Monday, August 31, 2020

පාට පොදක් තිලකලා ...

පාට පොදක් තිලකලා නලල් තලාවේ 

කැලුම් වළලු නෙතින් අතුරලා 

මුතු සිනා සල සලා නැලවි නැළවියේ 

නිවන් මහද නීල වරලියේ... 


ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ 

තුටින සලල රැඟුම් රඟ රඟා...

පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා 

නිමා නොහැක ආල කුමරුනේ... 


පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ 

මල් නුවරේ පෙම් සුවඳේ...

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී 

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී

ආල වඩන ගීත සුරල් පා.. වේවී.. 

හොහෝ හෝ.. හහා හා..

හොහෝ හෝ.. හහා හා..

හෝ........

පාට පොදක් තිලකලා....

ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ 

පුංචි වියේ අන්දරසේ.... 

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා 

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා 

සීතාවන් රුවන් ළඳුන් මා... ලා මා

හොහෝ හෝ.. හහා හා..

හොහෝ හෝ.. හහා හා..හෝ.......

පාට පොදක් තිලකලා.........

ගායනය : එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක

පද රචනය : සෝමපාල ලීලානන්ද

සංගීතය : සරත් දසනායක

චිත්‍රපටය : කස්තුරි සුවඳ

අධ්‍යක්ෂණය : සේන සමරසිංහ

තිරගතවු දිනය : 1974.03.08

රගපෑම් : ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, බන්දු සමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා

සේන සමරසිංහ නමැති චිත්‍රපට නිෂ්පාදකයා දෙවැනි චිත්‍රපටය අරඹන්නේ අධ්‍යක්‍ෂවරයකු ලෙස අභියෝගාත්මක පිම්මක්‌ පනිමිනි. ඒ පිම්ම තමාගේ සිනමා ජීවිතය සුවඳවත් කරනු ඇතැයි ඉවක්‌ සේන සමරසිංහට තිබුණේදැයි නොදන්නා නමුත් එය එසේම සිදුකරමින් "කස්‌තුරි සුවඳ" සිනමා පටය එදා ප්‍රේක්‍ෂක සිත් ආලෝකනය කරමින් සිනමා හල්වල පැල් බැඳ මාස ගණන් අඛණ්‌ඩව ප්‍රදර්ශනය විය. සිව්කොන් ප්‍රේම වෘතාන්තයක්‌ වටා ගෙතුණු කස්‌තුරි සුවඳ චිත්‍රපටයේ එදා වාණිජ සිනමාවේ පාතක යෝධයන් වූ ගාමිණී - මාලනී මිල්ටන් ජයවර්ධන ලයනල් දැරණියගල අද්විතීය රංගනයක නියෑළෙමින් යොවුන් හදවත් ආනන්දයෙන් පිරවූයේය. කස්‌තුරි සුවඳ චිත්‍රපටය පරිපූර්ණත්වයට පත්වීමට සරත් දසනායකයන්ගේ සුමියුරු සංගීතය, සෝමපාල ලීලානන්දයන්ගේ මතකයේ රැඳෙන දෙබස්‌ හා ගීත පදමාලාවන්ද මහෝපකාරී වූ බව කිවමනාය. එහි එන පාට පොදක්‌ තිලකලා (ඇන්ජලීන් - ජෝති) හදවිමන් දොරින් ( කරුණාරත්න අබේසේකර) පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ (ඇන්ජලීන්) ලස්‌සන ලෝකෙක ඉපදීලා ( ජෝතිපාල) මල්වයසේ මධුසිහිනේ (ජෝති, වික්‌ටර්, ඇම්. ඇස්‌.) අද පවා ජනප්‍රියත්වයේ ඇති ගීත බව සනාථ කිරීමට ද රූපවාහිනී නාලිකා ඔස්‌සේ ජනප්‍රිය කිරුළ හඹා යන්නවුන්ට ප්‍රේක්‍ෂක හදවත් සොරාගැනීමට මෙම ගීත ගැයූ සැණින් මහෝපකාරී වන අයුරින් ප්‍රකට වේ. 

සෝමපාල ලීලානන්දයන් ලියූ "පාට පොදක් තිලකලා" ගීතය ගයනු ලැබුවේ එච්.ආර්. ජෝතිපාලයන් හා ඇන්ජලින් ගුණතිලකය. මෙය සකල කාලයටම පොදු පාට පොදක්මය.

”පාට පොදක් තිලක ලා

නළල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

මුතු සිනා සල සලා නැළවී නැළවී ඒ

නිවන් මහද නීල වරලියේ”

"කස්තුරි සුවඳ" චිත්‍රපටයට මෙම ගීතය රචනා කර ඇති අතර එහි කාන්තා චරිතය රඟපෑවේ මාලිනි ෆොන්සේකාය. ඇයට තරුණයන් තුන් දෙනෙක් පෙම් කරයි. තරුණයාගේ චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකාය.

ඔහු ආදරයෙන් පරාජිත වී නැවත තම ගමට යයි. මේ සිදුවීම තවත් තීව්‍ර කිරීමේ අවශතාව නිසා ඉහත ගීතය රචනාව ලබාදුන් බව ඔහු පවසයි. තම මුල්ම ආදරයේ විරහව ඉවසිලවන්තව දරා ගැනීමට හුරු පුරුදු වූ ඔහු එකී ආදරය ගැන මෙසේ ලීවා පමණක් නොව, ඔහු ගේ සිත තුළ හැමවිටම තිබුණු ‘‘ආදරය පූජනීයයි‘‘ යන හැඟීම නිසාම ඔහු ලියූ සෑම චිත්‍රපට ප්‍රේම ගීතයකටම මේ අදහස කැටි වූයේය.

"පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ

මල් නුවරේ පෙම් සුවඳේ‘‘‘‘

තරුණයන් කිහිප දෙනෙක් එකම තරුණියකට පෙම් බඳින්නේ කෙසේ හෝ ඇයව ලබා ගැනීමේ අරමුණ සැමදෙනාගේම සිතෙහි එකසේ තබා ගනිමිනි.

මෙම "පාට පොදක් තිලකලා" ගීතයේ තනුවටම පසුකාලීනව රවිලාල් විමලධර්ම මහතා (යශෝධා විමලධර්මගේ පියා) විසින් හින්දි වචන යොදා  "ආජු මෙරා දිල්" නමින් ගීයක් රචනා කොට ජෝති හා ඇන්ජලින් ලවා ගායනා කර ඇත. 









Saturday, August 29, 2020

සඳ රාජිනී ...

සඳ රාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී

මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී

සඳරාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී 

මේ රැයේ පාලුවේ... 

ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා

මතකේ සදා සුවඳේ වෙලී සංසාරයේ ඉන්න මා හා

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ...

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ...

වේදනා යා කළේ... මායාව සේ...

වැළපෙන්න දෝ මේ ලෙසින්... 

රෑ තුන්යමේ හඬනා මගෙන්

වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ

සුළඟේ රැඳී කාටත් හොරා

මාගේ ළඟින් ඉන්නදෝ...

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ

වේදනා යා කළේ මායාව සේ

පළිගන්නදෝ මේ ලෙසින්....

