Friday, February 12, 2021

අපි කවුරුද ...

සී සී කඩ විසිරුණු සිතිවිලි

දිය බුබුලේ නළියන පෙන කැටි වාගේ

නැති වෑ

හුදෙකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුණා

වගේ නිමක්‌ නෑ


මොහොතින් මොහොතට

ගෙවෙනා කාලය

දැනෙනවා තාමත් එක විදිහට

ගිනියම් ඉර සඳ සිසිලස

අතරේ හොයනවා හොයනවා

මේ අපි කවුරුද


ගීයකි ලොව සිතුවම් කළ

අතරේ අහනවා බලනවා

මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ

ගලා හැලෙන රිද්මේ

නැහැවී ඇදී යන්නේ

ඈතින් ඈතට පාවී සුළඟ සේ


පද රචනය/

තනුව - සේනක බටගොඩ

ගායනය - වායෝ


අපි කවුද කියලා සමහරවිට අපිවත් දන්නෙ නැහැ. අපි තවමත් අපිව හොයනවා. අපි ජීවත් වෙන්නේ මේ මොහොතෙ විතරයි. හෙටක්‌ ගැන හිතනවද මන්දා මේ මොහොතේ ජීවත් වෙමින් අපි අපිවම හොයනවා.


සී සී කඩ විසිරුනු සිතුවිලි

දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැති වෑ

හුදෙකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වගේ නිමක්‌ නෑ


අපේ සිතුම් පැතුම්, සිතුවිලි හැම තැනම විසිරිලා හිත එක තැනක නැහැ. හරියට දිය බුබුලක නලියන පෙණ වගේ. ඒවා ඇතිවෙනවා නැති වෙනවා. හරියට අපේ සිතිවිලි වගේ. තනිව සිටිද්දී අපි සිහින ලෝක අතර අතරමං වෙනවා. ඒ හීන ඉවරයක්‌ වෙන්නේ නැහැ. හීන ආකාරයක්‌.


අමුතුම ගීයක්‌... ගයන්නේත් අමුතුම තාලෙකට සංගීත කණ්‌ඩායමක්‌. කණ්‌ඩායමේ නමත් අමුතුයි. වායෝ, සංගීත් විඡේසූරියගේ මූලිකත්වයෙන් හැදුන බෑන්ඩ් එකක්‌. බෑන්ඩ් එකේ හැම කෙනෙක්‌ම වගේ ගීයට වාදනයෙන් වගේම ගායනයෙනුත් එකතු වෙනවා. සිංදුව ලියුවේ සේනක බටගොඩ තනුවත් සේනකගේ.


බොහොම සරල වචන ටිකක්‌. සරල දෙයක්‌ ගැනයි කතා කරන්නේ. අපි කවුද කියල තමයි විමසන්නේ. සේනක පැවසුවා.


මොහොතින් මොහොතට ගෙවෙනා කාලය

දැනෙනවා කාටත් එක විදිහට

ගිනියම් ඉර සඳ සිසිලස

අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද...


කාලය තත්ත්පරෙන් තත්ත්පරය ගෙවිලා යනවා. එය හැම කෙනකුටම එක විදිහයි. හිරුගේ රශ්මිය, සඳුගේ සිහිලස මේවා අතරේත් අපි හොයන්නේ අපිවමයි. ඇත්තටම අපි කවුරුද කියලා තමයි මේ හොයන්නේ.


මේක හරියට ෆැන්ටසියක්‌. ඕනම කෙනකුට තමන්ට රිසි සේ මේ ගීයත් එක්‌ක ඒ ෆැන්ටසිය විඳින්න පුළුවන්.


මම වෘත්තියෙන් සංගීත ශිල්පියෙක්‌. මියුසික්‌ තමයි මගේ රස්‌සාව. මම තවත් සිංදු කීපයක්‌ම කරලා තියෙනවා. කාලයක්‌ මමත් බෑන්ඩ්වල හිටියා. ඒ වෙස්‌ටර්න් බෑන්ඩ්... වායෝ ගයන මේ ගීය සෑහෙන ජනප්‍රිය වෙමින් තියෙනවා.


