Tuesday, February 9, 2021

කඳුළු දෙන්න මට හඬන්න ...

කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න ...//


හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න

මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න


ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න

මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න ...//


ගායනය - සුනිල් එදිරිසිංහ

පද - ජයරත්න ගමගේ

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා.


කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩගලන්න” හදවතින් හදවතට බැඳුණු ගීතයක්?


මේ ගීතය පිළිබඳව ජයරත්න ගමගේ මහතා අදහස් දක්වමින් "80 දශකය මුල් හරියේ ලියූ ගීතයක්. මගේ හොඳ හිතවතෙක් හිටියා මිනිහත් නිකං මගේ ජාතියේ වගේ ටිකක් වෙනස් චින්තනයක් තියෙන කෙනෙක්. වයස විසි ගණන්වල හිටියේ ඒ වෙනකොට. එයත් ටිකක් සම්ප‍්‍රදායික දේවල් අමුතු ඇහැකින් බලන කෙනෙක්. ශාරීරිකව ඔහු කඩවසම් කෙනෙක් නෙමෙයි. කැපී පෙනෙන ස්වරූපයක් නැහැ. මිනිහා ඕක එච්චර ගණන් ගත්තේ නැහැ. බුද්ධියට තමයි තැන දුන්නේ. ආදරයට පේ‍්‍රමයට බොහොම කැමති කෙනෙක්. ඉතිං ඔහු ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ පෞද්ගලික විස්තර මට කියලා තිබුණා. වරක් ඒගොල්ලෝ මේ කොහේ හරි පාක් එකක ගිහිල්ලා දෙන්නා කතා බහ කර කර ඉද්දී ඒ ගෑනු ළමයා අතින් කියවිලා තියෙනවා සාමාන්‍යයෙන් කඩවසම් දඟකාර විනෝදකාමී තරුණයින්ට යුවතියන්ගේ ආකර්ෂණය වැඩියි කියලා. අර මගේ යාලූවා මෙච්චර කල් හිතලා තියෙන්නේ මෙයාගේ මොලේටයි මේ සැලකිල්ල හම්බවෙන්නේ කියලා. ගෑනු ළමයා මගේ යාළුවව පහත් කරන්න හිතලා කියපු දෙයක් නෙමෙයි. මොකක්හරි කතාවකදී කියපු දෙයක්. නමුත් මගේ යාළුවට මේකට බොහොම තදින් හිත රිදුනා. එතකොට මං මාදින්නාගොඩ හිටියේ බෝඩිමක. පස්සේ රාජගිරියේ පැත්තේ තැබෑරුමකට ගිහිල්ලා මාත් එක්ක මිනිහා පැය කාලක් විතරම සද්ද නැතුව හිටියා. පළමු වටය අවසාන වෙද්දී මිනිහා කියන්න ගත්තා වෙච්ච සිද්ධිය. වෙච්ච දේ කියලා ඔහු මට කිව්වා ඔහුට ලොකු ආත්මානුකම්පාවක් ඇතිවුණා කියලා. එහෙම කියලා ඔහු අඬන්න පටන් ගත්තා. ඇත්තටම මගෙත් ඇස්වලට කඳුළු ආවා. එවේලේ මගේ යාළුවා මට කිව්වා ”මං අඬනවා මගේ කඳුළු ඉවරවුණාම උඹේ කඳුළුත් මට දියන් අඬන්න” කියලා. එසැනින් කඳුළු දෙන්න මට අඬන්න කියන වචන ටික මගේ ඔලූවට ආවා. ටිකකින් ඔහු ඔහුගේ නවාතැනට ගියා මම මගේ නවාතැනට ගියා. දැන් අර සිද්ධියයි වචන ටිකයි මගේ ඔලූවේ කැරකෙනවා. ? දොළහට විතර මං එළියට ඇවිල්ලා ඉන්නකොට බොහොම පාලූයි, අඩ හඳකුත් තිබුණා අහසේ, ඒ තිබිච්ච වට පිටාවයි, ඇතිවෙච්ච සිද්ධියයි, මානසික කැළඹීමයි ඒ සියල්ලෙන් තමයි මේ ගීතය උත්පාදනය වුණේ. ඒ වෙලාවේම මං මේ ගීතය ලිව්වා. හරි සැහැල්ලූවක් දැනුනා ලියලා ඉවරවුණාම. පහුවදා පොඞ්ඩක් සංස්කරණය කළා. ඔය කොළඹ ඉන්දැද්දී මට ගුවන්විදුලියට යන යාළුවො කිහිපදෙනක් හම්බුණා. කමල් දේශප‍්‍රිය, සුසන්ත අමරසිරි, රානි පෙරේරා මහත්මියගේ පුතෙක් හිටියා චන්දන පෙරේරා කියලා. බණ්ඩාර කියලා තව යාළුවෙක් හිටියා එයා තමයි ඕක සුනිල් එදිරිසිංහට ගිහිං දීලා තිබුණේ. ඒ කාලේම අපි විසිරිලා ගියා සම්බන්ධකම් නැතිවුණා දැන් ඒගොල්ලෝ කොහේ ඉන්නවද දන්නෙ නෑ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)







දූවිලි දූවිලි දූවිලි ...

