Tuesday, January 19, 2021

අකලට වට මහ ...

අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ

නොසිතූ මොහොතක

ඇයි දෝ යළි ආවේ


පෙර දා මෙන් හද මල් පිපුණා දෝ

සතුටු කඳුළු නුවනග මිදුනාදෝ

අතීත ආදර නටබුන් අතරේ

මන්දිර මැව්වාදෝ


සොවක් නැතේ නොසිතනු මැන සංකා

ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා

රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි

සතුටයි කිරුළ අපේ


හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ

ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ

විමසන වදනට පිළිතුරු දෙන්නම්

ළඟකදි ලබන දිනේ


අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ

නොසිතූ මොහොතක

ඇයි දෝ යළි ආවේ////


ගායනය - නිරංජලා සරෝජිනී

පද රචනය - දයා ද අල්විස්

තනුව - නන්දා මාලිනී


මෙය ගැහැනු තුන් දෙනකුගේ එකතුවෙකි. මේ ගීය බිහිවන සමයේ පිළිවෙළින් වයස හතළිස් ගණන්, තිස් ගණන් සහ විසි ගණන් වල සිටි පද රචිකාව, තනු රචිකාව සහ ගායිකාව යන තිදෙනා දෙස මසැසින් අද බැලූ විට ද දැනෙන්නේ අපූර්වත්වයකි. තිදෙනාම ආදරයේ විවිධ වූ සෙයියාවන්හි වියෝගයට ලක් වූ අයය. එනමුදු ගීය බිහිවන විට කතාව එසේ නැත. ඔවුන්ගේ ජීවිතය වෙනස්. එනමුදු මේ සංගීතය ඒ අනාගතය දුටුවාක් වැන්න ! එහි ඇත්තේ මුදු මොලොක් බවට යටින් හුයක් සේ දිවෙන කීරි ගැහෙන දුකයි. පුරුෂාධිපත්‍යය නමින් හංවඩු ගැසූ නමුත් පුරුෂාධිපත්‍යයේ කටුකත්වයයි. ආත්මාර්ථයයි. සිතාරය හැඬවෙන සැටි අසන්න. ගැහැනියගේ නිහඬ කඳුළු කොපුල් දිගේ රූටන හඬ නොවෙද ඔබට ඇසෙන්නේ? වයලීනයේ තියුණු බව අසන්න ! එය නැලවිල්ලක් නොව වැලපිල්ලක්ම නොවේද? බටනලාව වෙනම චරිතයකි. සියලූ සාංකා පරවශ බව මූර්තිමත් කරන්නේ ඇසී නෑසෙන වස්දඬු රාවයෙන් නොවේද?


දයා ද අල්ව්ස් මහත්මිය අදහස් දක්වමින් "මේ ගීතය මගේ අත්දැකීමක් නෙවෙයි. මේ ගීතය ලියන්න හේතුවුනේ මම සමාජයෙන් හා මගේ යෙහෙළියන්ගේ අසන්න දකින්න ලැබුණු යම් සිදුවීම් හේතුවෙන්.


පෙම් සබඳතා බිඳී ගියාම පෙම්වතුන් වෙන් වෙන්නේ ආයේ හමුවීමේ බලාපොරොත්තුවකින් නෙවෙයි. නමුත් සමහර වෙලාවට නැවතත් මේ අතීතය ලංවෙන්න හදනවා. නැවතත් එක්වීමට ආරාධනා කරනවා. නමුත් බිඳී ගිය ප්‍රේමය එයින් නැවතත් එක්කිරීම ඉතා අසීරු දෙයක්. මේ අතීත පෙම්වතුන් සමහර විට වෙනත් අළුත් සබඳතා ඇතිකරගෙන තියෙන්න පුළුවන්. එවිට නැවතත් සබඳතා ආරම්භ කරන්න උත්සාහ කිරීම නිසා ගැටළු ඇතිවෙන්න පුළුවන්. 


මේ ගීතයේ "අසුබ දිනෙක ආ සුබපැතුමක් සේ" යනුවෙන් පදපේලියක් තියෙනවා. ඒකට හේතුවුනේ මම පාසල් යන කාලේ මගේ මිතුරියෙකුගේ පියා හදිසියේ නැතිවෙලා ඒ ආරංචිය නිසා මම යාළුවාගේ ගෙදර ගියා. මම යාළුවාගේ දුක බෙදා ගෙන ඇයගේ සිත හැදීමට උත්සාහ කළා. මේ වෙලාවේ මේ ගැන දන්නේ නැති යාළුවෙක් ඇවිත් පියා නැතිවුන මගේ යාළුවාට ගුඩ් මෝනිං කිව්වා වෙනදා පුරුද්දට. මගේ යාළුවාට ඒකට උත්තර දෙන්න තරම් හොඳ මානසිකත්වයක් තිබුණේ නෑ. මේ ගීතය ලියද්දී මෙම අතීත සිදුවීමත් මට මතක් වුන නිසා එවැනි පදපේලියක් ලිව්වා.


