්න ලැබුණා ගුවන් විදුලියෙන් මුල්ම කාලේ මේ ගීතය වාදනයට පොඩි තහනමක් ආව කියලා. මොකද මේ ගීතයේ අර මල්වර නැකතින් දොරට වඩින කියන වචන නිසා වෙන්න ඕන, ඉන්පස්සේ ඒ තහනම ඉවත් වෙලා. කොහොම හරි ඊට පස්සේ ඒ ගීතය ජනප‍්‍රිය වුණා.

කුලරත්න ආරියවංශයන් එය වික්ටර් අතට පත් කිරීමට පෙර කපුගේටද පෙන්වූයය. එහි ස්ථායි කොටස අවසන් වන්නේ ‘ඇයි පිට පාරෙම අද?’ යනුවෙනි. මේ ගීතයේ අන්තරා කොටස් දෙකම අවසන් වන්නේ ‘ඇයි හිනා නැතුව අද?’ සහ ‘ඇයි කතා නැතුව අද?’ යනුවෙන්ය. ඒ ගීතය දෙස ස්වල්ප වේලාවක් නෙත් යොමා සිටි කපුගේ “ඇයි කුලේ මේ අවසාන පේළි තුනටම හිටි අඩියේ කැඩෙන පේළි තුනක් යෙදුවේ?” යි විමසුවේය. කුලේ “මං මේක වික්ටර් අයියාට දෙන්නයි ලීවේ...” කියද්දී විසිතුරු තනු නිර්මාණ ශිල්පියකු වූ කපුගේ තවදුරටත් කිසිත් නොකිය‍ා සිනා සුණේ වික්ටර්ගේ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් හා විශ්වාසයක් ඔහු සතු වූ නිසාය.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Wednesday, November 11, 2020

කන්දේ ලන්දේ ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ

මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ


වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ

ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ

ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී

සංකේත වූ වාසනාවේ... ගම්මානේ...


කන්දේ ලන්දේ...


ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ

පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ

මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ

යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...


කන්දේ ලන්දේ...


ගායනය - රෝහණ බැද්දගේ

සංගීතය - රෝහණ බැද්දගේ

ගී පද - රෝහණ බැද්දගේ


රෝහණ බැද්දගේ තම ගමේ සුන්දරත්වය ගැන අපූරු ගීතයක් රචනා කොට ගයා ඇත.  

“අපේ ගමට කියන්නේ උඩුව කියලා. හොරණ නගරයේ ඉඳලා මහ පාර දිගේ ආවොත් හැතැප්ම හතරක් විතර තියෙනවා. උඩුව කියන්නේ විශාල ගමක්. මහඋඩුව, කුඩාඋඩුව දෙකට බෙදිලා තියෙනවා. දකුණු උඩුව, උඩුව කියලා තවත් විදිහකින් බෙදිලා තියෙනවා. අපි ඉන්නේ මහ උඩුවේ. මගේ ලිපිනය උඩු ගොඩක් තියෙන නිසා මම ලියන්නේ කුඩා උඩුව කියලා. ගම මැදින් වැටී තියෙන කඳු වැටියක කෙළවර තමයි අපේ වත්ත තියෙන්නේ. දවසක් දා හැන්දාවේ මට හිතුණා ටිකක් විවේක ගන්න වත්ත උඩහ ගල්තලාවට යන්න. වටින් ගොඩින් ඇඳිරි වැටිල තියෙන බව දැක්කට පස්සේ තමයි ගල්තලාවෙන් පහළට බැහැලා ගෙදර යන්න හිතුණේ. එදා පුංචි කාලෙ ගමේ සුන්දරත්වයෙන් බිඳක් ගීතයට නැගුවා.

ඒ සුන්දරත්වය තුළම සැඟවුණු වේදනාවෙන් යුතුව රචනා කළ ගීතයක්. 

ඇත්තටම මේ ගීතයෙන් අපිට කියන්නේ, ගමක් නාගරීකරණය වෙලා යන එක ගැන. බැද්දගේ ශූරීන් තමන්ගේ ගමට වෙන්න යන දේ ගැන ඉතාම සංවේදී සහ  සංවේගජනක ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. වෙල්යාය, දොල පාර, වැව, ගඟ, ගුරුපාර වගේ ගමක තියෙන ස්වාභාවික සම්පත්. මේවා ගමක තියෙන වාසනා සංකේත හැටියටයි එතුමා හඳුන්වන්නේ.

