Monday, February 22, 2021

සරාගයේ ...

 නිය රටා.. මවනවා..

අපතරේ… වූ කතා

රැය පුරා උණුහුමේ

මල් පෙති තලා…


සයනයක් නිදනවා

මේ රැය අපගේ වූ නිසා..

ආදරෙන් නග්න වූ හිමිකම් සොයා…

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා…

ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…


කාමරේ මුළු පුරා..

නෙක සලුපිලි තනිවෙලා…

මා සිතින්.. හඩනවා..

දෙස බල බලා…


මං මුලා.. වූ සිතින්..

මා මල් සුවදක් විදිනවා…

බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී…


උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා…

ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී…


සරාගයේ.. රැයේ..

පිනිබිඳුවක් වී වැටී….

මා… සිතේ හිඩසක් මවා…

යහන්තලේ… වැතිරී…

අද තනිකම ඉතුරු වී…

සද ඇතිරිල්ලෙන් වෙලී.. තනිවුනා…


ගායනය හා සංගීතය - සනුක වික්‍රමසිංහ 

පදරචනය - මනුරංග විජේසේකර 


මිනිස් සිතක උපදින ආදරණීය සිතුවිලිවලට නැවැතුමක් නැහැ. නොසිතන මොහොතක නොසිතන වරදේ කෙනකු පැටලෙන්නෙත් මේ හින්දා වෙන්න පුළුවන්. වරදක බැඳෙන්න අකමැති වුණත් සොඳුරු වරදක බැඳෙන්න කවුරුවත් දෙපාරක් හිතන්නෙ නැහැ. ඒ වරදේ ප්‍රතිවිපාකය දැනෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. අහඹු විදිහට ඇති වන මේ අසම්මත බැඳීම්වල අවසාන උරුමය වෙන්නේ බොහෝ වෙලාවට වේදනාවක් විරහවක් හෝ පශ්චත්තාපයක් විතරයි. මේ වේදනාවෙන් බොහෝ අය කලක් යනතුරුම විඳවනවා. සමහරු ජීවිත කාලය පුරාවටම විඳවනවා. තවත් අතකට විඳවන්නේ නැතිව එය මොහොතකින් අමතක කර දමන අයත් අපි අතරෙ ඉන්නවා. මේ විදියට ඇති වන අහඹු හමුවීම් නිසා වේදනා විඳින පශ්චත්තාප වන මිනිසුන් මේ ලෝ‍කේ මොනතරම් නම් ඇත්ද?


අපේ ජනප්‍රිය ගීත රචකයකුටත් මේ විදියට අහඹු හමුවීමක් නිසා වේදනා විඳින්නෙකු ගැන අපුරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ සිදුවිම ඔහු අතින් අපුරු පද රචනයකට පෙරළෙනවා. සනුක වික්‍රමසිංහගේ සොඳුරු තනුවක් එයට තාලය දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගීතයට ආකර්ෂණීයව හඬ දෙන්නේත් නව පරපුරේ දක්ෂ ගායක සනුක වික්‍රමසිංහයි.


මේ ගීත රචනයට පාදක වූ සිදුවීම ගැන මේ ගීතයේ රචක මනුරංග විජේසේකර අපිත් එක්ක කතාබහ කළා.


