Thursday, July 16, 2020

එන්න මදනලේ ...

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා
මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
ආ….. ආ….. ආ…..
සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
එන්න මදනලේ….. එන්න මදනලේ

කරුණාරත්න අබේසේකරයන්ගේ කවිත්වය මතුවු ප්‍රබල අවස්ථාව වූයේ තම ජීවිත පොතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ තමාට ඉරානි හේරත් නම් යුවතිය පෙම් බැඳි සමයයි. අනන්ත අප්‍රමාණ බාධක බිඳ දා ජයගත් ලස්සන මේ පෙම් කතාවේ ඇතැම් තැන් අරාබි නිසොල්ලාසයේ එන කතාවක් මෙන් අත්භූතය. ඇතැම් තැන් සුරංගනා කතාවක් මෙන් සුන්දරය. මීට වසර 60කට පමණ එපිට සිදුවූ ඒ අත්දැකීම ඉරානි මහත්මිය විස්තර කළේ මෙසේය.

“කරු මට ආදරය කරන්න ඉස්සර වෙලයි මම කරුට ආදරය කළේ. ඒ එයාගේ කටහඬය. ඔහු ගුවන් විදුලියෙන් කතා කළ හැම වෙලාවෙම මට නොදැනිම වාගේ මගේ දෙසවන් ඒ හඬට ඇදී ගියා. කරු පුවත්පත් වලට ලියු කවිත් ගායක ගායිකාවන්ට රචනා කර දුන් ගීතත් මට දැනුණේ මටම ලියූ ඒවා වගෙ. මම එදා එහෙම කරු ගැන සිහින මවද්දී ඔහු මා ගැන හාන්කවිසියක්වත් දැන හිටියේ නැහැ. කරු ගැන මට තිබුණු ඇල්ම මගේ යෙහෙළියන් කීප දෙනෙක් දැන සිටියා. මමයි, මගේ යෙහෙළියන් හයදෙනෙකුයි කිසිම ආරාධනයක් නැතිව එකල ජනප්‍රිය ගායක යුවළ වූ චිත්‍රා සහ සෝමපාලගේ මංගල උත්සවයට ගියේ නිසැකව කරුව හමුවන බලාපොරොත්තුවෙන්. මගේ එක් යෙහෙළියක් කරු ළඟට ගොස් තමා විසින්ම තමන් හඳුන්වා දී අනතුරුව ඔහු අප සිටි මේසය ළඟට කැඳවාගෙන ආවේ වදෙන් පොරෙන්.

“මේ ඉන්නේ ඉරාණි හේරත්. අපි හය දෙනාටම පෙම්වතුන් ඉන්නවා. මෙයාට විතරයි එහෙම කෙනෙක් නැත්තේ. ඔයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවද? කරු මගේ මිතුරියගේ ප්‍රශ්නයට තිගැස්සුණා” ඉරාණි මහත්මිය කීවාය.

කරු නිරුත්තරව ඉරාණි දිහා බලා සිටියේය. යහළුවන් හය දෙනා සටන එතැනින් නොනැවැත්වීය. ඉරාණිව කරු ළඟ වාඩි කළ මිතුරිය ඒ දෙදෙනා කමින් සිටි අයිස් ක්‍රීම් කප් දෙකක් මාරු කළාය. එදා ඉරාණි නිවසට ගියේ දහසක් හැඟුම් පැතුම් පොදි බැඳ ගෙන. ඉරානිගේ මිතුරියෝ ගුවන් විදුලියේ කරුගේ ටෙලිෆොන් අංකයට කතා කොට කතා කිරීමට අවස්ථාව සළසා දුන්හ. “කරු හා ඉරාණි”ගේ ආදරය ආරම්භ වුවත් එයට දෙපැත්තේම දෙමාපියන්ට ආරංචි වී තහංචි පැණ විණ. “අපි මියෙනතුරුම එකට ඉමු” ඔවුන් කතිකා කර ගත්හ. වැඩිම විරෝධය ආවේ ඉරාණිගේ පැත්තෙනි. පාසලින් අස් කරගත් ඇයට ගුවන් විදුලිය ඇසීමට තහනම් විය. මිතුරියන් ඇසුර ද තහනම් විය. ඉරාණි ධනවත් තරුණියක් වූවාය.

“මම එකවර දහස් වරක් මිය යන්න ඇති. කොටින්ම මම සිරකාරියක් හැටියට ජීවත් වුණේ” ඉරාණි මහත්මිය කීවාය.

මේ අතර කරු ජීවිතයේ වේදනාවන්ගෙන් මිරිකී සිටි අවස්ථාවක ඉරාණි වෙනුවෙන් ගීතයක් ලියා තිලකසිරි ප්‍රනාන්දු ලවා තනුවක් නිර්මාණය කොට ඔහු ලවා ගායනා කොට තම විරහා වේදනාව ප්‍රකාශ කළේය. (මේ ගීතය පසුව රෝහණ සිරිවර්ධන ද ගයා තැටිගත කොට ඇත).

මං හිතුවා මේ ගීතයේ මොකක් හරි සුවිශේෂත්වයක් ඇති කියලා. ඒක හරියටම හරි. අවසානයේදී නිවේදකයා කිව්වා ඒ ගීය කරුණාරත්න අබේසේකර විසින් රචනා කළා කියලා. කරු එදා ඔහුගේ දුක මට කිව්වේ ඒ ගීතයෙන්. ඇත්තටම ඔහු කාරුණික උණු වෙන හදවතක් තියෙන මහත්මයෙක්. ඒ වගේමයි ඔහුගේ පවුලේ අයත් මට තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේම සෙනෙහසක් දැක්වූවා. 

මේ ගීතය කරු සැළකුවේ තම ජීවිතයේ ලියු හොඳම ගීතය ලෙසය. ඉරාණිගේ දෙමාපියන් තම අනාගත බෑණා ලෙස සැළසුම් කර තිබු ධනවත් තරුණයාද සමග කතරගම යාමටය. එහෙත් මේ ගමනින් වැළකී සිටීමට ඉරාණි සමත් වුයේ තම බාප්පා හා පුංචි අම්මාගේ ආරක්ෂාව තිබු නිසාය. ඔවුන්ගේ සහාය ඇතිව ඉරාණි, කරු සමග විවාහ වුයේ ඔවුන්ට හැම අතින්ම උපකාර කළ ස්ටැන්ලි වීරසිංහ හා ජිනප්‍රේමටත් නොකියාය.

“කරු මගෙන් එක ඉල්ලීමක් කළා එදා.” රාණි මගේ ජීවිතයේ හුඟක් දේවල් දෙමාපියන් හා සහෝදරයන් වෙනුවෙන් මම පරිත්‍යාග කරලයි තියෙන්නේ. ඉතුරු අඩ ඔයා වෙනුවෙන් පරිත්‍යාග කරනවා. හැබැයි ඔයා කවදාවත් ඒ අයට වෙනස්කම් කරන්න එපා” කියලා. මම ඒක අකුරටම ඉටු කළා” ඉරාණි මහත්මිය පැවැසුවාය.

අපේ ගෙදරින් විරුද්ධ වුණත් 1959 නොවැම්බර් 30 වැනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී අපි විවාහ දිවියට එළැඹුණ.



මා සනසා ...

මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා //
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ

මා සනසා මා නළවා...

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා //
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී

මා සනසා මා නළවා...

ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
ගී පද : කේ ඩී කේ ධර්මවර්ධන

කේ.ඩී.කේ ධර්මවර්ධන ශූරීන් සිංහල භාෂාවේ අලංකාර පද යෙදූ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. අප ආදරණීය මර්වින් පෙරේරා විසින් ගායනා කරනු ලබන මෙම ගීතයේ සංගීතය පුන්‍යසිරි මහවත්ත මහතා විසිනි. 

ස්ත්‍රිය, මධුවිත, රාත්‍රිය, සංගීතය එක්වූ තැන පවතින සුන්දරත්වය විග්‍රහ කරන පුරුෂයකු එම අවස්ථාව ඉදිරිපත් කිරීම මෙමෙ ගීතය හරහා ගෙනහැර දක්වයි.

මා සනසා.. මා නළවා..
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා..
හදේ ලැගුම් අයැදියි..

ඔහුව සනසාලමින්, නළවාලමින්, හදවතේ නවාතැන් විමසන්නේ සුරංගනාවියකි. ඇය එතරම් සුන්දර ලෙසින් ඔහුට පෙනේ.

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා...
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා..
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා..
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ..

විතක් යනු කල්පනාව හෝ තර්කය යන අදහස ගන්වයි. නමුත් මෙහිදී විතක් යනුවෙන් යොදනුයේ "විත්" යන්න අර්ථ ගැන්වීමට විය යුතුය. විත් යනු රා බොන බඳුනයි. මෙහිදී මධුවිත පානය කරන බඳුන යන්න අර්ථ ගැන්වේ. බඳුන පිරෙන්නට රසවත් මත් පැන් පුරවා ඇය ඔහු වෙත රැගෙන එන්නේ සුරන් පවා රවටමිනි. සුරන් යනු සුරාවට අධිපති වූ දෙවියන්ය. ඉන්පසු ඇසකින් ඉඟිකොට (එම ඉඟිකිරීම ඔහුට ඇය ඇසින් කරන නැටුමක් වැනිය ) ඔහුගේ මුව වෙත ලංකරයි.

ඇයගෙ ඇසක් ඉඟිමරා, සිනාසී කරනා පණිවිඩ ( හසුන් ) ඔහු මුලාවට ( මුස ) පත්කරනවා දැයි ඔහු සිතයි. ඒ එසේ නම් ඔහුගේ ඇය කෙරෙහි වූ රාගික හැඟීම් වල බලපෑම බව ඔහු විශ්වාස කරයි. කෙසේ නමුත් ඔහු සඳුන් සිහිල පිරි සිහින ලොවක පාවෙනවා මෙන් ඔහුට දැනේ.

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා..
යලිත් එනතුරා සුරංගී හිඳිමි මග බලා..
හෙටත් සඳ උදාවේ රැයත් පැමිණිලා..
සිහින ළොවට යාවී..සුරඹ මා සොයාවී..

රාත්‍රිය ගෙවී යමින් පවතී, එමෙන්ම ඇයගේ රාගී වූ දෙතොල් (ලවන්) ද ඔහුගේ චුම්බනයෙන් වෙහෙසී ඇත. මෙහිදී සුරංගී යන යෙදුම "සුර අඟන" එනම් දිව්‍ය අංගනාව හෝ අලංකාරව රංගනයේ යෙදෙන්නිය (සු = යහපත් රංගී = රංගනයේ යෙදෙන්නිය ) යන අරුත දනවන්නට යෙදීමක් විය යුතුය. මෙය නියම සිංහල භාෂාවේ යෙදෙන සුරංගී යන අරුත නොවේ.

ඔහු හෙට දිනත් මෙලෙසින්ම ගෙවීමට පෙරුම් පුරමින් සිටී. පසුදින රාත්‍රිය සඳ කැන්දාන එනතුරු ඔහු බලා සිටී. ඒ අන් කිසිවක් සඳහා නොව ඔහුගේ දෙවඟන (සුරඹ) හා සිහින ලොවට පාවී යාමටය.

(උපුටා ගැනීම - ගී පොතයි මීවිතයි)



සක්මන් කරන මළුව පාළුයි දේවි ...

දස්කොන් ප්‍රමිලා පෙම් පුවත..

ප්‍රංශ ජාතික අද්මිරාල් වරයෙකු වූ "ලාහේ" නම් නැව් පතියා තම පිරිස සමඟ ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොඩ බසින්නේ වර්ෂ 1672 දීය. මේ ගමන අතර තුරදී ඔවුන්ට ලන්දේසීන් සමග සටන් කීපයකටම මුහුණ දීමට සිදුවන අතර ඒ සෑම සටනක්ම ජයගනිමින් තමයි ඔවුන් ලංකාද්වීපයට ගොඩ බසින්නේ. ඔවුන් ගොඩ බට පුවත එවක මහනුවර රාජධානියේ රජකල දෙවන රාජසිංහ රජුට සැලවන අතර රජුගෙන් ඔවුන්ට හිමි වන්නේ ඉහල පිලි ගැනීමක්. හේතුව වූයේ ඒ වන විට රාජසිංහ රජුගේද ප්‍රධාන සතුරන් වී සිටියේ ලන්දේසීන් වීමයි. 

