Tuesday, July 14, 2020

නෙතින් නෙත බලාලා ...

ආදරවන්තයා නැත්නම් ආදරවන්තිය අහිමි වුණොත් බොහෝ පෙම්වතුන් හිතනවා තමන්ගේ ජීවිතේ එතැනින් අවසානයි කියලා. නැහැ ඒ ජීවිතයේ අවසානය නොවේ. තවත් අලුත් ජීවිතයක්‌ එතැන් සිට ඇරඹෙන බව සිතෙන්නේ කීයෙන් කී දෙනාටද...

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවි අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

මේ පෙම්වතුන් දෙදෙනා වෙන් වෙන්නයි සූදානම. එකිනෙකාගේ දෙනෙත් යාවෙලා. ඇගේ නෙත් පුරා කඳුළු. වියෝ දුක නිවාගන්න නෙතින් නෙත බලා ඉන්නවා. ඔවුන්ගේ ආදර කතාව අදින් පස්‌සෙ මියෑදෙනවා. ඒත් ඇය හඬනවා දෙදෙනාගේ පෙම නොකැඩී රැකගන්න ඇය අඬනවා. එපා හඬන්න එපා. අපි අද වෙන්වුණත් මේක අවසානය නොවෙයි. වෙනස්‌ විදිහකින් සිද්ධවෙන ජීවිතයේ ආරම්භයක්‌ වේවි... අපේ මේ වියෝවීම ඔහු ඈ අස්‌වසනවා.

අහිමි පෙමක්‌ ගැන මේ ගීය ලියුවේ දයා ද අල්විස්‌ අපේ හිතවත් ශිල්පිණිය විසින්.

මේක අත්දැකීමක්‌ නම් නෙවේ. ස්‌ටැන්ලි පීරිස්‌ගේ තනුවකට ලියෑවුනු ගීයක්‌ තනුව දීලා මට කිව්වා වචන ටික දමන්න කියලා. මම භාරගත්තා. තනුවකට වචන දාන්න ටිකක්‌ අමාරුයි. තේරුමක්‌ ඇතිව ලියන්නත් එපායෑ. දයා ද අල්විස්‌ ගීයේ උපත ගැන කියන්න පටන් ගත්තේ එහෙමයි.

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදොa අහිමි ආදරේ

මේ පෙම්වතුන් දෙදෙනා වෙන් වන්නේ හුඟාක්‌ ආදරය කරලා සෑහෙන කාලයක පටන් ආ ආදර සබඳකමක්‌ දෙන්නට දෙන්නා දැන් ඈත්වෙලා බව දැනෙනවා. කෙටි කාලයක්‌ තුළ හටගත් ආදරයක්‌ නම් වෙන්වීම එතරම් දුකක්‌ නොවේ. ඒත් මේ දුරගිය ආදරයක්‌. ඒ නිසා දුක වැඩියි ඈ කෙරෙහි ඔහුගේ හිතේ උපන් ආදරයේ තරම කියාගන්න බෑ හරියට මහා සාගරයක්‌ වගේ. ඒත් ඉතින් ඒක අහිමි ආදරයක්‌ ඔහුට හිමිවෙලා තියෙන්නේ අහිමි ආදරයක්‌

මේ සිංදුවේ තනුව රෝහණ මටත් කලින් දීලා තියෙන්නේ ප්‍රේමකීර්තිට. ප්‍රේමකීර්ති තනුවට ලස්‌සන පද පෙළක්‌ රචනා කරලා රෝහණට දුන්නලු. ඒත් එක පේළියකට රෝහණ අකමැතිවෙලා. මේ ලයින් එක අයින් කරලා දෙන්න කියල රෝහණ ප්‍රේමකීර්තිට දවස්‌ ගණනාවක්‌ කියලා. ඒත් ප්‍රේම් ඒකට අකමැති වෙලා. තමන් ලියූ ගීයක පද පෙළක්‌ අයින් කරනවට කවුද කමැති, මමත් අකමැතියි. ප්‍රේමකීර්ති පද පෙළ අයින් කරන්න කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාලු. 

"එහෙමනම් මම වෙන කාටහරි දීලා තනුවට පද ටිකක්‌ ලියාගන්නම් රෝහණ ප්‍රේම්ට කිව්වාම හා හා ලියාගනිං." කියලා ප්‍රේම් කියලා. ඉන් පස්‌සේ තමයි රෝහණ මට තනුව දීලා තියෙන්නේ. මම ඔය කිසිම දෙයක්‌ දන්නේ නැහැ. ප්‍රේමකීර්ති කලින් ලියපු බව දන්නව නම් මම මේ පද පෙළ ලියන්නෙත් නැහැ. ඒත් මගේ සිංදුව ජනප්‍රිය වුණාට පස්‌සෙ තමයි රෝහණ ඔය කතාව මට කිව්වේ. මම පද පෙළ ලියුවට පස්‌සේ රෝහණ ඒක ප්‍රේමකීර්තිට පෙන්නලා "හොඳයි ලස්‌සනයි" කියලා ප්‍රේම් කිව්වලු. 

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුමවූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

ඔයාට මාවත් මට ඔයාවත් පතන්න තරම් අපි දෙන්නටම වරම් නෑ. ඔයා ගැන හිතන හැම මොහොතකම මගේ හදවත රිදුම් දෙනවා. අද විතරක්‌ නොවේ මේ වේදනාව හෙටටත් උරුමවේවි. ඔයා මගෙන් ඈත්වෙලා ගියාට පස්‌සෙ. මේ ලෝකයේ මම තනිවෙනවා. ඔයා නැතිව මට මොන ජීවිතයක්‌ද. මගේ ජීවිත ගමනේ කිසිම දෙයක්‌ මින් පස්‌සේ සුබ වෙන්නේ නැහැ.

ආදරය අහිමි වූ පෙම්වතා අවසානයේ හිතන්නේ ඒ විදිහටයි. දයා ද අල්විස්‌ ශිල්පිණිය පෙර තනුවකට ලියා ඇති පළමු ගීය මෙයයි. එනිසා මේ ගීතය ඇයට සුවිශේෂී ගීයක්‌. ස්‌ටැන්ලි පීරිස්‌ගේ මේ තනුවට ප්‍රේමකීර්ති ලියූ පදපෙළ දයා ද අල්විස්‌ පවා තවමත් දැක නැහැ. ඒ පද පෙළ ගැන දන්නේ රෝහණ බෝගොඩ විතරයි ස්‌ටැන්ලිත් ප්‍රේමකීර්තිත් අප අතැර ගිහින්.

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

පද රචනය - දයා ද අල්විස්‌ 
සංගීතය - ස්‌ටැන්ලි පීරිස්‌ 
ගායනය - රෝහණ බෝගොඩ 



සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ ...

අපි උදාන ගී අසා ඇත්තෙමු. සම්භාව්‍ය සාහිත්‍යයේ ද උදාන ගී විරල නැත. අමරා රණතුංග ගයන " සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ " සිංහල ගීත සාහිත්‍යයේ එන සුන්දර උදාන ගීයකි. පෙම්වතියකගේ උදාන ගීයකි.

පෙම්වතිය තමාට පෙම්වතෙකු සිටින බව පවසන්නේ සැළලිහිණියාටය. අප පිලිබඳ සතුටුදායක ආරංචියක් තවත් කෙනෙකුට පැවසීමේ නොතිත් ආශාවෙන් අපි සැවොම නොපෙලෙන්නෝ නොවෙමු ද? පෙම්වතිය සැළලිහිණියා හා සංවාදයෙන් සපුරා ගන්නේ ඒ සාමාජයීය අවශ්‍යතාවයි.එපමණක් නොව, සැළලිහිණියාට නොමැති යමක් තමන්ට ඇති බවද කියා උදම් අනයි.

පෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවී ඉන්නෙ නෑ

කිරිල්ලියකට කූඩුවෙන් මිදී යන්නට ආදරය මූලික කරුණක් වන බව ගීත රචකයා පවසන්නේ කෙතරම් සරලවද ? මේ පවසන්නේ මානව වර්ගයාගේ පැවැත්ම පිණිස ඇවැසිවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ඇරඹුම නොවේද?

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්//
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා, අපි ආදරෙන් ඉන්නවා.

" මේ ඔයා දන්නවද මට එක්කෙනෙක් ඉන්නවනේ. අනේ හැබැයි කාටවත් කියන්න එපා. මං ඔයාට විතරමයි කිව්වේ" තම හොඳ ම යෙහෙලියගේ උරහිසේ එල්ලී, විලියෙන් මුහුණ රතු කරගෙන, පෙම්වත් කෝල හිනාවකින් මේ ආරංචිය කියනා තරුණියකගේ චිත්ත රූපයක් අප හමුවේ මැවෙයි.

තරුණිය සැළලිහිනියාට ඊළඟට පවසන්නේ ඊටත් වඩා රහසකි.

අහසින් පියාසරන ආදරේ හැඟුම් මහිම
දැන්නම් අපිත් දන්නවා, අපි ආදරෙන් ඉන්නවා

මේ ඉඟි කරන්නේ දෙදෙනා ආදරයේ ඵල නෙලන බව නොවේ ද? ප්‍රේමයෙන් බැඳී " කූඩු" නම් සීමාවලින් මිදී ආදරයේ සුව විඳිනා පෙම්වතුනට වඩා සුන්දරත්වයක් ලොව වෙන කොහේද ඇත්තේ?

අමරා රණතුංගගේ සරල ගැමි හඬ හැර වෙනත් හඬක් මේ ගීයට ගැලැපේදැයි සැක සහිතය. දයාරත්න රණතුංගගේ සංගීතයද වදන් පෙලට ඉටු කර ඇත්තේ එවන්ම වූ සාධාරණයකි. 

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ  සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවය හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම්
ආදරය දැනුනොත්
නුඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම්
ආදරය දැනුනොත්
නුඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නං
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නං
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා
අපි ආදරෙන් ඉන්නවා

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නං
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නං
අහසින් පියාසරන ආදර හැඟුම් මහිම
දැන්නං අපිත් දන්නවා
අපි ආදරෙන් ඉන්නවා

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හිතක සුවය හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම්
ආදරය දැනුනොත්
නුඹ කූඩුවේ ඉන්නෙ නෑ
සාගරය බඳු පෙම්
ආදරය දැනුනොත්
නුඹ කූඩුවේ ඉන්නෙ නෑ

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග



කොළොම්තොට ...

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා!

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ගුණදාස කපුගේ

ලූෂන් බුලත්සිංහලයන්ගේ තාත්තා වරාය සේවකයෙක්. එතුමා පුංචි කාලේ තාත්තා එතුමාව වරාය පෙන්නන්න එක්ක ගෙන ගිය අවස්ථාවක එතුමා දැක්කා වරාය ඉදිරිපිට තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය. අවුරුදු ගණනාවකට පස්සේ එතුමා රූපවාහිනි සංස්ථාවේ වැඩකරන කාලේ මේ හෝටලයේ උඩ තට්ටුවේ පවත්වපු සංස්ථා සංවත්සර සාදයකට සහභාගි වුණා.

කාලය ඉගිල ගියත් කොළොම්තොටයි අවන්හලයි තවමත් තරුණයි. ඒත් අපි වයසට ගිහිං. සඳ පෑයු රැයක හෝටලයේ උඩ තට්ටුවේ ඉඳන් බලද්දි වරායේ නැංගුරම් දමපු නැව් බුලත්සිංහලයන් දැක්කේ අමුතුම සෞන්දර්යයකින්. එතකොට තමයි මේ ගී සංකල්පනාව එතුමාගේ හිතට පහළ වුණේ.

මේ ගීය ලූෂන් ලීවේ කපුගේ වෙනුවෙනි. අමරදේවයන් තමාට නිර්මානයක් කර දෙන්නැයි කපුගේගෙන් කළ ඇරයුමේදී, කපුගේ තමා විසින් තනුව සකසා තිබූ මෙම ගීය ගයන්නැයි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. තමනට එය නොගැලපෙන බවක් අමරදේවයන් පවසා සිටියද, කපුගේ ගේ පෙරැත්තය නිසා ගැයුවේය. පසු කලෙක ඉමහත් ජනප්‍රිය වූ මෙම ගීය හා එය එසේ තමනට ගයන්නට හැකි වූ ආකාරය ගැන අමරදේවයන් ඉතා ආඩම්බරයෙන් කතා කර ඇත.

කථකයා මෙකී කාල සංඥාවෙන් පැන නැඟුණු සිතිවිලි මඟින් කොළොම්තොට ද, අවන්හල ද, සඳ ද, තමා ද, තම සොඳුරිය ද තුලනය කරයි. කාලයාගේ ප්‍රබලම බලපෑමෙහි තතු බෙහෙවින් සලකුණු වී ඇත්තේ තමා හා තම පෙම්බරිය කෙරෙහි බව හේ් සිය අබිමුව වන කැටපතෙහි දකියි. අනතුරුව කැටපත දෙස බලන මෙන් හෙතෙම සිය ප්‍රියාවට පවසයි.

තුරුණු වියෙහි සිටම පෙම්වතුන්ව සිටි යුවළක්, ඔවුනට පෙර සුපුරුදු අවන්හලට පැමිණ සිටින මේ මොහොත ඔවුන්ගේ වියපත් භාවයේ මොහොත බව මේ පබැඳුමෙහි වන සියුම් ඇඟැවුමකි. මෙතෙක් දෙදෙන ඒ පිළිබඳ දැනුම්වත් වීමක පසු නොවූහ. මෙතෙක් ඒ හා සමඟ ජීවත් වුවද ඔව්හු ඒ බවක් දැන නොසිටියහ.

"එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ"

කැඩපතෙහි පෙනෙනුයේ එදා උතුරා යන තරම් රූ සපුවෙන් යුතු ව පැවැති ස්වකීය පිළිබිඹු නොවේ.

නැව්තොටෙහි නැංගුරම් ලූ නැවක කුඹගස අහසෙහි නැඟ සිටිනුද, ඒ කුඹගස උඩ නතර වී සරදම් සිනා නංවන සඳ ද කථකයා දකියි. දෙදෙන ගෙවාලූ යටගියාවෙහි තතු දත් නිහඬ සාක්ෂිකරුවා වනුයේ සඳය. අද ඔව්හු ජරපත්භාවයෙහි මුවදොර වෙසෙති. එදා මෙදා තුර තතු හැඳිනි බැවින් ද සඳේ මේ සරදම් සිනා? කථකයා යළි සිය සොඳුරිය අමතා පාට වත්සුණු දෙකොපුල් මතින් පිස හැර කැටපත දෙස බලන්නැ යි කියයි. කාලයාගේ ස්පර්ශයෙන් වියපත් බව කරා හෙළුණු වත මඬලෙහි සැබෑ ස්වරූපය මනාව දැකිය හැක්කේ එවිටය.

ගීතයේ අවසන් භාගය විමසන කල හැඟෙනුයේ, දෙදෙන සිය තාරුණ්‍යයේ සිටම පෙරුම් පිරීම් බඳු දුෂ්කර තත්ත්වයන් ඇසුරෙහි ලොවට රහසේ හමුවෙමින් පෙම් බැඳි බවකි. එහෙත් අවසන අප සියල්ලන් මුහුණ දිය යුතුම වන ධර්මතාවට තම සොඳුරිය ද අවනත වී ඇති බව කථකයාට හැඟෙයි. කල වයස ගතවීම පිළිබඳ කම්පාව හෝ සංවේගයක් ගීතය ඇසුරෙහි නොනැෙඟයි. "කුමන අරුම ද නරකෙසක් නැඟිලා" යනුවෙන් මෙහි දී වයස්ගතවීම පිළිබඳ ඉඟිකාරක උක්තියක් අපට හමුවෙයි. 'අරුම' යන වදනෙහි ආශ්චර්යවත්, විශේෂ, හිඟ, දුර්ලභ යනාදී අරුත් ද වෙයි.

උනුන් රහසේ බැඳි පෙමෙහි ආශ්චර්යය පළ කරමින් නැඟුණු නරකෙසකි මේ. ප්‍රේමයේ සුන්දරත්වය හමුවේ ජරා, ව්‍යාධි, මරණ යනාදී ධර්මතා පිළිබඳ කතා කිරීම පවා අපි මඟහරිමු. ඒවා ප්‍රේමයේ සෞන්දර්යය හා සමඟ කිසිසේත් සම නොවේය යන්න බොහෝ දෙන අදහති. එහෙත් යෞවන විය, තාරුණ්‍යය හා සමඟ හැම කල්හිම පවත්නා තතුවකි මහලු විය. ආදරයෙහි පවත්නා සුන්දරත්වයට හේතු වන්නේ ද මේ වියපත්වීමේ ධර්මතාවම නොවේ ද? මිනිසා සදාකාලික පැවැත්මක වී නම් ආදරය, අනුරතිය යන සියල්ල මෙතරම් සුවයක් දනවා ද? අප නොසැලැකුවද ආදරය හා මහලු විය නිතර සම්මුඛව පවත්නේ වෙයි. ඒ දෙදෙනාම වෙන් කොට සැලැකීම මහත් වේදනාවට කරුණු වෙයි.