"මම හුඟක් වෙලාවට යුරෝපීය කලා නිර්මාණ රසවිඳිනවා.පොතපත කියවනවා.යුරෝපීය සිනමා කෘති නරඹනවා. මේවා බලන විට ඒවා අහන දකින විට ඒ නිර්මාණ ඔස්සේ රසවත් සිතුවිලි මගේ මනසට ගලා එනවා. මගේ අතින් බටහිර ආභාසයේ ගීත වැඩිපුරම රචනා වෙන්නෙත් ඒවා බොහෝ විට විචාරයට විවාදයට ලක් වෙන්නෙත් මේ නිසා වෙන්න ඇති. සරාගයේ ගීතය ගත්තම ඒ ගීතයට ප්‍රස්තුත වෙන්නේ මගේ හිතේ කාලයක් පුරා ඇති වී සැඟ වී තිබූ රසවත් සිතුවිලි සමුදායක්. කොටින්ම කිව්වොත් මේ ගීතය බටහිර ආකෘතියේ ගීතයක්.මෙහි සංගීතය බටහිර ආභාසයෙන් යුතුවයි නිර්මාණය වෙන්නේ. සනුක කියන්නේ අති දක්ෂයෙක්. ලෝකයේ මේ දවස්වල යන සංගීත රටාව අපූර්වත්වයෙන් යුතුව එහි සැර බාල කරලා ලංකාවට අවශ්‍යකරන පදමට සනුක නිර්මාණය කර තිබෙනවා. එයත් ගීතයේ සාර්ථකත්වයට බලපාලා තිබෙනවා."


සිතේ කොනක සැඟව පැවැති රසවත් සිතුවිල්ලක් මේ ගීතයට පාදක වූ බවයි මනුරංග පවසන්නේ.


"ඔබ හිතන්න ඔබ යනවා ලොකු උත්සවයකට. අනර්ඝ ඇඳුම් පැළැදුමෙන් සැරැසුණු ගැහැනු පිරිමි විශාල ප්‍රමාණයක් එහි සිටිනවා. උත්සවයට පැමිණි ඔවුන් සමඟ මධුවිතින් සන්තර්පණය වන ඔබ හුඟක් සතුටු වෙනවා. මධුවිත තොලගාමින් නටනවා. ගයනවා. එතැනින් පසුව ඔබට සිදු වූ කිසිවක් මතක නැහැ. පසුදින ඔබ අඩසිහියෙන් අවදිවෙනවා. ඔබ සිටින්නේ සයනයක් මත. ඔබට එහා පැත්තේ ඔබ නොදන්නා කාන්තාවක් නිදා සිටිනවා. ඔබට රාත්‍රියේ වූ කිසිවක් මතක නැහැ. ඔබ ඇය කවුදැයි කියා සොයනවා. ඔබගේ ඇඟ පුරාම සීරුණු නිය පාරවල්. ඔබම හිතනවා! මේ ඇඟ පුරා ඇඳුණු නියරටා අතරම ඇය කවුද කියා ලියලා තිබුණා නම් කියලා. ඔබ නැඟිට කාමරයට දෙනෙත් යොමනවා. එය යුද පිටියක් හා සමානයි. තැන් තැන්වල ඇඳුම් විසිරී ගිහින්. සමහර විට මේ අනපේක්ෂිත හමුවීමට මුහුණ දුන් ඔබ විවාහකයෙක් වෙන්න පුළුවන්.තනිකඩයෙක් වෙන්න පුළුවන්. ඒත් මේ අහඹු සිදුවීමෙන් ඔබ සිතේ ඇති වන්නේ වරදකාරී හැඟීමක්. මෙය තමයි මනුෂ්‍ය ස්වභාවය. මධුවිතයි ස්ත්‍රියයි ගින්දරයි පුළුනුයි වගේ කියා කියන්නෙත් මේ හින්දා වෙන්න ඇති."


කාලයක් තිස්සේ මනුරංගගේ හිතේ පැවතුණු මේ සිතුවිල්ල මුල්කරගෙනයි ඔහු 'සරාගයේ 'ගීතය ලියන්නේ. ඔහු අතින් එය ලියැවෙන්නෙත් අපුරු විදිහකට.


