Tuesday, July 14, 2020

ආදර හැඟුම් ...

බොහෝ කලා නිර්මාණ බිහිවන්නේ අත්දැකීම් ඇසුරෙනි. එම අත්දැකීම් නිර්මාණකරුවාම අත්විඳි හෝ ඔහු අසා හෝ දැක තිබූ වෙනත් අයෙකුගේ හෝ අත්දැකීම් වන්නට පිළිවණ. එකී අත්දැකීම් තමන්ගේ කරගන්නා නිර්මාණකරුවා එය පොදු අත්දැකීමක් බවට පත්කර කලා කෘතියක් ප‍්‍රතිනිර්මාණය කරන්නේ තම ප‍්‍රතිභාව ප‍්‍රකට කරමිනි. ප‍්‍රතිභාපූර්ණ කලාකරුවන් අතින් නිමවන එවැනි නිර්මාණ ජාති ආගම් පමණක් නොව කාලය ද ඉක්මවා ජන හදවත් තුළ සදාකල්හිම තැන්පත් වන අවස්ථා විරල නොවේ. එහෙත් එවැනි ආශ්චර්යයක් පළ කළ හැකි නිර්මාණකරුවන් සංඛ්‍යාව අතේ ඇඟිලිවලින් ගිනිය හැකි තරම් අල්පය. 

ප‍්‍රකට නාට්‍යකරුවකු, චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු, නළුවෙකු, ගී පදමාලා රචකයකු හා වියතෙකු ද වන දයානන්ද ගුණවර්ධන මහතා එවැනි විරල ප‍්‍රතිභාවෙන් පූර්ණ කලකරුවෙකි. නරි බෑණා, බක්මහ අකුණු, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා ඇතුළු ඔහු නිර්මාණය කළ වේදිකා නාට්‍ය අතලොස්ස ශ‍්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ වැදගත් සන්ධිස්ථාන සළකුණු කළ නිර්මාණ ලෙස විචාරකයින් අවිවාදයෙන් පිළිගනිති. එවන් මහා කලාකරුවකු වුවද මේ සුන්දර මිනිසා අතිශය සරල මිනිසෙක් විය. ලෙහෙසියෙන් කේන්ති නොයන තැන්පත් චරිතයක් වූ ඔහු දැඩි විනයගරුක, අතිශය සදාචාරවත් හා ලජ්ජාශීලී පුද්ගලයෙක් ද විය. කලාකරුවන් එක්වූ අවස්ථාවල නිරායාසයෙන් ඇදී එන රසකතා අතර යම් අවස්ථාවක කවුරු හෝ අසභ්‍ය විනෝද කතාවක් පටන් ගතහොත් මුහුණ රතු කරගන්නා ඔහු වහාම එම ස්ථානයෙන් පිටව යන බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට කරුණකි. 
 
මේ සුන්දර කලාකරුවා විවාහ දිවියට පිවිසියේ යෝජිත විවාහයකිනි. ඔහුගේ විවාහ මංගලෝත්සවය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් චාම් ලෙස පැවැත්වුණු අතර පෝරුවේ චාරිත‍්‍ර ඇතුළු සම්ප‍්‍රදායානුකූල කටයුතු අවසානයේ සවස් භාගයේ මංගල යුවල මධු සමය පිණිස පිටත්ව ගියහ. උත්සව කටයුතු අවසානයේ පිරිස විසිර ගිය ද හිතමිතුරන්ගේ මධු සාදය අඛණ්ඩව පැවතිණි. වාද විවාද, ශාස්ත‍්‍රීය සංවාද, මත ගැටුම් ආදියෙන් සමන්විත වූ සාදය මධ්‍යම රාත‍්‍රිය දක්වාම ඇදී ගියේය. සාදයට සහභාගිව සිටි මිතුරෙකුට හදිසියේම සිහි වූයේ තමන් භාරදූර වගකීමක් ඉටු කිරීමට භාරගත් බවය. එකී වගකීම වූයේ මනාල යුවලගේ ඇඳුම් බෑගය ඔවුන් නවාතැන් ගන්නා තානායමට ගෙනගොස් භාරදීමය. මොහොතක් සිහි එළවාගත් ඔහුට මතක් වූයේ ඇඳුම් බෑගය තවම තම මෝටර් රියේ ඩිකියේ බවය. වහාම තම අත් ඔරලෝසුවේ වෙලාව බැලූ ඔහුට පෙනුනේ දැන් වෙලාව මධ්‍යම රාත‍්‍රී දොළහ ද පසුවී ඇති බවය. අද මෙන් එකල්හි ජංගම දුරකථන නොතිබූ අතර තම මනමාල මිත‍්‍රයා මුහුණ පා සිටින අපහසුව ඔහුට තේරුම් ගත හැකිවිය. වහාම එතැන සිටි හිතවත් මිතුරන් දෙතුන් දෙනෙකුට ගැටලූව රහසින් පැවසූ ඔහු, ඔවුන් සමඟ මෝටර් රියට නැඟුනේ පමා වූ වගකීම හැකි ඉක්මණින් ඉටු කරන්නටය. 
 