ගායනය - නිරෝෂා විරාජිනි 

පදරචනය - රොඩ්නි විදානපතිරණ 

සංගීතය - සරත් ද අල්විස් 

මං ඔයාට ආදරේ කළ තරමට ඔයා මට ආදරේ කළා ද. සයුරු තලාවක. සුදුමුදු වැල්ලේ. මම ඔබේ තුරුලට වී හිටියා. අපි දෙන්නා ගොඩාක්‌ දේ කතා කළා. තේරුමක්‌ ඇති දේට වඩා අපි කතා කළේ තේරුමකට නැති දේ ඒත් අපි එයින් සතුටක්‌ ලැබුවා. මං ඔයාට ආදරේ කළ හැටි. දන්නේ මේ ඉර හඳ ගස්‌ කොළං විතරමයි. වැඩියෙන්ම ඒ ගැන හඳ සාක්‍ෂි දේවි. අපි දෙන්නගේ ආදරේ ගැන... අපි දෙන්නා හඳ එළියේ කොයිතරම් වෙලා තුරුළුවෙලා ආදර බස්‌ තෙපලුවද.

අනේ ඒත් අද ඔයා මගෙන් වෙන්වෙලා. ඔයාගේ හදවතේ තවත් කෙනෙකුට ඉඩක්‌ දුන්නේ කොහොමද. සදා කාලයටම ඔයා මගේ මං ඔයාගේ කියලා නේද අපි කතා කළේ ඇයි මගෙන් වෙන්වෙන්න හිතුවේ. අද මම තනිවෙලා. එදා මාව තුරුළු කරගෙන හිටපු ඔයා අද. ඇය සමග. අපි ආදරේ කළ හැටි හොරැහින් බලා සිටි සඳු පවා අද නිහඬයි. මේ පාලු රාත්‍රියේ මම තනිවෙලා වේදනා විඳිනවා. සඳ රාජනිය හැංගිලා. අනේ මේ හදවතේ නැගෙන ගින්දර මාව දවා අළු කරාවි.

සඳ රාජිනී ඇයි ද හැංගී

ඇයි ද හැංගී

මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී

සඳරාජිනී ඇයි ද හැංගී

ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ...

විරහව මේ තරමටම දුකක්‌ද දෙයියනේ. ඇයි ඔයා මට මේ දුක දුන්නේ. ඔයා මාව දාලා ඈතට ඈතට නොපෙනී ගියා නම්. මට දුක ඉවසා ගන්න පුලුවන්. ඒත් ඔයා මගෙන් සමුගන්න ආවේ ඇයත් එක්‌ක. අතිනත් අරගෙන.මම කොහොමද ඉවසන්නෙ. කමක්‌ නැහැ. අපේ අතීත ආදර සුවඳ මා එක්‌ක හැමදා හිඳිවී. මේ සංසාරය නිමාවෙන තුරු ඒ සුවඳේ වෙලිලා ඔයා මා එක්‌කම ඉන්න.

එදා අපි කොයිතරම් සිsහින මැව්වද. පැතුම් පැතුවද. ඒත් එදා පැතූ පැතුම් ප්‍රාර්ථනා කළ සතුට අද නැහැ. කෝ ඒ සිනාවන් මායාවක්‌ වෙලා. ජීවිතයම මායාවක්‌. වේදනාව ඉතිරි කළේ මට මේ විදිහට වැළපෙන්නද.

ඈ හා බැඳී ආවා එදා

සමුගන්න මාගෙන් මිදීලා

මතකේ සදා සුවඳේ වෙලී

සංසාරයේ ඉන්න මා හා

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ

වේදනා යා කළේ මායාව සේ

වැළපෙන්න දෝ මේ ලෙසින්.

පෙම්වතියකගේ වැළපීම වේදනාව විරහව වගේම මේ ගීයේ පදමාලාව අතර ශෘංගාරයකුත් සැඟවී තිබෙනවා. මේ පද එකිනෙක අමුනා ගීයක්‌ බවට පත්කළේ රොඩ්නි විදානපතිරණ, සරත් ද අල්විස්‌ තනු නිර්මාණය කළා. නිරෝෂා ගීය ගයන්නේ හදවතින්මයි.

මම ඔය පද ටික ලිව්වේ සරත්ගේ තනුවට. සරත් තනුව නිර්මාණය කළාට පස්‌සේ වචන ටික ලියන එක මට අභියෝගයක්‌ වුණා. නිමිත්තක්‌  අත්දැකීමක්‌ පදමාලාවට නැහැ. රෙකොඩින්වලට අරගෙන යද්දීත් මම පදමාලාව මඟ දිගට හැදුවා. ඉවර කළේ ස්‌ටුඩියෝ එකේදී රොඩ්නි ගී උපත විස්‌තර කළා.

රෑ තුන්යමේ හඬනා මගෙන්

වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ

සුළඟේ රැඳී කාටත් හොරා

මාගේ ළඟින් ඉන්නදෝ

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ

වේදනා යා කළේ මායාව සේ

පළිගන්නදෝ මේ ලෙසින්....

මගේ හදවත පැළෙන්න එනවා. මේ තරම් හඬන්න. මේ තරමට කඳුළු කොහෙන් ආවද මන්දා. ඒත් ඉවරයක්‌ නැහැ. රැයක්‌ දවාලක්‌ නෑ. ඔබ සිහිවන තත්ත්පරයක්‌ තත්ත්පරයක්‌ පාසා මගේ ඇස්‌ දෙකෙන් කඳුළු කැට කඩා වැටෙනවා. හදවත ඉකිබිඳිනවා.

අනේ මගෙන් වෙන්ව යන්න එපා. හැබැහින් එන්න බැරිනම් අඩුම ගානේ කාටත් හොරෙන් සුළඟ එක්‌ක ඔයාගේ සුවඳ එවන්න. ඔයා මා එක්‌ක ඉන්නවා වගේ දැනේවී. මට ඔයා නැතුව ඉන්න බෑ. මා පැතූ සිනාව අද කෝ. මායාවක්‌ වගේ මේ දුක මට දෙන්න. මගෙන් පළිගන්න මම කළ වරද මොකක්‌ද.

ඉතාම වේදනාබර ගීයක්‌. නිරෝෂාගේ හඬ හැබෑ ශෝකාකූල බවකින් යුක්‌තයි. ඒ හඬට ඔබින ගී තනුව සංගීතය වගේම රොඩ්නිගේ පදමාලාව විරහ වේදනා විඳින්නන්ගේ හදවත් ඉතා තදින්ම වෙලාගන්නා බවට සැකයක්‌ නැහැ.

(උපුටා ගැනීම - අජිත් අලහකෝන් දිවයින)






සුළගේ ලෙලෙනා ...

සුළගේ ලෙලෙනා මලසේ දඟපා

අප පාසල් ගිය කාලයේ

යාළුවො අද නැත - වෙන අය එහි ඇත

කාලය මැවූ වෙනසක අරුමේ


ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය

හැමදෙන එක පංතියෙ විලසේ..//

අප පොත්වල දුටු රජවරු සිටුවරු

වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

සුළගේ ලෙලෙනා...

සාම ලා අමරලා පොත්තුල තව ඇත

එන එන අය හා යාළු වෙතේ..//

අපේම පාසල අපේම මව විය

එදවස් අපහට නැත ආයේ...

සුළගේ ලෙලෙනා...

