Monday, September 14, 2020

පානම් පත්තුවේ ...

පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය

ගමේ අයට නම් ගජමන් නෝනාය

කවි කර කියන්නේ දෑහින් දුටු දේය

වට වන්දනාවෙදි නඩයම දුටුදේය


වඳිනට ගිය කළට නුවරට දළදාව

ගමේ “චන්ඩි ස්ටැන්ලි” ද සිටියාය

යාළු නිළමේලා දොර හැර දුන්නාය

ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය


හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය

කතරගමට අපි යහතින් ආවාය

සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව

සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය


සිරිමහ බෝධියට ගියදා උදයේම

කාර් ගොඩක් ආවා එක එක පාට

තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව

ඒ මහතුන රන්වැට පැන වැන්දාය

ගායනය - නන්දා මාලිනී පදරචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ඔස්ටින් මුණසිංහ 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය විරෝධාකල්ප ගී රචනා අතුරින් "පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය" ගීතය ගැන අදහස් දක්වමින්.. 

අපි සමාජ අසාධාරණය ගැන බොහෝවිට කතා කරනවා. ලිපි ලියනවා. මැතිවරණයක් කිට්ටු වෙනකොට හැමදෙනා ගේම කටේ තියෙන්නේ සමාජ අසාධාරණය ගැන. හැම කෙනෙක්ම එන්නේ සමාජ අසාධාරණය නැති කරන්න. නමුත් කවදාවත් මේ අසාධාරණය නැතිවෙන්නේ නෑ. මේ පීඩනය අපිට තියෙනවා. බැලූ බැලූ අත අපට දකින්න ලැබෙන්නේ මොනයම් හෝ අසාධාරණයකින් සිත් වේදනා කරන දර්ශන. ඉතිං මට හිතුනා නූගත් ගැමි ගැහැණියකගේ ඇසින් කිව්වොත් වඩාත් රසිකයන්ට ශ‍්‍රාවකයන්ට මේක දැනෙයි කියලා. මං මේ සඳහා තෝරා ගත්තේ ගැමි ගැහැනියක්. ඇය තමයි ඩිංගිරි අම්මා. ඇයට මං ආරෝපණය කරා ගජමන් නෝනගේ සහ රංචාගොඩ ළමයාගේ කවි කලාව. සමාජ අසාධාරණයට ලක් වෙච්ච සමාජ සංස්ථා ඕනෑතරම් තියෙනවා. එයින් එක් අංශුවක් තමයි මේ ගීතයෙන් විදහා දැක්වෙන්නේ. 

මේ හැමදෙයක්ම මම ඇහින් දැකපු දේවල්. මම දළදා මාලිගාවට යනකොට වරප‍්‍රසාද ලත් පුද්ගලයින් ගිහිල්ලා අනිත් අය පෝලිමේ ඉඳිද්දි දළදා වඳිනවා. ශ‍්‍රී මහ බෝධියට යන්න උපාසක අම්මලා පොරකද්දී වරප‍්‍රසාද ලත් අය ගිහිල්ලා රන් වැටෙනුත් ඇතුළට ගිහිල්ලා නළල තියලා ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මත සිවුරුත් පූජා කරනවා. කතරගම ගියත් එහෙමයි. මේකේ තියෙන්නේ සීයේ කොළ. මේ අවුරුදු ගාණකට ඉස්සරනේ. තවමත් ඒ සම්ප‍්‍රදායේ කිසි වෙනසක් වෙලා නෑ. දාහේ කොළේ තියෙනවා නං ඒ පූජා වට්ටිය තමයි මුලින්ම ඇතුළට යන්නේ. ඉතිං මේවා මොන තරම් හිත රිදුම් දෙන දේවල්ද? ඒ දේවල් තමයි මම මේ ඩිංගිරි අම්මා නමැති ගැමි ගැහැනියගේ මුවට නංවලා ඉදිරිපත් කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ ගීතය ඔය විරෝධාකල්ප කියන ගීත සම්ප‍්‍රදාය, ඒ ගීතවලට අකමැති අය පවා කැමැත්තක් ඇති වුණ ගීතයක්. ඒකට හේතුව මේ තුළින් ධ්වනිත වන ගැමි ස්වරය කියලා මට හිතෙනවා. ඒකට බෙහෙවින් බලපෑවා ඔස්ටින් මුණසිංහගේ තනුව සහ නන්දා මාලිනීගේ ගායනය. ඉතිං මේ ගීතයේ අත්දැකීම් මං හිතන්නේ මට විතරක් නෙමෙයි මේ රටේ හැම කෙනෙක්ම හැමදාමත් ලබන අත්දැකීම්. දළදා මාලිගාවට ගියොත්, ශ‍්‍රී මහා බෝධියට ගියොත්, කතරගමට ගියොත්, ඒ අය හැමදාමත් මේ අත්දැකීම දකිනවා, විඳිනවා. ඒකෙන් තමන්ගේ හදවතේ එක කොණක් රිද්දවා ගන්නවා. මං හිතන්නේ ඒක තමයි මේ ගීතයේ අත්දැකීම බවට පත්වෙලා තියෙන්නේ.

(උපුටා ගැනීම - දිවයින)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...