Friday, July 17, 2020

වැලි තල අතරේ...

වැලි තල අතරේ හෙමිහිට බසිනා  
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුවුණදා  
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා//   

හිම කඳු වැටියේ සීතල සෙවණේ වන්දන තුරු පිහිරා   
හැපී එන මල් මුව රූ රසිනේ   
සුවඳ මුසු කෝමල මඳ පවනේ ගැටීලා පාවෙනා   
සත් සර නඟලා ටික ටික සෙලවී සිරිමහ බෝ හිමිගේ   
මනෝ හර පලු පත් අතු රිකිළි   
නටා ගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවනා   

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආදා   
සිටම තව මහමෙවුනා උයනේ   
නටයි කොළ වන්නම ලෙස මහ ​බෝ සුමීරී නාදෙනා”   

මේ ගිතයට තනුව නිර්මාණය කොට ගැයුවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය.   

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වැඩිකාලයක් එකල ගත කලේ කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ. එවකට කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල එයයි. 1947 ලංකාදීප පුවත්පතේ ආරම්භය සනිටුහන් වෙන්නෙත් මේ මන්දිරයේ. ලංකාදීප පුවත්පත ආරම්භ කරන නැකත පවා සාදන්නේ මානවසිංහයන්මයි.
මෙම ගීතය “ලංකාදීප” පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයකුව සිටියදී කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහලේ දී ඔහුට ඇති වු කවි සිතුවිල්ලකිනි. ඒ ගැන ඔහු විසින්ම විස්තර කර ඇත්තේ මෙසේය.   

‘‘මම කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙළි ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමග වෙළි ගියේය. ​මේ ලතාව ඉබේටම වාගේ මගේ මුවින් “තන තන තනෙනා - තන තන තනෙනා- තානෙන තන - තානෙන තන තනෙනා - තනානා තානෙනා” යනුවෙන් මගේ මුවට නැගෙනාත් සමගම ඒ අභිරමණීය ප්‍රභාමත් ප්‍රශාන්ත ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝරුක් සෙවණේ සව්නේ ගෙවා, දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩ සිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාශයත් ඉන් පසුකලෙක සඟමිත් මෙහෙණිය විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළ දිවට ගෙන ආ දිනයේ ඒ බෝපත් නටා ගිය සැටිත්, මගේ මනැසෙහි ඇදී ගියේය. මේ සිදුවීම් මවිසින් වචන වැලකට එක් කළේ බෝපත් නටා ගිය ලතාව අනුකරණයෙන් උපන් තාලයට අනුවයි.   

ටයිම්ස් මන්දිරයේ ඉදිරියෙන් පිහිටි බෝධීන් වහන්සේ නමක් එවකට වැඩසිටි සිටි අතර ඒ බෝධීන් වහන්සේගේ බෝ පත් සුළඟට සෙලවෙන නාදයට දෙසවන යොමුකල විට නිරායාසයෙන් ම එතුමාට මතක්වූයේ දඹදිව ගයා ශීර්ෂයේ එදා සිදුහත් කුමරුට බුදුවීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ බෝ පත් සෙලවෙන්නට ඇත්තේ ද මෙලෙසින් කියායි. එය වන්නම් තාලයක් දැයි එතුමාට සිතෙනවා. මුවගට වන්නම් තාලයක් ද මතක් වෙනවා. තන තන තනෙනා - තම්දන තනෙනා. ඒ තාලයට මේ ගීතය එතුමා අතින් ලියවෙනවා.

එය වන්නම් 18 ට පසු 19 වන වන්නමක් එකතු කරන්නට සමත් වුණ බවයි බොහෝ විචාරකයින්ගේ අදහස.

මේ ගීතය පිළිබඳව මහගමසේකරයන් වරෙක මෙසේ පවසා තිබෙනවා.

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහගෙන් ගීතයේ දියුණුවට විශාල සේවයක් සැලසුණා. ගුවන් විදුලියේ ගීත නාටක නිර්මාණය කළේ මොහුයි. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමටත් ජාතිකානුරාගය වඩවන ගීත රචනා කිරීමටත් ඔහු විශේෂ දස්කමක් පෙන්වා තියෙනවා. මහ බෝ වන්නම මානවසිංහගේ හොඳම ගීතය කියල හිතනවා. මේ ගීතය ඇහෙන කොට ශාන්ත රසය මිශ‍්‍ර නිරාමිස පී‍්‍රතියකුයි අපට ඇති වන්නේ. මානවසිංහගේ රචනා ශෛලියටත් මේ ගීතය හොඳ උදාහරණයක්.

