Wednesday, July 15, 2020

මලින් මලට ඉගිලුනාට ...

මලින් මලට ඉගිලුනාට
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ ...//

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ

මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ ...//

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරි සරන්නේ

නැති බැරිකමයි උඩුහුළඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සව්දිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ ...////

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

කුමාරදාස සපුතන්ත්‍රි මහතා මෙසේ පවසමින් ඇත්තටම මලින් මලට ඉගිලුණාට සමනලයෙක් නොවේ කියන ගීතය ඒ වගේ මගේ අත්දැකීමක් වුණා. බේරුවල ඉඳන් ඒ කාලේ මම පාසැල් ආවේ කෝච්චියේ. ඒ එද්දි පයාගල හරියෙදී එක්තරා තැනකදී නිතරම කෝචිචිය නතර කරනවා. ඒ හැම මොහොතකම මම කෝච්චියෙ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්න එක පුරුද්දක් කරගත්තා. ඈතින් පේන මුහුදට යාබද පුංචි ගෙදරක පිරිමි මනුස්සයෙක් ආයුධ පෙට්ටිය ඉනේ බැඳගෙන බුලත් කෙල පහරක් පාරට ගහලා පොල් ගහට වැඳලා ගහට නගිනවා මම බොහෝ දවස්වල දැක්කා. සමහර දවස්වල මේ මනුස්සයා අර රා මදින ගස් දෙක අතරේ එහාට මෙහාට යනවා මම දැකලත් තියෙනවා. එක දවසක් මේ මනුස්සයා ගහට නගිද්දිම චූටි ගෑනු ළමයෙක් දුවගෙන ඇවිත් පොත් බෑගයත් පැත්තක තියලා අර මනුස්සයට වඳිනවා මම දැක්කා. ගහට යන්න හදපු මනුස්සයා පොඩි ගෑනු ළමයගේ ඔළුව අතගාද්දි ඒ ගෑනු ළමයා දුවලා ගියා. 

මේ දසුන මගේ හිතට තදින්ම දැනුණා. ඒක හරියට චිත්‍රයක් වගෙයි. ඊට අවුරුදු පහළොවකට විස්සකට පස්සේ මම කොළඹ ඉඳන් මගේ වාහනයෙන් ගමේ යද්දි දවසක් මම ඒ පුංචි ගෙදරට ගොඩ වුණා. පොඩි ළමයෙක් වඩාගත්තු ගෑනු කෙනෙක් එළියට එද්දි මම අවුරුදු ගාණකට කලින් දැකපු දේ කියලා කෝ ඒ පොඩි ගෑනු දැරිවි කියලා අහද්දි මහත්තයො ඒ මම තමයි කියලා කිව්වා. මට ඒ මොහොතෙත් ඒ පුංචි දරුවා තමයි මතක් වුණේ. ඒ ළමයා බැඳපු කෙනත් රා මදින එක තමයි කළේ. ඔවුන් ජීවත් වුණේ ඒ ජීවිත අවදානමෙන් එකතු කරගත්තු රා විකුණලයි. ඒක තමයි මගේ මේ ගීතයට පාදක වුණේ.



සසර වසන තුරු ...

1928 දෙසැම්බර් 07 වැනි දින බෙන්තර ප්‍රදේශයේ උපත ලැබූ ඩෝල්ටන් අල්විස්‌ මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. පියාගේ ඉල්ලීම පරිදි වෛද්‍යවරයකුවීම පිළිබඳ අදහසක්‌ තිබුණත් පසු කාලයේදී එය වෙනස්‌ වී රජයේ ලලිත කලායතනයදී චිත්‍ර කර්මය හැදෑරීය. එයින් පසු යූ. ඒ. එස්‌. පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ කවි ලොවට පිවිසි ඔහු ගුවන්විදුලියේ දී විවිධ වැඩසටහන් මගින් රසිකයන්ගේ හදවත් දිනා ගත් ඩෝල්ටන් අල්විස්‌ ප්‍රබුද්ධ ගීත රචකයකු බවට පත්විය. ඔහුගේ විශේෂය වූයේ ලියූ ගේය පදවල නිවහල් සිතුවිලි තිබීමයි. බොරැල්ල තරුණ බෞද්ධ සමිති පුස්‌තකාලයේ පුස්‌තකාලයාධිපති ලෙස කලක්‌ සේවය කළ ඩෝල්ටන් අල්විස්‌ මහතා පොතපතේ දැනුම ලබාගත් ගීත රචකයෙකි.

ඔහු ලියූ දේශාභිමානී ගීත අතර "සසර වසන තුරු" ගීතය ජනාදරයට ලක්‌ වූවකි.

ඩෝල්ටන් අල්විස් මහතාගේ බිරිඳ වූ ආරියවතී සේනානායක මහත්මිය විසින් 2015 අගෝස්තු 13 දින සරසවිය පුවත්පතට දුන් සාකච්ඡාවකදී ප්‍රකාශ කළ කරුණු ඇසුරෙනි.

ඩෝල්ටන් අතින් ලියැවුණු සසර වසන තුරු ගීතය ඔබේ ජීවිතයට අනුස්මරණීය ගීතයක් බව කිව්වේ ඇයි?

ඩෝල්ටන් කීප වරක් මට කියා තිබුණා එයා අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය ලෙස එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.

මේ ගීතය ලියනු ලැබුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මාව හදිසියේ ඇහැර වුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සිංදුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

සසර වසනතුරු ගීතයේ සිහින කතාවකුත් ඔබට කිව්වා නේද?

පිරිත් යන රේඩියෝව දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුනාලු. සසර වසන තුරු - නිවන් දකින තුරු - පින් කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කණට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයාව සසල වෙලා ගියාලු කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.

සිංහල ජාතිය පවතින තාක් කල් ගීත රචකයකු වශයෙන් ඩෝල්ටන් අල්විස් නම පවතින්නට මේ ගීතය ප්‍රමාණවත් කියායි මට හැඟෙන්නේ?

මුළු සිංහල ජාතියේම වංශ කතාව ගත්තහම මේ පද ස්වල්පයේ ඒ සියල්ල ඇතුළත්. අපේ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, සිංහලයාගේ අදීන කලා කුසලතා ගැන කියන්න වෙන වචන ටිකක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. ඩෝල්ටන්ට මේ ගීතය ලිව්ව පිනම ඇති නිවන් යන්න කියලයි මම හිතන්නේ.

සසර වසන තුරු

සසර වසන තුරු නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි 
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි 
මගේ උරුමයයි ...

සසර වසන තුරු
නිවන් දකින තුරු ...
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා 
හේතු වාසනා

පද රචනය- ඩෝල්ටන් අල්විස්
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව



හෙමින් සැරේ පියා විදා ...

හෙමින් සැරේ පියා විදා

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ

1980 දී  තිරගතවූ හංස විලක් චිත්‍රපටය සඳහා ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනාකල ගීතයකි. මෙහි ගේය පද රචනය ධර්මසිරි පතිරාජයන් සහ සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙනි. ඔබ හංස විලක් නැරඹුවා නම් දන්නවා ඇති මේ ගීය චිත්‍රපටයට කෙතරම් සමීපද යන වග. චිත්‍රපටයේ කිහිප අවස්ථාවකදීම මෙම ගීතය අපට ඇසෙන්නට ලැබේ. එහිදි මා සිත්ගත් හොඳම අවස්ථාව වනුයේ උසාවියේ නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවයි. අප සැවොම නඩු තීන්දුව දෙස අවධානයෙන් බලා සිටියද එහිදී මෙම ගීතය වාදනය වේ. ධර්මසිරි බණ්ඩාරනයකයන්ගේ ප්‍රතිබාව මැනැවින් පිලිබිඹුවන් අවස්ථාවකි ඒ. හංස විලක් හි ප්‍රධාන චරිත් නිරූපනය කරන්නේ ධර්මසිරි බණ්ඩාරනයක, ස්වර්ණා මල්ලවආරච්චි, හෙන්රි ජයසේන සහ වසන්ති චතුරාණියි. 

මෙහිදී අති උත්කෘෂ්ට රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවආරච්චි 1981 දී ඒ සඳහා ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබනවා. ඇයගේ ප්‍රතිභාපූර්ණ රංගනයක් මීලඟට මා දකින්නේ 'සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා' තුලින්. මා සිනමා ශාලාවක් තුල මෙය දකින්නේ ඉතාම කුඩා කාලයෙදී. මාගේ මව සහ පියාට පින්සිදුවන්නට මේ සිනමා කෘතිය නරඹන්නට මම වාසනාව ලබනවා. එහි දර්ශණ අදටත් මා මතකයේ රැඳී තිබෙන්නේ ස්වර්ණා මල්ලවආරච්චිගේ අපූර්ව රංගනය නිසයි.

මෙහි ගීත ගායනය දෙස බැලුවොත් ටී.එම්. ජයරත්නයන් හා සුනිලා අබේසේකර විසින් ගීතයට උපරිම සාධාරණයක් ඉටුකොට තියනව. ටී. එම් අප බොහෝ දෙනෙකුට සමීප ගායකයෙක් වන නිසා  ඔහු ගැන අටුවා ටීකා නැතිව සුනිලා කෙරෙහි යොමුවෙමු. මැයගේ ගායන කෞශල්‍යය 'උදුම්බරා'  නැතහොත් හඳුනා ගත්තොත් ඔබ මා ගීතයෙනුත් මනාවට පිලිබිඹු වෙනව. මැය සංගීතවේදී කේමදාසයන්ගේ කල්ලියේ ගායිකාවක් ලෙස කටයුතු කලාය. මීට අමතරව වාමාංශික දේශපාලනයටද දායකවූ තැනැත්තියක් ලෙස ඇයව හැඳින්වීමට පුලුවන. අද දවස අප අතර නැතත් ඇයගේ  හඬ කිසිදිනෙක අමතකකිරීමට නුපුලුවන.

ධර්මසේන පතිරාජයන් අප බොහෝ විට දකින්නේ සිනමා අධක්ෂකයෙකු හැටියට. 'හංස විලක්' තුලදී ඔහු මෙම ගීතය රචනාව අපට දායාද කරනවා. මෙය ඉතාම විශිෂ්ට ගනයේ සැලකෙන පද පෙලක් වනවා මෙන්ම සිනමා පටය හා මනාව ගැලපෙනවා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. ගීතයේ අරුත ඉස්මතු කිරීමට ඔහුගේ සංගීතයේ  දායකත්වය අති මහත්. බඹරු ඇවිත් චිත්‍රපටිය ඇතුලු චිත්‍රපටි ගනනාවක් සඳහා සම්මානයෙන් පාත්‍රවන මොහුට හංස විලක් සඳහා සම්මානයක් නොලැබීම මටනම් දැනෙන්නේ ඉතා අඩුවක් ලෙසටයි. බඹරු ඇවිත් හි 'උදුම්බරා' ගීතය මෙන්ම 'හිමින් සැරේ පියා විදා' ගීතය ඉහල තලයක තියනවා පමනක් නොව සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කල ගීතයක්.

ඉතින් අපි ගීතයේ පසුබිමෙන් ගීතයේ අරුත කරා යනවිට එය හොඳින් වටහාගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටීම වඩාත් යෝග්‍යයි. ඇත්තෙන්ම මෙයින් කියැවෙන්නේ විවාහක යුවල් දෙකක් අතර පිරිමියා සහ ගැහැණිය අතර ඇතිවන අනියම් සම්බන්ධයක්.
බොහොම සීරුවට මොවුන් දෙදෙනාගේ හැඟුම් උද්දිපනය වන ආකාරය රචකයා පවසන අයුරු පැසසිය යුතුයි. 'සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත් සිතුම් සියොතුන්'. සියොතුන් සීරුවට පියාසැලීම  ඔවුන්ගේ හැඟුම් අවදිවන ආකාරය දැක්වීමට භාවිතා කර ඇත.

පිරිමියා ස්ත්‍රිය දෙස බලන ආකාරය රචකයා මැනැවින් පදගන්වා ඇත. මලක් නිතැතින්ම සුන්දරය. නමුත් පිරිමියා එය දකින්නේ හා පතන්නේ ඉතාම ලස්සන හිත් බැඳගන්නා මලක් ලෙසටය. විලකට උපමා කරන ස්ත්‍රිය එහිදීද ඉතා පිරිසිදු වූත් දියෙන් යුක්ත වීමට පතයි. ඇත්තෙනම් මේ පද කිහිපයෙන් කියවෙන්නේ පිරිමියාට ඇයව කෙතරම් සුන්දර ලෙස පෙනෙනවාද යන්නය. සමහරවිට මෙය තහනම් පෙමක් නිසා සුන්දරත්වය තවත් වැඩිපුර ඔහුට දැනෙනවා ඇත. මන්දයත් සමාජයේ බොහෝ දෙනෙක් ලැබෙන හෝ ලැබී ඇති දෙයට වඩා නොලැබෙන දෙයට ලොබ බඳින බැවිනි.

දෙදෙනා රාගයෙන් මත්වී ඔවුනට අවශ්‍ය කම් සැප ලබාගැනීම රචකයා දකින්නේ 'සිහින නිම්නය සුපුෂ්පිත වෙයි' යනුවෙනි. සිරි යහනේ පවුරු බිඳදැමීමක් ගැන රචකයා සඳහන් කරයි. සාමාන්‍යයෙන් සිරි යහනෙදී අඹුසැමියන් එකිනෙකා හා එක්වේ. පවුරු බිඳදැමීම ලෙස දක්වන්නේ මේ අසම්මතයේ එකතුවීමයි. සැබෑ ජීවිතයේ ඇති සියලු බැමි  බිඳදා අසම්මත ප්‍රේමයට මග පෙහෙලි කිරීම හා එය ඉදිරියට ගෙනයාම මෙයින් දක්නට ලැබේ.

මෙහිදී පැවසිය යුතු තවත් දෙයක් ඇත. මේ සිනමා පටය තුල ගෙනහැරපාන අසම්මත ප්‍රේමය සැබෑ ජීවිතයටද ගෙන ගිය බවක් දිස්වේ. එය පසක් වන්නේ සම්මාන උලෙලකදී ස්වර්ණා මල්ලවආරච්චි පවසන ප්‍රකාශයක් අනුවය. ඇගේ ජීවිතේ ලැබුණ හොඳම සම්මාන තුන ලැබුණේ ධර්මසිරිගෙන් කියලා. මුල්ම සම්මානය හංස විලක්, දෙවනුව බව දුක හා බවකර්ම. ඇයගේ ජීවිතේට ඔහුගෙන් ලැබුණ හොඳම සහ වටිනාම සම්මානය ඇගේ දියණිය ලෙසයි ඇය සලකන්නෙ.

ඒ කෙසේ වෙතත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතින් හැඩවැඩ වුනු ලාංකික ගීත ඉතිහාසයේ  නොමැකෙන සටහනක් තැබූ ගීතයක් ලෙසට මෙම ගීතය අප අතරට එකතු වෙනවා.






ඔබේ අත ගෙන පෙර සැඳෑවක...

රෝහණ සිරිවර්ධන, කොළඹ ආනන්ද විදුහලේ ඉගෙන ගන්නා සමයේ දී දක්‍ෂ චිත‍්‍ර ශිල්පියෙක්. ජෝ දඹුලූගල ඔහුගේ චිත‍්‍ර ගුරුවරයා. ඒත් පාසලේ විෂයයක් ලෙස රෝහණ ඉගෙනුම ලැබුවේ ජීව විද්‍යා අංශයෙන්. අමතර විෂයයක් ලෙස පේ‍්‍රමවංශ හපුවලාන සහ අනිල් මිහිරිපැන්න ගුරුවරුන් දෙදෙනාගෙන් සංගීතය පිළිබඳ අත්පොත් තැබුවේය.
 
