Thursday, February 4, 2021

රත්නදීප ජන්ම භූමි ...

රත්නදීප ජන්ම භූමි

ලංකාදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි

ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්

සාර වූ උදාර වූ මාතෘ භූමිය යි


මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී

ඇත්තෙ ඒ අභීත දූ පුතුන්

ජාතියේ නාමයෙන් – සංග්‍රාම භූමියේ

ජීවිතේ පුදා හෙළුෑ ලේ කඳ යි


සින්දූපමාන වැව්තලා මතින් ඇදී

පද්ම රේණුයෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා

එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුව යි


ගංගා තරංග රාව දී රිදී වණින්

මල් පිපී කුලෙන් කුලේ හැපී

ගායනා කරන්නේ – ආකාශයේ නැඟී

වීරයින්ගේ ඒ යශෝගීතය යි


ගායනය හා සංගීතය - පණ්ඩිත් අමරදේව 

පදරචනය - මහගම සේකර 


ස්වකීය සියලු නිර්මාණයන්ගෙන් සිංහල ජාතියේ ප්‍රෞඪත්වය විභූෂණය කළ මහගම සේකරයන් මේ ගීතය රචනා කිරීමේ දී ලද ආවේශයත්, ගීතයට සංගීතය සපයා එය ගායනා කළ අමරදේවයන් දැක්වූ සුවිශිෂ්ට පරිශ්‍රමයත් අරභයා ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් කළ විවරණයක් මෙහිලා දැක්වීම උචිත යැයි හැඟේ.


“1964 දී ගුවන් විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වූ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය සේකර ප්‍රබන්ධ කොට ඇත්තේ ‘ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං’ යන සුප්‍රකට බෝධි වන්දනා ගාථාවේ වෘත්තය ආශ්‍රයෙනි. අමරදේව එවකට රජයේ සංගීත ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකි. මහගම සේකර ගුවන් විදුලියෙන් ඉවත් වී එහි චිත්‍ර අංශයේ අංශාධිපති ලෙස සේවය කරමින් සිටියේ ය. එදින අමරදේවයෝ එළිමහනේ ගසක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිවරාගෙන සංගීතය උගන්වමින් සිටියහ. භාරතීය සම්භාව්‍ය සංගීතයේ තාරණ යන අක්ෂර, ධධ්වරී අක්ෂර ලෙස හැඳින්වෙන අතර තාරණ යනු ඉන් බිහි වූ ගායන ශෛලිය වේ. ඉක්බිතිව අමරදේවයෝ ගෞඩ සාරංග නමැති රාගය ඉගැන්වීම ඇරඹූහ. සේකර ලියූ ‘රත්නදීප ජන්ම භූමි’ ගේය පද මාලාව එවෙලෙහි ඔහු අතට පත් විය. මේ ගීතයට අවැසි තනුව ද ගෞඩ සාරංග රාගයෙන්ම නිම කිරීමට අමරදේව සිත යොමු කළේය. දේශාභිමානි ගුණයට අවැසි පරිසරය මේ රාගයෙහි තිබෙන

බැව් ඔහුට පසක් වී තිබිණ.


එපරිදි ශාස්ත්‍රීය වූ පදනමකින් නිර්මාණය වී ගැයුණු සිංහලේ යශෝ ගීතය, අපගේ මාතෘ භූමියේ මහානීය අගයත්, ඒ අගය දිවි හිමියෙන් රැක ගනිමින් සමෘද්ධිමත් පරිසරයක් ගොඩනංවාලූ වීරෝදාර මුතුන් මිත්තන්ගේ පරිශ්‍රමයත් උදෙසා නිමැවුණු සිහිවටන ඵලකයක් වැන්න.


“රත්නදීප ජන්ම භූමි – ලංකාදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි”


අපගේ උදාර වූ මාතෘ භූමිය අතීත යුගයේ ලෝවැසියන් විසින් හඳුන්වන ලද්දේ සෙරන්ඩිබ් හෙවත් රත්නද්වීපය නමිනි. එසේ ම එම දේශය විජය රජුගෙන් ඇරඹී පසුකාලීනව ක්ෂත්‍රීය ජන වංශ පරපුරකින් පැවත සරල ග්‍රාමීය ප්‍රධානීන්ගෙන් (ගාමණී) පාලනය වුණ දේශයක් විය.


“ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්

සාර වූ උදාර වූ මාතෘ භූමිය යි”


‘සිංහලේ’ නමින් හැඳින්වූ ඒ රත්නදීපයේ ජන පරපුර බුදු දහමින් සිය අධ්‍යාත්මය පෝෂණය කර ගත් උදාර ගති පැවතුමින් හෙබි සුරුවිරුවන් පිරිසක් වූහ. ඔවුන්ගෙන්

පැවත ආ ලේ නෑදැ පරපුර තම ජාත භූමියේ ස්වාධීන උරුමය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කටයුතු කළහ. ඒ වීරයින්ගේ ලෙයින් මාතෘ භූමිය පෝෂණය වී තිබේ.


