Wednesday, September 30, 2020

ශිල්ප සොඳින් දැනගන්න ...

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ 

යහතින්දෝ කොළොම්පුරේ

ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට

නුඹ නැති හන්දා මං තනියේ //


හැන්දෑ අවරට දැක්කද නංගෝ

තුරුළු වෙලා ඉන්නා ජෝඩූ

රංචු මිසක තනියෙන්ම නොයන්නේ

ඒ නුවරට උඹ කිරිකෝඩූ


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ . . . . .


නාමල් සුවඳක් පෙරදා වාගේ

අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ

නාමල් සුවඳට බඹරු ඇදේදෝ

මගතොට නුඹ යනෙනා වාරේ


ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ 


ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - වසන්ත කුමාර කොබවක 

සංගීතය - වික්ටර් රත්නායක 


ශිල්ප සොඳින් ගීතය ලියවුනේ කෙසේද යන්න වසන්ත කුමාර කොබවක පැහැදිලි කරමින්....

මං ඔය කිව්ව ගමේ මතකය වගේම සරසවියේදී මං දකිනවා තවත් පේ‍්‍රම වෘතාන්ත. මගේ මිතුරෙක්, මිතුරු වෙනවා කලා පීඨයේ සොයුරියක් එක්ක. නමුත් අපි දැනගන්නවා ඇයගේ පෙම්වතා ගමේ ඉන්නේ කියලා. දෙන්නම කියන්නේ මේක මිතුරුකමක් කියලා. මිතුරුකමට එහා ගිය පේ‍්‍රමයක් දළුලන බව අපට පෙනුනා. ගමේ පෙම්වතා එනවා සමහර නිවාඩු දවස්වල ඇය හම්බවෙන්න. අර මගේ මිත‍්‍රයා බොහොම පරිස්සමින් තමයි කටයුතු කරන්නේ ගමේ පෙම්වතාට නොදැනෙන්න. නමුත් කාලයක් යද්දී මේ දෙන්න ගේ පේ‍්‍රමය දියුණුවෙලා අර ගමේ පේ‍්‍රමය නැතිවෙලා යනවා. ඔය සංසිද්ධිය තමයි ශිල්ප සොඳින් දැනගන්න ගිහිං ගීතයට ප‍්‍රස්තුත වුණ කාරණාව. 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා)





Tuesday, September 29, 2020

උන්මාදිනී හැන්ගුනා...

උන්මාදිනී හැන්ගුනා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


මල්මී සුගන්ධේ නැලැවී වෙලී

මල් වැල් ගොතන්නී වෘන්දා වනේ...

නිල් විල් තලාවේ කිමිදී මිදී

කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


ගෝපීලියන් හා යමුනා තෙරේ...

අවුදින් මුලා වූ රාධා මගේ...

වස්සානයේ ආ මේ කුළුවලින්

සන්තාපයේ ලා පොද වෑහුනේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


උන්මාදිනී හැංඟුණා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


පදරචනය - නිලාර් එම්. කාසිම් 

ගායනය - භාතිය හා සන්තුෂ් 

සංගීතය - භාතිය සන්තුෂ් 


ජනප‍්‍රිය ගායකයින් වන භාතිය සහ සංතුෂ් වරක් සඳහන් කරලා තිබුණා ඔබේ ගී පද රචනා නිසා ඔවුන්ගේ ගීතවලට සාහිත්‍යමය අගයක් එකතු කරන්න හැකියාවක් ලැබුණා කියලා? 

නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින් "මම ගීත රචනා කලාවේ යම් කිසි කාල පරිච්ඡේදයක් ගත කරලා, ඒ කියන්නේ මගේ ගීත ගණනාවක් සහෘදයෝ වැළඳගෙන ඉන්න කාල වකවානුවේ තරුණයෝ දෙන්නෙක් ආවා මාව මුණගැහෙන්න. ඇවිල්ලා කිව්වා මගෙත් එක්ක කතා කරන්න ඕන කියලා. ඒ තරුණයෝ දෙන්නා තමයි භාතිය සහ සංතුෂ්. එතකොට එයාල ගේ ”තාරුණ්‍යයේ” මුල්ම ගී එකතුව නිකුත් වෙලා. මම ඒ වෙද්දී විචාරයක් ලියලා තිබුණා ඒ සංයුක්ත තැටියේ අඩංගු ගීත දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා. ඒවායේ සාහිත්‍යයක් නෑ, ගීතමය ලක්ෂණ නෙමෙයි තියෙන්නේ කියන කාරණා ගැන මම බරපතළ විවේචනයක් ඉදිරිපත් කළා. හැබැයි මේ තරුණයෝ දෙන්නා අතිශය දක්ෂතාවලින් පිරිපුන් අය; ඔවුන් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා තමයි මම ඒ විචාරය ඉවර කළේ. ඔවුන් එය කියවලා තිබුණා. පසුව ඔවුන් මාව හම්බවෙලා දීර්ඝ කතා බහක අවසානයේ කිව්වා ‘අයියේ ඔයා කියපු දේ අපිට තියෙනවා, අපිට හොඳ පද රචනා ලැබෙනවා නම් කැමතියි, අපි අයියත් එක්ක වැඩ කරන්න කැමතියි’ කියලා. එදා ඒගොල්ලෝ මට පූර්ව තනුවක් දීලා කිව්වා අයියේ මේකට සිංදුවක් ලියන්න පුළුවන්ද කියලා. මං කිව්වා ගීතය පිළිබඳ මගේ ස්ථාවරයක් තියෙනවා, ඒ තැන ඉඳන් මම ලියන්නම්, ඕගොල්ලන්ගේ මුලින් ගීත එකතුව තියෙන මට්ටමේ නෙමෙයි හැබැයි, ඔයාලා ඒ ස්ථාවරයට එන්න එකඟයි නං අපි වැඩ කරමු කියලා. ඔවුන් ඊට නිහතමානීව එකඟ වුණා. ඒ තනුව ඇහෙනකොට මට යම් යම් කර්ණාටක සහ ඒ සංගීතමය නාද රටාවල තියෙන යම් යම් ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇහුණා. ඉතිං භාරතීය සමාජීය අත්දැකීමක් මේකෙන් ප‍්‍රකාශ වුණොත් හොඳයි කියලා තමයි මම ‘උන්මාදිනි හැංගුනා’ ගීතය ලිව්වේ. 

රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ගැන එවකටත් බොහෝ ගීත තිබුණා නේද? 

ඔව්. රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ආශ‍්‍රිතව ගීත ගණනාවක් ඒ වෙනකොට සිංහලෙන් ප‍්‍රකාශ වෙලා තිබුණා. හැබැයි ඒ බොහෝ ගීත රාධා විසින් ක‍්‍රිෂ්ණා ආමන්ත‍්‍රණය කරන ගීත. මේකේ තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ක‍්‍රිෂ්ණා රාධාට ආමන්ත‍්‍රණය කරනවා. ඒකෙදි මම ලියපු වචන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මෙතෙක් ගායනා කරපු භාෂාව නෙවෙයි. පැරණි සාහිත්‍ය තුළ එන යෙදුම් එක්ක තමයි ගීත ගෝවින්දයේ ආභාසයෙන් මේක ලිව්වේ. ගීතය ලිව්වට පසු එක වචනයක් පිළිබඳවත් ඒගොල්ලෝ කිසිම ප‍්‍රශ්නාර්ථයක් මතු කළේ නැහැ. ඉතාම කැමැත්තෙන් ගායනා කළා. ඒ ගීතය අතිශයින්ම ජන ප‍්‍රසාදයට පත්වුණා. ඒ වෙනකොට ඔවුන්ට ලොකු දෝෂාරෝපණයක් එල්ල වෙලා තිබුණා සිරි සඟ බෝධි මාළිගාවේදී කියන නූර්ති ගීතය රැුප් කරලා ගායනා කිරීම පිළිබඳ. හැබැයි මේ සියල්ලම යටපත් වෙලා මේ ගීතය එක්ක භාතියලා අලූත් පේ‍්‍රක්ෂක පිරිසක් දිනා ගත්තා. ගීතය ජනප‍්‍රිය වෙනවත් එක්කම දෝෂ දර්ශනයට ලක් වෙනවා වෙනුවට ඔවුන්ට ආශීර්වාද කරන්න පටන් ගත්තා. මේ ගීතයෙන් පස්සේ භාතිය සහ සංතුෂ් මාත් එක්ක බොහෝ නිර්මාණවලට එළඹෙනවා. චාන්දනී පායලා, කිරි කෝඩු හිතට, හිත නාඹර තාලෙට, යාල් පනමේ පිපිච්ච, දේදුන්න සේදී, මීදුම උතුරන, මීදුමෙන් වැසී, වලාකුල් වියන් තනාලා වැනි චිත‍්‍රපට ගීත සහ වෙනත් ගීත රාශියක් මාත් එක්ක කරන්න පටන් ගත්තා. ඒ තුළ ඔවුන්ගේ ගමන් මගට සාහිත්‍යමය වටිනාකමක් මගෙන් එකතු වුණා කියන එක ඔවුන් ඉතාම නිර්ලෝභීව සහ නිහතමානීව අදටත් ප‍්‍රකාශ කරනවා. මම පුද්ගලිකව සතුටු වෙනවා විශාල රසික පරම්පරාවක් ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් බලවේගයක් වෙච්ච භාතිය සහ සන්තුෂ්ගේ කට හඬට මගේ වචන වලින් සාහිත්‍යමය අගයක් ලබා දෙන්න හැකිවීම ගැන. උන්මාදිනි හැංගුනා ගීතයේ පටන් ඔවුන් සහ මා අතර එදා ඒ ඇතිවෙච්ච සබැඳියාව මේ දක්වා අතිශය සහෝදරාත්මකව සහ ලෙන්ගතුව පවතිනවා. අපි අදටත් එකට වැඩ කරනවා. නිර්මාණකරණයේ යෙදෙනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)









වියෝ වූ පසුවයි ...

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්..

හැඩූදා කඳුලයි දකින්නේ

සිනාවේ සරදම්...//


ඉවුරු දෑලේ හිද බැලූ විට

ගඟ හැඩයි කදිමයි..

දියට වන් විට එවන් ගගුලම

බිහිසුනුයි චණ්ඩයි..


වියෝ වූ පසුවයි...


හඳක් නැති දා අහස් තලයට

තරුව දෙයි සැනසුම්..

පුන් පොහෝදා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්..


වියෝ වූ පසුවයි...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බන්දුල නානායක්කාරවසම්

සංගීතය - රෝහණ වීරසිංහ


"වියෝ වූ පසුවයි" ගීතයට සම්බන්ධ පසුබිම බන්දුල නානායක්කාරවසම් මහතා විස්තර කරමින්..

මම රිච්මන්ඩ් එකේ අවුරුදු එකොළහමාරක් ඉඳලා අවුරුදු එක හමාරක් මට දික්වැල්ලේ විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න වුණා. ඒක මගේ විශාල ජීවිත පරිවර්තනයක් වුණා. විජිතේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක වෙනකං මං ආවා ඉතා කෙටි කලකින්. ලංකාවේ ප‍්‍රථමයා වුණා රචනා තරගවල. සාහිත්‍ය තරගවල. විජිතේ පුදුම සමගියක් තිබුණා. හැබැයි වියෝ වූ පසුවයි කියන්නේ මගේ අත්දැකීමකට වැඩිය අද ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, විජිතෙට ගියාම මට හම්බවුණ රැග් එකෙන් මාව බේරගත්ත මගේ මිතුරකු ගේ අත්දැකීමක්.

මගේ ඒ මිත‍්‍රයාගේ විශාල පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා පන්තියේ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යාව එක්ක. ඒ පේ‍්‍රමය කොච්චර ද කියනවා නං මගේ යාළුවා රස්සාවකට ගියා උසස් පෙළ අතහැරලා දාලා ඈ වෙනුවෙන්. ඈට උගන්වන්න. නමුත් ඇය ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේදී මගේ මිතුරාට කියනවා තවත් විශ්වවිද්‍යාලයට එන්න එපා ඇයව බලන්න කියලා. ඒක මහ විශාල කම්පනයක්. දවසක් ඔහු ගාල්ලේ අපේ ගෙදරට ආවා. මට නිකං දැනුනේ ඔහු ජීවිතේ නැතිකරගන්න හදන තත්ත්වෙක හිටියා කියලා. එතකොට මං අපේ ගෙදර පිටිපස්සේ කුඹුරු යායකට මුහුණලා මිදුලේ පුටුවක් තියාගෙන ලිය ලිය හිටියේ. එතකොට සිකුරු තරුව පායාලා තිබුණා මගේ මිතුරා මේ කතාව කියද්දී. අම්මා තේ, හකුරු ගෙනාවා. මේ සිකුරු තරුව අහසට හඳ ආවම පේන්නේ නෑ. මගේ මිත‍්‍රයට වුණෙත් ඒකයි. මගේ මිත‍්‍රයාගේ දරා ගත නොහැකි පේ‍්‍රම සම්බන්ධය තමයි වියෝ වූ පසුවයි ගීතයට ප‍්‍රස්තුතය වුණේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




සඳ දිය දෙවුන සේ ...

සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...

නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...

හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...


නෑබුල් පැතුම් අහසට නැග රහසේම...

දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...

දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..


ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..

සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..

මට අත වනාපන් නළියන නළ සේම..


ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස් / මාලිනී බුලත්සිංහල 

පදරචනය - නිලාර් එම්. කාසිම්

සංගීතය - සමන්ත පෙරේරා 

”සඳ දිය දෙව්න සේ සිනහව පිපුනාම” ඔබේ මුල් යුගයේ රචනා වූ අදටත් ජනතා ආදරයට පාත‍්‍ර වූ ගීතයක්? නිලාර් එම්. කාසිම් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්....... 

විහඟ ගීතය ලියපු කාල පරිච්ඡේදයේදි තමයි මේ ගීතයත් ලියවෙන්නේ. අසංග ප‍්‍රියමන්ත ගේ ගී එකතුවකට මේ ගීතය සහ පැහැසර අරුණක කියන ගීත ද්විත්වයම එකවර තමයි ලබා දෙන්නේ. 