රාජසිංහ රජුගේ ආදර සංග්‍රහ විඳිමින් ටික කලක් ගතවූ පසු එම පිරිස නැවත තම මව් රටට යාමට සූදානම් වනවා. නමුත් මෙම කණ්ඩායමෙහි දෙවන නිළධාරියා ලෙස කටයුතු කල "ගැස්කොන්" ලංකාවේ නැවතීමට තීරණය කරනවා. රජුගෙන්ද එයට විරුද්ධතාවයක් නොවූ හෙයින් කලකට පසු ඔහු පෘතුගීසි කාන්තාවක් වූ "නෙස්ක්‍රිඤ්ඤා" සමඟ විවාහ වී මහනුවර පදිංචි වෙනවා. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවෙකු ලැබෙන අතර ඔහුට "පේද්රූ ගැස්කොන්" යන නාමය තබනවා. දරුවා කුඩා කල පටන්ම ඔහුගේ දෙමාපියන් විසින් ඔහුව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන අතර දෙවන රාජසිංහ රජුගේ පුත් කුමරා වූ නරේන්ද්‍රසිංහ කුමාරයාද ඒ වන විට පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටිනවා. තම පියවරුන්ගේ තිබෙන හිතවත් කම මතත් එකම පිරිවෙනක ඉගෙනුම ලබන නිසාත් මේ දෙදෙනා ඉතාමත් හොඳ මිතුරන් බවට පත් වෙනවා.

කාලයාගේ ඇවෑමෙන් දෙවන රාජසිංහ රජු අභාවප්‍රාප්ත වන අතර හිස්වූ රජ කිරුළ නරේන්ද්‍රසිංහ කුමරුට හිමි විය යුතු වුවත් එයට කන්ද උඩරට බොහොමයක් රදල වරු කැමති වෙන්නේ නෑ. ඔවුන් කුමාරයාට විරුද්ධව කැරැල්ලක් ඇති කරන අතර කුමාරයා වනයට පලාගොස් සැඟවෙනවා. එසේ සිටින ගමන් සේනා සංවිධානය කරන කුමරුට තනි නොතනියට හා සහයට ලඟින්ම හිටියේ ඔහුගේ මිතුරා වූ "ගැස්කොන්". පසුව තම සේනාවන්ද සමඟ සන්නද්ධව පැමිණි නරේන්ද්‍රසිංහ කුමරු 1707 දී උඩරට රාජ්‍ය බලය තමන් සතු කර ගන්නවා. ඔහු කිරුළු පළදින්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින්. කළගුන අමතක නොකල රජු සිංහල ප්‍රධානීන්ගේ දැඩි අකමැත්ත මත වුවත් තම හිත මිතුරු ගැස්කොන් ට මහාධිකාරම ධූරය පිරිණමනවා. කාලයාගේ ඇවෑමෙන් ගැස්කොන් නාමය දස්කොන් බවට පත් වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ භාවිතයේ පහසුව පිණිසයි.

නරේන්ද්‍රසිංහ රජු කෙලිලොල් ජීවිතයකට හුරු පුරුදුව සිටියා. සුරාවට සහ ස්ත්‍රීන්ට දැඩි කැමැත්තක් දැක්වූ ඔහුට සෙංකඩගලට අමතරව කුණ්ඩසාලේ සහ හඟුරන්කෙත ද මාළිගා තිබුනා. වර්ෂ 1708 දී ඉන්දියාවෙන් ගෙන්වාගත් නායක්කාර් වංශික කුමරියක වූ ප්‍රමිලා බිසව සිටියේ හඟුරන්කෙත මාළිගාවෙහිය. ඇය කවි ලිවීමෙහි නිපුන තාවයක් පෙන්නුවා. පිරිවෙන් අධ්‍යාපනයක් ලැබූ දස්කොන්ට ද කවි ලිවීමෙහි හා කීමෙහි මනා හැකියාවක් තිබුනා. මේ හේතුව නිසාම දෙදෙනා අතර සමීප ඇසුරක් ගොඩ නැගෙනවා ප්‍රමිලා හඟුරන්කෙතත් රජු සෙංකඩගලත් වීම මෙයට තවත් එක් හේතුවක් වුනා විය හැකියි.

දස්කොන් විසින් ප්‍රමිලාට පළමුව යොමුකලා යැයි සැලකෙන කවිය

රන් මාලය පැළඳාගෙන ගෙල සුවි පුල්ලා
ඉන් ආලය වඩයි මගෙ හිත නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුනත් උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා ගුල්ලා

එයට ප්‍රමිලාගෙන් ලැබෙන පිලිතුර වූයේ

යන්නෝ මෙ මඟ රෑ දහවල් තොර වෙද්ද
බොන්නෝ මෙ මඟ දිය බොර කරලා බොද්ද
දෙන්නෝ පහස ගෙට අඩගහලා දෙද්ද
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද..

(බිසවගේ කාමරයෙහි දොරට මිණි ගෙඩියක් ගැට ගසා තබන්නේ කිසිවකු විසින් හෝ දොර අරියි නම් එය දැන ගැනීමටයි)

මෙසේ ප්‍රමිලාගේ අවසරය ලැබුනු නිසා දෙදෙනා හැකි සෑම විටකම රිසිසේ පෙම් සුව විඳින්නට වුනා. 

තවත් කලක් ගතවන විට හදිසියේම ප්‍රමිලාට යම් හඳුනාගත නොහැකි අසනීපයක් වැලඳෙන අතර ඉන් සුව වීමට නම් ශාන්තිකර්මයක් කල යුතු බව පැවසෙනවා. ඒ සඳහා ප්‍රමිලාගේ ජීවමාන ප්‍රමාණයේ මැටි බලි රූපයක් ඇඹීමට අවශ්‍ය වන අතර එම කාර්‍යය අති දක්ෂ මූර්ති ශිල්පියෙකුට පැවරෙනවා. ඔහු විසින් ඉතා මනරම් ලෙස ප්‍රතිමාව නිර්මාණය කරන අතර එහි අධික්ෂණ කටයුතු භාර වූ දස්කොන්ට එහි යම්කිසි අඩුවක් දකින්න ලැබෙනවා. ඒ ප්‍රමිලාගේ කලවයෙහි වූ උපන් ලපයයි. මූර්ති ශිල්පියා ඇමතූ ඔහු නියම ස්ථානයේ ඔහු ලවා ඇගේ උපන් ලපය අන්දවනවා. දැන් සියල්ල සූධානම්. මහ රජු පැමිණ පිළිමය දැක ඉතා සතුටට පත්වන අතර ක්ෂණයකින් ඔහුගේ ඇස යන්නේ ඇගේ කලවයෙහි වූ උපන් ලපයටයි. ඔහු හැර තව කිසිවෙක් ප්‍රමිලාගේ උපන් ලපය දුටුවේ කෙසේද.. මූර්ති ශිල්පියාගෙන් කරුණු විමසීමේදී හෙලි වන්නේ දස්කොන් අධිකාරම ගේ උපදෙස් මත එය ඇන්ද බවයි. ඒ ඔස්සේ පරීක්ෂණ කරන රජුට දැන ගැනීමට ලැබෙන්නේ ඇය සහ දස්කොන් අතර කිට්ටු සම්බන්ධයක් තිබී ඇති බවයි. රජුගේ අණින් වහාම දස්කොන් අධිකාරම සිරගත කරන අතර හිස් වන පුරප්පාඩුවට ලෙව්කේ රාල පත් කරනවා. 

සිරගතව සිටින දස්කොන් තම නිවැරදි භාවය විස්තර කොට "නෝක්කාඩු මාලය" නම් වූ කවි සංග්‍රහයක් ලියා එය ලෙව්කේ රාල හරහා රජුට එවූ නමුත් ලෙව්කේ රාල එය රජුට භාර දෙන්නේ නෑ. තම නිවැරදි භාවය ඔප්පු කිරීමට දස්කොන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා අයුරු දකින රජු ඒ ගැන උරණ වී බෝගම්බරදි ඔහුගේ හිස ගසා දැමීමට නියම කරනවා. එසේ ඔහුව දණ්ගෙඩියට ගෙන යන අතර ප්‍රමිලා විසින් පවසන්නේ

සක්මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද
දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද..

එයට පිළිතුරු දෙන දස්කොන්

විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මහිස් එකක් දීනම් නුඹෙ නමට කිමා

(එකල රාවණා නම් වූ රජුන් සීතාවන්ගේ පහස නොලබා ඇය නිසා ඔහුට තම ඔළු දහයම (රාවණා ට ඔළු දහයක් තිබූ බව ඇතැම් කතාවල සඳහන්‍ ය) පුදන්නට වුනා නම් ඔබගේ පහස උපරිමයෙන් විඳි මා මගේ එකම එක හිස ඔබ වෙනුවෙන් පිදුවාට කුමක් වේද..)

ලෙස පවසා කිසිදු බියකින් තොරව මරණයට මුහුණ දුන් බව පැවසේ. පසුව ප්‍රමිලාද නියඟලා අල ආහාරයට ගෙන තම ජීවිතය නැතිකර ගත් බවත් සඳහන් ය.

දස්කොන් ප්‍රමිලා පෙම් පුවත ඇසුරින් ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් අතින් නිම වූ මේ පද පෙල ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේ සමගින් සමිතා එරන්දතී මුදුන්කොටුව යි. තනුව සහ සංගීතය විශරද ගුණදාස කපුගේ ගූරීන්ගෙනි.

සක්මන් කරන මළුව පාළුයි දේවි
මං විතරයි ඔබ කිසි දිනක නො ඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී බිඳෙන්නේ //
රන්තරු දෑස පියන රෑ සඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

සක්මන් කරන මළුව ... //

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කදුළු මට සිහි නොවුනේ //
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ 
මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව... //



මිදුලේ සුදු වැලි තලයේ ...

මිදුලේ සුදු වැලිතලයේ මිරිවැඩි සඟලක සලකුණු ගීතය රචනා කළ ප්‍රේමරත්න පළිහවඩන මහතා එම ගීතයට පසුබිම් වූ කරුණු මෙසේ පවසා ඇත.

හැන්දෑවට පොල් අතු රටාවට අමදින ලද සුදුවැලි මිදුල හරිම සිරියාවන්තය. මිදුල දෙපස මල් පාත්තිවලට වතුර දැමූ පසු කොළවල හා මල් වල රැඳුනු රිදී දිය බිඳු ප්‍රසන්න හැඟුමි හද තුල පුරවයි. මෝදු වෙමින් පවතින සුවඳ පුරවාගත් සේපාලිකා පොහොට්ටු දැනටමත් පිපී සුවඳ විහිදන රතු, කහ, දම් පැහැති හෙන්දිරික්කා මල් දෙස ඉරිසියාවෙන් බලා හිඳී.  මේ සන්සුන් පරිසරයත්, සුදු වැලි මිදුලත් මා හද නිවා සනසවයි.

එහෙත් එක් දිනයක මේ සුන්දර සුදු වැලි මිදුල මා හද කැළඹූ හැටි තවමත් සිහිවෙයි. මෙවන් රුදුරු හා සොඳුරු අත්දැකීමක් ඔබත් යම් දිනයක විඳ ඇතැයි මා සිතමි.

මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි සඟළක සළකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ

මා නිවසේ නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ

බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරුද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ
මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සළකුණු කාගෙද මන්දා

අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩ වැදුනා
මගෙ නෙත සිත ගත වෙහෙසූ රහස හෙළි වුනා
මගේ පාවහන් පළඳා
සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනා මතුවුනා
එවන් සිනා මල් දුටු සඳ වෙහෙස දුරු වුනා

පද රචනය - ප්‍රේමරත්න පළිහවඩන
තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා මහතාගේ සරල ගී වැඩසටහනකට ගීතයක් රචනා කර දෙන මෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔහු මට ලබා දුන් කාලය එක් දිනයකි. එක් සැදෑවක මුණ ගැසුණු විට ඔහු කියා සිටියේ හෙට හැන්දෑවේ ගීතය ලියා ගෙනැවිත් දෙන ලෙසය. මාද ඉල්ලීම භාර ගතිමි.