ගීතයේ කථකයාට සිය ප්‍රියාවගේ හිසෙහි නැඟි නරකෙස අරුමයකි. මේ ආශ්චර්යය ඔවුන් මේ තාක් ගෙවා ආ ප්‍රේමණීය සමය පුරා බලාපොරොත්තු නොවූවකි. එහෙත් එය සිදුවී ඇත. නරකෙස දැකීමෙන්, වත්සුණු පිස හළ ඇයගේ වත මඬල දැකීමෙන් කථකයාගේ සිත්හි ඇති වන වේදනාව හෝ කම්පාව ප්‍රකට ලෙස ඇඟැවීම ගීත නිබන්ධක ලූෂන් බුලත්සිංහලගේ අපේක්ෂාව නොවේ.

මේ පොදු සාධාරණ තත්ත්වය අකම්පිතව ඉවසන කථකයකු මෙහි දී අපට හමුවෙයි. සුන්දරත්වය, ප්‍රේමය, ආදරය, රූපකායය යනාදී සියල්ල විපරිණාම වීම යනු ඒවා කාලය හා අත්යන්ත බැඳීමක පවත්නා බවය. එසේ කාලය හා බැඳී පවත්නා සියල්ල අවසන සිය කෙටි සෞන්දර්යය නිමා කොට අභාවය කරායේ. රූසපුවෙන්, කායික හා මානසික උත්කර්ෂයෙන් යුතු දෙදෙනකු කරා වුව ද අවසන එළැඹෙන්නේ මේ අභාවයාගේ නියාමය අඟවන වියපත් වීමේ ලකුණුයි.

ගීත ප්‍රබන්ධකයා යම් මතවාදයක හෝ දෘෂ්ටියක නියෝජිතයකු ලෙස පෙනී සිටීමක් මෙහි දැක්ක නොහේ. මෙමඟින් ලූෂන් බුලත්සිංහල රචකයාණෝ ප්‍රේමය වැනි සාධාරණ ජීවන සබඳතාවන් හමුවේ අවසන ජීවිතයා මුහුණ දෙන තතුව අතිශය සංක්ෂිප්ත ඇඟැවීමක් සේ අප වෙත පතිත කරති. මේ වූ කලි ප්‍රබන්ධකයා පෙරටවිත් කරන විස්තර කථනයක් නොව, කිසියම් චිත්තරූපික මාර්ගයක් ඇසුරු කොට කැරෙන සියුම් දැනැවීමකි. ප්‍රබන්ධයෙහි වන ප්‍රමුඛ සංකල්පනය අමරදේවයෝ සිය හසල ගායන කෞශ්‍යල්‍යයෙන් පරිසමාප්තියට පත් කරනු මේ ගීතය ශ්‍රවණයෙහි දී ඔබට හැඳිනිය හැකිය. අසිරිමත් වූ ප්‍රේමය හමුවේ මෙතෙක් අදිසි ව සිටි වියපත් බවේ සලකුණු, අප කථකයා මඳක් සසල කළ ද, ඉන් නොසැලී නැඟෙන තිරසර අවබෝධයක ශ්‍රවණ රමණී පිළිබිඹුව අමරදේවයන්ගේ මේ ගැයුමෙහි වෙයි.

විශාරද ගුණදාස කපුගේ සංගීතවේදීයාණන් ගේ නාදකෘතිය හා සංගීත සංයෝජනය ගීතයේ ඇඟැවුම තීව්ර කරන සියුම් නාද භාෂණයක්ම වෙයි.



අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් ...

ලංකාවේ බයිලා රජු ලෙස විරුධාවලි ලත් වොලී බැස්ටියන්..

1914 ජුනි 9 වෙනිදා ගාල්ලේ පියදිගමදී තමයි වොලී බැස්ටියන් උපත ලබා තිබෙන්නේ.වොලී බැස්ටියන් නමින් ප්‍රසිද්දවුනත් ඔගස්ටස් මර්තෙනිස් බැස්ටියන් නමින් තමයි බවුතීස්මය ලබලා තියෙන්නේ.පවුලේ සහ ලග නෑදෑයන් ආදරයට "ඔලී" යනුවෙන් ඇමතීම තමයි පසුකාලේයේදී සංගීත ක්ෂේත්‍රයේදී "වොලී "වෙලා තියෙන්නේ.

වයසින් වැඩෙත්ම රැකියාව ලෙස වොලී තෝරාගෙන තියෙන්නේ පොලිස් නිලධාරියෙක් වෙන එක.පොලිස් නිලධාරියක් ලෙස රථවාහන පොලිසියේ තමයි සේවය කරලා තියෙන්නේ.සංගීත භාණ්ඩ වශයෙන් ගිටාරයට, බන්ජෝ සහ වයලීනය තමයි ඔහුගේ ප්‍රියතම සංගීත භාණ්ඩ වෙලා තියෙන්නේ.

මුල් කාලයේ ඉංග්‍රීසි ගීත ගැයුවත් 1940 දී පමණ බයිලා සංගීත ශිල්පය වර්ධනය කිරීමට වොලී සෑහෙන මහන්සිවෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිපල සාර්ථක වුනා. කොයිතරම්ද කියනව නම් අදටත් සෑහෙන ජනප්‍රිය සින්දු වන "යමන් බන්ඩෝ වෙසක් බලන්න", "හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ", "නර්ස් නෝනා", "අයිරින් ජොසපින්", "මුහුදේ යමු මසුන් මරන්න", "රටක් වටිනවා මගේ මව්පියෝ දෙන්නා", "වදකහ සුදිය" යනාදී ගීත සියල්ලම ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ. වොලිගේ බයිලා කලාවට මූලික ආභාෂය වෙන්න ඇත්තේ කපිරිඤ්ඤා සංගීතය කියලා තමයි හිතන්නේ.

හෙන්රි ද ලැනරෝල් සහ ක්ලැරිස් රේචල් තම දරුවන් දහදෙනාටම කලා හැකියාවන් ඔප් නංවා ගැනීමට තම අතහිත දුන්න දෙමව්පියන් යුවළක්. මේ නිසා ම ඔවුන් මාතර ප්‍රදේශයේ ජනප්‍රිය පවුලක් වුණා. මේ පවුලේ ගැහැණු දරුවන් වෙනුවෙන් වොලී බැස්ටියන් මහතා ගීතයක් ගායනා කළා. මේ ගීතයේ එන අයරින්, ජොසපින්, රොසලින් සහ කැතරින් එතරම් ප්‍රකට නොවුණත් ඇන්ජලින් නම් මුළුමහත් ලංකාවෙ​ම ජන හදවත් දිනා ගත්තා. ඒ අසහාය ගායිකා ඇන්ජලීන් ද ලැනරෝල් (පසුව ගුණතිලක) කියන නමින්.

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වීනා නාදෙට දෙව් සුර ලියන්
නැටුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද පඬි දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් ඇදුනා ලොව දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

බාලේදී ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ තත් තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

ගායනය - වොලී බැස්ටියන්
පද - වොලී බැස්ටියන්
සංගීත නිර්මාණය - වොලී බැස්ටියන්





බේරෙන පැණි බිඳු ...

රඹුටන් ගැන කතා කරන විට නිතැතින්ම සිහිවන්නේ මල්වාන හා ඒ අවට ප්‍රදේශයයි. මල්වානේ පැණි රඹුටන් ලෙස සඳහන් කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල රඹුටන් අලෙවි කරති. රඹුටන් වලට මල්වාන ප්‍රසිද්ධව ඇත්තේ එම ප්‍රදේශයේ ඇති පසේ ඇති සරුසාරභාවය නිසාය. මල්වාන ප්‍රදේශයේ බොහෝ දෙනකු සිය දෛනික ජීවිතය ගෙන යන්නේ රඹුටන් වගාවෙනි. ඇතැම් අය සුලුවෙන් රඹුටන් වගා කළ ද ඇතැමුන් මහා පරිමාණයෙන් රඹුටන් වගාවේ නිරතව සිටිති.   

රඹුටන් ලංකාවට පැමිණීම පිළිබඳව විවිධ මත ජනප්‍රවාදයේ පවතියි. පෘතුගීසි යුගයේදී ලංකාවට රඹුටන් පැමිණි බව ද සඳහන් වෙයි. සිංහලයන් වඳ කිරීමේ අරමුණින් මෙසේ රඹුටන් පෘතුගීසින් විසින් ලංකාවේ ව්‍යාප්ත කළ බවට ද මතයක් පවතියි. එහෙත් එය සිංහලයන් අතර ජනප්‍රිය පලතුරක් ලෙස ප්‍රචලිත විය.   

ඕලන්ද ජාතිකයන් විසින් මැලේසියාවෙන් ලංකාවට රඹුටන් ගෙන ආ බවට තවත් මතයකි. ඕලන්ද ජාතිකයන්ගේ පෙරදිග පෙදෙස්වල වෙළෙඳ මධ්‍යස්ථානය තිබුණේ බතාවිය යයි සඳහන් ස්ථානයේය. මේ නිසා මැලේසියාවෙන් රඹුටන් පැමිණි බව ද තවත් මතයක් පවතියි.  

තවත් මතයක් වෙන්නේ ‘රැමිටන්’ නම් නැව් කපිතාන්වරයා සියනෑ කෝරළේ මුදලිවලව්වට මුලින්ම පලතුරු වර්ගයක් ගෙන ආ නිසා රඹුටන් යන නම ලැබුණු බවයි. මෙලෙස රඹුටන් ලංකාවට පැමිණීමෙන් පසු සිය මව්බිම වශයෙන් තෝරගත්තේ මල්වාන ප්‍රදේශයයි. මැලේසියාකරයේ සහ ඒ අවට ඇත්තේ බද්ධ කරන ලද රඹුටන් වර්ග පමණි. තායිලන්තයේ රඹුටන් නැතත් අද එහි ඇත්තේ බද්ධ කරන ලද රඹුටන් වර්ග පමණි. මැලේසියානු රඹුටන් වලට වෙළෙඳ පොළේ ඉල්ලුමක් ඇත. දුටුවන් සිත් ඇද ගන්නා මැලේසියානු රඹුටන් වර්ගය මල්වාන පුරාම දක්නට ලැබේ.   

මේ මල්වානේ පැණි රඹුටන් ගැන, ඒවා රැකගන්න වතුහිමියන් දරණ උත්සාහය, මල්වානේ සොබා අසිරිය පිළිබඳව සුසිල් ප්‍රනාන්දු මහතා විසින් රචිත සී.ටී.ප්‍රනාන්දු මහතා විසින් ගායනා කරන මිහිරි ඉතාමත් කලාතුරකින් ඇහෙන ගීතයක් ඇත.

බේරෙන පැණි බිඳු
රස මී වද බඳු
පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

කුමරිය ඔබ මා දිණූ ගමයි
මා සතු වස්තුව ඔබම තමයි ...//

රුපු බිය වද්දන
පෙර ජයවද්ධන
පුරයයි ඈත පෙනෙන්නේ
කැලණියෙ බෝ පත්
පිස එන සුළඟින්
ඔබ සිල් සුවඳ ලබන්නේ

මිණි මුතු වනමල් දිවා රැයේ
ඔබ පින්බරියකි කුමාරියේ ....//

බේරෙන පැණි බිඳු
රස මී වද බඳු
පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

කුමරිය ඔබ මා දිණූ ගමයි
මා සතු වස්තුව ඔබම තමයි

ගොයම් කපද්දී
පුරන් කොටද්දී
කුඹුරට බැස යන ගොවියෝ
කැවිලි පෙවිලි බත බුලත රැගෙන එන
නාඹර ඒ ගම් දැරියෝ

ලන මෙන් දෙසවන අම බින්දූ
ගයතී සීපද කවි සින්දූ ...//

බේරෙන පැණි බිඳු
රස මී වද බඳු
පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

ලේනුන් ගිරවුන්
පලවා හරිමින්
ටකය බැඳෙන මල්වානේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - සුසිල් සේනාධීර
තනුව - සී.ටී. ප්‍රනාන්දු 
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

යනීනා නම් පෝලන්ත ගායිකාව 70 දශකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක්‌ සී.ටී. ප්‍රනාන්දු මහතාගේ 'බේරෙන පැණි බිඳු රතු මී වද බඳු' ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පවසා ඇත. 



කුසුම් පිපී තුරු මතේ ...

කුසුම් පිපී තුරු මතේ"

ප්‍රවිණ ශිල්පී සෝමතිලක ජයමහ ශූරීන් ගේ ගණනින් සිමීත එහෙත් ගුණාත්මකභාවයෙන් අපරිමිත නිර්මාණ අතරින් රසික සිත් ආලෝලනය කළ එදා ඇසුණු ගීයකට පාදක වූ පසුබිම් කථාව ඔහු විදචැබදචසින් මෙසේ හෙළිදරව් කරන්නට යෙදිනි.

මේ කථාවකට පසුබිම් වූ සිද්ධි දාමය අදින් වසර 50 කට පෙර එනම් 1969 වසර තෙක්‌ දිවයයි එවකට මා ගුවන් විදුලියේ යොවුන් ආධුනික ශිල්පියෙකු ලෙස සේවයේ යෙදිමින් සිටිය යුගයයි

සති අන්තයේ නිවාඩුව අපේ ගම් පියස වූ වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයට අයත් කුළියාපිටිය ප්‍රදේශයේ ගතකිරීම මගේ පුරුද්දයි

විදුලි බලය ලැබී නොතිබුනු, වර්තමානයේ මෙන් නාගරිකරණයට හසු නොවුනු සුන්දර ගම් පියසක්‌ වූ එහි සැන්දැ යාමයන් එකම රස ගුලාවකි

ඒ මන්ද යත් ඩෝල්කි සර්පිනා රැගත් කොලු ගැටවුන් අපේ නිවසට රොක්‌වී මා සමග ගීත ගායනයට හවුල් වීම පුරුද්දක්‌ කරගෙන තිබිම නිසයි

අප ගම් පියසට ආසන්නව ඔවුන් අකුරු කෙරෑ කුලියාපිටිය නක්‌කාවත්ත මැදි මහ විදුහල පිහිටා තිබිණි

එහි එවකට සංගීත විෂය ඉගැන්වූයේ අප ප්‍රදේශයේ ගොමුගොමුව නමින් හැඳින්වූ ගමිපියසේ වැසියෙකු වූ ජොර්ජ් පල්ලෙවත්ත ගුරු මහතායි

ඔහු එකී සිසු දරුවන්ට සෞන්දර්ය විෂයානුබද්ධව ගායනා කිරීම සඳහා මෙකී මනරම් ගීතය පබඳා තනුවක්‌ යොදා නිර්මාණය කර තිබිනි

සංගීත සාජ්ජය වඩාත් හරබර වූයේ පල්ලෙවත්ත මහතාගේ මෙකී ගීතය ද එහි නිතර වැයුණු නිසාවෙනි

එහි ආ සුන්දර යෙදුම් මෙන්ම සොබාදහම් වැණුම් පිනිස යොදාගත් සරල පද සංකල්පනාව මා සිත් ආලෝලනය කරනු ලැබ තිබීණි

ඒ නිසා එය සරළ ගීයක්‌ ලෙස වැඩිදියුණු කරවා ජනගත කරන්නට තරම් වටිනා නිර්මාණකැයි යන්න මට හැගී ගියේ වරක්‌ දෙවරක්‌ නොවේ

ඒ අනුව ඔහු හමුවි මේ පිළිබදව කථාබස් කිරීමට විජේසිංහ නම් වැඩිහිටි සිසු දරුවා ලවා පාසලට පණිවුඩයක්‌ යවන ලදී  

නිසි අවසරය පතා විමසන ලදින් 
එකහෙළාම තම කැමැත්ත දුන්නේ ගීයේ තනුව හා සංගීතය සරළ ගීයකට වඩාත් ගැලපෙන ලෙස යළි සකස්‌කරවාදීමෙනි

මාගේ මුල්ම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන පටිගත කෙරුණු 1969 වසරේ අගභාගයේදී මේ ගීය ද ඊට අමතරව මා විසින්ම පබඳා තනුව යෙදූ සැඳෑ අඳුර ලොව ගලන වේලාවට නම් ගීතයද පටිගත කරන්නට යෙදිනි

සරළ ගීයකට සරිලන ලෙස විනාඩි 05 ක කාලයකට ගැළපෙන ලෙස එහි ඇතැම් පද ඉවත් කරන්නට සිදුවුයේ අකමැත්තෙනි මක්‌නිසාද යත් ඒවා ද මුල්ගීයට ඇතුළත් වූ පදරටාවට නොදෙවෙනි සුන්දර යෙදුම් නිසාවෙනි 

ඒ අතර "බන්ඩි ගොයම නැමි නැමී ගමටම ආසිරි පැතී ගැමි දැරියක්‌ නොකිළිටී රුව ගෙන පෑවේ මධුර වසන්තේ" යන පද කොටස ද ඇතුළත් වූ බව සඳහන් කළ යුතුය 

තවද මේ ගීයේ පද සංකල්පනාවෙන් කියෑවෙන පරිසරය එවකට එකී පාසල් බිමේ සැබැවින්ම විද්‍යාමාන වූ බව කිව යුතුය

අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධුරස ගී ගය ගයා - අමරස වින්දේ 

එහි පැවතුනු මි අඹ ගස්‌ සිහිගන්වයි

රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ

පාසල අසලින් ගලාගිය දිය දහරාවද එහි අද්දර වැවී තිබුණු ගස්‌පෙළින් වැටෙන මල්රේණු ඒ මත පතිතවන ආකාරය චිත්‍රණය කරයි

ගම්මානය කෙළවරේ - පන්සල් බිම බෝරුකේ

සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ

ගමේ විහාරස්ථානයේ දී රචකයා ‍ඇසු දුටු දෑ ගෙනහැර දක්වයි

මේ නිර්මාණයේ හිමිකරුවාණෝ එනම් ජෝර්ජ් පල්ලෙවත්ත ගුරු පියාණන් පසුව හොරණ ශ්‍රීපාලියේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අතර මින් දස වසරකට මත්තෙන් දිවියෙන් සමුගෙන ඇත.