මම සාමාන්‍ය මුස්ලිම් සමාජයෙන් එන කෙනෙක්. නමුත් සිංහල සමාජය හෝ සිංහල සංස්කෘතිය කවදාවත් මට ආගන්තුක වුණේ නැහැ. කවදාවත් මගේ හිතේ ජාතිවාදය හෝ ආගම් වාදය හෝ ඒ ගෝත‍්‍රවාදී හැඟීම් තිබුණේ නැහැ. එවන් ඕනෑම ආකාරයක අන්තවාදයක් පිළිබඳ මා තුළ තියෙන්නේ පිළිකුල් සහගත විරෝධයක්. එතකොට මම මේ ගීතය තුළ මතු කරන්නේ ජාති කුල ආගම් පටු මතවාද දෑ කුල සිරිත් අභියෝගයක් වුණා කියලා හුදෙක් අඬා වැලපිලා ඒ හමුවේ පරාජය වීම විතරක්ද පේ‍්‍රමයකට කරන්න තියෙන්නේ. පේ‍්‍රමය ඊට වඩා උත්කෘෂ්ට වෙන්නේ නැද්ද කියන කාරණාව. මේ ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ සමන්ත පෙරේරා. ඒ කාලේ ඔහුත් ආධුනිකයි. මමත් ආධුනිකයි. නමුත් ආධුනික නිර්මාණ ශිල්පීන් විදිහට අපි එකතුවෙලා කරපු ඒ නිර්මාණ කටයුත්ත අතිශය සාර්ථකත්වයට පත්වුණා. මාලිනී බුලත්සිංහල සහ අසංග ප‍්‍රියමන්ත පීරිස් ගේ කට හඬින් ඒක ජීවමාන වීම තුළ මං හිතන්නේ අදටත් එදා වගේම මේ ගීතය ජනප‍්‍රියයි.


(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)




Wednesday, September 23, 2020

හිම ‍රේණු වැටෙනා ...

හිම ‍රේණු වැටෙනා සීතලේ

නෙත ගාව රඳවා ආදරේ

සුදු සේල සුළ‍ඟේ පා කළේ

ඔබ නේද මාගේ බිසෝ


රන් තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්ඳු මාළිගේ

රතු රෝස යහනා සෑ‍දුවේ

මට නේද මගෙ මල් සරෝ


මධු පානයක් සේ වෑහිලා

යනවා ද දෙතොලේ ගෑවිලා

මනමාලයන්ගේ චේතනා

නොකියා ද පාලා සිනා


හිම රේණු වැටෙනා සීතලේ

නෙත ගාව රඳවා ආදරේ

සුදු සේල සුළ‍ඟේ පා කළේ

ඔබ නේද මාගේ බිසෝ


රන් තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්ඳු මාළිගේ

රතු රෝස යහනා සෑ‍දුවේ

මට නේද මගෙ මල් සරෝ


මුතු මාලයක් සේ යාවුණේ

අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ

මනමාලියන්ගේ චේතනා

පවසාවි දෑසේ ලතා


රන් තෝඩු සැලෙනා රාවයේ

සිත ගාව බැන්ඳු මාළිගේ

රතු රෝස යහනා සෑ‍දුවේ

මට නේද මගෙ මල් සරෝ


හිම රේණු වැටෙනා සීතලේ

නෙත ගාව රඳවා ආදරේ

සුදු සේල සුළ‍ඟේ පා කළේ

ඔබ නේද මාගේ බිසෝ


ගයනය - ග්‍රේෂන් ආනන්ද සමග ලතා වල්පොල

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

තනුව හා සංගීතය - සරත් දසනායක

"ආත්මා" චිත්‍රපටියෙන්

”හිම රේණු වැටෙනා සීතලේ” ගීතය බිහිවීම පිළිබඳව එහි පදරචනය කළ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අදහස් දක්වමින්....

සරත්ගේ දසනායකයන් සංගීතය සැපයූ "ආත්මා" චිත‍්‍රපටයට ගේ‍්‍රෂන් ආනන්ද සමග ලතා වල්පොල මහත්මිය ගීතය ගායනා කළේ. සරත් දසනායකයන් මං මේ සිංදුව ලියන වෙලාවේ මට කිව්වා "මචං කෙල්ලෙක්ගෙ කනේ තියෙන තෝඩුවකට නිය පිටින් පහරක් ගැහුවොත් සද්දයක් ඇති වෙනවනේ, අන්න ඒක ඔලූවේ තියාගෙන මේක ලියපන්, මෙන්න මේ ටියුන් එක ඇතුලේ" කියලා. එහෙම තමයි ඒක ලිව්වේ. අනිත් එක පෙම්වතා සහ පෙම්වතිය දෙන්නා කසාද බැඳලා මධු සමයට යන අතරමග පසුබිමින් තමයි මේක අහන්නේ කියලා.

ඔය සිංදුව පටිගත කරපු දවසේ ලතා අක්කාට සරත් දසනායකයන් කිව්වා ලතා අක්කා එච්චර කෙල්ල වෙන්න ඕන නෑ කියලා. එහෙම කිව්වේ ලතා අක්කා ඒ තරම් හොඳට ගායනා කළ නිසා. මර්වින් පෙරේරා ගේ‍්‍රෂන්ට කිව්වේ සරත් දසනායකගේ කැලෑ මල කියලා. ගේ‍්‍රෂන්ව ගායකයෙක් ලෙස ඉස්සරහට ගත්තේ සරත් දසනායකයන් නිසා.


(උපුටා ගැනීමකි)




Tuesday, September 22, 2020

පියමං කෙරුවෙමු ...

පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්….

පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……

දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..//


නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි…….

කෝල හැගුම් කෙළි කවට සිනාවයි…..//

මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි……

මගේ දෑස තුල යළිත් ඇදේවිද……..//


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්…..

පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද……//

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……

දෙපා වාරු නැත ඔබ හැර යන්නට…….//


නෙත කදුළින් හසකැනින් මුවා කල…..

සොදුරු පැතුම් පුරවා මන මත් කල…..//

මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි…..

මා හැදු පාසල් මවුනි දයාදර……//


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්……

පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……..

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු…….

දෙපා වාරු නැත ඔබ හැර යන්නට……//


ගායනය - සෝමතිලක ජයමහ, නීලා වික්‍රමසිංහ, සමිතා මුදුන්කොටුව   

පදරචනය - සෝමතිලක ජයමහ  

සංගීතය - සෝමතිලක ජයමහ  

මෙම ගීතයට පසුබිම සෝමතිලක ජයමහ මහතා විස්තර කරමින් "මා ඉතාමත් සරල සංසිද්ධීන් ගීතය සඳහා භාවිත කළා. ඔබට දැනෙන්නේ මේ සරලකම මත රචනා වීම නිසා විය යුතුයි."

මා පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක්. මගේ කාර්යාලයේ ඇතැම් නිලධාරීන් පාසල් ළමුන්ගේ විභාග කටයුතු සඳහා රාජකාරියේ යෙදෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ විභාග කටයුතු වලට ගිය නිලධාරියෙක් මට ඇවිත් කිව්වා විභාගයේ අන්තිම දවසේ ළමයෙක් පන්තියේ කළු ලෑල්ලේ මේ වදන් පෙළ ලියලා තිබුණා කියලා.

මොකක්ද ඒ වදන් පෙළ

දෙපා වාරු නැත ඔබ හැර යන්නට’

මේ වචන පෙළ ඔබ තුළ කම්පනයක් ඇති කළා?

කම්පනයක් ඇති කළා ද කියන්නෙ! පාසල් එන අන්තිම දවසේ පාසලෙන් සදහටම නික්මෙන්න තිබෙන අන්තිම නිමේෂයේ මේ දරුවා තුළ ඇතිවුණ සංවේදනාව. පාසල් ගිය සෑම කෙනෙක් තුළම හට ගන්නක් නොවෙයිද?

ඔබ මේ සංවේදනාව ගීතයක් බවට පත් කරනවා?

ඔව්! පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්... ගීතය බිහිවන්නේ එදා ඒ වචන පෙළින් මා තුළ ඇති කළ කම්පනයයි.






Monday, September 21, 2020

ගහ කොළ මල් ...

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ

අසා සිටිනවා

අපේ පෙම් පිළිසඳරේ

රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා

අපේ පෙම් පිළිසඳරේ

රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ

රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ

රැයේ අඳුරේ ඒ මීවිත මටයි

එවිට ඔබට කතා නෑ – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ

සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ

ඹබේ සෙවනේ මා ගී හඬ ගොළුයි

මුවට වදන් මතක නෑ – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ

අසා සිටිනවා

අපේ පෙම් පිළිසඳරේ

රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ .////


ගී පද : මහාචාර්‍ය සුනිල් ආරියරත්න

සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක

ගායනය : වික්ටර් රත්නායක සමඟ ලතා වල්පොල

චිත්‍රපටය : ශ්‍රී මධාරා

තිරගත වූ දිනය : 1977 මාර්තු 18

ඉදිරිපත් කිරීම : ශ්‍රී ගනේෂ නවෝ ෆිල්ම්ස් නිෂ්පාදනය -- දයානන්ද වන්නිආරච්චි, ආර්. එන්. බී. විජේරත්න මහත්මිය කතාව තිරනාටකය, දෙබස් සහ අධ්‍යක්‍ෂණය : සතිස්චන්ද්‍ර එදිරිසිංහ

රංගනය : ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හා ශ්‍රියානි පෙරේරා 

ගහ කොළ මල් කඳු වැටි මෙම රස වෑහෙන පෙම් පිළිසඳර අසාගෙන ඉන්නේ. මේ සොබා සෞන්දර්යය පමණක්  තමන් දෙස හොරැහින් බලාගෙන ඉන්න බව පෙම්වතුන් දන්නවා. තමන්ගෙ පෙම් පිළිසඳර අහන්න සොබා දහමත් අකමැති හැඩයි. එනිසා ස්වභාවධර්මය මුවින් අදහස් හුවමාරු කිරීම නවතා ඇස් වලින් කථා කරන්න අදහස් කරනවා. 

රන් දුණුකේ මල් මුවරද

දෙතොල් විතේ රැඳී දිලේ

රැයේ අඳුරේ ඒ මීවිත මටයි

එවිට ඔබට කතා නෑ - රහසේ

දෑස්වලින් කථා කරමු

දෑස් වලින් රහසේ 

දෑස්වලින් පමණක් කථාබස් කරමින් ආදරෙන් බැ‍ඳෙන්නේ සීගිරි අප්සරාවන් වගේ. 

සීගිරියේ පෙම් සිරිසර

නිසල ලෙසින් ගල් අරඹේ

ඔබේ සෙවනේ මා ගී හඞ ගොළුයි

මුවට වදන් මකත නෑ රහසේ

දෑස්වලින් කථා කරමු

දෑස්වලින් රහසේ 

සීගිරි අප්සරාවන් කතා කරමින් පෙම් කරයිද? සිගිරි පර්වතයේ ඔවුන් ගොළුයි. අන්න ඒ වගේ මේ පෙම්වතුන් දෙදෙනාත් එකිනෙකා ළඟ ගොළුයි. නිහඬව කතාකරන ඇස්වලින් ඔවුන් අදහස් ප්‍රකාශ කරමින් පෙම් කරනවා. ගීතය තුල ඉතාමත් රමණීය ලෙස මෙම පෙම් පිපිළිසඳර කියාපාන්නට රචකයා කටයුතු කර ඇත. 

(උපුටා ගැනීමකි)





පරසිදු කරලියැද්ද ...

පරසිදු කරලියැද්ද

දුව කිරුළිස පැළැන්ද

කුසුමාසන දේවිය

දෝන කතිරිනා

දිග නම් ගම් මොකටද

සිංහාසන කුමටද

සෙන්කඩගල ඇගෙ

රජ මැදුර සමානා//


කපිතන් දියෝගුගෙන්

දැන කඩු ශිල්ප හටන්

කොන්තය ගෙලේ බැන්ද

පරංගි වාඩියේ


කොණප්පු බණ්ඩාරට

පූජා කල ප්‍රේමය

මිහිරිම හීනයක්ද

වසන්ත කාලේ


පරසිදු කරලියද්ද...


වාහල ඉලංගමට

ගිය දා දන්තුරේට

අස් පන්තියේ හරඹ

දෑහින් දැකලා


දළුලන වසන්තයට

රොන්සුනු පුරාලයට

අළුත්ම මලක් වෙලා

පිපෙන්න හිතිලා


පරසිදු කරලියද්ද...


ගායනය - සිහශක්ති

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය - ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති


මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ මියුරුසර සංගීත වැඩසටහනේ "වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය" වෙනුවෙන් නිර්මාණය වූවකි.


සිංහලේ අන්තිම රැජින දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවීට එම උරුමය ආවේ තම පියාවන කරලියද්දේ බණ්ඩාර රජුගෙනි. එතුමා සීතාවක රාජසිංහ රජුට බියේ පෘතුගිසීන්ගෙන් උදව් ලබාගැනීම සඳහා රජ පවුලම කතෝලික ආගම වැළඳ ගත්තේ කුසුමාසන කුමරිය ළදරු අවස්ථාවේදීමය. අභීත රණකාමියකු වූ සීතාවක රජුගෙන් ආධාර ලැබුණු වීරසුන්දර බණ්ඩාර, කරලියද්දේ රජුට විරුද්ධව කැරලි ගැසුවේ තම පුතා කොනප්පු බණ්ඩාර හා උඩරට වැසියන් සමගය. වීරසුන්දරගෙන් ගැළවීමට බැරිව අවසානයේ කරලියද්දේ රජුට, සිය පවුල සමගම ත‍්‍රිකුණාමලයට පැන යෑමට සිදුවේ. එහිදී රජුත්, දේවියත් අකල් මරණයකට පත්වූයේ වසූරිය වසංගතය නිසාය. තුන් හැවිරිදි කුඩා කුමරියත්, රජුගේ බෑණනුවන් වන යමසිංහ බණ්ඩාරවත් මන්නාරම පෘතුගීසි බළකොටුව වෙත ගෙන යනු ලැබිණි. යන්තම් තරුණවියට එළැඹෙන තෙක් මෙහි සිටි කුමරිය පෘතුගීසි රජ කුමරියක සේ අධ්‍යාපනය ලැබුවාය. පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ දෝන කතිරිනාව පෘතුගීසි සෙනවියකුට විවාහ කර දී, කෝට්ටේ සිටින තම සිංහල රූකඩ පාලකයා වන දොන් ජුවන් ධර්මපාල සේ ඇයව කන්දේ රාජ්‍යයේ තබා ගැනීමටය. 