එදින නිවසට එද්දී අම්මා සුදු වැලි මිදුලේ මවන පොල් අතු රටාව මත මිරිවැඩි සළකුණු රැසක් ඒ මේ අත විසිර තිබුණි.  මිදුල අතුගෑවාටත් පසුව කවුරුන් ආවාදැයි යන සැකය, සංකාව මුසු සිතුවිල්ලෙන් හා විමසිල්ලෙන් ගෙට ඇතුළු වූ මා දුටුවේ, අයියා ගේ පුංචි පුතා මගේ සපත්තු දාගෙන අද්ද අද්දා ඇවිදින අන්දමයි.  මා දුටු ඔහු සපත්තු ඒ මේ අතදමාකිරි දත් වලින් සිනා නඟමින් දුව ඇවිත් මගේ සාක්කු බලා ටොපි සොයන්නට විය.

ඇඟපත සෝදා මිදුලේ සේපාලිකා ගස යට බංකුවේ හිඳගත් පසු හෙන්රි කල්දේරා මහතාගේ ඉල්ලීම සිහි විය. මිදුලෙහි ඇඳි මිරි වැඩි සළකුණු සිහිවිය.  ඉන් පසු පදපේලි නිවී සැනසිල්ලේ ගලා ගලා අවුත් හදවතේ සටහන් විය. පසුදා උදයේ සේවයට යන විට බස් රථයේදී එම පද පේලි කොළයක සටහන් විය.

මෙම ගීතය බෙහෙවින් ජනප්‍රිය වූ අවදියේ එක්තරා ගුවන් විදුලි නාලිකාවක මෙම ගීතය පිළිබඳ සාකච්ඡාවක් විය.  එය අහම්බෙන් මාහට ද එය අසන්නට ලැබුණි.  විශ්ව විද්‍යාලයක එක්තරා මහාචාර්ය වරයෙක් මෙම ගීතය පිළිබඳව තම අදහස් පවසමින් කියා සිටියේ ජාතක සාහිත්‍යයේ, පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ එන ඇතැම් ස්ර්‍ත්‍රීන් තම ස්වාමි පුරුෂයන් රවටා වෙනත් පුරුෂයන් ඇසුරු කිරීම පිළිබඳ ප්‍රබන්ධයන් ආශ්‍රය කරමින්, විශේෂයෙන්ම අන්ධභූත ජාතකය ඇසුරු කරමින් ගීත රචකයා මෙම නිර්මාණය කරන්නට ඇති බවය. මෙය ඇසූ මමද මොහොතකට අන්ධභූත විය. ගීතය ලියැවුනේ පොඩි එකා ලොකු සපත්තු දාගෙන ඇවිදිම නිසාය. ඒ බව නොදත් මහාචාර්යතුමා ගීතය රචනා වූ ආකාරය පිළිබඳව සිතූ හැටි ආහ්ලාද ජනකය.

ගීතයට මුල් වූ පොඩි එකා දැන් ලොකු මිනිසෙකි. තැනින් තැන කෙස් ගස්ද සුදු වී ඇත.  හතළිස් ඇඳිරිය නිසා උපැස් යුවළක් ද ඉඳහිට පළඳී. ඔහුට ද පුතුන් දෙදෙනෙකි. වසර තිස් හතකට පමණ පෙර මෙම ගීත පදමාලාවට ජීවය ලබා දුන් හෙන්රි කල්දේරා මහතා ද අප අතරින් සමුගෙන ඇත.  එහෙත් ගීතය තවමත් ජීවත් වෙයි.



මුළු ලොව මගෙන් අසාවී ...

මුළු ලොව මගෙන් අසාවී - මහාචාර්ය සනත් නන්දසිරි 

ආදරය කරන කාලෙ. අපි දෙන්නා ජීවිතේ ගත කළේ කොයිතරම් සුන්දර විදිහටද, ඔයාට මාත්, මට ඔයාවත් නැතුවම බැරි වුණා. අපි නිතරම හමු වුණා. එක විනාඩියක්‌ මට ඔයා නොදැක ඉන්න බැරි වුණා. ඔයාටත් එහෙමයි. ඒ තරමට අපි දෙන්නා අපි දෙන්නට ආදරේ කළා. අපේ මේ අවංක ආදරේ. ලෝකයට රහසක්‌ වුණේ නෑ. අපි දෙන්නා ආදර්ශවත් පෙම් යුවළක්‌ බවයි ලෝකයා කිව්වේ.

අපි දෙන්නා එකට එකතු වුණා. කසාද බැන්දා. පෙම්වතුන් අඹු සැමියන් වුණා. ආදරේ තව තවත් වැඩි වුණා. අපි දෙන්නා ආදර්ශවත් පවුල් ජීවිතයක්‌ ගත කරනවා කියලා ඉන් පස්‌සේ ලෝකයා කියන්න ගත්තා. ඔයාට මාවත්, මට ඔයාවත් අපි දෙන්නටම අපි දෙන්නව ආඩම්බරයක්‌ වුණා. ඔයා ගැන ලෝකයේ අය මගෙන් අහද්දී. මම හරිම උත්තර දුන්නේ හරිම උද්දාමයෙන්. ඒත්,

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ...
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඒත් අද මගෙන් හැම කෙනෙක්‌ම ඔයා ගැන අහනවා මට දෙන්න උත්තරයක්‌ නැහැ. මම මොනවද කියන්නේ. ලෝකයා විතරක්‌ ද මගේ හිතත් මගෙන් අහනවා ඔයා ගැන. දෙවියනේ  මමවත් දන්නේ නෑ. ඔයාට මොනවද වුණේ.

මේ ගීය ගයන්නේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි තනුවත් සංගීතයත් ඔහුගේ. ගීයේ පද රචකයා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර. ශෝකී රසයක්‌ උපද්දන ගීයක්‌. සංයෝගයත් වියෝගයත් දෙකම එකට එකතුවුණු නිර්මාණයක්‌. මේ ප්‍රණීත් ගීත රචනය ගැන දැක්‌වූ අදහස.

"මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌. මේ වගේ අදහස්‌ තියෙන ගීයක්‌ ලියා දෙන්න කියලා සනත් නන්දසිරි සහෘදයා ඉල්ලීමක්‌ කළා. ඇත්තටම ගීතයේ මුල් වචන ටික ඒ කියන්නේ "මුළු ලොව මගෙන් අසාවී" කියන පද ටික මට කිව්වේ සනත් අයියා. මම ගීය ලියුවා. මේක අත්දැකීමක්‌ නම් නොවේ. සිතිවිල්ලක්‌. රෙකෝඩ් කරන්න සුළු මොහොතකට කලින් ලියෑවුණු ගීයක්‌.

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා මාව දාලා ගිහින්. විශ්වාස කරන්න පුලුවන්ද. අපි දෙන්නගේ ආදරේ ආදර්ශයක්‌ කරගත්තු ලෝකයා විශ්වාස කරයිද. ඔයා මාව දාලා ගියා කියලා. නෑ මගේ හදවත වේදනාවෙන් පුරවලා ඔයා ඉවත ගියා කියල මම කීව්වොත් කිසිම කෙනෙක්‌ විශ්වාස කරන එකක්‌ නෑ. මා අතහැරලා ඔයා ගියා. මට දුකක්‌ නෑ කියලා මම කිව්වොත් නෑ ඒත් කිසිවකු විශ්වාස කරන එකක්‌ නෑ. ඔවුන් කියාවි ඇත්තටම මම ඉන්නේ දුකෙන් කියලා.. ඒ තරමට මම ඔයාට ආදරේ කළ බව ඒ අය දන්නවා. මගේ හදවතේ තවමත් ඔයා කෙරෙහි ආදරයක්‌ ඉතිරිවෙලා තියෙනවා. කියලා මම කිව්වොත්. ලෝකයා මට මොනව කියයිද.

මේ ගීය ගසල් ශෛලියට නෑකම් කියනවා. ප්‍රණීත් වචන ටික මට ලියලා දුන්නා. කිසියම් කෙනෙක්‌ වෙන් වුණාට පස්‌සේ දෙදෙනාගේ සබඳකම හොඳින්ම දැනගෙන සිටි ලෝකයා වෙන්වීම ගැන දන්නේ නෑ. පෙම්වතාගෙන් අහනවා පෙම්වතිය ගැන. ඔහු දෙන උත්තරේ මොකක්‌ද මේක තමයි ගීයෙන් කියෑවෙන්නේ. මහාචාර්ය සනත් නන්දසිරි ගීය ගැන එසේ පැවසුවා.

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔයා ගැන මම ලෝකයාට කිව්වත් නොකිව්වත්. ඒ අය කවදා හරි දැන ගනීවි ඔයා මාව දාලා ගියා කියලා. ආදර්ශවත් පෙම් යුවළ ආදර්ශවත් අඹු සැමියන් දැන් වෙන්වෙලා කියලා මිනිසුන් අපිට හිනා වෙයි. ඔයා වැරදි නැහැ... මමයි වැරදි කියලා මම ඒ අයට කියන්නම්. මම හිතන්නේ නෑ. ඔවුන් එය විශ්වාස කරයි කියලා. ඒ අය එක එක කතා හදයි. ඔයා ආයෙත් මා ළඟට එන්න එහෙම ආවොත් ලෝකයා දොස්‌ කියන්නත් පුළුවන් දොස්‌ නොකියන්නත් පුළුවන්. කුමක්‌ කියයිද කියා හිතන්නවත් බෑ.

සරල පදමාලාවක්‌ වුවත් එහි ගැබ්ව තිබෙන අදහස සත්‍යයක්‌. සමාජය අනෙකා දෙස බලා සිටින අයුරු තවකෙකුගේ ජීවිතයට සමාජය එබිකම් කර බලන අයුරු ඒ නිසාම තීන්දු තීරණ ගත නොහැකිව උභතෝකෝටිකව සිතන අයුරු මේ ගීයෙන් කියනවා.

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි 
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි 
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද පෙමින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

ගායනය :- සංගිත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය :- මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව :- සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි



පිවිතුරුය.. පළමු පෙම..

පිවිතුරුය.. පළමු පෙම..
බිහිසුණුය.. බිඳුණු දින..
ලෙන්ගතුය.. සුවඳ ඔබ.. සුදු හාමිනේ..
තනිකඩය.. තවම මම... //

වස්සාන කාලයක හිත දවා..
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා..
මල් යාය බඹර ගී හඬ තලා..
කැකුළු පෙම මල් නටුව හැර ගියා..

පිවිතුරුය පළමු පෙම......

කප්තුරට යදම් බැඳි තටු සලා..
සක්මනට නුහුරු සිත තනි කළා..
අවර ගිර තරු වැටින් ගිලිහිලා..
සුභ නැකත රන් හුයක පැටලුනා..

පිවිතුරුය පළමු පෙම......

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

ප්‍රථම ප්‍රේමය පිලිබද අත්දැකීම සියල්ලන්ටම පොදු නමුත් එයින් ජය ගන්නෝ දුබල වෙති. ඒ කෙසේ වෙතත් එම ආදර මතක අප හදවත් තුල නොමැකෙන සංවේදීතාවක් ඇති කරයි.

ඒ අනුව ප්‍රථම ප්‍රේමය පිලිබද ලියවුණු ජනප්‍රිය ගීතයක පසුබිම සොයන්නට අප තීරණය කලා. ගීතය පිටුපස ඇති අපූරු කථාවක් අපට හමුවුනේ ඔය විදියටයි.

මේ ගීතය රචනා කලේ සුනිල් ආර් ගමගේ. ඔහු ලියු ගීත ගණනාවක් තියෙනවා. කවිය ඔබ ගීතයත් ඔහුගේ අපූරු නිර්මාණයක්. ඉතින් අපි සුනිල් ගේ වදන් වලින්ම ඔහුගේ අත්දැකීමට සවන් දෙමු.

ඇත්තෙන්ම මේ ගීතය පසුබිමේ ඉතා සංවේදී සත්‍ය සිදුවීමක් තිබෙනවා. මා හදුනන අවිවාහක යුවලක් සිටිනවා. ඔවුන් දැන් හැටවන වියත් ඉක්මවා ගිය අය. ඔවුනට තම ප්‍රේමය ජයගෙන ජීවන ගමනේදී එක්වීමට ඉඩක් නොලැබුණත් තවමත් එකිනෙකා කෙරෙහි ඇති වූ ඉතාම දැඩි සෙනෙහයක් තියෙනවා" ඔහු කතා බහට මුල පිරුවා.