පද රචනය - විපුල ධර්මප්‍රිය ජයසේකර

ගායනය හා සංගීතය - ශාලිත අබේවික්‍රම


ශාලිත අබේවික්‍රම ගයන ‘සුළඟේ ලෙළෙනා’ ගීතය කියන්නෙත් අදත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ගීතයක්. ශාලිතට ලාංකේය අසන්නන් අතර ජනප්‍රිය ගායකයෙක් විදියට කිරුළ පලඳින්න හේතු වන මේ ගීතය ලිව්වේ විපුල්. විපුල්ගේ පාසල් කාලය සිහිපත් කරමින් ලිව්වේ. විපුල් පාසල් ගියේ තර්ස්ටන් විද්‍යාලයට. තර්ස්ටන් විද්‍යාලයෙන් බිහිවුණු සොඳුරු පෙර ගමන්කරුවෙක් විදියට ඔහුගේ නම පාසලේ ලියවෙන්නේ රන් අකුරෙන්. ‘සුළඟේ ලෙළෙනා’ ගීතය පාසලේ විශේෂ කටයුතු වලදී වැයෙන්නේ මේ නිසා.  ඔහු සම්බන්ධ අතීතයේ වුණු සොඳුරු සිදුවීම් කිහිපයකුත් මතකයට නැඟුවේ මේ අයුරෙන්.

‘සුළඟේ ලෙළෙනා’ ගීතය විපුල්ගේ අතෙන් ලියැවෙන්නේ පාසලේදී. ඒ කියන්නේ තර්ස්ටන් විද්‍යාලයේදී. දවසක් විපුල් තමන් ඉගෙන ගත්ත පාසලට ගියේ මොකක්දෝ කාරණයකට. පාසලේ ගේට්ටුවෙන් ඇතුල් වුණා විතරයි ඔහුගේ සිහියට නැඟුණේ අතීතය. ඔහු සිතෙන් ඒ පාසල්විය රස වින්ඳා. ඒ දවස්වල කාලය ගෙවූ නුග ගහ තවමත් එහෙමමයි. ඔහු නුග ගහ ළඟ වාඩිවුණේ ඒ පුරුද්දට වගේ. ඒත් එදා හිටිය කවුරුවත් අද නුග ගහ ළඟ හිටියේ නැහැ. අතේ තිබුණු කඩදාසිය දිගහැරිය විපුල් සාක්කුවෙන් ගත්ත පෑනෙන් එයට තට්ටු කළා. මේ විදිහටයි ගීතය ලියවුනේ.

“සුළඟේ ලෙළෙනා මලසේ දඟපා

අප පාසැල් ගිය කාලයේ

යාළුවෝ අද නැත වෙන අය එහි ඇත

කාලය මැව් වෙනසක අරුමේ”





මොකද මැණිකේ ...

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා //

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ 

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා මම නම් ප්‍රියේ


ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ 

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා මම නම් ප්‍රියේ


මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ


සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ

සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //


කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා //

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර / මාලා නන්දනී පෙරේරා 

සංගීතය - දේවානන්ද වෛද්‍යසේකර 

පදරචනය - කරුණාරත්න අබේසේකර 


මාතර පාරම්පරික රාජකීය වෙද පරපුරකින් පැවත ආ එරබද්දෙගොඩ දොන් පිලිප්පු වෛද්‍යසේකර ආයුර්වේද වෛදවරයා තම පස් වන පුතණුවන් බටහිර වෛද්‍යවරයකු කිරීමට සිහින මැව්වේය. එහෙත් පුතා කුඩා කල සිට ම සංගීතයට ආදරය කළේය. කෙදින හෝ සංගීතඥයකු වීමට ය; ඔහු සිහින මැව්වේ. ඔහු පසු කලෙක සිංහල සුභාවික ගීතයේ කුසලතා දැක් වූ විශිෂ්ට ගණයේ ගායකයෙක් විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ඔහු ගැයූ ගීත අතළොස්ස ද නොමැකෙන මං සලකුණු විය. ඔහු නමින් ඔහු දේවානන්ද වෛද්‍යසේකරය.

අදින් හරියට අවුරුදු 86 කට පෙර 1934 මාර්තු 23 වැනිදා මහනුවරදී උපත ලැබූ එරබද්දේගොඩගේ දොන් ධර්මසේන වෛද්‍යසේකරගේ මව වූයේ මහනුවර පල්ලියමුල්ලේ සීලවතී මැණිකේය.

“එකොළොස් දෙනෙකුගෙන් යුත් දරු පවුලක මම නම වෙනියා. අද ජීවත් වෙන්නේ නව දෙනයි. මට අයියලා තුන්දෙනෙකුයි, අක්කලා දෙදෙනෙකුයි, නංගිලා තුන් දෙනෙක් හිටියා. මෙයින් කලාවට සම්බන්ධ වුණේ එක අයියා කෙනෙක් විතරයි. එයා විමල් වෛද්‍යසේකර. “තරංගා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විමල් අයියා අද කැනඩ‍ාවේ පදිංචි වෙලා ඉන්නේ.” ඔහු අතීතයට යොමු වෙමින් කීවේය. මහනුවර පේරාදෙණියේ අමරවංශ මාවතේ නි‍ෙවසේ වෛද්‍යසේකරයෛා් නිතිපතා වෙදකම් කරමින් සතුටින් ජීවිතය ගත කරති.

මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ මූලික අධ්‍යාපනය ලබා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය ලැබූ ඔහු ඇලුම් කළේ පෙරදිග සංගීතයට ය. එහෙත් බටහිර සංගීතය මුල් තැනක් දුන් කිංස්වුඩ් විද්‍යාලයේ බටහිර සංගීතය නිසා ඔහු තනිවම සංගීතය ඉගෙනීමට උත්සාහ ගත්තේය. කුඩා කල සිටම දේවානන්ද හින්දි චිත්‍රපට ලෝලයෙක් විය.

“මහනුවර වෙම්බ්ලි සිනමාහලේ තිරගත වූ “බර්සාත්” චිත්‍රපටය නරඹලා කොයිතරම් එහි ගීතවලට අදාරය කළා ද කිව්වොත් ඒ චිත්‍රපටයේ ගීත එන වේලාවල් දන්න නිසා සිනමාහලේ දොර අසලට ගිහින් කන්දීගෙන ඉඳලා රසවිඳිනවා. මොකද? චිත්‍රපටය නැවත බලන්න සල්ලි නැති හින්දා. මම මහනුවර සිට කොළඹ ආවා වැඩිදුර ඉගෙන ගන්න පෙම්රොක් විද්‍යාලයට. එහිදී පන්ති සගයකු වූ මහනුවරම පසු කලෙක ගායකයකු ලෙස ප්‍රකට වූ ටියුඩර් කඳනආරච්චි මාව සංගීතය පැත්තට යොමු කළා.

මේ අතර මස්සිනා (ඊ.ඒ. ජයනෙත්ති ලොකු අක්කගේ සැමියා) මගේ සංගීතයට ඇති උනන්දුව දැක සංගීත සාජ්ජ බලන්න එක්කන් ගියා. දක්ෂ තබ්ලා වාදකයකු මගේ මස්සිනා රූපසිංහ මාස්ටර් ප්‍රවීණ තබ්ලා පොඩි අප්පුහාමි (ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරාගේ පියා) ගෙන් මස්සිනා සංගීතය හදාරා තිබුණා. ඔහුගේ මඟ පෙන්වීම නිසා මට සංගීතඥ එම්.ජී. සුගතදාසයන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ මහතාගේ “සරසවි කලායතනයට” සම්බන්ධ වීම නිසා සිතාරය, වයලීනය, එස්රාජය, තබ්ලාව හා රාගධාර සංගීතය හැදෑරීමට අවස්ථාව ලැබුණා.” විමල් වෛද්‍යසේකර තම කලා ජීවිතයේ ආරම්භය ගැන සඳහන් කරමින් කීවේය.