"එක දවසක් උදේ පාන්දරක සනුක අපේ ගෙදරට එනවා. ඒ මට කියලා ගීතයක් ලියවා ගන්න. ඔහු නිකම්ම නෙවෙයි එන්නේ. රසවත් තනුවකුත් එක්ක. මෙලඩි එකක් තියෙනවා. පද ටිකක් දමුම ද? ඔහු යෝජනා කරනවා. ඒ වන විට 'සරාගයේ'ගීතයට පාදක වු සිතුවිල්ල මගේ හිතේ තිබුණා. මම එකින් එක පද තනුවට යෙදුවා. එය හරි අපූරු සුසංයෝගයක් වුණා." අසම්මත අහඹු හමුවීමක ආදර අවනඩුවක් වූ නිසාදෝ මේ වන විට යොවුන් පරපුරෙන් මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.


"මම දකින විදිහට මේ ගීතය ගීත ලෝකයේ වෙනස්ම මාතෘකාවක් රැගත් ගීතයක්. සරාගයේ ගීතය ඇතු‍ළේ තිබෙන්නේ අහඹු ලිංගික හමුවීමක්. මේ අන්තර්ගතය බටහිර රටවල අතිශය සාමාන්‍ය සුලබ කතාවක්. බටහිර කලා නිර්මාණ වල මෙය හෝ මෙය අතික්‍රමණය කළ නිර්මාණ සිදුවෙනවා. ලංකාවේ මෙවැනි සිදුවිම් සිදු වුණත් ඒවා සමාජයට විවෘත නැහැ.මට මේ ගීතයේ අවශ්‍ය වුණේ මට අවශ්‍ය කරන මේ සිදුවීම සංයමයකින් යුතුව ඉදිරිපත් කරන්නයි. ලංකාව සංස්කෘතික සදාචාරාත්මක වටපිටාවක් ඇති රටක්.කලා කෘතියක් නිර්මාණය කිරීමේ හා එළිදැක්වීමේ සම්පූර්ණ නිදහස කලාකරුවාට තිබුණත් එය අපේ සංස්කෘතියට අභියෝගයක් නොවිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. සම්ප්‍රදාය කියන බැම්ම කඩාගෙන අලුත් දෙයක් නිර්මාණය කළ යුතු නම් එය කළ යුත්තේ කලාත්මකව මිස ගල් ඉන්නක් අරගෙන ඇනගෙන ඇනගෙන ගිහින් නෙවෙයි."


සරාගයේ ගීතය හැම කාලයකටම හැම සමාජයකටම පොදු අත්දැකීමක් බව එහි පද රචනය,භාෂා යෙදුම් රටාවන් අනුව පෙනී යයි.


"මෙවැනි සිදුවීම්වලට බටහිර සංස්කෘතියේ සරලව කියන්නේ 'One night Stand'(එක රැයක් පමණයි)කියලයි. මෙලෙස ඇතිවන අහඹු හමුවීම් අපේ රටේ අප සමාජයේ සාමාන්‍ය කරණු කාරණා. මා මේ කියන සිදුවීම එදා අපේ රටේ සංචාරක ගැල්කරුවන් අතරත් සිදු වී තිබෙනවා. කැලේ ගමන් කරන දඩයක්කරුවන් අතින්ද සිදුවී තිබෙනවා. පුරාණ සංචාරක වෙළෙන්දන් අතින් ද සිදු වී තිබෙනවා.මෙකල සමාජයේත් විවධ රැකියාවන් හා විවධ සමාජ ක්‍රම ආශ්‍රිතවත් මෙවැනි දේ සිදු වෙනවා. නගරය ද ගම ද කියා මෙවැනි බැඳීම්වලට වෙනසක් නැහැ."


මනුරංග 'සරාගයෙන් 'පවසන දේ සත්‍යයක් බව හැඟී යන්නේ අද සමාජය දෙස බලන විට එහි සැරිසරන විට හමුවන විවිධ දේ අහන දකින විට ය. පවතින සමාජයේ මිනිසාට දැනෙන දේ මිනිසාට දැනෙන සරල භාෂාවෙන් ඉදිරිපත් කරන ඔහු පවසන්නේ කලාකරුවා ආග්‍රහණය කළ යුත්තේ ද සාමාන්‍ය සමාජයේ මිනිසා ආග්‍රහණය කරන සුවඳම බවයි. ඔහු අතින් ලියැවුණු සාරාගයත් ඒ වගෙයි.


