Tuesday, February 9, 2021

කඳුළු දෙන්න මට හඬන්න ...

කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න ...//


හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න

මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න


ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න

මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න ...//


ගායනය - සුනිල් එදිරිසිංහ

පද - ජයරත්න ගමගේ

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා.


කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩගලන්න” හදවතින් හදවතට බැඳුණු ගීතයක්?


මේ ගීතය පිළිබඳව ජයරත්න ගමගේ මහතා අදහස් දක්වමින් "80 දශකය මුල් හරියේ ලියූ ගීතයක්. මගේ හොඳ හිතවතෙක් හිටියා මිනිහත් නිකං මගේ ජාතියේ වගේ ටිකක් වෙනස් චින්තනයක් තියෙන කෙනෙක්. වයස විසි ගණන්වල හිටියේ ඒ වෙනකොට. එයත් ටිකක් සම්ප‍්‍රදායික දේවල් අමුතු ඇහැකින් බලන කෙනෙක්. ශාරීරිකව ඔහු කඩවසම් කෙනෙක් නෙමෙයි. කැපී පෙනෙන ස්වරූපයක් නැහැ. මිනිහා ඕක එච්චර ගණන් ගත්තේ නැහැ. බුද්ධියට තමයි තැන දුන්නේ. ආදරයට පේ‍්‍රමයට බොහොම කැමති කෙනෙක්. ඉතිං ඔහු ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ පෞද්ගලික විස්තර මට කියලා තිබුණා. වරක් ඒගොල්ලෝ මේ කොහේ හරි පාක් එකක ගිහිල්ලා දෙන්නා කතා බහ කර කර ඉද්දී ඒ ගෑනු ළමයා අතින් කියවිලා තියෙනවා සාමාන්‍යයෙන් කඩවසම් දඟකාර විනෝදකාමී තරුණයින්ට යුවතියන්ගේ ආකර්ෂණය වැඩියි කියලා. අර මගේ යාලූවා මෙච්චර කල් හිතලා තියෙන්නේ මෙයාගේ මොලේටයි මේ සැලකිල්ල හම්බවෙන්නේ කියලා. ගෑනු ළමයා මගේ යාළුවව පහත් කරන්න හිතලා කියපු දෙයක් නෙමෙයි. මොකක්හරි කතාවකදී කියපු දෙයක්. නමුත් මගේ යාළුවට මේකට බොහොම තදින් හිත රිදුනා. එතකොට මං මාදින්නාගොඩ හිටියේ බෝඩිමක. පස්සේ රාජගිරියේ පැත්තේ තැබෑරුමකට ගිහිල්ලා මාත් එක්ක මිනිහා පැය කාලක් විතරම සද්ද නැතුව හිටියා. පළමු වටය අවසාන වෙද්දී මිනිහා කියන්න ගත්තා වෙච්ච සිද්ධිය. වෙච්ච දේ කියලා ඔහු මට කිව්වා ඔහුට ලොකු ආත්මානුකම්පාවක් ඇතිවුණා කියලා. එහෙම කියලා ඔහු අඬන්න පටන් ගත්තා. ඇත්තටම මගෙත් ඇස්වලට කඳුළු ආවා. එවේලේ මගේ යාළුවා මට කිව්වා ”මං අඬනවා මගේ කඳුළු ඉවරවුණාම උඹේ කඳුළුත් මට දියන් අඬන්න” කියලා. එසැනින් කඳුළු දෙන්න මට අඬන්න කියන වචන ටික මගේ ඔලූවට ආවා. ටිකකින් ඔහු ඔහුගේ නවාතැනට ගියා මම මගේ නවාතැනට ගියා. දැන් අර සිද්ධියයි වචන ටිකයි මගේ ඔලූවේ කැරකෙනවා. ? දොළහට විතර මං එළියට ඇවිල්ලා ඉන්නකොට බොහොම පාලූයි, අඩ හඳකුත් තිබුණා අහසේ, ඒ තිබිච්ච වට පිටාවයි, ඇතිවෙච්ච සිද්ධියයි, මානසික කැළඹීමයි ඒ සියල්ලෙන් තමයි මේ ගීතය උත්පාදනය වුණේ. ඒ වෙලාවේම මං මේ ගීතය ලිව්වා. හරි සැහැල්ලූවක් දැනුනා ලියලා ඉවරවුණාම. පහුවදා පොඞ්ඩක් සංස්කරණය කළා. ඔය කොළඹ ඉන්දැද්දී මට ගුවන්විදුලියට යන යාළුවො කිහිපදෙනක් හම්බුණා. කමල් දේශප‍්‍රිය, සුසන්ත අමරසිරි, රානි පෙරේරා මහත්මියගේ පුතෙක් හිටියා චන්දන පෙරේරා කියලා. බණ්ඩාර කියලා තව යාළුවෙක් හිටියා එයා තමයි ඕක සුනිල් එදිරිසිංහට ගිහිං දීලා තිබුණේ. ඒ කාලේම අපි විසිරිලා ගියා සම්බන්ධකම් නැතිවුණා දැන් ඒගොල්ලෝ කොහේ ඉන්නවද දන්නෙ නෑ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)







No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...