පදිංචිව සිටියේ කොළඹ මරදාන ආශි‍්‍රතව. අයියා පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ මරදානේ සංගීත මංජරියේ සිසුවෙක්. අක්කලා දෙදෙනෙක් බී. ගුණපාල පෙරේරා මාස්ටර්ගෙන් වයලීන වාදනය ඉගෙනගනී. අහල පහල කලාකරුවන් රැසක් පදිංචිව සිටී. මොහොමඞ් සාලි, කරුණාරත්න අබේසේකර, පේ‍්‍රමකීර්ති ද අල්විස්, මොහිදීන් බෙග්, පියදාස ගුණසේකර, ජයතිස්ස අලහකෝන්, සාදින් මාස්ටර්, කුවින්ටස් වීරකෝන් මේ අය වගේම ඔවුන්ගේ දරුවන් රෝහණගේත් පවුලේ සොයුරු සොයුරියන්ගේත් මිතුරන්.
 
එපමණක් නොවේ මරදාන, මාළිගාකන්ද අවට වැඩ විසූ කළුකොඳයාවේ පඤ්ඤාසේකර, අකුරටියේ නන්ද, පානදුරේ අරියධම්ම, රජවත්තේ වප්ප යන සංඝ පීතෘවරුන්ගේ ඇසුර ලබන්නට තරම් රෝහණ පින් කළේය.
 
රෝහණ හැටේ දශකයේ දී කරුණාරත්න අබේසේකරගේ ළමා පිටියට පැමිණේ. රූපා ඉන්දුමතී, මල්කාන්ති නන්දසිරි, පුන්සිරි සොයිසා, නිර්මලා රණතුංග, යසපාල පෙරේරා, චන්ද්‍රාණි ගුණවර්ධන, සමන් අතාවුදහෙට්ටි එකළ ළමා පිටියේ ඔහුගේ සමකාලීනයෝය.
 
යෞවනයකු වෙද්දී රෝහණ ළමා පිටියට සමු දෙන්නට විය. ඔහු ගුවන් විදුලියේ නිවේදන කටයුතුවලට එක් වූ අතර වැඩසටහන් සම්පාදනය කිරීමද කළේය. පසුව නිෂ්පාදක ධුරය දක්වා පැමිණි රෝහණ මහාචාර්ය විමල් අභයසුන්දරයන් සමග ගුවන්විදුලි ගීත නාටක නිර්මාණය කළේය. එකළ ඔහු ආනන්ද සිරිසේන ලියූ ’’වජිරා’‘, ගුවන් විදුලි නාට්‍යයේ ’’නිමල්’’ විය. කුසුම් පීරිස්ගේ ’’පහන් සිළුව’’ නාට්‍යයේ ‘‘නිශ්ශංක අයියා’’ විය.
 
ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් පේ‍්‍රම ගීතය
විරහ ගීයක් නොවේවා...
රෝහණ සිරිවර්ධන තම පළමු සරල ගී වැඩසටහනට ගැයූ ගීය අතිශයින් ජනපි‍්‍රය වන්නට විය.
 
ඒ කාලේ අපි හරිම තරුණයි. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, කැමිලස් පෙරේරා නිතර ගුවන්විදුලියේ දී හමු වෙනවා. අපි සතුටු සාමීචියේ යෙදෙනවා. සාමාන්‍යයෙන් ගුවන් විදුලියේ රාජකාරිය කළ නිසා මම මගේ සරල ගී වැඩසටහනට ලෑස්ති වෙන්නේ අන්තිම මෙහොතේ. පළමු සරල ගීය අන්තිම මොහොතේ මම කුලරත්න ආරියවංශට කිව්වා ගීතයක් ඕනේ කියලා. එයා මුල් පේළි හතර ලියුවා. පසුව ඒකත් අරගෙන ලක්‍ෂ්මන් විජේසේකර හමුවෙන්න ගියා බම්බලපිටිය ෆ්ලැට් එකට. එතැනට රෝහණ වීරසිංහත් ආවා. පැදුරක් එළාගෙන හතර දෙනාම ඉඳගත්තා. වචනවලට කලින් තනුව හැදුවා. ඉතිරි පද ටික කුලරත්න ලියලා තනුවට පිරෙව්වා. වෙද්දී ගීය ලියැවුණා...’’ රෝහණ සිරිවර්ධන අතීතය ආවර්ජනය කළේය. මේ ගීතය ගුවන්විදුලියේ මැදිරියක් තුළ හදිසියේ රචනා වූ ගීතයක්. කුලරත්න ආරියවංශයන් අතින් මෙහි මුල් වචන ටික පමණයි රචනා වෙලා තිබුණේ. නමුත් ඒ මුල් වචන ටික අරගෙන පියානෝවක් ළඟට ගිහින් ඒ ටිකට තනුවක් යොදා අන්තරා කොටස් වලට ඒ සමගම රෝහණ වීරසිංහයන් අතින් තනුව නිර්මාණය කරනවා. ඒ තනුවට තමයි ගීතයේ ඉතිරි වචන ටික ආරියවංශයන් අතින් රචනා වෙන්නේ. එමනිසා වචනවලට තනුවත්, තනුවට වචනත් යන දෙආකාරයෙන් ම නිර්මාණය වූ ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ඔබේ අත ගෙන පෙර සැඳෑවක...
උයන් තෙර හිඳ ආදරෙන්...
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය...
විරහ ගීයක් නොවේවා....

ඔබේ හදවත සැලෙන රාවය 
පවා මසිතට දැනුන මොහොතක 
හදවතින් තෙපලූ කථා 
කිසිදු දිනයක ගොළු නොවේවා....

ඔබේ සිහිලැල් සුවැති සෙවනේ 
රැඳී අප වුන් ඒ සැඳෑවේ 
හදවතින් මතුවූ සිනා 
කිසිඳු දිනයක බොඳ නොවේවා...


අපි සන්තෝසෙන් ඉන්නේ ... (අනංගවාදය -5)

අනංගවාදය..... 

‘‘ගුණේ ඇත්තට කරු එක්ක තරහෙන් ද ඔය අනංගයා ගැන සින්දු ලියන්නෙ. ඔය දෙන්නම මම හොඳටම දන්න නිසා මිනිස්සු මගෙන් අහනවා’’ යැයි වරක් පවුලේ වැඩිහිටි හිතවතෙක් ගුණරත්නගෙන් ඇසීය.   
මේ ගැන වරක් ගුණරත්න අබේසේකර මෙසේ පවසා ඇත.  

ඔය කතාව ඇත්ත. කරු අයියත්, මමත් වගේම ජෝතිත් මිල්ටනුත් අමනාප වෙලා ද කියල බොහෝ දෙනෙක් මගෙන් ඇසුවා. ඒ නිසා කරු අයියා මට කිව්වා ‘‘මල්ලි අපි වාදය නවත්වමු. කට කතා නැති වෙන්නත් එක්ක අපි දෙන්නා ජෝතිටයි මිල්ටන්ටයි යුග ගීතයක් ලියමු. ඔයා ජෝතිගේ කොටස ලියන්න. මම මිල්ටන්ගෙ කොටස ලියන්නම්’’ කියලා. ජෝතිත් මිල්ටනුත් මේකට ඉහළින්ම කැමති වුණා. ගීතයේ තනුව හදල සංගීතවත් කළේ සාලි හා මුත්තුසාමි. මේ ඒ ගීතය.   

මිල්ටන්- අපි සන්තෝසෙන් ඉන්නේ   
දුක සෝකය නෑ දන්නේ   අයියා මල්ලී වාගේ අයියා මල්ලී   

ජෝතිපාල- එක හැලියේ බත් කන්නේ   
එක සෙවනේ නිදියන්නේ   
අයියා මල්ලී වාගේ අයියා මල්ලී   

මිල්ටන්- අපගේ හිත්වල නෑ ක්‍රෝධෙ   
විහිළුවට විවාදේ   

ජෝතිපාල- අනුනට නෑ ඔරවන්නේ   
අවහිංසක ලෙස ඉන්නේ   
දෙදෙනාම- සැපතේ විපතේ වේවා   
එක් වී එකටම ආවා   

මිල්ටන් - අයියා මල්ලී වාගේ - අයියා මල්ලී   

ජෝතිපාල - සිංහල රජිඳෙකු පෙර දා   
මිතුදමේ අගය පාදා   
මිල්ටන්-තම හිතවත් කම පෙන්නා   
මහ ගිනි මැලයට පැන්නා   
දෙදෙනාම - දුක සැප දෙකේම වාසේ   
ආඳි බිතු සිතුවම් රූ සේ  අයියා මල්ලී වාගේ අයියා මල්ලී   

මිල්ටන් - හැමදා උපදින වාරේ   
හමුවේවා සංසාරේ 
  
ජෝතිපාල - කවදත් එකටයි ඉන්නේ   
කිසිවිට නෑ වෙන්වෙන්නේ   
දෙදෙනාම- ජීවිතේ මිහිර විඳිමු   
ප්‍රීතියෙන් ගීත ගයමු   
අයියා මල්ලී වාගේ අයියා මල්ලී 

අනංගවාදය කෙළවර වූ පසු ජෝතිපාලට ගුණරත්න තවත් ජනප්‍රිය ගීත කිහිපයක් රචනා කළේය’’ මගේ ආදරීට සම්පත සැප සතුට සදන්නම්. ‘‘කිරි ඉතිරේවා නව වසරේ’’ හැන්දෑවේ මං බලා හිටියා’’ (මල්ලිකා ද සිල්වා සමග) මේ ගීත අතර කැපී පෙනෙයි.   

‘‘ජෝති සහ මිල්ටන් අතර පැවතියේ ඉතා කුළුපග මිත්‍රත්වයක්. දෙදෙනාම තරගකාරී කේෂත්‍රයක රැඳී සිටීම ඔවුන්ගේ මිතුරුදම රැක ගැනීමට කිසි විටෙකත් බාධාවක් නොවූයේ ඔවුන් දෙදෙනාම එකිනෙකාට ඇළුම් කළ නිසා යැයි මම හොදාකාර දන්නවා. ප්‍රියතම ගායකයා කවුදැයි වරක් ජෝතිගෙන් ඇසූ ප්‍රශ්නයට ඔහු කියා තිබුණේ තමා ප්‍රියකරන ගායකයා මිල්ටන් පෙරේරා බවයි. මිල්ටන් පෙරේරාගේ ගායන දක්ෂතාව හඳුනාගෙන ඔහුට එය මතුකර ගැනීමට පදනම දැම්මේ ජෝතිපාල බව මිල්ටන් කියා තිබෙනවා.

1936 පෙබරවාරි 12 වෙනිදා උපත ලබා 1987 ජූලි 07 වෙනිදා ජීවිතයෙන් සමුගත් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලත්, 1938 මැයි 05 ඉපදී 1991 ඔක්තෝබර් 24 වෙනිදා ජීවිතයෙන් සමුගත් ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරාටත් අනංගවාදයට ගී ලියූ කරුණාරත්ත අබේසේකර 1930 ජුනි 03 වෙනිදා ඉපදී 1983 අප්‍රේල් 21 වෙනිදා මියගිය අතර 1934 මැයි 18 වෙනිදා උපන් ගුණරත්න අබේසේකර මිය ගියේ 1992 දෙසැම්බර් 15 වෙනිදාය. අනංගවාදයට ගී තනු නිර්මානය කළ පී.එල්.ඒ. සෝමපාල (1921-1988) ආර්. මුත්තුසාමි (1928-1988) මොහොමඩ් සාලි (1930-1988) මිය ගියහ. 
  
ඒ.ඩී. රන්ජිත් කුමාර විසිනි. 




අනංගයා සරණේ ... (අනංගවාදය -4)

ජෝති ගැයූ ​‘පෙම්වතුන්ට සරණේ’ ගීතයට පිළිතුරු ගීතය කරුණාරත්න අබේසේකරයන් මිල්ටන්ට ලියා දුන්නේය. ඒ ගීතය ද සාලි හා මුත්තුසාමිගේ තනුවක් ලෙස ජනප්‍රිය වූහ.   

අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ   
තරුණ තරුණියන්ට නොමැති දෙවියනි දෙවියනි රැකවරණේ 
අනංගයා සරණේ...
  
බිරිතනියේ කිරුළ අයිති වින්සර් ආදිපාදයා   
මල්සරාගෙ හීය වැදී රජ සැප හැරදා ගියා   
දුස්මන්තා කුමරු සමග සකුන්තලා පැටලුනේ   
මල් හීයෙන් විදපු නිසයි ඇවිදින කොට ඇය වනේ   

අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ

කවියත් ගත්කරුවත් ලොව උමතුවෙලා වැළපුණේ   
අනංග හී සැරය නිසයි සක් දෙවියන් ​ගොළු වුණේ   
ලයිල මජ්නු පෙම් කතාව හද දෙදරණ පුවතකි   
කුසුම්සරා වාසි අතට පගා ගසන මිනිහෙකි 

 අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ

සෙල්ලම් කොට දුන්නෙන් විඳ මුවා වෙලා සැඟවුණා  
මිල්ටන් වැනි මහා කවියන් මල්සරාට රැවටුනා  
රෝමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් නැති කළේ   
මලවි කියන මල්සරාය මැව්වේ දුක් ගිනි මැලේ   

අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ...

ජෝති හා මිල්ටන්ගේ අනංග වාදයට ගීත ලියූ කරුණාරත්න හා ගුණරත්න සොහොයුරන් ද අමනාප වී ඇති බව ගුවන් විදුලි අසන්නන් සැක පහළ කළහ.   




පෙම්වතුන්ට සරණේ ... (අනංගවාදය -3)

අනංගවාදය.....

මිල්ටන් පෙරේරා ගැයූ ගීතය ද ජනප්‍රිය වීම නිසා අනංගවාදය ගුවන් විදුලියෙන් ඇසීමට ශ්‍රාවකයෝ උනන්දු වූහ.   

‘‘මිල්ටන් කියන ගීතෙට අපි පිළිතුරක් ලියන්න ඕනෑ ගුණේ’’ ජෝති ගුණරත්න සොයා ගොස් කීවේය. ගුණරත්න ලියූ පිළිතුරු ගීතයට තනුව නිර්මාණය කර ගැනීමට ජෝති එවර සොයා ගියේ මොහොමඩ් සාලි හා ආර්. මුත්තුසාමිවය. එකල ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නායකයාව සිටියේ මුත්තුසාමිය. මේ ජෝතිට ගුණරත්න ලියා දුන් පිළිතුරු ගීතයයි.

පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී

පෙමින් වෙලී කාලිදාස මහා කවක් බිහිකළේ
කලාකාමි කවි සිත් වල කවි රසයක් මතු කළේ
සන්ගීතය පෙම් ගීතය පණගන්වා ඔප කළේ
අනංගයා මමය් ලොවේ මහා හපන්කම් කළේ

මහානාග ළග ෂීලා ජයපාලද මාලිනී
ආදරයෙන් එකතු උණා අතුල සමග රෝහිණී
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී
මගෙහීසර පහර ලබා පෙම්ගීයෙන් මත්වුනී

ඉස්තිර ආලය නොතකා දෙතුන්දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ චපල සිතක් ඇති නිසා
කවුරුන් කොය් ලෙස කීවත් රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ

අනංගවාදය උච්චස්ථානයට පැමිණි නිසා ජෝතිටත් මිල්ටන්ටත් ආදරය කළ රසිකයෝ ඔවුන් අමනාප වෙලා යයි සැක කළහ. එසේ ඔවුන් අමනාප වීම අනුමත නොකළ නිසා ඒ ගැන ගුවන් විදුලි බලධරයන්ට පවා ලිපි ලියූහ. එකල තිබූ ජනප්‍රිය චිත්‍රපට සඟරාවලට ද තම අදහස් පළ කොට රසිකයෝ ලිපි යැවූහ. ඒ කෙසේ වෙතත් ජෝති හා මිල්ටන් දිගටම අනංගයාට පක්ෂව හා විපක්ෂව ගී ගැයීම අත්හැර නැත.



