Wednesday, November 18, 2020

එගොඩ ගොඩේ මල් නෙලනා ...

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ

මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ

එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ

නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ


දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා

දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා

ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා

පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා

මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා


කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා

පැදුරු වියා ලස්සන රටා මවනවා

අඳුර මකා හවසට හඳ පායනවා

සොඳුර නිසා ගමටම කිරි උතුරනවා

ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා


ගී පද - රවී රණසිංහ 

සංගීතය - මිල්රෝයි ධර්මරත්න 

ගායනය - පෝල් ප්‍රනාන්දු


ගී පදරචක රවී රණසිංහ මෙම ගීතයට පසුබිම පැහැදිලි කරමින්....


"ගොළු හදවත විවර කරන්න" ගීතයට පෙරාතුව පෝල් ප්‍රනාන්දුට නිර්මාණය කර දුන්නේ ‘මල් එතනෝ’ ගීතයයි. සැබැවින්ම මේ ගීතය පෝල්ගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් කිව්වොත් ඒක වඩා නිවැරැදියි.

පෝල් මගේ හැකියාව දැනගෙන හිටියා. ඔහු නිතරම ‘ගැමි’ ශෛලියට ගීතයක් හදලා දෙන්න කියලා මට කියනවා. දවසක් අපි යාළුවෝ කට්ටිය එක්ක ඉන්න වෙලාවක කටුබැද්දේ මල්ලිකා හෝටලයේදී මම මේසෙට තට්ටු කරමින් මේ ගීතය කිව්වා. ඒක අහපු පෝල් එකපාරටම කිව්වා "අන්න මචං මට ඕනෑ සිංදුව" කියලයි. මේසෙට තට්ටු කරමින් පෝල්ට එදාම මම ඒ ගීතය පුහුණු කළා. පස්සේ ගීතය පටිගත කළා. පුදුම විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ‘බයිලා කුමාරයා’ හැටියට ප්‍රසිද්ධ වෙලා ඉඳපු පෝල්ගේ ගායන ශෛලිය එහෙම පිටින්ම කනපිට හැර වූ ගීතය එයයි

මේ ගීතයට පසුබිම් වූ "මල් එතනා" මගේ හදේ ඇඳුණු රුවක්. හැබැයි පුංචි අත්දැකීමක් අනුසාරයෙන් තමයි මේ ගීතය මගේ අතින් රචනා වෙන්නේ. එක්තරා අවස්ථාවකදී මම ගියා ඥාතියකුගේ තුන් මාසේ දානෙකට අම්බලන්ගොඩ පැත්තේ. දවස් කිහිපයක් මම එහේ නතර වෙලා හිටියා. ඒ පැත්තේ අය නාන්න යන්නේ වැවට. වැවේ ඕලු මල් පිරිලා, හරිම සුන්දරයි. දවසක් අපි කොල්ලෝ හතර පස් දෙනෙක් වැවට ගිහින් නාගෙන එද්දී, රේල් පාර දිගේ ගෑනු ළමයි කට්ටියක් නාලා යනවා. චීත්ත, හැට්ට ඇඳගෙන, උකුළු මුකුළු කරමින්, හරි සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඔවුන් ගියේ. මෙන්න මේ පුංචි සිදුවීම තමයි මට ‘මල් එතනෝ’ ගීතය ලියන්න පාදක වුණේ.


(උපුටා ගැනීම - සරසවිය පුවත්පත)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...