Tuesday, July 14, 2020

මාස්ටර් සර් ...

වර්තමානයේ නීලා වික්‍රමසිංහගේ හඬින් අපට අසන්නට ලැබෙන 'පනම් අටෙන් මට වැඩි කර දුන්න' ගීතයේ මුල් ගායනය සහ පද රචනය ගැන අපූරු කතාවක් සොයාගන්න ලැබුණ. මෙම ගීතය කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනයක් ලෙස ප්‍රසිද්ධ උනත් එය නිමල් මෙන්ඩිස් නම් ඉංග්‍රීසි ගීත රචකයාගේ ගීත රචනාවක පරිවර්තනයක්. ගීතය රචනා කරලා තියෙන්නේ 1975 වසරේ තිරගත වූ මණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ 'කළු දිය දහර' චිත්‍රපටයට. රවින්ද්‍ර රන්දෙනිය රඟන මෙම චිත්‍රපටයේ කතාව පසුබිම් කරගෙන ගීතය ලියා තිබෙනවා. ගීතයෙන් කම්කරු ජනතාවගේ සමාජ සාධාරණත්වය, ගෞරවය ගැන කියවෙනවා.                                ගීතය රචනා කිරීම සඳහා නිමල් මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික අත්දැකීම් භාවිතා කර තිබෙනවා. මේ පිලිබඳ හොයාගන්න ලැබුනේ සිළුමිණ පුවත්පතක පලවූ ලිපියකින්. එහි සඳහන් පරිදි කතාව මෙසේය.

"මේ ගීතය මං ලියුවේ මගේ ජීවන අත්දැකීමක් ඇසුරින්. මං ලියූ හැම ගීතයක් ම එහෙමයි. ඒ නිසා ‘මාස්ටර් සර්’ ගැන ඒ කතාව මට කෙටියෙන් කියන්නම ඕනෙ. බොහොම තරුණ කාලේ මං එංගලන්තෙ ජීවත් වුණේ සමාජ ශාලාවක පියානෝ ගහලා. හැමදාම මං ගෙදර ආවේ අන්තිම බස් එකේ. එක දවසක් මට බස් එක මිස් වුණා. මං පයින් ඇවිදින්න ගත්තා. හුඟක් දුර ඇවිදගෙන එද්දි එක පාරටම වෑන් එකක් නවත්තලා හතරපස් දෙනෙක් මගේ හමේ පාට කිය කියා ගහන්න ගත්තා. තුවක්කුවක් අරන් වෙඩි තියද්දි මං දුවලා පණ බේරා ගත්තා. මට උදව් කළේ අයිරිෂ් ජාතිකයෙක්. එංගලන්තය මට එපා වුණා. ඒත් මට හුඟක් හිටියෙ සුදු ජාතික යාළුවෝ. පස්සෙ මමම හිත හදාගෙන, බය නැතිවෙනකල් හැමදාම රෑට පයින් ගෙදර ගියා.

ඒත් ටික දවසකින් මං එංගලන්තෙ අතෑරලා ඇවිත් නෝටන්බ්‍රිජ්වලින් අක්කර 10 ක් අරගෙන වගා කරන්න ගත්තා. ඒ දෙමළ මිනිස්සු මට කතා කළේ ‘මාස්ටර්’ කියලා. දෙමළ අය තමන්ගෙ ස්වාමියාට කතා කරන්නෙ එහෙමයි. සිංහල මිනිස්සු කිව්වෙ ‘සර්’ කියලා. මට තේරුණා, එංගලන්තෙ වුණත් මෙහෙ වුණත් තියෙන වර්ග - වර්ණ භේදය ගැන.

මනික් සන්ද්‍රසාගර මගේ යාළුවෙක්. එයා මට කිව්වා ඔය වගා කර කර ඉන්නෙ නැතිව ඇවිත් එයා එක්ක වැඩ කරන්න කියලා. ඊට පස්සෙ එයාගෙ උවමනාවට තමයි මං එයා කරපු ‘කළු දිය දහර’ චිත්‍රපටයට ‘මාස්ටර් සර්’ ගීතය ලියුවෙ. ඉංගී‍්‍රසියෙන් ලියපු ගීතය, බොහොම සාර්ථකව කරුණාරත්න අබේසේකර එයාගේ සිංහල වචන දමලා පරිවර්තනය කළා."

ගීතය ගායනයට අධ්‍යක්ෂ වරයා විසින් තෝරාගෙන තිබුනේ නෙවිල් ප්‍රනාන්දු  මහතා. නමුත් නිමල් මෙන්ඩිස් මහතාගේ ඉල්ලීමක් පරිදි 16 වියැති නීලා වික්‍රමසිංහ ගායනය සඳහා එක් වෙනවා. ඔවුන් විසින් කරන ලද මුල් ගායනාවේ නෙවිල් ප්‍රනාන්දුගේ හඬ ඉස්මතු වී තිබුණා.

විවිධ මුලාශ්‍ර වල සඳහන් පරිදි චිත්‍රපටයේ තැන් දෙකකදී ගීතය වරක් නෙවිල් ප්‍රනාන්දු විසින් සහ තවත් වරෙක නීලා වික්‍රමසිංහ විසින් දෙවිදිහකට ගායනා කරනවා. නෙවිල් ප්‍රනාන්දුගේ අභාවයෙන් පසුව නීලා වික්‍රමසිංහ විසින් ගයන ගීතය වඩාත් ජනප්‍රිය වුණා. නමුත් මෙම ගීතය තරම් විවිධ ස්වරූප වලින් ගැයූ තවත් ගීතයක් සොයාගැනීමටත් අපහසුයි. ගීතයේ ඉංග්‍රීසි රචනාව සැන්ඩ්‍ර එඩීමා (Sandra Edema) සහ නිමල් මෙන්ඩිස් විසින් ගායනා කරනවා.

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ 
අනේ සර් අනුකම්පා නොසිතේදෝ 

අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල්ගත වේදෝ
අනේ සර් අප මිතුරන් වෙයිදෝ 
එදා දවස උදාවේවිදෝ.... 

මට මතක් වෙනවා සුද්දා තැලු පෙල් හැටි 
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටි 
මාස්ටර් සර් මට හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල්ගත වේදෝ
අනේ සර් අප මිතුරන් වෙයිදෝ 
එදා දවස උදාවේවිදෝ....

ගායනය : නිලා වික්‍රමසිංහ
පද රචනය : කරුණාරත්න අබේසෙකර
සංගීතය : නිමල් මෙන්ඩිස් 
චිත්‍රපටය : කළු දිය දහර








No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...