ගීයකි ලොව සිතුවම් කළ

අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවී ඇදී යන්නේ

ඈතින් ඈතට පාවී සුළඟ සේ...


මේ ලෝකයම ගීයක්‌... පාට පාටින් සිතුවම් කළ ගීයක්‌. පාට පිරුණු ලෝකයක්‌. ඒ අතුරෙන් අපි හොයන්නේ බලන්නේ අපි කවුරුද කියලා තමයි. ඉර බැස යනවා. ගොම්මන ළඟා වෙනවා. ආකාසේ තරුවක්‌ දෙකක්‌ දිළිසෙන්න පටන් ගන්නවා. ඒත් ආකාසය අන්ධකාරයි. කලුම කලු පාටයි. අන්ධකාර අහසේ තරු එක දෙක දිලිසෙද්දී ලස්‌සන පාට පාට ගීයේ රිද්මය ගලාහැලෙනවා. ඒ රිද්මයෙන් අපේ සිතිවිලි තෙමී නැහැවෙමින් ඈතට ඈතට පාවෙලා යනවා... හරියට හුළඟක්‌ වගේ.


ගීය අපට දෙන්නේ ඔය වගේ අරුතක්‌. අපේ ජීවිතය ගැන සැහැල්ලුවෙන් කියන ගී පද පෙළක්‌. අමුත්තක්‌ දැනෙනවා. ඒ අමුත්ත විඳගන්න ඔබටත් හැකිවේවි.

මෙම ගීතයේ මුල් අයිතිකරුවා පිළිබදව අදටත් බොහෝ දෙනෙකු හරි හැටි දන්නේ නැහැ.විශේෂයෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය තුල ඔහුගේ ගීත ප්‍රචාරය නොවීම ඊට හේතු විය හැක.ඉතින් එතරම් ප්‍රසිද්ධ නැති නමුත් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට පහල වූ අග්‍රගන්‍ය මාණික්‍යයක් බදු වූ ඔහු නමින් සේනක බටගොඩයි. "Pace" නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ගොඩ න⁣ගාගෙන සිටින සේනක බටගොඩයන්ගේ සංගීත ශෛලිය Classic Rock ආරට අයත් වේ.ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් පසුව "සිංහල classic rock" ශෛලිය තුල බිහි වූ දක්ෂතම කලාකරුවා සේනක බටගොඩ බවට හැගී යන්නේ ඔහු ගායනයට මෙන්ම පද රචනයට සහ තනු නිර්මාණයටද එක ලෙසින් දස්කම් පෑම නිසාමය්.ඔහුගේ හඩ පරාසය සහ ගායන විලාශය "Elton John" සහ "Bob Seger " යන ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවන් හා සම මට්ටමක පැවතීම සැබැවින්ම විශ්මයජනකය. ඔහුගේ ගීත බොහොමයක් දැකගත හැකි වන්නේ අන්තර්ජාල මාධ්‍ය⁣ තුල පමණි. කොටින්ම ඔහුගේ බොහොමයක් ගීත වලට රූප රචනා පවා නොමැත. වායෝ සංගීත කණ්ඩායම "අපි කව්රුද ගීතය 2012 දි නිකුත් කලද සේනකයන් එය පටිගත කල ගීතයක් ලෙස මුල්වරට අන්තර්ජාලයට නිකුත් කරන්නේ 2015 දීය.ඔහුගේ දක්ෂතාවයේ තරමට ඔහු ප්‍රසිද්ධ නොවීමට එයද හේතුවක් විය හැක. නමුත් ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත වල අර්ථ රසය සහ ශබ්ද රසය වචන වලින් කියා නිමකල නොහැකි තරමටම සුන්දරය. ඒ හේතුව නිසාම ඔහුගේ බොහෝමයක් නිර්මාණ අමු අමුවේම අනුකරණය කිරීමට අපේ රටේ සමහර ශිල්පීන් උත්සාහ දරය්.ඒ කරුණ නිසාම බටගොඩයන් විසින් නිර්මාණය කරන ලද සමහර ගීත වල සැබෑ උරුම කරුවා ඔහු බවට බොහෝ දෙනෙකු නොදැන සිටීම කණගාටුවට කරුණකි.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින හා loveme.blog)









No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...