මෙහි මුණගැසෙන යුවතිය හෝ ගැහැනිය වරෙක ප්‍රේමයෙන් පරාජිත වූ තැනැත්තියකි. ඒ පරාජය තුළින් ඈ අප්‍රමාණ වූ වේදනා විඳින්නට ඇත. එහෙත් ඇය නැවතත් ජීවිතය අරඹන්නේ අලුත් ප්‍රේමයක ආස්වාදනීය හැඟීම් සමඟයි. ඒ ආස්වාදය උත්තරීතර ලෙස භුක්ති විඳිමින් සිටින අවස්ථාවක ඇය අමතක කර ඇය හුදෙකලා කළ පෙම්වතා ඈ සොයා එයි.


අහම්බෙන් ලැබුණු මේ ප්‍රේමාරාධනාව වෙනුවෙන් රචිකාව යොදාගන්නේ අපූරු උපමාලංකාරයකි. ඒ මඟින් මේ අනපේක්ෂිත ආරාධනාව ඇයට දැනුණු ආකාරය ඉදිරිපත් කරයි.


”අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනක ආ සුබ පැතුමක් සේ

මා හැරගිය ඔබ නොසිතූ විලසින්

ඇයි දෝ යළි ආවේ


මෙහි අපූර්වත්වය වන්නේ තමා අතහැර ගිය පැරණි පෙම්වතාට ඇය ද්වේශ නොකිරීමයි. ඇය ඔහු දෙස බලන්නේ උපේක්ෂාවෙනි. මේ මොහොතේ ඔහුගේ හැඟීම් තේරුම් ගැනීමට ඇය උත්සාහ කරයි. පැරණි පෙම්වතා පිළිබඳ සියුම් අනුකම්පාවක් ඇගේ සිතේ ඉතිරි වී ඇති බව හැඟෙයි. ඔහු දැන් උත්සාහ කරන්නේ අතීත ආදර නටබුන් අතර තවත් ප්‍රේම මන්දිරයක් තැනීමටයි. කෙටියෙන් පවසතොත් නටබුන් නැවත පිළිසකර කිරීමටයි.


පෙරදා මෙන් හද මල් පිපුණාදෝ

සතුටු කඳුළු නුවනග ගැලුවාදෝ

අතීත ආදර නටබුන් අතරේ

මන්දිර මැව්වාදෝ


එහෙත් නැවත ඔහු හමුවීම නිෂ්ඵල ය. තමා වරෙක හැරදමා ගිය ඔහුට මානසික දඬුවමක් දීම ඇයට අවැසි ය. ඒ නිසා තම අලුත් සහකාරයා රජකු බවත් ඒ ආදර ලෝකයේ තමා රැජිනක් බවත් ඇය කියාපායි. ඒ ප්‍රකාශයම ඔහු මානසික පසුබෑමකට ලක්කරවන්නකි. එය ඈ විසින් දෙනු ලබන සාධාරණ වූද මානුෂීය වූද දඬුවමකි.


පලක් නැතේ නොකරනු මැන සංකා

ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා

රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි

සතුටයි කිරුළ අපේ...


ඒ සතුටේ කිරුළ බිම තබන්නට ඇය සූදානම් නැත. තම අලුත් ජීවිතය ඇතුළත ඈ අභිමානයක් ගොඩනඟා ගනී. නැවත ඔහුගෙන් අනුකම්පාවක් අනවශ්‍ය බව ඇය කියා පායි. ඒ නිසා ඔහුට සෘජු පිළිතුරක් හෙට දවසේ දී දීමට ඈ සූදානම්ය.


පලක් නැතේ නොකරනු මැන සංකා

ඔබෙන් ලබනු කුමටද අනුකම්පා

විමසන වදනට පිළිතුරු දෙන්නම්

ළඟකදි ලබන දිනේ


මේ අනුභූතිය බොහෝ ස්ත්‍රීන් ලබා ඇත්තකි. නිරංජලා සරෝජිනී කෙසේ වෙතත්, දයා ද අල්විස් හා නන්දා මාලිනිය මේ අත්දැකීමෙන් පෝෂිත බව මගේ සිතුවිල්ලයි. මෙතරම් අව්‍යාජ පදමාලාවක් මෙන්ම තනු නිර්මාණයක් තුළ එබඳු ආධ්‍යාත්මික සංවේදනාවක් ගැබ්විය යුතුම ය.


අසූව දශකයේ දී මේ ගීතය කෙතරම් ජනප්‍රිය වූවා ද යත් බොහෝ තරුණියන්, තමන්ට කෙරෙන ප්‍රේමාරාධනා වලට පිළිතුරු සේ මෙහි අන්තර්ගත එක් වැකියක් ලියා යවනු දක්නට ලැබිණි.


”රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි

සතුටයි කිරුළ අපේ”


ජීවිතය රසබර වන්නේ මෙබඳු අපූර්ව සිදුවීම් නිසා ය. අසීරු වන්නේ එබඳු සිදුවීම් නිර්මාණගෝචර කරගැනීමයි. මේ කාන්තාරත්නයන් තිදෙනා ඒ අභියෝගය මනාව ජයගෙන තිබේ.


(උපුටා ගැනීම දිවයින හා ධම්මික බණ්ඩාර/සිළුමිණ) 



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...