හැකි උපරිම වේගයෙන් රථය පදවාගෙන මිතුරන් පිරිස මනාල යුවල නවාතැන් ගත් මහර තානායම බලා පිටත් වූයේ දයානන්ද ගුණවර්ධනයන්ගෙන් බැණුම් වර්ෂාවක් අසන්නට බලාපොරොත්තුවෙනි.

රථය තානායම් ගේට්ටුවෙන් ඇතුළු වූ සැණින්ම තානායම් මුරකරු විසින් එය නවත්වන ලද්දේය. හොඳටම පදම් වී සිටි පිරිසට මහ රාත‍්‍රියේ තානායමට ඇතුළු වීමට මුරකරුගෙන් කිසිදු ඉඩක් ලැබුණේ නැත. නොවඳිනා වැඳුම්වලින් සහ සාධාරණ හේතු නහුතයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුරකරුගේ අනුකම්පාව බිඳක් ලැබීමෙන් පසු ඔහුගේ දැඩි අධීක්ෂණය යටතේ එක් අයෙකුට පමණක් ඉතා සුළු වේලාවකට පමණක් මනාල යුවල සිටිනා කාමරයෙහි දොර ළඟට යෑමට පමණක් අවසර දෙන ලදී. වගකීම භාරගත් මිතුරා පමණක් ඒ අනුව මුරකරුත් සමඟ යුවල නවාතැන් ගෙන සිටින කාමරය කරා ගමන් ගත්හ. දොරට තට්ටු කළ මිතුරාට ඇතුළෙන් ඇසුණේ කොයි වෙලාවක හෝ ඇඳුම් බෑගය රැුගෙන එතැයි බලාපොරොත්තුවෙන් සිටි දයානන්ද ගුණවර්ධනයන්ගේ ”එන්න’’ නම් වූ තැන්පත් කාරුණික කටහඬයි. අගුළු ලා නොතිබූ දොර විවෘත කළ මිතුරාට දැකගන්නට ලැබුණේ සයනය දෙපැත්තෙහි දෙපසට හැරී හිඳගෙන සිටිනා හිසෙහි වේලය පමණක් ගලවා සිටින මනාලිය හා කබාය පමණක් ගලවා ටයි පටියවත් නොගලවා සිටින මනාලයායි. කිසිදු කේන්තියක් නොමැතිව සිනහා මුසුව මිතුරා පිළිගත් ගුණවර්ධනයන් ඔහුට ස්තුති කොට තමන් නිසා මේ මැදියම් රාත‍්‍රියේ විඳින්නට වූ කරදරයට සමාව අයැද සිටියේ බැණුම් ඇසීමට සූදානම්ව ආ මිතුරා පුදුමයට පත් කරමිනි. බෑගය භාරගත් ගුණවර්ධනයන් සාක්කුවෙන් ගත් කඩදාසි කොළයක් මිතුරා අත තබා මේ ගීතය අමරදේව මාස්ටර්ට දෙන ලෙසත් සුදුසු තනුවක් යොදා ගායනා කරන ලෙසත් කියන්නැයි ඉල්ලීමක් කළේය. පසුව එය සෝමදාස ඇල්විටිගලයන්ගේ මධුර තනුවකට අමරදේවයන් විසින් ගායනා කරන ලද්දේය. ඇඳුම් බෑගය ලැබෙන තුරු වූ විරාමයේ ගුණවර්ධනයන්ගේ සිත තුළ ඇතිවූ හැඟීම් කදිම පදවැලකට මුසුව ගීතයක් ලෙසින් බිහි වී තිබුණේ ගීත සාහිත්‍යයේ මෙතෙක් බිහිව ඇති පේ‍්‍රමයේ ශෘංගාරය විශිෂ්ට ලෙස දනවන ගීත අතලොස්ස අතරට පැමිණෙමිනි. පසු කලෙක ඔහුගේ බක්මහ දීගේ චිත‍්‍රපටයට ද ඇතුළත් වූ මේ ගීතය අමරදේව, ඇල්විටිගල, ගුණවර්ධන සුසංයෝගයෙන් බිහි වූ රමණීය නිර්මාණයක් ලෙස අදත් රස විඳිය හැක්කේය. 

මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පු‍ටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.

ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.........

මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.

සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි...........

මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........

දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝක බරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".

ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

කිමද මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ

පද: දයානන්ද ගුණවර්ධන
තනු: සෝමදාස ඇල්විටිගල
ගායනය: පණ්ඩිත් අමරදේව



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...