 දූවිලි දූවිලි දූවිලි දූවිලි


දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ //


වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න //

දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ


ගී ගයනා මිනිස්සුන්ට

පැන් කළයක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ


ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එළා දෙන්න //

දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ


දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ //


දූවිලි දූවිලි දූවිලි දූවිලි


ගායනය – ප්‍රදීපා ධර්මදාස

පද රචනය - ජයන්ත චන්ද්‍රසිරි

තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ඔබ මුලින්ම රචනා කළේ වෙද හාමිනේ ටෙලි නාට්‍ය ගීතය?


ජයන්ත චන්ද්‍රසිරි මහතා අදහස් දක්වමින් "කාලය ගතවෙලා මං වෙදහාමිනේ ටෙලි නාට්‍යය කරන කොට ඒ නාට්‍ය තුළ යටින් යන එක ගීතයක් තියෙනවා. චිත‍්‍රපට වලට ටෙලි නාට්‍යවලට ගීත ලියනකොට ඉතාම ප‍්‍රකට ගීත රචකයන් පවා ලියන්න ඕන මේ කෘතියේ කර්තෘට ඕන ගීතය. වෙන එකක් ලියන්න බෑ. කෘතියේ කර්තෘවරයා ගේ රචකයා එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයා අදහස අනුව මට මෙන්න මෙහෙම එකක් ලියලා දෙන්න කියලා කිව්වම ඒ අනුව තමයි ලියන්නේ. වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ කර්තෘවරයා මමමනේ. මම හිතුවේ නෑ කොයි වෙලාවකවත් සිංදුවක් ලියන්න. මම හරි ආසා ගීත රචකයෝ ඉන්නවා. ඉතිං මම මගේ සංගීතඥයා ආචාර්ය කේමදාසයන්ට මේ සිද්ධිය විස්තර කළා. 1950 දශකයේ සංගීත අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එකතු වෙච්ච කාලය ඔය. ඉතාම ගම්බද පාසල්වලට පවා සංගීතය විෂයක් විදිහට ඉගැන්වීම ගියා. හුඟක් වෙලාවට ගුරුවරියෝ තමයි සංගීත පාඩම් ඉගැන්නුවේ. නගරයෙන් එන ගුණේන්ද්‍ර සහ ඔහුගේ මිතුරා සුවය පතා වෙද මහත්තයා හම්බවෙන්න ඉතාම දුෂ්කර ගම්මානයකට එන ගමනේ දී ඔවුන්ට ඉස්සෙල්ලාම ශ‍්‍රවණය වන්නේ වෙද මහත්තයාගේ දියණිය මංගලී ගුරුවරිය පාසලේ ගහක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ගීතයක් ගායනා කරමින් ඉන්න අවස්ථාව. මට මෙතන හිතුනේ අර වෙද හාමිනේගේ මනෝභාවයන් එක්තරා ආකාරයකින් ප‍්‍රකාශයට පත්කරන අවස්ථාවකුත් විය හැකියි කියලා මේ අවස්ථාව. එකක් තමා තිරයේත් අපි ඇයව දකින මුල්ම අවස්ථාව. මං මේ කාරණා කේමදාසයන්ට කිව්වා. මට මෙන්න මෙහෙම ඕන. මේකේ මෙන්න මේ ආකාරයේ තාලයක් තිබුණොත් හොඳයි. මං එහෙමත් කිව්වා. ඊළඟට සංගීත අධ්‍යාපනය ගැන මගේ රිසර්ච් එක මං කිව්වා ඒ කාලේ. මේ සිංදුව ලියන්න මගේ ඔලූවේ හිටියා බොහොම ප‍්‍රකට ගීත රචකයෝ කිහිප දෙනෙක්. මට අවශ්‍ය වුණා ඒ කෙනෙක් ලවා මේ ගීතය ලියවා ගන්න. මං ඒක කියන්න තමයි මාස්ටර්ට මේක කිව්වේ. මං ඒ කාලේ ප‍්‍රසිද්ධ නෑනේ. මං හිතුවා කේමදාසයන් ලව්වා මේක කියෙව්වොත් ගීත රචකයෙක් ඉක්මනට මේක ලියලා දෙයි කියලා. අපිව අඳුනන්නේ නෑනේ ඒ කාලේ කව්රුත්. ඉතිං කේමදාසයන් ලවා කියවගන්න අදහසින් මම ඒක කිව්වා. මං නම් කිහිපයකුත් කිව්වා, අහවලා, අහවලා අහවලා ලව්වා පුළුවන් නං මේක ලියන්න හොඳයි කියලා.