ආක‍්‍රමණකාරී පෘතුගීසි හමුදාවට දෙවැනි වරට පාඩමක් කියා දුන්නේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර දන්තුරේ සටනේදීය. ඉන් අනතුරුව සිංහාසනයට උරුම කිවූ දෝන කතිරිනා නොහොත් කුසුමාසනාදේවීව බලෙන්ම සරණ පාවා ගෙන 1 වැනි විමලධර්මසූරිය නමින් රජ විය. 

මේ රාජකීය දෙපළගේ ඊළඟ ප‍්‍රධාන කටයුත්ත වූයේ අනාරක්ෂිතව තිබූ දළදා වහන්සේ නුවරට වැඩම වීමයි. ඒ අනුව රජ වාසල අසලින්ම දළදා මාලිගය ඉදි කෙරුණි. එහි ඇති අදටත් බොහෝ සෙයින් වැඳුම් ලබන මැණික් පිළිම වහන්සේ පූජා කෙරුණේ දේවිය අතිනි. එය දේවියගේ ඥාතීන් විසින් සාදවන ලද්දකි. 

රජ වාසල සිටි සෙනරත් නමැති උපවැදි වූ රජුගේ ඥාති සොහොයුරාත්, ඒකනායක මුදලිත්, ඔවුනගේ සහචරයනුත්, විශේෂයෙන් දෙවනගල නායක හිමිගේ අකැමැත්ත නිසාත් දේවිය දැඩි ආතතියකට පත්වූවාය. තම දේවියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගත් රජු කෑගල්ලේ වැලිමන්නන්තොට එතුමිය උදෙසා මාලිගයක් තැනවීය. එය සතර කෝරලයටම ඇති එකම මාලිගයයි. 

රජුගේ අභාවයෙන් පසු අකැමැත්තෙන් වුවද එතුමියට සිදු වූවේ තමා පිළිකුල් කරනා තැනැත්තා, එනම් විමලධර්මසූරිය රජුගේ පුංචි අම්මාගේ පුතා වන උපැවිදි වී සිටි සෙනරත් සමගම විවාහ වීමටය. 

විමලධර්මසූරිය රජු මියගියේ ලන්දේසීන් හමුවී එන අතරය. ලන්දේසීන් විසින් කුසුමාසන දේවිය සම්බන්ධයෙන් කරනා ලද නොහොබිනා විහිළුවක් නිසා ඇතිවූ විරෝධයකදී රජුගේ පිරිස අතින් ලන්දේසීන් කපිතාන්වරයෙක් මිය ගියේය. ඇත්තටම රජුගේ දේවිය සම්බන්ධයෙන් එවැනි දෙයක් කීමට කපිතාන්වරයාට හයියක් ආවේ අපගේ එකෙකුගේ ඉගැන්වීම් බසකටද? ඇත්තටම එය කුමන්ත‍්‍රණයක්ද? එහි පිටුපස සිටියේ සෙනරත්ද? ඔහු කුසුමාසන දේවිය බලහත්කාරයෙන් විවාහ කරගැනීමෙන්ම සහ රාජ්‍ය විචාරය තම අතට ගැනීමෙන් එය සනාථ නොවන්නේද? එතෙක් දවස් දේවිය විසින් රාජ්‍ය විචාරමින් සිටියාය. එහෙත් වරක් ඔහු ලන්දේසී රාජ්‍යයට දන්වා ඇරියේ විමලධර්මසූරිය රජුගේ දරුවන් කුඩා නිසා නිසි වයස් එළැඹෙන තෙක් රාජ්‍ය විචාරන බවය. 

 

විමලධර්මසූරිය රජුට දාව තමන් වැදු වැඩිමහල් පුතු, මහා අස්ථාන කුමරුන් ගැනද කුසුමාසන දේවිය පසුවූයේ බියෙනි. එයට හේතුව සෙනරත් රජු නිතර කුඩා කුමරුගේ ක‍්‍රියාවන් විවේචනය කිරීමයි. කුමරුගේ විනෝදාංශයක් වූයේ කොණ්ඩ කුරුල්ලන් කෙටවීමයි. කෙසේ හෝ ඔටුන්න හිමි කුමරු සියල්ලම දැන සිටිය යුතු බව පවසමින්, සෙනරත් රජු කුමරුවා මහියංගණය රජවාසලට ගෙනයන ලද්දේ පිහිනුම් ආදිය ඉගැන්වීමටය. එතුමිය සිතු සේම සෙනරත් රහසින් එතුමියගේ වැඩිමහල් පුතු මරා දැම්මේ පළමුව විෂ අඹයක් කන්නට දී දෙවනුව මහවැලි ගඟට නාන්නට ඇරීමෙනි. මේ අඹ ගෙඩිය දෙවුනේ කුඩාකල සිටම කුමරුන් බලාකියා ගත් ස්ත‍්‍රිය අතිනි. කුමරුගේ සම වයසේ සිටි සේවක කොලූවෙක්ද මේ සමග මරා දමන්නට සිදුවූයේ මේ අඹ ගෙඩියේ රහස එළි වූ හෙයිනි.  

සියලූ දෝෂවලින් මිදීමට ඉතා උත්කර්ෂවත් අවමඟුල් පෙරහැරක් පවත්වා කුමරුන් ආදාහනය කරවන ලදී. මේ වනවිට කුසුමාසන දේවිය සෙනරත්ව තදින් පිළිකුල් කරමින් සිටියාය. එයට හේතුව මේ වන විටත් දේවියගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනා වන සූර්ය අදසින් හා අන්තන් අදසින්ව ද සෙනරත් අතින් අපයෝජනයට ලක්වී තිබීමයි. මේ කුමරියන් දෙදෙනා සදහටම අවිවාහකව තැබීමටයි සෙනරත්ට අවශ්‍ය වූයේ. තමන් අපයෝජනයට ලක්වන බව නොදැනීම දියණියන් දෙදෙනා සෙනරත්ට හිතවත් වූහ. 

ඒ නිසාම රජ බිසව කලකිරී දියණියන්ද, සෙංකඩගල මාලිගයද අත්හැර වැලිමන්තොටට ගියේ තම වැඩිමහල් පුතුගේ අළු බඳුනද රැගෙනය. මේ වන විට එතුමිය තම බාල පුතු ගැබ් දරා සිටියාය. 

ඉතින් සිංහලේ සිටි බලවත්ම පාපතරයා අතින් අසාධාරණයට පත් වූ සිංහලේ කඳුළු බිංදුව නමින් ප‍්‍රකට අසරණ කුසුමාසන දේවිය තම බාලම පුත් 2 වැනි රාජසිංහට උපත ලබා දී බලවත් වූ මානසික අවපීඩනය නිසා අවු. 36 ක් පමණ වයසේදී ජීවිතයෙන් සමුගත්තීය. තමා ජීවත්වීමට වඩාත් ප‍්‍රිය කළ වැලිමන්නන්තොට මාලිගා භූමියේම එතුමිය භූමදාන කරන ලදී. තමාව වැඩියෙන්ම අසාධාරණයට ලක් කළේ බෞද්ධයන් බව ඇය ඒ වනවිට හොඳින් තේරුම්ගෙන සිටියාය. ඒ නිසාම නැවත ඇය හොඳ කිතුනු බැතිමතියක් වූවාය. හිතවත් කුරුවිට රාලගෙන් එතුමිය අවසන් ඉල්ලීමක් කළාය. තමාට සමාදානයේ සැතපෙන්නට අවශ්‍ය නිසා ඇයව භූමදානය කරන ලෙසත්, එසේ කරන විට, තමා මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ වස්තූන් 3 ම තමා අසලින් තබන ලෙසත්ය. ඒවා නම් තම පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලයයි. 

(දෝන කතිරිනාගේ කතාව උපුටා ගැනීම - තිලකා රන්දෙනි/දිවයින)





Thursday, September 17, 2020

පෙම්බර කුමරාණ ...

පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


කල්පය ගතවේවී

පෙම් සිළ වියැකේවී ...//

යෞවනයට රොන් පූදින පිනිමල් වැස්සේ

සංකාවට කවුළු හරින සුසුමද පවනේ

ළඟ දැවටෙන්නේ

සිත බිය වෙන්නේ


පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


ගං දිය නොසැලේවී

කෙවිලිය නොගයාවී ...//

තුන් හිත ළඟ මන්දාරම් අඳුර ගලන්නේ

ඔබ නැති යාමේ

රෑ තනි යානේ


පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

පද රචනය - වසන්ත කුමාර කොබවක

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


දශක ගණනාවක් පුරා, පරම්පරා කිහිපයක ජනප‍්‍රියත්වය එක ලෙස රැඳී ගීත ගණනාවක් රචනා කළ වසන්ත කුමාර කොබවක මෙම ගීතයට පසුබිම් වූ හේතුව විස්තර කරමින්.

අතිශය පෞද්ගලික මගේ කුටුම්බ ජීවිතය සම්බන්ධ සිදුවීමක් තමයි දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් ගායනා කරන පෙම්බර කුමරාන ගීතයට ප‍්‍රස්තුත වුණේ. මම ඒ කාලේ මගේ තුන්වෙනි වෘත්තිය විදිහට තෝරාගන්නවා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නිලධාරී තනතුර. ඉතිං බේරුවල ප‍්‍රදේශයේ මුහුද අයිනේ තියෙනවා රේගු නිවාරණ කාර්යාලයක්, ඒකට මාව අනුයුක්ත වෙනවා. එතකොට මගේ වැඩිමල් පුතා ඉපදුන අලූතමයි. ඔහු කිරිකැටියෙක්. අනිත් එක අපි අපේ අලූත් නිවස හදාගෙන යන කාලේ. ඉතිං මගේ බිරිඳයි දරුවයි තනි කරලා මට එහෙ ගිහිං රැකියාව කරන්න වුණා. දවල් දවසේ අනිත් සේවා මඬුල්ල එක්ක රාජකාරි කරන වෙලාවේදී ඒ තරං තනියක් දැනෙන්න නැහැ. නමුත් හැන්දෑ උනාට පස්සේ හුඟක් වෙලාවට සිහිවෙනවා දරුවා අඬනවා ඇත්ද, සියලූම දේවල් තනියෙන් කරගෙන මගේ බිරිඳ කොහොම ඉන්නවා ඇත්ද, කියලා. අපි නව නිවස තනන්න පටන් ගත්ත ස්ථානයත් හරි පාලූ තැනක්. කුඹුරක් අයිනේ. කැලෑව ඈතින්. ඉතිං තාරුණ්‍යයේ සිටින බිරිඳකට ඒක දරාගන්න පුළුවන් දෙයක්ද දන්නේ නැහැ. දැන් වගේ ජංගම දුරකථන තිබුණෙත් නැහැ. හරි තනිකමක් දැනෙනවා. එතකොට කාර්යාලයේ මගේ නිවහන තියෙන්නේ ඉහළ මාලයේ. එතන ඉඳන් මුහුද දිහා බැලූවහම මට මුහුදු රැල්ලත් එක්ක හඳ එළියේ පිළිබිඹුව මැකිලා යනවා. අන්ධකාර වෙනවා. ආයේ එළිය එනවා. මං ඉතිං ? වෙනකං සඳලූ තලයේ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මුහුදේ ඝෝෂාවයි. හඳ එළියයි. ඉතිං ගෙදරදී හඳ හොඳට පැහැදිලි දවසට අපි පොඩි පුතාවත් වඩාගෙන හඳ පෙන්න පෙන්න කියන කතා මට මතක් වුණා. මෙතනදී හඳ එනවා යනවා, නිකං මගේ ගෙදරින් මාව අමතනවා වගේ. නිදා ගන්න ගියත් නිදිමතක් එන්නෙත් නෑ. පස්සේ මං කොලයක් අරං මොකක් හෝ කුරුටු ගානවා කියලා හිතං ලියනකොට මේ පද ටික ලියවුණා. ”පෙම්බර කුමරාන, නුඹ නැති සඳ පාන, මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවි” කියලා.

නමුත් මේ ඇගේ කතාව නේද?

ඇත්තටම ගීතයේ මුල් ටික ලියලා බැලූවහම මගේ අත්දැකීම බිරිඳට ආරෝපණය වෙලා පෙම්වතියක ලියන ආකාරයෙන් තමයි ගීතය ලියවුණේ. ඊට පස්සේ මං නින්දට ගියා. පහුවෙනිදා උදේ පහට විතර ඇහැරෙන කොටත් මුහුදේ රළ ඝෝෂාව ඇහෙනවා. හඳ බැහැලා ගිහිල්ලත් නෑ. මං ආයෙත් විදුලි ලාම්පු පත්තු කරගෙන අර ලියපු සිංදුව කල්පනා කර කර ඉන්නකොට ඉතුරු පද ටික ලියවුණා. ඇත්තටම බිරිඳක විසින් සිතන ආකාරයට එහා ගිය පෙම්වතියක්, හුදකලාව ඉන්න ආකාරයට තමයි ගීතය නිර්මාණය වෙලා තිබුණේ. එවක දීපිකා ළාබාල ගායිකාවක්. පසුව ඇයගෙන් ගීත සමුච්චයක් සඳහා ගීතයක් ලියන්නට මට ඇරයුම් ලැබෙනවා. එතකොට මට වහාම හිතුනා මේ ගීතය දීපිකාට දිය යුතුයි කියලා. හුදකලා තරුණියකගේ මනෝ භාවයන් හොඳන් උද්දීපනය වන ආකාරයෙන් රෝහණ සංගීතය නිර්මාණය කළා. දැන් දශක තුනකටත් වැඩියි. නමුත් මං හිතන්නේ යෞවනියන් අතර සහ සුභාවිත ගීතය ඇසුරු කරන සියලූ දෙන අතරම මෙය ජනප‍්‍රිය ගීතයක්. ඒ වගේම පෞද්ගලිකව මම සහ මගේ බිරිඳ වඩා ප‍්‍රිය කරන ගීතයක් මේක. මොකද අපේ මුල් කාලයේ අත්දැකීමක් ඇසුරින් ලියවෙච්ච ගීතයක් නිසා.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)







Wednesday, September 16, 2020

විහඟ ගීතය ...