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දසඅතේ
කෝකිල කූජනය නැගේ 
ලියගොමු අතරේ 
මධුර වසන්තේ

රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ

පද සංකල්පනාව තනුව හා සංගීත නිර්මාණය - නැසිගිය ජොර්ජ් පල්ලෙවත්ත 
ගායනය - සෝමතිලක ජයමහ 



බොල් වී ...

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරිවුනි කියා ගන්නට හිත බැඳි ආලේ

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ

පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය :  සරත් දසනායක
ගායනය : පණ්ඩිත් අමරදේව

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ තවත් එක් අග්‍රගණ්‍ය ගීපද රචනාවක් ලෙස "බොල් වී අහුරු" ගීතය හැඳින්විය හැක. සරත් දසනායකගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගේ සුමධුර හඬ මුසුව මෙම ගීතයේ අන්තර්ගත ශෝකය ද රසයක්ම කොට ඉදිරිපත් කරයි.   

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

කිරිවැදී නොපැසුනු වී බොල් වී නම් වේ. බරෙන් අඩු නිසාම සුලඟට ගසාගෙන යයි. ඔහුගේ කිරි නොවැදුනු, සඵල නොවූ පැතුම් ද සුලඟට ගසාගෙන යන බොල් වී අහුරු මෙනි. ඇය ඔහු හැර ගොසිනි. ඊටත් වඩා ඇය ඔහුට වත් නොකියාම නික්ම ගොසිනි. "නුඹ මටවත් නොකියාම" යන පදයෙන් රචකයා යමක් සියුම්ව ඉදිරිපත් කරයි. එනම් ඔහුත් ඇයත් කිසිවකු නොදනිතත් බොහෝ ලංව ආශ්‍රය කර ඇති බවයි. එය ශාරීරිකව නොව සිතුවිලි වලින් විය යුතුය. අඩුම තරමින් ඇය නොදනිතත් ඔහු ඇයව බොහෝ සමීප ලෙසින් සිතා සිටියාවත් විය යුතුය. අන් අය කෙසේ වෙතත් ඔහුටවත් නොකියා දීග යාම මේ තරම් ඔහුට වේදනා දෙන්නේ ඒ නිසාය. මෙම කතාව වියෝගයෙන් තවත් ඔබ්බට අපව කැඳවාගෙන යයි.ඈ ඔහු හැරදා ගොසින් පමණක් නොවේ. ඇය නැවත ඔහුගේ නොවෙන්නටම ඔහුව හැරදා ගොසිනි.  

මේ සිදුවූ සියල්ල අතරේ ඔහුට ඔවුන්ගේ බාල කාලය සිහිවේ.

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැසුණු හැටි මතකද අපි බාලේ..

පිපෙන්නේ මල්ය. කජු පුහුලන් ඉදෙනවා මිස පිපෙන්නේ නැත. මෙහිදී පිපෙනවා යන්න රචකයා යොදනුයේ එකල්හි දුව පැන ඇවිදින ළමයින් අතර ඇති ප්‍රීතිය, ප්‍රමෝදය ඉස්මතු කිරීමට විය යුතුය. ඔහුට එම කාලය සිහිවෙයි. එදාත් ඔහුට ඇය කෙරෙහි යම් කිසි ආකාරයක හැඟිමක් තිබුනු බව සිහිවේ. නමුත් එය කුමක් දැයි එදා ළමා වියේ පසුවූ ඔහුවත් ඇයවත් හඳුනාගත්තේ නොවේ.

මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ..
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ..

කාලය ගෙවී යයි. දැන් ඇය තවත් ලදැරියක් නොවේ, ඇය දැන් තරුණියකි. එදා මෙන් කොල්ලන් කුරුට්ටන් සමඟ රන්චුව ගැහෙන්නට ඇය පැමිනෙන්නේ නැත. ඔහුට ඇයව හමුවෙන්නේත් ඉඳ හිටය. 

මෙහිදී  රචකයා වක්‍රව ලාංකේය ගැමි සමාජය සහ සංස්කෘතියද අපට කියා දෙයි. "මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ" යන පදය තනි පදයක් නොවේ. එමෙන්ම ගැමි තරුණයන් කෙරෙන් දිස්වන සබකෝලය සහ යම් ආකාරයක හික්මුණු  බවත් ඒ නිසාම වන චකිතයත් "බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ" යන පදයෙන් ගෙන හැර දක්වයි.

මෙහි සුවිශේෂ පද කීපයට පිවිසෙන්නේ ඉන් අනතුරුවයි. අද කාලයේ "ප්‍රේමයත් වෛරයත් අතරේ වෙනස කෙස් ගසකට සමයි.." යන්න නිදසුන් සහිතව ඔප්පු කරන කල්හි ඔහු ඇය ගේ හැරයාම විඳ ගන්නා ආකාරය කෙතරම් සංවේදී දැයි විමසිය යුතුමය. 

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ..
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ..

තුන් සිත යනු පුන්‍ය ක්‍රියාවකදී එහි ආරම්භයේදී, අතරතුරදී සහ අවසානයේ දී ඇතිවන සිත් තුනයි. මෙහි එක් හෝ සිතක නරක සිතිවිල්ලක් ඇතිවීම යනු කරනා කුසල කර්මයේ ආනිසංස අඩුවේයයි විශ්වාසයක් පවතී.

ඇය ඔහුව හැරගොසිනි. ඉතිරිව ඇත්තේ බිඳුනු සිත පමණි. දැන් කලයුතු වන්නේ කුමක් දැයි ඔහු දනී. ඔහුගේ ආගම, සංස්කෘතිය, සාරධර්ම තුලින් වැඩුනු ඔහුට කලයුතු නිවැරදි දෙය උගන්වා ඇත. වේදනාව තුනී කර ගැනීමට ඔහු සිදුවූ මේ සිද්දිය ඔහුගේ කර්මයට බාරදෙයි. රිදුනු සිත හදා ගැනීමට ඇති හොඳම ආකාරය එයම බව ඔහුට කියා දී තිබෙනවා වෙන්නට පිලිවන. 

පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ..
අත මිට සරුව නුඹ යහතින් හිඳින් නඟේ..

අවසාන වශයෙන් ඔහුගේ ප්‍රාර්ථනය කෙතරම් සුන්දරද. සැබෑ ආදරය මෙය නොවේද? යමක් බලාපොරොත්තු නොවී ආදරය කිරිම.... මෙම ගීතය එදාටත් වඩා වැදගත් වන්නේ අදට නොවේද?   

(උපුටා ගැනීම - ගී පොතයි මීවිතයි)



බමරිඳු බමරිඳු කුමට වඩින්නේ ...

මහාචාර්ය සුනිල් ආරියරත්න සහෘදයා 1979 දි හදපු "සරුංගලේ" චිත්‍රපටිය. 

මේ චිත්‍රපටියට තේමා ගීතය ලිව්වේ ගාමිණී ෆොන්සේකා. මල් සහ බඹරු අතර ආදර අන්දරය වඩාත්ම ලස්සනට කියල තියෙන්නෙ මෙන්න මේ ගීයෙ.

බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුළිය සොයා වඩින්නේ
වනමල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලුවත නාවා
බමර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුමි ලොව හැම රස පාවා

අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පල වේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා

බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ

රචනය – ගාමිණී ෆොන්සේකා
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව සමඟවිශාරද නන්දා මාලිනී

මේ ගීතය පිළිබඳව ඇති මතකයන් අවදි කරණ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යම් පුවත්පතකට තැබූ සටහනක කොටසක් මතක් වෙයි. ඒ අනුව ගාමිණී සරුංගලය චිත්‍රපටය පිළිබඳ මූලික කතාබස් හුවමාරු වන සමයේ ගීතයක් ලියූ යම් කොල කැබැල්ලක් සුනිල් ආරියරත්නයන් අත තබා ඇත. එය කියවූ සැනින් ඔහු වටහා ගත්තේ මේ නම් සරුංගලේ චිත්‍රපටයේ සාරාංශය වන බවයි. 

ගාමිණී, මේක හරියට සරුංගලේ චිත්‍රපටයේ සාරාංශ්‍ය වගෙයි නේ.......

ඔව්. මම ඒක ලිව්වේ ඒ ගැන හිතලාම තමයි. කැමැති නම් එයට යොදා ගන්න....

විශිෂ්ඨ ගීත රචකයෙකු වන සුනිල් ආරියරත්නයන්  
පවා මේ වෙසෙස් රචනය දැක මහත් උද්දාමයට පත් වූයේ, ඒ ගැන මීට වඩා එහායින් කිසිවෙකුටත් ලිවිය නොහැකිය යන අදහසද සිතට ගනිමිනි. එබැවින්, ඔහු සිය සරුංගලේ චිත්‍රපටයට මේ සොඳුරු ගීතය ඇතුළත් කිරීමට තීරණය කළේය.

එය මොන තරම් විශිෂ්ඨ රචනාවක්ද? මොන තරම් සංයමයෙන් කළ නිර්මාණයක්ද? ගීත රචනයේදී ඔහු ප්‍රකට කර ඇති ව්‍යක්ත බව කොතෙක්ද? එවන් ගීතයක් සරුංගලේ චිත්‍රපටයට කොතරම් ආලෝකයක් සැපයූවාද? එමෙන්ම එම ගීතය සරුංගලේ චිත්‍රපටය තුළට ගොනුවීමෙන් ගීතයටද එවැනිම ආලෝකයක් ලැබුණි.

මල් රොන් සොයාගෙන එන බඹරෙකු ගෙන් මලක් අහනවා කුමකටද ආවෙ කියල. එයා එක් මල් කැකුලියක් සොයනවා. නිකන්ම මලක් නෙමේ වන මල් කැකුලියක්. මොනවටද මේ වන මල් කැකුලිය සොයන්නේ කියල ඇහුවම බඹරා කියන්නෙ තමන්ගේ පෙම් පවස නිවා ගන්ට නම් මල් කැකුලිය සොයා ගතයුතු බවයි. ඉතින් මේ මල ඔය බඹරගේ පෙම් පහස නිවා දෙන්ට ඉදිරිපත් වෙනව. මල ඇතුලේ හංගල තිබුණු රස මදිරාව තුඩින් උරා ගන්ට ඉඩ දෙනව. හැබැයි එහෙම රස මදිරාව දෙන අතරේ බඹරගේ අත පුරාම මකරන්දය ගානව. මේ සන්සිද්දියත් එක්ක දෙන්නගෙ හදවත් එකිනෙකා වෙත බැඳෙනව. බඹර කුසුම් හදවත් යුග යා වෙනවා කියලයි කවියා කියන්නෙ. ඉතින් ඒ නිසා මල තමන්ගෙ රස මදිරාව මුළුමනින්ම බඹරට දෙනව. 

බඹරත් තමන්ට දුන්නු මේ මිහිරි රසය වෙනුවෙන් මලට කෘත ගුණ දක්වන්න පොරොන්දුවක් වෙනව. ඒ තමයි අර මකරන්දය තවත් මලකට ගිහිල්ල ගාන බවට වන පොරොන්දුව. ඒ වගේම මේ මකරන්දය රැගෙන ආවෙ කොතැනින්දැයි නොකියන්නත් එකඟ වෙනව. මලෙත් බඹරගෙත් ආදරය මල් පල ගන්නෙ එහෙම උනොත් විතරයි කියල බඹර දන්නවා. ඉතින් බඹරු නැති ලෝකෙ මල් නොපිපෙන බවත් මල් පල නැති ලොව නිරුදක කතරක් වන බවත් අපට වටහා දෙනව.




මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...

අනේක විද සෙල්ලම් බඩු, විසිතුරු දේ වලින් තම දරුවන් සතුටු කිරීමට උත්සහ දරණ බහුතර දෙමව්පියන් ඇති අද සමාජයට නැවත වතාවක් සිතන්නට යමක් එකතු කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. ගීතය ලිවීමේ පසුබිම සහ මෙය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ ගායකයානන් ද සංගීතවත් කල ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ද අදහස් අවසානයේ දක්වා ඇත.

ප‍්‍රතිභාපූර්ණ කවියකු, ගීත රචකයකු වන රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් නිර්මාණය කෙරුණු මෙම ගීතය පියකු තම දියණිය වෙත ඇති සෙනෙහස ඉහලින්ම විදහා දක්වන ගීතයක් ලෙස නම් කල හැකිය.

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...
මේ රැයේ මිහිරි ම වෙලාව යි...
දොර ඇරන් එළියට ආවොතින්...

මේ මිහිරි දේවල් නුඹට ම යි...

පියා තම දුවට අමතන්නේ මිහිරෙන් පිරි දේ ඇයටම ලබා දීමටයි. නමුත් මේ මිහිරිම දෙවල් ඇත්තේ "පීසා හට්" තුල වත්, "කේ.එෆ්.සී" තුලවත් නොවීම මෙන්ම ඒ මිහිරිම දේ, ලැබිය හැකී දේ නොවීමද ඉතාම වැදගත් කාරණාවයි. මේවා ලැබිය හැකි දේවල් නම් මිල මුදල් ඇති පහසුවෙන්ම මේ මිහිරියාව ලබා ගනු නොඅනුමානය. නමුත් මේවා විඳීම් පමණකි. යමක් දැකීම සහ එය විඳීම හාත්පසින් වෙනස් කාරණා දෙකකි. මේ ආදරණීය පියානන් තම දියණියට උගන්වන්නේ මිළට ගත නොහී සෞන්දර්‍යාත්මක විඳීමයි. දියණිය අවදියෙන් දැයි අසන්නේ ඇතැම්විට මෙවැනි වූ ක්‍රියාකාරකම් පිලිබඳව ඇය අවදියෙන් ද යන්න ද වීමට පිලිවන. එනම් "දුවේ ඔබ සංවේදී ද?" යන ප්‍රශ්නය විය හැක. දොර හරින්න යනු ගෙදර දොර පමණක් නොව හදවතේ දොරටුව ද විය හැක.

මෙතැනින් එහාට ඔබට සුන්දර වූ රාත්‍රියක් මනැසින් චිත්‍රනය කරවීමට රත්න ශ‍්‍රී යන් සමත් වේ.

සේපාලිකා මල් බිමට බැහැලා..
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන..

වැව් දියට පෙම් බැඳි වෙලාවයි..

ඔබ රාත්‍රියක සේපාලිකා ගසක් අසලට ගියොත් ඔබට බිම වැටී ඇති සේපාලිකා මල් ඕනෑ තරම් දකින්නට හැකිය. නමුත් එය සොබාදහමේ අසිරිය ලෙසින් ගෙන විඳින්නට නම් පින් කොට තිබිය යුතුමය. තම සුරතල් දියණියට දැනෙන ලෙස, විඳීමට හැකිවන ලෙස සරල ලෙසින් ඔහු සොබාදහමේ ස්වභාවික සිද්ධීන් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරයි. 

වැව් දිය එලියෙන් තාරකා පෙනෙන බැව් අප සැවොම දන්නා කරුණකි (ඇතැම් විට ඔබත් මෙය සැබෑ ලෙසම වැව් තාවුල්ලක රාත්‍රියක් ගතකොට ඇත්නම් අත් විඳ ඇතිවාට සැකයක් නැත ) 

නමුත් සුන්දරතාවය නම් තම දියණියට ඔහු එය ඉදිරිපත් කරණ ආකාරයයි. පියා විසින් ප්‍රේමය මුලින්ම තම දියණියට කියා දේන්නේ තරු කැට වැව් දියට දක්වන සුන්දර වූ ද වීතරාගී වූ ද ප්‍රේමය උදාහරණ කර ගනිමිනි. ප්‍රේමයේ සුන්දර බව, සන්සුන් බව යන මේ සියල්ල ඇය තේරුම් ගන්නේ සොබාදහම තුලිනි.

ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැති යි
ලොව දුන්නු දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතු යි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොව ම ඔබටත් ආදරෙයි

අප ආදරය කරන්නේ අඳුරට නම් අප ඉර හඳ තරුවලට ණය ගැති බව පියා පවසයි. ඒ අඳුර අපට ලැබෙනුයේ මේවා නැති තැනදි වීමයි. 

තම දියණියට සොබාදහම ඇසුරු කර ගෙන ඉතා සියුම් ලෙස අවවාද, දැණුම එකතු කර දීමටද මේ ආදරණීය පියාණන් අමතක කරන්නේ නැත. අපට මේ ලැබෙන ආලෝකය මෙන්ම අන්දකාරයත් ලැබී තිබෙන්නේ අපව රැකබලා ගන්නා මේ ලොකයෙන් බවත් (මෙහිදී ලෝකය යනු එහි ජීවත් වන මිනිසුන් ඇතුලු සතා සීපාවත් ගහකොලත් සමඟය) ඒ නිසාම අප නැවත මේ සියල්ල මතු පරම්පරාවන් උදෙසා අරක්ෂා කර නැවත ලෝකයට බාරදියයුතු බවත් ඔහු තම ආදරණීය දියණියට කියා දෙයි. අවසාන වශයෙන් ඔහු මෙසේ තම දියණියට පවසයි "මුළු ලෝකයටම ආදරය කරන්න. ගහට, වැලට, ඇලට, දොලට, වැස්සට, අව්වට, මවට, පියාට, ගුරුවරුන්ට ඇතුලුව හැමෝටම.... එතකොට ඒ හැමෝම ඔයාටත් ආදර‍ය කරාවි..."

රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් ගීතයේ පසුබිම පිලිබඳව, පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ කියා තිබුනි. "මේ ගීතයේ ආත්මය මගේ සිතේ මුලින්ම පිළිසිඳුණේ කලකට ඉස්සර. මගේ දුවලා පුංචි සන්දියේ දී... එදා මට ඔවුන්ට ලොකු සෙල්ලම් බඩු, වටිනා ඇඳුම් පැලඳුම්, විවිධ විච්චූරණ විලාසිතා ආරගෙන දීමට තරම් වත්කමක් තිබුණේ නැහැ. මං ගමක හැදුණු දුප්පත් ගැමියෙක් නෙ. ඒත් මගේ සිතේ සොබාදහම නිසා මා ලද වින්දනය එදා සිට අද දක්වා ම එක සේ පවතිනවා."

"මම මගේ දරුවන්ට විවිධ මෝස්තරවල සෙල්ලම් බඩු අරගෙන දෙන්න ඕනෑ කියා පසුතැවුණේ නැහැ. මේ අතර මගේ මිත‍්‍රයෙක් සිටියා. ඔහුත් මා මෙන් ම මධ්‍යම පන්තියේ අයෙක්. ඒත් ඔහු වියදම් කරමින් ඔහු ගේ දරුවන් පිනවන්නට විසිතුරු කී‍්‍රඩා භාණ්ඩ අරගෙන දුන්නා. ඔහුට අවශ්‍ය වුණේ සුඛෝපභෝගී කී‍්‍රඩා භාණ්ඩවලින් ඔහු ගේ දරුවන් පිනවන්නයි."

මට මේ වෙලාවේ කල්පනා වුණා මේ මොන නිරර්ථක වැඩක් ද, ළමයින් සතුටු කරවන්න මීට වඩා අර්ථවත් හොඳ ක‍්‍රම නැද්ද කියලා. මං මගේ දරුවන් ඉතා හොඳින් පිනවන්නට ඔවුන්ගේ රසඥතා ඥානය ඇති කරවන්නට කල්පනා කළේ ඔවුන් සොබාදහමට නැඹුරු කරවීමෙන්. මම ඔවුන් ඉර හඳ තාරකාවලට, ගහ කොළට, කුරුල්ලන්ට, කොවුල් ගීයට, වෙලට, දොළට, ගඟට ළං කරවූවා.

නිතර නිතර ඔවුන් සොබාදහමේ අසිරිමත් ස්ථාන, විස්කම් දේ රස විඳිය හැකි දේ බලන්නට කැඳවාගෙන ගියා. මං ඒ මඟින් මගේ දරුවන්ට හොඳ ආස්වාදයක් ලබා දුන්නා. විශේෂයෙන් ම මට ඉන්නේ ගැහැනු දරුවන් නිසා ඔවුන් යහමඟට ගැනීමටත්, ඔවුන්ට සමාජය පිළිබඳව දැනීමක් ලබා දීමටත් සොබාදහම පිළිබඳ ඇල්මක් ඇති කරන්නත් මට මේ නිසා හැකි වුණා.

මගේ මේ අත්දැකීම මුළු මහත් සමාජයටත්, දරු දැරියන්ටත් ලබා දීමට මා මේ අදහස පසු කලක ගීතයකට පරිවර්තනය කළා."



ලොවම එපා වී ...

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...

අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුණු සිත උණුසුම් වේ.... 

අපි හැම කෙනෙක්‌ම අසරණ වන අවස්‌ථා තියෙනවා. ඒ වෙලාවට වචනයකින් හරි අප සනසන කෙනෙක්‌ ඇත්නම්. එය අපට කෙතරම් සුවයක්‌ද.......

කෙනකුට තවත් කෙනකුගේ ආදරය වැඩියෙන්ම දැනෙන්නේ ඔහු හෝ ඈ අසරණ වූ මොහොතකයි.

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...

ඇයට ලෝකයම එපා වෙලා. කල කිරිලා දුකෙන් තැවෙනවා. හදවත ගිනිගෙන දැවෙනවා. ඒ මොහොතේදී ඇගේ ආත්මයට සිසිලසක්‌ වෙන්නේ දයාබරව ඔහුගෙන් ලැබෙන එකම එක වදනකින්......

මේ ගීය ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඒ සත්‍ය සිදුවීමක්‌ ඇසුරෙන්.

මේකට පාදක වුණේ මා දන්නා චරිතයක්‌. ඇගේ ආදරවන්තයා ඇයට පරිභව කරලා. බොරු චෝදනා පත්‍රයක්‌ දීලා පලා ගිහින්. ඇත්තටම ඈ නිවැරැදියි. නොකළ වරදකට තමයි පෙම්වතා චෝදනා කරන්නේ. ඇය අසරණයි. මා ඇගෙන් බොහෝ දේ විමසුවා. මට ලෝකයම එපාවෙලා. හැම දෙයක්‌ ගැනම කල කිරිලා. ජිවත් වෙනවාට වඩා හොඳයි දිවි නසා ගන්නවා කියා ඇය කිව්වා. ඒත් මේ අතරතුරේදී ඇය වෙතට තුන්වැන්නෙක්‌ ළඟා වෙනවා. ඔහුගේ වදන් අසරණවූ ඇයගේ ජීවිතයට ඔසු පැන්වගේ.....

අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ

ඇයට අපමණ නින්දා ගැරහුම් එනවා. ඒවා හරිම අසෝබනයි. ඉන් කලකිරුණ ඕ වැලපෙන්නේ වැළහින්නක්‌ වගේ...... මේ තුන්වැන්නාගේ සුසුම් වදන් හරියට සුළඟේ පාවී එන සුවඳක්‌ වගෙයි දැනෙන්නේ. එය පිපාසාවෙන් පෙළෙන හදවතට සිසිල් සුවයක්‌.

අසරණව ඇය නින්දා අපහාස වේදනා ලබද්දී ඇය වෙත එන තුන්වැන්නාගෙන් ලැබෙන සෙනෙහෙබර වදන් විතරක්‌ නොවේ ඔහුගේ රූපය දැකීම පවා ඇයට ජීවත් වීමට ශක්‌තියක්‌ ලබා දෙනවා. මේ ගීය වර්තමාන පරපුරට වඩා පෙර පරපුර අතර බොහෝ සේ ජනප්‍රිය වුණා සමීප වුණා. ඒකට හේතුව වුණේ ස්‌ත්‍රී පාර්ශ්වයට මේ ගීතය පොදු වීමයි. පෙම්වතාගෙන් සැමියාගෙන් මෙවන් පරිභවයකට ලක්‌ වූ ස්‌ත්‍රීන් අසරණ වූ පසුව මේ ගීය තමන්ටම ආදේශ කර ගත්තා. ඒ ගී පද රචකයාගේ අදහස්‌.

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුණු සිත උණුසුම් වේ....

මිනිසත්කම නොලැබූවන් නගනා රැවුම් ගෙරවුම් නිසා ඕ බියපත් වූයේ හරියට මුවැත්තියක්‌ වගේ. ඒ මොහොතේදී ඔහු ඈ වෙත පැමිණෙනවා. ඔහුගෙන් නික්‌මෙන සුසුමක්‌ පවා ඇයට දිව ඔසුවක්‌. අසරණව සිටින ඈට. ඒ සුසුම උණුසුම් බවත් ගෙන දෙනවා. ඇත්තෙන්ම ඔහුගේ උණුසුම ඇයට මහමෙරක්‌ තරමට වටිනවා.

නන්දා මාලිනියට තිබෙන්නේ ශෝකී ස්‌වරයක්‌. කෙතරම් වේග රිද්ම ගීත ගැයුවත්, ප්‍රීතිය දනවන ගී ගැයුවත් ඒ හැම ගීතයක්‌ හරහාම ඇගේ ශෝකී ස්‌වරය මතුව එනවා. මේ ගීතයේදී මර්වින් පෙරේරා ඇගේ ඒ ශෝකී ස්‌වරයෙන් ප්‍රයෝජනයක්‌ ගත්තා. මහැදුරු සුනිලුත් එසේ පවසනවා.

ඇත්තෙන්ම මේ ගීයෙන් කියෑවෙන්නේ ගැඹුරු අත්දැකීමක්‌ නොවේ. එය සුලබ සිදුවීමක්‌. ඒත් ඒ සුලබ අත්දැකීම සුනිල් ආරියරත්නයන් අතින් ඉතාමත්ම අනුවේදනීය ලෙස පද පෙළක්‌ ලෙස ගෙත්තම් වී තිබෙනවා. කොතරම් සුලබ අත්දැකීමක්‌ වුවත් එය හෘදයාංගම ලෙස කවියට නැගුනොත් ඉන් මතුව එන්නේ දුර්ලභ රසයක්‌මයි. ඒ බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීය තුළින් මනාව සනාථ කරනවා.



මගෙ රත්තරං හෙලේනා...

රෝහණ බැද්දගේ නම් ගායකයා මුලින්ම ගුවන්විදුලියෙන් රටම හඳුනා ගත්තේ ‘මගේ රත්තරං හෙලේනා’ ගීතයෙනි. හරියටම මීට වසර 45 කට පෙර එනම් 1974 වසරේදීය. “මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයා හැටියට සේවය කරන කාලේ ‘අලකලංචිය’ හා ‘ගල් වැහි’ කියලා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ඊළඟ නාට්‍යය වේදිකාගත කරන්න හිතලා ඉන්නකොට මට මෙහෙම අදහසක් හිතට ආවා. පෝසත් ගෙදරක වැඩකාරකමට ඇවිත් හිටිය ගමේ තරුණයෙක් ඒ ගෙදර හිටිය ලස්සන තරුණිය එක්ක හාද වෙලා ගෙදරින් පැනලා ගියා. ඔහු තමාගේ සහකාරිය කැඳවාගෙන හඳපානේ ආ හැටි විස්තර කරමින් තමයි නාට්‍ය ආරම්භ කරන්නේ. ඒ ලස්සන තරුණිය තමයි හෙලේනා. හෙලේනා කැඳවාගෙන ආ හැටි ඔහු කියන්නේ ගීතයකින්. මේ ආරම්භක ගීතය නිර්මාණය කරන්නේ කොහොමද කියලා හිත හිතා දවසක් මම මෝටර් සයිකලයෙන් කොළඹ යන්න පිටත් වුණා. යන අතරමඟ කෝරළේඉම කියන හරිය පහු කරගෙන යද්දී හරිම අපූරු රිද්මයකට මෝටර් සයිකලය ඉහළ පහළ පැදෙන බව මට දැනුණා. ඒ එක්කම මට මතක් වුණා මීට පෙර දැක තිබූ බිමල් රෝයිගේ ‘බන්දනී’ කියන චිත්‍රපටයේ දුටු හිරකාරියන් කුරහන් අඹරමින් ගයන ගීතයේ රිද්මය. ‘ටටක් ටොකක් ටටක් ටොකක්’ යන ආකාරයටයි ඒ ගීතයේ රිද්මය මට මතක් වුණේ.   

ඒ මොහොතේදී මා පසුකරමින් හිටියේද රබර් වතු හා බඩවැටි සහිත ලස්සන පරිසරයක්. ඒ සමඟම ‘මගෙ රත්තරං හෙලේනා පසු කරමින් මහ කඳු වැටි ඕවිටි පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි යන වචන අර රිද්මයට අනුව මගේ මතකයට නැගුනා.   

ටික වේලාවකට නැවතිලා බයිසිකලය උඩ ඉඳගෙනම සාක්කුවේ තිබුණ කොළ කෑල්ලක් අරගෙන වචන ටික සටහන් කරගත්තා. නාට්‍ය පටන් ගත්තට පස්සේ මට මාරුවක් ලැබුණා වෙනත් පාසලකට. වැඩේ නතර වෙලා මකුළොළුව මහත්තයාගේ ​‘දෙපානෝ’ නාට්‍යයට මම සම්බන්ධව සිටි කාලයේ විවේක අවස්ථාවක මම මේ ගීතය ගැයුවා. එහිදී ‘කවුද?’ කියන කොටස කිව්වේ ටී.එම්. ජයරත්නයි.   

මේ ගීතය ගුවන් විදුලියේ ලූෂන් බුලත්සිංහලගේ ‘සඳැල්ල’ වැඩසටහනින් හා සී. ද ඇස්. කුලතිලක හා සේන ගුණසේකරගේ ‘පර්යේෂණ ගී’ වලින් ප්‍රචාරය ලැබී ඉතා ජනප්‍රිය ගීයක් වුණා. ඒ ගීතයේ සංගීත රචනය හා ගීත රචනය මගේ. මේ ඒ ගීතය.”

දැසමන් මලක් වගෙයි - පියංකරයි සුකෝමළයි   
සුරංගනාවියක් වගේයි - අහිංසකයි රටක් වටියි   
කවුද...   
මගෙ රත්තරං හෙලේනා...
  
රාජ භෝජන නැත මට දෙන්නට   
සීන් සිනිදු සළු නැත මට දෙන්නට   
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට   
යාන්තමට ඇත දිවි රැක ගන්නට   
කවුද...   
මගෙ රත්තරං හෙලේනා... 
  
පසු කරමින් මහ කඳු වැටි ඕවිටි   
පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි   
ගල් මුල්වල පය පැටලී වැටි වැටි   
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි   
කවුද...   
මගෙ රත්තරං හෙලේනා...”



පවනට සැලෙනා ...

පවනට සැලෙනා (Pawanata Salena)

ටී.එම්.ජයරත්න මහතා ගායනා කරන මේ ගීතයෙන් කියවෙන්නේ මව විසින් අතහැර ගිය දරුවකු ඇති දැඩි කරන්නට සිදුවන පියෙක් පිළිබඳවයි. ගීතය රචනා කරන්නෙ ප්‍රවීණ සිනමා කරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායක මහතා. මෙවැනි ගීතයක් රචනා කිරීමට හේතුව කුමක්දැයි කියා පැහැදිලිවම සඳහන් නොවුනත් එය ඔහුගේ ජීවිතයේ ඇතිවූ යම් කම්පනයක ප්‍රතිපලයක් බව ඔහු පවසනවා. ගීතයේ සඳහන් ආකාරයේ සිදුවීමක් සිදුවුවහොත් එය කොතරම් වේදනාජනකද කියා සිතා බැලීමෙන් සිතට එකතු වූ අදහස් අනුව ඔහු මෙය රචනා කළ බව පවසනවා. ගීතයේ සැම තැනකම සඳහන් වෙන්නේ ස්ත්‍රිය තම පෙම්වතාත් සමග සතුටින් දිවි ගෙවන අතරතුර ඇගේම දරුවා පියා සමග දුකෙන් කල් ගෙවන බවයි.