තම මස්සිනාගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ සංගීත අංශයේ පී. ඩන්ස්ටන් ද සිල්වා හමුවී 1953 පණඩිත් රතන ජන්කර් පඬිතුමාගේ පරීක්ෂණය ඉදිරිපත් වූ පහළොස් හැවිරිදි එකම තරුණයා වෛද්‍යසේකරය. සී ශ්‍රේණියෙන් සමත් වෛද්‍යසේකරට “මාසික රැඟුම” ප්‍රසංගයේ ගීතයක් ගැයීමට අවස්ථාවක් ලැබිණ. එම ගීතය රචනා කර දුන්නේ සංගීතඥ එම්.ජී. සුගතදාසන්ය. මෙහි විශේෂය නම් මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මේ ළාබාල ගායක වෛද්‍යසේකරයන් වීමය. ඔහු ඉන්පසු ‘නව මිහිර’ , ‘රස දහර’ සංගීත වැඩසටහන්වලින් තම ප්‍රතිභාව විදහා පෑවේ ය.

“මගේ සරල ගී වැඩසටහනට මට අවශ්‍ය වුණා කරුණාරත්න අබේසේකරයන් ලවා ගීතයක් ලියවා ගන්න. දවසක් ගුවන් විදුලියේ කොරිඩෝව දි‍ගේ කරු ඇවිදගෙන එනවා. මට ඔහුට අත්පොළොසන් දී කතා කළා. ඔහු නැවතුනා. මම ඔහු වෙත ගියා.

“කරු, මගේ සරල ගී වැඩසටහනට ගීතයක් ලියලා දෙන්න.” මම කිව්වා. ඔහු මගේ අතින් අල්ලාගෙන 10 වැනි මැදිරියට එක්ක ගියා.

දේවානන්ද‍ගේ ගම කොහේද?” මහනුවර

එහෙනං ලස්සන මැණිකෙලා ඇති නේද?”

“මම හිනා වුණා. කරු මැදිරියේ තියෙන ලොකු පියානෝව උඩ තියාගෙන ගීතයක් ලිව්වා. “මේක යුග ගීතයක්”

කරු සිනාවෙමින් කඩදාසි මා අත තබා ගියා. මම මේ ගීතයට තනුවක් ගැන සිතමින් ඉන්න වේලාවක මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් එක් නුවර පීල්ලට ගියා නාන්න. රිදී ජල ධාරාවෙන් හිසට දැනෙන විට තනුව ඉබේම මැවුණා. මේ ගීතය මම ගැයුවේ මාලා නන්දනී පෙරේරා සමඟ. ඒ කාලේ ඇය ජනප්‍රිය ගායිකාවක්. ඇය හා විල්ප්‍රඩ් පෙරේරා “තනියම ඇයි මේ වනේ” ගීතයට මම ප්‍රිය කළා. මම හිතුවා මගේ ගීතයේ සහාය ගායිකාවට ඇය තෝරා ගන්න. ඇය මෑතක මිය ගියා. මේ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. මගේ තනුවක්.”

(උපුටා ගැනීම - සිළුමිණ)







Tuesday, August 25, 2020

පිනිබර යාමේ ...

පිනිබර යාමේ සැවුලන් අඬලනවා

අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා

කොළඹ රේල්ලුව රජ ගමනට එනවා

නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා


පුතුනේ අකුරට යන්න පමාවී

ගුරු සිත රිදිලා වේවැල අඬවාවී //

ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා

දුක්වේවී අම්මා..

පිනිබර යාමේ....

වේල දෙවේලේ කුසගිනි නොබලා

කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා //

කලට රුවන් වැසි වස්සන තාලේ

සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

පිනිබර යාමේ....

ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - ලූෂන් බුලත්සිංහල 

සංගීතය - වික්ටර් රත්නායක 

ගීතය රචනා කළ ලූෂන් බුලත්සිංහලයන් අදහස් දක්වමින් "මම ඉපදී හැදී වැඩුණේ රත්මලාන ප්‍රදේශයේ. එදා එහි අපමණ ගැමි සුන්දරත්වයක්, ජීවන පැවැත්මක් තිබුණා. ඒ වටපිටාව තමයි මගේ ගී නිර්මාණවල උල්පත වුණේ. එහෙම නැතිව මම හද්දා පිටිසර අමු ගැමියෙක් නෙවේ. ඒත් අද අපි දකින රත්මලානට වඩා ඉතා සන්සුන්, නාගරීකරණයෙන් ඔද්දල් නොවූ පරිසරයක් එදා එහි තිබුණා.

“පිනිබර යාමේ සැවුලන් හඬලනවා” ගීතයත් මගේ කුඩා කාලයේ ඇත්දැකීම්වලට සම්බන්ධයි. මේ ගීතයේ කියැවෙන වෙලාවට තමයි අපේ තාත්තා කෝච්චියේ වැඩට යන්නේ. රත්මලානේ මුහුද අද්දර තමයි අපේ ගෙවල් තිබුණේ.

ලුනාව පැත්තෙන් කෝච්චිය එන සද්දෙ ඇහෙන කොට තාත්තා ගෙදරින් පිටත්වෙනවා. ඉහේ හිටන් පොරවගෙන නිදන් ඉන්න මාව ඇහැරවලා, මට දවසේ වැඩ නියම කරලා තාත්තා ගෙදරින් යන්නෙ. ඒ අත්දැකීම් මට හොඳට මතකයි. ඒත් ‘පිනිබර යාමේ’ ගීතයෙන් කියැවෙන දරුවා මං කියලා හුඟක් අය දන්නෙ නැහැ.

(උපුටා ගැනීමකි.)




Monday, August 24, 2020

උතුරින් එන දුම්රියේ ...

උතුරින් එන දුම්රියෙ දේවී

කවුළුව ළඟට වෙලා

නොරවන් මට දේවී

නැත මා

කිසි වරදක් කරලා //

මාල තෝඩු තාලි සිලම්බු

අමනාපෙන් අහක

බලන්නේ//

ඔය නෝක්කඩු බැලුම් යටින්

සෙනෙහසදෝ හඬා වැටෙන්නේ

උතුරින් එන...

ගම හැරදා නුඹ ගියදා

කෝවිල් යන හිත

වැළපෙන්නේ//

අපි දෙවියන් සමගයි තව

ඉන්නේ

සිනා සිසී ඔබ බිමට බසින්නේ

උතුරින් එන...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

ගී පද - මහින්ද චන්ද්‍රසේකර

සංගීතය - ගුණදාස කපුගේ

මහින්ද චන්ද්‍රසේකර මහතා ඉපදිල තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඔයාමඩුව කියන ගමේ. එතුමගේ තරුණ කාලේ තමයි උතුරෙයි දකුණෙයි අතර කලබල ඇතිවුනේ. සිංහල දෙමල කලකෝලාහල නිසා. මේ නිසා එවකට හිටපු ජනාධිපතිතුමා වහාම නියෝග කරලා උතුරට දුම්රිය යැවීම නවත්තන්න. මේක හන්දා කෝච්චි ඇවිත් අනුරාධපුරේ ස්ටේෂන් එකේ නවත්තනවා, ආපහු කොලඹට යනවා. දැන් ඔහොම මාස ගාණක් යන කොට ටික ටික ආපහු ආරවුල් එහෙම අඩුවෙලා. ඉතින් ආයෙත් තහංචිය නැතිකරලා. යාල්දේවී ආයෙත් යාපනයට යන්න පටන් අරන්. දැන් ආපහු බඩු මුට්‍ටු සෙනග පුරවගෙන යාල්දේවී යාපනේ ඉඳන් කොලඹ එනවා. මෙහෙම කෝච්චිය එන වෙලාවක අපේ ගී පද රචකයත් අනුරාධපුර දුම්රිය නැවතුම් පලේ වේදිකාවට වෙලා ඉඳලා තියෙනවා. දැන් කාලෙකට කලින් ගහමරා ගත්තු හැමෝටම ඒ ඔක්කොම අමතක වෙලා. මිනිස්සුන්ගේ හැටි එහෙමයි. කාලෙකට පස්සේ නෑයො දැක්ක වගේ ඔක්කොම හිනාවේවී පදික වේදිකාවේ එහෙ මෙහෙ යනවා. මේ වෙලේ අපේ ගීත රචකයා මහින්ද චන්ද්‍රසේකරයන් අහම්බෙන් වගේ දැකලා තියනවා නවත්තලා තියෙන දුම්රියේ කවුලුවක් ලඟ වාඩිවෙලා ඉන්න බොහොම සුන්දර ද්‍රවිඩ තරුණියක්.

