Monday, March 15, 2021

තාර පාර දිග ...

තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ ...//


රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය

කාසි තරඟයට සූදු කෙළිනවා

ජීවිතයේ රණබිමට වඩින්නට

මලේ නුඹට කලදවසක් එනවා


තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ


බෝල ලොසින්ජර දිව රස කෙරුවත්

බඩ ගින්දර නැහැ නිවා දමන්නේ

කීරි ගැහෙන කල වාරු නැති දෙපා

කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ


තාර පාර දිග පාට පාට කඩ

සල්පිල් හෙවණැල්ලේ

ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා

ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ


ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල

පද - ප්‍රණීත් අභයසුන්දර

තනුව - ආනන්ද ගමගේ

 

මෙම ගීතයට පසුබිම් වූ කාරණය සම්බන්ධයෙන් ප්‍රණීත් අභයසුන්දර මහතා අදහස් දක්වමින් "ඉතිං කොහොම හරි ගීත ලෝකෙට ටික ටික එන්න පුළුවන් වුණා. කුලරත්න අරියවංශ, රෝහණ සිරිවර්ධන සනත් අයියා, මල්කාන්ති අක්කත් විශේෂයෙන් අත දුන්නා. ඔහොම ඉන්න අතරේ මාලිනි බුලත්සිංහල මහත්මිය මට කිව්වා ගීයක් ලියලා දෙන්න කියලා විශ්වවිද්‍යාලයේ යන කාලේම. ඒ වෙලාවේ මං ගීත දෙක තුනක් ලියලා දුන්නා. ඇය ඒකෙන් එකක් තෝරාගෙන තිබුණා. ඒක තමයි තාරපාර දිග පාට පාට කඩ කියන ගීතය. ආනන්ද ගමගේ මහත්මයා සංගීතය නිර්මාණය කළේ ඒ ගීතයට. ඒ කාලේ ලංකාවේ ආර්ථිකය එහෙම වෙනස්වෙලා තරමක් වෙනස් පරිසරයක් ගොඩනැඟුණු කාලයක්. ඒ දවස්වල රිට්ස් සිනමාහල ළඟ තිබුණා වීඩියෝ ගේම් කරන තැනක්. දැන් නම් ඒවා දකින්නත් නැහැ මං හිතන්නේ. ඉතිං ඔතනින් මං පයින් එනකොට බොරැුල්ල හරියේදී පොඩි යාචක දරුවෙක් ඒ දිහා බලං ඉන්නවා මං දැක්කා. ඒක ඇතුළේ ලයිට් පත්තු වෙනවා, සද්ද ඇහෙනවා. පොඩි කලිසම් කොටයක් ඇඳ ගෙන, කටේ ඇඟිල්ල ගහගෙන බලං හිටියා මං දැක්කා. මේක නිකං අමුතු ලෝකයක්නේ. මේ දරුවෝ දැන් මේවට වශී වෙලානේ. ඒ වෙලාවේ තමයි මට හිතුණේ මේ දරුවන්ගේ අනාගතේ මොනව ගේ වෙයිද කියලා. විශ්වවිද්‍යාලයේ යන කාලේ ඉඳලා, ඉස්කෝලේ යන කාලේ ඉඳලා මානව දයාව වගේ දේවල් ගැන හරියට හිතේ තිබුණා. කුඩා කාලයේ දහම් පාසල් යනවා. අපේ හිත් අනුකම්පාවෙන් පිරිලා තිබුණේ. එතකොට රූපවාහිනියත් ආව විතරයි. ඔය කාලේ තමයි ඕක ලිව්වේ මං. ඒ ගීතය ඉතා හොඳට ආනන්ද ගමගේ මහත්මයා සංගීතවත් කරලා මාලිනි අක්කා ගායනා කළා. ඒ ගීතය ඒ කාලයේ ජනප‍්‍රිය වුණා. දැනුත් ප‍්‍රචාරය වෙනවා ඇහෙනවා. සමාජ ගැටලූවක් විස්තර කෙරෙන ගීතයක්. සංස්කෘතික ආර්ථික දේශපාලනික ජීවිත වෙනස්වීමත් එක්ක පුංචි දරුවෙක් සම්බන්ධ කරගෙන තමයි මං ඒක ලිව්වේ. අපි ඉතිං මුල ඉඳලම ගීත ලියනකොට පේ‍්‍රම ගීතනේ ලිව්වේ. මේක මගේ වෙනස් මඟක ගිය ගීතයක්.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...