ඇල්හේන, විහාරය, දේවාලය බෙර නාදය, ගැමි ගිත රාවය වගේ ගැමියාගේ අභිචාර විධි ගැන. ඔවුන්ගේ ගායනය, නර්තනය, තොවිල් පවිල්, ඇදහිලි විශ්වාස ගැන කියනවා. අන්තිම පදයෙන් තමයි මේ ඔක්කෝම නැතිවෙලා යනවා කියලා තියෙන්නේ. "යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ". ගම නාගරිකරණය වීමෙන් සොබාදහම වියැකී යාහැකි ආකාරය ඉතාමත් සූක්ෂ්මව ප්‍රකාශ කරලා තියෙනවා.


(උපුටා ගැනීම - ලංකාදීප ඒ.ඩී. රංජිත් කුමාර)







Monday, November 9, 2020

මහ වරුසාවට ...

මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි

විටකදි නැගුනත් සැක බිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි


පදමාලාව - සුනිල් සරත් පෙරේරා

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - සෝමතිලක ජයමහ


ආදරය කරද්දී පෙම්වතුන් එකිනෙකා අතර සැක සංකා ඇතිවීම සාමාන්‍ය දෙයක්‌. ඒත් දෙදෙනා හොඳ අවබෝධයෙන් යුක්‌ත නම් සැක සංකා සබන් බෝලයක්‌ බඳුයි... සැණෙකින් බිඳී විසිරී යනවා.


මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


මහා වර්ෂාවකට පස්‌සේ පායන හඳ වෙනදාට වඩා වැඩියෙන් ලස්‌සනයි. එළියයි. පායන හඳ කවදත් එකයි. සඳ සඳක්‌මයි වෙනසක්‌ නෑ. ඒත් ගී පද රචකයා සුනිල් සරත් පෙරේරා මේ හඳ දකින්නේ වෙනස්‌ විදියකට. වැස්‌සට පසු පායන හඳ ඔහුට ලස්‌සනයි. වැස්‌සෙන් වට දිය බිඳු ගහ කොළ මත පතිතවෙලා... හඳ එළිය ඒ මත වැටෙද්දී ඉපිදෙන ආලෝකය ගීත රචකයා දකින්නේ හඳේ අලුත් එළියක්‌ විදිහටයි.

ඒ වගේ තමයි මේ පෙම්වතියත්. අමනාපයෙන් පසුව ඇගේ මුහුණ අර හඳ එළියටත් වඩා වැඩියෙන් ලස්‌සනයි.

මම රාජ්‍ය පරිපාලනයේ වැඩ කරද්දී අසූ ගණන්වල සුනිල් සරත් පෙරේරා ආවා අපේ ඇමැතිතුමා හමුවෙන්න. ඒ ඇවිත් යන ගමන් මාවත් හමුවුණා. අපි හත්වැනි තට්‌ටුවේ තියෙන කැන්ටිමට ගියා තේ එකක්‌ බොන්න. තේ එක බිබී ඉඳිද්දි සුනිල් සරත් කිව්වා "තව ගමනක්‌ යන්නත් තියෙනවා" කියලා. මම "කොහේද" කියා අසද්දී සිංදුවක්‌ ලියුවා. කෙනෙකුට දෙන්න යනවා ඔහු පැවසුවා. මම ඒ සිංදුව ඉල්ලාගෙන කියවා බැලුවා. ඒක ආයෙත් ඔහුට දෙන්න මට හිතුණෙ නෑ.. "මේක මම ගන්නවා" කියලා බලහත්කාරයෙන්ම සිංදුව මම අරගත්තා. දින කීපයකට පස්‌සේ ගීයට රෝහණ වීරසිංහ තනුවක්‌ දැම්මා. සරල ගී වැඩසටහනට ගීය ගැයුවා. පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. ගීය ගයන සෝමතිලක ජයමහ අපේ ප්‍රධාන ශිල්පියා පැවසුවා.

