Friday, July 17, 2020

ඔබට සිත ආදරේ කරයි ...

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටි
නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
මගේ සිත වේදනා විඳි..

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හදුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමතිදෝ මා කෙරේ..

මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ..
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේද මා වෙතේ..

ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා..
යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා..

දයාරත්න පෙරේරාගේ බොහෝ ගීත රචනා කර තිබෙන්නේ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින්. බොහෝ විට පෙරනිමි තනුවකට එතුමා විසින් ගීත රචනා කර තිබෙනවා. මේ ගීතයෙත් තනුව නිර්මාණය කර තිබුණට කිසිම පද මාලාවක් නිර්මාණය කර නොතිබූ මොහොතක දිනක් දයාරත්න පෙරේරා මහතා අපූරු අත්දැකීමක් කියනවා.

එක දවසක් "සත්සර" පත්තරේ මම ගැන පළවූ ලිපියකින් පසු මට තරුණයෙක් සුවිශේෂ ලිපියක් එවා තිබෙනවා. එහි සඳහන් වන්නේ ඔහු දිනපතාම බස් නැවතුම් පොලේ දී දකිනවා තරුණියක්. ඇය ගැන උනන්දුවක් ඇතිවනවා. හැබැයි අදහස ප්‍රකාශ කරන්න ඔහුට ශක්තියක් නැහැ. ඒ නිසාම ඔහු වේදනාවකට පත්වෙනවා. මෙසේ ඒක පාර්ශවිකව ආදරය කරන ඔහු දිනක් දකිනවා වෙනත් තරුණයෙක් ඇය සමග සමීප වෙලා සිටිනවා. ඒ දකින ඔහුට දැඩි ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. කාලයක් තිස්සේ හිතේ ආදරය තියාගෙන සිටි එම තරුණයාට මේ සිදුවීම දරාගන්න බැරි වුණා. ඔහු මානසිකව ඇදවැටෙනවා. ඒ ඇතිවූ හැඟීම තමයි ලිපියකින් දයාරත්න පෙරේරා මහතාට දන්වන්නේ.

මේ ලිපිය ධර්මවර්ධනයන්ට පෙන්වූ පසු ඔහු අපූරුවට එය චන්දන වැලිකල විසින් නිර්මාණය කළ පෙර නිමි තනුවකට පද මාලාවක් නිර්මාණය කරනවා.

ධර්මවර්ධනයන් ගීතයේ එක් තැනක මෙහෙම ලියනවා. " නුවන් දැහැනින් බැඳෙන්නට පිං නොමැති දෝ මා කෙරේ" සාමාන්‍යයෙන් ඕනෑම පිරිමි ළමයෙක් මුලදී තමන්ගෙ හිතේ තියෙන අදහස හිත ගිය ගෑණු ළමයාට එක එල්ලේ ප්‍රකාශ කරන්න තරමක් තැති ගන්නවා. ඒක ලැජ්ජාවක් බියක් මුසුවූ හද ගැස්ම නිසා සිඳුවන දෙයක්. මේ ගෑණු ළමයා තුළ වූ ආකර්ශනය නිසා තමයි පිරිමි ළමයා සෑහෙන දවසක් ඇයට කියන්න හිතාගෙන සිටි දේ නොකියා ඉඳලා තියෙන්නේ. 

මේ ගීතය පටිගත කොට ගුවන් විදුලියට බාරදුන් සැණින් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...