ධර්මසිරි බණ්ඩාරනායක මෙම ගීතය රචනා කළේ ටී.එම්.ජයරත්න මහතාගේ ඉල්ලීමක් අනුව 1970 දශකයේ. ඔවුන් එකල ඒකාධිපති නාට්‍යය සඳහා සුදානම් වෙමින් සිටියා. ටී.එම්.ජයරත්න මහතාගේ සරල ගී එකතුවකට ගීතයක් මදි වූ නිසා ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් ගීත රචනාවක් ඉල්ලා සිටියා. පද පෙළ ලියා දුරකතනයෙන්ම කේමදාසයන් හට දැන්වුවා. කේමදාස මහතා එයට අලංකාර තනුවක් යෙදුවා. ගිටාරය භාවිතයෙන් එකතු කළ ඒ හැඟුම්බර සංගීතය ගීතයේ වේදනාත්මක ස්වරූපය වඩාත් ඉස්මතු කරන්නක්.

ධර්මසිරි මහතා පවසන අන්දමට මෙය ඔහුගේ පළමු හා අවසාන ගීතය. ඔහු එය අබිනික්මන කියා නම් කරනවා. ඔහු බලාපොරොත්තු වූ අයුරෙන්ම මෙම ගීතය ජීවිතය පුරාම අමතක නොවන ගැඹුරු වේදනාකාරී හැගීම් සමූහයක් සිතට ලබාදෙන ගීතයක්.

ගායනය: ටී.එම්.ජයරත්න
පද රචනය : ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...

මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්‌බර හඬ ඔබට ඇසෙයිදෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරෙන කඳුළු පමණි ළඳ...

පවනට සැලෙනා...



කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ...

නත්තල ළංවන විට රේඩියෝවෙන් වැඩිපුරම ඇසෙන්නට ගත්තේ එකල ධර්මරත්න සහෝදරයින් (මිල්රෝයි ධර්මරත්න ඇතුළු) ගායනා කළ බෙත්ලෙහෙමේ ගීතයයි. 

කලකට පෙර ඒ බෙත්ලෙහෙම් 
ශුද්ධ වූ නගරේ - ජේසු මෙලොවට බිහිවුණේ 
පුංචි ගව මඩුවේ

මෙම ගීතයට පදනම් වූ මුල් ගීතය Jester Hariston විසින් 1956 දී ලියූවකි. Mary’s Boy Child නමින් ලෝ සුපතල එම ගීතය භාෂා 20 කට පමණ පරිවර්තනය වී තිබේ. එහි මුල් පද මෙසේය.

Long time Ago in Bethlehem
So the Holy Bible Says
Mary’s boy child Jesus Christ
He born on Christmas day

1956 දී හැරී බෙලා ෆොන්ටේ නම් කැලිප්සෝ ගායකයා මෙය ගායනා කළේය. පසු කලෙක Bonny M ගායක කණ්ඩායම ද මෙය ගායනා කරද්දී එය අතිශය ජනප්‍රිය වූයේය.   

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ //

උඳුවප් මාසේ සීතල දවසක
මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී
සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන
ගවලෙන වෙත යන්නේ

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ
එළියක් දිස් වූයේ
‍ජුසේතුමා කිසි දාකත් නෑ
දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින්
හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී
පඬුරු ඔප්පු කරතී

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ

මිනිස් සමාජය පාපෙන්
බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර
කී දේ ඉන් ඉටුවූවා

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ

ගායනය - ධර්මරත්න සහෝදරයෝ
සංගීතය - ධර්මරත්න සහෝදරයෝ
ගී පද - මිල්රෝයි ධර්මරත්න








බෙත්ලෙහෙම් පුරේ ...

උඳුවප් සීතල සමඟින් නත්තල උදාවෙද්දී බෙත්ලෙහෙම් පුරේ ගීතය කලඑළියට එයි. එය හරියට නත්තලේ තවත් සංකේතයක් බඳුය. අනිල් භාරතී නැමැති ගායන වේදියාණන්ගේ හඬ පෞරුෂයෙන් රස ගැන් වුණු බෙත්ලෙහෙම් පුරේ ගීතය අද වන විට නත්තලට නැතිවම බැරි ගීතයක් බවට පත්ව ඇති වග නම් රහසක් නොවේ. එහෙයින් අනිල් පිළිබඳව ද වැඩිපුර කතා වෙන්නේ උඳුවප් මාසයේය. එය හරියට වෙසක් සමයට මොහිදින් බෙග් මාස්ටර්ව මතක් වන්නා සේය. එතුමාණන් සේම අනිල් ද සැබවින්ම වාසානාවන්ත ගායකයෙකි. ඒ අප රට වෙසක් සමරන තුරු තවත් විදිහකින් කිව්වොත් සදාකාලිකවම බෙග් මාස්ටර් සදා අනුස්මරණය වන්නා සේම නත්තල සමරන තුරු අනිල් භාරතී ද නැතුම බැරි තැනැත්තකු වන බැවිනි. ‘‘මම සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ සංගීත කණ්ඩායමකින්. ඒ කාලේ මම හිටියේ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ. ඒ කාලේ මේ සංගීත කණ්ඩායම බොහෝම ජනප්‍රියයි. 

ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ගීතය පර්යේෂණාත්මක ගීතයක්. මෙහි තනු නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධන. පද රචනා කළ කරුණාරත්න අබේසේකර හොඳ බෞද්ධයෙක්. බෙග් ගයන බුද්ධං සරණං ගීතය ලිව්වෙත් කරුනෙ. බලන්න ඔහු කෙතරම් දක්ෂයෙක් ද කියලා. ක්ලැරන්ස්ට ඕනෑ වුණා කරු ලවාම මේක ලියවන්න. ඊට පසුව මං ගැයුවාට පසුව ඉතාම ඉක්මනින් ජනතාව අතරට ගියා.

බෙත්ලෙහෙම් පුරේ ගීතය ඇහුනේ නැත්නම් නත්තල සමහරුන්ට ඇඟට දැනෙන්නේ නැහැ වගේ. බලන්න කොපමණ වාතවක් බෙත්ලෙහෙම් පුරේ ගීතය ප්‍රචාරය වනවාද කියලා. දවසකට දස වතාවක් මේ කාලයේ ගීතය ඇසෙනවා.

දෙවියන් විසින් මට දුන්න ආශිර්වාදයක් හැටියටයි මං එය සලකන්නේ. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. දෙවියන් වහන්සේ මට දුන්න තලෙන්තු අනුව මං මගේ හැකියාව ඉදිරිපත් කළා. ඒ ගමනේදී මට තවත් සුවිශේෂී තෑග්ගක් මට ලැබුණා. ඒක තමයි බෙත්ලෙහෙම් පුරේ ගීතය.

දලුගම සරසවි ශබ්දාගාරයේදී. පටිගත කළේ හැත්තෑව දශකයේ මුල. මගේ මතකයේ හැටියට මර්වින් රුද්‍රිගෝ නැමැති අති දක්ෂ ශබ්ද පරිපාලකවරයා අතින් තමයි පළමු බෙත්ලෙහෙම් පුරේ ගීතය පටිගත කළේ.

ගීතය පටිගත කරගෙන යනකොට මර්වින් කිව්වා අපි මේකට සීනු හඬක් එක් කරමු කියලා. ඒක කියලා ටික වේලාවකින් මිනිහා පේන්න නැහැ. අපි හොයලා බලන කොට ඔහු පැත්තක තියලා තිබුණු සයිලෆෝන් එකක මකුළු දැල් කඩනවා. ඒක සුද්ධ පවිත්‍ර කරලා අරගෙන ඉන් අපි සීනු හඬ ගීතයට ඇතුළත් කළා.

මේ ගීතය නත්තල් පණිවිඩයක් වගෙයි. දැන් මේ ගීයට වයස අවුරුදු හතළිස් හතයි. මම මගේ තරුණ වයසෙදි ගීය ගැයුවේ. නත්තලට මේ ගීතයත් සමඟ මිනිස්සුන්ට මාව මතක් වෙනවා.         

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා - ජේසු බිළින්දා

ලෙළෙන කැන් දිදී
අමුතු තරුවෙකී
අදුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා - සාමෙ රජින්දා

නිරිදුන් තිදෙනා
තරුවන් දිලෙනා
මඟ අහගෙන - යති දැකුමට
ජේසු බිලින්දා - සාමෙ රජින්දා

සත වෙත කරුණා
පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා - සාමෙ රජින්දා

බෙත්ලෙහෙම් පුරේ
දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා - සාමෙ රජින්දා

ගේය පද: කරුණාරත්න අබේසේකර
සංගිතය: ක්ලැරන්ස් විජේවර්ධන
මුල්ගායනය: අනිල් භාරතී (ගෝල්ඩන් වයිම්ස්)



බොරු කකුල් කාරයෙක් එනවා ...


බොරු කකුල් කාරයෙක් එනවා ....ෆෙඩී සිල්වා 

අමුතු ඇඳුම් ඇඳ හඬවන
රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ.
ආකාසෙ ඔළුව වදියි 
කියල බය හිතේ...
බොරු කකුල් කාරයෙක් එනවා අන්න අර පුතේ...

උණ බම්බු දෙකක් උඩ 
මිනිහා ඉන්නෙ කොහොමද.. 
එයා අපි වාගේ මහ පොළොවේ පයින් යනවද
මට තේරෙන්නෙ නෑ 
තාත්තෙ කියල දෙනවද..
එයා උඩින් යන්නේ ඇයි 
පහළින් යන්න බැරුවද...

බොරු අහංකාරකම් 
කෙනෙකුගෙ නැති වුණොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
බොරුකකුල් මෙයා වාගෙ බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා 

ප්‍රේමකීර්ති ද අල්විස් යනු විකටර් රත්නායකයන්ට, ප්‍රියා සූරියසේන මහතාට විශාල ගී ප්‍රමාණයක් ලියාදුන් ගේය පද රචකයෙකි. මීට අමතරව ප්‍රේමකීර්ති විසින් ගීත රාශියක් ලියාදුන්, අපට අමතක වුන ගායකයෙක් ඇත. ඔහු ප්‍රධාන වශයෙන් සිනමා නලුවකු නිසා ඔහුගේ ගායන හැකියාවන් අපට අමතක වූවාදැයි සැකයක් පවතී. ඔහු නමින් ෆ්‍රෙඩී සිල්වාය. ඔහු අද අප අතර නොමැති වුවත් ඔහුගේ විකට ජවනිකාවලින් යුක්ත සිනමා පට නම් අප නරඹා ඇති බව නොරහසකි. ඒ වාගේම ඔහුගේ ගීතත් අසා ඇතිමුත් ඒවා නිතර වාදනය නොවන් නිසාවෙන් අපට මේ ගායකයා අමතක වී ඇති සෙයකි.

කෙසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා වැඩිමනත් ගායනා කොට ඇත්තේ 'උපහාස' ගී බව ඔහුගේ ගී අසා ඇත්තෝ දනිති. ඉතින් ඒ ගී අතුරින් වැඩි ප්‍රමාණයක් රචනාකොට ඇත්තේප්‍රේමකීර්තිය. උපහාසය මගින් සමාජයේ අඩුපාඩු සහිත තැන් වලට සියුම් ලෙස පහර ගැසීමට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට තිබුනේ සහජ දක්ෂතාවයක්. 

මේ ගීතයත් වැටෙන්නේ 'උපහාස' ගී ගනයටමය.

පියෙකු සහ පුතෙකු අතර ඇතිවන සංවාදයක් විලසට ගීතය ආරම්බවී ඇත. පියා තම පුතුට පෙරහැරක ගමන් කරන බොරු කකුල් කාරයෙක් පෙන්වා ඔහු ගැන විස්ථර කියාදෙමින් සිටී. මෙහිදී ප්‍රෙමකීර්ති යොදාගන්නා වචන දෙස බලන්න. ඒවා කුඩා ළමයෙකුට ග්‍රහනය කරගත හැකි ඒවා වීමට ඔහු වගබලාගෙන ඇත. ඔබත් පෙරහැරක් නරඹා ඇත්නම්...මා මෙසේ කීවේ ඇත්තටම පෙරහැරක් නරඹා නොමැති පිරිස් ඕනෑ තරම් අද සමාජයේ සිටිනා බැවිනි. බොරු කකුල් කාරයා පෙරහැර නරඹන්නන්ට විනෝදය ගෙනදෙයි. බොරු කකුල් යොදාගෙන නැටුමක් ඉදිරිපත් කරන්නට ඔහු කිසිසේත් මැලි වන්නේ නැත. අනෙක් අතට ඔහුගේ ඇඳුම විකාර රූපී එකකි. සමහර විටක 'ජෝකර්' කෙනෙක් අප සිහියට නැගේ. මෙම ගීතයෙන් කියැවෙන පුද්ගලයා අත රබානක්ද ඇත. ඉතින් මේ නැටුම පෙරහැරක සිරි ඉහල නංවන්නට රුකුලකි.

පියා තම පුතාට බොරු කකුල් කාරයාගේ ස්වභාවය සහ බාහිර ස්වරූපය විස්ථර කරයි. මේ බොරු කකුල් වලට බොහෝ විට යොදාගන්නේ උණ ගස්ය. ඉතින් ඒවා තරමක උසකින් යුක්තය. ඒ උස පිලිබඳව මිම්මක් ලබාදීමට රචකයා පහත පද පේලි යොදාගනී.

'පොළොවෙ ඉඳන් අඩි දහයක්
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි
කියල බය හිතේ...'

කුඩා ළමෝ කොහොමටත් කුතුහලයෙන් පිරුණු කොට්ටාසයකි. මේ පියා බොරු කකුල් කාරයාව හඳුන්වා දුන් විට ළමයා ඔහු පිලිබඳව තමාට ඇති ප්‍රශ්න යොමු කරයි. උණ බම්බු දෙකක් උඩ සමතුලිතතාවය පවත්වාගෙන යෑම ළමයාට ගැටලුවකි. මේ ප්‍රශ්නය අසන ළමයා අඩුම තරමේ ගසක අත්තකටවත් නැග ඇති අයෙකු වන්නට ඕනෑ බව මාගේ අදහසයි. ඔහු ලද අත්දැකීම් තුලින් ඔහු ප්‍රශ්න යොමු කරයි. සැබෑ ලොවේදී මේ බොරු කකුල් කාරයාව, ළමයාට දක්නට ලැබී නොමැත. මේ නිසා  'එයා අපි වාගේ මහ පොළොවේ පයින් යනවද' යන්න ප්‍රශ්න කරයි. මෙසේ උණ බම්බු දෙකක් උඩ නැග ගමන් කිරීම ළමයාට තේරුම් ගැනීමට නොහැකිය. ඔහු තව දුරටත් අසන්නේ.

'මට තේරෙන්නෙ නෑ
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි
පහළින් යන්න බැරුවද...'

මේ ළමයාගේ ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම මගින් රචකයා උපහාසය මතුකර තිබේ. බලන්න ඔහු එය අප වෙත ලබාදෙන අපූරුව.

බොරු අහංකාරකම් කිසියම් අයෙකු තුල නොපවතීද, ඔහු උඩින් යෑම හෝ බිමින් යාම ප්‍රශ්නයක් නොවේ. එනම් අහංකාර දනා නිතැතින්ම උඩින් යන බව මෙහි අර්ථයයි. නැතිනම් සමාජයේ උසස් තැනක සිටිනා බව පෙන්වීමට වෙර දැරීමයි. ඔවුන් අනෙකාගෙන් ගෞරවය බලාපොරොත්තුවේ. 

'බොරුකකුල් මෙයා වාගෙ
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...'

බොරු කකුල් කාරයාගේ කකුල් උන බම්බු වලට තබා බැඳ ඇත. නමුත් මේ පියා පවසන්නේ එසේ නොමැතිවූ දනා විශාල පිරිසක් 'උඩින් යන බවය.

තමා බහුඍත ලෙස හඳුන්වාගෙන තමාට සමාජයේ ඉහල පිලිගැනීමක් ඇති බව පෙන්වන හිස් මිනිසුන් අපමන සිටී. එවන් මිනිසුන් මේ උපහාසයන් හමුවේ පසුබාන බව නම් පැහැදිලිය. 

මේ නිසා ප්‍රේම්ගේ අඩුව අපට අද හුඟක්ම දැනේවි. ඒ වගේම විකට ස්වරූපයකුත් ආරූඩ කරගෙන මෙවැනි අරුත්බර ගීත ගැයීමට ෆ්‍රෙඩී නොමැති අඩුවත් හොඳින්ම දැනේවි. 


අනේ ඩිංගක් ඉන්නකෝ ...

ආනෙ ඩිංගක් අහමුකෝ....

සිරිල් ටියුඩර් ප්‍රනාන්දු නොහොත් සී.ටී. ප්‍රනාන්දු මෙරට සිටි ජනප්‍රියම ගායන ශිල්පියෙකි. ඔහුගේ බොහෝ ගීත සඳහා තනු නිර්මාණය වූයේ ද ඔහු වෙතිනි. බටහිර ආරේ ගීත රැසක් තිළිණ කළ ඔහුගේ ගායන දිවිය ආරම්භ වූයේ 1940 මැද භාගයේදීය. සිංහල ගීත කලාවට බයිලා නොවන බටහිර සංගීත සම්ප්‍රදායක් හඳුන්වා දුන් සී. ටී ප්‍රනාන්දු 1946දී ගුවන්විදුලි ගායකයකු ලෙස සිය සංගීත චාරිකාව ආරම්භ කළේය. 