පිවිතුරුය පළමු පෙම’ ගීතය ලියැවී ඇත්තේ තරුණ වියේ ආදරය කර එය විවාහයෙන් මල් පල ගැන්විය නොහැකිව අවිවාහකව සිට විශ්‍රාම ගියාට පසුවත් යළි පෙම් දමින් වෙළුණු යුවළක් කේන්ද්‍ර කරගෙන. ගීත රචක සුනිල් ආර්. ගමගේ එම අත්දැකීම බෙදාහදා ගන්නේ මේ ආකාරයෙන්.

“ඉතින් මම මේ අපූර්ව ප්‍රේමවන්තයන් දෙදෙනාගේ චර්යා නිරීක්ෂණය කරන්න පෙළඹුණා. ඔවුන් දෙදෙනා විශ්‍රාම වැටුප් අර‍ෙගන ටවුමේ අවන්හලට ගොඩවැදිලා කාලා බීලා ඊළඟට යන්නේ සමනල උයනට. එතැන බංකුවක වාඩි වෙලා බොහෝ වේලා කතා කරමින් සිටිනවා. මොන තරම් සුන්දර මිතුරු කමක්ද? බැඳීමක්ද? ඔවුන් අතර තියෙන්නේ කියලා මට පුදුමත් හිතුණා. ඉතින් එසේ කාලය ගත කරලා ඔවුන් බස් රථයෙන් තම තමන්ගේ ගෙවල්වලට යන්න පිටත් වෙනවා. එක දවසක් හොඳටම වැස්ස. කාන්තාව ජීවත් වුණේ යක්කලමුල්ලේ.

මේ කුඩේ ඔයා අරගෙන යන්නකො. යක්කලමුල්ලට වහින්නෙ නෑ.” ඇය කියනවා මට ඇහුණා.

“නෑ, නෑ එහාට වහිනව ඇති. ඔයා කුඩේ අරගෙන යන්න. මට නොතෙමී ඉන්න පුළුවන්.” ඔහු එහෙම කියනවා ඇහුණා. ඉතින් මේ යුවල දැන් විශ්‍රාමික ගුරුවරුන්. යොවුන් වියේදී ඔවුන් හද උපන් ආදරය අදටත් එලෙසමයි.

මේ සියල්ල නිරීක්ෂණය කරලා මගේ හිතේ ලොකු කම්පනයක් ඇති වුණා. ආදරයේ පුදුම චමත්කාරය මොවුන් දෙදෙනා විඳි හැටි.

මේ කතාව මුලින්ම දැන ගත්තාම මා තුල දැඩි කම්පනයක් ඇති උනා. දිනක් අවන්හලකදී මට මේ දෙදෙනා මුන ගැසුනා. ඔවුන්ගේ විවාහයට වැඩිහිටියන් එකග වී නෑ. එනිසාම ඒ අය තීරණය කලාලු මැරෙන තුරුම අවිවාහකව ඒත් ආදරයෙන් ජීවත් වෙන්න.

අපේ සමාජයේ බොහෝ දෙනා ආදරය හදුනන්නේ නෑ. ආදරයයි ඔව්න් හදුන්වන්නේ ආත්මාර්ථකාමී ව්‍යාජ හැගීම් මාලාවක් පමණි. ඒත් සියලු බාධක මැද නොසැලී පැවති මෙවන් සෙනෙහසක අරුමය මා නෙතට කදුලක් ගෙන ආවා.

ගීතයේදී මා මේ අත් දැකීමට පොදු බවක් ලබා දුන්නා. අවසානයේදී පෙම්වතිය අනෙකෙකු හා විවාහපත් වන බවක් මා එහිදී පවසනවා.  "සුබ නැකත රන් හුයක පැටලුණා"යන පදය මා යෙදුවේ ඒ නිසා.

සාමාන්යෙන් පොදුවේ ගීත රචනා වලදී මා ආකෘතික වෙනස්කම් කරනවා. මේ ගීතය රචනා කර තිබෙන්නේ පස්මත් විරිතට අනුව. එහෙත් අතර මගදී වෙනසක් ඇති කිරීමට "සුදු හාමිනේ" යන පදය යෙදුවා.

ප්‍රථම ප්‍රේමය බිදීයාම ඇත්තෙන්ම හරිම බිහිසුණුයි. මලක් නටුව හැර යාමෙන් පසු එහි සුන්දරත්වය මැකී යනවා. "කැකුලු පෙම මල් නටුව හැර ගියා" යි කීමෙන් ඒ සුන්දර බව මා ඉදිරි පත් කළා."

අනෙක් අතට මේ සියල්ල සිදු වන්නේ සිසිලස හා බලාපොරෙත්තු රුදෙන වස්සාන කාලයේදී. "වස්සාන කාලයක හිත දවා අකුණු සැර නෙත් කෙවෙනි බොද කළා"යි මා ලිව්වා. ප්‍රේමය බිදී ගොස් ඇත්තේ අකුණක් පිපිරී ගිය ආකාරයටයි.

බෙහෝ දුර යාමට තිබූ ගමනක් තමයි මේ විදියට අතර මගදී බිදී ගොස් තිබෙන්නේ. කප්තුර දක්වා යන්නට සිතාගෙන සිටිය ගමනේ අත්තටු මත යදම් බැදුණු නිසයි ගමන බිදී ගියෙ.

ආදරය නොසිතූ ලෙස බිදී ගියත් වෙනත් අයෙකු වෙත ලංවිය නොහැකි බවක් ගීතයෙන් ඇගවෙනවා. සක්මනට නුහුරු සිත තනි වෙන්නේ ඒ නිසයි.

මෙහි සංගීතය සංයොජනය කල රෝහණ වීරසිංහයන්ගේ විශේෂ කුසලතාව නිසාම පස්මත් විරිතෙන් වෙනස් මගක් ගත් තනුවක් මෙහීදී නිර්මාණය උනා. ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේගෙන් ගායනයෙන් ගීතයට ලැබුණු ආලෝකය ගැනත් නොකියාම බෑ" ඔහු සංවාදය නිමා කරමින් කියා සිටියා.



රෝමය ලෙසේ...

විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටය තිරගත වූයේ 1976 දීය. නීටා ප්‍රනාන්දු, රවින්ද්‍ර රන්දෙනිය හා ටෝනි රණසිංහ ප්‍රධාන චරිත රඟපෑ ‘දුහුළු මලක්’ කලාත්මක ධාරාවේ චිත්‍රපටයක් ලෙස හැඳින්වූවත් අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වීම විශේෂය.

සරත් දසනායක ‘දුහුළු මලක්’ චිත්‍රපටයට හැදූ ගීතත් අමතක කරන්න බෑ. සුජාතා අත්තනායක ඒ කාලෙ නවක ගායකයෙක් වුණා අබේවර්ධන බාලසූරිය එක්ක ගායනා කළ ‘බොඳ මීදුම් කඳුරැල්ලේ ගීතයත්, නන්දා මාලිනී ගැයූ ‘රන්කෙන්දෙන් බැඳ’ ගීතයත් ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ අපූරු ගීත.

මිල්ටන් මල්ලවආරච්චිගේ ගායන ජීවිතයේ විශේෂ ගීතයක් ලෙස ‘රෝමය ලෙසේ’ (වෙණ වයා) ගීතය හැඳින්විය හැකිය. එය ඉතා ප්‍රවේගවත් එමෙන්ම චිත්‍රපටයේ රූපාවලිය සමඟ බද්ධ ගීතයකි.

සිය බිරියගේ ආදර සබඳතාව දැනගත් මහාචාර්යවරයා අසිහියෙන් මෙන් නිවසට පැමිණෙයි. යාබද නිවසේ සාදයකි. එතැන ගයන ගීය ද, රූප රාමු ද මහාචාර්යවරයාගේ අවුල් වූ මානසික තත්ත්වය නිරූපණය කිරීම සඳහා මැනැවිත් උපයෝගී කොට ගෙන තිබේ. මිල්ටන් මල්ලවආරච්චි ඇතුළු පිරිස ගයන ‘රෝමය ලෙසේ - අතීතයේ’ යන මේ ගීය සමකාලීනව ප්‍රචලිතව තිබූ පොප් කණ්ඩායම් සංගීතය ද සිහි ගැන්වීය.

’රෝමය ලෙසේ - අතීතයේ’ ගීයට අදාල රූප පෙළ හා එක්වන ප්‍රකට ගායක බොබ් මාලේ බඳු රංගන ශිල්පියා ද මෙහිදී මතකයට නැගේ. ‘මරුවා සමඟ වාසේ’ සිනමාපටයට මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘බඹර කලාපයේ’ ගීයට අදාළ රූප පෙළ තුළද ඔහු සිටියා විය යුතුය. බොබ් මාලේ 1970 හා 1980 දසක තුළ මෙරට නාගරික තරුණයන්ගේ පරමාදර්ශී ගායකයෙකි. විජය ධර්ම ශ්‍රී සමකාලීන තාරුණ්‍ය කෙරෙහි කෙතරම් ඇල්මක් දැක්වූයේ ද යන්න ඉන් පිළිබිඹු වේ. ස්ත්‍රි - පුරුෂ ආදරය පිළිබඳ ‘දුහුළු මලක්’ දැක්ම ද එහිම කොටසකි.

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
චිත්‍රපටිය : දුහුළු මලක් (1976)

රෝමය ලෙසේ... අතීතයේ..
ගිනි ඇවිලේ ගිනි ඇවිලේ
යෞවන සිත් නගරේ
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...

තුන් යම පුබුදා ජීවිතයේ
කාලය පියඹනවා
තුන් යම පුබුදා ජීවිතයේ
කාලය පියඹනවා
වැහිබීරුම දුටු ලිහිණින් වාගේ
කැළඹේ ලොව කැළඹේ
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගේ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගේ අපී...

රෝමය ලෙසේ.. අතීතයේ..
ගිනි ඇවිලේ ගිනි ඇවිලේ
යෞවන සිත් නගරේ
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...

ගිනි කඳු ලෝදිය ගැබ තෙරපී
ආවේගය පිපිරේ..
ගිනි කඳු ලෝදිය ගැබ තෙරපී
ආවේගය පිපිරේ..
දුම් රේඛාවක් අවසන ශේෂව
ආශාවන් අළු වේ
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගේ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගේ අපී...

රෝමය ලෙසේ.. අතීතයේ..
ගිනි ඇවිලේ ගිනි ඇවිලේ
යෞවන සිත් නගරේ
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...
වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...



දමායන්නට නොහැකි මිහි මත ...

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා... 

බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා 

පද රචනය - කුලරත්න ආරියවංශ 
තනුව - රෝහණ වීරසිංහ 
ගායනය - සෝමතිලක ජයමහ  

මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද. දේපළ වස්‌තුව මිල මුදල් දරුවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්‌ම බැඳීම්. මේවාට ලොබ බැඳෙන හිත අවසන් හුස්‌ම පොද හෙළන්නේ තන්හාවෙන්.

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

අපිට මේ හැම දෙයක්‌ම හැර දමායන්න පුළුවන්. ඒත් ඒත් එකම එක බැඳීමක්‌ තියෙනවා. ඒ ඔබයි. මේ ලෝකයේ මට හැම දෙයක්‌ම අතැර යන්න පුළුවන්. ඒත් ඒ එක සම්පතක්‌ හැර. ඒ ඔබයි. ඔබට තිබෙන බැඳීමෙන් මා මිදී යන්නේ කොහොමද?

ජීවිතයේ අනියත බව ඉතාම හැඟුම්බර පද පෙළකින් ගයන්නේ සෝමතිලක ජයමහ. මේ ගැයුම් පද කුලරත්න ආරියවංශගේ. ගීය ලියන්න කුලරත්නට හේතු පාදක වූ කාරණාවත් ඉතාම සංවේදී අවස්‌ථාවක්‌.

ධර්මසිරි ගමගේ අපේ සොහොයුරා ගේ මරණය හදිසියේ සිදු වූවක්‌ අදහා ගන්නත් බැහැ. හොඳට හිටපු මිනිසෙක්‌. හදිසියේ මියයැම කොතරම් කම්පනයක්‌ද ධර්මසිරි පාසල් කාලයේ පටන් මා හඳුනාගෙන සිටි ඉතා සමීප හිතවතා. මේ වියෝව අපට හරියට බලපෑවා මේ වගේ රටට වටිනා අය අවසානයේදී ඉතින් හැමදෙයක්‌ම හැම කෙනෙක්‌ම දාලා යන්න වෙනවා.