ඇල දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


අපේ දෙහදම ආදරයෙන් බැඳිලා. ඒක සුන්දර ආදරයක්‌. ඒත් ඒ ආදරය හරියට ඇල දොළ ළඟ ගොලු වූ ගීයක්‌ වගේ. ඔයාව දවසක්‌ දැකගන්න බැරිවුණොත් ඊළඟ දවසෙ දකිනතුරු මට ඉස්‌පාසුවක්‌ නෑ. මම මගේ හිත ලතවෙමින් මඟ බලා ඉන්නවා. ඔයාගේ දසුන නෙත් හමුවට එනතුරු.

මේක විරහ ගීයක්‌ම නොවේ. විරහවක්‌ නැත්තෙම නෑ. තම හිතේ තියෙන ප්‍රේමය ගැන තියෙන අවිනිශ්චිතතාව තමයි මේ ගීයෙන් කියන්නේ. ප්‍රසාංගික වේදිකාවේදී රසිකයන් මගෙන් නිතරම ඉල්ලන අනිවාර්ය ගීතයක්‌ තියෙනවා. ඒ සැඳෑ අඳුර ලොව. ඉන් පස්‌සේ වැඩියෙන්ම ඉල්ලන්නේ මේ ගීයයි.

ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි..

විටකදි නැඟුනත් සැකබිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි....


ඔහු ඇය නිතර හමුවුන මල් මාවත හරිම සුන්දරයි. සුවඳින් පිරිලා ඒත් අද වෙනදාටත් වඩා වැඩියෙන් සුවඳක්‌ දැනෙනවා. හරියට අර වැස්‌සට පස්‌සෙ පායන හඳ වගේ. ඒත් ඇය අහිමිවේවි කියන බියක්‌ සැකයක්‌ ඔහුගේ සිත තුළ උපදිනවා. අවිනිශ්චිත බවක්‌ දැනුනත් ඒ ටික වෙලාවයි. ඉන් පස්‌සේ ඔහුගේ හදවත තුළ ඈ කෙරෙහි උපදින ආදරය උතුරා පිටාර ගලනවා.

මේ ගීය එදත් අදත් ජනප්‍රියයි. ඊට හේතුව පදමාලාවේ තිබෙන සාර්ථකත්වය, සෝමතිලකයන්ගේ ගායන ලීලාව වගේම රෝහණ වීරසිංහයන්ගේ තනුව. මේ තුන එකට එක්‌ වූ කල මිහිරි ගීයක්‌ නිමා වී තිබෙනවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




Friday, November 6, 2020

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑ වුණ සුබ සිහිනයයි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි //


මං මලක් ලෙස නුඹ නොහැදුවේ

පෙති හැලී පරවෙන නිසාමයි

දුක දිනා හිනැහෙන හැටි දුවේ

නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නොදෙයි //

කළ හොඳම විතරක් ඉතිරිවෙයි //


දුවේ නුඹ මගෙ...


අප මී මුතුන් මිත්තන් එදා

සිය ලේ කඳුළු දහදිය පුදා

පරපුරෙන් පරපුරට රැගෙන ආ

ඒ ගෞරවය මගෙ දුව තමා

නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //

ගෙනියන්නෙ ඒ අභිමානයයි //


දුවේ නුඹ මගෙ...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 


දියණියකගේ විවාහ උත්සව ආශ‍්‍රිතව වැඩි ගීත ප‍්‍රමාණයක් බණ්ඩාර ඇහැලියගොඩ  රචනා කර තිබෙනවා. ඒ අතරින් සුවිශේෂීම ගීතය වන "දුවේ නුඹ මගේ ප්‍රාණයයි" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්..... 

 

විවාහ උත්සව වලට වැඩිම ගීත ගණනක් ලියන්න ඇත්තේ මම වෙන්නැති. පළවෙනියට ලිව්වේ ”දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි”. ඒක ලියන්න හේතු වුණේ සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් වන නන්දදාස රාජපක්ෂ මහතා කරපු ඉල්ලීමක් නිසා. ඔහු මට කිව්වා ඔහුගේ දුවගේ විවාහ මංගල්‍යය උත්සවය පැවතුණා ලොකුවට. එහිදී එක එක ගීත අහන්න ලැබුණා. ඒ ඔක්කොම අඳෝනා වගේ. මේ දුක කියන්නේ නැතිව අපිට බැරිද දුවෙක් කියලා කියන්නේ පරම්පරාවක අභිමානය කියලා හිතෙන විදිහේ ගීතයක් ලියන්න කියලා මගෙන් ඇහුවා. 