සුපෙම් ලොවේ කුසුම් සරා ...(අනංගවාදය-2)

අනංගවාදය. ...

පසුදා ජෝති ගෙදර ඇවිත් මම අනංගයා ගැන ලිව්ව ගීය කරු අයියාට පෙන්නන කොට මම මගේ කාමරයට ගියා හෙමිහිට.   

ඒ සමගම මිල්ටන් පෙරේරාත් ආවා. ගුණරත්න අ​බේසේකර අතීත කතාව හෙළි කළේය.   

ගුණරත්න ජෝතිට ලියූ ගීතය කියවා සිනාසෙමින් බලා සිටි කරුණාරත්න ඒ මොහොතේම මිල්ටන්ට පිළිතුරු ගීතයක් ලියා දුන්නේය. කරු ලියූ ගීතය කිය වූ මිල්ටන් මෙසේ කීවේය.   

‘‘ගුරු (මිල්ටන් කරුට කතා කළේ ඒ නමිනි) මේක හිට් එකක් වෙනවා කී මිල්ටන් ජෝතිට පෙන්වා ‘‘මචං ජෝති උඹේ සින්දු ජනප්‍රිය වුණාම මේ සින්දුව මම කියන්නම්’’ කීවේය. මිල්ටන් කීවා සේම ජෝතිගේ අනංගයා ගීය ජනප්‍රිය විය. ඒ සමගම කරු මිල්ටන් ලියූ මේ පිළිතුරු ගීතයට සංගීතඥයන් දෙදෙනෙක් එක්ව තනුව නිර්මාණය කිරීම ද තවත් විශේෂයකි. මේ ඒ ගීතයයි. මොහොමඩ් සාලි හා ආර්. මුත්තුසාමියි ඒ.   

සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා   

රාජ දරුවො රාජ ඔටුනු අත්හලේ
සාලිය කුමාර රැඳෙව්වෙ රොඩි පැලේ   
රාවණ රජ සීතා කුමරි සිර කළේ   
වානර හනුමත්තා මැව්වෙ ගිනි මැලේ   
කුස නිරිඳා දුක්වින්දේ ඇත්හලේ   
අනංගයා නිසයි   

කුලය නිලය ධනය සලකලා   
වටින තරුණ තරුණියන්ව නැති කළා  
වස විස බොන්නේ මිය යන්නේ එල්ලිලා   
අනංගයා නිසයි
   
දෙමව්පියන් වැඩිහිටියන් නොසලකයි   
උදේ හවා රෑ යාමේ දහ දුකයි   
ඔබ මල් හී සැර විදින දුන්න හරි සැරයි   
අනංගයා වසයි 

සුපෙම් ලොවේ...  




අනංගයා මං අනංගයා ...(අනංගවාදය -1)

ලංකාවේ ගීත ඉතිහාසයේ සුප්‍රසිද්ධ අනංගවාදය

හින්දු දේවකථාවල කාමාශාවන් මුර්තිමත් කෙරෙන දෙවියා අනංගයා ය. පසු කාලයේ දී ඔහුට ‘අනංග’ යන නම ද ව්‍යවහාර වූ බවත්, සිරුරක් නැත්තා යන එහි අර්ථය බවත්, සිංහල විශ්වකෝෂයේ සඳහන්ව ඇත. අනංගයාගේ දුන්න උක් දඬුවකි. සිංහල සාහිත්‍ය ග්‍රන්ථයන්හි අනංගයා නිතර නොයෙක් නම් වලින් අර්ථ දක්වා ඇත. මදය, මදනය, මල්සරය, කුසුම් සරය. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගගේ මහා සිංහල ශබ්ද කෝෂයේ දැක්වෙන පරිදි අනංගයා යනු සිත්හී රාගික සිතිවිලි උපදවෙතැයි සලකන දෙවියා, කාම දේවයා, ඔල්සරා, කන්දර්යා ය. අනංගයා විසින් විඳිනු ලබතැයි කියන හී පහර පියුම් අසෝක අඹ දෑසමන් නිලුපුල් යන මල් පසය. 

අනංගයා ගැන හිටි හැටියේ අපට කීමට සිත් වූයේ මීට වසර 59කට පෙර (1959-1950) ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ (වෙළඳ සේවයෙන්) එවකට සිටි ජනප්‍රිය ගායකයන් දෙදෙනෙකු අනංග වාදයක පැටලී ගී ලොව විකසිත කළ අයුරු එදා තරුණ වියේ සිටි අයට නම් අමුතුවෙන් කිවයුතු නොවේ.   

මේ ජනප්‍රිය ගායකයන් දෙදෙනා එච්.ආර්. ජෝතිපාල හා ජේ.ඒ. මිල්ටන් පෙරේරාය. අනංගවාදයට මුල පිරෙන්නේ අහම්බයකිනි. එකල කොළඹ මාලිගාකන්දේ සැලස්කි පෙදෙසේ පිහිටි ‘සීගිරි’ නම් නිවස ගුවන් විදුලි ගායක ගායිකාවන්ට තෝතැන්නකි. එයට හේතුව වූයේ එය ජනප්‍රිය ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ නිවස වීමය. එදා ජෝතිපාල කරු සොයා එහි පැමිණියේ අලුත් ගීතයක් රචනා කර ගැනීමටය. එදා කරු ගෙදර නොසිටියේ ය. කරුගේ බාල සොහොයුරු ගුණරත්න අබේසේකර හා කතාවට වැටුණ ජෝතිපාල කියා ඇත්තේ ‘‘කරු නැති නිසා ගුණේ මේ ගීතය ලියලා දෙන්න ලෙසය. මේ පිළිබඳව ගුණරත්න අබේසේකරයන් 1980 දී පමණ ඒ අතීත කතාව කීවේය.   

එදා ජෝතිපාල කළේ අපේ ගෙදර කෑම මේසයට තාලයකට තට්ටු කරමින් ගීතයක තාලයක් මුමුණා කරු අයියා එන තුරු බලා හිටිය කරු අයියාගේ පමාවීම නිසා ජෝති මට මෙහෙම කිව්වා. ‘‘ගුණේ මේ තාලෙට එහෙනං වචන ටික දාල දෙන්න.’’   

මම ඒ වෙන විට ගීත ලියලා තිබුණේ නෑ. ජෝතිගේ බලවත් ඉල්ලීම නිසා ඔහුගේ තාලයට මම ‘‘රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුණ නමයි - උතුවන් කන්දේ සූර සරදියෙල් මම යි’’ කියලා ඒ ගීතයට වචන ලිව්වා. ගීතය කියලා අවසන් වෙලා මම කොළය ජෝතිට දුන්නා. ජෝති මගේ පදවල් නලවා ලෙළවා ජීවය කවා ගායනා කළා. මේ ගීතය ඒ කාලේ ගුවන් විදුලියේ අතිශය ජනප්‍රිය වුණා. අායිත් දවසක ජෝති අපේ ගෙදර ආවා. එදත් කරු අයියා හිටියෙ නෑ. එදත් මට වුණේ අලුත් සින්දුවක් ලියලා දෙන්න. ඒ කාලයේ ​ ජෝතිට තිබුණේ ළයාන්විත හඬක්. ඒ හඬ පෙමින් වෙළුණ තරුණ හදවත්වල කිඳා බැස තිබුණා. ඒ නිසා මට හිතුණා අනංගයා ගැන ගීතයක් ලියන්න. මම ගීතයක් ලියලා ජෝතිට දුන්නා.   

‘‘මේක නං මරු ගුණේ. මම මේක පාලට (පී.එල්.ඒ. සෝමපාල නම් සංගීතඥයා) හොඳ ටියුන් එකක් දා ගන්නවා’’ ජෝති කිව්වේ රටක් රාජ්ජයක් ලැබුණා වගේ සතුටකින්. මම ලිව්ව ගීතය මේ   

අනංගයා මං අනංගයා   
ආදරේ ප්‍රේමයේ සුර​ලොව තනතුරු දැරූ   
අනංගයා මං අනංගයා   

රාමා සීතා එක් වුණේ රාධා ක්‍රිෂ්ණ ළං වුණේ   
සාලිය කුමරුට අසෝක මාලාවන් හමු වුණේ   
මා නිසයි ලෝකයේ හැම යුවලම එක් වුණේ   
අර සුරලොවේ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ   
අනංගයා මං අනංගයා   

තරුණ හඳක් හොයනවා මල් පහ සැර යොදනවා  
මේ උක් දඬු දුන්න නමා මල් හී සැර විඳිනවා   
කුල බලේ නිල බලේ ධන බලේ පන්නලා   
අර අතු පැලේ මාලිගේ පෙම්වතුන් ළං කළා.   
අනංගයා මං අනංගයා   

පැන දුවන්න ඕනැ නෑ දුක විඳන්න ඕනැ නෑ   
මම ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාළු නෑ   
ආදරෙයි ප්‍රේමයයි සුරලොවටම හුරු කළා   
අර මල්සර පෙම්බරා මඟුල් සක්වලේ රජා   
අනංගයා මං අනංගයා 

🤔🤔🤔🤔  හෙට දිනයේ මෙහි පිළිතුරු ගීතය බලාපොරොත්තු වන්න 😁😇😇😇



ගලා කන්දෙනි මතුවෙනා ...

1948 වසරේ දෙසැම්බර් මස 03 දින තිරගත වූ, මෙරට පස්වැනි කතානාද චිත්‍රපටය වූ, මීගමුවේ මිනර්වා සමාගම වෙනුවෙන් බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතා විසින් නිෂ්පාදනය කළ, ජ්‍යෝතිශ් සිංග් විසින් අධ්‍යක්ෂණය කළ "වැරදුණු කුරුමාණම" චිත්‍රපටයේ ඇතැම් ගීත තනු ද, බෙංගාලි ආභාසය ඇතිව නිෂ්පාදනය කළ ගීත තනු ඇතුළත්ය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂක පණ්ඩුරංගන් මෙන්ම, ශ්‍රී ලාංකික සංගීත අධ්‍යක්ෂක බි. එස්. පෙරේරා මහතා ද, දායකවීම විශේෂත්වයකි. සිංහල චිත්‍රපටයක් සඳහා පළමු වරට සිංහල සංගීත අධ්‍යක්ෂක වරයෙකු සම්බන්ධ වූයේ ද, වැරදුණු කුරුමාණම චිත්‍රපටය සඳහා ය. චිත්‍රපටයේ ගීත සියල්ලම රචනා කළේ පි.එල්.ජේ. නන්දනකීර්ති මහතා විසිනි.

මෙම සටහන සඳහා තෝරාගත්තේ “වැරදුණු කුරුමාණම” චිත්‍රපටයට ඇතුළත් වූ අප කවුරුත් දන්නා “ගලා කන්දෙනි මතුවෙනා” ගීතයයි.

කන්දෙනි මතුවෙනා දොලකි මේ ප්‍රීති ජීවිතේ
ගලාවී දොල සේ මා ප්‍රීති ජීවිතේ

ගලා කන්දෙනි මතුවෙනා දොලකි මේ ප්‍රීති ජීවිතේ

රාත්‍රී කාලේ - චන්ද්‍රා ලෝකේ
*කේඳී සේ දිය සෙලවෙවී
දොලකි මේ ප්‍රීති ජීවිතේ

ජලේ *බුබුල් නැගී
සැලේ සෝබා මල් මල්
සඳේ කාන්ති වැදී
ඉන් ගෙතේ පෙම් වැල්

දොලේ ජලේ නාදේ
ප්‍රාණේ ගීතේන්
මුහුදේ හමු වේවි
ප්‍රේමෙන් ගලා

දොළකි මේ ප්‍රීති ජීවිතේ
ගලාවි දොල සේමා ප්‍රීති ජීවිතේ.

හෙළ සිනමාවේ නිළි රාජිණි , ගීත කෝකිලා "රුක්මණී දේවිය" විසින් රගපාමින් ගායනා කළ මෙම ගීතය දශක සතක් ගෙවුණ ද, අදටත් රසික ජනයා අතර ඉතා ජනප්‍රිය ගීතයක් වන්නේ එහි ඇති ඉතා මනරම් වූ තනුව නිසාම ය. ගීතයේ ආරම්භක සංගීත ඛණ්ඩය මාත්‍රා 4/4 ; කෙහෙර්වා තාලයෙන් ආරම්භ වන අතර ගායනය බටහිර සංගීතයෙහි දැක්වෙන මාත්‍රා 6/8 තාලය එසේත් නොමැති නම් හින්දුස්ථානි ඛේම්ටෝ තාලයට අවතීර්ණ වී ගැයීමක් සිදු වෙයි. රුක්මණී දේවියගේ ප්‍රශස්ත ගායනය පිළිබඳව අමුතුවෙන් කිවයුත්තක් නොමැත, එය එතරම්ම ගම්භීරය, සුගායනීය. නිරායාසයකින් මන්ද්‍ර ස්වර වල සිට උච්ච ස්වර දක්වා ඉතා ස්ථාවර සහ ගතික ලෙස ස්වකීය ස්වරය විසර්පණය කිරීමට රුක්මණී දේවිය විසින් දක්වන ලද නිසඟ හැකියාවට මෙම ගීතය කදිම උදාහරණයකි. ඇතැමුන් සඳහන් කරන ආකාරයට ගීතයේ දැක්වෙන *බුබුල් සහ *කේඳී යන වචන යුග්මය ගායිකාව විසින් වැරදි ලෙස උච්චාරණය කිරීමක් ලෙස හුවා දැක්වුවද, ගීතයට ඉතා හොඳීන් සවන්දීමෙන් පෙනී යන්නේ, ගීතයේ තාලය රැකගනු වස්, රුක්මණී දේවිය එම වචන යුගලය ඒ අයුරින් ගැයීම ඇතැම් විට සංගීත අධ්‍යක්ෂක ගේ බලපෑමක් යට‍තේ සිදුවුණු ලද්දක් විය හැකි බව මාගේ පිළිගැනීමයි.

බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න මහතා 1948 වසරේ දී, “වැරදුණු කුරුමාණම” කතාව චිත්‍රපටයට නැගීමට පෙර, 1942 වසරේ දී නිපදවන ලද, “වැරදුණු කුරුමාණම” නාට්‍යයෙහි ගීත ගොන්නට මේ ගීතය ඇතුළත්ව තිබුණේ නැත. එම ජවනිකාව සඳහා රුක්මණී දේවීය විසින් ගයන, “පෙම් ගී රසෙනි” යනුවෙන් සදහන් වෙනත් ගීතයක් ඇතුළත්ව තිබු අතර, එය එවකට ජනප්‍රිය ග්‍රැමොෆෝන් ගීතයක් වූ , පාලි කුමාරි ගායිකාව විසින් ගැයූ “භවේ හීන ගුණේ දුටු දා” ගීතයේ තනුවට සමාන එකක් විය. මේ අයුරින් , චිත්‍රපටයට නැගීමේදී කතා සාරය එලෙසම පැවැති අතර, ජවනිකා සඳහා බොහෝවිට නව ගීත ( මුල් නාට්‍යයෙහි ඇතුළත් නොවූ) ගීත ඇතුළත් කිරීමට ජයමාන්න මහතා කටයුතු කළේය.

කෙසේ වෙතත්, මේ ගීතය බොහෝ දෙනෙකු දැන සිටියේ බි.එස්.පෙරේරා මහතා අතින් නිමවුණු ස්වතන්ත්‍ර තනුවක් ලෙසය. එනමුත්, “ගලා කන්දෙනි මතුවෙනා” ගීතයේ මුල් තනුව පිළිබඳව වරක් සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා විසින් කරන ලද එක්තරා ප්‍රකාශයක් අනුව ඔහු වරෙක, රුක්මණී දේවී සමරු උත්සවයක දී සඳහන් කර සිටියේ වැරදුණු කුරුමාණම චිත්‍රපටයට ඇතුළත් “මෝරනවා ප්‍රේමේ හදේ ” සහ “ගලා කන්දෙනි මතුවෙනා” ගීත යුගලයම බෙංගාලි ගීත තනු බවය.