“මහ බෝ වන්නම” ට වස්තු විෂය වන්නේ ගලායන නේරංජනාවේ මැරෙන ඉපදෙන රළ දෙස බලමින් හිමාල කඳුවැටියේ සෙවණැල්ලේ මඳ පවනේ ලා දලු සලන ශ්‍රී මහා බෝධියයි. එහෙත් මේ නිර්මාණයේ විශේෂත්වය නිර්මාණකරුවා බෝධිය පසුබිම් කරගත් පමණින් භක්ති ගීයක් නිර්මාණය කර නොතිබීමයි. “මහ බෝ වන්නම” වූ කලී ස්වභාවධර්මයේ චමත්කාරයට ආගමික ගුණ සුවඳ තැවරූ රසිකයා තුළ නිරාමිස වින්දනයක් ජනිත කරවන්නා වූ නිර්මාණයකි.

"වැලිතල අතරේ - හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස - වැඩ සිට බුදු වුණ දා තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ සමාධී භාවනා" 

රමණීය චිත්ත රූපයක් හා ඖචිත්‍යයෙන් යුතු විරිතක් මානවසිංහයෝ මෙහිදී භාවිත කරති. සුදු වැලිතලා සිපගෙන හෙමින් හෙමින් නේරංජනා නදිය ගලා බසිද්දී ගයා ශිර්ෂයේ බෝධි වෘක්ෂයකට පිට දී සමාධි සුවයෙන් වැඩ වසනු බුද්ධත්වය ලැබු ශ්‍රමණ භගවත් ගෞතමයන්ගේ රූපකාය, රසික මනසේ සිතුවම් වෙයි.

මුළු රචනය පුරාම ‘බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

ඒ අයුරින්ම ශි‍්‍ර මහා බෝධිය අවට පරිසරයේ චමත්කාරය රචකයා තම කවි ඇසට ගොදුරු කර ගනී. හිමාලයේ සිසිල, හා නලමුදු සුවඳ, ඉන්ද්‍රිය ගෝචර ලෙස චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය සමග සම්මිශ්‍රණය කරගැනීමට මානවසිංහයෝ සමත් වෙති.

මහා මරු කතරක් මැද සිට වුවද මේ වාග් මාලාව ශ්‍රවණය කරන කල්හි සීතල පවන් රොදක් සිරුර සිපගන්නා සුළු අර්ථ හා ශබ්ද මාධුර්යයක් තම පද මාලාවට රචකයා එක් කර ගනී.

"හිම කඳුවැටියේ - සීතල හෙවණේ චන්දන තුරු පීරා - හැපී එන මල් මුවරද රසිනේ සමඟ මුසු - කෝමල මද පවනේ ගැටීලා - පාවෙනා" 

සුභාවිත සිංහල ගීතයට අප්‍රමාණ මෙහෙවරක් කළ මානවසිංහයන් භාෂාව පරිහරණය කරන ආකාරය ගවේෂණය කළ යුත්තකි. “ගලන ගඟකි ජීවිතේ” “පාරමිතා බල පූජිත පූජිත” “පිපී පිපී රේණු නටන” “ආදරියේ රුචිරාණනියේ” වැනි නිර්මාණයන්හි භාෂා භාවිතය විමසා බැලීමෙන් මේ තත්ත්වය අවබෝධ කරගත හැකිය.

"සත්සර නගලා ටික ටික සෙල වී සිරිමා බෝ හිමිගේ - මනෝහර පලුපත් අතු රිකිලී - නටා ගිය තාලෙහි රස දැනුනා - සරාගී ජීවනා" 

මහ බෝ වන්නම භක්ති ගීයක් ලෙස ලේබල් ගැසිය නොහැකි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් ජනිත කිරීම ඒකායන අරමුණ ලෙසින් පෙනී නොයන බැවිනි. රචකයා අවසානයේ පාඨකයා රැගෙන යන්නේ අනුරපුරයේ ජයසිරි මා බෝධිය වෙතටයි. සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමඟ සපැමිණි ජයසිරිමා බෝ අංකුරය මේ ධරණී තලයේ රෝපණය වූ දා පටන් එදා නේරංජනා නදී තීරයේ කොළ සැලු ලතාවට ම ලා දලු බෝ පත් සලන අයුරු දැක විඳ ගත හැකි බව රචකයා සිහිපත් කරයි.








No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...