විහඟ ගීතය නිහඬ ඇයි

කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර

ඈත කුටියක සිරවෙලා

විහඟ ගීතය

නිහඬ සුසුමක නැවතිලා


ලදළු මැලවී තුරු ලතා තැති ගැනී

සිරස සරසන මලක්වත් නැහැ පිපී

අඳුර රජවී අනේ දුනු හි ඇනී

නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී


විහඟ ගීතය නිහඬ ඇයි

කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර

ඈත කුටියක සිරවෙලා

විහඟ ගීතය

නිහඬ සුසුමක නැවතිලා


කඳුළු වගුරා පහුරුගා දෙස් තියා

ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා

පියාඹන්නට නාද දී නිදහසේ

විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ


විහඟ ගීතය නිහඬ ඇයි

කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර

ඈත කුටියක සිරවෙලා

විහඟ ගීතය

නිහඬ සුසුමක නැවතිලා


ගායනය - අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල

පද රචනය - නිලාර් එන්. කාසිම්

තනුව - එච්.එම්. ජයවර්ධන

එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල ගයන ”විහඟ ගීතය නිහඬ ඇයි” ගී පදරචනය පිළිබඳව නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින්... 

මගේ ගම මාතර. මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ. අපි උසස් පෙළ කරන අවධිය වෙනකොට, විශේෂයෙන්ම 88, 89 කාලේ දරුණු භීෂණයක් රටේ තිබුණා. දකුණේ ඒ භීෂණය වඩාත් උග‍්‍ර විදිහට තිබුණා. අපි තාරුණ්‍යයට එළඹෙනවාත් එක්කම මෙන්න මේ භීෂණයත් එක්ක ගනුදෙනු කරන්න අපිට සිද්ධ වුණා. එක පැත්තකින් රාජ්‍ය ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වුණා. අනිත් පැත්තෙන් රාජ්‍ය නොවන ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වුණා. මේ දෙපැත්තම අවි ගත්ත තත්ත්වයක් තුළ තමයි අපි තාරුණ්‍යයට එළඹෙන්නේ. එතකොට මේ භීෂණය විසින් මනුෂ්‍ය සමාජයට අහිමි කරලා තිබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහසේ ජීවත් වීමේ අයිතිය, භාෂණයේ නිදහස මේ සියලූම දේවල් අපට අහිමි කරපු තත්ත්වයක් අපි අත්වින්දා. ඒ කාලේ අපි තරුණයකු වීම පවා සාපයක් වූ තත්ත්වයක් තුළ තමයි දිවි ගෙව්වේ. මනුෂ්‍ය ජීවිතයට මේ දේවල් අහිමි වෙනවා කියලා කියන්නේ හරිම කාලකන්නි හැඟීමක්. එතකොට මට ඕන උනා ගීතයක් තුළ මේ දැනිච්ච දේවල් සාකච්ඡා කරන්න. අපට අහිමි වෙච්ච කට හඬ, භාෂණයේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රර්ථනා, මේ සියල්ලම ”විහඟ ගීතය” කියන යෙදුම තුළ අන්තර්ගත වෙනවා. එතකොට මේක අපිට අහිමි වෙලා තියෙනවා. අඩු තරමේ ස්වභාව ධර්මයට, සෞන්දර්යයට, නිදහසේ විකසිත වෙන්න ඉඩක්වත් නෑ එබඳු තත්ත්වයක් යටතේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීමේ වාතාවරණයක් තුළ මලක් වත් පිපෙන්නේ නෑ කියන එක තමයි නොකියා කියන්නේ. මේ තුළ මට කියාගන්න උවමනා වුණේ ඒ වකවානුවේ මම මූණ දුන්නු අත්දැකීම. මනුෂ්‍ය සමාජයට ඒ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම තුළ සමස්ත ජීවිතයම අහිමි වෙනවා. මේක නැවත දිනා ගත යුතුයි. අපි මේ සියල්ල හමුවේ හඬා වැලපිලා අඬලා දොඩලා වැඩක් නෑ. මේ සිරගත වෙච්ච දේ නැවත මුදා ගත යුතුයි. ඒ විමුක්තිය උදෙසා අපි පෙළ ගැසිය යුතුයි කියන තිර අධිෂ්ඨානය තමයි මේක තුළ ප‍්‍රකාශ කරන්නේ. අඩු වැඩි වශයෙන් අණ පනත්වලින් වේවා මර්දනයෙන් වේවා තුවක්කුවෙන් වේවා උතුරේ වේවා දකුණේ වේවා වෙනත් ඕනෑම තැනක මනුෂ්‍යයාට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය අහිමි වෙනවා කියන්නේ භාෂණ නිදහස අහිමි වෙනවා කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වෙනවා කියන්නේ අර විහඟ ගීතය අහිමි වීමක්. එතකොට මනුෂ්‍යයාට සෞන්දර්යය කියන එක අහිමි වෙනවා. සෞන්දර්යයක් නැති තැන ජීවිතයක් නැහැ. මෙන්න මේ සනාතන දහම තමයි මේ ගීතය තුළ සාකච්ඡා කළේ. මේ ගීතය තුළ මට එහෙම පොදු දෙයක් සාකච්ඡා කරන්න හැකිවීම ගැන සහ පේ‍්‍රක්ෂකයෝ සහෘදයෝ වැළඳ ගැනීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. 

එවන් පරිසරයක මෙවන් ගීතයක් ලිවීම ප‍්‍රශ්නයක් වුණේ නැද්ද? 

ප‍්‍රස්තුතය ඒක වුණත් ගීතය එළියට ආවේ 92 විතර. අනික ඔය ගැඹුර මම සටන් පාඨ විදිහටවත් ආවේගශීලී ප‍්‍රහාරයක් විදිහටවත් නෙමෙයි ගීතය තුළ අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ කියන ප‍්‍රකාශනය අතිශය සෞන්දර්යාත්මකව ප‍්‍රකාශ කරපු නිසාම තමයි මේ ගීතය ජනගත වෙන්නට ඇත්තේ සහ එවැනි ගැටලූ නොආවේ කියලා මම විශ්වාස කරනවා. මම විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්න වකවානුවේ තමයි මේ ගීතය ලිව්වේ.

(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)




පායා ඇයි හිනැහෙන්නේ ...

පායා ඇයි හිනැහෙන්නේ

නිල් ගුවනේ තරු රාශී

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ


ඇගෙ වත මට නොපෙනේනම්

පුන් සඳ ඇයි හිනැහෙන්නේ ...//

නැතිදා ඇගෙ ගී රාවේ

කොවුලනි ඇයි ගී ගැයුවේ

කොවුලනි ඇයි ගී ගැයුවේ


වනයේ පිපි මල් ගොමුවේ

සමනලයිනි ඇයි නැටුවේ

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී


පායා ඇයි හිනැහෙන්නේ


ඇගෙ දිමුතු දසන් නොපෙනී

මට මොකටද මුතු පන්තී ...//


ඇගෙ කඳුළැලි නැති විටදී

ඕනෑ නෑ දියමන්තී

ඕනෑ නෑ දියමන්තී


පායා ඇයි හිනැහෙන්නේ

නිල් ගුවනේ තරු රාශී

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ


ගායනය - එච්.ආර්. ජෝතිපාල

පද - ඇලෝයි ගුණවර්ධන

සංගීතය - මොහොමඩ් සාලි

හින්දි ගී තනුවකි.

1958 දී තිරගත වූ "මධුමතී" චිත්‍රපටියට ‍මොහොමඩ් රාෆි ගායනා කළ "Toote Hue Khwabon Ne" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

1958 තිරගත වුන මධුමතී චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ බිමල් රෝයි මහතා. '40 හා '50 දශකයේ ෂාරුක් ඛාන් වුනු දිලිප් කුමාර් මහතා එක්ක වෛජයන්ති මාලා තමයි රංගනයෙන් දායක වුනේ. ඉතාමත් ජනප්‍රිය ගීත ගණනාවක් මේ චිත්‍රපටියේ තිබුනා. ෂයිලේන්ද්‍රගේ ගී පද වලට සලීල් චෞද්‍රි තමයි සංගීතය එකතු ක‍ලේ. මේ ගීතය තමයි "ටූටේ හුවේ ක්වාබෝනේ" කියලා කියන්නේ සිංහල තේරුම "සිහින බිඳී ගියා" කියන එක. 








Monday, September 14, 2020

පානම් පත්තුවේ ...

පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය

ගමේ අයට නම් ගජමන් නෝනාය

කවි කර කියන්නේ දෑහින් දුටු දේය

වට වන්දනාවෙදි නඩයම දුටුදේය


වඳිනට ගිය කළට නුවරට දළදාව

ගමේ “චන්ඩි ස්ටැන්ලි” ද සිටියාය

යාළු නිළමේලා දොර හැර දුන්නාය

ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය


හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය

කතරගමට අපි යහතින් ආවාය

සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව

සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය


සිරිමහ බෝධියට ගියදා උදයේම

කාර් ගොඩක් ආවා එක එක පාට

තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව

ඒ මහතුන රන්වැට පැන වැන්දාය

ගායනය - නන්දා මාලිනී පදරචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ඔස්ටින් මුණසිංහ 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය විරෝධාකල්ප ගී රචනා අතුරින් "පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය" ගීතය ගැන අදහස් දක්වමින්.. 

අපි සමාජ අසාධාරණය ගැන බොහෝවිට කතා කරනවා. ලිපි ලියනවා. මැතිවරණයක් කිට්ටු වෙනකොට හැමදෙනා ගේම කටේ තියෙන්නේ සමාජ අසාධාරණය ගැන. හැම කෙනෙක්ම එන්නේ සමාජ අසාධාරණය නැති කරන්න. නමුත් කවදාවත් මේ අසාධාරණය නැතිවෙන්නේ නෑ. මේ පීඩනය අපිට තියෙනවා. බැලූ බැලූ අත අපට දකින්න ලැබෙන්නේ මොනයම් හෝ අසාධාරණයකින් සිත් වේදනා කරන දර්ශන. ඉතිං මට හිතුනා නූගත් ගැමි ගැහැණියකගේ ඇසින් කිව්වොත් වඩාත් රසිකයන්ට ශ‍්‍රාවකයන්ට මේක දැනෙයි කියලා. මං මේ සඳහා තෝරා ගත්තේ ගැමි ගැහැනියක්. ඇය තමයි ඩිංගිරි අම්මා. ඇයට මං ආරෝපණය කරා ගජමන් නෝනගේ සහ රංචාගොඩ ළමයාගේ කවි කලාව. සමාජ අසාධාරණයට ලක් වෙච්ච සමාජ සංස්ථා ඕනෑතරම් තියෙනවා. එයින් එක් අංශුවක් තමයි මේ ගීතයෙන් විදහා දැක්වෙන්නේ. 

මේ හැමදෙයක්ම මම ඇහින් දැකපු දේවල්. මම දළදා මාලිගාවට යනකොට වරප‍්‍රසාද ලත් පුද්ගලයින් ගිහිල්ලා අනිත් අය පෝලිමේ ඉඳිද්දි දළදා වඳිනවා. ශ‍්‍රී මහ බෝධියට යන්න උපාසක අම්මලා පොරකද්දී වරප‍්‍රසාද ලත් අය ගිහිල්ලා රන් වැටෙනුත් ඇතුළට ගිහිල්ලා නළල තියලා ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මත සිවුරුත් පූජා කරනවා. කතරගම ගියත් එහෙමයි. මේකේ තියෙන්නේ සීයේ කොළ. මේ අවුරුදු ගාණකට ඉස්සරනේ. තවමත් ඒ සම්ප‍්‍රදායේ කිසි වෙනසක් වෙලා නෑ. දාහේ කොළේ තියෙනවා නං ඒ පූජා වට්ටිය තමයි මුලින්ම ඇතුළට යන්නේ. ඉතිං මේවා මොන තරම් හිත රිදුම් දෙන දේවල්ද? ඒ දේවල් තමයි මම මේ ඩිංගිරි අම්මා නමැති ගැමි ගැහැනියගේ මුවට නංවලා ඉදිරිපත් කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ ගීතය ඔය විරෝධාකල්ප කියන ගීත සම්ප‍්‍රදාය, ඒ ගීතවලට අකමැති අය පවා කැමැත්තක් ඇති වුණ ගීතයක්. ඒකට හේතුව මේ තුළින් ධ්වනිත වන ගැමි ස්වරය කියලා මට හිතෙනවා. ඒකට බෙහෙවින් බලපෑවා ඔස්ටින් මුණසිංහගේ තනුව සහ නන්දා මාලිනීගේ ගායනය. ඉතිං මේ ගීතයේ අත්දැකීම් මං හිතන්නේ මට විතරක් නෙමෙයි මේ රටේ හැම කෙනෙක්ම හැමදාමත් ලබන අත්දැකීම්. දළදා මාලිගාවට ගියොත්, ශ‍්‍රී මහා බෝධියට ගියොත්, කතරගමට ගියොත්, ඒ අය හැමදාමත් මේ අත්දැකීම දකිනවා, විඳිනවා. ඒකෙන් තමන්ගේ හදවතේ එක කොණක් රිද්දවා ගන්නවා. මං හිතන්නේ ඒක තමයි මේ ගීතයේ අත්දැකීම බවට පත්වෙලා තියෙන්නේ.

(උපුටා ගැනීම - දිවයින)





Friday, September 11, 2020

බිම්බරක් සෙනඟ ගැවසුන ...

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන් 

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ.....

මාලිගාව කෝ..


ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච 

නාදයෙන් ඇලලුණ

වෘක්ෂ දේවතාවන් බිම වැටී පන ගසයි..

මිනී මල් පිපුණු සීතල පුන්‍ය භූමියේ ඇටක‍ටු

හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි

විලාපය නඟයි..


බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන් 

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..

මාලිගාව කෝ..


කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන

ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි

වෑ කන්ද කඩා බිම් ක‍ටු කම්බියෙන් බෙදා

මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්..

කඩුව බිම දමව්..


බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන් 

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..

මාලිගාව දෝ..


ගායනය - ගුණදාස කපුගේ

සංගීතය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

වෙල්ලස්සේ ගීතය උපත ලබන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් ලැබූ පෞද්ගලික අත්දැකීමක් පදනම්වය. එවකට රත්න ශ්‍රී ගුරුවරයෙක් ලෙස මොණරාගල සේවය කළේය. බහුජාතික සමාගමක් පැමිණ පැල්වත්තේ ගොවියන්ගේ ගම් බිම් කොල්ලකා ගැනීමේ සිද්ධිය මේ ගීයේ උපතට මුල් වේ. පැල්වත්තේ ගොවියන් නගරයට පැමිණ මේ සිදුවීම් මාලාවට විරෝධය පළ කරනවා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ඇස ගැටෙයි. ඔහු ද ගොවීන්ගේ විරෝධතාවයට එක්වෙයි. "බහුජාතික සමාගම් සිඹ පිළිගනිමු' යන බලධාරීන්ගේ මතය ගොවීන්ගේ ගම් බිම් උදුරා ගැනීමට රුකුල් දෙයි. මේ සුවිසල් අසාධාරණය දුටු අත්විඳීම් සජීවීව විඳගත් රත්න ශ්‍රී විජේසිංහයන් වෙල්ලස්සේ ගීතය ලියූහ. "වෙල්ලස්සේ ගීතය" යන හැදින්වීම ගීතයට අන්වර්ථ බව පෙනෙන්නේ වෙල්ලස්සේ වැසියන් මේ ගීතයට දක්වන ආදරය හා ගරුත්වය දකින විටය. ගීතයේ වචන මෙසේය.

වෙල්ලස්සේ ගීතය පසුකාලීනව සංවිධානය වූ ඇතැම් විරෝධතා ව්‍යාපාරවල පවා ගායනා විණි. මෙම ගීතය ලිවීම සඳහා රචකයා ආභාෂය ලබා ගන්නේ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව පවතින පැරණි ජන කවියකිනි.

හෙළ මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව

බිම්බරකුත් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව

දිවා රැයේ අඳුර නසා රන් කොත් බබලන සුබාව

ලංකාවට තිලකයක්ය සබරගමුවේ මාලිගාව

මෙම ජනකවියේ වචන ගීයේ ස්ථායි කොටසේ සඳහන්ව ඇත්තේ සටන් කවි ආරටය.

යුද්දෙටත් ඇවිත් සිඳුපිට නැව් නැඟලා පරංගි

උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා


යන සටන් කවියේ ආලෝකය ගීතයට ලැබී ඇත. 

"ගුණදාස කපුගේ මෑත අවදියේදී ගැයූ ගී වලින් ඉතාමත් සාර්ථක ගීය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගීය වෙල්ලස්සේ ගීතයයි. වෙල්ලස්සේ ගීතයේ තනු රචනය අපූර්ව ගුණයකින් පිරී ඇත. පැරණි හේවා පන්නයක රණ බිමින් නැඟෙන ඉතිරි වූ කාහල නාදයක් ඒ තුළ නින්නාද වනු ඇසේ. අප ගීතයක් ශ්‍රවණය කරනුයේ විවේකය විනෝදයෙන් ගත් කිරීමටම නොවේ. සහෘද සිත්හි නව ආකල්ප සහ ජීවන දර්ශනයන් පුබුදු කිරීමට ඕනෑම කලා මාධ්‍යයකට හැකිය." 

මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීහු මේ ගීතය පිළිබඳ විචාරයක් සපයමින් මෙසේ සිය අදහස් පළ කරති.

"මේ ගීය රචනා කොට තිබෙන්නේ පැලවත්තේ සිද්ධිය බැහැර සිට නිරීක්ෂණය කොට නොව විපතට පත් ගොවීන්ගේ කඳවුර සිටය. එහිදී කවියා ගොවීන් සමඟ අනන්‍ය වෙයි. ගොවීන්ගේ ආත්මය ඔහුගේ ආත්මය නැමැති සුවිශේෂ කැඩපතෙහි පිළිබිඹු වෙයි.

මෙහිදී ගොවියෝ කුමක් කෙරෙත්ද? තමාට අහිමි කරන ලද ගම්බිම්, ගේ දොර, ගහකොළ සහ සතුන් සිහිව වැළපෙති.

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි ?

අහිමි වී ගිය මෙලොව පැවැති අනර්ඝතම දෙය ලෙස ගොවීන්ට හැඟෙයි.

සෙනඟ නම් ප්‍රථම නිෂ්පාදන බලවේගයයි. මේ ගම්බිම්වල එබඳු සෙනඟ බිම්බරක් ගැවසුණහ. "බිම්බර" යන්න ගැවසුණු සෙනෙඟෙහි අසීමිත භාවය හඟවන්නකි. ගොවියාට සාමූහිකත්වය අවශ්‍ය හෙයින් සෙනෙඟ අවශ්‍යයි. එහෙයින් සෙනෙඟ ඔහුට අගනා වස්තුවක් වේ.

මාලිගාව කෝ? යන්න ගොවියාගේ හද පතුළෙන් නැඟි ශෝකී උක්තියකි.

සූර්යයා ගොවියාගේ වගාවටත් ගොවියාටත් වැඩීමට සහ යැපීමට අවශ්‍ය පෝෂණ පදාර්ථ සපයයි. වැඩ කිරීමට දවස උදා කරයි. ඔහු වෙහෙසට පත් සඳ සැඩ කිරණ හකුලා ගෙන අවරට බහී. චන්ද්‍රයා තුරු සිදුරෙන් පෙරා එවන නිමල් සඳ පහනින් උදේ සිට රෑ වනතුරු චණ්ඩ සූර්යය තාපයෙන් තැවී දැවුණු ගොවියාගේ ගත සිහිල් කරයි. සිත සැනසුම් කරයි. මෙලෙස සූර්යයා හා චන්ද්‍රයා සමඟ ගොවියාගේ ජීවිතය බැඳී ඇත. තමාගේ සම්භාවනාවට පත් චන්ද්‍රයා සහ සූර්යයා තම බිමෙහි උපන් බව කීමෙන් ඔහු මේ තමාගේ කම හඟවයි. නැතිවූ බිම ගොවියාට ස්වර්ණ භූමියකි. රන් නම් මෙලොව ඇති අගනාම වස්තුවයි. අන් සෑම දෙයකම අගය මැකෙන්නේ එයිනි. නැතිවූ බිම රන්මුවා බිමක් සේ ගොවියාට හැඟෙයි. "ස්වරණ භූමිය" යන්න ගොවියා හා පොළොව අතර ඇති අවියෝජනයීය බැම්මත් ඔහු පොළොවට දක්වන අනර්ඝතා හැඟීමත් හකුලා දක්වන්නකි.

තමාගේ නැති වී ගිය නිවාසය ගොවියාට පෙනෙන්නේ මාළිගාවක් ලෙසත්ය. මාළිගාවක් නම් ස්වර්ණ රජත, මුතු මාණික්‍ය ගවමහීසාදී භව බෝග සම්පත් රැස් වී තිබෙන තැනකි. කවියා කියන්නේ ගොවියාගේ පැල් කොටය තුළ මේවා පැවති බව නොව ගොවියාට තම ගෙපැළ මාළිගාවක් මෙන් වටිනා බව ය.

මාළිගාව කෝ?

යන්නෙන් මේ සියල්ල සිහි වන විට ගොවියාගේ සකල විධ අධ්‍යාත්මය පුරා ඇවිලෙන ගිනි ජාලාව අපට පසක් නොවන්නේ ද? 

අනතුරුව ගොවියාට සිහිවන්නේ බහුජාතික සමාගමේ කුලීකාර කොන්ත්‍රාත්කරුවන් තම ගම්බිම් සමතලා කළ ප්‍රචණ්ඩ ආකාරයයි.

යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ

මනරම් මාලිගාව දෝ?

මෙහි 'මාළිගාව දෝ?' යන්න සිදුවූ විනාශය ගැන ගොවියා තුළ උපන් ශෝකාකූල විස්මය පළ කරන යෙදුමකි.

තම මුතුන් මිත්තන්ගේ මිනී වළවල් පවා උගුළුවා විසිකෙරෙන සැටි ගොවියාට පෙනෙයි. 'විලාපය නඟයි' යනුවෙන් මෙහිදී ගොවියා තුළ හටගත් වේදනාව ධ්වනිත වෙයි.

තම පණ නල රැක දුන් වෑ කන්ද කඩා ඇත. බැලූ බැලූ අත භූමිය කම්බි ගසා කොටු කර ඇත.

ගොවියා කුමක් කරන්නද ? ඔහුට මේ විපත දූරිභූත කළ හැකිද ? නොහැකිය. ගොවියා මුහුණ පා සිටින්නේ තමාට වඩා දහස් ගණනක් බලවත් සතුරෙකුටය. ඔහුට කළ හැකි එක ම දේ කිම? සුසුම් හෙළීම හා වැළපීම පමණි.

මේ රණ බිමේ හිස ගසනා

කඩුව බිම දමවු

මේ අයැදීම ඉටු වේවි ද? නැත්තේමය. අගනා කලා කෘතියක් වින්දෙමු යන පහන් හැඟීම අප හද විනිවිදී. මේ ගීතය ගීත රචකයා සතු සමාජ දර්ශනය මොනවට පැහැදිලි කරයි."

කෙතෙක් අරගල කලද වෙල්ලස්සේ ගොවීහු සටනින් පරාජය වූහ. පාලකයින්ගේ උවමනාවන් ඉටුකරමින් බ්‍රිතාන්‍යයේ ස්ථාපිත කරතිබූ බුකර් ටේට් (Booker Tate) නම් සමාගමක් අක්කර 60,000 ක පමණ උක්වගාවකින් සහ පැල්වත්තේ දැවැන්ත සීනි කම්හලක් කේන්ද්‍ර කරගනිමින් බුත්තල හා වැල්ලවායේ අක්කර දහස් ගණනාවක් සීනි කර්මාන්තයට පවරා ගැණුනි. පැල්වත්ත සීනි සමාගමේ නින්දගම් වූ බිමෙක සිය දහස් ගණනක් ජනයාට කඹුරන්නට සිදුවිය. වනගත ගම් සිය ගණනක ජනයාට බ්ලොක් යැයි යළි නම් කෙරුණු ජනාවාස කට්ටි වල යාන්ත‍්‍රික ජීවිතයකට යළි හුරුවන්නට සිදුවිය. වැල්ලවාය කරමැටිය ගමේ උප්පැන්නයද 1985 අවුරුද්දේ සිට වෙනස් වූ අතර ගම්මුන්ගේ කටට නුහුරු බ්ලොක් 03 නම් අලූත් නමක් ගමට උරුම විය. 

රජයෙන් ලබා දෙන ලද සහනාධාර මත යැපෙමින් ලංකාවේ මිනිසුන්ට වැඩි මිළට සීනි විකුණමින් මෙම සමාගම ටික කලකට පසු විකුණා දැමූ බූකර් ටේට් රටින් පිට වුණේ ය. ඒ වෙනුවට පැමිණි දේශීය ව්‍යවසායකයින් ද බුකර් ටේට්ට වඩා වැඩි වෙනසක් ගෙනාවේ නැත. වනයෙන් යැපෙනු වෙනුවට උක් දඬු සොයා වගා බිම් වෙතද, ඉන් ඔබ්බට ගම්බිම් වෙතට ද කඩා වදින වල් අලි හසුවන සියල්ල විනාශ කර දමති, මිනී මරති. සිඳී ගිය ආරවල ජල කඳුලක් නැත. උක් වගාවට පෙර නොතිබූ වකුගඩු රෝගය ද ගම්මුන් පෙලීමට පටන් ගෙන ඇත.

(උපුටා ගැනීමකි)





සිතින් විතරක්‌ ...

සිතින් විතරක්‌ පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ...

මට ද ඔබ හිමි නෑ...


නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී

දෙතොල් ඔබගේ මදහසින් සැරසේ

දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ

දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ...


සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ

නිසල කරන් මම ඉන්නම් සෑම දින

කාත් කවුරුවත් නොමැති මා හට

ඔබත් අහිsමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මට ද ඔබ හිමි නෑ


පද රචනය - ආරාධනා ඒකනායක

තනුව - නවරත්න ගමගේ

ගායනය - චාමර වීරසිංහ

යෞවනය, ආදරයට අත වනන කාලය සහකරුවෙක්‌ ගැන සහකාරියක්‌ ගැන හැඟීම් ඇතිවන සමය ආදරය කරන කාලය වගේම ආදරයෙන් විඳවන කාලය තනිව සිනාසෙන කාලය වගේම තනිව හඬන කාලය.

සිතින් විතරක්‌ පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ...

ආදරය නිසා විඳවන හිතක්‌. ඔහු ඇයට ආදරය කරනවා. ඒත් මේ ආදරය හිතේ ඇතිවුණු ආදරයක්‌ විතරයි. ඇයට සැබෑවට පෙම් කරන්න ඔහුට වරම් නෑ. ඔහු ඇයට ආදරය කරන බව ඇය දන්නෙත් නෑ. ඔහු ඇය දෙස නිතර බලා ඉන්නවා. ඒ ළඟ ඉඳන් නොවේ. දුරට වෙලා ළං වෙන්න බෑ. ඔවුන්ට ඒ ආදර ලෝකය හිමි නෑ. ඇයට ඔහුත් ඔහුට ඇයත් කවදාවත් අයිති නැහැ.

ආරාධනා ඒකනායක ගීයේ පද රචනය කළේ ඇය. "සිතින් විතරක්‌" මම ලියූ පළමු ගීය. මේක ලියලා මම රන්සිළු ඕඩියෝ ආයතනයට දුන්නා. ඔවුන් ඉන්පසුව නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතඥයා ලවා තනුවක්‌ නිර්මාණය කරගෙන චාමරට ගීය දී තිබෙනවා. මේක පොදු අත්දැකීමක්‌.

නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී

දෙතොල් ඔබගේ මදහසින් සැරසේ

දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ

දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ 

මට ද ඔබ හිමි නෑ...

මේ පෙම්වතාව ඇය නිතර හමුවෙනවා. ඒත් කතා කරන්න අවස්‌ථාවක්‌ නෑ. ඇය ඇසිපිය නොගසා ඔහු දෙස බලා ඉන්නවා. නාදළුවන් දෙතොල් අතරින් සිහින් සිනාවකුත් උපදිනවා. ඒත් ඔහුට ඈ දෙස බලලා වැඩක්‌ නෑ. ඈ හා සිනාසෙන්න ඕනෑ නෑ නිශ්ඵල වැඩක්‌. ඇය කවදාවත් හිමි නොවන බව ඔහු දන්නවා.

ආරාධනා ශ්‍රී එෆ් එම් නාලිකාවේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරේ කටයුතු කරමින් තමයි ගීය ලියන්නේ.

"මේ ගීය නිසා චාමර හුඟාක්‌ ජනප්‍රිය වුණා. ඔයාගේ සිංදුව හින්දා තමයි අද මට මේ ජනප්‍රියත්වය කියලා දවසක්‌ චාමර මට කිව්වා. මටත් සතුටුයි මේක තමයි මගේ පටන් ගැනීම...

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ

නිසල කරන් මම ඉන්නම් සෑම දින

කාත් කවුරුවත් නොමැති මා හට

ඔබත් අහිමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ...

මට ද ඔබ හිමි නෑ..

ඈ ඉදිරියේ ඔහුගේ හිත චංචලයි ඒත් ඒ හිත හැම වෙලාවෙම නිශ්චලව තියාගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු තනිකඩයෙක්‌. ඈ සමහර විට විවාහක තරුණියක්‌ වෙන්නත් ඇති. ඔහුගේ හිත ඉකිබිඳිනවා. මං තනිවෙලා කාත් කවුරුවත් මට නෑ. ඔයාත් අහිමිව ගියාදෙන්. ආදරේ මම ඔයාට ආදරේ වගේම ඔයාත් මට ආදරේ කරනවා නම් අපි කවදාවත් ළං වෙන්නේ නැත්නම් මට මීටත් වඩා දුක හිතේවි. කමක්‌ නෑ. අපිට අපි අයිති නෑ.

අපි ආදරය කරන කෙනා බොහෝ විට අපිට ලබාගන්න වාසනාවක්‌ නෑ. තරාතිරම, රැකියාව, රූපය, ධනය, බලය ආදරයට හරස්‌ වෙන්න පුළුවන්. ඒ නිසා ආදරය කරන්න වෙන්නේ සිතින් විතරයි. මේ ගීයෙන් කියන්නේ එහෙම ආදරයක්‌ ගැනයි. ආරාධනා වගේම චාමරත් අලුත්. ඒත් තනු නිර්මාණය කළ නවරත්න ගමගේ ප්‍රවීණයෙක්‌. නවරත්න ගමගේගේ තනුව ගීයට විශාල ආලෝකයක්‌ වී තිබෙනවා. එය තරුණ ශිල්පීන් දෙදෙනකුට ඉදිරියට ඒමට පිටිවහලක්‌ වුණා.

(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)





ඈත එපිට ගම්මානෙන් ...

ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ ...//


මලානිකව හඳ එලිය ගලා එන

අම්බලමක හෙව‍ණේ...//

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර

දැල්වෙන එළිය බඳේ


ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


වේදනාව නෙතු අගට ගලාලා

ඉකිලන නිහඬ රැයේ ...//

නීල නුවන් තරු කැට බොඳ වෙනවා

කාටත් හොර රහසේ


ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - සුනිල් සරත් ‍පෙ‍රේරා

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් මතුවන ගීතය ලියන්න පසුබිම පිළිබඳව සුනිල් සරත් පෙරේරා මහතා අදහස් දක්වමින්. 

මෙය සනත් නන්දසිරි මහත්මයාගේ තනුවක්. ගයන්නෙත් එතුමා. මේකේ එක යෙදුමකින් හුඟක් දේ හඟවන්න පුළුවන්. වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ. කඳුළ හංගනවා. අර්ථ සංකෝචනය කියන එක මෙහි මැනැවින් පෙන්නුම් කෙරෙනවා. අර්ථය හුඟක් හකුළුවා දක්වන්න පුළුවන් භාෂා උපක‍්‍රමයක් එතන මං පාවිච්චි කරන්නේ. අර්ථ සංකෝචන විධි ක‍්‍රමයක්. එක යෙදුමෙන් හුඟක් දේ හඟවන්න පුළුවන්. 

ඉතිං හතර කෝරලේ රඹුක්කන කඳුකර ගම්මාන වල ගියාම විශේෂයෙන් මගේ බිරිඳගේ නිවහන තිබුණේ හතර කෝරලයට අයිති රඹුක්කන කඳුකර ගම්මානයක. ඉතිං එහේ හැන්දෑවක මං ගිය වෙලාවක එහේ ඇය ඉන්දෙද්දී මං ආවා කොළඹ එන්න. සති අන්තයේ එන්න හිතාගෙන” සතියේ මුල. එනකොට රාත‍්‍රී දුම්රියෙන් ආවේ. රඹුක්කන ඉඳලා එනකොට ඉස්සර ඈත කුප්පි ලාම්පු එලි දැල්වෙනවා. අනිත් එක හතර කෝරලේ ගම්බද හැන්දෑව හරි සුන්දරයි. ඈතින් ඒ කඳුකර ගමේ දෝංකාර නැගෙනවා ගැටබෙර හඬ. ඔය දෑලේ සමහර තරුණයෙක් වාදනය කරන බට ලී හඬ මට ඇහිලා තියෙනවා. ඉතිං මේවා ඔක්කොම සම්මිශ‍්‍රණය වෙලා හිතේ තිබිච්ච සංකල්ප රූප තමයි මට මතුවුණේ. එහෙ ඉඳන් එනකොට මට හුදකලා බවක් දැනුනා. මං හිතන්නේ වියෝවක් වගේ දෙයක් දැනුනා බිරිඳගෙන් වෙන්වෙලා එනකොට. කෝච්චියේ එනකොට රඹුක්කනටත් පොල්ගහවෙලටත් අතරේ දකින්න පුළුවන් ඒ කාලේ කුප්පි ලාම්පු එළි දැල්වෙනවා. හුදකලා ගෙවල්වල, පැල්පත්වල. ඒවත් මගේ හිතේ බලපෑවා. ඒවා ආශ‍්‍රයෙන් තමයි මේක ලිව්වේ. මූලික වින්දන මූලය වුණේ අර කඳුකර ගමක තියෙන සැන්දෑ පරිසරයයි. ඒ එක්කම මා ලබපු බිරිඳගෙන් ඈත්වෙලා එනකොට ගමේ ලබපු ඒ අත්දැකීමයි.

(උපුටා ගැනීම - දිවයින)





Monday, September 7, 2020

ඈත ගව් ගණන් දුරින් ...

ඈත ගව් ගණන් දුරින්

ලෝකයේ නොයෙක් රටින්

පාවෙවී ආ වලාසිතා

දෙව් ලියන් මැවූ විලාසිතා


ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //

ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල


සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න

ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල


පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //

පාවෙවී ආ වලාසිතා

දෙව් ලියන් මැවූ විලාසිතා


පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //

ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්

නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //

පත්තරේට වැටෙනකල් අනේ

රෑට නින්ද යන්නෙ නෑ අනේ


ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //

ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ///

ගායනය - නාරද දිසාසේකර සහ පිරිස

පද - මහගම සේකර

තනු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

ගැටවරයෝ චිත්‍රපටියෙන්

1964 අවුරුද්දේ තිරගත වුණ ගැටවරයෝ චිත්‍රපටය මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය යන අයගේ අධ්‍යක්ෂණයක්. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ සෝබනී අමරසිංහ වගේ විශිෂ්ට රංගධරයන් එකතු වුණ නිර්මාණයකට සේකරගේ පද මාලාවකින් යුත් ගීතයක් අමරදේවයන්ගේ සංගීතයෙන් එකතු වුණ එක අහම්බයක් නෙවෙයි. අදට අවුරුදු 50කටත් වඩා කලින් සමාජගත වුණ ගීයක් වුණත් අදටත් මේ ගීතය අමතක කරන්න අමාරුයි. සේකරගේ වචනවලට ඔහු බලාපොරොත්තු වුණ හඬ සැපයුවේ නාරද දිසාසේකර සහ පිරිස.

බෝට්ටු නිෂ්පාදනාගාරයක සුළු සේවක පිරිසක මුවින් ගැයෙන ගීයකි. “ඈත ගව් ගණන් දුරින්” යනුවෙන් ඇරැඹෙන “හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල - පත්තරෙන් ඇවිත්, මෙහේ නැද්ද යම් කෙනෙක් - ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝ ජෙනික්” නූගත් සේවකයන්ගේ රැඟුමට - ඔවුන්ගේ දැන උගත්කමට සරිලන පරිදිය, සේකර ඒ ගීය ලියන්නේ, බස හසුරුවන්නේ.

(උපුටා ගැනීමකි)




Friday, September 4, 2020

පින් මන්ද රංග භූමියේ ...

පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී

නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ


වැදි රජ සමගින් අවසැඟ

මනමේ කුමරිට රැවටුණ //

මනමෙ කුමරා මමයි නංගියේ

ධනුදර වුණාට ඉහත සංදියේ

ධනුදර වුණාට ඉහත සංදියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ...

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට

වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //

තිරය මෑත් කරන වංගියේ

අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ

අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ


පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී

නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ ///

ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද

පද රචනය - වසන්ත දුක්ගන්නාරාල

අපූරු ගීත රචනා හාරසියයකට වැඩි ගීත සංචිතයක හිමිකරු වන ඔහු ප‍්‍රවීණ ගීත රචක වසන්ත දුක්ගන්නාරාළ මේ ගීතයේ පසුබිම සම්බන්ධයෙන් පැහැදිලි කරමින්. 

ඔබට මතකද ඉස්කෝලේ, ඩෙස්ක් එකේ කවි කුරුටු ගාපු කාලේ? 

ඒක මං මට අවුරුදු දොළහ, දහතුන පිරෙනකොටම කරපු දෙයක්. ඉස්කෝලේ අටේ පංතියේ විතර ඉන්නකොට ඩෙස්ක් එකේ කවි කුරුටු ගානවා. මිශ‍්‍ර පාසලක මං ඉගෙනගත්තේ. ඉන්නෙත් පිටිපස්සෙම පේළියේ. දවසක් ඩෙස්ක් එකේ කුරුටු ගගා ඉන්න අතරේ කොළ කෑල්ලක කවියක් ලියලා එහා පැත්තේ හිටපු ගෑනු ළමයකුට දුන්නා. ඒ ගෑනු ළමයා ඒක ටීචර්ට දුන්නා. ටීචර්ගෙන් ඒක ප‍්‍රින්සිපල්ටත් ගිහිල්ලා. ඒ කාලේ හැටියට ඒ වගේ දෙයක් කරන එක ලොකු වැරැද්දක් බවට පත්වෙලා, මට ලොකු දඬුවමක් ලැබුණා. 

ඉන්පස්සෙත් කවි ලිව්වද? 

ඊට පස්සේ ටික කාලෙකට මං කවි ලියන්න ගියේ නෑ. ඔහොම ඉඳලා නවයේ පංතියේ අන්තිම වගේ වෙනකොට මං ආයේ කවියක් ලියලා දුන්නා. 

එකම කෙනාටද? 

ඔව් ඔව් දෙවැනි සැරෙත් දුන්නේ එකම කෙනාට. හැබැයි ඒක ටීචර්ට ගියෙත් නෑ; ප‍්‍රින්සිපල්ට ගියෙත් නෑ; හැමෝම නිහඬ වුණා. ඒක එච්චරයි. අපි ලොකු වෙලා උසස්පෙළට යනවා. ඇය එක විෂය ධාරාවක යනවා. මං වෙන විෂය ධාරාවක යනවා. අවුරුදු ගාණකට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා. ඇය වෙනත් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කළා. පෙර කියූ කවි කතාව යොවුන් වියේ ආපු සිතුවිල්ලක් විතරක් වෙලා. මම දුක්ගන්නාරාල වෙලා ජීවිතවල ඉස්සරහට යනවා. පසු කාලයේ අපේ ඉස්කෝලේ තෑගි බෙදාදීමේ උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා හැටියට මට ආරාධනා ලැබිලා මං ගියා. එදා ? අපේ ආදි ශිෂ්‍ය එකතුවකුත් පැවැත්වුණා. ඒකට ඉතිං හැම තැනම විසිරිලා ඉන්න අය ආවා. පොඩි කාලේ දැක්ක අය ඊට පස්සේ හම්බෙන්නේ එදාට. ඉතිං එදා අර කවිය ලියපු ගෑනු ළමයත් ඇවිල්ලා හිටියා. හැබැයි ඇය විවාහවෙලා මාව ඔහුටත් අඳුන්වලා දීලා නික්ම යනකොට මට කොළ කෑල්ලක් දීලා ගියා. පොඩි කොටු රූල් කොළයක්. මේක දැන් කියවන්න එපා; ගිහිල්ලා කියවන්න කියලා තමයි ඒ කොළ කෑල්ල ඇය මට දුන්නේ. මං බෝඩිමට ගිහිං බලපුවාම මගේම අත් අකුරු. මම අර නවයේ පන්තියේදී ඇයට ලියලා දීපු කවි කොළ කෑල්ල ඇය මට ආපහු දීලා. 

මොනවද ඒ කොටුරූල් කොළ කෑල්ලේ ලියලා තිබුණේ? 

දුනු කඩු මොටදැයි පේ‍්‍රමෙට, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස, ඔන්න ඔහොම තව මොනවද හෑල්ලක් ලියලා මං තිබ්බා. අවුරුදු පහළොවකට විස්සකට විතර පස්සේ තමයි ඇයගෙන් මට ඒ කොළ කෑල්ල ආපිට ලැබුණේ. 

ඒ කවියේ වචන ඔබේ පළවෙනි ගීතයේත් තිබෙනවා නේද?

