Monday, March 15, 2021

තාර පාර දිග ...

තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ ...//


රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය

කාසි තරඟයට සූදු කෙළිනවා

ජීවිතයේ රණබිමට වඩින්නට

මලේ නුඹට කලදවසක් එනවා


තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ


බෝල ලොසින්ජර දිව රස කෙරුවත්

බඩ ගින්දර නැහැ නිවා දමන්නේ

කීරි ගැහෙන කල වාරු නැති දෙපා

කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ


තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ


ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල

පද - ප්‍රණීත් අභයසුන්දර

තනුව - ආනන්ද ගමගේ

 

මෙම ගීතයට පසුබිම් වූ කාරණය සම්බන්ධයෙන් ප්‍රණීත් අභයසුන්දර මහතා අදහස් දක්වමින් "ඉතිං කොහොම හරි ගීත ලෝකෙට ටික ටික එන්න පුළුවන් වුණා. කුලරත්න අරියවංශ, රෝහණ සිරිවර්ධන සනත් අයියා, මල්කාන්ති අක්කත් විශේෂයෙන් අත දුන්නා. ඔහොම ඉන්න අතරේ මාලිනි බුලත්සිංහල මහත්මිය මට කිව්වා ගීයක් ලියලා දෙන්න කියලා විශ්වවිද්‍යාලයේ යන කාලේම. ඒ වෙලාවේ මං ගීත දෙක තුනක් ලියලා දුන්නා. ඇය ඒකෙන් එකක් තෝරාගෙන තිබුණා. ඒක තමයි තාරපාර දිග පාට පාට කඩ කියන ගීතය. ආනන්ද ගමගේ මහත්මයා සංගීතය නිර්මාණය කළේ ඒ ගීතයට. ඒ කාලේ ලංකාවේ ආර්ථිකය එහෙම වෙනස්වෙලා තරමක් වෙනස් පරිසරයක් ගොඩනැඟුණු කාලයක්. ඒ දවස්වල රිට්ස් සිනමාහල ළඟ තිබුණා වීඩියෝ ගේම් කරන තැනක්. දැන් නම් ඒවා දකින්නත් නැහැ මං හිතන්නේ. ඉතිං ඔතනින් මං පයින් එනකොට බොරැුල්ල හරියේදී පොඩි යාචක දරුවෙක් ඒ දිහා බලං ඉන්නවා මං දැක්කා. ඒක ඇතුළේ ලයිට් පත්තු වෙනවා, සද්ද ඇහෙනවා. පොඩි කලිසම් කොටයක් ඇඳ ගෙන, කටේ ඇඟිල්ල ගහගෙන බලං හිටියා මං දැක්කා. මේක නිකං අමුතු ලෝකයක්නේ. මේ දරුවෝ දැන් මේවට වශී වෙලානේ. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මේ දරුවන්ගේ අනාගතේ මොනව ගේ වෙයිද කියලා. විශ්වවිද්‍යාලයේ යන කාලේ ඉඳලා, ඉස්කෝලේ යන කාලේ ඉඳලා මානව දයාව වගේ දේවල් ගැන හරියට හිතේ තිබුණා. කුඩා කාලයේ දහම් පාසල් යනවා. අපේ හිත් අනුකම්පාවෙන් පිරිලා තිබුණේ. එතකොට රූපවාහිනියත් ආව විතරයි. ඔය කාලේ තමයි ඕක ලිව්වේ මං. ඒ ගීතය ඉතා හොඳට ආනන්ද ගමගේ මහත්මයා සංගීතවත් කරලා මාලිනි අක්කා ගායනා කළා. ඒ ගීතය ඒ කාලයේ ජනප‍්‍රිය වුණා. දැනුත් ප‍්‍රචාරය වෙනවා ඇහෙනවා. සමාජ ගැටලූවක් විස්තර කෙරෙන ගීතයක්. සංස්කෘතික ආර්ථික දේශපාලනික ජීවිත වෙනස්වීමත් එක්ක පුංචි දරුවෙක් සම්බන්ධ කරගෙන තමයි මං ඒක ලිව්වේ. අපි ඉතිං මුල ඉඳලම ගීත ලියනකොට පේ‍්‍රම ගීතනේ ලිව්වේ. මේක මගේ වෙනස් මඟක ගිය ගීතයක්.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




හිතුමතේ ...