(උපුටා ගැනීම - ගීයක අරුම / සිළුමිණ)




වෙරළු ගෙඩිය ...

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන

උන් අපි එදා සත් කුළු පව් විලාසෙන

පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන


පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන

හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //

මහගෙයි බිමට තනි උරුමය කියාගෙන

සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන


වෙරළු ගෙඩිය...


තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති

ලන්දක කකා ලන්දක කල් යල් හරිති //

එක මිහි සයන කාටත් නිදි සුවය දෙති

බිම් පංගුවට ලොල් වී මළගම් නොයති


වෙරළු ගෙඩිය...


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය: වසන්ත කුමාර කොබවක

සංගීතය: වික්ටර් රත්නායක


මෙම ගීතය රචනා කළේ සුභාවිත ගී රැසක නිමැවුම් ශිල්පියකු වන සම්මානනීය පද රචක වසන්ත කුමාර කොබවකය.


“වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන...”


වසන්ත කියූ ගීතයේ පසුබිම් කතාව අපූරුය!


“මේ කතාව බොහොම දිගයි. මගේ පවුලේ ඉන්නේ මමයි අක්කයි. අම්මා ගුරුවරියක්, තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. අපේ නිවෙස තිබුණේ ලොකු වත්තක. තේ ගස් තිබුණට ඒක ගන කැලෑවක්. අම්මා අක්කා ලැබෙන්න කාසල් රෝහලේ නතර වෙලා ඉන්නකොට තාත්තා හැමදාම යනවාලු අම්මාව බලන්න. ඒ ගිහිල්ලා එන්නේ රෑ වෙලාලු. දවසක් එහෙම ගිහින් එනකොට තාත්තාට ඇහෙනවාලු වත්ත කෙළවරකින් පොඩි දරුවෙක් අඬන හඬ.


හොයල බලන කොට ඒ රෑ අසල්වැසි යුවළක් කුඩා දරුවෙක් සමඟ යාන්තම් පැලක් අටවගෙන ඉන්නවාලු. ඒ හිතුවක්කාරකමට විවාහ වුණ අසල්වැසි නිවෙසක ගැහැනු කෙනෙක්. ගමේ අය කියලා ඉඩම ලොකු නිසා වෙද මහත්තයා ඉඩම් කෑල්ලක් දෙයි, එහෙන් ඉන්න, කියලා. අපේ ඉඩම අද්දර දොළෙන් එහා පැත්ත කෑල්ල පහුකාලීනව ඒ අයට ලියලා දුන්නා. ඒත් ඒ මනුස්සයා අපේ ඉඩමෙන් තව තව අල්ලගන්න හැදුවා. මේ පවුලේ දරුවෝ නවදෙනෙක්. එක දරුවෙක් මගේ වයසේ. ඔහු මා සමඟ යාළු වුණා. ඒත් ඔහුගේ පියා මගේ පියා එක්ක තරහයි; රණ්ඩු කරනවා; මගේ තාත්තට බනිනවා. මේ මනුස්සයා ගහකින් වැටිලා කකුල කැඩුණාම ඒක හොඳ කළෙත් අපේ තාත්තා. ඒත් ඔහු නැවතත් තාත්තට බනිනවා. ඒත් උදේට මේ අය වේවැල් කපන්න කැලේට යනකොට මාව ඉස්සරහට හමු වෙලා තමයි යන්නේ. “මහත්තයා හමු වෙලා ගියාම අපට සරුයි...” ඔහු කිවුවේ එහෙමයි. එත් ඔහු මගේ තාත්තා එක්ක තරහයි. “මට වෙදමහත්තයා දැක්කාම තරහව ඉවසන්න බෑ.” ඉන්න හිටින්න තැනක් නොතිබුණු ඔහුටයි දරුවන්ටයි ඉඩම් කෑල්ලක් ලියලා දුන්න තාත්තා ගැන ඔහු කිව්වේ එහෙමයි. මේ අදහස මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා.


