Friday, July 17, 2020

පියාණනී මා නැවත උපන්නොත් ...

ගීත රැසක් රචනා කළ විද්‍යෝදය විභූෂණ සාහිත්‍ය කලා ශිරෝමනි මහාචාර්ය සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාරයන්,
  
මං කතා කරන්න හදන්නේ. එහෙම කතා කරන්න කැමති ගීත අතර එක් ගීතයක් තමයි ”පියාණනි මා නැවත උපන්නොත්” කියන ගීතය.

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොවම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න
 
මේ ගීතයට පෙර තාත්තලා ගැන ගීත රචනා වෙලා නැහැ නේද?
 
මගේ දැනීමේ හැටියට මේ ගීතයට කලින් තාත්තලා ගැන ගීත රචනා වෙලා නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. කව්රුන් හෝ එහෙම ගීතයක් පෙන්වා දුන්නොත් මං ඒක නිහතමානීව පිළිගන්නවා. නමුත් මම දන්නා තරමින්, මට මතක ඇති තරමින් තාත්තලා ගැන ගීතයක් නැහැ. මේ ගීතයේ මුල හොයාගෙන යනකොට මට මතක් වෙනවා ඉස්සර නිතර ගුවන්විදුලියට යන කාලේ එහි හිටපු සභාපතිවරයකු ගේ තරුණ ලේකම්වරියක් හිටියා. ඇය දවසක් ”ඇයි ඕගොල්ලෝ තාත්තා ගැන සිංදුවක් ලියන්නේ නැත්තේ” වගේ දෙයක් ඇහුව කියලා යාන්තමින් මගේ මතකයේ රැුඳිලා තියෙනවා.
 
 ඇය කව්ද?
 
 මොන සභාපතිවරයාගේ කාලයේද? කව්ද ඒ තරුණ ලේකම්වරිය කියන එක ගැන මට පැහැදිලි අදහසක් නෑ. මට හිතෙනවා මේ ගීතය ලිවීමේ මුල් බීජය ඇතිවුණේ එතනින් කියලා. නමුත් ඒ වෙලාවේ එහෙම ගීතයක් මගේ අතින් ලියවුණේ නැහැ. එනමුත් පසු කාලයේදී ඒ ගීතය ලියවෙන්න හේතුවක් වෙනවා මගේ තාත්තා අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා රෝහල් ගත කළ අවස්ථාව. එතකොට අපි සහෝදරයෝ කීපදෙනා මාරුවෙන් මාරුවට තමයි තාත්තා ගාව පහන් කළේ. මම ගත කරපු දවස්වල අබේවර්ධන බාලසූරියත් මාත් එක්ක ඒ රාත‍්‍රී කාලයන් ගත කළා. ඒකට හේතුව මම විතරක් නෙමෙයි, අබේවර්ධන අපේ පියාගේ ළඟම හිතවතෙක් වූ නිසා. එක රාත‍්‍රියක ඔහුට ඔහුගේ තාත්තා ගැනත්, මට මගේ තාත්තා ගැනත් ගීතයක් ලිවීමට උවමනාව වුණා. ඒ අනුව තමයි මේ ”පියාණනි මා නැවත උපන්නොත්” කියන ගීතය රචනා වුණේ. ඇත්තටම මේක මගේ තාත්තා ගැන හරි අබේවර්ධනගේ තාත්තා ගැන හරි ලියවුණාට පොදුවේ තාත්තලා ගැන කියවෙනවා. ඇත්තටම හැම තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන් ගේ දරුවා තමන්ට වඩා ඉදිරියට යෑම. අපේ තාත්තට ඔහු ගේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වුණා. මම මහාචාර්යවරයෙක් වුණා, තව කෙනෙක් නීතිඥවරයෙක් වුණා, තව කෙනෙක් පත‍්‍ර කලාවේදියෙක් වුණා. නමුත් ඒ වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් මං හිතන්නේ හැම පියෙක්ම කරනවා කියලා. ඒ කැප කිරීම තමයි තමන් දුක් විඳිමින් තම දරුවන්ට යහපතක් සැලසීමට වෙර දැරීම. මං ඇස් දෙකෙන් දැක්කා මගේ පියත් මවත් මොන තරම් දුක් කන්දරාවක් වින්දද කියලා අපේ ජීවිත සැපවත් කරන්න. ඔවුන් නොකා නොබී හරි අපේ කුසට ආහාර දුන්නා. අපි ලොකු ලොකු රස්සාවල් කළාට, අපේ අතේ සතේ නැති වෙලාවල්වලට අපි සල්ලි කීයක් හරි ඉල්ලූවෙත් තාත්තාගෙන්. ඉතිං ඒක නිසා ඒ තාත්තා ගැන තමයි මේ ගීතය රචනා කළේ.

(උපුටා ගැනීම - දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...