මින් දෙවසරකට පමණ ඉහත කොළඹ නෙළුම් පොකුණේ විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම මගින් පවත්වන ලද එම ප්‍රසංගයට ඇතුළත් වූයේ වූයේ අද අප අතර නොමැති මෙරට සිටි ජනප්‍රියතම ගායකයන් තිදෙනකු වූ සී. ටී. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත සමුච්චයකි. එහිදී සී. ටී.ගේ ගීත කිහිපයක් ගැයූ නලීන් පෙරේරා ඔහුගේ ආනේ ඩිංගක් ඉන්නකෝ - ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ යන ගීතයද ගායනා කළේය. එම ගීතය අඩක් ගැයූ ඔහු ගැයුම නවතා අපූරු කතාවක් හෙලි කළේය.

මේ ගීතයේ ඔබ අසා ඇත්තේ වර්සස් දෙකක් පමණයි. එහෙත් මෙම ගීතයේ රචකයා වර්සස් තුනක් ලිව්වා. පසුගිය දිනෙක මට ඒ මහත්මයා හමු වුණා. ඔහු එදා සී. ටී. නොගැයූ කොටස මට දීල, ඔබේ ප්‍රසංගයේදී මේ කොටසත් එකතු කර ගීතය ගයන ලෙසට මගෙන් ඉල්ලා සිටියා. මා අද පළමුවරට එම නොගැයු පද පේලි කිහිපය ගායනා කරනවා යි කීවේය.

අනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල - යන්නෙ ඩිංගක් ඉන්නකෝ

පුංචි මාමගෙ කුඹුරෙදී - පැළත් ඉන්දන දවසෙදි
දනක් මඩයේ එරි එරී -එදා පැළ සිට වූ හැටි
තාම මතකයි ඊයෙ වගෙමයි - දෙතොල් අව්වේ සැලි සැලී

කුඹුක් ගහ යට බට කැලේ - නාන විටදී ඔබ දොළේ
හිසත් ජලයේ ගිලි ගිලී -දෙඅත් දියබුන් කෙලි කෙලී
දෑස නලවා සිනා සැලුවා - ළපටි මුහුණේ මල් පිපී.

මේ එදා සී. ටී ප්‍රනාන්දු ගයන ලද ගීතයයි. මෙම ගීතය ප්‍රථමයෙන් නිර්මාණය වූයේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනක් සඳහාය. ගීතයේ ඉතිරි කොටස පටිගත නොවූයේ ගීතය නියමිත කාලය ඉක්මවා ගිය බැවිනි. එහෙයින් සී.ටී. ප්‍රනාන්දුට ගීතයේ අවසන් පද පේලි හතර ඉවත් කිරීමට සිදු විය.

ඔහු නොගැයූ පද පේලි හතර වූයේ

එදා ඔන්චිල්ලේ නැඟී - ඉහළ යන විට පැදි පැදී
ගසේ බැඳි රුහැනක් ලිහී - යයිද සැකයෙන් ගැහි ගැහී
මදෙස බැලුවා කඳුළු සැලුවා -මුහුණ විලියෙන් රතුවෙවි. යනුවෙනි.

මෙම කොටස පළමු වරට එදා නෙළුම් පොකුණ රඟහලේදී ගැයුණේ මුල් ගීතය ප්‍රචාරය වී වසර 60 ගණනකට පසුය.

සී.ටී. ප්‍රනාන්දු ගායනා කළ අනේ ඩිංගක් ඉන්නකෝ ගීතය රචනා වූයේ 1954 අගභාගයේදීය. එහි රචකයා ඩී.සී. ජයසිංහ මහතාය. අද ඔහු 87 හැවිරිදිය. කලක් කොළඹ ශාන්ත ජෝසෆ් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වූ ඔහු එම පාසලේ සිංහල සාහිත්‍ය ගුරුවරයාද විය. දරුවන්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කරනු සඳහා ද, පාසලේ විවිධ උත්සව සඳහාද ඔහු ගීත රැසක් රචනා කළේය. මෙම ගීතයට පසුබිම් වූ පුවත දැනගනු සඳහා අපි ඩී.සී. ජයසිංහ මහතා සොයා ගියෙමු.

ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතයට දීර්ඝ අතීතයක් තියෙනවා. මෙය රචනා කරනකොට මගේ වයස අවුරුදු 22 යි. මගේ පියා වතු පාලකවරයෙක්. ඔහු සේවය කළේ කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ විශාල වතුයායකයි. නිවාඩු කාලයට මම එම වත්තට යනවා. වත්තේ එක පසෙක විශාල කුඹුරු යායකුත් අනෙක් පසින් විශාල දොළ පාරකුත් තිබුණා. ගමේ ගැහැනු, පිරිමි, තරුණ තරුණියෝ වත්තේ වැඩට එනවා. දිනක් මා වතු බංගලාවේ ආලින්දයේ සිටින අවස්ථාවක මගේ පියා අසලට පැමිණි තරුණියන් පිරිසක් ඔහුට මොනවදෝ පවසා පිටව යන අයුරු මා දුටුවා. ඔවුන් ගියේ මා සිටි ස්ථානය අසලින්. එසේ යන විට මා ඔවුනට මෙහෙම කිව්වා.

ආනේ ඩිංගක් ඉන්නකෝ - පොඩ්ඩක් නවතින්නකෝ 

ඇයි ද කලබල අහක බලබල - යන්නෙ ඩිංගක් ඉන්නකෝ කියලා..

මහත්තයා අද පුංචි මාමාගේ කුඹුරේ ගොයම් පැළ හිටවන දවස. අපි එහෙ වැඩට යනවා කියලා ඔවුන් මට පැවසුවා. මාත් ඔවුන් සමඟ කුඹුර පැත්තට ගිහින් බලා සිටියා. දණහිස තෙක් මඩේ එරීගෙන ගිනිගහන අව්වේ දෙතොල් වේලි සැලෙමින් ඔවුන් පැළ සිටුවන හැටි මට පෙනුණා.

වැඩ නිමාවී ඔවුන් දිය නෑමට ගියේ වත්තේ අනිත් පැත්තේ තිබුණු දොළ පාර ළඟටයි. එතැන විශාල කුඹුක් ගසක් යට ඔවුන් දිය නෑවා. ඒ අසළ විශාල උණපඳුරක් තිබුණා. ඒවා සුළඟට සැලෙන විට සර සර හඬක් නික්මුණා. දියේ බැසගත් තරුණියෝ දියබුන් ගහමින් විනෝද වුණා. එම දර්ශනයත් මගේ සිතේ ඇඳුණා. මේ කතාව එතනින් අවසන් වුණේ නැහැ. සවස් යාමයේ මේ යුවතියෝ වත්තේ විශාල ගසක බැඳ තිබුණු ඔන්චිල්ලාව පදින්න ආවා. මාත් එදෙස බලා සිටියා. වේගයෙන් පැද්දෙන කොට ලනුව ලිහෙයි, කැඩිලා වැටෙයි‘ කියමින් ඇතැමෙක් කෑ ගැසුවා. බයෙන් ගැහුණු එකියකගේ මුහුණ රතු වී අඬනු මට පෙනුණා. මේ සියල්ල මගේ අතින් ගීතයකට ගොනු වුණා. මේක ඉතාම කෙටි වේලාවකින් ලියවුණු ගීතයක්.

එවක රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ගුවන්විදුලි පිහිටා තිබුණේ බොරුල්ලේ කොටා පාරේ පැරණි නිවෙසකය. ඒ ශ්‍රේණියේ ගායකයන් සඳහා සෑම මසකම පැය බාගයක සරල ගී වැඩ සටහනක් ලැබිණි. මේ වැඩසටහන සඳහා ඔවුන් අලුත් ගීත නිර්මාණය කළ යුතුවිය. පැය බාගයක් තුළ ගීත හයක් ගායනා කිරීමට සිදු වූ අතර එක ගීයක් සඳහා වෙන්වූයේ විනාඩි තුනක කාලයකි. "ආනෙ ඩිංගක් ඉන්නකෝ" ගීතයේ සියලු පද පේලි ගැයුණා නම් එය විනාඩි 3 ඉක්මයන්නේය. එහෙයින් මුල් පද පේලි දෙක පමණක් ගායනා කිරීමට සී.ටී. ප්‍රනාන්දුට සිදු විය. අවසන් පද පේලි ගීතයෙන් හැලී ගීයේ ඒ අයුරිනි.

සාන්ත ජෝසෆ් විදුහලේ කිසියම් උත්සවකට පැමිණි අවස්ථාවක සී.ටී.ට ඩී.සී. හමුවිය. එම උත්සවය සඳහා පිළිගැනීමේ ගීතය රචනා කර තිබුණේ ඩී.සී. ය. එම ගීතයේ පද රචනාවේ වූ සුබාවිත ලක්ෂණ හඳුනාගත් සී.ටී. තමා වෙනුවෙන් ගීතයක් රචනා කර දෙන ලෙස ඩී.සී. ගෙන් ඉල්ලීය. තමා විසින් කලකට පෙර රචනා කර තිබූ ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතය ඔහු සී.ටී.ට දුන්නේය.

සී.ටී. සහ ඩී.සී. පසුව සමීප මිතුරන් බවට පත් වූහ. ඩී.සී ජයසිංහ මහතා සී.ටී. ප්‍රනාන්දු වෙනුවෙන් දෙව් පුතුන්ගේ මිහිරි ගීතයේ, හිරුද අවර ගිලිලා එතෙර මුහුදේ, &රන් තැටියේ කිරි කැටියේ හා පැටියෝ ආනේ ඩිංගක් ඉන්නකෝ වැනි ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. ඔහු සී.ටී.ට හැර වෙනත් කිසිදු ගායකයකු වෙනුවෙන් ගීත රචනා කර නොමැත.  

ඇයි ඔබ සී.ටී.ප්‍රනාන්දුට හැර වෙනත් කිසිවකුට ගීත රචනා නොකළේ* යැයි මම ඇසුවෙමි.

මගේ හිත ගිය එකම ගායකයා සී.ටී. නිවැරදිව වචන උච්චාරණය කරපු සංගීතයට හඬ යටපත් වන්න නොදී පැහැදිලිව ගීත ගායනා කරපු ඔහු විශිෂ්ඨ ගායකයෙක්. ඒ නිසා මම ඔහුට පමණයි ගීත රචනා කළේ යනුවෙන් පැවසීය.

ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතයට දැන් වසර 65 කි. එම ගීතය එදා මෙන්ම අදටද එකසේ ජනප්‍රියය.






දිල්හානී දුවණී ...

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැක ගන්න
වාසනව මට ගෙන දුන් දියණී
සුරතල් දිල්හානී

රං ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට සිතුණා
රං තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුණා

රංවන් තටු ඇති සමනළයින් දැක
ඇයගේ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ

පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන 
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන 
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා 

ගීතය රචනා කර තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා. ගීතයේ කියවෙන දිල්හානි දියණිය නම් සිරිසඟබෝ කොරයා මහතාගේ දියණිය වන දිල්හානි කොරයා මහත්මියයි. ක්ලැරන්ස් විජේවර්ධන මහතා 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායමේ පුහුණු වීම් සිදුකලේ කොරයා මහතාගේ නිවසේ. දිල්හානි කොරයා මහත්මිය පවසන ආකාරයට ගීතයේ ඇරඹුම මෙසේ සිදුවිය;

"පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න."

මේ ගීතය ඉන්ද්‍රානිගේ පෙරේරා මහත්මියගේ හඬින් ඇසෙන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් හිතලා තිබුණේ ක්ලැරන්ස් මේ ගීතය හැදුවේ එකල ජනපි‍්‍රය නිළියකගේ දියණියට කියලා. නමුත් ක්ලරන්ස්ට මේ විස්තරේ දැනගන්න ලැබුණහම ගොඩක් දුක හිතිලා. ඒ නිසාම තමයි නව රඟහලේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී ඔහු දිල්හානි දියණිය වේදිකාවට ගෙන්වලා තුරුළු කරගෙන හැමෝටම හඳුන්වලා දුන්නේ. ඔහුගේ ගීතයේ කියැවුණු ආදරණීය දිල්හානී දියණිය ඇයයි කියලා. එදා තමයි බොහෝ දෙනෙක් දැන ගත්තේ මේ ගීතය හැදුවේ වෙන කාටවත් නෙමෙයි. සිරිසඟබෝ කොරයාගේ දියණියට කියලා.



ශාන්ත මේ රෑ යාමේ ...

අමරදේවයන් විසින් රචනා කොට සංගීතවත් කර ගායනා කරන ලද ශාන්ත මේ රෑ යාමේ" නම් ඔහුගේ දෙවැනි ගීතයට වස්තු වූයේ නව යොවුන් පෙම්වතුන් දෙපලකගේ උද්දාමයකි. මේ ගී පැබැඳුමට බෞද්ධ සාහිත්‍යයේ ථේර ථේරී ගාථාවන්හි ආභාසය ලබා ඇතැයි සිතිය හැකි ය. ස්වභාවික පරිසරයේ සුන්දරත්වය අව්‍යාජ ලෙස වර්ණනා කොට අනතුරුව ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙමින් විරාගී දහම් ගීයක් ඉස්මතු කිරීම බෞද්ධ උදාන ගීතයන්හි ලක්ෂණයකි.

‘ශාන්ත මේ රෑ යාමේ
දේ කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැළැවෙන්නේ
මේ සීතල මඳ පවනේ
හා ඇසේ වන කෝකිල ගීතේ
ශෝක යාවි සිඳිලා
වෙසඟ මේ පුන් පෝදා
මාහිමි දිනූ ත්‍රෛලෝනා’

සඳ කැන් වගුරුවන සුන්දර රැයක, ප්‍රේමය උද්දීපනය කරන විභවයන් මැද සොබා සෞන්දර්යයෙන් ඔද වැඩෙන පෙම්වතුන්ට වෙසක් පුන් පොහෝදා සිහියට නැගෙන්නේ තුන් ලෝකය දිනූ බුදුරජාණන් වහන්සේය. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය දැයක ජීවිත වත කොතරම් භාග්‍ය සම්පන්න වේ ද!

වෙනත් ගේය පද රචකයන් විසින් පබඳින ලද ගී පද මාලා අමරදේවයන් ගායනය සඳහා තෝරා ගත්තේ තම අභිමතයට සරිලන පරිදි අවශ්‍ය සංශෝධනයන් කිරීමෙන් පසුවය. ඔහු ගැයූ සෑම ප්‍රේම ගීතයකම විරහ ගීතයකම නින්නාද වූයේ රාගය නොව නිරාමිස වීතරාගී ප්‍රීතියමය.

අමරදේවයන්ගේ "ශාන්ත මේ රෑ යාමේ" ගීතයේ තනුවට බලපෑවේ පන්කාජ් මලික් ගායනා කරන හින්දි ගීතයක්. "පියා මිලන කෝ ජානා" (මම ප්‍රියාව හමුවීමට යමි.)

එහෙත් ඔහු ඒ ගීතයට වහල්වී නැත. එය අනුකරණය නොකොට
එහි රසය, අලංකාරය පමණක් ගෙන නිදහසේ නිර්මාණය කරන "ශාන්ත මේ රෑ යාමේ" ගීතය තුළ අපේ සිංහල කම ඉස්මතු වීම ඔහුගේ දක්ෂතවයයි.

"ශාන්ත මේ රෑ යාමේ" ගීතය පිළිබඳව අමරදේවයන් මෙසේ පවසනවා.

"මෙම ගීතයේ තනුවට බලපෑවේ පන්කාජ් මලික් ගායනා කරන හින්දි ගීතයක්. "පියා මිලන කෝ ජානා" (මම ප්‍රියාව හමුවීමට යමි).

"ශාන්ත මේ රෑ යාමේ" ගීතය බිහිවුණ අවධිය ගැන විශේෂයෙන් යමක් කියන්ට ඕනෑ. මේ අවධියේදී තමයි, සිංහල ගීතය ස්වාධීන මාර්ගයකට අවතීර්ණ වන්නෙ. එහි ගෞරවය, ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත යන පුරෝගාමී සංගීතඥයන්ට ලැබිය යුතු බව නොමසුරුව පැවසිය යුතු කාරණයක්. "සීගිරියේ සිතුවම් රමණී" "ශාන්ත මේ රෑ යාමේ" "පීනමුකෝ කළු ගඟේ" වැනි ගීත වලදී මා ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්තගෙන් නොමඳව ආභාෂය ලැබුවා.

