Tuesday, September 29, 2020

උන්මාදිනී හැන්ගුනා...

උන්මාදිනී හැන්ගුනා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


මල්මී සුගන්ධේ නැලැවී වෙලී

මල් වැල් ගොතන්නී වෘන්දා වනේ...

නිල් විල් තලාවේ කිමිදී මිදී

කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


ගෝපීලියන් හා යමුනා තෙරේ...

අවුදින් මුලා වූ රාධා මගේ...

වස්සානයේ ආ මේ කුළුවලින්

සන්තාපයේ ලා පොද වෑහුනේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


උන්මාදිනී හැංඟුණා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


පදරචනය - නිලාර් එම්. කාසිම් 

ගායනය - භාතිය හා සන්තුෂ් 

සංගීතය - භාතිය සන්තුෂ් 


ජනප‍්‍රිය ගායකයින් වන භාතිය සහ සංතුෂ් වරක් සඳහන් කරලා තිබුණා ඔබේ ගී පද රචනා නිසා ඔවුන්ගේ ගීතවලට සාහිත්‍යමය අගයක් එකතු කරන්න හැකියාවක් ලැබුණා කියලා? 

නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින් "මම ගීත රචනා කලාවේ යම් කිසි කාල පරිච්ඡේදයක් ගත කරලා, ඒ කියන්නේ මගේ ගීත ගණනාවක් සහෘදයෝ වැළඳගෙන ඉන්න කාල වකවානුවේ තරුණයෝ දෙන්නෙක් ආවා මාව මුණගැහෙන්න. ඇවිල්ලා කිව්වා මගෙත් එක්ක කතා කරන්න ඕන කියලා. ඒ තරුණයෝ දෙන්නා තමයි භාතිය සහ සංතුෂ්. එතකොට එයාල ගේ ”තාරුණ්‍යයේ” මුල්ම ගී එකතුව නිකුත් වෙලා. මම ඒ වෙද්දී විචාරයක් ලියලා තිබුණා ඒ සංයුක්ත තැටියේ අඩංගු ගීත දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා. ඒවායේ සාහිත්‍යයක් නෑ, ගීතමය ලක්ෂණ නෙමෙයි තියෙන්නේ කියන කාරණා ගැන මම බරපතළ විවේචනයක් ඉදිරිපත් කළා. හැබැයි මේ තරුණයෝ දෙන්නා අතිශය දක්ෂතාවලින් පිරිපුන් අය; ඔවුන් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා තමයි මම ඒ විචාරය ඉවර කළේ. ඔවුන් එය කියවලා තිබුණා. පසුව ඔවුන් මාව හම්බවෙලා දීර්ඝ කතා බහක අවසානයේ කිව්වා ‘අයියේ ඔයා කියපු දේ අපිට තියෙනවා, අපිට හොඳ පද රචනා ලැබෙනවා නම් කැමතියි, අපි අයියත් එක්ක වැඩ කරන්න කැමතියි’ කියලා. එදා ඒගොල්ලෝ මට පූර්ව තනුවක් දීලා කිව්වා අයියේ මේකට සිංදුවක් ලියන්න පුළුවන්ද කියලා. මං කිව්වා ගීතය පිළිබඳ මගේ ස්ථාවරයක් තියෙනවා, ඒ තැන ඉඳන් මම ලියන්නම්, ඕගොල්ලන්ගේ මුලින් ගීත එකතුව තියෙන මට්ටමේ නෙමෙයි හැබැයි, ඔයාලා ඒ ස්ථාවරයට එන්න එකඟයි නං අපි වැඩ කරමු කියලා. ඔවුන් ඊට නිහතමානීව එකඟ වුණා. ඒ තනුව ඇහෙනකොට මට යම් යම් කර්ණාටක සහ ඒ සංගීතමය නාද රටාවල තියෙන යම් යම් ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇහුණා. ඉතිං භාරතීය සමාජීය අත්දැකීමක් මේකෙන් ප‍්‍රකාශ වුණොත් හොඳයි කියලා තමයි මම ‘උන්මාදිනි හැංගුනා’ ගීතය ලිව්වේ. 

රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ගැන එවකටත් බොහෝ ගීත තිබුණා නේද? 

