Tuesday, November 17, 2020

ජීවිතේ කවියක් ...

ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්

කඳුලැලි බිදක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිදි රසයක්...


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

හැඟුම් අවදිව නැගේ තනිකම


ජීවිතේ කවියක්...


සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට


ජීවිතේ කවියක්..


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 


මෙය 1990 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.

"ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්”  ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

මම රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලේ තමයි ගජමන් නෝනා කියන ටෙලි නාට්‍යය රූප ගත කරන්න පටන් ගත්තේ මගේ අධීක්ෂණය යටතේ. ඒ සඳහා ගජමන් නෝනාගේ ජීවිතය හොයාගෙන යන ගමනට මටත් එකතුවෙන්න පුළුවන් වුණා. ඇගේ ජීවිතය පිළිබඳව තොරතුරු හොයලා බැලූවා, පිටපත ලියන්න කලින්. ගජමන් නෝනා ගැන අහලා තිබුණ විදිහ නෙමෙයි ගජමන් නෝනාගෙ ජීවිතය කියලා ඉන් පස්සේ අපට තේරුණා. අසීමිත දුක් කන්දරාවක් අනුභව කරපු කාන්තාවක් තමයි ගජමන් නෝනා. 

අපට එහෙම චරිතයක් හම්බවෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා. මං හිතන්නේ පටාචාරාවට වඩා දුකක් අනුභව කළා ගජමන් නෝනා. පටාචාරාවට අවසානයේ බුදු හාමුදුරුවෝ පිහිට වෙනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා ඇය රහත් භාවයට පත් වෙනවා. ගජමන් නෝනාට එහෙම පිහිට වෙන්න කව්රුත් හිටියේ නෑ. ඇය හැබැයි ජීවිතයේ සියලූ දේවල් අනිත්‍යයි කියලා අවසාන කරගන්නේ නෑ, ඇය මැරෙනතුරුම ජීවත්වෙනවා. ඒ ජීවත්වෙන්න ඇයට තිබිච්ච එකම හයිය තමයි එකම ශක්තිය තමයි කවිය. ඇය කිවිඳියක්. ඒ කවිකම තමයි ඇයට ආශිර්වාදයක් වුණේ. කඳුලයි හසරැල්ලයි මැද්දෙන් ගත කරපු ජීවිතයක් තමයි ගජමන් නෝනා ගෙ තිබුණේ. මධුර තනුවක් නිර්මාණය කළා රෝහණ වීරසිංහ. ඉතා හැඟීම්බරව ගායනා කළා නන්දා මාලිනී. ඒ නිසා ඒ ගීතයත් අදටත් අප අතර පවතිනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...