ඔය අදහස වචන වලට පෙරළද්දී මගේ හිතට ආව පළවෙනි දේ තමයි ඉස්සර අපේ ගම්වල මඟුල් ගෙදරකදී කටයුතු ඉවරවෙලා යන්න ලෑස්ති වුණහම තියෙනවා පොඩි උත්සවයක් දෙපැත්තේම කට්ටිය එකතු වෙලා ගාථා ශ්ලෝක කවි කියලා ජීවිතේ ගෙවන්නේ මෙහෙමයි කියලා අවවාද අනුශාසනා සමූහයක් දෙනවා. මට ගීතය ලියන වෙලාවේ හිතුනා මේක ඉතා හොඳ අවස්ථාවක් දුව පිළිබඳව කියන්න. දුව චාරිත‍්‍ර ඉවරවෙලා පිටත්වෙන වෙලාවට තාත්තා කෙනෙක් තුළ ඇතිවන හැඟීම. ලියලා පළවෙනි වතාවට මං ඒක නන්දදාස මහත්මයට යැව්වාම එතුමා හරියට සතුටට පත්වෙලා මේක අපි ඉක්මනින්ම පටිගත කරන්න ඕන කිව්වා. සංගීතය රෝහණ වීරසිංහයන් නිර්මාණය කරලා සුනිල් එදිරිසිංහ ගීතය ගායනා කළා. ඒ කියපු දවසේ ඉඳන් අද දක්වාම සෑම මඟුල් ගෙදරකම පාහේ මේ ගීතය ගායනා වෙනවා. ඒක මට හරි සතුටක්. 


ඊට පස්සේ ගීත ගණනාවක් දුවලා පිළිබඳ ලියවුණා. "අතිනත අරං යනවිට සෙමෙන් නව නෑ සියන් සමගින්" මෙම ගීතය සංඛනි එදිරිසිංහ ගායනා කරන්නේ. තව ගීතයක් සුනිල් එදිරිසිංහ ගයනවා පුතා ගැන "නුඹ වන් පුතෙක් ලද මවක් වේ නම් ඇයද සැනහේ මැයි, නුඹ වන් පුතෙක් ලද පියෙක් වේ නම් ඔහුද සැනහේ මැයි" කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




Wednesday, November 4, 2020

දෙනෝ දාහක් ...

දෙනෝ දාහක් නුවන් අතරේ

කවුරුදෝ මා

තනි කළේ

තනි කළේ

පාසල් බිමේ


සිනා කෙළිලොල් තෙපුල් රහසේ

දෙඩූ තැන් අද ගොළු වෙලා

සොඳුරු පාසල් පියස

කඳුළින් බොඳ වෙලා

කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා


නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්

සෙවණ දුන් ගහ කොළ පුරා

බිමට බර වුණු කැකුළු

අතු ඉති මැලවිලා

දුකින් හදවත ගොළු වෙලා


දෙනෝ දාහක් නුවන් අතරේ...


චිත්‍රපටය - වජිරා

ගායනය - නන්දා මාලිනී

ගී පද - කුලරත්න ආරියවංශ

සංගීතය - වික්ටර් රත්නායක


සිංහල සිනමාවේ 473 චිත්‍රපටය ලෙස සිංහල සිනමා කර්මාන්තය ආරම්භ වී 34 වසරකට පසු රිදී තිරයට ආ “වජිරා” චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයත් හිරිමල් යෞවනයත් හරි අපූර්ව ආකාරයෙන් මවන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නට පුළුවන් වෙලා තියෙනවා. ගීතයක් ලියන එකයි ගීතයක් ලියැවෙන එකයි දෙකක්. වැඩියෙන්ම ගීත, නිසඳැස් ලියැවෙන්නේ මිනිසුන්ගේ සතුටට වඩා දරා ගන්නට අපහසු තරම් වේදනාවන් දැනුනු වෙලාවට. අපේ රටේ පාසැල් අධ්‍යාපනය ලැබූ සෑම ගැහැනියක පිරිමියෙකුගේම ප්‍රථම ප්‍රේමය පාසල් ජීවිතෙන් ආ බව රහසක් නොවේ. වයස අවුරුදු හයේ ඉඳන් පාසල් යන අපේ රටේ ප්‍රේමණීය හැඟීමක් ඇති වුණේ ප්‍රථම වතාවට කවදාදැයි කල්පනා කරනවා විනා හරිම උත්තරයක් දීම පහසු වෙන්නේ නෑ. පාසල් ජීවිතය එතරම්ම මිහිරියි.