පහුකාලීනව මම කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒ කාලේ මම මාලනී බුලත්සිංහල හඳුනනවා. සින්දු ලියලා ඇයට යවනවා. දවසක් මම මාලනී අක්කා හමු වෙන්න ඇය ඒ දවස්වල සිටි නිවෙසට ගියා. ඈ කිවුව පාර දිගේ මඟ සලකුණු ඔස්සේ ගියේ. මඟ දිගට අහපු අහපු හැමෝම යන විදිහ කිව්වා. අන්තිමට ආව නිවෙස ගාවින් ඇහුවාම කිව්වා එහෙම කෙනෙක් ගැන දන්නේ නෑ කියලා. මම ඒ නිවෙසට එහායින් තිබුණු නිවෙසින් ඇහුවා. එතකොට මාලනී අක්කාගේ අම්මා ඇවිල්ලා කිව්වා ඒ ගෙදර කියලා.


මම මේ විස්තරය මාලනී අක්කාට කිව්වාම ඇය කිව්වා ඒ නෑයෝ වැට මායිම් ප්‍රශ්නයකට තරහයි කියලා. මේ අදහසත් ටික කාලයක් මගේ හිතේ තිබුණා. පුංචි කාලේ කොයි තරම් එකමුතුව හිටියත් වයසින් වැඩෙන කොට එකම පවුලේ සහෝදරයෝ අතරේ වුණත් ප්‍රශ්න ඇති වෙනවා. මේ හැමදේම ගැන හිතිලා තමයි පද පෙළ ලියවුණේ. මම එක්වර ගීතයක් ලියා නිම කරන්නේ නෑ. 1979 වසරේ තමයි ගීතය ලියැවුණේ. 1980 තමයි ගීතය පටිගත කෙරුණේ. සුනිල් එදිරිසිංහ මහත්මයා අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රසංගවලට එනවා. මම මේ ගීතය ඔහුට ලියා යැව්වා. වික්ටර් රත්තනායකයන් බොහෝම කැමැත්තෙන් මේ පදපෙළට අපූරු තනුවක් නිර්මාණය කර තිබුණා. අද වගේ පද රචකයෝ පද පෙළක් ලියාගෙන එය ගීතයක් බවට පත් කරගන්න දුක් විඳින්න අවශ්‍ය නෑ. ඒ කාලේ ගුවන්විදුලියේ අලුත් ගීත බිහි කළා. සුනිල් එදිරිසිංහයන් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක්. ඔවුන්ට ගුවන් විදුලියෙන් සරල ගී ගායනා වැඩසටහන් වෙන් කර තිබුණා.


මේ වැඩසටහන් වලට අලුත් ගී ගැයුණා. මගේ මේ ගීතයට ඉඩක් ලැබුණේ ඒ විදිහට. ඒ වගේම තමයි අපේ පැරණි කතාවක් තමයි වෙරළු ගෙඩිය හරි හතකට කපලා මවුපියන්ටත් කොටස් වෙන් කෙරුවා කියන එක. ඒත් මට හිතුණා යමක් කොටස් හතකට සමානව කපන්න බැහැ කියලා. අපට යමක් කොටස් අටකට නම් සමානව කපන්න පුළුවන්. ඒ නිසා මම එය කොටස් අට කියලා වෙනස් කෙරුවා.”


වසර ගණනාවකට පෙර ලියවුණ ගීතය ගැන වසන්ත කුමාර කොබවක පවසන්නේ එසේය.


(උපුටා ගැනීම - ඉනෝකා සමරවික්‍රම/සිළුමිණ)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...