ඔව්. රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ආශ‍්‍රිතව ගීත ගණනාවක් ඒ වෙනකොට සිංහලෙන් ප‍්‍රකාශ වෙලා තිබුණා. හැබැයි ඒ බොහෝ ගීත රාධා විසින් ක‍්‍රිෂ්ණා ආමන්ත‍්‍රණය කරන ගීත. මේකේ තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ක‍්‍රිෂ්ණා රාධාට ආමන්ත‍්‍රණය කරනවා. ඒකෙදි මම ලියපු වචන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මෙතෙක් ගායනා කරපු භාෂාව නෙවෙයි. පැරණි සාහිත්‍ය තුළ එන යෙදුම් එක්ක තමයි ගීත ගෝවින්දයේ ආභාසයෙන් මේක ලිව්වේ. ගීතය ලිව්වට පසු එක වචනයක් පිළිබඳවත් ඒගොල්ලෝ කිසිම ප‍්‍රශ්නාර්ථයක් මතු කළේ නැහැ. ඉතාම කැමැත්තෙන් ගායනා කළා. ඒ ගීතය අතිශයින්ම ජන ප‍්‍රසාදයට පත්වුණා. ඒ වෙනකොට ඔවුන්ට ලොකු දෝෂාරෝපණයක් එල්ල වෙලා තිබුණා සිරි සඟ බෝධි මාළිගාවේදී කියන නූර්ති ගීතය රැුප් කරලා ගායනා කිරීම පිළිබඳ. හැබැයි මේ සියල්ලම යටපත් වෙලා මේ ගීතය එක්ක භාතියලා අලූත් පේ‍්‍රක්ෂක පිරිසක් දිනා ගත්තා. ගීතය ජනප‍්‍රිය වෙනවත් එක්කම දෝෂ දර්ශනයට ලක් වෙනවා වෙනුවට ඔවුන්ට ආශීර්වාද කරන්න පටන් ගත්තා. මේ ගීතයෙන් පස්සේ භාතිය සහ සංතුෂ් මාත් එක්ක බොහෝ නිර්මාණවලට එළඹෙනවා. චාන්දනී පායලා, කිරි කෝඩු හිතට, හිත නාඹර තාලෙට, යාල් පනමේ පිපිච්ච, දේදුන්න සේදී, මීදුම උතුරන, මීදුමෙන් වැසී, වලාකුල් වියන් තනාලා වැනි චිත‍්‍රපට ගීත සහ වෙනත් ගීත රාශියක් මාත් එක්ක කරන්න පටන් ගත්තා. ඒ තුළ ඔවුන්ගේ ගමන් මගට සාහිත්‍යමය වටිනාකමක් මගෙන් එකතු වුණා කියන එක ඔවුන් ඉතාම නිර්ලෝභීව සහ නිහතමානීව අදටත් ප‍්‍රකාශ කරනවා. මම පුද්ගලිකව සතුටු වෙනවා විශාල රසික පරම්පරාවක් ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් බලවේගයක් වෙච්ච භාතිය සහ සන්තුෂ්ගේ කට හඬට මගේ වචන වලින් සාහිත්‍යමය අගයක් ලබා දෙන්න හැකිවීම ගැන. උන්මාදිනි හැංගුනා ගීතයේ පටන් ඔවුන් සහ මා අතර එදා ඒ ඇතිවෙච්ච සබැඳියාව මේ දක්වා අතිශය සහෝදරාත්මකව සහ ලෙන්ගතුව පවතිනවා. අපි අදටත් එකට වැඩ කරනවා. නිර්මාණකරණයේ යෙදෙනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)









වියෝ වූ පසුවයි ...

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්..

හැඩූදා කඳුලයි දකින්නේ

සිනාවේ සරදම්...//


ඉවුරු දෑලේ හිද බැලූ විට

ගඟ හැඩයි කදිමයි..

දියට වන් විට එවන් ගගුලම

බිහිසුනුයි චණ්ඩයි..


වියෝ වූ පසුවයි...


හඳක් නැති දා අහස් තලයට

තරුව දෙයි සැනසුම්..

පුන් පොහෝදා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්..


වියෝ වූ පසුවයි...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බන්දුල නානායක්කාරවසම්

සංගීතය - රෝහණ වීරසිංහ


"වියෝ වූ පසුවයි" ගීතයට සම්බන්ධ පසුබිම බන්දුල නානායක්කාරවසම් මහතා විස්තර කරමින්..

මම රිච්මන්ඩ් එකේ අවුරුදු එකොළහමාරක් ඉඳලා අවුරුදු එක හමාරක් මට දික්වැල්ලේ විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න වුණා. ඒක මගේ විශාල ජීවිත පරිවර්තනයක් වුණා. විජිතේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක වෙනකං මං ආවා ඉතා කෙටි කලකින්. ලංකාවේ ප‍්‍රථමයා වුණා රචනා තරගවල. සාහිත්‍ය තරගවල. විජිතේ පුදුම සමගියක් තිබුණා. හැබැයි වියෝ වූ පසුවයි කියන්නේ මගේ අත්දැකීමකට වැඩිය අද ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, විජිතෙට ගියාම මට හම්බවුණ රැග් එකෙන් මාව බේරගත්ත මගේ මිතුරකු ගේ අත්දැකීමක්.