එදා මරණෙට ගියාම මට ඇතිවුණු සිතිවිල්ල තමයි ඒ. අපිට කිසිම දෙයක්‌ ස්‌ථිර නැහැනේ. අපි නොසිතූ වෙලාවක හැම දෙයක්‌ම දාලා යන්න වෙනවා. කුලරත්න ආරියවංශ ගීයේ නිමිත්ත එසේ හෙළිකළා. ගීතය ගැන අසද්දී සෝමතිලක ජයමහ ශිල්පියාද ජීවිතයේ අනියත බව මෙනෙහි කළා.

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා 

දුකේදීත් සැපේදීත් එකට සිටි අය මල් මෙන් පරව යද්දී ලෝකයේ අනියත බව සිහිපත් වෙනවා. මේ ජීවිතය සිහිනයක්‌. එය සංසාරයේ මංපෙත් අපට පෙන්වන හීනයක්‌.

සැපසම්පත් හැමදේම අපට දාලා යන්න පුළුවන්. ඒත් දූ දරුවන් බිරිය සැමියා කෙසේනම් වාවන් ද ඒ අය ගැන හිතද්දී. ඒත් හිතට සහනයක්‌ දැනෙනවා. දියණිය ගැන හිතද්දී පුතා ගැන හිතද්දී දුවනියට කවදා හෝ සැමියෙක්‌ ලැබේවි. පුතාට බිරියක්‌ ලැබේවි. එතැන් සිට ඔවුන්ට ජීවිතය ගෙන යා හැකියි. ඒත් ඒත් ජීවිතයේ මෙතෙක්‌ දුර එන්නට අත්වැල සැපයූ වෙර වීරිය ලබාදුන් බිරිය අතැර යන්නේ කොහොමද, තනි නොතනියට ළඟ උන් ඈ මින් පසු හුදෙකලා වේවි. දමායන්නට බැරි වටිනාම සම්පත ඇයයි.

බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා

ඉමක්‌ කොනක්‌ නොපෙනෙනා මේ බැඳි සෙනෙහස ප්‍රාණවායුව සමග බද්ධ වෙලා. ඒත් මේ අත්වැල ගිලිහෙන දවසක්‌ කවදා හෝ උදාවෙනවා. ඒක නියතයක්‌. ඉතින් සෑම බැඳීමක්‌ම බිඳ දමමින් ඒ නියත ගමන යායුතු වෙනවා.

ජීවිතය හා මරණය කුලරත්න ආරියවංශගේ. මේ පද පෙළින් හැඟුම්බර ලෙස අපට කියාදෙන පාඩම පැහැදිලියි.

ධර්මසිරි ගමගේ සොහොයුරාගේ මරණයට සහභාගි වූ මට ඇති වූ කම්පනය මා නැති වූ කාලෙක හුදෙකලා වන මගේ බිරිඳ ගැන ඇතිවූ අනුකම්පාව මේ සිතිවිල තමයි මා අතින් ලියෑවුණේ. මම පද පෙළ සෝමතිලකට දීලා තනුවක්‌ දාලා ගයන්න කිව්ව. නෑ තනුව දාන්න රෝහණ වීරසිංහට දෙමු කියා සෝමතිලක කිව්වා. 

කුලරත්න, සෝමතිලක,  රෝහණ සම්මාදමෙන් හැදුන මේ ගීතය කාටත් පොදු වූවක්‌. ඕනෑම කෙනකුගේ හදවතට දැනෙන ගීයක්‌.

(උපුටා ගැනීම - මීවිත)



ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ ...

ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ
සිංහ ධජය සෙවණේ...//

දස දෙස ජය දද බන්දා
මුළු ලොව සිරිලක නම රන්දා//
දැහැමින් ප්‍රේමෙන් සමගිව සාමෙන්
කිසිදින උරණ නොවී
මුතුමෙන් එකමුතු වී
දිවිසේ රකිමු අපේ ලංකා

ජන ජය ජය මංගල්ලේ
පොදු ජන මන යුග දැල්වේ
රන් හිරු එළියේ - මේ නව යුගයේ//
ජයකොඩි ජය බන්දා
ලක්දිව අසුන අරා
දිවිසේ රකිමු අපේ ලංකා

ගී පද රචනය - හේම ශ්‍රී ද අල්විස්

1978 වසරේ එක් දිනයකි. හේමශ්‍රී ද අල්විස් මහතා ගුවන් විදුලියේ වැඩ කරමින් සිටියේය. දුරකතනය නාද විය. දුරකතනයට පිළිතුරු දුන්නේ හේමශ්‍රී ගේ කාර්යාල කාර්ය සහායකයාය. “හේමශ්‍රී මහත්තය අන්න ඔබතුමාට ප්‍රේමදාස කියල කෙනෙක් කතා කරනවා” කාර්යාල කාර්ය සහායකවරයා හේමශ්‍රීට පැවසුවේය. හේම ශ්‍රී දුරකතනයේ රිසීවරය කනෙහි තබා ගත්තේය. “මිස්ට අල්විස් මම අගමැති රණසිංහ ප්‍රේමදාස, මිස්ට අල්විස් දැන්ම සිරිකොතට එන්න ඕන. මම දැන් වාහනයක් එවනවා” හේමශ්‍රීගේ දෑස් උඩ ගියේය. එවූ වාහනයෙන් හේම ශ්‍රී සිරිකොතට ගියේය. ඇයි සර් එන්න කිව්වේ හේම ශ්‍රී ප්‍රේමදාස අගමැතිතුමාගෙන් විමසා සිටියේය. “මිස්ට අල්විස් දන්නව ද හෙට දවසේ වැදගත්කම මොකක්ද කියලා” ප්‍රේමදාස අගමැතිතුමා හේම ශ්‍රීගෙන් විමසා සිටියේය. “සර් හෙට නේද ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ.” හේමශ්‍රී පැවසුවේය. “අන්න හරි හේමශ්‍රී... ඒ වෙනුවෙන් ඔයා ගීතයක් ලියන්න ඕනේ. ලතා වල්පොල තමයි ගීතය ගයන්නේ” යැයි ප්‍රේමදාස මහතා පැවසුවේය. 

‘ශ්‍රීනි විභූශිත ලංකා බැබළේ’ හේමශ්‍රී අතින් ලියැවුණේ එලෙසය. ටික වේලාවකින් ගීතය ලියා අවසන් කළ හේමශ්‍රී, “සර් සින්දුව ලිව්වා මම එහෙමනම් යන්නම්” යැයි පැවසුවේය. “හා හොඳයි... මිස්ට අල්විස්” යැයි පැවසූ අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා තමා අසල සිටි ව්‍යාපාරික ඇලෝසියස් මුදලාලි දෙසට හැරී “මුදලාලි මිස්ට අල්විස් යන්නයි හදන්නෙ” යැයි පැවසුවේය. එකෙනෙහිම ඇලෝසියස් මුදලාලි දාහේ නෝට්ටු කොළ කීපයක් හේමශ්‍රී අත තැබුවේය. එතැන දාහේ නෝට්ටු දහයක් විය. හේම ශ්‍රී එම මුදල ප්‍රතික්ෂේප කළේය. ඔහු නැවත ගුවන් විදුලියට ගියේ එම මුදල නොගෙනය. ඒ ප්‍රේමදාස අගමැතිතුමාට තිබූ ගෞරවය නිසාය; එසේම හේමශ්‍රී මුදල් බලාගෙන ගීත නො ලියූ නිසාය.



සන්නාලියනේ...

සන්නාලියනේ.... weavers song

සරෝජිනී නායිදු නම් කිවිඳිය විසින් රචිත "Golden Threshold"  කෘතියේ "Folk Songs" යටතේ දක්වා ඇති "Indian Weavers" නැමති කවි පංතියයි. මහගම සේකර ශූරීන් විසින් ඉහත කවි පංතිය අධ්‍යයනය කොට ලාංකීය සමාජයට ගැලපෙන සහ සමාජගතවන අයුරින් යම් වෙනස් කම් කොට රචිත ගීතයයි "සන්නාලියනේ".  ගීතය දෙබසක ආකාරයෙන් ඉදිරිපත් කරයි.

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ.....

උදය යනු දවසේ ආරම්භයයි. හිමිදිරි උදය යනු නැවුම්, අලුත් දිනයක ඇරඹුමයි. ඔවුන් සන්තොසයෙන් ඇඳුමක් වියයි.මේ හිමිදිරි උදයේ මෙතරම් සන්තෝසයෙන් කවුරුන් වෙනුවෙන් මේ ඇඳුම වියන්නේ දැයි රචකයා විමසයි. මෙහිදී ජීවිතය, ජීවිත ගමන, එලැඹී ගෙවී යන එක් දිනයකට උපමා කිරීමද දැකිය හැක. "සන්නාලියනේ... සන්නාලියනේ.." යැයි දෙවරක් යෙදීමෙන් ප්‍රශ්ණය අසන්නා තුල සන්නාලියන් දැකීම නිසා ඇතිවුනු උද්යෝගය කෙතරම් වීදැයි ඇඟවීමට යොදන අතර, "හිනැහී... හිනැහී..." ලෙස දෙවරක් යෙදීමෙන් ඔවුන් කෙතරම් සතුටින් පසුවන්නේදැයි පෙන්වයි.

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ...

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ...
ඊයේ ඉපදුනු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ.....

"Blue as the wing of a halcyon wild" ලෙස නායිදු විසින් ලියන ලද පද පෙල අපට වඩාත් සමීප වනු පිනිස, පිලිහුඬුවා ගේ නිල් වන් අත්තටු යන යෙදුම සේකරයන් විසින් මාලගිරා තටු ලෙස වෙනස් කරයි. මෙය හුදෙක් පරිවර්තනයක් පමනක් නොවන බව දැක්වීමට එක නිදසුනකි.

සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

කාල‍ය ගෙවී ගොස් ඇත. ඉපැදුනු දූ සිඟිත්ත දැන් යෞවනියකි. මෙය උපමා කරන්නේ උදය ගෙවා හමාර කොට සන්ධ්‍යාවට එලැඹුනු දවසක් ලෙසිනි.  කාලය සමඟ ජීවිතය එතරම් ඉක්මනින් ගෙවී යයි. ඇයගේ යෞවනත්වය, සුන්දරත්වය සහ ඇයගේ මංගල ඇඳුමේ සුන්දරත්වය සමාන කරනුයේ, බැසයන හිරුගේ රන්වන් පැහැයෙන් ඔවපත්වූ අහසටයි. 

මෙහිදීද "Like the plumes of a peacock, purple and green" යන පදපෙල වෙනස් කරමින් මොනර පිල් වල වර්ණ (දම්, කොල ) වෙනුවට අපට වඩාත් දැනෙනු පිනිස අපේ රටේ විවාහ වලදී මංගල ඇදුමේ වර්ණය ලෙස බොහෝ විට යොදාගන්නා රන්වන් පැහැය යොදා ගැනීමත් මෙම ගීතය අපට තවත් සමීප කරවීමට ඉවහල් වී ඇත. 

සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එලියේ
මැලවුනු මුහුනින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

"White as a feather and white as a cloud"  යන පදය හුදෙක් සුදුපැහැ කුරුළු පිහාටුවක් නොකියා කණකොක් තටුවේ සුදුමැලි පාටට උපමා කරන්නේ කණ කොකා නම් පක්ෂියා ලාංකේය සමාජයේ අවාසනාව ගෙන එන සත්වයකු ලෙස ඇති පිලිගැනීම පදනම් කර ගනිමිනි.   

බුදු දහමේ අපට උගන්වන අනිත්‍ය බව, ජීවිතයේ ඇති කෙටි බව ඉතා සංවේදීව ඉදිරිපත් කරන මෙම අවසාන පද කිහිපය අප සැමට සිතීමට යමක් ඉතිරි කරයි. 

