Tuesday, September 29, 2020

වියෝ වූ පසුවයි ...

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්..

හැඩූදා කඳුලයි දකින්නේ

සිනාවේ සරදම්...//


ඉවුරු දෑලේ හිද බැලූ විට

ගඟ හැඩයි කදිමයි..

දියට වන් විට එවන් ගගුලම

බිහිසුනුයි චණ්ඩයි..


වියෝ වූ පසුවයි...


හඳක් නැති දා අහස් තලයට

තරුව දෙයි සැනසුම්..

පුන් පොහෝදා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්..


වියෝ වූ පසුවයි...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බන්දුල නානායක්කාරවසම්

සංගීතය - රෝහණ වීරසිංහ


"වියෝ වූ පසුවයි" ගීතයට සම්බන්ධ පසුබිම බන්දුල නානායක්කාරවසම් මහතා විස්තර කරමින්..

මම රිච්මන්ඩ් එකේ අවුරුදු එකොළහමාරක් ඉඳලා අවුරුදු එක හමාරක් මට දික්වැල්ලේ විජිත මධ්‍ය මහා විද්‍යාලයට යන්න වුණා. ඒක මගේ විශාල ජීවිත පරිවර්තනයක් වුණා. විජිතේ ප‍්‍රධාන ශිෂ්‍ය නායක වෙනකං මං ආවා ඉතා කෙටි කලකින්. ලංකාවේ ප‍්‍රථමයා වුණා රචනා තරගවල. සාහිත්‍ය තරගවල. විජිතේ පුදුම සමගියක් තිබුණා. හැබැයි වියෝ වූ පසුවයි කියන්නේ මගේ අත්දැකීමකට වැඩිය අද ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, විජිතෙට ගියාම මට හම්බවුණ රැග් එකෙන් මාව බේරගත්ත මගේ මිතුරකු ගේ අත්දැකීමක්.

මගේ ඒ මිත‍්‍රයාගේ විශාල පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා පන්තියේ හිටපු දීප්තිමත්ම ශිෂ්‍යාව එක්ක. ඒ පේ‍්‍රමය කොච්චර ද කියනවා නං මගේ යාළුවා රස්සාවකට ගියා උසස් පෙළ අතහැරලා දාලා ඈ වෙනුවෙන්. ඈට උගන්වන්න. නමුත් ඇය ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේදී මගේ මිතුරාට කියනවා තවත් විශ්වවිද්‍යාලයට එන්න එපා ඇයව බලන්න කියලා. ඒක මහ විශාල කම්පනයක්. දවසක් ඔහු ගාල්ලේ අපේ ගෙදරට ආවා. මට නිකං දැනුනේ ඔහු ජීවිතේ නැතිකරගන්න හදන තත්ත්වෙක හිටියා කියලා. එතකොට මං අපේ ගෙදර පිටිපස්සේ කුඹුරු යායකට මුහුණලා මිදුලේ පුටුවක් තියාගෙන ලිය ලිය හිටියේ. එතකොට සිකුරු තරුව පායාලා තිබුණා මගේ මිතුරා මේ කතාව කියද්දී. අම්මා තේ, හකුරු ගෙනාවා. මේ සිකුරු තරුව අහසට හඳ ආවම පේන්නේ නෑ. මගේ මිත‍්‍රයට වුණෙත් ඒකයි. මගේ මිත‍්‍රයාගේ දරා ගත නොහැකි පේ‍්‍රම සම්බන්ධය තමයි වියෝ වූ පසුවයි ගීතයට ප‍්‍රස්තුතය වුණේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...