දඟකාර ඔය දෑස ...

සුනිල් ගුණවර්ධන මහතා අතින් ලියවුණු "දඟකාර ඔය දෑස" ගීතය
  
ගීතය ලියවෙන්නේ 1979 සැප්තැම්බර් 30 දින. ඒ සුනිල් ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දිනයයි.

සුනිල් මහතා අතින් සනත් නන්දසිරි මහතා වෙනුවෙන් ලියවුණු මේ ගීතය වෙනත් ගීතවලට වඩා අතිශය ජනප්‍රිය වුනා. ඒ ජනප්‍රියත්වය අදටත් සිදුම අඩුවක් නම් සිදුවෙලා නෑ. 

ගීතය ගැන වැඩි යමක් කතා කරන්නට නැතත් ගීතය රචනයේදී සිදුවුණු විශේෂ සිදුවීමක් ගැන සුනිල් ගුණවර්ධන මහතා එක්තරා රූපවාහිනී වැඩසටහනදී මතක් කරනවා. 

ඒ තමයි සනත් නන්දසිරි මහතාට ඕන වෙනවා මේ ගීතයට අනිවාර්යයෙන් "ඇස් දෙකෙන් ලියුම් ලීවා" කියන අර්ථය ඇතුළත් කරන. ඉතින් සනත් මහතා සුනිල් මහතාට කියනවා...

'මල්ලියේ ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන අර්ථය මේ ගීතයේ අනිවාර්යයෙන් තියෙන්නම ඕන..'

ඉතින් කොච්චර උත්සාහ කරත් ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන පදයක් හදාගන්න මේ දෙන්නාටම අමාරු වුණා.

කොහොම හරි දෙන්නාම ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන වචන කල්පනා කර කර ඉන්න අතර්, සනත් නන්දසිරි මහතා යනවා නාන කාමරයට නාන කාමරයට ගියපු සනත් මහතා එක පාරටම ඇතුලේ ඉදන්ම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා...

'මල්ලියේ.... මල්ලියේ... අපි ඔතනට දාමු "දසුනින්ම හසුනක් මවා" කියලා....'

ඔන්න ඔය විදිහට තමයි මේ රසවත් ප්‍රේම ගීතයට අත්‍යවශ්‍ය කරපු වචනය වෙච්චි "දසුනින්ම හසුනක් මවා" කියන කොටස ගීතයට එකතු වෙන්නේ.

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන



අනෝතප්තවිල විල නෙලුම නෙලාළා ...

නාග කන්‍යාවකගේ රුපය වර්ණනා කෙරෙන පැරණි ගීතයක් වන සුනිල් සරත් පෙරේරා ශුරීන් විසින් රචිත ~අනෝතප්තවිල නෙලුම නෙලාළා~ගීතය

අනෝතප්තවිල විල නෙලුම නෙලාළා 
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා

සිතක උපන් දොල සන්සිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් 
සිතට තුරුළු වෙනවා එරන්දතිය එනවා 

කෝමල ගමනින් කෝලහැඟුම් හල
කාලය ගිරෙන් සිතුවිලි සේනා ගෙන..//
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා 

නලලත කුංකුම තිලක තියාලා
නීලවර්ණයෙන් කැලුම් නෙලාලා..//
පාද කිකිණි සොලවා එරන්දතිය එනවා 

අනෝතප්තවිල නෙලුම කෙලාලා..//

ගායනය :පණ්ඩිත් ඩබිලිව් ඩී අමරදේව ශූරීන්
සමග  අමිතා වැදිසිංහ මහත්මිය
ගේය පද : සුනිල් සරත් පෙරේරා  ශූරීන්. 
සංගීතය : වික්ටර් දළුගම 

ගීතය රචනා කරන්න පාදක වෙලා තියෙන්නෙ බුදු දහමේ එන විදුර ජාතකයයි. සුනිල් සරත් පෙරේරා මහතා වරෙක රඹුක්කන ප්‍රදේශයට ගිය වෙලාවක විදුර ජාතක කතාව ඇතුලත් පොතක් මිලට ගෙන තිබෙනවා. පසුව එහි අන්තර්ගත කවි වලට ඇදී ගිය සිත තුල මතුවුණු අදහස් සමුදායක් කැටිකොට ගීතය ගළපා තිබෙනවා. ගීතය රචනා කරන්න හේතුව පලවූ පුවත්පත් ලිපියක් පහතින්.

"නිලට නැමුණු කඳු පෙළින් ද, ගලන නදී ඇළ දොළින් ද රමණීය වූ උඩරට ගම මසිත් හි හැමදාමත් ඇන්දේ විසිතුරු සිතුවමකි. අමරදේව ගීයක කන්දෙන් ලන්දෙන් බැස දිව ආ සැන්දෑ කුමරිය ද, කෝමල ගමනින් පැමිණි මනකල් එරන්දතිය ද මට හමුවූයේ සෞන්දර්ය නිකේතනයක් බදු සිව්කෝරළයේ ගම්පියසක දී ය.

රඹුක්කන සිව්කෝරලයට අයත් නියම් ගම් පියසකි. රඹුක්කන නගරද්වාරයට ඉස්මත්තෙන් ප්‍රතාපවත් යෝධයෙක් බඳු වූ අලගල්ලේ කන්ද ඈතින් දිස්වෙයි. කඳු පාමුල මිටියාවත මවන්නේ පුබුදු සිරියාවකි. බෙලිගොඩපිටිය වෙල්යායට පසුබිමින් නිලව නැමී ගිය තවත් කඳු පෙළකි.

සති අන්ත නිවාඩුවක් ගතකිරීමට රඹුක්කන ගිය මට පුරදොර බස් නැවතුම්පොළට යාබද කඩ එළිපතක දී පොත් වෙළෙන්දෙක් මුණගැසුණි. යසෝදරාවත - තුන්සරණය – කාපිරි හටන – විදුර ජාතක සින්දුව වැනි චූල සම්ප්‍රදායේ කවීන්ගේ කවිපොත් ඔහු ඉදිරියේ ගොඩගැසී තිබුණි. ඔහු මහලු වියට පත් කුඩා කොණ්ඩ ගැටයක් හිස බැඳි අයෙකි. ඔහු ළඟ තිබූ පතපොත අතර වූ විදුර ජාතක කවිපොත මම තෝරා බේරා මිල දී ගතිමි. කෑගලු බසය එනතුරු බස් නැවතුම්පොළේ රැඳී සිට එක හුස්මට කියවූ විදුර ජාතක කවියෙන් අප්‍රමාණ වූ රසයක් මා වින්දෙමි. සති අන්ත නිවාඩුව ගෙවා කොළඹ පැමිණි මම යළි යළිත් විදුර ජාතක කවි මනසින් වාදනය කළෙමි. එහි කව් පද යළි යළිත් මිමුණුවෙමි. එදවස මා සේවය කළේ ගාලු මුවදොර මහ හෝටලයේ ය. සඳුදා උදෑසන මා පදිංචිව සිටි කිරුළපන සිට ගාලු මුවදොර බලා යන තට්ටු දෙකේ බස් රථයකට (ඩබල් ඩෙකර් බසයකට) ගොඩවීමි. වාසනාවකට බස් රථයේ ඉහළ මාලේ පසුපස කොණේ සුව පහසු ආසනයක හිඳගැනීමේ වරම ලැබුණි. වෙනදා පෙම්වතුන් පෙම් කිරීමට වෙන්කර ගෙන සිටි අසුන මෙදින මට ලැබීම පුදුමයට කරුණකි. ගමනේ මදක් දුරක් යන විට කොහේදෝ සිට පැමිණි රසවත් පද වැලක් පද පබඳක් බවට පත්වුණි. එය එදවස තරමක් ඝන බස් ටිකට් පතක ලියා ගැනීමට මම යුහුසුලු වීමි.

අනෝතත්තවිල නෙලුම නෙළාලා යන ගීතයේ මුල් වදන් පෙළ ඒ ඝන බස් ටිකට් පතේ ලියවුණි. පෙරදින රඹුක්කන කඩ පිළේ මහලු වෙළෙන්දාගෙන් ලද කවි පෙළ මෙම පබදෙහි වින්දන මූලය විය. ගීත පද සෙවීමට දැහැන්ගත වූ මම ගාලු මුවදොර හෝටලය ද පසුකර පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තෙක් ගමන් කර සිටියෙමි.

බසයෙන් බැසගත් මම ගාලු මුවදොර පිටියේ තණ නිල්ල හරහා සේවය කළ ගෝල්ෆේස් හෝටලය වෙත පිය නැඟුවෙමි. ඇඟ දහඩිය හෙලමින් පැමිණි මා දුටු මුරකරු ගුඩ් මෝනිං සර්, දුවන්නවත් ගියාදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් නොදුන් මම සමවැදී දැහැනින් නොමිදී කොන්තෝරුවට ගොස් අසුනේ නැවතුණි. ගීතයේ ඉතිරි කොටස ලියා අවසන් කිරීමට උත්සුක වීමි. හද පබද පද පබදක් බවට පත්වූයේ වැඩ ඇරඹීමට වූ පමාව ද නොතකා ය.

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා

මේ ගීතයට මුල් වින්දනය ලද්දේ විදුර ජාතක කවි පොතෙනි. එහි එන නා රජුගේ දියණිය මනකල් දිව්‍ය නාග රූපිනිය වූ එරන්දතිය කඳුකර හිමව් පියසක සිට බැස එන්නී ය. ඇය එන්නේ භද්‍ර යෞවන වියේ සිටින වරඟන ද පිරිවරකොට ය. එරන්දතියගේ නාලිය ගමන කෝමල ගමන් විලාස හා බැඳි සුපහන් හැඟුම් මම විඳගත්තේ ඇළ - දොළ - ළිද දියට ගිය ගැමි ලියක ගෙනි. මසිත්හි ඇඳි බොහෝ හැඟීම් මනෝගති හා මනෝභාව පරිඥානය පෝෂණය වූයේ රමණීය ගමපියස අද්දැකීම් ඇසුරෙනි.

පෙමට මිහිර දුන් කවියත් – දුකට කියන කවියත් හැමදාමත් මට ගම ම විය.

අනෝතත්ත විල බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පාරිශුද්ධත්වය පිළිබඳ ප්‍රබල ව්‍යංගාර්ථ දනවන පෙදෙසක් ය.

අනෝතත්ත විල හිමාලය වන පියසෙහි පිහිටි විල් සතෙන් එකකි. හිමාලය වටකොට ඇති පර්වත පහක් එය රැක සිටියි. සුදර්ශනකූට – චිත්‍ර කූට – කාල කූට – ගන්ධමාදන හා කෛලාස මෙම පර්වතයෝ ය. මෙම පර්වත අතරින් සුදර්ශන කූටය එය මතට සෙවණ සදයි. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් පරිදි විලෙහි දිග යොදුන් 150 ක් ද, පළල හා ගැඹුර යොදුන් 50 බැගින් ද වේ. හිම කුළු පිස එන වැසි දිය පිරී සියලු ම ගංඟා මේ විලට වැටෙයි. හිරු රැස දහර හෝ සඳරැස් දහර පිළිබිඹුවක් ලෙස විනා විල් ජල මතට සෘජුව ම නොවැටෙයි. මෙහි ජලය සැමදා සිහිල්ව පවතී. බුදුවරු ද, දෙවිවරු ද මෙහි පැන් සනසති. මෙහි දිය නෑමෙන් සියල්ලෝ පාරිශුද්ධත්වයට පත්වන්නාහයි විශ්වාසයක් පවතී. ඇතැම් දේව ගණයා ජල ක්‍රීඩාවට මෙහි සැපත් වෙති. බුදු වූ සත්වන සතියෙහි බුදුරජාණන් වහන්සේට මුව දෙවීම සඳහා සහම්පති බ්‍රහ්මයා ජලය ගෙනාවේ ද මේ විලෙනි.

අනෝතත්තවිල මේ සෑම අතින් ම බලන විට පාරිශුද්ධත්වය පිළිබඳ ධ්වනිතාර්ථ මතුකර දෙන්නකි. රූප සෞන්දර්යයෙන් අනූන වූ එරන්දති නාලිය – පාරිශුද්ධත්වයම සංකේතවත් කරන විල නෙළුම නෙළාගෙන ඒම වැදගත් ධ්වනිතාර්ථයක් මතු කරන්නකි.



සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ ...

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ 
හඬා වැටෙනවා මියෑසි කැළක්‌ 
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා 
මලට වඩා විෂ බඹර තුඩක්‌

වැහි කළුවර ඇති සැන්දෑ සමයක 
තරුමල් පිපුණලු අහස්‌ ගැබේ 
දේවදූතයොත් හඬා වැටෙනවා 
පෙම්මල් ඉහිරුණු පාර දිගේ

සෙනෙහස ඉල්ලා...

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය 
කළියුගයේ ඇත පහළවෙලා 
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

සෙනෙහස ඉල්ලා...

ගායනය - මාලනී බුලත්සිංහල 
පදරචනය - අශෝක කෝවිලගේ
සංගීතය - එච්.එම්.ජයවර්ධන 

මේ ලෝකේ ජීවත් වෙන අපි හැමදෙනාම එක වගේ නෙවෙයි. රුව, ගුණ, ගති, හැසිරීම්, කතා බහ මේ හැමදෙයක්‌ම විවිධයි. විෂමයි.

ආදරයත් ඒ වගේ විෂමාකාරයි සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි. අවංකයි. අවංකව ආදරය නොකරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක්‌ නොවේ.

ආදරය හරිම පුදුමාකාර වචනයක්‌ මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා.

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්‌
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්‌

ලියතඹරා දුටුවන් උන්මාදයට පත්කරන මලක්‌. තවුස්‌ දම් පුරන්නෝ පවා ලියතඹරා මලක්‌ දුටුවොත්. සමවැදී උන් දැහැන් බිඳෙනවා. ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන එවන් වූ මලක්‌ අසලට වී සංගීත නාදය පතුරන්නෝ කැළක්‌ හඬා වැටෙන්aනේ වෙන කිසිවක්‌ නොව ආදරය ඉල්ලාය.

මේ ගීයේ රචකයා අශෝක කෝවිලගේ ඔහු ලියූ පළමු ගීතය ගැනයි අද අපි මේ කතා කරන්නේ.

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්‌......

කපුරු මලින් වහනය වන සුගන්ධයට බඹරු වහවැටෙනවා මේ සුවඳ නිසාම බඹරු මිය යනවා. හරියට ලියතඹරා මලක්‌ දුටුවාම තවුසන්ගේ දැහැන් සිඳී බිඳී යනවා වගේ. ඒත් "අශෝක මේ ගීතයෙන් පවසන්නේ කපුරු මලට වඩා බඹර තුඩ විෂ බවයි.

ව්‍යංගාර්ථයන්ගෙන් පිරී තිබෙනා මේ ගීය හොඳින් කියවා බලන්න. බඹරා කියන්නේ ආදරයට උපමාවක්‌. පෙම්වතාටත් බඹරා කියා කියනවා. කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ තුඩට කපුරු මලක්‌ මැරේ නම් අනේක මල් ගැන කවර කතාද. ගීත රචකයා මේ කියන්නේ ආදරයේ කුරිරු බව මිස අන් කවරක්‌ද?

මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක්‌ ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක්‌ දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා.

ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්‌ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක්‌ එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා...