දිනය ගේවී ගොස් ඇත. දැන් ගෙවෙන්නේ සීතල රාත්‍රියයි. මරණය, එහි ඇති මලාණික බව, විචිත්‍රවත් බවින් තොර බව, සන්තාපය, පිලිබිඹු කිරීමට යොදා ගන්නා සීතල රාත්‍රිය, සුදු සඳ එලිය මෙම ගීතය වර්ණවත් කරවයි. අවසානයේ ඉතිරිව ඇත්තේ දුකක් පමණකි. එදා ඔව්න්ගේ මුහුනෙහි තිබූ සිනාවත් විවීමට තිබූ උද්යෝගයවත් අද නැත. අද ඔවුන් මැලවුනු මුහුනු වලින් වෙවුලන දෑත් වලින් වියමනේ යෙදෙයි. මෙතෙක් වේලා ඇඳුම ලෙස යෙදූ යෙදුමද කවියා සළුව වශයෙන් වෙනස් කරයි. 

අප කරනුයේ ද සන්නාලියන් කරන දේම නොවේද. මෙය හුදෙක් අප විසින්ම අපෙන් ම අසන පැණයක් බඳුය. අපත් සන්නාලියන් ලෙසම උපන්දා සිට ජීවිතය නැමති සළුව වියයි. හැඩ වැඩ දමමින්, වියමන දෙස බලමින් සතුටු වෙමින්, ආඩම්බර වෙමින් මේ වියන්නේ අවසානයේ අතහැර යන ජීවිතය නැමති සළුවයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත්කොට ඔහුගේ අසමසම වූ හඬින් ගායනා කරනු ලබන මෙම ගීතය එවකට අපට අඩුවක් ව පැවති අපේම වූ නිර්මාණ කලාවක් බිහි කිරීමට දායකවූ එක් වටිනා ගීතයකි. 

පහතින් දැක්වෙන්නේ සරෝජිනී නායිදු විසින් රචිත මුල් කවි පංතියයි.

Indian Weavers

Weavers, weaving at break of day
Why do you weave a garment so gay
Blue as the wing of a halcyon wild
We weave the robes of a new-born child

Weavers, weaving at fall of night
Why do you weave a garment so bright
Like the plumes of a peacock, purple and green
We weave the marriage-veils of a queen

Weavers, weaving solemn and still 
What do you weave in the moonlight chill
White as a feather and white as a cloud
We weave a dead man's funeral shroud

(උපුටා ගැනීම - ගී පොතයි මී විතයි)



සිරකුසා සිසිලියා දූපතේ කතානියා ...

සුන්දර ඉතාලියේ තනි වීම 

මෑතකදී බිහිවුණු ගීත අතර ප්‍රසංග වේදිකාවේ ඉතා ජනප්‍රිය වුන ගිතයක් තමයි ධනපාල උඩවත්ත මහතා ගායනා කරන "මං ඉතාලියේ තනි උනා" ගීතය. මේ ගීතය රචනා වෙන්නේ 2014 වසරේ ධනපාල උඩවත්ත මහතා ඉතාලියේ කරපු ප්‍රසංග සංචාරයක අත්දැකීම් ඇසුරින් . 

විදේශගත වුනු අපේ හිතවතුන්ට මතක ඇති තමුන් මුලින්ම මව් රටෙන් පිටවෙලා බටහිර රටක හෝ මැද පෙරදිග හෝ කොරියාව වැනි  රටක රැකියාව සඳහා හෝ ඉගෙනීම සඳහා හෝ පදිංචි වීම සඳහා ගිය ගමන. බොහෝ දෙනෙක්ට අලුත් රටක භාෂාවෙන් මුලින්ම මතක හිටින්නේ තමුන් සංචාරය කල සිත්ගන්නා ස්ථාන වල නම් සහ ඒ රටේ නිතරම භාවිතා වන පාරිභාෂික වචන.

නෑදෑයන් හිතවතුන් කවුරුත් නැති ඉතාලි රටට මොන ක්‍රමේට හරි ගිහින් මුල් කාලෙ එහි පැරණි නගර වල සුන්දරත්වය අත් විඳින අතර මව් රටේ තමුන්ගෙ පෙම්වතිය සිහියට නැගුණ තරුණයෙක්ට දැනෙන තනිකම තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ.

ගීතය රචනා කර ගායනා කරන ධනපාල උඩවත්ත මහතා සඳහන් කලා මේ ගීතයේ සඳහන් ස්ථාන ඔහු දැක්කෙ ලස්සන ඉතාලි ලඳුන් හැටියට කියලා. ඒ ස්ථාන ගැන ඉතා අලංකාරව චිත්ත රූප නිර්මාණය කරලා තියෙනවා ගීතයේ පද මාලාව තුලින් .

ඉතින් ගීතය රස විඳින පොඩ්ඩක් දැනුවත් වෙමු ගීතයක් ලියලා වර්ණනා කරන්න තරම් ඉතාලියේ තියෙන ලස්සන ස්ථාන මොනවාද කියලා .

ඉතාලිය කියන්නේ වසර දෙදහසකටත් වඩා පැරණි ශිෂ්ටාචාරයක් තියෙන රටක්. මීට සියවස් කීපයකට පෙර ශුද්ධ වූ රෝම අධිරාජ්‍ය බිඳවැටීම සමග ඉතාලිය කුඩා  රාජ්‍ය ගණනාවකට බෙදී ගියා. එහෙම බෙදුනු ඉතාලිය නැවතත් එක්සත් වෙලා තනි රටක් බවට පත් වුනේ 1870දි. සිසිලියා එහෙම නැතිනම් සිසිලි දූපත තියෙන්නේ ඉතාලියේ දකුණු කෙලවරේ සිට කිලෝමීටර් 4ක් මුහුදෙන් වෙන් වෙලා . 

ඔයාල අහල ඇති නේද ඔයාල අහල ඇතිනේ මහා විද්‍යාඥ ආකිමිඩීස් ගැන. සිසිලියා දූපතේ සිරකුසා නගරයේ  ආකිමිඩිස් ජීවත් වුණේ ශ්‍රී ලංකාවේ දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ රජ කරපු කාලේ. ඔටුන්නෙ රත්‍රං වලට රිදී කලවම් කරලද කියලා හොයාගන්න ක්‍රමය දැනගත්ත ආකිමිඩිස් යුරේක යුරේකා කියා කෑගසමින් නාන කාමරේ ඉඳලා රජ මාලිගාවට නිරුවතින්ම දිව්වෙ සිරකුසා නගරයේ වීදි දිගේ තමයි. වසර දහසකට වඩා පැරණි ගොඩනැගිලි සහ බලකොටු තවමත් එහි ආරක්ෂා වෙලා තියෙනවා .

කතානියා කියල කියන්නේ සිසිලියා දූපතේ තියෙන තවත් පැරණි නගරයක්. එය එට්නා ගිණි කන්දේ පිපිරීම් නිසා ඉතිහාසයේ කීප වතාවක් විනාශ වෙලා තියෙනවා .

ජෙනොවා කියන්නේ මධ්‍යතන යුගයේ ප්‍රධානම වරාය නගරයක්. සුප්‍රසිද්ධ නාවිකයෙක් වූ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඉපදුනේ ජෙනොවා නගරයේ .

වෙරොනා නගරයත් වසර 2500 ක් විතර පැරණි නගරයක්. විලියම් ෂේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් කතාව ගොඩනගල තියෙන්නේ වෙරෝනාව ඇසුරින් . අදටත් ජුලියට්ගේ ලිපිනයට වසරකට ලිපි 5,000ට වඩා ලැබෙනවා කියලා වාර්තා වෙනවා .

මෙසීනා කියන්නෙත් සිසිලියා දූපතේ තියෙන තවත් ඉපැරණි නගරයක්. ඉතාලි රටේ ඉඳලා සිසිලියා දූපතට ඇතුළු වන ප්‍රධාන ස්ථානය තමයි මෙසීනා නගරය .

කෝමො කියන්නේ මිලානෝ සිට කිලෝමීටර් 50ක් විතර උතුරින් ඉතාලි ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක්. නගරය ආශ්‍රිතව තියෙන කෝමො විල නිසා අපුරු ස්වභාව සෞන්දර්යක් මෙහිදී අත් විඳින්න පුලුවන්. රෝම අධිරාජ්‍ය යුගයේ විසුවියස් ගිණිකන්ද පුපුරා යාම ගැන ඇසින් දුටු සටහනක් ලියපු ප්ලිනී කියන ලේඛකයා , විද්‍යුත් බැටරිය මුලින්ම සොයාගත් ඇලෙක්සැන්ඩර් වෝල්ටා ඉපදිලා තියෙන්නේ කෝමො නගරයේ.

ප්‍රොන්තො කියන්නේ ඉතාලි ජාතිකයන් දුරකථන ඇමතුමක් ආමන්ත්‍රණය කරන වචනය. අපි හලෝ කියනවා වගේ ඉතාලියේ අය කියන්නේ ප්‍රොන්තො කියලා.

පාදුවා නගරය ප්‍රසිද්ධ වෙන්නේ එහි තියෙන ඉපැරණි පාදුවා විශ්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ඉදිකල සුවිශාල දේවස්ථානය නිසා. පාදුවා විශ්ව විද්‍යාලය ඉදිවෙලා තියෙන්නේ ක්‍රි.ව. 1222 දි. ලංකාවේ ඒ වෙනකොට පොලොන්නරුව රාජ්‍යය කාලිංග මාඝගේ ආක්‍රමණයට යටත් වෙලා තිබුණෙ . පාදුවා  ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිවෙලා තියෙන්නේ ක්‍රි.ව. 1232-1310 කාලෙ .

බ්‍රෙශියා නගරය තියෙන්නේ මිලානෝ සිට වෙරොනා යන අතරමග . පැරණි කතෝලික දේවස්ථාන වලට ගිහින් තියෙන අය දැකලා ඇති පල්ලියේ ඉදිරිපස දොරටුවට ඉහලින් තියෙන වීදුරු ජනේලය . මේ ජනේල වල තියෙන විශේෂත්වය තමයි දෙව්මැදුර තුල සිට ජනේලය දෙස බලන කෙනෙකුට ඉතා අලංකාර වෛවර්ණ චිත්‍රයක් දර්ශනය වීම . ඉතින් මධ්‍යතන යුගයේ පැරණි ගොතික් සම්ප්‍රදායට අනුව නිර්මාණය වුන දෙව්මැදුරු වල මේ ඉදිරිපස ජනේලය රෝස මලක් හැටියට දර්ශනය වෙන්න තමයි හදලා තියෙන්නේ. බ්‍රෙශියා නගරයේ ප්‍රධාන   දේවස්ථානය තුලත් මෙවැනි අපූරු කලා නිර්මාණ දැකගන්න ලැබෙනවා .

ඉතාලියේ අගනුවර වන රෝම නගරය ඇතුළත තමයි වතිකානු මාලිගය පිහිටා තියෙන්නේ . රෝම නගරය තුල පිහිටියත් වතිකානුව වෙනමම රටක් වගේ තමයි පාලනය වෙන්නේ . වතිකානුවේ බිත්ති සහ සීලිමේ මයිකල් ආන්ජලෝ , ලියනාඩෝ ඩාවින්චි, රෆායෙල් වැනි පුනරුද යුගයේ කලා ශිල්පීන් රැසකගේ නිර්මාණ දැකගන්න ලැබෙනවා . 

ලංකාවේ වසභ රජතුමා රජකල කාලෙ තමයි රෝම අධිරාජ්‍ය කොලෝසියම් ක්‍රීඩාංගණය නිර්මාණය කලේ.

පීසා හි ඇලවෙන කුලුන ගැනත් ඔයාල අහල ඇතිනේ. සුප්‍රකට විද්‍යාඥ ගැලිලියො ගැලිලි උපත ලැබුවෙත් පීසා නගරයේ . කිරිගරුඬවලින් නිමවා ඇති පීසා හි ඇලවෙන කුලුණ ගොඩනැගීම ආරම්භ වෙලා තියෙන්නේ ලංකාවේ මහා පරාක්‍රමබාහු රජතුමා පොලොන්නරුව රාජ්‍ය කරන කාලෙ . බාගයක් හදන කොට කුළුණ ඇල වෙන්න පටන් ගත්ත නිසා වැඩ නිමා වෙන්න වසර දෙසීයකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා.

උතුරු ඉතාලියේ පිහිටා තියෙන මිලානෝ කියන්නේ ඉතාලියේ දෙවෙනි විශාලතම නගරය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පසු වැඩිම ශ්‍රී ලාංකික පිරිසක් ජීවත් වෙන නගරය මිලානෝ කියලා තමයි කියන්නේ .

