Wednesday, November 4, 2020

අන්න බලන් ඉදිකඩ ළඟ ...

අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//


පුංචි දුවේ නුඹ යනකොට

සුදු පාටින් ඉස්කෝලෙට

පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...

ලඳු දෙනි මැද දෙවැට දිගේ

දොළ පාරින් එගොඩ වෙලා

මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


එක පුටුවක වාඩි වෙලා

එක පැන්සල දෙකට කඩන්

අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...

මං නොදුටුව නව ලෝකය

කිරුළු පලන් රැජින වෙලා

පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 

"අන්න බලං ඉඳිකඩ ළඟ" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්.....  

ඒ ගීතය පුරාම තියෙන්නේ මගේ ළමා කාලය. මට දුවලා දෙන්නෙක් එතකොට හිටියේ පුතා පස්සේ හම්බුනේ. ඒ දුවලා දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට සුදු පාටට ගවුම් අන්දලා ලෑස්ති කරනකොට මට මතක් වෙනවා මගේ ඉස්කෝලේ ගමන. අපිට එහෙම සුදු පාට ඇඳුම් කියලා එකක් තිබුණේ නෑ. අපි ඉතිං අහුවෙච්ච එකක් ඇඳන් තමයි මම ඉස්කෝලේ ගියේ. මුල් කාලේ මං ඉස්කෝලේ ඇන්දේ සරමක්. හුඟක් වෙලාවට ඉස්කෝලේ අරලිය ගහයට හෙවනේ තමයි අපිට ඉගැන්නුවේ. මොකද ශාලා ඒකයි තිබුනේ. තව එකක් තිබුණා පොල් අතු වලින් හෙවිල්ලලා. ඔය දෙකේ උගන්වන්න ගියාම සද්දේ වැඩි නිසා අපිව එක්කගෙන යනවා අරලිය ගහ යටට. වැස්සට ඉස්කෝලෙට දුවගෙන එනවා. පායන දවස්වලට අරලිය ගහ හෙවනට යනවා. ඔහොම තමයි අපි ඉගෙනගත්තේ. අපට පුටුත් මදි. අපි පුටු දෙකක් එකට තියලා තුන්දෙනෙක් ඉඳ ගන්නවා. එක්කෝ බංකුවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලටම කට්ටිය වාඩිවෙලා ඉන්නවා. "එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ" කියල ලියවුණේ ඒ මතකයන්. දරුවා පිළිබඳ ලියවුණ ගීතයක් හින්දා දරුවා ගැන තියෙන බලාපොරොත්තුව මං නොදුටුව නව ලෝකය කිරුළ පැළඳ රැජින වෙලා කියලා මං ලිව්වා. රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට දීපිකා ප්‍රියදර්ශනී මේ ගීතය අලංකාරව ගායනා කළා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...