වැහි කළුවර ඇති සැන්දෑ සමයක 
තරු මල් පිපුණලු අහස්‌ ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

ආදරය සියයට සියයක්‌ම කුරිරුයි කියා නොකියන තරමට රචකයා මෙතැනදී පරෙස්‌සම් වෙනවා...... වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස්‌ ගැබේ" කියා ඔහු කියන්නේ ඒ නිසයි.

සැන්දෑ අහස වැහිවළාවකින් අඳුරුවෙලා. ඒත් නබෝ ගැබ තුළ තරු මලුත් පිපිලා. ඒ කියන්නේ ඉඳහිට හරි පිවිතුරු ආදරයක්‌ තිබෙනවා කියා නොවේද?

ප්‍රේමය බිඳ වැටුණාම දුක්‌ නොවන කෙනෙක්‌ සිටීද. දේව දූතයන් හරිම පවිත්‍රයි. පිවිතුරු බවේ සංකේතය තමයි දේවදූතයන්. ආදරයක්‌ කැඩී බිඳී යනවා කියන්නේ පිවිතුරු බව පලා යැමක්‌.....

මට ලොකු විශ්වාසයක්‌ තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්‌ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක්‌ අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක්‌ නැහැ.

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කළි යුගයේ ඇත පහළ වෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

ආදරයේ විෂම බව මේ පද පේළියෙන් රචකයා මනාව පෙන්නුම් කරනවා. මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඒ නිසා පෙම් සටනින් පරාජය වෙනවා. අද ආදරය කරන, යෞවන යෞවනියන්ගේ සිත් ගැනත් ගී පද රචකයා කියනවා. ඔවුන්ගේ සිත් සම්මතයෙන් බැහැරවෙලා. එනිසා ඒ සිත් වටහා ගන්න තරම් පවිත්‍ර ප්‍රේමයට ශක්‌තියක්‌ නැහැ. පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌.



සීතල දිය පිරි සුනිල විලයි ..

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “දෑස නිසා චිත්‍රපටය” තිරගත වන්නේ 1975 වර්ෂයේ ප්‍රදර්ශනය වූ අවසාන චිත්‍රපටය ලෙසය. චිත්‍රපටය සඳහා මහගමසේකර ගේය පද රචකයා විසින් රචනා කරන ලදැයි පැවසෙන ගීතය චිත්‍රපටයට ඇතුළු නොවන මුත් පසුව මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ සංකල්පනා සහිත ගීත ද්වයක් චිත්‍රපටයට ඇතුළත්ව තිබිණ. දෑස නිසා සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේය. චිත්‍රපටයෙන් නොඇසුණු ගී සංකල්පනාව සේකර අභාවයෙන් පසු ප්‍රකාශයට පත් වූ, මහගමසේකර නොපළ ගීත (1984) ගීත සංග්‍රහයට ඇතුළත් වේ. 

එකී ගීය ශ්‍රාවක රසික ජනයාගේ හුදී ජන පහන් සංවේගය උදෙසා, අපගේ කාලයේ ගායකයන් අතර, විශිෂ්ටතමයන් ගේ නාමාවලියෙහි උස් අසුනක සිටින සුනිල් එදිරිසිංහ 1984 දී ගායනා කරනු ඇසේ. රෝහණ වීරසිංහ ඊට තනුව හා සංගීත නිර්මාණය කළෝ වෙත්. සුනිලුත් මේ ගේය පද සංකල්පනාව තම ගීතාවලියට එක්කර ගන්නේ එක් අතකින් එහි රමණීය අර්ථ රසයෙන් යුත් වදන් මාලාව නිසා විය යුතුය. නොඑසේ නම්, ප්‍රබුද්ධ ගායකයකු විසින් ගායනාකොට ඇති ගීත සිය ගණනක් අතරෙහි මහගමසේකරගේ එක් ගී සංකල්පනාවක් හෝ ඇතුළත්ව තිබීම එකී ගායකයාට හෝ ගායිකාවට ගෞරවයක්, වරප්‍රසාදයක් හෝ දුලබ වාසනාවක් සේ සුනිල් එදිරිසිංහ සැලකූ හෝ ඔහුට හැඟුණු නිසා විය යුතුය. පළමුව ගුවන්විදුලියේ සරල ගීතයක් ලෙස පටිගත වූ මේ ගීතය, පසුව සින්ලංකා, කැසට් පටයකට ඇතුළත් විණ. සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන ලද සේකරගේ එකම ගේය පද සංකල්පනාව, මේ වන අතර සේකරගේ විශිෂ්ටතම ගේය පද සංකල්පනාවක් නොපළ ගී වැනි මුද්‍රිත කෘතියක සිරවන්නට ඉඩ නොදී, ශ්‍රාවක, රසික රසවින්දනයට එක්කර ගැනීම පිළිබඳ සුනිල් එදිරිසිංහ නම් වූ අපගේ කාලයේ ගායක සහෘදයාට මෙරට රසික ප්‍රජාවගෙන් පිරිනැමෙන භක්ත්‍යාදරය, සීමාන්තිකය. ඔහු විසින් ගායනා කොට ඇති ප්‍රේම ගීතාවලිය නම්වූ කිරුළෙහි දිදුලන මිණි කැටයක් බඳු මේ ගීතය ප්‍රේමයේ සුකුමාරත්වය, රමණීය බව, චමත්කාරය, සම්භෝගය ආදී මෙකී නොකී ගුණ පිරි අපගේ ප්‍රේම ගීත සාහිත්‍යයෙහි අන් කවර හෝ ප්‍රේම ගීතයකට නොදෙවෙනි, අපූර්ව පරිසමාප්ත ගීයක් වේ. ගීතයෙහි අරුත විසින් ඉල්ලා සිටිනු ලබන යෞවන ආදර ඇමතුමට සුනිල්ගේ හඬ සාධාරණය ඉටුකරන අතර, රෝහණගේ නාද මාලාව ගීතයේ ශ්‍රව්‍ය මාධූර්යය ඔපවත් කරයි.

“සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවා ලන
සුළං රැළක් වී
ඔබේ සිනා මට පවන් සලයි

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා

දෑසට නොපෙනෙන
ගන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන
මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව
සිය දහසක් මල්
මාවට කර හැම තැන පිපුණා...”

මේ නම් සුනිල් එදිරිසිංහ වැනි, අසූව දශකයේ තාරුණ්‍යයේ සිටි යෞවන ගායකයෙකුගේ හඬ පෞරුෂයම සිත්හි තබා, මහගමසේකර රචනා කළ ගීතයක් නො‍වේදැයි මසිත මගෙන්ම සිය දහස් වරක් ප්‍රශ්න කරනු දැනේ. සේකරගේ ගේය පද රචනා කලාවෙහි වුව, ප්‍රේමය පිළිබඳ සුන්දර වූත්, රමණීය වූත්, පරිණත වූත්, අත්දැකීමක් නොවේද ඉහත ගීතයෙන් අපගේ හදවතට සමීප කරනු ලබන්නේ. කථකයා ජීවිතය නම් කාන්තාරයේ සැරිසරන්නේ අන්ධකාරයේය. අරමුණකින් තොරව එහේ මෙහේ පාවී යන ජීවිතයකට ඈත සිතිජයෙන් උදාවන නිහඬ නෙතක් අත වනයි. අහසත් මුහුදත් යාවන සිතිජ ඉමෙන් උදාවෙන තාරකාවක් ද ඇගේ නිහඬ නෙත?... ජීවිත කතරේ අසරණ වී අන්ධකාරයේ සැරි සරන්නකුට, අපේක්ෂාවේ නෙතක් හමුවීම කෙතරම් අසිරිමත් සිදුවීමක් ද? ඔහුගේ ජීවිතය සීතල දියෙන් පිරුණු නිල්වන් විලයි. එමැද ඈ සුවඳ මලක් සේ පිපී, ගිමන නිවන සුළං රැළක් වී, ඇගේ සිනාවෙන් ඔහුට පවන් සලන්නීය. ආදරයේ, සම්භෝගී මොහොතක, තනි වී සිටි හදකට දැනෙන සංතුෂ්ටිය, උණුසුම, ප්‍රීතිය නොවේද සුවඳ මල, ගිමන් නිවන සුළං රැළ, ඇගේ සිනාව මගින් ධ්වනිත කරන්නේ? ගන නිල් අන්ධකාරයෙන්, ඔහුගේ දෑස වැසී ගිය මොහොතේ, ඈ ඔහු දෙස බලන්නී, හදවතිනි. එහිදී, දෑසට හසුනොවනා ඔහු හද පතුලේ රැඳුණු සුන්දරත්වය, ඇයගේ මනැසට හසුවීමෙන් අනතුරුවද ඔහු හද පත්ලෙහි සුන්දරත්වය ඈ දකින්නී? අපේක්ෂා බිඳ ජීවන කතරේ අතරමං වී මං මුලා වී සැරිසැරූ යෞවනයකුට ජීවිතාපේක්ෂා දල්වන්නට, ඔහුගේ ඇතුළු හද ගැබ සුන්දරත්වය ස්පර්ශ කොට සීතල දිය පිරි නිල්වන් විලක් මැද සුපිපුණු සුවඳ මලක් වී, ගිමන් නිවන පවන් පොදක් වන්නට ඈ ඔහු වෙත ළං වන චමත්කාරජනක වූ මොහොත, සේකරගේ උපමා රූපක තුළින් විසිතුරුව චිත්‍රණය වේ. ඈ ඔහුට පූජා කරන්නේ කුමක් ද? ඇගේ දෝතින් ඈ ඇගේ කුසුම ආදරයෙන් පුදන්නීය.

“ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව
සිය දහසක් මල්
මා වටකර හැම තැන පිපුණා”

ඇගේ හදවත විල මැද පිපි, සුවඳ කුසුම, දෝතින් ආදරයෙන් පුදනවා යයි පවසන්නේ, ආදරය සමඟ භක්තියකින් ද කියාත් සිතේ. ඒ කෙතරම් අසිරිමත් වූ මොහොතක් ද කියා ගේය පද රචක සේකර නිර්මාණයකරන චිත්ත රූපය දෙස බලන්න. ඈ ඔහුට දෝතින් ඈ හද විල පිපි කුසුම පුදන කල්හි ඔහු වටා සිය දහසක් මල් පිපේ. ඔහු හදවත ජීවිත කතරක් නොව, නිල් දියෙන් පිරුණු සුවඳ මලින් සැදුණු විලකි. එහි මල් දහසක් පිපී ඔහු වටා වූ අඳුර, හුදෙකලාව පලවා හරින බව හඟවයි. සේකරගේ මුල් කාලීන, ගේය පද සංකල්පනාවන්හි දක්නට නොලැබෙන චමත්කාරයක් දැනවීමට ඔහු විසින්, ජනකවියේ බස භාවිත කරනු වෙනුවට, අත්දැකීම වඩාත් කලාත්මකව විචිත්‍රවත් කිරීමට සමත්, ගීතවත් භාෂාවක් උපයෝගී කොටගෙන ඇත්තේ, චිත්‍රපටයේ චරිතය සිත්හි තබා මෙම ගීය රචනා කිරීම නිසාද කියා සිතේ. දෑස නිසා හි ප්‍රධාන චරිතය නිරුදක ගේ නොපෙනෙන දෑස හමුවේ ඔහුට ආදරය කරනු ලබන රූමත් යුවතියකගේ චරිතයක් චිත්‍රපට කතාවෙහි වේ. නිරුදකගේ ජීවිතයට ඈ සුවඳ මලක් වූවාය යන්න කීමට සේකරට ඕනෑ වීද කියා වරෙක සිතේ. සීතල දිය පිරි සුනිල විලයි, ඒ විල මැද ඔබ සුවඳ මලයි ගීතයෙන් වහනය වන ප්‍රේමයේ නැවුම් සුවඳ, අඳුරෙහි තනි වූ ඕනෑම යෞවනයකුගේ සිත ආලෝකවත් කරමින්, රැඳී සිටී. සුනිල් එදිරිසිංහම විනා අන් කවරකුට ද මේ ආදරය, යෞවන ප්‍රේමයේ චමත්කාරය හද තෙමනා, ළය සනහන සිහිල් දිය දහරකින් දැනවෙන සිසිල පිරි හඬකින් ගායනා කළ හැකිවේද? සුනිල් ගේ ගායනය පවනට ළං වන මොහොතක් පාසා අපි ඔහුගේ හඬට වශීවී සිටිමු. සේකර, සුනිල්, රෝහණ සහෘද ත්‍රිත්වයට අපි පෙම් බැඳ සිටිමු.



උදුම්බරා හිනැහෙනවා ...

ධර්මසේන පතිරාජ 'බඹරු ඇවිත්' චිත්‍රපටයට අවධානය යොමු කරන්නේ 'පොන්මනී' නිර්මාණය කිරීමෙන් ඉක්බිතිවය. 1978 අගෝස්තු තිරගත වූ මෙම චිත්‍රපටයට ආසක්ත වූ බොහෝ දෙනෙක් එහි ‍'උදුම්බරා හිනැහෙනවා' යන තේමා ගීතයට වඩාත් කැමැතිය. සැබවින්ම චිත්‍රපට සංගීතයේ කැපී පෙනෙන වෙනසක් සලකුණු කළ එම ගීතය සංගීතවත් කරනු ලැබුවේ ප්‍රේමසිරි කේමදාස සූරින්ය. චිත්‍රපටයේ චරිතයක් තරමටම සමස්ත චිත්‍රපටය පුරාවටම නිම්නාද දෙන, චිත්‍රපටයත් ගීතය හෝ සංගීතයත් වෙන්කර හඳුනාගැනීමට නොහැකි තරමට අන්‍යෝන්‍ය බැඳීමෙන් යුතු එහි පද රචකයා ඩබ්ලිව් ජයසිරිය. පොල්හේන්ගොඩ, තලකොටුව වත්ත පී.බී ඉලංගසිංහගේ නවාතැන්පොළේදී ජයසිරි අයියා කාමරයට දමා සිරකොට එම ගීතය ලියවා ගත් අයුරු ඉලංගසිංහ විසින් මීට පෙරාතුව හෙළිකර තිබුණි. එම සිදුවීමට මුහුණ දුන් ඔහු මිස එම අත්දැකීම හෙළිකරන්නට වෙනත් සුදුස්සෙකු සිටිය හැකිද?

"මං ඒ වෙද්දී සිංදුවක් හැටියට ලියලා තිබුණේ සනත් නන්දසිරි ගායනා කරන 'සුළං හමයි ලොව නැළවෙයි' කියන ගීතය විතරයි. මං දන්නා තරමට පතී ඒ වෙද්දී ඒකවත් අහලා තිබුණේ නෑ. අනෙක් අතට ඒ වෙද්දී රටේ නම් දරාපු ගීත රචකයෝ තොගයක් හිටියා.

මහගම සේකර, අරිසෙන් අහුබුදු, හියුබට් දිසානායක, ප්‍රේමකීර්තිද අල්විස්, කේ ඩී කේ ධර්මවර්ධන, සුනිල් ආරියරත්න වගේ අය ඉදිරියෙන්ම හිටියා. ඉතිං 'බඹරු ඇවිත්' එකේ තේමා ගීතය ලියන්න කීවට මං ඒකෙ තිරනාටකය කියවලා වැඩේ කල් දදා හිටියා. ඔහොම ඉන්න දවසක පී.බීගෙ ගෙදර ගියාම මොකක් හෝ දේකට මං එයාගෙ කාමරේට ගියා. පතී මං ඇතුළේ ඉඳිද්දී දොර වහලා යතුර දැම්මා.'සිංදුව ලියලා මිසක් එළියට එන්න බෑ. උඹට ඕන කඩදාසි පෑන් පැන්සල් ඔක්කොම මේසෙ උඩ තියෙනවා"කීවා. කන්න, බොන්න, සිංදුවක් කියලා විනෝදවෙන්න කට්ටිය සෙට්වෙන මෙතන පතීලා කල්තියාම වැඩේ සැලසුම් කරලා තිබුණු විත්තිය මට ඒකෙන් තේරුණා. ඉතිං මොනව කරන්නද? පතීලා එළියේ අඩිපුඩි ගහනවා. ආතල් එකේ ඉන්නවා. මං ඇතුළේ කඩදාසි ගොඩක් එක්ක හිරවෙලා සිංදුව ලියනවා"

ජයසිරි අයියා එම අතීත සිදුවීම සිහිපත් කරමින් කියා සිටියේ තමාට වඩාත් අමාරුවුණේ ගීතය ලිවීමටත් වඩා තමා කාමරයේ සිරවී සිටියදී, ඉන් පිටත පතීලා, පී.බීලා ඇතුළු පිරිස මධුවිතෙන් සප්පායම් වෙමින් සිටිනු දැක එතැනට යාමට අවස්ථාව නොලැබීමෙන් උපන් නොසන්සුන්තාව දරා ගැනීම බවයි.

