Tuesday, October 6, 2020

කවිකාරියේ ...

කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා //


දෙකනේ රිදී තෝඩු ලා

නළලේ කොකුම් පාට ලා

වීණා වයා තාලෙටා

කවි ගී අසා ආවේ මා


වීණා වයා කවි ගී ගයා

අපි යන්නේ රුපියල් සොයා


කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා


හිඟමන් නොයා මාවතේ

මහදේ රැ‍ඳෙන් රූපිකා

සසරේ ගෙනා ආදරේ

අඳුරයි ඔබේ දෝතටා


දෙවි සාමිනේ මංදා අනේ

සිත මාගේ චංචල වෙලා


කවිකාරියේ

සිංදු කියනා ළඳේ

නුඹදෝ රැහේ කෝකිලා

මගෙ පාඩුවේ

යන්ට යනවා ඔහේ

අනේ ස්වාමී

හැන්දෑ වෙලා //


ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර

සංගීතය - මහින්ද බණ්ඩාර

ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ


"කවිකාරියේ සින්දු කියනා ලඳේ" ගීතයට පසුබිම් වූ ප්‍රස්තුතය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් පැහැදිලි කරමින්.........

කීර්ති පැස්කුවෙල්ගේ හුඟක් ගීත මම ලියපුවා. ඒ කාලේ අපේ පානදුරේ ගෙවල් කිට්ටුව හරස් පාරක ගාඩි රැහේ අය ඇවිත් වාඩිලා ගෙන හිටියා. ඉතිං එතන ඉන්නවා, සුදු පාට ලස්සන නෙමෙයි, තලෙළු පැත්තෙනුත් කළු පැත්තට බර යුවතියක්. ඇය පොල් කටු වීනාව ගගහා ඔතන සිංදු කියනවා. හැන්දෑවට එහෙ මෙහෙ යනවා. මේ හුඟක් ඉස්සර. ඉතිං ඇය මා එක්ක කතා කරනවා බයෙන් බයෙන්. මට පේ‍්‍රමණීය හැඟීමක් පහළ වෙලා තිබුණේ නැහැ ඇය පිළිබඳ. නමුත් අතනින් යනකොට අර ඇය ගයන ගී අහගෙන ඉඳලා යන්න කැමැත්තක් තිබුණා. 

දවසක් දා හම්බවෙච්ච වෙලාවේ එක පාරටම ඉඳන් කිව්වා ‘සාමි අපි හෙට යනවයි’ කියලා. එතකොටයි මං දැනගත්තේ මේ ගොල්ලෝ සුමානයකට වැඩිය ඉන්නේ නෑයි කියලා. එතන කුකුලෝ එළුවෝ ඔක්කොමත් එක්ක ඉන්නේ ඔවුන්. හැබැයි හරි සුන්දරයි මේ යුවතිය. මේ සිදුවීම මගේ ඔලූවේ තිබුණා. දවසක් දා මහින්ද බණ්ඩාර කීර්තිටයි ධම්මිකාටයි ගීතයක් ලියන්න කියලා මෙලඩි එකක් මට දුන්නා. ඒ මෙලඩි එක අහනකොටම මට හිතුනේ ඒකට ගැලපෙයි කියලා අර සිද්ධිය. ඉතිං ඒ වෙලාවේ තමයි ලිව්වේ කවිකාරියේ සිංදු කියනා ළඳේ. ඉතාම ජනප‍්‍රිය වුණා. 


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)




මා වවුලන් රෑ පුරාම ...

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා

මං එනතුරු හඬා වැටෙද්දී

නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ

හොල්මන් ගැන කතා කියද්දී

මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා


මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා

මී ගස් යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිඳින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

පද රචනය - කුලරත්න ආරියවංශ

තනුව - රෝහණ වීරසිංහ


අමරදේවයන්ගේ ”මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා” ගීතය රචනා කිරීමට පසුබිම් කාරණය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්...... 

ගමක තනිවෙච්ච අයියා කෙනෙක්ගේ ශෝකී හැඟීම් තමයි ඔය ගීතයේ තියෙන්නේ. අපේ මහ ගෙවල්වලට උඩින් තිබුණා කුරුඳු කැලෑවක්. අපිත් යාලූවෝ එක්ක යනවා දන් හිඹුටු කඩන්න. පස්සේ කාලෙක යනකොට බෙදලා දීලා තිබුණා ඉඩ කඩන් එළි කරලා කට්ටියට ඒ කැලෑව. දවසක් පරණ පුරුද්දට උඩහට කැලේට ගියාම මම දැක්කා එක ගෙදරක ඉන්නවා වයසක අයියා කෙනෙක් තනියම නිකං ගේ කෑල්ලක් අටෝගෙන. බැලූවම දැන් තනියම ඉන්නේ අම්මා තාත්තා නැතිවෙලා. මෙයා මේ හුදකලාවේ ඉන්නේ. මට පස්සේ නිකං හිතුනා ඒ චරිතය මම උනා නං මොකද වෙන්නේ කියලා. ඊළඟට දවසක් ඔය කුරුඳු කැලේ යනකොට අපේ මල්ලිව මග ඇරිලා මට මතකයි එහෙම සිදුවීමක්. ඔන්න ඔය අතීත සිදුවීම් කිහිපයක් එක්ක තමයි ඔය ගීතය ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)





ඇති දේ ඇති සැටියෙන් ...