 ඒ වචනත් අරගෙන මං පසුව කවියක් ලිව්වා. ගීත රචනයක් හැටියට නෙවෙයි. අපේ කාලේ අපි ‘දිවයින’ ඇතුළු හැම පත්තරේටම කවි ලියනවා. දවසක් ඒ කවිය මං අතේ තියන් ඉන්නකොට අපේ මිතුරා මංජුල වෙඩිවර්ධන කිව්වා, මචං මේකේ සිංදු ගතියක් තියෙනවා කියලා. එතකොට සිංදු එකක් දෙකක් ලියලා තිබ්බට මං ජනප‍්‍රිය වෙලා නැහැ. පස්සේ මං හිතුවා මේක ගීතයක් කරන්න. ඒ ලියවුණු ගීතය පින් මන්ද රංග භූමියේ, පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිටවෙලා ගියේ, මං සිංහයාට බයයි නංගියේ. අර කවියේ කෑල්ලකුත් ගන්නවා මං මේකට. දුනු කඩු මොටදැයි පේ‍්‍රමෙට, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස කියලා. ඉතිං මේක තමයි මගේ ජනප‍්‍රිය මට්ටමට ආව පළවෙනි ගීතය. 

මේ ජනප‍්‍රිය ගීතයේ තනුව සේනානායක වේරලියද්ද මහත්මයාගේ? 

මං ඒ ගීතය ලියලා වේරලියද්දට දුන්නා. ඒ කාලේ මං වේදිකා නාට්‍ය කෙරුවනේ. මේ වගේ දෙයක් ලියැවෙන්නෙත් ඒකයි. වේදිකාවේ තියෙන අත්දැකීමුයි ඔක්කොමත් එක්ක. අසම්මත පේ‍්‍රමයක් හැටියට ලියවුණේ. ඒ කියන්නේ අපිට හමුවෙන්නේ නැති පෙම්වතුන් දෙදෙනෙක් කියන හැඟීම ඒකෙ තිබ්බේ. වේරලියද්දට ගීතය දීලා දවස් දෙකකට විතර පස්සේ ජෝන් ද සිල්වා එකේ නාට්‍ය දර්ශනයකට මම මේක් අප් කර කර ඉන්න ගමන් වේරලියද්ද කෝල් එකක් දීලා ඇහුවා මගෙන් කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා ජෝන් ද සිල්වා එකේ ඉන්නේ කියලා. එතකොට වේරලියද්දත් ජෝන් ද සිල්වා එකේ ඉඳන් තමයි මට කෝල් කරලා තිබුණේ. මොකද ඔහු රාජ්‍ය නැටුම් කණ්ඩායමේ. එතකොට ඔවුන් නවාතැන් ගෙන තිබුණේ ඒ පරිශ‍්‍රයේමයි. මං මේ කොට්ටම්බා ගහ යට ඉන්නේ පොඞ්ඩක් එන්නකෝ කිව්වා. සර්පිනාවත් තියන් ඉන්නවා මං යද්දී. දෙවැනි මහින්ද නාට්‍යයේ රඟපාන්න මං ඇඳගෙනම ගියා ඔහු ළඟට. ඒ ගමන අරකට මාරු මෙලඩියක් වැටුණා මචං කියලා ගහලා පෙන්නුවම, ඕක තමයි ඒ සිංදුව. ඒක ඉතිං බොහොම ජනප‍්‍රිය වුණා.

(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)










Thursday, September 3, 2020

හඬන්න ළංව ...

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා

ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ

හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා

කියන්නෙ ජීවිතේ මුලාව දෝ...


තරු ඇසක්‌ ඇරී උදාගිරේ

බිම් මලක්‌ මුවින් හිනා නැගේ

තරු ඇසේ කතා මියේද

බිම් මලේ හිනා මැකේද

මේ වෙනස දෝ ආදරේ...


සඳ රැහැන් වැටී සුනිල් දියේ

කුමුදු මල් දෙතොල් විදා පිපේ

හිරු ඇවිත් එ මල් දවාද

ඒ දුකත් වසන්ව යාද

මේ අරුත දෝ ආදරේ...

ගායනය - එඩ්වඩ් ජයකොඩි/ ධම්මිකා බණ්ඩාර 

පදරචනය - බන්දුල නානායක්කාරවසම් 

සංගීතය - රෝහණ වීරසිංහ 

ජීවිතය කියන්නේ අස්‌ථිර දෙයක්‌. එක පැත්තකින් බලද්දී මුළාවක්‌. මේ ලෝකයේ හැම දේම එහෙමයි. බලාපොරොත්තු තියාගන්න බැහැ. වෙනස්‌ වන සුළුයි. ආදරේත් ඒ වගේ අවිනිශ්චිතයි.

අපි කැමැති හැම දෙයක්‌ම අපට ලැබෙනවද. නැහැ. අපිට වුවමනා දේමද මේ ලෝකෙ සිද්ධ වෙන්නෙ නැහැ. සොබා දහමත් එහෙමයි. සොබා දහමටත් බැහැ අපි කැමැතිදේම ඉටු කරන්න.

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා

ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...

හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා

කියන්නෙ ජීවිතේ මුලාව දෝ...

මේ ගීතයෙන් කියන්නෙත් එහෙම කතාවක්‌. ආදරයේ අවිනිශ්චිත බවයි මේ යුවළ අතර ඇතිවන සංවාදයෙන් අර්ථවත් වෙන්නේ.

ඔබේ දෙනෙත් හැඬුම් බරයි. එයින්  පෙනෙන්නේ ජිවිතයද. ඔහු අසනවා. සුසුම් සිරවෙලා පිටකරන්න බැහැ. ඒ කියන්නේ ජීවිතේ මුලාවක්‌ කියලද ඇය කියනවා.

මේ ගීය ලියුවේ බන්ධුල නානායක්‌කාරවසම්. ගීයට නිමිත්තක්‌ නැහැ. ඒත් ගීය පසුබිමේ හොඳ කතාවක්‌ තියෙනවා.

මේක තමයි තනුවකට වචන දමා ජනප්‍රිය වූ මගේ පළමු ගීතය. රෝහණ වීරසිංහ තනුව කැසට්‌ එකකට ටේප් කරලා මට දුන්නා. මම ටේප් එක ඇහුවා. තනුවට ඔහු වචන ටිකකුත් දමලයි තිබුණේ.

නටන්න ගස්‌ වටේ දුවන්න කෑගසා.. වැල්වලින් එතී 

රඟන්නකෝ....

ඉන්පස්‌සේ තරු ඇසත්... පද පෙළ වෙනුවට,

ප්‍රේමයේ සුසාන භූමියේ....

මළ මිනී සිනා සිසී නැගේ...

කියලා රෝහණ ලියා තිබුණා. ඒ කාලේ සුනිල් අර්. ගමගේලාට පිළියන්දල සුපර් මාර්කට්‌ එකේ සාප්පුවක්‌ තිබුණා. කටුවාවල ගෙදර ඉඳලා සුනිලුයි නෝනයි දෙන්නම මේ සාප්පුවට යනවා. එහෙම දවසක මමත් හිටියේ ඒ ගෙදර. මම ගෙදර නැවතුනා සිංදුව ලියන්න. ගෙදර කවුරුත් නැහැ. සිංදුව ලියන්න මට මොන විදිහකින්වත් වචන එන්නේ නැහැ. දවල් එකොළහ වෙද්දී හිතුනා ලියන්න බැහැ කියලා. දමලා ගහලා දොරවල් වහලා මමත් ගියා සාප්පුවට සිද්ධිය කිව්වා. "මල්ලී මටත් ඔහොම වෙනවා. ගණන් ගන්න එපා ආපහු ගෙදර ගිහින් ලියන්න කියලා බල කළා. මම ආයෙත් ගෙදර ගියා. මේ ගීය එඩ්වඩ් එක්‌ක ධම්මිකාත් ගයනවා කිව්වාම මම ආසාවෙන් හිටියේ. ඇය කීර්ති එක්‌ක ගයන කවිකාරියේ ගීතය ඒ කාලේ හරිම ජනප්‍රියයි. මම ගීය ලියන්න කලින් ධම්මිකාව හිතේ මවාගත්තා. ඉබේම වචන ආවා.

තරු ඇසක්‌ ඇරී උදාගිරේ

බිම් මලක්‌ මුවින් හිනා නැගේ

තරු ඇසේ කතා මියේද

බිම් මලේ හිනා මැකේද

මේ වෙනස දෝ ආදරේ....

ගිරි මුදුනින් උදාහිරු පායද්දී තරුවල ඇස්‌ ඇරෙනවා. බිම්මල් පවා මුවපුරා හිනාවෙනවා. ඔහු කියද්දී ඇය එහි නිස්‌සාර බව, අනියත බව සිහිපත් කරන්නේ මෙසේයි.

තරු ඇස්‌වලින් කියන කතා මිය යාවිද. බිම්මල් මුව පුරා නඟන සිනා මැකී යාවිද. මේ වෙනසම නේද ආදරේ කියන්නේ...

මේ ගීයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුනා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගේ සිනා පොදක්‌ උත්සවේදී ප්‍රසිද්ධියේ කිව්වා "මම නම් ජීවිතේට හිතුවේ නෑ කලින් දුන්නු තනුවකට හඬන්න ළංව වගේ වචනවලින් ගීයක්‌ ලියෑවේවි" කියා මහාචාර්යතුමා කිව්වා.

සඳ රැහැන් වැටී සුනිල් දියේ

කුමුදු මල් දෙතොල් විදා පිපේ

හිරු ඇවිත් එ මල් දවාද

ඒ දුකත් වසන්ව යාද

මේ අරුත දෝ ආදරේ.....

කුමුදු මල් පිපෙන්නේ ජලයේ. සඳකිරන නිසා කුමුදු මල සුදට සුදේ ලස්‌සනට පිපෙනවා. ඒත් හිරු ඇවිත් ඒ මල් විනාශ කරයි. ඒක දුකක්‌. ඒත් ඒ දුකත් සැඟවිලා යාවි. ආදරයේ අර්ථයත් මේකද.

මේ ගීය උපමා රූපකවලින් පිරුණු ගීයක්‌. එඩ්වඩ් ජයකොඩිගේ සරාගී හඬට ධම්මිකා බණ්‌ඩාරගේ හඬ ඉතා මැනවින් ගැළපෙනවා. රෝහණ වීරසිංහයන් බටහිර තාලයෙන් වගේම පෙරදිග තාලයටත් ගීතය හැඩකර තිබෙනවා. හොඳින් අසන්න. හඬන්න ළංව කොටස කියද්දී ඩ්‍රම්ස්‌ නාදය යොදාගන්නා රෝහණ "තරු ඇසත් ඇරී උදාගිරේ" කොටසේදී තබ්ලාව යොදා ගන්නවා. ගීතයේ ජනප්‍රියත්වයට මෙයද හේතු වූ බව බන්ධුල පිළිගන්වා.

(උපුටා ගැනීම - දිවයින මීවිත)




Wednesday, September 2, 2020

රෑ අහසේ ...

රෑ අහසේ

තරු කැට පායා දිලුනා...

මා තනි වී

සිතිවිලි සයුරේ වෙලුනා...


ඔබේ සුමුදු අත මා අත් පටලා

තරු දහසක්‌ පායා ඇති දිනයක

පියමං කෙරුවා පෙර අප දෙදෙනා

තරු කැට අතරේ රැඳී දිලෙනවා

සිතට දැනෙනවා...


තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා

සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරුකැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා...

පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල

සංගීතය - ආත්මා ලියනගේ

ගායනය - ආත්මා ලියනගේ

තරු පායා ඇති රැයක නිසොල්මනේ මොහොතක්‌ අහස්‌ කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක්‌ වගේ. එහෙමත් නැතිනම් මල්වත්තක්‌ වගේ. අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා.

කෙතරම් සුන්දරද තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්. සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි.

මේ තරු කැටවල සුන්දරත්වය විඳි කිවියන් කී දෙනෙක්‌ කව් ගී පබඳින්න ඇත්ද? තරු දිලෙන රැයක නුබ කුස දෙස බලාසිටිද්දී සොබා දහම කෙරෙහි හිත තුළ ඇති වන බැඳීම කොතෙක්‌ දැයි කියා නිම කළ හැකිද.

රෑ අහසේ

තරු කැට පායා දිලුනා.......

මා තනිවී

සිතිවිලි සයුරේ වෙලුනා........

තරු කැට පායා දිලෙන රැයක තනි වූ සිතකට දැනෙන දැනීම්, හැඟෙන හැඟුම් ගැන කවර කතාද. එවන් මොහොතක තනි වූ සිතක්‌ සිතිවිලි සයුරේ එබී, කිමිදී, වෙලී ලබනා සැනසුම අතිශය සෞන්දර්යාත්මක නොවේද?

ආත්මා ලියනගේට මේ ගීතය ලියා දුන්නේ කුඩා කල පටන්ම ඔහු හා ඇසුරු කළ මිතුරෙක්‌. හේ ප්‍රේමලාල් උඩුමුල්ල. ඉතා සරල පදමාලාවක්‌. නමුත් ඒ තුළ මොකද්දෝ සුන්දර බවක්‌ සැඟවී තිබෙනවා. ආත්මාගේ ගැඹුරු මෙන්ම සංයමයෙන් යුත් හඬත් ඒකට හේතුවක්‌ වෙන්න ඇති.

ඔබේ සුමුදු අත මා අත් පටලා......

තරු දහසක්‌ පායා ඇති දිනයක

පියමං කෙරුවා පෙර අප දෙදෙනා

තරු කැට අතරේ රැඳී දිලෙනවා

සිතට දැනෙනවා

මේ පෙම්වතා තරු පිරි රැයක තනිව සිතිවිලි සයුරක නිමග්නව සිටිනවා.

ඔහුට සිහිපත් වෙනවා. ආදරබර පෙම්වතිය සමග ගත කළ ජීවිතය. දෙදෙනා අතිනත පටලාගෙන තරු පිරි රැයක ඇවිද ගිය හැටි. ඒ මතකය ඔහුට අහසේ තරුකැට අතරින් පෙනී නොපෙනී යනවා. එදා ඇය හා විඳි ආදරයේ මිහිරියාව අදත් ඔහුගේ සිතට දැනෙනවා.