මා දෙස නෙත් නොපියා බලාපූ

හෙමිහිට බලපොරොත්තු ගෙනාපූ

වැඩිපුර මාත් එක්ක නොආපූ

මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ


ඔබ තවමත් ඇය තමයි  ///

මගෙ හිත හදාපූ


හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//


පපුවට තුරුලු වී හිඳ හඩාපූ

ලංවී තොඳොල් බස් මට දොඩාපූ

හිත ලඟ හීනෙන් නිදි වරාපූ

සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ


මට තවමත් සුවඳ දෙයි///

මලකින් හමාපූ


හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ

ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ//


ගායනය - රොමේෂ් සුගතපාල 

පදරචනය - වසන්ත දුක්ගන්නාරාළ

තනුව හා සංගීතය - ඉරාජ් වීරරත්න 


”හිතුමතේ” ගීතය ඔබ ලද අත්දැකීමක් කියලා ඔබේ හිතවතුන් කියනවා නේද?

 

වසන්ත දුක්ගන්නාරාළ මහතා අදහස් දක්වමින් "නිර්මාණයක් කළාම මිනිස්සු හිතනවා ඒක රචකයාගේ සම්පූර්ණ අත්දැකීමක් වෙන්න ඇති කියලා. එහෙමම වෙන්නේ නෑ. කොහේ හරි පොඩි තැනක අපිට කෙනිත්තුනහම ඒක ලියැවෙනවා. ඒ ලියැවෙන්නේ වෙන අයගේ අත්දැකීමුයි, අපේ අත්දැකීමුයි සමාජයෙන් අහපු කතා ඔය ඔක්කොම එකතු වෙලා. නිර්මාණයක් කියන්නේ ඒක. එතකොට හිතුමතේ ගීතයේ තියෙන්නෙ පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් බොහොම හිතවත්ව හිටියානං, යාළුකමට වඩා එහා ගිය දෙයක් මිනිසුන්ට පේනවා. මේ දෙන්නා යාලූවෝ නෙවෙයි නිකං පෙම්වතුන් වගේ කියලා. ඒ වුණත් එහෙම දෙයක් තිබිලා නෑ. එවන් යාළුකමක් දිගින් දිගටම තිබී, පිරිමියාගේ පැත්තෙන් වින්ඳ හැටි තමයි මං ඔය ලියලා තියෙන්නේ. යාළුවෝ වුණාට, මචං අරහේ මෙහෙ කියලා කතා කළාට, පිරිමි යාළුවට හිටපු ගමන් හිතෙනවා මෙයාට ආදරෙයි කියලා කියන්නද කියලත්. ඒ වගේ සියුම් අදහසක් තමයි හිතුමතේ ගීතයේ ලියවුණේ. සමහර මගේ මිත‍්‍රයෝ කියනවා විශ්වවිද්‍යාලයේ හිටපු හිතවතියකට මං මේ ගීතය ලිව්වේ කියලා. නමුත් එහෙම සෘජුවම එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් අත්දැකීමක් නෙවෙයි ඒක. අනික මේක මං ලිව්වේ රොමේෂ්ට නෙවෙයි. වෙනත් ගායන ශිල්පියකුට. ඒ ගායන ශිල්පියාට මේ ගීතය හරියට ගායනා කරන්න බැරි වුණා. ඒ නිසා කලකට පස්සේ ඉරාජ්ට රොමේෂ්ව මුණගැහුණයින් පස්සේ එය රොමේෂ් ගයනවා. ඔහු මේක ඉතාම අලංකාර ලෙස ගායනා කරලා 2006 වසරේ ජනප‍්‍රියම ගීතය, ජනප‍්‍රියම ගීත රචකයා මම, ජනප‍්‍රියම සංගීතඥයා ඉරාජ් බවට පත් කළා ඒ වසරේ.

 

මේ ගීතයත් ඔබේ බොහෝ ගීත මෙන් ඔබ පසුව වචන යෙදු ගීතයක් නේද? 

 මං හුඟක් සිංදු ලියලා තියෙන්නේ මෙලඩියට. සීයට අනූ පහක්ම ට‍්‍රැක්වලට ලිව්වේ. හිතුමතේ ට‍්‍රැක් එක අරං ඉරාජ් අපේ ගෙදරට එන්නේ උදේ හයට. ගුවන්තොටුපළට ගිහිල්ලා එයාගේ හිතවතියක් ඇරලලා ඇවිල්ලා තමයි ඔහු මට ඔය ට‍්‍රැක් එක දෙන්නේ. සමහර වෙලාවට එයා ඒ ඇරලවලා ආවේ එයා ගේ පෙම්වතිය වෙන්නත් ඇති කියලා මට නිකං සැක හිතුනා ඔහු හිටපු හැඟීම්බර විදිහ දැක්කම. ඉතිං ඔය ඔක්කොම එක්ක විනාඩි පහළොවකින් මං ඔය සිංදුව ලියලා ඉවර කළා. ඒ කියන්නේ හයට මට ට‍්‍රැක් එක හම්බවෙනවා. හයයි කාල වෙනකොට සිංදුව ලියලා ඉවරයි. ඒ ගීතයේ තියෙන අරුමයේ තව කොටසක් ඒක.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා /දිවයින) 




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...