මහින්ද චන්ද්‍රසේකර මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් "මේ කාලේ අසූ තුනේ අවුරුද්ද අද ඊයේ වගේ නෙවෙයි. මටත් ඉතින් එච්චර වයස නැ. මේ තරුණිය බොහොම ලස්සනයි. කොන්ඩේ සමන් පිච්ච මල් ගහලා. කනට තිරුවංගල් දාල. මාලෙට මූකු ‍තෝඩු දාල" හිටියේ.

ඉතින් මේ ලස්සනට වශී වෙලා වුන් මහින්ද චන්ද්‍රසේකරයන් ඇය දිහා බලං ඉන්නකොට එකපාරම ඇය ඔහු දිහා බලලා. ඒත් දැකපු ගමන් මේ ගෑණු ළමයා රවලා අහක බලාගෙන. මේ වෙලේ මෙතන හිටපු චන්ද්‍රසේකරයන්ගෙ යාලුවා මේ ඔක්කොම සිදුවීම් පෙල දැකලා. ඉතින් එයා කියලා තියෙනවා. "ගණන් ගන්න එපා. කෙල්ලො ඔහොම තමයි" කොහොම උනත් මේ සිදුවීම පද රචකයට එක පාරට අමතක කරන්න බැරිවෙලා. එතුමට මේ කාන්තාවට කියන්න ඒ මොහොතේ ගොඩාක් දේවල් හිතට ඇවිල්ලා. පස්සේ තමයි මේ දේවල් මතක් වෙලා තියෙන්නේ. ඒත් ඔක්කොටම වෙලාව පරක්කු වැඩියි. මොකද ඒ වෙනකොට කෝච්චිය පිටත් වෙලා. 

ඒ සුන්දර දෙමල තරුණියට කියාගන්න ගොඩක් දේවල් තිබුනයි කියපු ටික වැඩිදුරටත් එතුමා විස්තර කරනවා මෙහෙම "එක්දහස් අටසිය දහ අටේ ඌවේ මහ කැ‍රැල්ල හොඳට පැරදුනා. කැප්පෙටිපොල ඇතුලු ප්‍රධානම කැරලි නායකයෝ මිහින්තලේ ඉන්න ඇති, අපේ මේ නායකයෝ ඔක්කොම ‍රැකවරණය ලබාගත්තේ මේ කැලැවල් වලට ඇවිල්ල. ඒ වෙලාවේ පිලිමතලාවේ නිලමෙගෙ කකුලේ තුවාලයක් හැදිලා පයින් යන්න බෑ. දෝලාවක තියලා උස්සගෙන යන්න ඕනේ. දැන් යන්නේ අනුරාධපුරේ මැදින්. මෙහෙම යනකොට එක තැනකදි එතුමා කෑ ගහලා කියනවා "ඔය දෝලාව බිම තියපන්. මේ දුවන්නේ බයේ කොයි වෙලේ සතුරන්ට අහුවෙයිද දන්නේ නැ." කියලා එතුමා දෝලාවෙන් බහිනවා. බැහැල එතුමා පයින් යනවා. මෙහෙම යන ගමන් එතුමා කියනවා "අපි සිංහලයො කවදාවත් මෙතනින් දෝලාවක, ඇතුන්, අසුන් පිට ගිහින් නැ." එහෙම යන්න එපැයි කියලා නීතිය දැම්මේ ක්‍රිස්තු පූර්ව එකසිය හැට එකේ දු‍ටුගැමුණු රජතුමා. ඇයි?..එතන තමයි එලාරගෙ සොහොන. ක්‍රිස්තු පූර්ව එකසිය හැට එකේ ඉඳලා ක්‍රිස්තු වර්ශ එක්දාස් අටසිය දහඅට දක්වා මේ නීතිය ආරක්ෂා කරපු, ඒ මැරිච්ච සතුරට ගරු කරපු, අපි හොඳ මිනිස්සු නෙවෙයිද? අපට රවන්න වටිනවද?"

මේ කතන්දරේ එතුමට කියන්න ඕනිවෙලා තිබිලා. ඒත් මේ කියාගන්න බැරිඋන ඔක්කොම මෙතුමා එදා රාත්‍රියේම ගී පද පෙලකට පෙරලනවා උතුරින් එන දුම්රියේ දේවී කවුලුව ලඟට වෙලා. නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා. 

මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසක තියනවා ගම හැරදා නුඹ ගියදා. කෝවිල් යන හිත වැලපෙන්නේ කියලා ආරම්භයක්. මේ පද ටිකට නම් මේ සිදුවීම කිසිම සම්බන්දයක් නැ. ගීතයේ අලංකාරය තවත් වචනෙන් විස්තර කරන්න එකතු කර ගත්තු යෙදුමක් තමයි ඒක. කොහොම හරි මේ ගීතයේ නාද මාලවත් දුම්රියක හඬ ඉස්මතු කරනවා. මේ ඔක්කොමත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ ගායකයාණන්ගේ ගී හඬට එකතු වෙලා අවසානයේ සාර්ථක ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා.

(උපුටා ගැනීම - රජීගේ සන්නස)






Friday, August 21, 2020

රුක් අත්තන මල මුදුනේ ...

රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ

සැඳෑ අඳුර පියමං කර

කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්

කවුරුද එන්නේ.............

මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ

පුතු සවනට රහස් කියා - පියමං කරලා..................

අප වෙනුවෙන් දවස ගෙවා

වෙහෙසී එන්නේ..................

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ

පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ.........................

පුතුනි බලන් යොමා නුවන්

කවුරුද එන්නේ.............

රුක් අත්තන මල...

ගායනය හ සංගීතය: විශාරද නන්දා මාලනී

පද රචනය: මහින්ද අල්ගම

පවුල් ජිවිතයක තිබිය යුත්තේ සතුට සැනසුම සහ ආදරය. ආදරය ඇති විටෙක අනෙක් සියලුම දේ ඇතිවාක් මෙනි. මුදල් නොමැති විට ආදරය පස්සා දොරෙන් පළා යන බවක් කියවුණද සැබෑ තේරුම් ගැනිමක් සැබෑ ආදරයක් ඇති තැනෙක ඇති වන සියලුම දුක්ඛ දොමනස්සයන් සතුටු සිතින් හවුලේ විඳ දරා ගන්නා පවුල් ඒකක ඇත්නම් ඒ සුළු ප්‍රමාණයකි. නුතන අධි පාරිභෝජනවාදි රැල්ල විසින් වැඩියෙන්ම අර්බුදයට පත් කර ඇත්තේ නුතන පවුල් ඒකකයයි. න්‍යෂ්ටික පවුල ඒකකයක පැවැත්ම රඳා පවතිනුයේ මවු පිය දරුවන් අතර ඇති සරල සුන්දර ආදරය තුළයි. එකිනෙකා අතර ඇති බැඳීම විසින් ජීවිතයේ අනේක දුක් දෝමනස්සයන් අමතකව ජීවිතය සුන්දරව ගලා යාමට හැකියාව ලබා දේ.