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ //


පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ


පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ

දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ //


ඉඳ හිටි හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ


ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ

දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ //


සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..

කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..


ගායනය - ලක්ෂ්මන් විජේසේකර

සංගීතය - රෝහණ වීරසිංහ

ගී පද - වසන්ත කුමාර කොබවක


”ඇති දේ ලොව ඇති සැටියෙන්” ගීතය පිළිබඳව වසන්ත කුමාර කොබවක අදහස් දක්වමින්....

මම හැත්තෑව දශකයේ තමයි ගුවන්විදුලි ගීත රචනයට පෙළඹුනේ. ඉතිං ඒ කාලේ අපි ආධුනිකයෝ විදියට ගුවන් විදුලියට යනවා එනවා. ඒ කාලේ මට ජ්‍යෙෂ්ඨයින්, උගතුන් රාශියක් මුණ ගැහෙනවා. ඒ අතරින් පේ‍්‍රමකීර්ති ද අල්විස් කියන ජ්‍යෙෂ්ඨ ගීත රචකයට මම ඉතාමත්ම ආදරය වුණේ නිවේදන හැකියාව, මාධ්‍යවේදියෙක් හැටියට සහ ගීත රචනා ලෝකයේදී අමුතුම ආකාරයේ ප‍්‍රස්තුත තෝරාගෙන කටයුතු කිරීම, මටත් ආභාසයක් ලබා ගන්න පුළුවන් වූ රචකයෙක් සහ ශරීරයෙන් ඉතා කුඩා වුණාට ලියූ දේ ඉතාමත්ම ප‍්‍රබල කෙනෙක් වූ නිසා. ඔහු ඒ දවස්වල අපිව දැක්කහම හිනාවෙලා කොහොමද මල්ලි කියාගෙන යනවා. දවසක් මට මතකයි කව්රුහරි මාව ඔහුට අඳුන්වලා දුන්නහම එතුමා ”හොඳට ලියාපන්” කියන එක විතරයි කිව්වේ. එදා ඒ වචනය මට විවරණ දුන්නා වගේ. 

මෙහෙම කාලයක් ගත වෙද්දී එක දවසක උදේ මම මගේ අලූත් වෘත්තියට, රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තියට යන්න ලෑස්ති වෙනකොට, ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරවාරයේ කිව්වා නාඳුනන තුවක්කුකරුවකු විසින් පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාව ඝාතනය කරලා කියලා. පළවෙනි දවස නිසා එදා මං වෘත්තියට යන්න ඕන හින්දා ගියත් මං හැකි ඉක්මනින්ම ඇවිල්ලා හෝමාගම කටුවාන පාරේ පේ‍්‍රමකීර්ති අයියගේ ගෙදර හොයාගෙන ගියා. ප‍්‍රවීණයෝ ගණනාවක් ඇවිත් තිබුණා. ඒ කාලේ භීෂණය කියන එක තිබිච්ච මහ භයානක කාලයක්. එදා පේ‍්‍රමකීර්ති මහත්මයාගේ ආදාහනය අවසන් වුණාට පස්සේ මට මහා තනිකමක් වගේ දෙයක් දැනුනා. හරියට අපිට හිටිය පවුලේ ජ්‍යෙෂ්ඨ සොහොයුරෙක් නැතිවුණා වගේ. 

ඒ වගේම සිද්ධියක් වුණා අපි හුඟක් ආදරය කරපු විජය කුමාරතුංග රංගධරයා ගේ වියෝ වීම. මට මතකයි කොළඹ මහා දිග පෝලිම් තිබුණා එතුමාට අන්තිම ආචාරය දක්වන්න. එතුමා එක්ක මට කතා කරන්න හම්බවෙලා තියෙන්නේ එකම එක වතාවයි. මේ සිද්ධි දෙකම මට හරියට බලපෑවා, අපේ කලා ක්ෂේත‍්‍රයන් බොහොම සුවඳවත් කරන්න හිරු සඳු වගේ එහෙම නැත්නම් මල් වගේ ඉන්න හොඳ මිනිසුන් නේද මේ අපේ ලෝකෙන් උදුරා ගන්නේ කියලා. ඔය සංසිද්ධීන් ඔහොම හිතේ තිබෙද්දී දවසක් ලක්ෂ්මන් විජේසේකර මට කිව්වා එයා වැඩිපුරම ගායනා කරලා තියෙන්නේ පේ‍්‍රම ගීත නිසා වෙනත් ගීතයක් ලියන්න කියලා. ලක්ෂ්මන් විජේසේකරගේ ඇරයුමත් එක්ක මගේ හිතේ කැකෑරෙමින් තිබ්බ ඒ ශෝකය පාළුව සහ ඒ වියෝවීම් පිළිබඳ සිතුවිලි තමයි පද මාලාවක් විදිහට ලියවුණේ. මේ ගීතය ලිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. රෝහණ හොඳටම දන්නවා සමාජ යථාර්ථය පිළිබඳව ලියැවෙන ගීවලට තනු යෙදීමේදී ගීතයේ ආත්මය හොඳට විග‍්‍රහ කරලා තේරුම් අරගෙන තනු නිර්මාණය කරන්න. 

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...