Friday, September 4, 2020

පින් මන්ද රංග භූමියේ ...

පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී

නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ


වැදි රජ සමගින් අවසැඟ

මනමේ කුමරිට රැවටුණ //

මනමෙ කුමරා මමයි නංගියේ

ධනුදර වුණාට ඉහත සංදියේ

ධනුදර වුණාට ඉහත සංදියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ...

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට

වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //

තිරය මෑත් කරන වංගියේ

අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ

අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ


පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී

නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ ///

ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද

පද රචනය - වසන්ත දුක්ගන්නාරාල

අපූරු ගීත රචනා හාරසියයකට වැඩි ගීත සංචිතයක හිමිකරු වන ඔහු ප‍්‍රවීණ ගීත රචක වසන්ත දුක්ගන්නාරාළ මේ ගීතයේ පසුබිම සම්බන්ධයෙන් පැහැදිලි කරමින්. 

ඔබට මතකද ඉස්කෝලේ, ඩෙස්ක් එකේ කවි කුරුටු ගාපු කාලේ? 

ඒක මං මට අවුරුදු දොළහ, දහතුන පිරෙනකොටම කරපු දෙයක්. ඉස්කෝලේ අටේ පංතියේ විතර ඉන්නකොට ඩෙස්ක් එකේ කවි කුරුටු ගානවා. මිශ‍්‍ර පාසලක මං ඉගෙනගත්තේ. ඉන්නෙත් පිටිපස්සෙම පේළියේ. දවසක් ඩෙස්ක් එකේ කුරුටු ගගා ඉන්න අතරේ කොළ කෑල්ලක කවියක් ලියලා එහා පැත්තේ හිටපු ගෑනු ළමයකුට දුන්නා. ඒ ගෑනු ළමයා ඒක ටීචර්ට දුන්නා. ටීචර්ගෙන් ඒක ප‍්‍රින්සිපල්ටත් ගිහිල්ලා. ඒ කාලේ හැටියට ඒ වගේ දෙයක් කරන එක ලොකු වැරැද්දක් බවට පත්වෙලා, මට ලොකු දඬුවමක් ලැබුණා. 

ඉන්පස්සෙත් කවි ලිව්වද? 

ඊට පස්සේ ටික කාලෙකට මං කවි ලියන්න ගියේ නෑ. ඔහොම ඉඳලා නවයේ පංතියේ අන්තිම වගේ වෙනකොට මං ආයේ කවියක් ලියලා දුන්නා. 

එකම කෙනාටද? 

ඔව් ඔව් දෙවැනි සැරෙත් දුන්නේ එකම කෙනාට. හැබැයි ඒක ටීචර්ට ගියෙත් නෑ; ප‍්‍රින්සිපල්ට ගියෙත් නෑ; හැමෝම නිහඬ වුණා. ඒක එච්චරයි. අපි ලොකු වෙලා උසස්පෙළට යනවා. ඇය එක විෂය ධාරාවක යනවා. මං වෙන විෂය ධාරාවක යනවා. අවුරුදු ගාණකට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා. ඇය වෙනත් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කළා. පෙර කියූ කවි කතාව යොවුන් වියේ ආපු සිතුවිල්ලක් විතරක් වෙලා. මම දුක්ගන්නාරාල වෙලා ජීවිතවල ඉස්සරහට යනවා. පසු කාලයේ අපේ ඉස්කෝලේ තෑගි බෙදාදීමේ උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා හැටියට මට ආරාධනා ලැබිලා මං ගියා. එදා ? අපේ ආදි ශිෂ්‍ය එකතුවකුත් පැවැත්වුණා. ඒකට ඉතිං හැම තැනම විසිරිලා ඉන්න අය ආවා. පොඩි කාලේ දැක්ක අය ඊට පස්සේ හම්බෙන්නේ එදාට. ඉතිං එදා අර කවිය ලියපු ගෑනු ළමයත් ඇවිල්ලා හිටියා. හැබැයි ඇය විවාහවෙලා මාව ඔහුටත් අඳුන්වලා දීලා නික්ම යනකොට මට කොළ කෑල්ලක් දීලා ගියා. පොඩි කොටු රූල් කොළයක්. මේක දැන් කියවන්න එපා; ගිහිල්ලා කියවන්න කියලා තමයි ඒ කොළ කෑල්ල ඇය මට දුන්නේ. මං බෝඩිමට ගිහිං බලපුවාම මගේම අත් අකුරු. මම අර නවයේ පන්තියේදී ඇයට ලියලා දීපු කවි කොළ කෑල්ල ඇය මට ආපහු දීලා. 