දවසක්‌ ආත්මා බොක්‌ස්‌ ගිටාරයත් අරගෙන ගල්පාත රබර් වත්ත මැද තියෙන අපේ මහගෙදරට ආවා. ඒ මට කියලා සිංදුවක්‌ ලියාගන්න. ඔහු ගිටාරය වැයුවා. එක දිගටම මට වචන ගලාගෙන ආවා. මා අතින් ලියුවුණු පළමු ගීය. රෑ අහසේ නිර්මාණය වුණේ ඒ විදිහටයි. ප්‍රේමලාල් උඩුමුල්ල ගීතය ජනිත කළ හැටි පැවැසුවා.

මම ආත්මාට තවත් සින්දු පහක්‌ විතර ලියුවා. ඒත් ඒවා ඔහු විසිකළා. මම යළි ඒවා අහුලා ගත්තා. දැන් ඒ ගී අඩු පාඩු හදමින් යළි නිර්මාණය කෙරෙනවා.

තරු එළියක්‌ වී දෙනෙනට වැටිලා

සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා....

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරු කැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා.

මේ තරුද සමගින් සඳ පායා ඇති රැයක්‌. තරු එළියෙන් ඔබේ මුහුණ වැහිලා. චන්ද්‍ර කාන්තියෙන් ඔබේ මුහුණ සේදිලා පායා ඇති තාරුකා මා මතකයට නංවන්නේ ආදරණීය හැඟුමන්. ඒ ඔබත් මමත් ප්‍රේමයෙන් වෙලිලා පියමං කළ ආකාරයයි.

තරු කැට පායා දිලෙන ආකාශය දෙස බලා සිටිමින් සිතිවිලි සයුරක වෙලි සිටින මේ පෙම්වතා එක්‌කෝ ප්‍රේමයෙන් පරාජිත වූවෙක්‌ විය හැකියි. එහෙමත් නැතිනම් සිය බිරිය පෙම්වන්තියකව සිටි කාලයේ ඇය සමග ආදරය කළ හැටි සිහිපත් කරන්නෙකුද විය හැකියි.

ගී පද රචකයා ප්‍රේමලාල් වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන නිලධාරියෙක්‌. අවුරුදු තිස්‌පහක්‌ විතර පැරැණි මිත්‍රයා ආත්මා වෙනුවෙන් යළි ගී ලිවීමට දැන් ප්‍රේමලාල් සූදානම්.

රෑ අහසේ ගීතයට ලැබුණු ප්‍රතිචාරය නම් මම දන්නේ නැහැ. ළඟදී ආධුනික තරු ප්‍රසංගයකදී මේ ගීය තරුණයෙක්‌ ගැයුවා. මට සතුටක්‌ දැනුණා. ආත්මා කියනවා මේ ගීයට හුඟ දෙනෙක්‌ කැමැතියි කියලා. 

(උපුටා ගැනීම - දිවයින මීවිත)





Tuesday, September 1, 2020

නිවන් දුටු හිමි ...

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්


ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන

ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා

එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්


මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට

මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට

මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ


නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්

ගායනය - වික්ටර් රත්නායක

පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය - වික්ටර් රත්නායක

බුදුන් වහන්සේගේ අසම සම කරුණා ගුණය මූර්තිමත් කෙරෙන මෙම ගීතයට ගායනය සහ සංගීතය සපයන්නේ විශාරද ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. ගී පද වැල් ප්‍රේමකීර්ති ද අල්විස් ගේය. මේ ප්‍රතිභා පූර්ණ කලාකරුවන් දෙදෙනාගේ සුසංයෝගය ගීතයේ සාර්ථකත්වයට මනා පිටිවහලකි.

සම්බුදු පිළිරුවෙහි කාරුණික දසුන ඇදී යන්නේ සැදැහැවත් බොදු ශ්‍රාවකයාගේ මනසෙහිය. ඒ දෙස බලා සිටිනා ඔහුට බුදුන් වහන්සේගේ මහා කරුණාව මතකයට නැංවෙන අවස්ථා අපමණය. බුදුන් වහන්සේ සෑම දිනකම අලුයම පිබිදී ලෝක සත්වයා දෙස බලන්නේ මහා කරුණා සමාපත්තියට සම වැදීමෙනි. උන් වහන්සේ කවුරු කොතැනක සිටියත් එක් වරක් හෝ තනියම හෝ ශ්‍රාවකයන් සමඟ යොදුන් ගණනින් ගම් නියම් ගම් වෙතපා ගමනින්ම හෝ ඍද්ධියෙන් ම වැඩම කළේ අන්‍යයන්ගේ යහපත උදෙසාමය. අව් වැසි නොතකමින් ගස් යට, ගල් මත, සුන්‍යාගාර වෙත වාසය කරමින්, පිඬුසිඟා වඩිමින් අන්‍යයන් වෙනුවෙන්ම ඇප කැප වූ අයුරු අසම සමය. රාජ මහා අමාත්‍යවරු, සිටුවරු, කසළ ශෝධකයන්, මිනී මරුවන්, මැරවරයන්, යක්ෂයන්, බමුණු බැමිණියන්, දැසි දස්සන්, ගොවි, කම්කරුවන් ආදී අපමණ පිරිස් වෙත සම්බුදු දෙනෙත විවිර වුයේ මහා කරුණාවෙනි. ඒ ජීවමාන බුදුන් වහන්සේ අද දැකිය හැකි වන්නේ ත්‍රිපිටකය මනා ලෙස පරිශීලනය කිරීමෙනි.

ගීතයේ සඳහන් සේ සම්බුදු පිළිරුව දෙස බලා සිටින රසිකයා බණ පද අසා ඇත. එහෙත් ඔහුට බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ම බණ පද අසන්නට තරම් පිපාසයක් දැනෙන්නේ තම හදවත තෙමාලන බුදුන් වහන්සේගේ කාරුණාබර දසුනයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව

පමණි අද මට ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇතිමුත්

ඇසූයේ හිමිගේ හඬින් නොව’

මෙම පැදි පෙළෙන් එය මනාව අනාවරණය වෙයි. මෙහි විශේෂත්වය වන්නේ අනේපිඬු සිටු පුතුට බණ දේශනා කළ අයුරින් ම බුදුන් වහන්සේට බණ දේශනා කරන ලෙස අයැදීමයි.

‘ අනේපිඬු සිටු පුතුට මෙන්

අනේ හිමියනි මට ද දැන්

දෙසා වදහළ මැනවි බුදුබණ

මහා කරුණාවෙන්...

මහා කරුණාවෙන්...

අනේ පිඬු සිටු පුතුට බුදුන් වහන්සේ බණ දේශනා කළේ කෙසේ ද? යනුවෙන් රසික සිත විමසිලිමත් වෙයි. ඒ පින්බර පුවත මෙසේ ය.

අනේපිඬු සිටුතුමා රජගහ නුවර බලා පිටත්ව ගියේ භාණ්ඩ රැගත් ගැල් පන්සියයක් සමඟය. එදා වෙනදා මෙන් තමා පෙර මඟ පිළි නොගත් රජගහ සිටුතුමා සිටුගෙදර කටයුතු කළේ බොහොම යුහුසුළුවය. එයට හේතුව විමසූ අනේපිඬු සිටුතුමාට දැනගන්නට ලැබුණේ, රජගහ සිටුතුමාගේ මැඳුරේ බුදුපාමොක් මහ සඟනට දානයක් සූදානම් කරන බවයි. බුදු කෙනෙකුගේ අග්‍රඋපස්ථායක වීමට පෙර සසරේ සිටම පැතූ අනේපිඬු සිටුතුමාට “බුදුන්” යන වදන ඇසීමෙන්ම ඇතිවූයේ බලවත් ප්‍රීතියකි. එතෙක් සිටුතුමා කිසි දිනක බුදු කෙනෙකුදැක හෝ අසා නැත. ඒ නිසාම ඔහු “ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමටට දැන් යා හැකි දැ” යි රජගහ සිටුතුමාගෙන් විමසුවේය. එහිදී ඔහු පැවසුවේ භාග්‍යවතුන් වහන්සේ දකින්නට සුදුසු මොහොත දැන් නොවන බවත්, හෙට දිනයේ සිටු ගෙදර දන් පිණිස වඩින බුදුන් වහන්සේ දැකිය හැකි බවත්ය. අනේපිඬු සිටුතුමා, ඒ අමා මෑණී බුදු පියාණන් වහන්සේ හෙට දිනයේ දකින්නට යමි’ යි සිතමින් නැවත තම මැඳුර වෙත ගොස් රාත්‍රියේ සැතපී ප්‍රථම යාමයේ නින්දෙන් අවදිවී සිහි කළේ තමා මෙතෙක් නොදුටු බුදුරදුන් ගැනය. බුද්ධාලම්භන ප්‍රීතියෙන්ම පිවිතුරු වූ සිතෙන් නැඟුණු ආලෝකයෙන් ඔහුට දැනුණේ රාත්‍රිය පහන් වී හිරු උදා වූවා සේය. ඔහු වහා යහනින් නැඟිට සඳළුතලය වෙත පැමිණියේ රැය පහන් වි ඇතිදැයි සිතමිනි. නැඟී ඇති සඳෙහි දසුනෙන් තවමත් රාත්‍රිය බව දැනගත් ඔහු නොඉවසිලිමත් සිතෙන් තෙවරක්ම අවධි වූයේ මෙතෙක් නොදුටු බුදුරදුන් සිහි කරගෙනය. බුද්ධාරම්මණයෙහි සමාධි වූසිතින් ඔහු නැවතඅවධි වූයේ පශ්චිම යාමයේ අවසාන භාගයේ දීය. ඔහුට බුදුරදුන් දැකීමට යන පින්බර ගමන උදා වූයේ සත්මහල් ප්‍රාසාදයේ දොරගුළු ඉබේම විවිර වීමෙනි. පිවිතුරු සිතින්ම නැඟුණු ආලෝකය හමුවේඔහු මැඳුරෙන් පිටතට නික්ම ගියද අමනුෂ්‍යයන්ගේ බාධා හමුවේ සිටුතුමා නැවත මැඳුර වෙත පිය නැඟීමට යුහුසුළු වූයේ බියට පත්වය. එය දුටු ‘සීවක’ දෙවියා සිටුතුමාට නොපෙනෙමින්, ඔහුට ඇසෙන සේ පැවසූ වදන් පෙළෙන් සිටුතුමාට ඇති වූයේ ඉමහත් ධෛර්යයකි. ඔහුට බුද්ධාලම්භන ප්‍රීතියෙන් නැවත ආලෝකය පහළ වුව ද මඳ දුරක් ඉදිරියට යද්දී නැවතත් අමනුෂ්‍යයන්ගේ බාධා ඇති විය. එහි දී ද ‘සීවක දෙවියා’ ඔහු නැවත බුදුරදුන් දකින්න යන ගමන උදෙසා උනන්දු කරන්නට ඇත්තේ සිටුතුමාගේ පෙර සසරෙ හි පිනෙහි මහිමය නිසයි. මෙසේ තෙවරක්ම පහළ වූ ආලෝකය හමුවේ සිටුතුමා, බුදුරදුන් වැඩ සිටි ශීත වනයට පිවිසියේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.ඔහු මෙසේ සිතීය. බුදුන් වහන්සේගේ ‘බුද්ධත්වය’ සැබෑ නම් කිසිදිනක නොදුටු, නොදන්නා මාගේ නාමයෙන් අමතනු ඇත යන්නය. සිටුතුමා දුර සිටම පැමිණෙන දුටු අසම සම බුදුන් වහන්සේ ‘සුදත්ත’ මෙහි එන්නැ’යි ඇමතීය. එයින් බලවත් ප්‍රසාදයට පත් ශ්‍රද්ධාවන්ත සිටුතුමා උතුරා ගිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් සම්බුදු පාද මූලයේ වැඳ වැටුණේ නමස්කාර පූර්වකවය.

එහි දී බුදුන් වහන්සේ, සිටුතුමාට දහම් දෙසා දාන කථා ආදියෙන් සිත සකසා, චතුරාර්ය සත්‍ය පහදා දුන් අයුරු අපූර්වය. මෙසේ සෝවාන් ඵල ලැබූ සිටුතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් ව පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දනට ආරාධනා කළේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. ඔහු බුදුන් වහන්සේට වස් වැසීමටද ඇරැයුම් කර පහන් සිතින් කළ පරිත්‍යාගයද උතුම්ය. ‘ජේත කුමාරයාගේ’ උයනෙහි අටළොස් කෝටියක වියදමෙන් විහාරයක් කරවා බුදුපාමොක් මහ සඟරුවන වඩමවා අටළොස් කෝටියක වියදමෙන් කළ පූජෝපහාර ද ඉමහත්ය. මෙසේ සම්බුදු සසුන උදෙසා ඔහු පිදූ ධනය සිවු පනස් කෝටියක් බව ධර්මයේ සඳහන්ය.

ගීතයේ සඳහන් සේ අනේ පිඬු සිටු පුතුට දහම් දෙසුවා සේ තමාට ද දහම් දෙසන්නැ’යි බුදුන් වහන්සේට ඇරැයුම් කරන රචකයා විටක රළු කළු ගලකට ආරෝපණය වන්නේ සිතෙහි නැඟෙන ශ්‍රද්ධාව නිසාමය. තමා යකුළු පහරින් වෙන් වුණත් ඉවසා සිටින්නේ නෙළන කුළුණුබර බුදු පිළිම වහන්සේ උදෙසාය. තවත් විටක කුළුණු බර බුදු පිළිම වහන්සේ නෙළන්නට තරම් රළු කළු ගලක් කපා ඔපමට්ටම් කරන කලාකරුවා පෙන්වන දස්කම් විස්කම් සැබවින්ම විස්මිතය. ඒ උදෙසා කලාකරුවා මෙන්ම රළු කළුගලකට ආරෝපණය වන්නාගෙන් මතුවන ඉවසීමේ ගුණය මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් දුන් සන්සුන්පිළිවෙත සේය.

(උපුටා ගැනීම - බුදුසරණ පුවත්පත)







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...