රුපවාහිනිය ජනප්‍රිය නොවු යුගයක පවුලේ මව තම දරුවා සමග පියා එන තෙක් මග බලමින් සිටි සුන්දර යුගයක් අපිට තිබිණි. නුතනයේ මවට රැකියාවට යාම අනිවාර්යය කර ඇත්තේ සීමාවක් නැති පාලනයක් නැති මිනිස් ආශාවන් නිසාවෙනි. සරලව තර්ක කළහොත් අප විසින් නඩත්තු කරන ජීවිතයේ අපගේ සතුට සහ සැනසීම වෙනුවෙන් යයි සිතා අප සිදු කරන අනෙක විධ තාක්ෂණික උපකරණ වල වහලකු වීමත් හතර අතේ ණය වීමෙන් බාගෙට ගොඩ නඟන විශාල නිවසත් නිසා තම පවුලේ සතුට අහිමි කර ගැනීමකි. සමාජයේ කවර පන්තියක වුවද ආර්ථික ප්‍රශ්න නොමැති පවුලක් නොමැත්තේ අපට ළඟා කර ගත යුතු භෞතික දේවල් දිනෙන් දින වැඩි වීම හේතුවෙනි.

තමන්ගේ ආදරණීයන්ගේ කට හඬ ඇසෙන මොහොත දවසේ වෙහෙස වෙමින් ගෙදරට එන පියකුගේ වෙහෙස මොහොතින් නැති කර දමයි. ස්වාමියාගේ අඩි ශබ්දය ඇහෙන තෙක් නොවිසිලිමත්ව සැන්දෑව ගත කරන ආදරණීය බිරිඳක් සහ ඇයගේ අතේ සිටින සුරතල් දරුවකු පිළිබඳ කියවෙන රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දෑවේ ගීතය පිළිබඳ කතා බහක් ඇති කර ගැනීම සඳහායි කරන මේ උත්සාහය.

ගීතය ලියා ඇත්තේ මහින්ද අල්ගම මහතා වන අතර ගීතය සංගීතවත් කර ගයන්නේ නන්දා මාලනී ගායිකාවයි.

රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දෑවේ

සැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ

පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ......

රුක් අත්තන මල යනු අවුරුද්ද පුරා කටුක පරිසරයක වුවද මල් පිපෙන මල් වැලකි. දුෂ්කර කටුක පරිසරයක වුවද මල් පුබුදුවන රුක් අත්තන වැල මඟින් සංකේතවත් කරන්නේ ආර්ථික ගැටලු මැද වුවද මේ නිවසේ ආදරයේ මල් පිපෙන බවයි. බඹරා යනු තම විශාල ශරීරය ඔසවාගෙන පියෑඹීම සඳහා තම අත්තටු ප්‍රමාණවත් නොවන හෙයින් අවකාශය පුරා උඩ පනිමින් තම ඉලක්කය කරා යන සතෙකි.

මෙහි දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද ආදරය පුබුදුවාලූ බිරිඳ රුක් අත්තන මලක් වන අතර ඉතා අසීරු‍ෙවන් ජීවිතය සමඟ පොර බඳිමින් ඉලක්කය කරා යන ස්වාමියා බඹරා තුළින්ද සංකේතවත් කර ඇති අතර මීළඟට උදාවන ආදරණීය මොහොත වල් රාශිය පිළිබඳ සුන්දර හැඟීම විසින් තම පුතුට පවසන්නේ සැඳෑ අඳුර පියමන් කර පැමිණෙන්නේ කවුරුද කියා බලන ලෙසයි. බහ තෝරන වයසේ සිටින දරුවකුට කතා කිරීමට පෙළඹවීමේදී නිරන්තරයෙන් අසන ප්‍රශ්න අත කවුද එන්නෙ කියල බලන්න යනුවෙන් දරුවාට පැවැසීම තුළ ඇත්තේ මව හඳුනාගත් තම ස්වාමියා කෙරෙහි තම දරුවාගේ අවධානය යොමු කරවීමයි. මෙම වචන පේලිය ගෙදරට පැමිණෙන ස්වාමියා පිළිගැනීම පිලිබඳව උපරිම සාධාරණයක් ඉටුවන මව පියා සහ දරුවාගේ ආදරය මුණ ගැසෙන සුන්දර තප්පරයකි. මෙම සුන්දර පිළිගැනීම එතැන් සිට ගොඩ නැඟෙන ආදරණීය පරිසරයේ ස්වභාවය පැහැදිලි කරයි. පළමු දැක්ම අවසාන දැක්ම ලෙස විස්තර කරන්නේ මෙයයි.

දරුවකුට පියා පිළිබඳ හැඟීම ඇති කළ යුත්තේ මව විසිනි. පියාගේ භූමිකාව සමබර පෞරුෂයක් ගොඩනැගිම සඳහා අනිවාර්යයෙන් තිබිය යුත්තකි. මවගේ ආදරයත් පියාගේ රැකවරණයත් සමබර පෞරුෂයක් සහිතව දරුවකු ගොඩනැගීමට හේතු වන බව මනෝ විශ්ලේෂකයින් පවසා ඇත. මේ රැකවරණය පිළිබඳ මවගේ ඉගන්වීමයි .

මුතු පිනිලැල් සැලෙන උදේ උදා දිමුතු හිරු එළියේ

පුතු සවනට රහස් කියා පියමං කරලා

අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

පියා පිළිබඳ ආදරය මුසු ගෞරවයක් ගොඩ නගන්නට උත්සාහ ගෙන ඇති ආකාරය අපූරුය. උදෑසන හිරු පායනවාත් සමග පුතාට ඇති ආදරය නිසා පුතා ඇහැරවන්නේ නැතිව රහසින් යන බව කියා ගොස් අප වෙනුවෙන් වෙහෙසුණු පියා තමයි දැන් පැමිණෙන්නේ. මේ තප්පර කීපය තුළ පුතු සමඟ කරන සංවාදයෙහි පතොක් වැටිය අඩින් ඇඳී දිවයුරු මිය යන මොහොතේ

පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ

පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

පියා සුර්යාට සමාන කිරීම සාමාන්‍ය දෙයක් වුවද පියා සඳකට උපමා කර ඇත්තේ ඇයි දැයි මෙතනදී ගැටලුවක් මතුවේ.

දිවා කල සුර්යාගේ වෙහෙස කර දිනය නිමා කර ඇත. ඒ පියා පමණක් නොව මව දරුවා පියාගේ සෙනෙහස රැකවරණය නොමැති වෙහෙසකර දිනය නිමා කර ඇත. දරුවාටත් මවටත් දැන් මේ මොහොතින් පසු එළඹෙන්නේ ආදරයේ සෞම්‍ය කිරණ වැටෙන රාත්‍රී යාමයකි. පියා රැගෙන එන්නේ හදවත පුරා ඇති ආදරයයි. එය සඳ එළිය සේ අචින්ත්‍යයයි. පාරිශුද්ධයි. සුරම්‍යයයි.