දකුණු ඉන්දීය මංකොල්ලකරුවන්ගේ සිට අපරදිග ධන වැද්දන් දක්වා දෙදහස් වසක් මුළුල්ලේ වරින්වර සිරිලක් භූමියට කඩා වැදුණු මිථ්‍යාදෘෂ්ටික පර සතුරු ආක්‍රමණ හමුවේ නොසැලී නැගී සිටි ඒ අභීත දූ පුතුන් සිය නම් ඉතිරි කොට තබා ‘මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී’ වැතිරුණේ සිංහල ජාතියේ උදාර නාමය ලෝකයා හමුවේ සනිටුහන් කොට තබමිනි. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ දිවි පිදූ ඔවුන්ගේ කයින් ගලා ගිය ලේ කඳින් ලංකා ධරණීතලය පෝෂණය වී තිබේ. ඔවුන් එදා හෙළුෑ ප්‍රාණ වායුව සිරිලක් දෙරණට වරින්වර අනුප්‍රාණය ලබා දෙන්නේ සොබා දහමේ ආශීර්වාදයත් වැළඳ ගෙනය.


“සින්දූපමාන වැව්තලා මතින් ඇදී

පද්ම රේණුයෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා

එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුවයි”


ලොව අන් සියලු රටවල් පරයා නිමැයුණු ලක්දිව වාරි තාක්ෂණය පැරණි සිංහලයන්ගේ සභ්‍යත්වයේ උතුම් අංගයක් සේ සැලකිය හැකි ය. ස්වාධීන සිංහල සංස්කෘතියක පටන් ගැනීමට හේතු වුණු මුල් බිජුවට ලක්දිව රෝපණය කරනු ලැබුවේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ දී (රාජ්‍ය වර්ෂ පූර්ව 5 වැනි සියවස) සිට බව ‘වැවෙන් උපන් සිංහල සභ්‍යත්වය’ නමැති ලිපියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයෝ පැවසූහ. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, සෞර්ය වීර්යත්වයටත් දෙස් කියන වැව් සමුදුරු පරයා නිමැවුණු බැව් ඒවා හැඳින්වූ නම්වලින් පවා පෙනී යයි. ඒ මහ වැව් දියකඳ තරඟ පිසගෙන නැඟී නෙළුම් මල් සුවඳ ඇදගෙන හමන සිහිල් පවනින් සසල වන රන් කරලින් නැගෙන ප්‍රබෝධය, ජාතිය උදෙසා දිවි පිදූ හෙළ විරුවන්ගේ ප්‍රාණ වායුවට උවම් කිරීම කොතරම් මහරු කාව්‍යෝත්තියක් ද? මෙතරම් අබිරු අභිමානයක් ලොව කවර රටක පරිසරයකිනුදු නොනඟන විරූ ය. ලොව අන් රටවල ජනකායන් පවා මවිත කරවන සුලු ඒ මානව වික්‍රමයන් පිළිබඳව අනවරතයෙන්ම උදම් වන්නේ හෙළ දෙරණේ ස්වාභාවික සෞන්දර්යාත්මක පරිසරයයි.


“ගංගා තරංග රාව දී රිදී වණින්

මල් පිපී කුලෙන් කුලේ හැපී

ගායනා කරන්නේ – ආකාශයේ නැඟී

වීරයින්ගේ ඒ යශෝගීතයයි”


මහගම සේකර – පණ්ඩිත් අමරදේව සුසංයෝගයේ අග්‍ර ඵලයක් වැනි මේ ගීතයේ පරිසමාප්තිය වූ කලී, අතීත හෙළ වීර පුතුන්ගේ අභිමානවත් පරිශ්‍රමය ගැන නොසිතන – හුදු බලලෝභීත්වය හා උදර පෝෂණය ගැන පමණක් සිතා කටයුතු කරන අඳ බාල සමාජය අවදි කරවන කාහල නාදයක් වැන්න. නූතන යුගයේ බොහෝ දෙනෙකුගේ සිතින් ගිලිහී ගිය, අපේ හෙළ වීරවරයන්ගේ යශෝගීතය, ස්වභාවධර්මය විසින් පළ කරනු ලබන අපූරුව සේකරයන් වැණූ අයුරු ප්‍රශස්තය.


(උපුටා ගැනීම - මහාමේඝ /සටහන – දයාපාල ජයනෙත්ති මහතා)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...