එනිසාම පාසල ගැන පාසැල් ජීවිතය ගැන පාසල් ප්‍රේමය ගැන ගීත නාට්‍ය චිත්‍රපට නවකතා නිර්මාණය වෙනකොට නොදැනීම එම නිර්මාණ මිනිසුන් අතරේ ජනප්‍රිය වීමත් සමාජගත වීමක් වැළැක්විය නොහැකියි. ගොළු හදවත, ගැහැනු ළමයි ආදී නිර්මාණ කොයි කාලෙත් අපේ රටේ මිනිසුන්ගේ මතකයේ තියෙන්නෙ ඒ හින්දා.

“වජිරා” චිත්‍රපටයත් ඒ වගේම පාසල් යෞවන ප්‍රේමය ගැන බොහොම සුන්දරව නිර්මාණය වූවක්. “වජිරා” චිත්‍රපටයේ පාසැල් පෙම්වතුන් ලෙස භාව ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයා උමතු කරවන තරමේ යථාර්ථවාදී රංගනයෙන් පොහොසත්ව අමරසිරි කලංසූරිය නිමල් ලෙසත් නදීකා ගුණසේකර වජිරා ලෙසත් රංගනයට අපුරු සාදරනයක් ඉෂ්ට කර තිබෙනවා. වික්ටර් රත්නායකගෙ සංගීතයෙන් සහ නන්දා මල්ලිගේ මාලනීගේ ස්වර ගායනයෙන් තමයි “දෙනෝදාහක් නුවන් අතරේ” ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. “වජිරා” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කුලරත්න ආරියවංශ ගීත රචකයාට පවසන්නේ මේ චිත්‍රපටයේ මව්පිය බලපෑමෙන් වජිරා සහ නිමල් වෙන් වීමෙන්, නිමල් නොමැති හුදකලාවෙන් වියෝගයෙන් සිටින වජිරාගේ හිතේ නළියන අතීතයේ මතක වේදනාව වචනයෙන් කිව නොහැකි දහසකුත් දේ ගීත පද කීපයකින් ලියා ගන්නට උවමනා බව පවසා ඇත.

මේ ගීතය සම්බන්ධයෙන් කුලරත්න ආරියවංශ පවසන්නේ එම චිත්‍රපටයේ බල පුළුවන්කාර වජිරාගේ දෙමව්පියන් දරිද්‍රතාවයෙන් පෙලෙන නිමල්ට කරන බලපෑම චිත්‍රපටයේදී පැහැදිලිව පෙන්නුම් කරන බවත්, එමෙන්ම මේ දෙදෙනාගේ ප්‍රේමය යෞවන පාසල් ප්‍රේමයක් නිසා කුඩා දරුවන්ට අඬන්න කියලා දෙන්න ඕන නෑ වගේ පාසල් ප්‍රේමයේ වෙන්වීම, හු‍දකලාව, පාළුව කාන්සිය ගැන අමුතුවෙන් ඉතාම ලියැවුණු බවයි. ලියූ ගීතයකට වඩා ලියැවුණු චිත්‍රපට ගීතයක් වුවත් අවශ්‍යතාවය මත ලියැවුණු ගීතයක් තමයි දෙනෝදාහක් නුවන් අතරේ ගීතය. වජිරා පාසලේ තනිවීම, නිමල්ව මතක් වීම, වියෝගය සම්මිශ්‍රණය වී ඇති අයුරු ගීත රචනාවේ ඉතා සියුම්ව හා පොදු අනුමැතියක් ලෙස සරලව ලියවී ඇති අතර සුනිල් ආරියරත්නගේ ඉල්ලීම මත ආරියවංශ සංවේදී හැඟීම් අතරේ කිමිදී ඇත්තා සේය.