(උපුටා ගැනීම - සිළුමිණ වජිර කාන්ත)





Thursday, August 20, 2020

හන්තාන කඳු පෙළ ...

 හන්තාන කඳු පෙළ හඳට ආවඩා

සරසවියට පිණි පොදක් වැටෙනවා

මගෙ හද මැදුරට අඳුර ගලනවා

බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා


කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී

ඇයිදො ගියෙ ඉගිල්ලී

මා මෙහි හැරදා

ඈතයි…ඔබ ගියෙ දුර ඈතයි

නිවහන මගෙ සීතයි

එන්න යළි පියඹා


මා මෙන් තනි උන බට්ටිත්තෝ

ගොම්මන් අඳුරට බිය වීදෝ

විරහ ගීය මගෙ ගයනවදෝ

මා සනසන්නට හඬනවදෝ


පියඹා යන්නට මට නම් බෑ

ඈ සරසවියට එන්නෙත් නෑ

ගඟ ලඟ පෙම් මග පාළු වෙලා

මල් පෙති බොර දියෙ මලින වෙලා


කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී

ඇයිදො ගියේ ඉගිල්ලී

මා මෙහි හැරදා

ඈතයි…ඔබ ගියෙ දුර ඈතයි

නිවහන මගෙ සීතයි

එන්න යළි පියඹා

ගායනය, පදරචනය හා තනුව - භද්‍රජී මහින්ද ජයතිලක

භද්‍රජී මහින්ද ජයතිලක මහතා ගැන කියනවා නම් ක්ෂේත්‍ර ගණනාවක් තුල හසල දැනුමක් ඇති පුද්ගලයෙක්. ගීත රචනය, ගායනය, චිත්‍ර ශිල්පය, ලේඛණ කලාව වගේ ලොකු පරාසයක් තුල විශේෂ දක්ෂතාවයක් දක්වපු කෙනෙක්.

ඔහු උපත ලබන්නේ 1948 වර්ශයේ නොවැම්බර් මස 20 වැනිදාකය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පාසැල් අවදියේ සිටම දෙස් විදෙස් පොතපත කියවීමට සහ ලිවීමට මහත් රුචියක් දැක්වීය. ස්ව උත්සාහයෙන් වඩවාගත් ලිවීමේ කුසලතාවය පෙරදැරි කොටගෙන ගැටවර වියෙහිදීම ඔහු නිර්මාණකරණයට පිවිසීම විශේෂත්වයකි.

මේ කුසලතාවය නිසාම මුලින්ම ගුවන්විදුලියේ ළමා පිටියට නාට්‍යය පිටපත් රචනය කරන්නට ඔහුට මග පෑදෙන්නේය. එහි සාර්ථකත්වය සමග එකල බෙහෙවින්ම ජනප්‍රිය ‘ගුවන්විදුලි රඟ මඩල’ සඳහා නාට්‍යය පිටපත් රචනයට එක්වීය. කොටස් වශයෙන් විකාශනය වූ ‘උළමාගේ රාත්‍රිය’ ගුවන්විදුලි නාට්‍යය එකල ශ්‍රාවකයන් අතරේ බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්වුනි. තවත් අතකින් තමාම සිංහල සහ ඉංග්‍රීසි පිටපත් රචනය කරමින් වේදිකා නාට්‍යය රංගනයට පිවිසෙන්නේය. මුල් අවධියේ මේ සියලු කටයුතු අතරේ වසර කිහිපයක් බැංකු සේවයෙහි ඔහු නියුතු විය. සුදු හංසයෝ ඉගිල ගියහ තුළින් පටන් ගත්කල ඔහු ලියූ නවකතා ගනන සියය ඉක්මවයි. මේ අනුව වැඩිම පොත් ප්‍රමාණයක් ලියූ ශ්‍රී ලාංකීය නවකතාකරුවන් කිහිපදෙනා අතරට ඔහුද එක්වන්නේය.

භද්‍රජී මහතා වසර 44ක් තිස්සේ ජීවත්වන්නේ ඇමෙරිකාවේය; ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙමට් නම් ප්‍රදේශයේය. ඔහු එහි නාට්‍යකරණය, චිත්‍ර ශිල්පය වැනි විෂයයන් උගන්වන ගුරුවරයෙක් ලෙස සේවය කරයි. ඇමෙරිකාවේ ජීවත්වුවද වසරකට කීප වරක් ලංකාවට පැමිණෙන්නට ඔහු අමතක කරන්නේ නැත.

භද්‍රජී මහින්ද ජයතිලක ඔහුගේ බට්ටිච්චා සමඟ, අප හදට සමීප කළේ, හන්තාන අඩවිය පසුබිම් කොට ගත් තවත් එක් ප්‍රේම පුරාණයක් පමණි. එහි අත්දැකීම අපූරුය. ඔහුගේ ගායනා විලාසය හද ඇඳ බැඳගනී. අත් දැකීම පුරා ගිලිහුණු ප්‍රේමයක ශෝකය දැවැටී ඇත. බට්ටිච්චාද ඔහු මෙන් තනි වී ඇත. ඌ හඬන්නේ ඔහු වෙනුවෙනි. තනි වූ බට්ටිච්චා ගේ හැඬුම භද්‍රජී නිර්මාණය කරන පෙම්වතාගේ හැඬුමම නොවන්නේ ද?

“හන්තාන කඳුපෙළ හඳට ආවඩා

සරසවියට දිය පොදක් වැටෙනවා

මගෙ හද මැදුරට අඳුර ගලනවා

බට්ටිච්චෙක් මගෙ දුකට අඬනවා...”


කෝ ඈ කොයිද මගේ රන් කිරිල්ලී

ඇයිද ගියේ ඉගිල්ලී මා මෙහි හැරදා

ඈතයි ඔබ ගිය දුර ඈතයි

නිවහන මගෙ සීතයි එන්න යළි පියඹා....”

ඔහුගේ හද මැදුරට අඳුර ගලාගෙන එයි. ඒ සමඟම තනි වූ ඔහුගේ සිත දුකින් පිරෙයි. ඔහුගේ දුකට බට්ටිච්චෙක් ද හඬයි. කවියා එමගින් කිරිල්ලිය හැර ගිය බට්ටිච්චා සංකේතවත් කරන්නේ තනිවූ පෙම්වතාගේ චරිතයයි. වරෙක ඔහු මෙසේ කියයි. “මා මෙන් තනිවුණු බට්ටිච්චෝ... ගොම්මන් අඳුරට බියවීදෝ - විරහගිය මගේ ගායනාවදෝ මා සනසන්නට හඬනවදෝ... ඈ ඔහු හැර දා ඈතින් ඈතට ගොසිනි. ඔහුට ඈ වෙත යන්නට නොහැකියි. බට්ටිච්චෙක් කෙලෙස දුර පියඹා යන්නද?

‘පියඹා යන්නට මට නම් බෑ

ඈ සරසවියට එන්නෙත් නෑ

ගඟ ළඟ පෙම් මග පාළු වෙලා

මල්පෙති බොරදිය මිලිනවෙලා....