දෝමො කියන්නේ ඉතාලියානුවන් දේවස්ථාන වලට යොදා ගන්න නමක්. නමුත් දෝමො නමින් වැඩිපුර ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ෆ්ලොරන්ස් හි ශාන්ත මරියා දෙව් මැදුර. කතෝලික බැතිමතුන් බොහොමයක් දේවස්ථාන ආශ්‍රිත දේව හාස්කම් ගැන විශ්වාස කරනවා. මේ ෆ්ලොරන්ස් හි දෝමො දෙව්මැදුරත් එවැනි හාස්කම් සහිත එකක් බවයි පැවසෙන්නේ .  රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන "කුමාරයා" නම් පොත රචනා කරපු නිකොලෝ මකියාවෙලි ඉපදිලා තියෙන්නනෙත් ෆ්ලොරන්ස් නගරයේ තමයි .

පෙම්වතිය සිහිවීමෙන් මේ තරුණයාගේ හිතේ නැගෙන ගින්න සමාන කරලා තියෙන්නේ සිසිලියා දූපතේ ඇති එඩ්නා ගිණිකන්දේ පුපුරා යාමට. ඉතා සක්‍රිය එට්නා ගිණිකන්ද 2008 සිට මේ දක්වා සෑම වසරකම කිහිප වතාවක් බැගින්  පුපුරා ගොස් තියෙනවා.

චාවො කියන්නේ ටටා බායි වගේ සමු දීමට භාවිතා කරන වචනයක්.
අල්ලෝරා කියන්නේ ඉතාලි භාෂාවෙ තියෙන ඉතා වැදගත් වචනයක් . සිංහල භාෂාවෙ " ඉතින්, එතකොට " කියන වචන වලට  ආසන්න තේරුමක් තමයි අල්ලෝරා කියන වචනයට තියෙන්නේ.

සිරකුසා සිසිලියා දූපතේ කතානියා
ජෙනොවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමො මං ඉතාලියේ තනි උනා

පා දොවා මෙත් විලේ - සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ - අන්තෝනි මුනි දිලේ
බ්‍රෙශියා නගරයේ - රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ - සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා

සිරකුසා සිසිලියා ...

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
දෝමො  පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එට්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා

සිරකුසා සිසිලියා දූපතේ කතානියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමො මං ඉතාලියේ තනි උනා
චාවෝ මං ඉතාලියේ තනි උනා
අල්ලෝරා මං ඉතාලියේ තනි උනා
චාවෝ මං ඉතාලියේ තනි උනා.

පද රචනය සහ ගායනය : ධනපාල උඩවත්ත 
සංගීතය : ගයාන් උඩවත්ත



මංගෝ කළු නැන්දේ ...

මංගෝ කළු නැන්දේ ගීතයේ පසුබිම 

එකල ශීලා විජේවර්ධනගේ (ක්ලැරන්ස්ගේ බිරිඳ) නවාතැන වූයේ රත්නපුර බටු ගෙදරයි. ආරච්චි කෙනෙකු වූ මුදලි හාමිගේ දියණිය වූ ඈ සොහොයුරන් දෙදෙනෙකු හා සොහොයුරියන් තිදෙනෙකුගේ යත් කැදැල්ලක බඩ පිස්සිය වූවා ය. බොහෝ කෙළිදෙලෙන් ජීවිතය ගෙවූ ශීලාගේ ජීවිතය වෙනස් මඟකට අවතීර්ණ කරන කාලය එළෙඹෙමින් තිබිණි. ඒ කාලය එළෙඹුණේ ශීලාගේ වත්ත පහළ පිහිටි නිවෙසේ පදිංචියට පැමිණි පවුලේ සිටි තරුණයකු නිසා ය. බොකුටු හිසකේ රැගත් කේඩෑරි තරුණයාගේ නිතර මුවඟ රැව් දුන්නේ ගීතයක පද පෙළකි. හදිසියේම ඔහුගේ නෙත ගැටුණේ අසල නිවසේ වුන් සුන්දර යුවතියයි. දුටුවද කිසිවෙකුත් මායිම් නොකරන ආඩම්බරකාර යුවතිය කවුරුන්දැයි දැන හඳුනා ගැනීමට ඔහුට තිබුණේ කුතුහලයකි. දින කිහිපයක සිට ඔහු ඈ සමඟ කතා කිරීමට වලි කෑවේය.

ඇගේ නිවසට පැමිණි හැඩකාර තරුණයා තමා දෙස විමසිල්ලෙන් බලන බව වටහා ගන්නට ශීලාට වැඩි කාලයක් ගියේ නැත. ඈ සිටියේ ඔහුගේ ක්‍රියාව නොදුටු විලසිනි.

දිනක් ගත විය. දෙකක් ගත විය. මේ ආඩම්බරකාර යුවතිය තමාව තඹ සතයකටවත් මායිම් නොකරන බව දැන ගත් ක්ලැරන්ස් නම් තරුණයා ඔහුගේ සිතේ වූ අදහස සුන්දර ලෙස හසුනකට නැගුවේය. ලද ඉඩ හසරක ඔහු ඒ හසුන ඈ අත තැබුවේ මහත් බලාපොරොත්තු රැසක් සිය සිතේ නළියද්දී ය. එහෙත් ඒ ආඩම්බරකාර තරුණිය පෙරළා ක්ලැරන්ස් අත හසුන තැබුවේ ඔහු දෙසවත් නොබලමිණි.

ක්ලැරන්ස්ගේ සිතේ හට ගත්තේ ලැජ්ජාවකි. ඒ ලැජ්ජාව කොතරම් වීද යත් අඩියට දෙකට සිය නිවසට පැමිණි ඔහු සිය අත ඇති හසුනට ගිනි තැබුවේ දෙවරක් නොසිතාමය. එයද තරුණියට පෙනෙන්නටය. කාලය ගතව ගියේ ඉබි ගමනිනි.

මෙහෙම කාලයක් ගියාට පස්සෙයි අප දෙදෙනා පෙම්වතුන් බවට පත් වූණේ. කිසි කෙනෙකුට නොදැනෙන්න අපේ ආදරය ගලාගෙන ගියා. ඒත් ඒ ගැන ඉවෙන් වගේ අපේ ගෙදර හිටිය ආයාඅම්මට දැනිලයි තිබුණේ. ඒ මොකද මම නිතරම වගේ ක්ලැරන්ස් එක්ක කතා බහ කරන එක ආයාඅම්මට ඇල්ලුවේ නැහැ. ඒ නිසාම ඈ මා ගැන නිතර සැලකිලිමත් වුණා. ඒ විතරක් නෙමෙයි මේ ගැන අපේ තාත්තගේ කනේ තියන්නත් ඈ පසුබට වුණේ නෑ. ඒ විදියට අපේ ආදරේ ගැන තාත්තාත් දැන ගත්තා.”

ශීලා විජේවර්ධන වසර ගණනකට පෙර ඒ අතීතය යළිත් සිහිපත් කළේ අප දෙදෙනා අතර තිබූ නිශ්ශබ්දතාවට බාධා පමුණුවමිනි. ඒ අතීතය සිහිපත් වීම නිසා ඇගේ උවනේ රැඳුණු මන්දස්මිතය යළි යළිත් ඇයව අතීතයට රැගෙන ගියාය.

“මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
සැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැන ගත්තේ.. ”

ක්ලැරන්ස්ගේ කවි සිත අවදි විය. ඔහු ශීලාගේ හා තමාගේ ආදර අන්දරයට හරස් වුණු ආයාඅම්මාට ගී පද ලීවාය. එය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ දිනයේ ශීලාගේ නිවෙසේ එක ම කලබලයකි. ඒ ආයාඅම්මාගේ නම ක්ලැරන්ස්ට පවසා ඇත්තේ ශීලා යැයි කියමින් ඇය ශීලාගේ අප්පච්චීට ගතු කීවාය. ශීලාගේත් ක්ලැරන්ස්ගේත් ආදරයට දොරගුළු වැටිණි. ශීලාට කිව නොහැකි වූ බොහෝ දේ ඔහු පැවසුවේ ගීතයෙනි. එකල ඔහුගේ ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය වන කළ එය වසා දමන්නට මංගෝ ආයාඅම්මා උත්සුක වූයේ ශීලාට බණිමින්ය. කෙසේ නමුදු ඔවුන් දෙදෙනාගේ ආදරයට හරස් වන්නට කිසිවකුටත් නොහැකි විය. කලකට පසුව ඔවුන් කැදැල්ලකට එක්තැන් වූයේ පවුලේ සියල්ලන්ගේම ආශීර්වාද මැදය.

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ ...//

බුලත් කොරටුවේ ළපටි දළු වැලේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොළට ගෙනල්ලා ලාභෙට විකුණාලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ

මංගො නැන්දගේ දුව අංගො කුමාරී
ගිය සුමානෙ පැනල ගිහිල්ලා
ඇය හඬා වැළපිලා පොළවේ හැපී නැගිටලා
වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ

අහළ පහළ හැමෝම ඇගෙ කටට බයවෙලා
ඉන්නෙ ඇයට දිණුම පවරලා
මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා
දහයට ගැණගන්න බැහැ වගේ

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ ...//

මංගෝ කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි. 

මෙහි පද මුල් ගීය අනුවයි.




ඔබ මා හමු වූ අවසන් දිනේ ...

ඔබ මා හමු වූ අවසන් දිනේ
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක්‌ මා ඉන්නදො
මේ වගේ දුකක්‌ සිතේ දරා
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා...

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

වැලුකා තලේ සිත දිය බිඳක්‌ වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මාසිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ 
සිහිවී ඔබේ ආදරේ...

පෙම්වතුන්ගේ හිත්වල ඔවුනොවුන් ගැන මැවෙන ආදරය... ප්‍රේමාන්විත සිතිවිලි... අනන්තයි අප්‍රමාණයි එකිනෙකා නොදැක ඉන්න කාලය තුළදී ඉපදෙන ආදර හැඟුම් තවත් ඉහළයි මේ වෙන්ව සිටිනා කාලය මාසයක්‌. අවුරුද්දක්‌ දෙකක්‌ නම් හිතන්නත් අමාරුයි. ඇය ගැන ඔහු ගැන ඇතිවන ආදරය වගේම හිත් තුළ ජනිත වන දුක. ඒත් ඒ දෙදෙනා හමුවෙන තුරාවට විතරයි. ඒ දුක ඉන්පස්‌සේ සතුටක්‌ ආදරය. මිහිර. නිම්හිම් නැහැ....

ඔබ මා හමු වූ අවසන් දිනේ 
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ 
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක්‌ මා ඉන්නදො
මේ වගේ දුකක්‌ සිතේ දරා 
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා

මේ පෙම්වතාගෙන් සමුඅරගෙන පෙම්වතිය කොහේදො ගිහිං. ඒත් ඒ ටික කාලෙකට ඔහුට ඈ හමුවූ අවසන් දිනය තවමත් මතකයි. ඇගේ දෙනෙත් කඳුළින් තෙත්වෙලා. ඒ කඳුළු පිරි දෙනෙත් තුළින් ඔහු දැක්‌කේ ආදරේ වේදනාවයි. දෙයියනේ.. මේ දුක දරාගෙන මම කොතරම් කාලයක්‌ ඉවසන්නද. මේ හමන සුළඟේ සැඟවිලා. ඈ සොයා යන්න ඇත්නම් මේ පෙම්වතාගේ සිතිවිලි ඒ විදිහට උපදිනවා...

ගීය ලියුවේ ඩොනල්ඩ් අයිවන් ඒත් අද මේ සොඳුරු ගී පද රචකයා අප සමඟ නැහැ. ඔහු අප අතහැර ගිහින් සදහටම දෙනෙත් පියාගෙන ගීය ගයන්නේ අපේ ගායන ලොවේ ළයාන්විතයා කීර්ති පැස්‌කුවෙල්.

