Wednesday, March 10, 2021

ඉවාන් පවුළුෂා...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

ඇයි හොරැහින් ම දෙස බලන්නේ

නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//


ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...


නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..

ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..

බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..

මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//

ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....


හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..

කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..

එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..

සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ..

නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..


දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...


ගායනය - අප්සරා ද සිල්වා

සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්

පද රචනය - චාරුක සුරවීර


ඉවාන් පාවුලුශා ගීතයේ ගේය පද රචක චාරුක සුරවීර මහතා, සංගීත අධ්‍යක්ෂණය කල ප්‍රියන්ත ඩිරෙක්ස් මහතා හා එහි මියුරු හඬ සුගායනය කල අප්සරා ඩී සිල්වා මහත්මිය සමඟ “Colombo Beacon“සිදු කල සොඳුරු කතාබහයි.


ඉවාන් පාවුලුශා ගීතය රචනා වෙන්නේ රුසියන් නව කතාවක් ආශ්‍රයෙන්ද

නෑ…මෙහෙමයි , අපිට ඒ දවස්වල රුසියන් ජිප්සීස්ලා ගැන සිංහලින් ගීතයක් ලියන්න ඕනකම තිබුනා. කැම්පස් එකේ සෝවියට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තිබුනා. ඒකේ ”ජිප්සි කැම්ප් වැනිෂශ් ඉන් ටු ද බ්ලූ” කියන චිත්‍රපටය පෙන්නුවා. ඒ චිත්‍රපටිය හැදුවේ ගෝර්කිගේ “මකාර් චුද්‍රා” කෙටි කතාවෙන්.අපි ඒ පොතත් කියවලා තිබුණා.ඊට පස්සේ රුසියන් නව කතා පොත් ගොඩක් කියවලා චාරුක තමා සිංදුව ලිව්වේ. මුලින්ම විනාඩි විස්සක් විතර කියන්න පුලුවන්  දිග සිංදුවක් චාරුක ලියාගෙන ආවා. පස්සේ ඉතින් පද පේලි උඩ යට මාරු කරලා, වෙනස් කරලා විනාඩි පහේ සිංදුවක් කරගත්තා. ඔහොම තමයි “ඉවාන් පාවුලුශා” ගීතය සඳහා අපට අදහසක් එන්නේ.


”ඉවාන් පාවුලුශා” ගීතයේ නිර්මාණ කටයුතු කල ආකාරය ගැන කතා කරන්න කැමතියි.

මේ ගීතයට අපි බලාපොරොත්තු වුනේ ජිප්සීස් මියුසික් එකක්. (අහිගුණ්ඨික ජන සංගීතය) එකෝඩියන් එකයි වයලීන් එකයි හැර අනිත් ඔක්කොම සංගීත භාණ්ඩ වාදනය කලේ අපේ කැම්පස් එකේ ලමයි.ඊට පස්සේ ඒ දවස් වල නීති පීඨයේ කලා උළලේ හොඳම ගායිකාව වුනු අප්සරා ඩී සිල්වා අපි මේ ගීතය ගායනා කරන්න තෝරගත්තා. ගීතය රෙකෝඩ් කලේ බොරැල්ලේ බිශොප් පැලස් එකේ. ඒ දවස්වල කැලණිය කැම්පස් එකේ ඉගෙන ගත්ත සෙනේශ් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් කලා “යාත්‍රා” කියලා. සෙනේශ්ව හමුවුනා අපේ පීච්චම ළඟ තෙල් බැම්මේ දී. දැන් ඔය කැෆටේරියා, කැන්ටිම් කියලා පොශ් නම් තිබුනට ඉස්සර කිව්වේ පීච්චම කියලා සෙනේශ් කිව්වා අපි හරියට ගීතය කලොත් ඒක රූපවාහිනියේ එයාගේ වැඩසටහනට ගන්නවා කියලා. සෙනේශ්ලා තමයි ගීතයේ රූප රචනය ඒහෙම කලේ. අපිත් ඉතින් ගියා  නුවරඑලියේ රඟපාන්න. විනාඩි පහේ ගීතයට මුලු දවසක්ම රඟපෑවා. අප්සරා ගීතයට ඕන කල විදියේ ජිප්සීස් නැටුම්  ඉගෙන ගන්න රුසියන් බැලේ ඩාන්ස් ගැන ඒ දවස් වල හොඳට ඉගෙන ගෙන හිටිය රුවිනීතා සුබසිංහ පෙරේරා ගාවටත් ගියා.


”ඉවාන් පාවුලුශා” ගීතයෙන් ඉස්මතු කරන කතාව මොකද්ද?

ගීතයක් ඕනම විදියට ඕනම කෙනෙක්ට රස විඳින්න පුලුවන්.ඒ සඳහා බලපාන්නේ රසිකායගේ ගීතය රස විඳීමේ හැකියාවේ ප්‍රමාණය. මේ ගීතයෙන් කියන්නේත් නිදහස් ජීවිතයක් ගතකරන්න කැමැති අහිගුණ්ඨික තරුණියක් ඒ ජීවීතය බෙදාගන්න තවත් අහිගුණ්ඨික තරුණයෙක්ට කරන ප්‍රේමනීය ආරාධනාවක් වගේ එකක්. මෙහෙමයි රසිකයෙක්ට තමන්ට චිත්‍ර රූප මැවෙන විදියට මේ ගීතය ගැන අපි හිතන්නේම නැති දෙයක් දැනෙන්න පුලුවන්. ඒක පුද්ගලබද්ධයි.


”ඉවාන් පාවුලුශා ” ගීතයේ සංගීතය ගැන කතා කරමුද?

අහිගුණ්ඨිකයෝ නැත්නම් ජිප්සීස්ලා නිර්මාණය වෙන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ ඒ අය යුරෝපයටත්, පෙරදිග අනිත් රටවලටත් සංක්‍රමණය වුනාලු. ඒ හේතුව නිසා එයාලා ලඟ තියන සංගීතයටත් හින්දුස්තානී රාගධාරී සංගී‍තයේ ආභාෂය තියනවා. අපි අදාල විදියට රුසියානු ජිප්සීස් සංගීතය තනුවට යොදාගත්තා අපේ ක්‍රමයට.

(උපුටා ගැනීම - Colombo Beacon)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...