අසරණ වූ තුරුණු පෙම් සිතක හැඟුම් සමුදායකින් බිඳක් භද්‍රජී, තම ගායනාවෙන් අපට පවසයි. ඈ සමඟ එක්ව සිටි සමයේදී ඔවුන්ගේ ආදර උණුසුම අද කොහිද? ඈතයි. ඔබ ගිය දුර ඈතයි - නිවහන මගේ සීතයි. නිවහන තුළ වූ උණුසුම ඇයයි. ඈ යළි සරසවියට නොඑන්නීය. ඉදින් කුමන උණුසුමක් ද ඔහුගේ නිවහනෙහි? දැන් ඔහුගේ නිවහන සීතයි. කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන බිම අම්බලමකදී වුව, අපට ඇසුණු භද්‍රජී ගේ මියුරු හඬ එදා මෙන්ම අදත් හදට සමීපය. කෝ ඈ කොයි ද මගෙ රන් කිරිල්ලී - ඇයිද ගියේ ඉගිල්ලී යනුවෙන් හන්තාන අඩවියෙන් ඇසෙන සෝ ගී මෙන්ම ප්‍රේමයේ සුවඳ නොදැවටුණු හද කකියන දුක් ගීත ද අපට අද ද ඇසෙන බව දනිමි.

(උපුටා ගැනීම - බුද්ධදාස ගලප්පත්ති/දිනමිණ)





Wednesday, August 19, 2020

අද අපි ඉන්නේ විනෝදෙන්ම ...

 අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

ඔව් මේ රෑ

කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී

එය හොද නෑ


මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී

ඔව් මේ රෑ

සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා

ඔව් මේ රෑ


සැනසෙමු නැළවෙමු නටා අපි

එකතුව රිසි ලෙස සිනාසිසී

පැද්දෙන පෙරළෙන රැගුම් බලා

පැද්දෙන පෙරළෙන රැගුම්


හැමටම එක ලෙස ආදරයයි

මම ඔබගේ පෙම් සාගරයයි

පෙම් ලොව සුරතලි මා ඔබේ

පෙම් ලොව සුරතලි මා


අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

ඔව් මේ රෑ

කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී

එය හොද නෑ


ගායනය - මිනෝන් රත්නම්

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි/ ද ජෙට්ලයිනර්ස්

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ඇතුලත් වූ ගීයකි.

"ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටි මාලාවේ පළමු කතා වස්තුව 1962 දී මුල්වරට තිරගත වු "Dr. No" චිත්‍රපටයේ එන "Under the Mango Tree" ගීයේ තනුවටයි "අද අපි ඉන්නේ" ගීය කරුණාරත්න අබේසේකරයන් විසින් නිර්මාණය කර තිබුණේ. 

Dr. No චිත්‍රපටයේ මෙම ඉංග්‍රීසි ගීය ගැයූ Diana Coupland මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. 

සත පනහ චිත්‍රපටයේ මෙම ගීතය රඟපාමින් ගායනා The Jetliners සංගීත කණ්ඩායම. ඔවුන් 60 දශකයේ මුල් කාලයේ ලංකාවේ ඉහළින්ම වැජඹුණු සංගීත කණ්ඩායමක් එහි කළමණාකරු වුනේ ටෝනි ප්‍රනාන්දු.කණ්ඩායමේ සාමාජිකයන් වුණේ මේ අය.

සොහාන් පීරිස්          - ගායනයෙන්

ලොරේටා කොච්      - ගායනයෙන්

ඉන්ද්‍රා රාජා               - ගිටාර්

ඇන්ටන් ගුණවිජය  - ගිටාර්

ෆීලික්ස් ප්‍රනාන්දු       - බේස් සහ ගායනයෙන්

හැරිස් ජුරම්පති        - ඩ්‍රම්ස්

මේ කණ්ඩායම වඩාත් දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තේ මිනෝන් රත්නම් කණ්ඩායමට එකතු වූවායින් පසුවයි.

මිනෝන් රත්නම් සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන අවධියේ සිට සංගීතයට විශේෂ දක්ෂතාවක් දැක්වුවා. ඇගේ මව සංගීත ගුරුවරියක්. ඒ නිසාම ඇය තුළත් ජන්මයෙන්ම ආ සංගීතයට නැඹුරුවක් තිබුණා. වයස අවුරුදු හතේදි ඇය ලංකා ගුවන් විදුලියේ (Radio Ceylon) කුසලතා පරීක්ෂණයකින් සමත් වුනා. පසුව ඉතා තරුණ වියේදීම ඇය The Jetliners කණ්ඩායම සමගින් එකතු වුණා. අනතුරුව ඇය කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන ගායිකාව බවට පත්වුණා.

ඇයගෙ සම්පූර්ණ නම Mignonette Malathi May Rutnam. නමුත් මිනෝන් රත්නම් ලෙසයි ඇයව බොහෝ දෙනා හඳුනාගත්තේ. මිනෝන් එකතු වුණාට පස්සේ The Jetliners ලෙසට වඩා Mignonne & The Jetliners යනුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා.

ඔවුන් මුල් කාලයේ ගාලු මුවදොර හෝටලයේ Coconut Grove රාත්‍රී සමාජ ශාලාවේ ඉදිරිපත් කිරීම් කරනු ලැබුවා. ඒ කාලයේ විශාල කීර්තිනාමයක් දිනා ගන්නට ඔවුනට හැකිවුණා. වර්නන් කොරයා මහතාගේ ඇසුර නිසා ගුවන් විදුලියේ ආසියානු සේවය ඔස්සේ ආසියාවේම කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස ප්‍රචලිත වන්නටත් පුළුවන් වුණා.

මිනෝන් රත්නම්ට ගායනයට එහා ගිය සංගීත කුසලතාවක් තිබුණ නිසා The Jetliners නාමය ජාත්‍යන්තරය තුළ බබලවන්න පුළුවන් වුණා.

කණ්ඩායමේ කළමණාකරු වූ ටෝනි ප්‍රනාන්දුගේ බිරිඳ මිය ගියාට පසුව මිනෝන් ටෝනි හා විවාහ වුණා.

ඉතා ප්‍රකට "බොම් බොම් බොම්, බොම්බෙ මෙරේ හායි" ගීය බිහිවෙන්නෙ The Jetliners බොම්බායේ කොන්ත්‍රාත්තුවකට එහි ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරද්දි. ඉන්පසු සිංගප්පූරුව හා හොංකොං වලත් ඒ අයුරින්ම ලොකු ගිවිසුම් සමග ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරනවා.

මිනෝන් රත්නම්ගේ "Love don't let me down" ගීය ජාත්‍යන්තර සංගීත උත්සවයකදී තානාපති සම්මානයක් (Embassy Award) දිනා ගැනීමට සමත් වුණා. ජපානයේ පැවති තවත් ජාත්‍යාන්තර තරඟයකදී මැත්සුහිතා සම්මානයෙන් සහ හොඳම ගී නිර්මානය හා ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ජූරි සම්මානයකින් අගැයීමට ලක් වුණා.

ඇතන්ස්හී පැවති පස් වැනි ඔලිම්පියාඩ් සංගීත තරඟයේදී අවසන් වටයට තෙරෙන්නට The Jetliners කණ්ඩායමට හැකිවුණා. ඔවුන් ඉදිරිපත් කළ ඔබ නිසා නම් ගීය තුළින්.

ජපානයේ පැවති ලෝකයේ උත්කර්ෂවත්ම ගායන උත්සවයක රන් සම්මානයෙන් පිදුම් ලබන්නටත් The Jetliners කණ්ඩායමට හැකිවුනා. ලොව පුරා නම රැන්දූ සංගීත  කණ්ඩායමක් ලෙස The Jetliners හඳුන්වන්න පුළුවන්.


(උපුටා ගැනීම - ගී අරණ)




The Jetliners


   
Mignone Ratnam Fernando


නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...