''උදුම්බරා....හිනැහෙනවා...ඉර අඳුරට හැංගෙනවා..

දස දහසක් සම් මස් ඇට සිනහ කඳුළු වැහි වැහැලා

ගිනිගෙන රත්වුණු දවසක් හිනැහෙන එක සැන්දෑවක... '

උදුම්බරා හිනැහෙනවා......

මේ අයුරින් ලියැවුණු ගීතය එකවරම පතීගේ පිළිගැනීමට ලක්නොවුණු බැව් ජයසිරි අයියා කියා සිටියි.

"සිංදුව ලියලා දොර යටින් යැව්වා. 'හරි නෑ කියලා' ආයෙම එවනවා. ආයෙත් ලියනවා. ආයෙ යවනවා. ඔහොම කරලා පස් හය වතාවකට පස්සෙ දොර ඇරුණා. ඒ කියන්නෙ පතීගෙ හිතට ඇල්ලුවා කියන එක"

ඒ අයුරින් ලියූ ගීතයත් රැගෙන දවස් දෙක තුනකට පසුව පතී සහ ජයසිරි කේමදාස මාස්ටර් සොයා ගියහ. ගීතය වරක් දෙවරක් උඩින් පල්ලෙන් කියවා බැලූ මාස්ටර්, එකී පද රචනය සම්බන්ධයෙන් තමා සෑහීමට පත්වන බවට ඉඟිකරන බැල්මක් හෙළා හිස සෙලවූ බැව් ජයසිරි අයියා කියයි.

"කේමදාස මාස්ටර් සිංදුවකට තනුවක් කරද්දී ඒකෙ පද මාරු කරනවා. සමහර ඒවා වෙනස් කරනවා. උඩ යට මාරු කරනවා. ගොඩක් වෙලාවට හදල දෙන්න කියලා එයා යෝජනා කරලා ආපහු දෙනවා. එහෙම තමා. ඒත් මගෙ ගීතයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනස් කළේ නෑ. එයා තමා ඒක නොමියෙන ගීතයක් බවට පත් කෙරුවෙ.  

"උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා......

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා.....

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා.....
සිනා කදුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම......
හඳුනාගත්තොත් ඔබ මා......

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය

මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි......
උදුම්බරා කඳුළු සළයි......
කදුළු සළයි.... කදුළු සළයි.....

ගී පද : ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි

සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර

 "ඇත්තටම ඒ ගීතය ලියැවුණේ “බඹරු ඇවිත් “කේන්ද්‍රීය චරිතය වූ හෙලන් පාදක කරගෙන. හෙලන් ගේ චරිතය රඟපෑවේ මාලිනී ෆොන්සේකා. දිඹුල් ගෙඩිය හට ගන්නේ මල පිපෙන්නේ නැතිව. හෙලන්ගේ චරිතයත් එහෙම මලක් වෙන්න කලින් හට ගත්ත දිඹුල් ගෙඩියක් විදිහටයි මම දැක්කේ. සොබා දහම හා බැඳුණ මිනස් ජීවිතයේ අරුත මේ ගීතය තුළින් ඉස්මතු කරන්නයි මම වෑයම් කළේ. අවසානයේ මට මේ ගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානයකුත් පිරිනැමුණා"

1979 දී හොඳම චිත්‍රපටියට හා හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ජනාධිපති සම්මානයට පාත්‍ර විය.  මීට අමතරව 1978 දී රුසියාවේ 'මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි' ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මෙම සිනමා පටයට අවකාශ ලැබින.

මෙම චිත්‍රපටය නිර්මාණය සඳහා එවකට පැවති දේශපාලන වාතාවරණය බලපා ඇතිබව පෙනේ. චිත්‍රපටයෙන් විදහා දැක්වෙන්නේ දේශපාලනීකරණය තුල සමායයේ ඇතිවී තිබෙන වෙනස් තත්වයන්ය. ඔබ මෙය නරඹා ඇතිනම් මා පවසන දේ කෙතරම් දුරට නිවැරදිද යන්න වැටහේවි. මා චිත්‍රපට රසිකයෙක් වන නිසාම නොව මෙහි එවකට පැවති සමාජ තත්වය මනාව උලුප්පා පෙන්වන බැවින් එය ගැන යමක් නොකියා බැරි තරම්ය. චිත්‍රපටයට වඩා ගීතයට ඇළුම් කරන්නෝ මට කමා කරත්වා. 

චිත්‍රපට කතාව සැකෙවින් ගත්කල ධීවර ගම්මානයකට නගරයෙන් පැමිනෙන පිරිසක් නිසා එහි ගැමියන්ගේ ජීවන විලාශයට හා ආර්ථිකයට දැඩි පහරක් එල්ලවේ. නාගරික පිරිස ගමට පාතබන අවස්ථාවේ මේ පිලිබඳව කල්තියා හඳුනාගන්නා ධීවර ප්‍රධානියා ගම්මුන්ට පවසන්නේ 'උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා' යනුවෙනි.

ටික කලකින්ම ගමම තම ආධිපත්‍යයට නතුකර ගැනීමට නගරයෙන් ආ පිරිස  සමත් වෙති. චිත්‍රපටය තුල ලේ වැගිරීම් කිහිපයක්ද දැකගත හැකිය. නාගරිකයන් අතරම සිටින තරුණයෙක් ගමට සිදුවන බලපෑම වටහාගෙන ඒ පිලිබඳව ගම්වැසියන් දැනුවත් කිරීමට කටයුතු කලත්...අවාසනාවක මහත, ගම්වැසියෝ කිසිවෙකුටවත් ඔහුගේ අදහස් තේරුම් ගැනීමට හැකියාවක් නොලැබේ. එයට හේතුව ඔහු එය පහදාදෙන අයුරේ වැරැද්දක්ද නැතිනම් ගැමියාගේ උගත්මේ ඌනතාවයක්ද යන්න වෙනමම කතාකල යුත්තකි. අවසනදී තරුණයා තම පරාජය පිලිගෙන නැවත කොළඹ බලා පිටත්වේ. මෙම තරුණයා එදා පැවැති වාමාංශික දේශපාලනය නියෝජනය වන බවක් පෙනේ. එවකට පැවති ධනවාදී සමාජ ක්‍රමය සහ ආර්ථිකය පිලිබඳව හා එයට එරෙහිවන වාමාංශික ව්‍යාපාරය පිලිබඳ මනාව විග්‍රහ කරන සාර්ථක සිනමා කෘතියක් ලෙසට මෙය ඉතිහාසයට එක්වේ.





ඔබ ආයෙමත් ඇවිදින් ...

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගායනය - අමරසිරි පීරිස්‌
ගීපද - ධම්මික බණ්‌ඩාර
සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා

ඔබ ආයෙමත් ඇවිදින්
ගීතයට සවන් දෙන රසිකයෙකුට ගීතයේ අර්ථය තේරුම් ගැනීම එතරම්ම අපහසු වන්නේ නෑ. ගීතයට පාදක වී ඇත්තේ සැබෑ අත්දැකීමක් ගුරුවරයෙකුගේ..!
මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුට පෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද හිමි වී තිබුනා. ගුරුවරයාගේ සිතේ සිසුවිය කෙරෙහි හටගත් ප්‍රේම අංකුරය ඒකපාර්ශවීය ප්‍රේමයක් වන්නට හේතු වුනෙත් එයමයි. පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුවිය ගුරු වරයාගේ මානයෙන් ඈතට ඉගිලෙනවා. ටික කලෙකට පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කොට ගුරු පත්වීමක් ලබන ඇය සේවයට පැමිණෙන්නේ පෙර කී ගුරුවරයා සේවය කරන පාසලටමයි. පෙර ගුරුවරයාගෙන් ඈත්ව ගිය සිසුවිය නැවත මෙසේ පැමිණෙද්දී ඔහු විවාහකයි..
 
ගුරුවරයෙක්ම වන ධම්මික බණ්ඩාරයන් අතින් ගීයක් ලෙස ලියවෙන්නේ මේ අත්දැකීමයි. මෙය ඔහුගේම අත්දැකීමක් නොවනවා උනත් පෙර කී ගුරුවරයාගේ සිතුවිලි ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා...
 
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...
උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
 
“ඔබ කෙරේ සිතේ ආදරය අතු උණු පෙර දා නොනිදා ඔබ ගැනම සිතු දින කොපමනනම් තිබුනද..? ඔබ මගේ ජීවිතෙන් ඈත්ව ගිය පසු දුක් වී තවත් පලක් නොමැති නිසා හිතට යාන්තමට ඔබව අමතක කරන්නට හැකි උනා පමණයි. අයෙමත් ඔබ ජීවිතයට ඇවිත්..!!”
 
ඔහුට ඇය ගැන ඇත්තේ සුන්දර වූ වෛරයක්. පද පේලි අතර සඟවා තිබෙන හැංගීම ගෙන බැලුවහොත් අයගේ පුනරාගමනය පිලිබඳ ඔහුට සතුටක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් දැන් විවාහක ඔහු අහිංසක සතුටක් විඳින්නේ ඇයගේ පැමිණීම පිලිබඳම නොවෙයි. අතීතය ගැන සිහි කරමින්..
 
දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
 
කෙතරම් කාන්තාවන් දැක තිබුනත්, ඇසුරු කර තිබුනත් ඇය තරම් සුවඳවත්, ගුණවත් කෙනෙක් ඔහුට මෙතෙක් හමු වේ නෑ. ඇය ජීවිතයෙන් ඈත් වීම නිසා ඇති වූ දුක අඩු වූවා පමණයි ඇය අයෙමත් ඔහුගේ මානයට ඇවිදින්..!!

ධම්මික බණ්ඩාරයන් එසේ ගීතය තුලින් එක් සංවර පිරිමි චරිතයක් නිර්මාණය කරනවා. ඔහු ආත්මාර්තකාමී නොවන සමාජයේ බැඳීම්, නීති රීති හා සමීපතමයන් හමුවේ සිය සතුට කැප කරන්නෙක්.

මේ සිංදුව පටන් ගන්නේ මියුසික්‌වලින් නොවේ.... "ඔබ ආයෙමත් ඇවිදින්..." කියන වචන පටන් අරන්... සංගීතයට යන්න ඇරලා තමයි "හිත හදාගත්තා විතරමයි..." කොටස ගැයෙන්නේ. සම්ප්‍රදායෙන් ඈත්වූ සංගීත ශෛලියක්‌... සෙක්‌සෙෆෝන් එකෙන් තමයි පටන් ගන්නේ. ගී පද රචකයා ධම්මික බණ්‌ඩාර ගීයේ ආරම්භය සඳහන් කළා.

මේ සිංදුව අමරසිරි පීරිස්‌ටම කියලා නොවේ ලියුවේ. ඔහුට ගීත පහක්‌ කරලා දෙන්න ඇරියුම් ලැබුණා. මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන හඳ, "හිම දියවී හිමාලයේ", "උදම්රළ ඔබ" කියන ගීත හතරත් එක්‌ක මේ ගීයත් මම ඔහුට ලියාදුන්නා. සිංදුව තැටිගත කළාට පස්‌සේ බොහෝ දෙනෙක්‌ කියන්න ගත්තා මේ අත්දැකීමට ඔවුනුත් මුහුණ දුන්නා කියලා.

ධම්මික මේ ගීය ලියා තිබෙන්නේ බැඳීම් සහ සම්ප්‍රදායන් නිසා හිතට වධ දෙන තරුණයෙක්‌ ගැන. කසාදය නිසා ඔහුට ඔහුගේ හිතගත් යුවතියට ආදරය කරන්න බැහැ. ඒත් මෙහි අනෙක්‌ පැත්ත? බැඳීම්, සම්ප්‍රදායන් බිඳ දමා වෙනත් හදවතකට ළං වෙන තරුණයන්ද සිටිනවා. ධම්මික කියන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක්‌ ගැන විතරයි.... ඒත් මේ දෙපැත්තම ආදරය නමැති සංකල්පය නිසා සිද්ධ වන්නක්‌.



ගල්කිස්සෙ හෝටලෙ ළඟ ...

ගල්කිස්ස හෝටලය ළඟ සිටි ආතර් අයියා එවකට රටම දන්නා පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව ටුවරිස්ට් ගයිඩ් සහ ඩ්‍රයිවර් වැඩේය. ඒ ඔහුගේම රථයෙන්ය. මොහු ඉතා සුන්දර විනෝදකාමියෙක් විය. තමාගේ රැකියාව පිළිබඳවද අති දක්ෂයෙක් බැව් එදා සිටි අයට මතකය. වසරක් පාසා ලංකාවට එන සමහරක් විදේශිකයින් ආතර් අයියාගේ සේවය ලබාගැනීම අනිවාර්ය පුරුද්දක් කරගෙන තිබුණි.

සරමත් ,කමිසයත් ඊට උඩින් කෝට් එකත් ඇන්ද මේ මැදිවියේ මිනිසාට ගල්කිස්සේ කවුරුත් සැලකූහ. ආතර් අයියා චණ්ඩියෙක්, පාතාලයෙක් නොවු අතර ගල්කිස්සේ මුල් පදිංචි කරුවෙක් විය. ඔහුට සැලකුවේ ඔහු ගල්කිස්සට ආභරණයක් වූ නිසා විය යුතුය. බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුගේ මිතුරෙක් වූ ආතර් අයියා වෙනුවෙන් ඔහු ගීයක් ලිව්වේය. ආතර් අයියාගේ බිරිඳවූ ප්‍රේමක්කා ගැනද ගී ගැයුවේය. ඇයට 'ප්‍රේමා බතික්' නමින් සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය බතික් සහ වෙස් මුහුණු කඩයක්ද විය. එම්.එස්. 'ප්‍රේමක්කාගේ බතික් කඩේ' ගීතය ඇය වෙනුවෙන්ය.

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්  ///

පදරචනය, සංගීතය හා ගායනය - එම්.එස්. ප්‍රනාන්දු




පාලු අඳුරු නිල් අහස මමයි ...

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

කැළෑව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගමසේකර

දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය. 
ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූතියක්ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූතියකි.
”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.”මහගමසේකරයන් එසේ පවසා ඇත.

ගීත බවට බොහෝ විට පත්වී ඇත්තේ සේකරයන්ගේ කාව්‍ය සංකල්පනාවන්ය. සේකරගේ කවි ඇසුරු කළ අමරදේවයන් ඒවා ගීත බවට පත්කරන්නට ඇත. මේ ගේය කාව්‍ය රචනය සඳහා ද මුල් වන්නේ “හෙට ඉරක් පායයි” නමැති කෘතියේ සේකර විසින් රචනා කරන ලද කාව්‍ය සංකල්පනාවකි.