හැබැයි, මම මගේ සංගීත චාරිකාවේ නිවැරදිම පියසටහන් තැබුවේ ඔවුන් දෙදෙනාගේම රීතිය අතික්‍රමණය කිරීමෙනුයි. ඔවුන්ගේ "දේශීය සංගීත සංකල්පය" මා ඒ හැටියෙන්ම භාරගත්තේ නැහැ. භාරතීය මහා සම්ප්‍රදාය ඇසුරෙන් අපගේ ජන සංගීතය නැමැති චූල සම්ප්‍රදාය පෝෂණය කිරීමේ වගකීම මා පසුකාලීනව වටහාගත්තා. ඒ සම්බන්ධයෙන් දැක්විය යුතුව ඇති නිදසුන් බොහොමයි"

-අමරදේව, ගී සර මුවරද කෘතිය.








වළාකුලින් බැස ...

වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් රිදී කදක් දෝ බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ

එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය අඬා දොඩා වී මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා

පද, සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත

සිංහල ශිෂ්ටාචාරය වසර 2500 කට හිමිකම් කියන ප්‍රෞඪ ශිෂ්ටාචාරයකි. එහි කොඳු ඇට පෙළ වූයේ බුදු දහමත්, වාරි කර්මාන්තයත් ය. වසර සිය ගණනක් තුළ ගොඩනැගුණු මෙම පුදුම එළවන සුළු වැව් කර්මාන්තයන් සිහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනට දිය සැපැයී ය. වසර 500ක විදෙස් ආක්‍රමණයෙන් පසුව කැඩී බිඳී ගිය මෙම ශිෂ්ටාචාරය නැවත පණ ගැසීම ඇරැඹියේ 1950 ගණන් වලය. මෙයට සමගාමීව අතීත ජල ශිෂ්ටාචාරයේ මහිම දක්වන මෙබඳු ගීත බිහිවීම ඇරැඹිණි.

කඳු මුදුනක සිට පහළට ගලා එන ගංගාවක් කරන ආයාචනයක් අයුරින් මෙය ලියැවී තිබේ. වළාකුලින් බැස සමන් කුළත් වැඳ එය පටන් ගනියි. එනම් සමනළ අඩවියට වට වතුරින් උපත ලබයි. එය මගෙන් වැඩ ගන්නා ලෙස කියමින් මුහුද වෙත ගලා බසී. එලෙස ගලා බසින ගංගාවට පෙනෙනුයේ දෙපස ඇති රිදී කදක් ලෙස දැවෙන බිම් ය. (මන්නාරම පෙදෙසේ විය හැකිය) අද දින මේ පොළොවේ ගිමන් නිවන්නට තමා එදෙසට හරවන මෙන් ගංගාව ඉල්ලා සිටී. එනමුත් අතීතයේ සිටි දනෝ මහත් වූ වෙහෙස ගෙන තැනින් තැන ගංගාව හරස් කර එහි ජලයෙන් ප්‍රයෝජන ගත්හ. ඉන් තමන්ටත් සෙතක් වූ බවත් ඒ දනන් එනිසා ම ලෝ පතළ වූ බවත් ගංගාව කියයි. එනමුත් මේ කාලයේ වැඩක් නොගත් එම දිය හඬමින් මුහුද වෙත ගලා ගොස් මුහුදු වතුරට මුසුව මිය යයි (වැඩක් ගත නොහැකි බවට පත් වේ).

සිංහල ගීය ළදරු කල දී බිහි වූ මෙම ගීතය සුනිල් ශාන්තයන් සතු පුදුම එළවන සුළු නිර්මාණ ශක්තිය මොනවට දක්වන උදාහරණයකි. ගංගාවක් පැද්දෙමින් නැළැවෙමින් ගලා යන ආකාරය මෙහි සංගීතය තුලින් සිතට දැනේ.



නවදැලි හේනක පෑව වැදිරි රුව ...

කලාකරුවන්ට සාහිත්‍යය විමසීමට බාධාවක් නැත. ඔවුන්ගේ විමසීමට ආගමික සාහිත්‍යය ද ඇතැම් විට හසුවේ. මේ අප දක්වන්නේ කලාකරුවකු විසින් කරන ලද එවැනි වෑයමකි. මේ ගී පද සෝමතිලක ජයමහ ගයන අපූරු ගීයක පදමාලාවෙනි. අසන්නට ලැබෙන්නේ ගායනය පමණක් නොව සංගීතය ද ගී පද මාලාව ද සෝමතිලක ජයමහ සූරීන්ගේ බවය.

මේ ගීතයෙන් අභියෝගයට ලක්වන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන බුදුන් වහන්සේවය. ලෙහෙසි පහසු කෙනෙකු විසින් අභියෝග කරන්නට නොහිතන බුදුන් වහන්සේවය.

එම කතාවට අනුව ඊළග දිනයේ සිය හිත ගත් පෙම්වතියේ අත ගැනීමට සිටි නන්ද කුමරු ප්‍රයෝගයක් මගින් සිය සසුනට එකතු කර ගැනීමට බුදුන් වහන්සේ කටයුතු කළ බව කියැවේ. ඒ සඳහා නන්ද කුමරුන් දෙව්ලොව කැන්දාගෙන යන බුදුන් වහන්සේ ඒ අතරමග අලුතෙන් දවා හළු කළ හේනක ඉන්නා වැඳිරියක් ද ඔහුට දැක බලාගන්නට සලස්වන්නේය.

ඉන්පසු දිව්‍යාංගනාවන් පෙන්වා සිටින බුදුන් වහන්සේ අසන්නේ ජනපද කළ්‍යාණිය මේ දෙවඟනන් සමග සන්සන්දනය කිරීමේ දී පෙනෙන්නේ කෙසේ ද කියාය.

දිව්‍යාංගනාවන්ගේ රූ සිරියෙන් මත්වන නන්ද කුමරු කියන්නේ ජනපද කළ්‍යාණිය මගදී දා අලු කළ හේනේ සිටි වැඳිරිය වැනිය කියාය.

තමන්ගෙ ප්‍රේමවන්තියට සුරන්ගනාවන් දැක්ක පලියට නවදැලි හේනක පෑව වැදිරි රුවකට සමාන කරල නිග්‍රහ කරන්න බෑ කියල කියන්න පුළුවන් කලාකරුවෙක් අපට හමුවෙනවා. ඒ තමයි සෝමතිලක ජයමහ.

මේ ගී පද මාලාවෙන් ප්‍රශ්න කරන්නේ එවැනි සන්සන්දනයක අර්ථ විරහිතභාවයය. මතුපිටින් පෙනෙන රූපයට වහල් වන්නට පෙම්වතෙකු තුළ ඇති නොකැමැත්තය. සම්පූර්ණ චරිතය මිසක රූපය තඹ සතයකට මායිම් නොකළ යුතු බවය. නන්ද කුමරු තුළ මනුස්සකම සුළුවෙන්වත් ඉතිරිව තිබුණේ නම් ඔහු මෙසේ කියනු ඇති බව සෝමතිලක ජයමහ විසින් අපූරුවට ගීතයකට ගොඩ නඟා ඇත.

නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට 
හිමියනි මට කල නොහැක නිගා...//

‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා...//
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා 

නවදැලි හේනක...//

මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා...

නවදැලි හේනක...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - සෝමතිලක ජයමහ
ගී පද - සෝමතිලක ජයමහ



මිහිරැති වසන්ත කාලේ ...

මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ

ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි. ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති. ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හි‍ඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය.

‘මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ’

සිය ඇඟිලි අතරින් ගිලිහි ගිය වසන්තය ද එහි මතකයන් ද ස්මරණය කරමින් හදවතින් ගිලානව වැළපෙන පෙම්වතෙකු තම හිස් බව වදනවලින් සිත්තම් කරන්නේ එසේය. ෂෙල්ටන් පෙරේරා සතු අසහාය කට හඬින් පණ ලැබූ මේ ශෝකයේ ගීතය 60, 70 දශකයේ තාරුණ්‍යය ද එතැනින් නොනැවතී 21 සියවසේ සියලු පරම්පරාවන් ද ස්පර්ශ කරන්නේ ඒ සතු සජීවී බව නිසාම ය.

''සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ''

වියෝගය තුළින් අහිමි කරන ලද මිහිර පතා ඔහු වැළපෙයි. ඉදින් මේ ප්‍රේමය නම් වන සාර්වත්‍රික ප්‍රපංචය සැම කෙනෙකුගේම ජීවිතවල යුගයක් නියෝජනය කරයි. ඒවා හුදු නිමේෂයන් නොවී ඔවුන් පෙර නොසිටි මිනිසුන් හා ගැහැණුන් බවට පත් කරයි.

"දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ..."

ගීතයේ ස්ථායි කොටස සහ පළමු අන්තරා කොටසට වඩා ඉහළ ස්වර පරාසයකින් ගැයෙන්නේ වේදනාව තීව්ර කරමිනි. අතීතය යනු යනු ම සොයමින් සොයමින් ගෙවා දැමූ නිමේෂයන් හි එකතුවකි. එතෙකුදු එය වසන්තය ම විය.

ඒ වසත්කල ගෙවෙද්දී නිම වූයේ හිරු බඳුව සඳු බඳුව තාරකාවක් බඳුව ‘උදාවූ ‘ සෙනෙහසකි.

සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ...

‘යම් තැනකදී අපි හැම කෙනෙක් ම කඳුළු අතරින් මෙසේ පවසා ඇත්තෙමු. "මං ආදරය වෙනුවෙන් ඒකට නොසෑහෙන තරම් විඳවල තියෙනව" මෙසේ අපට ලැබෙනවාට වඩා වැඩිපුර අප විසින් දෙන බව අපට හැ‍ඟෙන නිසාවෙන් අපි විඳවන්නෙමු. ....

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය සහ සංගීතය: ෂෙල්ටන් පෙරේරා



කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ...

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ…..

ප්‍රේමයේ සදාකාලික ඉරණම මේ පදවැලේ අපූරුවටට සටහන්ය. ප්‍රේම කරන අවදියේදී මල් පිපුණු මාවතකදී මුණ ගැහෙන හැම පෙම්වතෙක්ම පෙම්වතියක්ම මුමුනන්නේ මේ කතාවමය.

හමුවීමේ ආශාව හමුවීමේ ප‍්‍රීතිය වෙන්ව යාමේ ශෝකය හා වේදනාව ප්‍රේමයට පොදුය. පෙම්වතුන්ට පොදුය.

සමන් අතාවුදහෙට්ටි මේ ගීතය ලියන්නට ඇත්තේ ඔහුගේම ප්‍රේමය වෙනුවෙන්ද?

‘‘මේ ගීතය ලිව්වේ මම නොවෙයි.’’ සමන් එක පාරටම කීවේය.

මම පුදුම වෙමින් ඔහුගේ මුහුණ බැලූවෙමි.

‘‘එහෙනම් පද රචනය සමන් අතාවුද හෙට්ටි කියලා තියෙන්නේ…’’

‘‘ඒ වුණාට ඔය ගීතය ලිව්වේ රසිකා කියලා මගේ මිතුරියක්. එයා කවි ලියනවා. අදටත් එයාගේ විනෝදාංශය කවි ලියන එක දවසක්දා එයා ඔය පද හතර ලියලා මගේ ළඟින් තියලා කිව්වේ ඉතුරු ටික ලියා ගන්න කියලා. මේ ගීතයෙ ඊළඟ කොටස් දෙකයි මං ලිව්වේ.

රසිකා කියන්නේ කවුදැයි මම සමන්ගෙන් අසන්නට නොයමි.

අඹු දරුවන් මුනුබුරන් සමඟ ප‍්‍රීතිමත් පවුල් ජිවිතයක් ගෙවන සමන්ගේ ප‍්‍රීති කුටුම්භය කඩා බිඳ දැමීමේ කිසිම වුවමනාවක් මට නැත. පත්තරකාරයෝ අනුන්ගේ කුණු අවුස්සා පත්තර විකුණා ගන්නවා යන චෝදනාව අහන්නට මා කොහොමටවත් කැමති නැත.

‘‘කපුගේ යාළුවෙක් ද?’’

එනිසා මම සමන්ගෙන් කපුගේ ගැන අසමි.

‘‘ඔව්. මගේ යාළුවෙක්.’’

කැසට් පටි ආපු මුල්ම කාලේ සිංග් ලංකා සමාගම කැසට් පටියක් කළා. මේක එක පැත්තක කපුගේ ගෙනී. අනික් පැත්තේ මාලිනීගේ ගී ඉතින් කපුගේ තමයි දවසක් කිව්වේ. මට සිංදුවක් ලියලා දීපං කියලා ඒ වෙලාවේදියි මම ඔය රසිකාගෙයි මගෙයි සිංදුව කපුගේට දුන්නේ.

ශාන්ත කුමාර විතාන (2017.10.29 සාරවිට)

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුළින් ඉපැදුණු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

කවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
තනුව - එච්.එම්. ජයවර්ධන



පෙරුම් පුරාගෙන ආ සංසාරේ...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ.............

මලක් වගේ රොන් සුවඳ වගේ ජිවිතයේ සුව අපමන වේ ..........//
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ........

පෙරුම් පුරාගෙන ආ සංසාරේ........

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ...............//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...................

පෙරුම් පුරාගෙන ආ සංසාරේ........

ගායනය. සේනානායක වේරලියද්ද
සංගීතය. සේනානායක වේරලියද්ද 
පදරචනය. මහකණමුල්ලේ වජිර  
හිමි.

අනුරාධපුර සිට කොළඹ බලා ගමන්කරන දුම්රිය සුපුරුදු පරිදි අනුරාධපුර නැවතුම්පොළින් පිටත් වුනා. මේ කියන්න හදන කතාවට මුහුණු දුන්නේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ තමයි මහකණුමුල්ලේ වජිර හිමි. උන්වහන්සේ දුම්රියට ගොඩවැදුනේ කොළඹ බලා වඩින්න.

දුම්රියේ මුල්ලක තිබුන අසුනක උන්වහන්සේ අසුන්  ගන්නවා. වැඩි සෙනඟක් එදා හිටපු නැති නිසා වැඩි කලබලයක් තිබුනේ නෑ.

දුම්රිය අනුරාධපුරයෙන් පිටත් වෙලා ටික දුරක් එනවා. වැඩිය ජනාකීර්ණ නොවුණු නැවතුම්පොළක් නැති තැනක හදිස්සියේම දුම්රිය නතර කරනවා. ටික වෙලාවකින් දුම්රිය හිටපු අය කලබලයෙන් දුම්රිය එංජිම පැත්තට යන්න පටන් ගන්නවා. මිනිස්සු ඒ මේ අත දුවනවා. හරිම කලබලයක් මේ හාමුදුරුවෝ දකිනවා. ⁣

මේ වෙලාවේ හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයාත් යනවා මේ කලබලය මොකක්ද කියලා බලන්න. කොහොම වුනත් හාමුදුරුවෝ නම් එලියට වඩින්නේ නෑ. සිද්ධිය යාන්තමට තේරුම් ගන්න උන්වහන්සේට පුලුවන් වෙනවා.

ඔය අතරේ සිද්ධිය බලන්න ගියපු හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයා ආයෙත් අසුනට එනවා. හාමුදුරුවෝ මේ ගැන ඔහුගෙන් විස්තර අහනවා.

මොකක්ද වෙලා තියෙන්නේ?.

ජෝඩුවක්  කෝච්චිය පැනලා හාමුදුරුවනේ.

ඉතින්?

එතනමයි හාමුදුරුවනේ. කෑලි.

තරුණ අයද?

ඔව්. තවම ඉස්කෝලේ යනවා ඇති. එච්චර වයසක් පේන්න නෑ.

කලබල ගතිය ටික වෙලාවකින් නැති වුණා. කෝච්චිය ආයෙත් සුපුරුදු ගමන ආරම්භ කළා. ඊලඟ නැවතුම්පොළින් හාමුදුරුවෝ ළග හිටපු මගීන් බැහැලැ ගියා. මෙච්චර වෙලා හිතේ කකියපු ගොඩක් දේවල් පෑනක් අරන් තමන්ගේ නෝට් පොත එලියට අරන් ගලපන්න පටන් ගත්තා.

ඔය විදිහට තමයි මේ දුක බර ගීතය ලියවෙන්නේ. මේක සත්‍ය කතාවක්. කොහොම උනත් මේ කතාවට මුහුණ දුන් ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ගිහි ජීවිතයක් ගතකරනවා වජිර මහකණුමුල්ල තමයි වර්තමාන ගිහි නම.

කොහොම හරි මේ මියගිය තරුණියගේ පවුලේ අය රචකයා ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවාලු මේ සිද්ධියේ ඇත්ත කතාව කියන්න එපා කියලා. ඒක තමයි මේ සිද්ධියේ නම් ගම් නිවරදි විදිහට කිසිම තැනක නැත්තේ.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ ...

මේ අපි පෙරුම් පුරාගෙන ආපු සංසාර ගමන පැතුම් සුණුවිසුණු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඔබේ පැතුම් බොද වුනාද?  ඒකට උත්තරයද මේ?. මේ කරගත්තු දෙයින් ඒ පැතුම් ඉටුවෙයිද? ඔයා කාටද මෙහෙම රිදවන්න හැදුවේ?. අවසානයේ වුණේ මේ කෝච්චිය ටික වෙලාවකට නතර වුණ එක විතරයි.

