Monday, November 30, 2020

අවන්හලක ඉපදී...

අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //


මෙහි ඇති සුළු කලක විනෝදේ

මත දෙවියන් යැයි රඟන මෙවේලේ

මළ පසු මට හිමි සොහොන් කොතේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ

මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං


අමතක කර ආදර ලෝකේ

සැමදා බොමු මේ ජය පානේ

ජීවත් වන මේ සුළු කාලේ

මගෙ මිතුරා වේ මධු පානේ

මගෙ මිතුරා වේ මධු පානේ


අවන්හලක ඉපදී මා මිය යනවානම්

මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං

මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්

මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං

මේ අවන්හලේ මං //

මේ අවන්හලේ මං


ගායනය - ෂෙල්ටන් මුතුනමගේ

පදරචනය - ජයන්ත ප්‍රනාන්දු

සංගීතය - ජයන්ත ප්‍රනාන්දු


අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ නමින් ෂෙල්ටන් ගායනා කළ, ගීතය ගැන චෝදනා එල්ල වුණා නේද?

‘ඒ ගීතය නැව්වල වැඩකරපු මගේ මිතුරෙකු වන ජයන්ත ප්‍රනාන්දු ලියල හදාගෙන කියපු ගීතයක්. පස්සෙ මම ඉල්ලගෙන ගායනා කළා. මම ගායනා කළාම ‍රසිකයන් අතරට ගියා. සමහරු මේ ගීතයේ අදහස ගැන විවිධ මත පළ කරල තිබුණ තමයි. ඒත් මධුලෝලියකුගේ සිතුවිලි කියවෙන ගීතයක් හැටියට මේ ගීතයට කැමති පිරිසක් ඉන්නවා.’

ඔය ගීතය මගේ අදහසක්වත් මම කියලා ලියවගත්ත එකක්වත් නෙවෙයි. ගීතය ගැයුවාට ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් හෝ කැමැත්තකුත් නෙවෙයි. ඇත්තටම මෙය මුළු ජීවිතයම මීවිත කියලා හිතන කෙනෙක්ගේ සිතුවිලි ගැන කියවෙන ගීතයක්. මෙය ලිව්ව ජයන්තගේ මාමා  කෙනෙක් ඉන්නවාලු "කෙනත්" කියලා. ඔහු මත්පැන් තමන්ගේ ජීවිතය කියලා හිතන කෙනෙක්ලු. ජයන්තගේ මේ මාමාගේ ක්‍රියාකලාපය මුල්කරගෙන තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. මේ ගීතයේ "මේ සසරේ පින්කර ඇති  එකම කෙනා මං" කියන පදවල "කෙනා" නමින් හඳුන්වලා තියෙන්නේ කෙනත් කියන නම කෙටි කරලයි. මොකද බොහෝ දෙනෙක් ඔහුව අමතලා තියෙන්නේ "කෙනා" කියලයි. මේ කෙනත් මාමා තමන්ගේ ජීවිතය මත්පැන් කියලා හිතපු පුද්ගලයෙකු ලු. 

මේ ගීතය රසිකයන් අතරට වේගයෙන් ගියා. බොහෝ දෙනා හිතුවේ මම මත්පැන්වලට ගිජු වෙලා ඒක ගැන සින්දුවක් කියනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි මේක.


(උපුටා ගැනීම - සාරවිට ශාන්ත කුමාර විතාන) 




නින්ද නැති රැයේ ...

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


කිළිපොලා සැළී යමින් නොහිමි සීතලේ

තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


ගායනය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - ගුණදාස කපුගේ


"නින්ද නැති රැයේ" ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් අදහස් දක්වමින්.... 

මාව මොනරාගලට මාරු කළාට පස්සේ මං හිටිය නවාතැන ඉස්සරහට පේනවා මරගල කන්ද. ඒ කන්ද මීදුමෙන් වැහිලා යනවා. ඒක උඩින් හඳ පායනවා. පොද වැස්සක් වැටෙනවා. මට ඉතිං පරිසරයත් එක්ක මතක් වෙනවා ඇය. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප‍්‍රථම පේ‍්‍රමයේ. හඳ කඳුළු මීදුමක හැංගිලා අඬනවා. මං කල්පනා කරනවා ඒ ඇය තමයි. ගෙදර තනිකරලා දාලා ආපු ඇගේ ඒ නිල් ඇස් වල එළිය කාන්තිය නිවිලා යනවා. ඒ කියන්නේ අඬන්න සූදානම් වෙනවා. වැහි බිංදු වැටේවි, ඔන්න අඬන්න පටන් ගන්නවා. තොල් සැලෙන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් ඇවිල්ලා ආයේ ඉක්මනටම මං ආයේ මගේ සේවයට යන්න පිටත් වෙන්න ඕන ආයේ අවදිවෙලා පහුවෙනිදා. 

ඇය වෙනුවෙන් හුඟක් කවි ලියා තියෙනවා ගීතවලට වඩා. මේක විවාහයට පෙර ලියවුණු ගීතයක්.

මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරණයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහයකට විතර පස්සෙ නැවත පටිගත කරනවා. ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිටපිටම වසර 03 ක් පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි. 

(උපුටා ගැනීමකි)







පින්න මලේ සුද ...

පින්න මලේ සුද ඇන්න ගිහින්වද

මුහුණ පුරා පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා //


දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

අන්න බලාපන් අත වනතේ

මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට

ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ


පින්න මලේ....


ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ

එන්නෙ අළුත් අවුරුදු කාලේ

ගන්න එපා පර දේස සිරිත් නෙක

මේක අපේ සිංහල දේසේ


පින්න මලේ....


ගායනය - එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - අමරසේන කංකානම්ගේ


 "පින්න මලේ සුද" පේ‍්‍රම ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ අදහස් දක්වමින්......

 

එඩ්වඩ් දවසක් මට කිව්වා ”අමරේ, මට කැසට් එකක් කරන්න නං ඕනකම තියෙනවා. මට සිංදුවක් හෝ දෙකක් දෙන්න” කියලා. මං ඇත්තමයි එඩ්වඩ්ට කිව්වා අනේ එඩ්වඩ් මං සිංදු ලියලා නං නෑ, කැසට් ඒවා මේවා ගැන මට කිසි අවබෝධයකුත් නෑ කියලා. ඒ ගමන එඩ්වඩ් කිව්වා කමක් නෑ කමක් නෑ ඔයාට ලියන්න පුළුවන්. මං දන්නවා ඔයාට ලියන්න පුළුවන් බව. බැරිඋනොත් අපි හරිගස්සගමු කෝ කියලා, කොහොම හරි සිංදු දෙකක් ලියලා දෙන්න කිව්වා එයාගේ කැසට් එකට. අන්තිමේදී මම සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි පින්න මලේ කියන ගීතය. අනිත් ගීතය තමයි නිල් නුවන් කියන ගීතය. මේ ගීත දෙකේම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ගීත දෙකම ජනප‍්‍රිය වුණා.

 

ගීතය ලියද්දි නිකමටවත් හිතුනද මෙතරම් ජනප‍්‍රිය වෙයි කියලා? 

අනේ නෑ. මොකද මං දන්නේ නැහැනේ ඉතිං ඇත්තටම ගීතයක තියෙන්නා වූ ක‍්‍රමවේදයන් මොකක්වත්. අහපු පළපුරුද්ද විතරයි මට තිබුණේ. කවි ලිවීමේ හැකියාවක් තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. එඩ්වඩ් ආවට පස්සෙවත් මං ගීත රචකයෙක් වෙන්න ඕන කියලා හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එහේ සෑහෙන ගායකයෝ හිටියා. මර්වින් පෙරේරා, ප‍්‍රියා සූරියසේන, ලීලානන්ද රත්නායක වගේ අය. නමුත් කවදාවත් ඒ කාටවත් මං සිංදු ලියලා දුන්නේ නෑ අනේ මේක කියන්න කියලා. එඩ්වඩ් මගෙන් බලෙන් ඉල්ලා ගත්තා. ඒක හින්දා තමයි බලෙන් මට ලියන්න වුණේ. මං එඩ්වඩ් ගෙන් ඇහුවා මොනවගේ ගීත ද ඕන කියලා. ඔයා නිදහසේ ලියන්න; මට ඒකෙ කිසි ප‍්‍රශ්නයක් නෑ කියලා කිව්වා. පින්න මලේ ගීතය මම එහෙම නිදහසේ ලියපු ගීතයක්. නිල් නුවනුත් එහෙමයි. කෙටියෙන්ම කියතොත් එඩ්වඩ් නැත්නම් මං කවදාවත් ගීත රචකයෙක් වෙන්නේ නෑ. 

මං දන්නා ළමයෙක් හිටියා තමන්ගේ ජීවිතේ පිළිබඳ හරිම නොසැලකිලිමත්. හරියට අඳින්නේ නෑ. හරියට හිස පීරන්නේ නෑ. තරුණ ළමයෙක්. නමුත් පසු කාලයකදී මම එයාව දැක්කා බොහොම හොඳට ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. මට හිතුනා ඇත්තටම මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මෙයා මොකක් හරි පේ‍්‍රම සම්බන්ධතාවයක පැටලිලයි කියන හැඟීම මගේ ඔලූවට ආවා. මං ඒ ළමයාගෙන් ඇහුවේ නෑ ඔයා මොකද මෙහෙම ඉන්නේ කියලා. නමුත් මට එහෙම හිතුනා. ඒ සිතුවිල්ල තමයි ඔය ගීතයට හේතු වුණේ. 

පින්න මල කියන උපමාව හුඟ දෙනකුට හුරු නෑ. හුඟ දෙනෙක් හිතන්නේ අර කනතුවල අරහේ මෙහෙ තියෙන පින්න මල් කියලා. නෑ එහෙම පින්න මලක් නෙමෙයි මේ. මේක නෙලූම් මලක් වගේ. හරිම සුවඳයි. වෙල් දෙණිවල තමයි මේ මල පිපෙන්නේ. පින්න මල කොයි තරම් සුදුද කිව්වොත් පෙත්ත වටේ ලා රෝස පාටක් තියෙනවා. හැන්දෑ වෙනකොට ඒක පරවෙනවා. ඒ තරම් ලස්සනයි. මං ඒක තමයි උපමාවට ගත්තේ ඒ පින්න මල. අනික ඒ ගීතය ලියනකොට ගමේ මිනිස්සුන්ගේ සිරිත් විරිත්, ඒවත් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇවැස්ස නෑකම. ඇවැස්ස මස්සිනා තමයි මේ ගීතය කියන්නේ, නෑනට.

 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...