ජීවිතයේ බොහෝ පරාජයන් ලැබු පුද්ගලයකු තම පෙම්වතිය හෝ බිරියගෙන් ජීවිතය ජයගන්නට වෙර දැරීමක් මේ අනුභූතියේ අන්තර්ගතය.

බුද්ධිය හා භාවය එක්තැන් කරන ආකර්ෂණීය වූ සංකේත මාලාවක් යොදා ගැනීමට සේකර සතු හැකියාව මෙහිදී කැපී පෙනෙයි. මුළු කාව්‍යයේම අරුත ආරම්භක දෙපදයෙහි අන්තර්ගතය.

පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

ජීවිතයේ අපරිමිත වූ පරාජිත භාවය “පාළු අඳුරු නිල් අහස” නමැති රූපකයේ අන්තර්ගතය. ඒ අඳුරු අහස ආලෝකවත් කළ හැකි තරු කැටයක් ඒ අහසේම දුරින් දිස්වෙයි. ඒ ඔහුගේ ආදරය දිනු තැනැත්තියයි. ඇතැම් විට එවැනි ගැහැනියක ඔහු ළඟ නොඉන්නට පුළුවන.තමාට එළියක් දිය හැකි ආදරවන්තියක පිළිබඳ මනඞකල්පිත හීනයක් පමණක් ඔහු සතුව තිබෙනවා විය හැකිය. එය යුගයෙන් යුගය ඔහුගේ හදවත ඉල්ලන එහෙත් තාමත් ලැබී නැති බලාපොරොත්තුවක් පැතුමක් ද විය හැකිය.

යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි”

තමන්ගේ ජීවිතයේ අසාර්ථක බව රූපණය කිරීමට රචකයා රූපකාර්ථ පිරි සංකේතයක් යළිත් භාවිත කරයි.

අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි

තම ජීවිතය සාරවත් ජීවිතයක් නොවේ. එය වියළි පස් සහිත ඉරි හැලුණු මහ පොළවක් බඳු ය. ඒ කටුක පොළව දොවා ගලන සීතල දිය දහර ඇයමය. එසේම තම හඬන හදවත සදාතනිකව නැළවිය හැකි එක ම සැපත ද ඇයමය.

තම අසාර්ථකත්වය පෙන්වීමට සේකර යෙදුම් සොයාගන්නා අයුරු සාහිත්‍ය විද්‍යාර්ථියකු විසින් හැදෑරිය යුත්තකි. ඒවා ආයාසයෙන් තොරව නිරායාසයෙන් ඔහුගේ පන්හිඳ කරා ගලා ආ බවක් හැඟේ. පාළු අඳුරු නිල් අහස, අසාර වූ පොළව, කැලෑව මැද කටු පඳුර තම අසාර්ථකත්වයේ සංකේතයන් වන අතර, “ඈත දිලෙන තනි තරුව“ ගලා බසින දිය දහර” “පිපී වැනෙන මල් පොකුර” ඔහුගේ සුබවාදී අනාගතය ගොඩනඟන ඇය වෙනුවෙන් යොදන්නා වූ සංකේතයන්ය.

එහෙත් ඔහුගේ සිහින දෙව්දුව හුදෙක් කල්පිතයක් පමණක් ද? ඔහුට ලබාගත නොහැකි තැනැත්තියක් ද? යන උභතෝකෝටිකය නිර්මාණය සමාජගත කරන ආකාරයෙන් රසිකයා සිතේ හට ගනී. ඔහු අවසානයේ දී ඇය දකින්නේ, යුගයෙන් යුගයට හදවත් හඬවන, අඳුරු වේදනා කුටියක් ලෙසයි.

යුගයෙන් යුගයට හදවත් හඬවන
අඳුරු වේදනා කුටිය ඇයයි

අභාවප්‍රාප්ත කේ. ජයතිලක ශූරින් වරෙක පැවසූයේ මේ පද මාලාවට එකල දේශපාලන මුහුණුවරක්ද ඇතැමුන් ආරෝපණය කර තිබු බවයි. හැත්තෑව දශකයේ දේශපාලන නායිකාවක් වෙනුවෙන් මෙය ලියු බවට මතයක් තිබේ යැයි එතුමා පැවසුවද මේ නිර්මාණය එබඳු තැනක තැබිය යුත්තක් නොවේ. කෙසේ වෙතත් දුකින් පිරි ජීවිතයක් ගත කරන්නකු සිතේ ඇතිවන ආදරණිය බලාපොරොත්තුවක් මුළු ගීතය පුරාම අන්තර්ගතය.

සංගීත නිර්මාණයේ දී අමරදේවයන්ට වැඩි ප්‍රාතිහාර්යයක් කරන්නට සිදු නොවන්නේ ගේයතා ගුණය නිර්මාණයෙහිම ගැබ් වී ඇති බැවිනි. ඒ නිසා ජන ගී නාද රටා යොදමින් පදමාලාව ඔපවත් කර මනෝහර ලෙස ගායනා කිරීම එතුමා විසින් කර තිබේ.

මම අහස දෙස බලා සිටිමි. අඳුරු ආකාසයේ ඈත කොනක පුංචි තරු කැටයක් දිළිසෙයි. එහෙත් මගේ ජීවිතයේ අඳුර එබඳු තරු කැටයකට දුරු කළ හැකි ද?



අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ...

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌

අසම්මත ප්‍රේමයට සමාජය රකුස් නෙත් හෙළුව ද අසම්මත ප්‍රේම කාව්‍යයන්ට සමාජය තුළ ඇත්තේ ආදරණීය වැළද ගැනීමකි. එහි ගලා එන ප්‍රේමය හා විරහ ව පොදු රසිකයා ගේ හදවත හා අධ්‍යාත්මය අතර එකාත්මීය වන්නේ සමාජ වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමකින් තොරව ය. එවන් ප්‍ර‌ේමය හා විරහව කැටිකරගත් අපූර්ව ගේය කාව්‍යයකි පහත ගීතය.
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ

වචන සතුව විස්මිත බලයක් ඇත. එනම් මනුෂ්‍යයා ගේ හඳෙහි කැකෑරෙන මේ මේ යැයි බෙදා වෙන් කළ නො හැකි, ගණනය කළ නො හැකි භාවයන් ප්‍රකාශනය යි. කථකයා ගේ හා ඔහු ගේ පෙම්වතිය ගේ හඳෙහි පෙම ඇදි පෙම් සිතුවම් ලොවට විවෘත කළ නො හැක. ඊට එරෙහි වන සමාජ සම්මතයන් බොහෝ ය. එහෙත් ඉන් වියතක් තරම් කොටසකට නිදහස් වීමට මොහොතක් උදා වී ඇත.‘තරමින් වියතක්’ යන්නෙන් ඔවුන් සඟවා සිටින හැඟුමන් කොතෙකුත්  විශාල ද හා ඔවුනට හමුවන ඉඩ කොතරම් කුඩා  ද යන්න ධ්වනිත වේ. සඳ එළිය පෙම්වතුන්ට වෙස්වලාගත් මිතුරෙකි. ඔවුනට ලෝකයෙන් මඳකට හෝ සැඟ වී පෙම් සුව විඳින්නට මං එළි කරයි. හඳපාන සහ මඳ අඳුර පෙම්වතුන්ට අවැසි කරන අවකාශය සකසයි. හඳපාන සහ මඳ අඳුර ශෘංගාරය මතු කරයි. මෙහි එන ආයේ යන යෙදුම ද ගැන අවධානය යොමු කරනු වටී. එයින් අපට හැඟෙන්නේ මෙයට පෙර ද මොවුන් මෙසේ මඳ අඳුරේ හමුව හැඟුමන් විඳි බැව් නොවේ ද?

ඔබ ඔබෙ සෙවණැල්ලෙන් මිදී
මම මගෙ සෙවණැල්ලෙන් මිදී
අවුදින් සෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳුරේ

‘සෙවණැල්ල’ යන යෙදුම බහු අරුත් දනවයි. විවාහක ව සිටින ස්ත්‍රිය හෝ පුරුෂයා,ඇය හා ඔහු වෙළා සිටින සදාචාරය ,නීතිය වැනි බන්ධනයන් ද මෙයින් හැඟවෙයි. මේවායෙන් මිදීම නම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට පහසු කටයුත්තක් නොව, මොවුන්ට එවන් අවස්ථාවක් හිමි ව ඇත, මේ ඔවුන්ගේ වේලාවයි. ලොවට හොරා හමුව පෙම් සුව විඳිනට කලකට පසුව ඔවුනට පෙම් ලොව සැරිසරන්නට ඉඩ සැලස ඇත. අවුදින් සෙමින් රහසින් මුමුණා-  හඳපානේ මඳ අඳුරේ වැනි යෙදුමන් ශෘංගාරී හැඟුමන් ප්‍රතීයමාන කරවයි.

සිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ

හමුවන හැම මොහොතකට  ම වෙන්වීමක් ද හිමි ය. එයට ම වෙන් කළ කදුලක් ද හිමි ය. කදුල සිනාවෙන් දරා ගන්නා මොවුන් වෙන් වන්නේ නැවත මෙම ජන්මයේ මුණගැසෙන බලාපොරොත්වෙන් නොව මතු උපදින ජන්මයක හමු වන බලාපොරොත්තුව සහිත ව ය.  මේ මොවුන්ගේ පෙම් කතාවේ අවසන්  හමුව වන බව තීරණය කළ හමාරය. තවදුරටත් මොවුන්ට කළ හැකි දෙයකට ශේෂ ව ඇත්තේ මතු ආත්මය පිළිබද පැතුමක් පමණි.  එක් වීම සිහිනයක් වන බොහො ආදරණීයන් ගේ ජනප්‍රිය පැතුම මරණින් මතු උරුම වන නව ජීවිතය යි. ගෙවා දමමින් සිටිනා ජීවිතයක බලාපොරාත්තු සිහිනයක් වූ කළ කළ හැකි එකම දෙය ද වන්නේ නව ජීවිතයක බලාපොරොත්තුව යි. මොවුන්ට උරුම රාත්‍රිය පමණි. හිමිදිරියත් සමග එළඹෙන්නේ  වෙන් වන කාලයයි,

වික්ටර් රත්නායකයන් ගේ සුගායනයෙන් මෙන් ම ස්වර රටාවන්ගෙන් ද මෙම ගීතය ඔපවත් වී ඇත. ඔහුගේ ප්‍රේමණීය හඩින් ගිලිහෙන අකුරක් පාසා  හඳෙහි ඇති කරන කම්පනය වචන වලින් ප්‍රකාශ කිරීමට තරම් නොහැකි අසීරු කටයුත්තකි. ඔහුගේ  ප්‍රේමණීය හඩ පෙර කල පිනකට ඔහුට උරුම වූ වා දැයි සිතෙන තරමට ම එය භාග්‍යවන්ත ය. ප්‍රභල ය.

මෙහි සංගීතය ගැන ද වචනයක් දෙකක් නොකියා ම බැරි ය. එය එතරම් ම අපූර්ව වූවකි. ගිටාරය , වයලීනය, තබ්ලාව වැනි සීමිත වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක් ඇසුරු කරගනිමින් මවනා රසභාවයන් අසීමිත ය. අවස්ථානුකූල ව රස දැනවීමට මෙහි නාද රටා සමර්ථ වී ඇත. ‘හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ ’යන ඛණ්ඩයන් තුළ මතුවන උද්දාමය ,ප්‍රේමය, නිදහස වැනි හැඟුම් දැනවීමට උචිත සංගීතයක් ද එමෙන්ම ‘සිරකර හසරැල්ලෙන් හැඬුම්- අපි හිනහෙමු සපුරා පැතුම්’ වැනි ඛණ්ඩයන් වල දී මතු වන විරහව දැන වීමට උචිත ශාන්ත සන්සුන් ස්වර රටාවන් ද යොදා ඇත්තේ සංගීත ඥාණය මෙන්ම පද රචනයෙන් ද උද්දීපනය වන භාවයන් පිළිබද මනා අවබෝධයකින් යුතුව ය.

ප්‍රේමකීර්ති අල්විස් නම් වූ සොදුරු ප්‍රේමණීය මිනිසාගෙන් බිහි වූ අපූර්ව ගීතයක් ලෙසින් මෙන් ම ඔහුගේ ගීත සාහිත්‍යය නමැති කෙතින් බිහි වූ මහගු ගී අස්වැන්නෙහි තවත් එක් රන් ඵලයක් ලෙසින් මෙම ගේය පද රචනය සඳහන් කිරීම උචිත ය. එමෙන් ම මෙම ගේය පද රචනය තුළ අන්තරගත සෑම යෙදුමක් ද අතිශය වැදගත් ය. හැම වචනයක ම පාහේ සැගවුණු ධ්වනිථාර්ථයන් හා භාවාර්ථයන් බොහෝ ය.



පෙම් කළ වරද ...

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමුවන මඟ අහුරාලා
ආදරයක්‌ වැළකිය හැකිදොa...//
නොපෙනෙද ඔහුගේ දෙපතුළ මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා...
සැනහෙනු මේ රැකවල් බිඳදා

චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම්
අයියණ්‌ඩියේ ඔබෙ අණට හොරා...//
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුනු දිනේ
පෙම්වතියක මුණ ගැහුනු දිනේ

පද රචනය - දයා ද අල්විස්‌
තනුව - චන්ද්‍රදාස බෝගොඩ
ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ

සහෝදර ප්‍රේමය හරිම බලවත්. සමහර අයියලා තමන්ගේ නංගිලා වෙනුවෙන් ජීවිතය වුණත් කැපකරනවා. එවැනි සිද්ධීන් අප අසා තිබෙනවා. මේ ආදරය සොයුරු බැම්ම කොතරම්ද කියනවා නම් බොහෝ වැඩිමහල් සහෝදරවරු තම සොහොයුරිය පෙම් රැහැනක පැටලී ඇත්නම් ඉන් මුදා ගන්න හැකි හැම උත්සාහයක්‌ම දරනවා. සමහර අයියලා තමන්ගේ නැගණියගේ ආදර සබඳතාවන්ට එරෙහි වෙන්නේ කිසිම පදනමක්‌ නොමැතිව. ඇතැම් තරුණයන් තරුණියකට ආදරය දක්‌වන්නේ හුදු ආශාවන් සන්තර්පණය කර ගැනීම සඳහා පමණක්‌ය යන්න දන්නේ තරුණයන්ම පමණයි. මේ බව හොඳින්ම දන්නා අයියලා නංගිලාගේ ආදර සබඳතා ගැන සොයා බලන එක එක පැත්තකින් සාධාරණයි.

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ සිතකින් නොවන නිසා
අයියණ්‌ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ...

මේ පෙම්වතියගේ ආදරයට හරස්‌ කපන්නේ ඇගේ සොහොයුරුයි. ආදරය කරන එක වරදක්‌ද... අයියණ්‌ඩි... තවමත් ආදරය හඳුනාගෙන නැහැ. අයියගේ හිත කවුරුවත් සොරාගෙන නැහැ. ඒ නිසා තමයි අයියේ ආදරය නොහඳුනන ඔයාගේ හිත ඔතරම් දරුණු. අයියේ මට වධ දෙන්න එපා. කවදාක හරි ඔයාගේ හිතත් ආදරයෙන් පිරී යාවී. ඔයාගේ හිත පෙම් රැහැණින් බැඳුණු දවසක ආදරයේ මිහිර විඳින දිනයක අයියේ මට සමාව දෙන්න.

බොහෝම පැරැණි ගීයක්‌. ඒත් තවමත් නැවුම් සදාකාලික අත්දැකීමක්‌. ඉන්ද්‍රණි බෝගොඩ ශිල්පිනියගේ හඬට මේ පද රචනාව ගෙතුවේ දයා ද අල්විස්‌ ගී පද රචිකාව...