මොනවද ඒ කොටුරූල් කොළ කෑල්ලේ ලියලා තිබුණේ? 

දුනු කඩු මොටදැයි පේ‍්‍රමෙට, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස, ඔන්න ඔහොම තව මොනවද හෑල්ලක් ලියලා මං තිබ්බා. අවුරුදු පහළොවකට විස්සකට විතර පස්සේ තමයි ඇයගෙන් මට ඒ කොළ කෑල්ල ආපිට ලැබුණේ. 

ඒ කවියේ වචන ඔබේ පළවෙනි ගීතයේත් තිබෙනවා නේද?

 ඒ වචනත් අරගෙන මං පසුව කවියක් ලිව්වා. ගීත රචනයක් හැටියට නෙවෙයි. අපේ කාලේ අපි ‘දිවයින’ ඇතුළු හැම පත්තරේටම කවි ලියනවා. දවසක් ඒ කවිය මං අතේ තියන් ඉන්නකොට අපේ මිතුරා මංජුල වෙඩිවර්ධන කිව්වා, මචං මේකේ සිංදු ගතියක් තියෙනවා කියලා. එතකොට සිංදු එකක් දෙකක් ලියලා තිබ්බට මං ජනප‍්‍රිය වෙලා නැහැ. පස්සේ මං හිතුවා මේක ගීතයක් කරන්න. ඒ ලියවුණු ගීතය පින් මන්ද රංග භූමියේ, පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිටවෙලා ගියේ, මං සිංහයාට බයයි නංගියේ. අර කවියේ කෑල්ලකුත් ගන්නවා මං මේකට. දුනු කඩු මොටදැයි පේ‍්‍රමෙට, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස කියලා. ඉතිං මේක තමයි මගේ ජනප‍්‍රිය මට්ටමට ආව පළවෙනි ගීතය. 

මේ ජනප‍්‍රිය ගීතයේ තනුව සේනානායක වේරලියද්ද මහත්මයාගේ? 

මං ඒ ගීතය ලියලා වේරලියද්දට දුන්නා. ඒ කාලේ මං වේදිකා නාට්‍ය කෙරුවනේ. මේ වගේ දෙයක් ලියැවෙන්නෙත් ඒකයි. වේදිකාවේ තියෙන අත්දැකීමුයි ඔක්කොමත් එක්ක. අසම්මත පේ‍්‍රමයක් හැටියට ලියවුණේ. ඒ කියන්නේ අපිට හමුවෙන්නේ නැති පෙම්වතුන් දෙදෙනෙක් කියන හැඟීම ඒකෙ තිබ්බේ. වේරලියද්දට ගීතය දීලා දවස් දෙකකට විතර පස්සේ ජෝන් ද සිල්වා එකේ නාට්‍ය දර්ශනයකට මම මේක් අප් කර කර ඉන්න ගමන් වේරලියද්ද කෝල් එකක් දීලා ඇහුවා මගෙන් කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා ජෝන් ද සිල්වා එකේ ඉන්නේ කියලා. එතකොට වේරලියද්දත් ජෝන් ද සිල්වා එකේ ඉඳන් තමයි මට කෝල් කරලා තිබුණේ. මොකද ඔහු රාජ්‍ය නැටුම් කණ්ඩායමේ. එතකොට ඔවුන් නවාතැන් ගෙන තිබුණේ ඒ පරිශ‍්‍රයේමයි. මං මේ කොට්ටම්බා ගහ යට ඉන්නේ පොඞ්ඩක් එන්නකෝ කිව්වා. සර්පිනාවත් තියන් ඉන්නවා මං යද්දී. දෙවැනි මහින්ද නාට්‍යයේ රඟපාන්න මං ඇඳගෙනම ගියා ඔහු ළඟට. ඒ ගමන අරකට මාරු මෙලඩියක් වැටුණා මචං කියලා ගහලා පෙන්නුවම, ඕක තමයි ඒ සිංදුව. ඒක ඉතිං බොහොම ජනප‍්‍රිය වුණා.

(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)










නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...