මගේ ඒ මිත‍්‍රයාගේ විශාල පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා පන්තියේ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යාව එක්ක. ඒ පේ‍්‍රමය කොච්චර ද කියනවා නං මගේ යාළුවා රස්සාවකට ගියා උසස් පෙළ අතහැරලා දාලා ඈ වෙනුවෙන්. ඈට උගන්වන්න. නමුත් ඇය ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේදී මගේ මිතුරාට කියනවා තවත් විශ්වවිද්‍යාලයට එන්න එපා ඇයව බලන්න කියලා. ඒක මහ විශාල කම්පනයක්. දවසක් ඔහු ගාල්ලේ අපේ ගෙදරට ආවා. මට නිකං දැනුනේ ඔහු ජීවිතේ නැතිකරගන්න හදන තත්ත්වෙක හිටියා කියලා. එතකොට මං අපේ ගෙදර පිටිපස්සේ කුඹුරු යායකට මුහුණලා මිදුලේ පුටුවක් තියාගෙන ලිය ලිය හිටියේ. එතකොට සිකුරු තරුව පායාලා තිබුණා මගේ මිතුරා මේ කතාව කියද්දී. අම්මා තේ, හකුරු ගෙනාවා. මේ සිකුරු තරුව අහසට හඳ ආවම පේන්නේ නෑ. මගේ මිත‍්‍රයට වුණෙත් ඒකයි. මගේ මිත‍්‍රයාගේ දරා ගත නොහැකි පේ‍්‍රම සම්බන්ධය තමයි වියෝ වූ පසුවයි ගීතයට ප‍්‍රස්තුතය වුණේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




සඳ දිය දෙවුන සේ ...

සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම...

නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව..

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන...

හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...


නෑබුල් පැතුම් අහසට නැග රහසේම...

දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව..

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම...

දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව..


ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ..

සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව...

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම..

මට අත වනාපන් නළියන නළ සේම..


ගායනය - අසංග ප්‍රියමන්ත පීරිස් / මාලිනී බුලත්සිංහල 

පදරචනය - නිලාර් එම්. කාසිම්

සංගීතය - සමන්ත පෙරේරා 

”සඳ දිය දෙව්න සේ සිනහව පිපුනාම” ඔබේ මුල් යුගයේ රචනා වූ අදටත් ජනතා ආදරයට පාත‍්‍ර වූ ගීතයක්? නිලාර් එම්. කාසිම් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්....... 

විහඟ ගීතය ලියපු කාල පරිච්ඡේදයේදි තමයි මේ ගීතයත් ලියවෙන්නේ. අසංග ප‍්‍රියමන්ත ගේ ගී එකතුවකට මේ ගීතය සහ පැහැසර අරුණක කියන ගීත ද්විත්වයම එකවර තමයි ලබා දෙන්නේ. 

මම සාමාන්‍ය මුස්ලිම් සමාජයෙන් එන කෙනෙක්. නමුත් සිංහල සමාජය හෝ සිංහල සංස්කෘතිය කවදාවත් මට ආගන්තුක වුණේ නැහැ. කවදාවත් මගේ හිතේ ජාතිවාදය හෝ ආගම් වාදය හෝ ඒ ගෝත‍්‍රවාදී හැඟීම් තිබුණේ නැහැ. එවන් ඕනෑම ආකාරයක අන්තවාදයක් පිළිබඳ මා තුළ තියෙන්නේ පිළිකුල් සහගත විරෝධයක්. එතකොට මම මේ ගීතය තුළ මතු කරන්නේ ජාති කුල ආගම් පටු මතවාද දෑ කුල සිරිත් අභියෝගයක් වුණා කියලා හුදෙක් අඬා වැලපිලා ඒ හමුවේ පරාජය වීම විතරක්ද පේ‍්‍රමයකට කරන්න තියෙන්නේ. පේ‍්‍රමය ඊට වඩා උත්කෘෂ්ට වෙන්නේ නැද්ද කියන කාරණාව. මේ ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ සමන්ත පෙරේරා. ඒ කාලේ ඔහුත් ආධුනිකයි. මමත් ආධුනිකයි. නමුත් ආධුනික නිර්මාණ ශිල්පීන් විදිහට අපි එකතුවෙලා කරපු ඒ නිර්මාණ කටයුත්ත අතිශය සාර්ථකත්වයට පත්වුණා. මාලිනී බුලත්සිංහල සහ අසංග ප‍්‍රියමන්ත පීරිස් ගේ කට හඬින් ඒක ජීවමාන වීම තුළ මං හිතන්නේ අදටත් එදා වගේම මේ ගීතය ජනප‍්‍රියයි.


(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...