Monday, October 12, 2020

සියාතුවේ මා මිතුරේ ...

සියාතුවේ මා මිතුරේ //

අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //

සියාතුවේ මා මිතුරේ

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්

ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්

වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්

දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

සියාතුවේ...

හඞලා කුමටද මිතුරේ සියාතුවේ

හැමදා මුව රැල වාගේ සිටිනු නොහේ

ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ

ගලනා දිය අපි හැමටයි සියාතුවේ

සියාතුවේ...

ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - වසන්ත කුමාර කොබවක 

සංගීතය - රෝහණ වීරසිංහ 

සුනිල් එදිරිසිංහයන් ගයන "සියාතුවේ මා මිතුරේ" ගීතයට පසුබිම් වූ හේතුව වසන්ත කුමාර කොබවකයන් පැහැදිලි කරමින්......

විශ්වවිද්‍යාල ජීවිතෙන් පස්සේ ගුරු වෘත්තීය අවුරුදු එකහමාරක් වගේ සුළු කාලයක් කරපු මම හිතේ ආසාවට රාජ්‍ය දැව සංස්ථාවේ වෘත්තියක් තෝරා ගත්තා. එතැනදී රාජ්‍ය දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කරන ලද ව්‍යාපෘතියකට අපිව කැඳවා ගත්ත. මේ කැඳවීම ලද අය එතකොට විවාහ ජීවිතයට ඇතුල් වෙලත් නැති තරුණයෝ. අපි හය දෙනෙක් හිටියා. ඒ ව්‍යාපෘතියේ මුල්ම අවස්ථාවේදී අපිට යන්න වුණේ මඩකලපු, පොලොන්නරුව, අම්පාර, මොනරාගල වගේ ඈත පැතිවල ස්වභාවික වනාන්තරවල පිළිබඳ සමීක්ෂණ කටයුතුවලට. ඉතිං අපි දුර බැහැර ගිහිල්ලා සමහර වෙලාවට කඳවුරුවල එහෙම නැත්නම් අපි හොයාගත්ත තාවකාලික නිවහනක තමයි නතරවෙලා දිනපතා අපි කැලෑවලට යන්නේ. නිල වාහනයේ ගිහිං නතර කරලා එතනින් පස්සේ අපි පයින් යන්න ඕන. ඔහොම යනකොට අපි ගෙනියන වතුර ප‍්‍රමාණය සහ කෑම ඉවරවෙනවා. වතුර ගොඩක් ඔසවාගෙන යන්නත් බෑ හුඟක් දුර. ඒ වෙලාවට අපි ගැමි ගොවි ගෙදරකින් හරි පිරිසුදු ජලය තියෙන තැනකින් හරි තමයි ජලය සපයා ගන්නේ.

මෙහෙම එක වතාවක අපි ඈත ගොවි බිම් හරහා ගිහිං ආපහු එනකොට ගෙනිච්ච වතුර ඉවරවෙලා කට්ටියම බොහොම පිපාසයෙන් හිටියේ. වතුරත් හොයාගෙන කැලෙන් එළියට ආවම අපි වැටුණේ වැවක් පාමුල තියෙන පොඩි හේන් යායකට. ඒ හේන් යායට ආසන්නව කුඹුරක් තිබුණා. හොඳටම වියළි කාලය නිසා සරු සාරව තිබිච්ච හේන් යායත්, කුඹුරු යායත් කරවෙලා ගිහිං තිබුණා. නමුත් උඩින් පේන්නේ වැවක්. අපි ඒ ගොවි ගෙදරට ගියාම පොඩි ළමයි එළියේ සෙල්ලම් කර කර හිටියා. ගැමි, ගොවි ලියක් එළියට ආවා. බොහොම දරිද්‍රතාවයෙන් දුක්බර ජීවිතයක් ගත කරන බව පෙනුනා ඔවුන්. අපි වතුර හොයාගෙන ආවා කිව්වහම ඒ කාන්තාව විපිළිසර වෙලා මං දිහා බලලා කිව්වා මහත්තයෝ ගෙදර ඇත්තෝ තව ටිකකින් එයි කියලා. ඇය හයියෙන් කෑ ගැහුවා ඇහුනද එන්න, මේ මහත්තයලා කට්ටියක් ඇවිල්ලා කියලා. අපි බලං හිටියා දැන් ගොවි මහත්තයා එනකං. බැලූවහම අනේ එක කකුලක් නැහැ. මං හිතන්නේ මාරු වැලකට හරි වෙඩිල්ලකට හරි අහුවෙලා වෙන්න ඇති, කිහිලිකරුවකින් ඔහු ආවා. අපි වතුර ගැන ඇහුවහම ඉන්න මහත්තයෝ වතුර ටිකක් දුරින් ගේන්න ඕන කියලා කිව්වා. 

ඊට පස්සේ මේ තනි කකුලෙන් යන මනුස්සයට කියලා වතුර ගෙන්නන්නෙ කොහොමද? අපි ඇහුවා වැව එහායින් පෙනෙද්දී වතුර හිඟය මොකද කියලා. අනේ මහත්තයෝ ඔහොම තමයි වතුර මෙහෙ බෙදා හරින විදිහ. අපි ඉතිං දෙස් දෙවොල් තිය තියා කන්නලව් කරනවා. ඒ වුණාට අපිට ඉතිං වතුර ලබන්නේ නෑ හරියකට කියලා ඔහු කිව්වා. ඔය සිද්ධිය අපිව හරියට සසල කළා. අපි එනකොටත් කතා කර කර ආවේ මේ වගේ අහිංසක ගොවි ජනතාව, ජල කළමනාකරණයේ තියෙන අඩුපාඩු සහ මේ ප‍්‍රශ්නය නිසා මොනතරම් විදිහට හුදකලා වෙනවද දුක් විඳිනවද කියලා. සරුසාරව වවන්න පුළුවන් ගොවිබිම් කොයිතරම් නිකං විනාශ වෙලා යනවද. අපි අහලා තියෙනවනේ අටු කොටු පිරුණේ වැව්වලින් ආපු දියවරෙන් කියලා. ඒ වැවම තමයි මේ අදටත් තියෙන්නේ. නමුත් අද නිසි කළමනාකරණයක් නැතිකම සහ ගොවියන්ගේ ඒ අඬහැරය නිලධාරීන්ට දැනෙන්නේ නැති එකයි ප‍්‍රශ්නේ. ඉතිං මෙතන කොතන හරි අවනඩුවක් තියෙනවා. ඒ සිද්ධිය හරියට මගේ හිතේ තිබුණා. පොඩි කාලේ කතා පොත්වල අපි දැකලා තියෙනවා සියාතු කියලා ගොවියන්ගේ නම. ඉතිං මං එතනින්මයි පටන් ගත්තේ ගීතය ලියන්න. රෝහණ වීරසිංහයන් මේ ගීතයට කොතරම් ආත්ම ගත වුණාද කියනව නං ගොවියන්ගේ අඬහැරය සියාතුවේ මා මිතුරේ කියන තැන පසුබිමින් ඇසෙන අඬහැර ආකාරය සුනිල් එදිරිසිංහයන් එක්ක සමගාමී වෙමින් ගායනා කරන්නෙත් රෝහණ වීරසිංහයන්. සමාජ යථාර්ථය ගැන මා අතින් ලියැවුණු ගීත අතර මා ඉතාම කැමති ගීතයක් සියාතුවේ. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...