මේකනම් ඇත්තම ඇත්ත අත්දැකීමක්‌. මම ඒ දවස්‌වල ගුවන් විදුලි සංස්‌ථාවේ වැඩ කරද්දී ලද අත්දැකීමක්‌. මා දන්නා හඳුනන ඉතාම හිතවත් තරුණ තැටි වාදකයෙක්‌ අප සමග වැඩ කළා. මේ සිංදුවෙන් කියෑවෙන්නේ ඔහුගේ පෙම් පුවත. දයා ද අල්විස්‌ සොයුරිය ගීයට පාදක වූ කතාව කියන්න පටන් ගත්තා.

ඒ තරුණයාගේ ආදරවන්තියට අයියලා පස්‌ දෙනෙක්‌ම හිටියා. මේ දෙන්නගෙ ආදරේට අයියලා පස්‌දෙනාම විරුද්ධයි. පෙම් සබඳකම නතර කරන්න කියලා ඇයට නිතරම තාඩන පීඩන එල්ල කරනවා. එක හේතුවක්‌ තමයි තරුණිය ඉහළ පැලැන්තියක වීම. අපේ හිතවත් තරුණයා ඒ තත්ත්වයට වඩා පහළින් හිටියේ. ඉතින් මම බොහෝම සංවේදී කෙනෙක්‌ කියලා හිතාන හිටි මේ තරුණයා මගෙන් ඉල්ලා සිටියා "අනේ දයා අක්‌කේ මගේ දුක ගැන ලස්‌සන සිංදුවක්‌ ලියන්න" කියලා.

යන එන හමුවන මග අහුරාලා
ආදරයක්‌ වැළකිය හැකිදො..
නොපෙනෙන ඔහුගේ දෙපතුළ මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා...
සැනහෙනු මේ රැකවල් බිඳදා...

අයියලා ඇය නිවාස අඩස්‌සියේ තියලා.... ඔහු හමුවන හැම මඟක්‌ම අවහිර කරලා. ඒත් මේ විදිහට පුළුවන්ද ආදරයට විලංගු දමන්න. බැහැ මම මගේ ආදරණීය පෙම්වතා හමුවෙනවා. හමුවෙලා ඔහුගේ දෙපාමුල මගේ හිත තියලා වැඳ වැටෙනවා. ඔහු නොපෙනුනත් මම හිතින් ඔහු ළඟයි... හිතකට රැකවල් දමන්න බෑ...

ඇය හඬා වැටෙනවා ඈ මේ විඳින දුක ඔහුට ඉවසන්න බැහැ...

මගේ හිතවතා ගීයකට මේ අත්දැකීම පෙරළන්න කිව්වාම මම හා... හා... කියලා කිව්වා. ඒත් ලියෑවුණේ නැහැ. හිතේ තිබුණා. දවසක්‌ ඉන්ද්‍රනි බෝගොඩ සරල ගී වැඩසටහකට ගීයක්‌ ඉල්ලුවා. මගේ හිතේ තිබුණු සටහන මම කොළයකට ලියලා ඇයට දුන්නා. පුළුවන් නම් මේක ගායනා කරන්න කියලා. ඇය ගැයුවා...

චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම්
අයියණ්‌ඩියෙ ඔබෙ අණට හොරා...
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

ඇයට ඉතිහාසයේ සිද්ධියක්‌ සිහිපත් වෙනවා. උන්මාද චිත්‍රා... දීග ගාමිණී පෙම් පුවත. චිත්‍රා ගාමිණී දෙදෙනා එකිනෙකාට පුදුමාකාර ලෙස ආදරය කළා. චිත්‍රාගේ අයියලා මේ ආදරයට එරෙහි වුණා. ඒත් චිත්‍රා... ගාමිණී දෙදෙනා හමුවුණා. අයියලා... නැගණියව එක්‌ටැම් ගෙයක හිර කළා. ආදරය කොතරම් බලවත්ද එක්‌ටැම්ගේ තුළ සිරගත කළත් ගාමිණී තම පෙම්වතිය චිත්‍රාව හමුවුණා. අවසන චිත්‍රාට දරුවෙකුත් ලැබුණා.

ඒත් අයියේ මම නම් කවදාවත් චිත්‍රාවක්‌ වන්නේ නැහැ. අයියාගේ අණට පිටුපාලා... මම ඔහු හා යන්නේ නැහැ. ඒත් අයියේ කවදාක හරි ඔයාට පෙම්වතියක්‌ හමුවේවි... එදාට ආදරයේ මිහිර වගේම ආදරයේ දුකත් ඔයාට දැනේවි අයියේ....

මගේ හිතවතාගේ පෙම්වතිය අයියලාගේ අණට කීකරු වුණා. ඇය ඔහු හා පැනගියේ නැහැ. ඒත් කලක්‌ ගත වෙද්දී අයිලලාටත් ආදරයේ සුවය විඳින්න ලැබුණා. නැගණියගේ ප්‍රේමයටත් ඔවුන් කැමැත්ත දුන්නා. ඔවුන් විවාහ වුණා. දැන් දරුවන්ගේ දරුවනුත් ලොකුයි. ගීතයේ රචිකාව අත්දැකීම් විස්‌තර කළා...

පෙම්වතුන් අතර තරුණ තරුණියන් අතර සහෝදර සහෝදරියන් අතර මේ ගීය අදත් ජනප්‍රියයි. මේ ගීයේ තියෙන විශේෂත්වය තමයි තනු රචකයා ගීයට තනුව යෙදුවේත් ඉන්ද්‍රනි බෝගොඩගේම අයියා. චන්ද්‍රදාස බෝගොඩ. නැගණියක්‌.... අයියා අමතන ගීයේ තනුව අයියාගේ. ගයන්නේ නැගණිය. ඉන්ද්‍රනි බෝගොඩ. ඒක තමයි විශේෂත්වය.




ජීවන විල මැද ...

ජීවන විල මැද

සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලබන මෙම ගීතය වත්මන් යෞවනියන්ගේ කතාන්දරයම යැයි කීවොත් වඩා නිවැරදිය. 1966 දී තිරගත වූ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" චිත්‍රපටය සදහා ගැයුනු මෙ ගීතය රචනා කරනු ලැබුවේ කරුණාසේන ජයලත් විසිනි. එම්. කේ. රොක්සාමි විසින් සංගීතවත් කරන ලදී.

ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති

තී මට තී මට කියමින් බිඟු කැල 
ඇය අවටම රඟති

තරුණ යුවතියකගේ ජීවිතය පිළිබද කතාන්දරය මෙලෙසින් දිග හැරෙන්නේය. ජීවිතය නැමැති විල මැද සිටින්නා වූ ලස්සන කැකුළු මලකි. මෙය තරුණ යුවතියක් සංකේතවත් කරන්නට ගත් අපූරු යෙදුමකි. ජීවිතයද වරෙක විලකි. තෙරක් ගැඹුරක් නොමැති විලක් මැද ඇති යාන්තම් පිබිදීගෙන එන විට කුමක් නම් දන්නවාද? කැකුළු මලක් පිබිදෙද්දී එහි ඇති නැවුම් රොන් වල රසය දන්නෝ මී මැස්සන්මය. ඔවුන් මේ මළට අයිතිවාසිකම් කියන්නට වෙර දරන්නෝය. ඒ මෙම පිපෙන්නා වූ කැකුළු මලෙහි ඇති රොන් ගන්නටය. ඒ ලෙසින්ම තරුණ යුවතියක් පසු පස කොතරම් තරුණයන් සරන්නේද? ඔවුන් සියල්ලෝ වෙර දරන්නේ ඇය තමාගේ කරගැනීමටය.

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා

හිරු එළිය වැටෙද්දී අලුතින්ම පිපෙන මගෙන් පළමුව රොන් ගන්නා වූ බඹරා එතේ මල වටා කැරෙකෙමින් කී ගීත ගායනය නවත්තල දාල යන්න යනවා. ඒ යන්නේ තමන්ගේ රොන් ගත්තු මල ගැන හිතන්නේවත් නැතිව. ඒ වගේම තමා යුවතියක් තමන්ගෙ ආදරය තරුණයෙකුට පූජා කරනවා. නමුත් ඇයගෙන් ගත හැකි සියළු ප්‍රයෝජන අරගෙන ඔහු ඇයගෙන් ඉවත් වෙලා යන්නේ ඇයගේ සිත ගැන ටිකක්වත් හිතන්නේ නැතිව. ඇය නොදැනුවත්ව රැවටුනා කියන එක ඇය තේරුම් ගන්නේ අයගෙන් ඔහු බවත් වෙද්දී. ඒ වෙද්දී ඇගෙන් ඔහු ඉවත් වීම කෙතරම් වේදනාවක්ද යන්න මෙහි අපූර්ව යෙදුමතකින් කියැවේ. ඒ "පියුමේ හද අඹරා" යන යෙදුමයි. රිදවනවා, තලනවා යන වචන වලට වඩා අඹරනවා යන යෙදුම අතිශය සාධාරණ යැයි මා සිතමි.

නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ
ආ මට කෑමක් ආ මට කෑමක් 
තවකෙක් බදිති සෙනේ

ඇය ඔහු එනතුරු ලතවෙමින් බලා හිදිද්දී තව බඹරෙක් තව කෙනෙක් ඇයට ලංවෙනවා. නමුත් ඒ ලංවෙන්නේ ඇයගෙන් ප්‍රයෝජන ගැනීමට මිසක් ආදරය කරන්නට හෝ ඇය සනසවන්න නම් නොවේ. තරුණයෙකුට රැවටුනු තරුණියකට දෙවනුව අත්වන ඉරණම මෙයම නොවේද? තව තවත් උන් ඇයට පෙම් බදින්නේ ඇයගේ ප්‍රයෝජන ගැන සිතා පමණක්මය. ඇයද අවසානයේ එය රසයක්ම යැයි සිතා තරුණයන් අතතින් අතට යන්නේ ඇයට කල හැකි වෙනත් යමක් නොමැති නිසාවෙන්මය. නමුත් ඇය තවමත් පෙර කල වරද පිළිබද දුක්වේ.

අවරට යන හිරු සවසට බැස යයි 
ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි
පුන්සද දැක අහසේ

කලක් අතින් අතට යන තරුණිය ගැන දැන් කාටවත් ගානක් නැහැ. ඇයගේ තරුණ විය අවසන් වෙද්දී ඇය වටා සැරිසරන්නා වූ තරුණයන් නොමැත. තරුණයන්ගේ අතින් අතට යෑම පවා කලක් යද්දී නොමැති වෙන්නේ ඇයගේ රූ සිරි අඩු වන නිසාවෙන් විය යුතුය. දැන් ඇයටද කරන්න දෙයක් නෑ. ඇයත් පාඩුවේ පැත්තකට වෙනවා. ඒකට හේුව වෙන්න ඇත්තේ තමා වියපත් වීම හා අලුත් තරුණියන් සමාජයේ ගැවසීම විය යුතුය. එහිදී පුන්සද දැක අහසේ යන යෙදුම ඇයගෙන් ප්‍රයෝජන ගත් තරුණයන්ගේ නව ආදරවන්තියන්ද, ඇයට අත් වූ ඉරණම ම අත් වූ අනෙකුත් තරුණ යුවතියන්ද ආමන්ත්‍රණය කිරීමක් යැයි මා සිතමි.

ඒකයි දෛවය නෙළුමේ ඒකද 
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර 
එය ජීවන මහිමේ

එවිය ඇය සුසුමු හෙලනවා ඒකද යුවතියකගේ දෛවය යැයි සිතමින්. යුවතියකගේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ දවසක් දෙකක් විතරයි. ඒ තමයි යුවතියන්ගේ දෛවය වෙන්නේ. අද සමාජය තුල දකින්නට අසන්නට ලැබෙන දේ සමග මෙය කොතරම් මුහුව පවතින්වාද යන්න ඔබත් නොදන්නවා නොවේ.

ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල 
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති...

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක් 
තවකෙක් බදිති සෙනේ...

ජීවන විල මැද...

අවරට යන හිරු සවසට බැස යයි 
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද 
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර 
එය ජීවන මහිමේ...

ජීවන විල මැද...

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි



හෙට දවසේ අප දෙදෙ ...

ප්‍රියා සූරියසේන මහත්තය සරල ගී වැඩසටහනකට  ගීතයක් ලියාගන්න කෙනෙක් හොය හොයා හිටියා. ඉතින් ඒකට උදව්වක් ගන්න කියලා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයේ වැඩරපු එල්මෝ ෆනෑන්ඩෝ කියන නිවේදකයාව හම්බ වෙන්න ගියා. එතුමා ප්‍රියා සූරියසේන මහත්තයාගේ හිතවතෙක්.

ඉතින් එතුමාට ප්‍රියා සූරියසේන මහත්තයා  කියනවා තව දවස් දෙකකින් සරල ගී වැඩසටහනක් මට තියෙනවා ඒකට ගීතයක් ලියාගන්න ඕන. ඒ වගේම ඉක්මනින් වැඩේ වෙන්නත් ඕන කියලා.

එල්මෝ මහත්තයා ඉන්න ඉන්න මෙහේ එක්කනෙක් ඉන්නවා කියලා කියලා ප්‍රේමකීර්ති මහත්තයාට කතා කරනවා.

එල්මෝ මහත්තයා ප්‍රේමකීර්ති මහත්තයාට කියනවා මේ මල්ලී මම හොදට අදුරන කෙනෙක් නාත්තන්ඩියේ ගම මම හලාවත ඒ නිසා ඉක්මනින් සිංදුවක් ලියලා දෙන්න කියලා.

ඉක්මනින් කොළ කෑල්ලක් ගත්තු ප්‍රේමකීර්ති මහත්තයා හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ. කියලා ලීවලු.

ඒ වෙලාවේ ගොඩක් කාර්යබහුල වෙලා හිටපු ප්‍රේමකීර්ති මහතා එහෙම පොඩි කෑල්ලක් ලියලා දුන්නේ කට්ටට තිබුනු හදිස්සිය නිසයි.

මේ ටික ලියපු ප්‍රේමකීර්ති මහත්තයා මෙන්න පද පේලියක් ලියලා තියෙනවා ඉතුරු ටික දෙන්න හෙට එන්න කියලා කියනවා .

දැන් ඉතින් මොනවා කරන්නද. ඒ පුංචි පද පේලිය අරගත්තු ⁣ප්‍රියා සූරියසේන මහත්තයා ආයෙත් පහුවදා ගියාලු ප්‍රේමකීර්ති මහත්තයා හම්බවෙන්න.

ප්‍රේමකීර්ති මහත්තයා ඊයේ මම කෑල්ලක් ලියලා දුන්නා නේද. කෝ කෝ දෙන්න ඒක කියලා ඉතුරු පද පේලියත් ලියලා දුන්නාලු.

ඉතින් අර කාර්යබහුල නිසා ඉක්මනින් ⁣ගීතය ලියලා දෙන්න බැරි වෙච්චි නිසයි හෙට දවසේ අප දෙදෙනා .... කියලා ලියවුනේ....

මිහිර කිවේ ප්‍රියා සූරියසේන මහත්තයාට අලුත් ගීතයක් හම්බවෙන එකට. මිහිර හෙටත් ගෙන ආයුතු වේ කියන්නේ ගීතයේ ඉතුරු කොටස ඊලග දවසේ දෙන්න වෙච්චි නිසයි...

ඉතින් මේක තමයි ප්‍රියා සූරියසේන මහතා කියන විදිහට ගීතය ලියවුණු සත්‍ය සිදුවීම. නමුත් 

මෙය පසුකාලීනව මත්පැන් බෝතලයක් මුල්කරගත් සිද්ධියක් බවට වැරදි අර්ථකථනයක් ප්‍රසිද්ධියට පත්ව ඇති බවට ප්‍රියා සූරියසේන මහතා පවසා ඇත.

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ..

කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි..

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා

සංගීතය හා ගායනය-ප්‍රියා සූරියසේන
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...