* ඔහු ඔබට මොකද කිව්වේ?


කේමදාසයන් කිව්වා මොන පිස්සුද මේක ලියන්න ඕන ඔයා කියලා. ඔයා ඔය මට කියපු විස්තරේ ලියන්න බෑ කාටවත්. මේක ඔයා ලියන්න ඕන කිව්වා. මං කිව්වා මට සිංදු ලියන්න බෑ; මම සිංදු ලියලා නැහැ කියලා. ඊළඟට වෙච්ච දේ තමයි ඔහු කිව්වා මට දැන් ගීතය ලියන්න කියලා. මොයිසක්කා කියලා මාස්ටර්ගේ ගෙදර උදව්වට හිටපු එන හැමෝටම සංග‍්‍රහ සත්කාර කරන සේවිකාවට කතා කරලා කිව්වා මේන් මේ මහත්තයට තේකක් ගේන්න කියලා. ඔයා වාඩි වෙන්න ඔය මේසේ කියලා කෑම මේසේ පෙන්වලා මට ලියන්න කියලා මාස්ටර් එළියට ගියා. මට තේ එකකුත් හම්බුනා. ඉතිං මම ලියන්න පටන් ගත්තා. එතනදී මට ලියවුණා මේක. මේ චරිතයේ මනෝභාවයන් ආදිය විස්තර කරනකොටම මගේ මනෝ භාවයන් ඇවිස්සිලානේ තියෙන්නේ. ඒකයි ඔහු අර දැන්ම ලියන්න කිව්වේ. මට පස්සෙයි ඒක තේරුණේ. හරි ශ්‍රේෂ්ඨ මිනිස්සු. අවබෝධය, දැනුම හරි ඉහළයි. මං අර කලින් කිව්වනේ මට චිත්ත කවි ලියවුණා කියලා. ඒක තමයි මට මෙතනදීත් වුණේ. චිත්ත කවියක් වගේ තමයි මට මේක ලියවුණේ. එතකොටයි මම දන්නේ මට මෙහෙම සිංදුවක් දෙකක් පොඩියට ලියාගන්න පුළුවන් කියලා.


”දූවිලි” තරමක් විශේෂ යෙදුමක්?


වියළි කලාපයේ හරියට දූවිලි. එහෙ ඉන්න කාන්තාවෝ හරි වියළි කර්කෂ පරිසරයක ඉන්න අය. ඒගොල්ලන්ගේ තියෙන්නේ මහා අමුතු ලස්සනක්. පසුබිමේ තියෙන්නේ දූවිලි හැම තිස්සෙම. දූවිලි කියන එකේ මහා දාර්ශනික අර්ථයකුත් තියෙනවනේ. දූවිල්ලක් කියන්නේ හරි කුඩා ප‍්‍රපංචයක් නේ. අනිත්‍ය පිළිබඳ අදහසකුත් තියෙනවා යම් ආකාරයකින්. අනෙක් අතට ජනාලාප බහුල ජන කවි ආරක් තමා මට ඔලූවට ආවේ. මංගලි වෙන අය වෙනුවෙන් කැප වෙච්ච ජීවිතයක් බවට පත්වෙනවා නුදුරු කොටස්වලදී. අපේ වෙදකමේ තියෙන දේත් ඒකනේ. ලාබ ප‍්‍රයෝජන ලබන්නේ නැතුව අනුන් වෙනුවෙන් කැප වෙච්ච පුදුමාකාර පරාර්ථකාමී දෙයක් නේ අපේ වෙදකම කියන්නේ. ඔය බොහෝ දේවල් අතරේ තමයි මේ ගීතය පූදින්නේ. මං කියන දේ අහලා කේමදාසයන් මේක වෙන කාටහරි දුන්නා නං මං තාම ගීත රචකයෙක් වෙලා නෑ මං හිතන්නේ. අනික ගීතය ගයපු ගායිකාව විශාල බලපෑමක් වුණා. ප‍්‍රදීපාගේ පළමු ප‍්‍රසිද්ධ ගීතය මේ. ඒකත් විශේෂත්වයක්. කේමදාසයන් කිසිසේත්ම තෝරා ගත්තේ නෑ එවකට ජනප‍්‍රිය ගායිකාවක් මේකට. එයා කිව්වා මේකට ගැලපෙනම හඬ ප‍්‍රදීපාගේ හඬ කියලා.


(උපුටා ගැනීම - යුගාන්ති යශෝධරා /දිවයින)

 


නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...