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමන වේ ...//
දොලක් වගේ දිය දොක වගේ
ජිවතයේ අම සිසල දැනේ....

මේක හැමෝටම ලොකු පාඩමක්. ස්වාමීන් වහන්සේ මේ ගැන දැනුවත් කරන්න ගීතය යොදා ගන්නවා. පරිසරයට උපමා යොදනවා. අපිට මේ ජීවිතේ ගොඩක් දේවල්ට මුහුණ දෙන්න වෙනවා. ඒ හැම දෙයක්ම සතුටක් නම් අපිට දෙන්නේ නෑ.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ...

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ....//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...

* ඇස්වලට කදුළු එන ⁣, හිත රිදවන දෙයක් ඔබට වෙන්න ඇති. ඒක හිතට දරාගන්න බැරිවෙන්න ඇති. ඔයාට ඒවට මුහුණ දෙන්න තිබුනා. මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න හරිම අමාරුයි. මේ අපිට ලැබෙන දුක සතුට මොනතරම් අපිට ලැබෙනවාද. ඒක හැමෝටම පොදු දෙයක්. මේ දුක තුළ සැගවුනු සතුට ඔයාට තේරුම් ගන්න බැරිවුණා*

පෙරුම් පුරාගෙන ආ සංසාරේ...

ගායනය / සංගීතය - සේනානායක වේරලියද්ද.



ඔබේ සිනා ළඟ ...

ජගත් වික්‍රමසිංහ මහතා සංගීතවත් කර ගායනා කරන ඉතා කෙටි පද පෙළක් සහිත "ඔබේ සිනා ලඟ" ගීතය රචනා කරන්නේ ජගත් වික්‍රමසිංහයන්ගේ සොහොයුරිය වන දේශාංජලී වික්‍රමසිංහ මහත්මිය විසින්.

ගී පද

ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ 

ඔබේ සිනා ළඟ ...

ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ළඟ ...

මේ ගීතයට තියෙන්නෙ අපූරු කතාවක්. ගීතය රචනා කරලා තියෙන්නේ ජගත් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සහෝදරිය වන දේශාංජලී වික්‍රමසිංහ මහත්මියයි. එම මහත්මිය පවසන අන්දමට ගීතය රචනා කරලා තියෙන්නෙ ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙ. විශ්වවිද්‍යාල සමය කියන්නේ ප්‍රේමය අතින් ගත්තොත් ඉතා මිහිරි කාලයක්. සම වයසේ අය ඇසුරු කරන විට පෙම් සිතුවිලි සිතට ගලා එනවා. 80 දශකය අග භාගයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇයටත් මේ ආකාරයේ අත්දැකීමක් ලැබුණා. එවන් අවස්ථාවක සිතට ආ සිතුවිලි සමුදාය ඇය ඇගේ දිනපොතේ ලියා තැබුවා. ගීතයේ මුල් කොටසේ කියවෙන පරිද්දෙන්ම කෙනෙක් තවත් කෙනෙකුට ආකර්ෂණය වන්නේ සිත්ගන්නා සුළු සිනහවෙන්, සහ කතාවෙන්. ඇය මෙම පද පෙළ ලියා තැබුවේ එවැනි දෙයක් තදින්ම සිතට දැනුණු මොහොතක.

මෙසේ ලියපු පද පේළිය පසු කලෙක ජගත්ට දැකගන්නට ලැබුණා. ඔහු අක්කට යෝජනා කළා මේ පද පෙළ ඇසුරෙන් ගීතයක් හදමු කියල. එසේ කියූ ඔහු එයට මිහිරි තනුවකුත් හැදුවා. අප විශ්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ප්‍රේමය දුකක්. ඉතින් දේශාංජලී මහත්මිය හිතුව ගීතයට ඒ ගැනත් එකතු කරන්න. ඇය ගීතය ලියා ජගත්ට දුන්නා. නමුත් සිදුවුයේ වෙනත් දෙයක්. ගීතය ලියා තිබුනේ එක කොලයේ දෙපසක. ගීතය පටිගත කිරීමේදී අතපසු වීමකින් ජගත් වික්‍රමසිංහයන් විසින් කොලයේ අනෙක් පස නොබැලු නිසා ගීතයේ අවසාන කොටස මගහැරුණ. නමුත් කෙටි පද පෙලකින් වුවද ගීතය ඉතා හොඳින් ජනප්‍රිය වුණා.



සබඳ අපි කඳු නොවෙමු ...

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන ...//

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන ...//

හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - දර්ශන මේදිස්
තනුව - විශාරද ගුණදාස කපුගේ

මෙම ගීතයේ පද රචනය විවාදාත්මකයි. දර්ශන මේදිස් විසින් 1992 දී රචිත "කඳුළු මිටියාවත" කෘතියේ අවසාන කවි පෙළේ එන පැදි කිහිපයක් මෙම ගීතයේ අඩංගු වෙනවා. "උතුරින් - දකුණට" ලෙස නම් කරන ලද මේ කවි පෙළෙන් ද්‍රවිඩ ජාතිකයෙක් විසින් සිංහලයන් හට කරන සහෝදරත්වයේ පණිවුඩයක් කියාපෑම සංකේතවත් කරමින් රචනා කළ බවට සඳහන් වනවා. පසු කාලීනව ගීතයට උපුටාගත් කොටස විවිධ අර්ථකතනයන් ඇතිව භාවිතා කර ඇති අතර එයින් නියම අර්ථය පිළිඹිබු නොවීම පිළිබඳව රචකයා තුල පසුතැවීමක් වු බවද සඳහන් වෙනවා.

කඳුළු මිටියාවත කෘතියේ එන සම්පූර්ණ කවි පෙළ පහලින්.

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින


සිරියහනේ...

එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන සිරියහනේ ලණු ඉහිරී ගීතය ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහතා. එතුමා පවසන විදිහට ගීතයෙන් කියවෙන්නේ තනිකඩ මිනිසෙක්ගේ හැගීම් ගැන. නාරිලතා මල කියන්නේ නාරි දේහයේ හැඩය ගත් මල් වර්ගයක් බවයි පිළිගැනීම. තනිකඩ මිනිසෙක්ගේ පිළිවෙළක් නොමැති ජීවිතය සහ ස්ත්‍රියක පිලිබඳ ඇති බලාපොරොත්තු මෙම ගීතයෙන් කියවෙනවා.

මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’

“නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

ඒ මල දැක්කම භාවනා කරන තාපසයන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

තවද ලූෂන් බුලත්සිංහල මහතා පවසන පරිදි ඔහු මේ ගීතය රචනා කර තිබෙන්නේ අමරදේව මහතාට. නමුත් එතුමා තමන්ටවත් නොදන්වා ගීතය එඩ්වඩ් ජයකොඩි හට දී තිබෙනවා.

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

සිරියහනේ...

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින් 
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

සිරියහනේ...

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - H.M.ජයවර්ධන

මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.

“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා.



ස්වර්ණ මාලියේ..

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර
ස්වර්ණ මාලියේ.........

උනා නීලවර්ණ වරල
දෑසේ මල් ගැවසි ලියේ
නඟා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළැඳි ලියේ
සිනා සීසී විමානයෙන් 
බසින්න ස්වර්ණමාලියේ.......

අතේ ගිගිරි  නාද සලඹ
නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් තැළෙන ලියේ
කනේ තෝඩු මිණි ගන රන්
මුහුණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ.....

බාල චන්ද්‍ර පටු  නළලත
අලක අඳුන් අඳින ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ......

ගායනය - පණ්ඩිත් අමරදේව
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගී පද - මහගම සේකර

ගීතයක් රමණිය වීමට නම් ඊට  සැබෑ කවියකුගේ ගී පද රචනාවක් පාදක විය යුතු බවට මේ ගීතය ද නිදසුනකි. මහගම සේකරගේ සුදුර්ලභ අව්‍යාජ කවි ශක්තියෙන් අනුන මේ ගීතයෙන් වර්ණීත වන්නේ ස්වර්ණමාලියගේ රූප සෞන්දර්යයි. මෙහි එන ස්වර්ණමාලිය කවරක්ද ? එකල දුටුගැමුණු මහරජු විසින්  අනුරපුරයේ කරවන ලද මහ සෑය “ස්වර්ණමාලි මහා චෛත්‍යය” යනුවෙන් හැදින්වේ. මේ චෛත්‍යය ඉදිකිරිමට පෙර එම ස්ථානයට  රන්තෙලඹූ වෘක්ෂයක් වු බව ද ස්වර්ණමාලි නම් දිව්‍යාංගනාවක එය තම විමානය කොටගෙන විසු බවද දුටුගැමුණූ රජු ඇයට යාච්ඥා කොට චෛත්‍යයට ඇගේ නම තබන පොරොන්දුව පිට ඇයට එය හැර යන්නට සලස්වා එහි සෑය කළ බව ද ජනප්‍රවාදයේ අසන්නට ලැබේ. මහගම සේකරයන් මේ ගීතය රචනා කොට ඇත්තේ එකී  ජනප්‍රවාදය අනුව යමිනි. මේ ලිය වු  කලී එසේ මෙසේ ලියක නොව රූප සෞන්දර්යෙන් කෙළ පැමිණි දිව්‍යාංගනාවකි. චිරාගත ස්ත්‍රී වර්ණනාවල එන ලක්ෂණම ඉතා  බුහුටි ආකාරයෙන් පෙළ ගස්වන කවියා මේ ගී මීණෙන් ස්ත්‍රී  රූපයෙහි සුකුමාර බව ස්පර්ශ කරයි.

දුටුගැමුණූ රජු ස්වර්ණමාලි  දෙවඟනට කරන ආයාචනය ගීතයට විෂය වුවද ගීතයේ ස්ථායි  කොටස හැර පළමු අන්තරා  කොටසෙහි සිට එකිනෙකට පෙළ ගැසෙන්නේ ලිය වැනුමකි.

උනා නීලවර්ණ වරල
දෑසේ මල් ගැවසී ලියේ 
නඟා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ

ඇගේ උනාලු වරල නීලවර්ණය. මලින් සැරසුණු ඇහි දෙබැම දෙව්දුනු සදිසිය. ඇගේ ළමැද වසා කිණිහිරි පෙති ගවසා ඇත. නළලත මැණීකක වර්ණය රැගත්  තිලකයකි. ඇගේ දෑතෙහි ගිගිරි වළලු ද පාදයන්හි කුඩාමිණී ගෙඩි ද පැළඳ ඇත. කර පැළඳ තිබෙන්නේ පියුම් පොහොට්ටු මාලයකි. ස්වර්ණමාලියගේ රූ සිරු  වරුණ කියන්නට කවියා විසින්  යොදා ගෙන ඇති උපමා රූපක මාලාව ඇසෙන කල්හි අපේ මතකයට යමක් නැඟෙයි. එනම් අප බොහෝ ස්ත්‍රී වර්ණනාවල මෙබඳු උපමා රූපක දැක හා අසා ඇති බවයි. මේ ගීතය ගතානුගතික නීරස ලිය වැනුමක් ලෙස අපට ඉවත හළ හැකිද? කොහෙත්ම බැරිය. ඊට හේතුව නම් මේ උපමා රූපක අපුරු වු නැවුම් ආකාරයට සංකලනය කර තිබීමයි.

පැරැණි යෙදුම් වුව නව රසයක්  නිමැවුම් කිරිම සඳහා නවතම විලාසයකින් ඉදිරිපත් කිරිමට  කවියා සමත් වී තිබේ. මෙනයින් මේ ගී මිණ පුරා දිවෙන උපමා රූපක පෙළෙන් නැවුම් බවක් උද්වහනය කරයි. චිරාගත උපමා.රූපක පවා කවියා විප්ලවීයකරණය කරන හැටි බලන්න.

අතේ ගිගිරි නාද සලඹ
නුරා හඩින් හඬන ලියේ
කරේ පද්ම කුකුළු මාල
හංස තුඩින් තැළෙන ලියේ

ඇගේ දෑත්හි ගිගිරි වළලු සලඹ නද දෙන කල්හි එය නුරා හඬින්  ඇය කරන හැඬීමක් බඳුය. මෙය කෙතරම් රමණිය කාව්‍යෝක්තියක් ද ? කාමසම්භෝග ඉල්ලා නඟන රාවයක් මින් නො ඇසේ ද? පියයුරු හංසයන්ට උපමා කිරිම ද සාහිත්‍යයෙහි ඉතා ගතානුගතිකය. එය බොහෝ කවි ගීතවලින් අපි අසා දැක ඇත්තෙමු. එහෙත් හංස තුඩින් පද්ම කැකුළු තැ ළෙන බව අඟවමින් කවියා අපට පවසන්නේ ස්වර්ණමාලියගේ හංස තුඩුවල තද බව නො වේ ද?

බාලචන්ද්‍ර පටු නළලත‍
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දැල දෑත ස්වර්ණ දාම
තාල හඬට සැලෙන ලියේ

බාල චන්ද්‍රයා යනු අඬ සඳය. පටු නළල් තලය තරුණ චන්ද්‍ර මණ්ඩලය සදිසිය. එහි අඳුන්  ආලේප කොට ඇති බවත් නළල් තලයෙන් කැරලි ගැසුණු කෙස් රොදවල් ලිහි වැටෙන බවත්  කවියා කියයි. ඇගේ දසන් පෙළ කොඳ හෝ සමන් කැකුළු සදිසිය. දෑලෙහි රන්දම් ලඹ දෙන විට ඇගේ සිනාවෙන් ගලා හැළෙන සුධාධවල වර්ණ කාන්තියක්  එය මඳ සිනාවක් බවත් සිහි ගැන්වේ. දන්ත කැකුළු යන්නම රමණිය යෙදුමකි.එයට ආලවඩන යන්න එකතු වු විට අතිරමණිය වේ. මහගම සේකරයන් සතුව පැවැති සුදුර්ලභ කවි ප්‍රතිභාව මේ ගීතයේ ගීපද සංකලනයට ආවිෂ්ට වී තිබිමත් පණ්ඩිත් අමරදේවයන්ගේ  සුගායනීය හඬ මුසුවීමත් මේ ගී  මිණිරුවන ශෘංගාර රස පිරි මී විතක් සේ රමණිය වීමට හේතුභූත වී තිබේ.



ඇය යන්න ගියා මැකිලා ...

විශාරද මාලිනී බුලත්සිංහල මිය ගිය වකවානුවේ පටිගත කෙරුණු ‘ඇය යන්න ගියා මැකිලා’ ගීතය මාලිනීගේ වියෝව සම්බන්ධව සුනිල් සරත් පෙරේරා ලියූ ගීයක් ලෙස සමහරුන් සිතුවත් එය එසේ නොවන බව ඔහු කියයි. වරක් තමා කළ සංචාරයකදී බිරිඳ සරෝජනීද සමඟ වස්ගමුවේ සංචාරක බංගලාවේ නැවතී සිටියදී රාත්‍රියේ ඇති වූ සිතුවිලි අනුව එය ලියා ඇත. “එය ලිව්වේ මාලිනීගේ වියෝවට‍ බොහෝ කලින්” ඔහු කීය.

එහෙත් අමරසිරි පීරිස් සුනිල් සරත්ගෙන් පදමාලාව ලබාගෙන තනුව යෙදීමට එච්.එම්. ජයවර්ධනයන්ට ගෙනැවිත් දෙන්නේ විශාරද මාලිනී බුලත්සිංහල (එච්. එම්.ගේ බිරිඳ) අමෙරිකා සංගීත ප්‍රසංගවලට ගොස් සිටියදීය. එච්. එම්. එක් රාත්‍රියක මාදින්නාගොඩ නිවසේදී එම පදමාලාවට ශෝකී තනුවක් යෙදුවේය. එම තනුව යොදනවිට සුනිල්ගේ පදමාලාව තමන් තුළ බලවත් ශෝකයක් හා ගුප්ත හැඟීමක් ඇති කළ බව එච්. එම්. ජයවර්ධන කීය. කෙසේ හෝ වේවා එම සංගීත සංචාරය නිමා කර විශාරද මාලනී බුලත්සිංහල ආපසු මව්බිමට පැමිණියේ නැත. ඒ වකවානුවේම අමරසිරි ගීය ගැයූ නිසා බොහෝදෙනා සිතන්නට ඇත්තේ එය මාලිනීගේ වි‍යෝව හා සම්බන්ධ ගීතයක් කියාය.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
ඇය යන්න ගියා මැකිලා...
පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළුවූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා...

යලි කවදාවත් හමුනොවෙනා බව..
මද පවණක් හිස අතගා කීවද..
අදහාගන්නට නොහැකිය කිසිදින..
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..

ඇය යන්න ගියා මැකිලා...

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : එච් එම් ජයවර්ධන



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...