(උපුටා ගැනීමකි)










අන්න බලන් ඉදිකඩ ළඟ ...

අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//


පුංචි දුවේ නුඹ යනකොට

සුදු පාටින් ඉස්කෝලෙට

පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...

ලඳු දෙනි මැද දෙවැට දිගේ

දොළ පාරින් එගොඩ වෙලා

මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


එක පුටුවක වාඩි වෙලා

එක පැන්සල දෙකට කඩන්

අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...

මං නොදුටුව නව ලෝකය

කිරුළු පලන් රැජින වෙලා

පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 

"අන්න බලං ඉඳිකඩ ළඟ" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්.....  

ඒ ගීතය පුරාම තියෙන්නේ මගේ ළමා කාලය. මට දුවලා දෙන්නෙක් එතකොට හිටියේ පුතා පස්සේ හම්බුනේ. ඒ දුවලා දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට සුදු පාටට ගවුම් අන්දලා ලෑස්ති කරනකොට මට මතක් වෙනවා මගේ ඉස්කෝලේ ගමන. අපිට එහෙම සුදු පාට ඇඳුම් කියලා එකක් තිබුණේ නෑ. අපි ඉතිං අහුවෙච්ච එකක් ඇඳන් තමයි මම ඉස්කෝලේ ගියේ. මුල් කාලේ මං ඉස්කෝලේ ඇන්දේ සරමක්. හුඟක් වෙලාවට ඉස්කෝලේ අරලිය ගහයට හෙවනේ තමයි අපිට ඉගැන්නුවේ. මොකද ශාලා ඒකයි තිබුනේ. තව එකක් තිබුණා පොල් අතු වලින් හෙවිල්ලලා. ඔය දෙකේ උගන්වන්න ගියාම සද්දේ වැඩි නිසා අපිව එක්කගෙන යනවා අරලිය ගහ යටට. වැස්සට ඉස්කෝලෙට දුවගෙන එනවා. පායන දවස්වලට අරලිය ගහ හෙවනට යනවා. ඔහොම තමයි අපි ඉගෙනගත්තේ. අපට පුටුත් මදි. අපි පුටු දෙකක් එකට තියලා තුන්දෙනෙක් ඉඳ ගන්නවා. එක්කෝ බංකුවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලටම කට්ටිය වාඩිවෙලා ඉන්නවා. "එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ" කියල ලියවුණේ ඒ මතකයන්. දරුවා පිළිබඳ ලියවුණ ගීතයක් හින්දා දරුවා ගැන තියෙන බලාපොරොත්තුව මං නොදුටුව නව ලෝකය කිරුළ පැළඳ රැජින වෙලා කියලා මං ලිව්වා. රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට දීපිකා ප්‍රියදර්ශනී මේ ගීතය අලංකාරව ගායනා කළා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Monday, November 2, 2020

බිළිදා නැලවේ උකුලේ ...

මේ ලෝකයේ..

සෑමා රසේ..

මූණේ ඔබේ...

බිළිදු පුතේ මගේ...


බිළිදා නැලවේ උකුලේ

හිනැහේ මලසේ කැකුලේ

මවගේ සෙනෙහේ පැතිරේ

රුධිරේ කිරිවේ ඉතිරේ


දෝත නගා මොළවා

සුර ලාළනියෝ ඒලවා

ගීත අසා මවගේ

නොදොඩා නොහඩා හිනැහේ

පාද ගසා නටලා

බිළිදා මතුවේ මිනිසා

ලෝ දහමේ නගිනා බසිනා

දුක සැප අතරේ වසනා


සෑමදෙනා කැදවා

පොදු අාදරයේ රදවා

මූණ බලා සැමගේ

නොදොඩා නොහඩා හිනැහේ

ජීවිතයේ සිහිනේ

සැනසීම තිබේ මුහුනේ

මෑණී පියා දෙදෙනා බදිනා

නිවසේ පහණයි බිළිදා

බිළිදා නැලවේ උකුලේ

හිනැහේ මලසේ කැකුලේ

මවගේ සෙනෙහේ පැතිරේ

රුධිරේ කිරිවේ ඉතිරේ


පදරචනය - ඇලන්සන් පියදාස 

ගායනය - සී.ටී. ප්‍රනාන්දු 

සංගීතය - සී.ටී. ප්‍රනාන්දු 


සී.ටී.ප්‍රනාන්දු මහතාට 1951 වසරේ ධනා නම් තම ගීතවලට පෙම් බැඳි රසිකාවක් හැඳින ගැනීමට ලැබිණි. බදුල්ලේ උපත ලැබූ ධනා බදුල්ල උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනගත් 17 හැවිරිදි තරුණියකි. ඇය ගුවන් විදුලියෙන් නිතර ඇසෙන පින් සිදුවන්නේ බාල ළමුන්නේ නම් සී.ටී. ගේ ගීතයට තිබූ අසීමිත කැමැත්ත නිසා රසිකාවියක් ලෙස ලිපියක් යැව්වාය. ලිපියට ඔහුගෙන් පිළිතුරු ලැබිණි. ධනාට මෙය කප්රැකක් පහළ වූවා සේය. ඇය ආදරය සෙනෙහස මුසු කළ පිළිතුරු ලිපියක් යැව්වාය. මේ ලිපි හුවමාරුව ආදරයකට පෙරළිණි. ඇගේ දෙමාපියෝ මේ සම්බන්ධයට විරුද්ධ වූහ. 1951 වසරේ තනි කැමැත්තට ඔවුහු අතිනත් ගත්හ. ඔවුන්ට සහායට හිටියේ ගායිකා ලතා ප්‍රනාන්දු (පසුව වල්පොල) පමණි. ඔවුහු හැඳල පදිංචිව පසුව දෙහිවල ගෙයක් තනා පදිංචි වූහ. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය. මේ බිළිඳු පුතාගේ නම ප්‍රියන්තය. සී.ටී. පුතා වෙනුවෙන් ගීයක් ඇලන්සන් පියදාස ලවා රචනා කර ගත්තේය.

මේ බිළිඳා නැළවේ ගීතයේ හරිම අපූරු කතාවක් තියෙනවා. මෙහි ආරම්භයේ තියෙනවා කුඩා දරුවෙක් හඬන ශබ්දයක් ඔබට ඇහෙනවා. ඒ දිනවල සී.ටී. මහතාගේ මේ ගීතය පටිගත කිරීම සඳහා එල්.ආර්.එන්.එච්. පෙරේරා මහතා කටයුතු කරනවා. මෙයට දරුවෙක් අඬන ශබ්දය ඇතුළත් කරන්න එතුමාට අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් දවසක් එතුමා කෙටි විවේකයකට ලංකා ගුවන් විදුලියේ සිට තමන්ගේ පාගොඩ පිහිටි නිවසට පැමිණි පසු පාරේ ඒ අවස්ථාවේ කිරි විකුණන පුද්ගලයෙක් ගිහින් තියෙනවා. එවිටම පෙරේරා මහත්මයාගේ සිඟිති දියණියක් හඬා තිබෙනවා. ඒ හඬ ඇසුණු කිරිකාරයාත් බිළිඳු හඬ අනුකරණය කරමින් "ඔහෑ...." යනුවෙන් හඬා තිබෙනවා. ඒ ඇසුණු වහාම පෙරේරා මහතා, "තව ගෙවල් කිහිපයකට කිරි විකුණන්නට තියෙනවාද? ඉක්මනට ගිහින් එන්න. මාත් එක්ක Radio Ceylon එකට යන්න තියෙනවා" යනුවෙන් පවසා ඔහුව රැගෙන ගොස් බිළිඳු හඬ පටිගත කරගෙන තියෙනවා. පසුකාලීනව මේ පුද්ගලයාට ගුවන් විදුලියේ ළමා වැඩසටහන් වල විවිධ හඬ අනුකරණයේ යෙදෙන්නට අවස්ථාව ලැබී තිබෙනවා. "පෙත්තප්පු" යන අන්වර්ථ නාමයක් මේ පුද්ගලයාට පසු කාලීනව ලැබෙනවා. පෙරේරා මහතා පසුකාලීනව මේ පුද්ගලයාට රැකියාවක් පවා ලබා දී තිබෙනවා.


(උපුටා ගැනීමකි)








නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...