මම රෙකෝඩිං වලට ප්ලේ කරද්දී ජෝනෙත් ශබ්දාගාරයේ හැමදාම මා වෙනුවෙනුත් ගීතයක්‌ නොමිලේ රෙකෝඩ් කළා. මගේ සිංදු හුඟක්‌ ඒ විදිහට හැදුනේ. මේ ගීයත් එවැන්නක්‌. එදා අපි රූකාන්තට සිංදු රෙකෝඩ් කරමින් හිටියා. ඩොනල්ඩ් අයිවන් තමයි රෙකෝඩිං ඉන්ජිනියර්. දවසක්‌ රූකාන්තගේ රෙකෝඩිං කරද්දී ඩොනල්ඩ් මටත් සිංදුවක්‌ ලියුවා. රූකාන්ත තනුව නිර්මාණය කළා. ඒත් රෙකෝඩිං රෑ 9.30 ට පෙර කළ යුතුයි. ජෝනෙත් ශබ්දාගාරය ආගමික සිද්ධස්‌ථානයක තියෙන නිසා. මගේ සිංදුව කරන්න වෙලාව නෑ. අපි ගිහිං පියතුමා හමුවුනා. බෙනඩික්‌ට්‌ ජෝෂප් පියතුමා... ඩොනල්ඩ් අඬලා වගේ කිව්වා. අපිට තව පැයක්‌ දෙන්න ෆාදර් කියලා. පියතුමා පැය එක හමාරක්‌ දුන්නා. ඔබ මා හමුවූ ගීය එදා රෑ එකොළහ වෙනතුරු රෙකෝඩ් කළා. 

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා 
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ

මේ නගරයේ ඉන්න රෑ කුමරියන් හොයාගෙන... මගේ මිතුරන් යනවා.. ඒත් මට මේ අභිසාරිකාවන් සොයා යන්න හිතක්‌ නැහැ. කවුරු හිටියත් මට වැඩක්‌ නැහැ. මගේ හිත තියෙන්නේ ඔයා ළඟ. අන්ධකාරය ගලාගෙන එනවා. ඔයාව සිහිවෙලා මගේ හිත වැළපෙනවා. මටත් හොරා මගේ හිත ඇදී යන්නේ ඔබ සොයා මිස වෙනත් අඟනුන් කරා නොවේ... මේ පෙම්වතා කල්පනා ලොවක තනිවෙලා...

මේ ගීය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. රූපවාහිනියේ හද බැඳි ගීවලට රූප රචනාවක්‌ එක්‌ක සිංදුව ප්‍රචාරය වුණාම අතිශය ජනප්‍රිය වුණා. රූප රචනා කළේ රබර් වත්තක. රබර් වත්තේ සිංදුව කියල තමයි හුඟක්‌ දෙනා ඒ දවස්‌වල කිව්වේ. මම මේ ගීය ගැයුවේ වාදකයෙක්‌ වෙලා හිටිය කාලෙදි. මම අතිශය ජනප්‍රිය වුණා මේ ගීතයෙන්. මේ ක්‍ෂේත්‍රය තුළ මතකයේ පවතින ගීත කිහිපය අතරින් එකක්‌ තමයි ඩොනල්ඩ් ලියූ මේ ගීතය.

වාලුකා තලේ සීත දිය බිඳක්‌ වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මා සිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ 
සිහිවී ඔබේ ආදරේ...

ඈතින් ඈත.. ඉම නොපෙනෙනා සිතිජ රේඛාව මතින් මට මැවී පෙනෙන්නේ ඔයාගේ රූපයයි... ඒ රුව දකිද්දී හරියට රුදුරු කතරක සිටින කෙනෙක්‌ට සීතල දිය බිඳක්‌ ලැබුණා වගේ.. සිතිජ රේඛාවේ ඔබේ රුව පෙනෙද්දී මගේ හිත අමුතු සිහිලකින් පිරෙනවා.. අනේ.. ඔයාව හොයාගෙන දුවගෙන එන්න ඇත්නම්... ඒත් එවන් පිනක්‌ මට කොහෙන්ද.. මේ අඩ අන්ධකාර රැයේ.. මගේ හිත වැළපෙනවා... ඒ ඔයාගේ ආදරේ මතක්‌වෙලා...

මේ පෙම්වතාගේ වැළපෙන සිත ගැන ගීපද ලියූ රචකයා ඩොනල්ඩ් අයිවන්. තවත් ගීත රැසක පද රචකයා. ප්‍රියා ගයන මාගේ සැමරුම් පොතේ, මගේ ළමැද ඉන් ගීත දෙකක්‌ විතරයි... කීර්ති, ඩොනල්ඩ් ගැන කතා කළේ දුක්‌බර හඬකින්. ඔහු මේ ගීය ඩොනල්ඩ්ට උපහාරයක්‌ ලෙස පුද කළේ මෙසේ කියමින්.

ඩොනල්ඩ් මාස කිහිපයකට කලින් අපෙන් වෙන් වුණා. මීවිතේ කුරුටු ගෑ ගී පොත අද තෝරාගත්තු මේ ගීය මම අපේ ආදරණීය ගීත රචක ඩොනල්ඩ් අයිවන්ට උපහාරයක්‌ ලෙස පුද කරනවා.

ඔව්.අද අපේ මේ සටහන ඩොනල්ඩ්ට උපහාරයක්‌ වේවා. කීර්ති පැස්‌කුවල් වගේම ගීය තනුව හා සංගීතය රචනා කළ රූකාන්ත සමඟින් අපිත් ඩොනල්ඩ්ට මේ උපහාරය අද කරනවා.

ගායනය - කීර්ති පැස්‌කුවල්
සංගීතය - රූකාන්ත ගුණතිලක
පද රචනය - ඩොනල්ඩ් අයිවන්

(උපුටා ගැනීම - මීවිත)



දෑස නිලුපුල් තෙමා ...

අප අතරින් වියෝ වූ ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ ගේ මුල්ම ගීතය රචනා කර ඇත්තේද ප්‍රියානන්ද විජේසුන්දර විසිනි.ඒ අතීතය රසබර අතීතයකි.

දෑස නිළුපුල් තෙමා -කඳුළු මුතු වැල් සලා 
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ 
හඩනු මල් මාලියේ- හඩනු මල් මාලියේ

මේ ගීතය ලියවුණේ හරිම හදිසියේ දවසක ගුවන්විදුලියේදී. මම ඇත්තටම ගුණදාස කපුගේ අඳුනගෙන හිටියේ නෑ. ඒ කාලේ මම හොරණ විද්‍යාරත්නයේ උගන්නනවා. උදේ හවා පිළියන්දල ඉඳලා බස්එකේ හොරණට යනකොට අපේ බස් එකේම උස මනුස්සයෙක් යනවා එනවා දැකලා තිබුණා.ඒත් මම කවුද කියලා දන්නේ නෑ. දවසක් මගේ යාළුවෙක් මුණ ගැහිලා කිවිවා ඉන්දියාවේ ඉඳලා යාළුවෙක් ඇවිත් ඉන්නවා ඔහුට සින්දුවක් ලියලා දෙන්න කියලා. මම ඉතින් හා කියලා කිව්වා. දවසක් බස් එකේදී මේ දෙන්නම මුණ ගැහිලා මට කපුගේව අඳුන්නලා දුන්නා. බලනකොට අර බස් එකට නඟින උස මනුස්සයා තමයි කපුගේ. එතකොට ඔහු ඉන්දියාවේ ඉඳලා ආපු අලුතමයි. දවසක් මම ගුවන්විදුලියට මොකක්ද එහෙකට ගියාම බොහොම හදිස්සියකින් කපුගේ මැදිරියක් අස්සේ ඉඳලා ආවා. මාව දැක්ක ගමන් මා ළඟට දුවගෙන ආවා. හොඳ වෙලාවට උඹ ආවේ. මට සින්දුවක් ලියලා දියන් කිව්වා. මම කිව්වා හා ලියලා දෙන්නම් කියලා. එතකොට කපුගේ කියනවා. එහෙම බෑ මේ දැන් ලියලා ඕන කියලා. පස්සේ අපි දෙන්නම ගුවන්විදුලියේ කැන්ටිමට ගිහින් තේ එකක් බීලා මැදිරියට ඇවිත් සර්පිනා එක ළඟ වාඩිවුණා. කපුගේ ඒවන විටත් සනත් නන්දසිරි මහත්මයාගෙන් මෙලඩි එකක් ඉල්ලාගෙන ඇවිත් තිබුණා. කපුගේ සර්පිනා එන ගහමින් මෙලෙඩි එක හම් කරනකොට මම සින්දුව ලිව්වා .ඒ විදියට තමයි ඔහුට ඔහුගේ ප්‍රථම සරල ගීතය මම රචනා කරලා දුන්නේ.ඊට පස්සේ මම ඔහුට ‘ සඳ රෑ සිහිනයේ ඇතුළු ගීත කිහිපයක්ම රචනා කළා. වරින්වර හමුවුණු වෙලාවල ඔහු මගෙන් ඉල්ලගන්න ගීත ඔහුගේ කැසට්වලට ඔහු ගායනා කළා.   

‘‘දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬණු මල්මාලියේ
හඬණු මල්මාලියේ ...//

නිහඬ හදවත් පොතේ ලියැවුණු
සොඳූරු ගී වැල් නැතේ මා තැනූ ...//
ඔබේ කඳූළැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ
නිබඳ පදවැල් ඇඳේ

කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬණු මල්මාලියේ
හඬණු මල්මාලියේ

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ ...//
තුසර පිණි ලෙස මල් මතේ
කඳූළු කොපුලේ රැඳේ
කඳූළු කොපුලේ රැඳේ

කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬණු මල්මාලියේ
හඬණු මල්මාලියේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුවේ සංකල්පනාව - විශාරද ගුණදාස කපුගේ
ස්වර රටා හා සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි



නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා ...

නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා
රැයේ ඝනඳුර නැගෙන තනියට
සඳක්‌ සේ ඔබ පිපෙනවා... පිපෙනවා...
මං ආදරෙයි... මං ආදරෙයි...
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා...
නිදන නින්ද ද මුදා හරිමින්
අවදි කොට මා තබනවා... තබනවා...
මං ආදරෙයි... මං ආදරෙයි...
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා...

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස්‌
මසිත මිහිරක්‌ මවනවා... මවනවා...
මං ආදරෙයි... මං ආදරෙයි...
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා

ගී පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර
ගායනය/සංගීතය - විශාරද එඩ්වඩ් ජයකොඩි

අපි ලෙංගතුව සිටි අය කී දෙනෙක්‌ අද අපෙන් ඈත්ව ගිහින්ද. පාසල් කාලයේ අපි ළඟින්ම හිටි අපේ යාළුවෝ. අද කොහේ ඇත්ද,  මඟතොටදී මුණගැහුණත් හඳුනා ගන්නත් බැරි තරමයි... ඒ තරම් කාලයක්‌ අපි එකිනෙකාගෙන් වෙන්වෙලා. ඒත් ඔවුන් කෙරෙහි එදා තිබුණු ලෙංගතුකම අදත් එහෙමමයි. ආයෙත් ඔවුන් දකින්න ලැබෙනවා නම්...

ඒ වගේම තමයි කලක්‌ ආදරයෙන් සිටි අයත් මේ විදිහටම එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඒත් හිතේ තියෙන ආදරය... වෙනසක්‌ නැහැ. පාළුව තනිකම දැනෙද්දි ඒ රුව සොයන්න අපි කොතරම් වෙහෙසෙනවද...

නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා... දැනෙනවා
රැයේ ඝනඳුර නැගෙන තනියට 
සඳක්‌ සේ ඔබ පිපෙනවා... පිපෙනවා..
මං ආදරෙයි... මං ආදරෙයි
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා...

කාලයක්‌ ආදරයෙන් සිටි දෙදෙනෙක්‌ වෙන්වෙලා... ඒ වුණාට මේ දෙන්නා එකිනෙකාට ආදරය ප්‍රකාශ කරලා නැහැ... දෙන්නගෙම හිතේ ආදරය තිබිලා තියෙනවා. ඒත් අද ඔහුට ඇය හොයාගන්නවත් නෑ. හැමතැනම හොයනවා... එදා මම ඔයාට ආදරය කළේ ඔයාටත් හොරෙන්. රහසේ... කළ ඒ ආදරය අද මගේ මතකයට එනවා. හදවත රිදුම් දෙනවා. මට ඔයාගේ සුවඳ එදා වගේම අදත් දැනෙනවා. තනිකම පාළුව මගේ ජීවිතය වෙළාගෙන. ඒ පාළුව හරියට ඝන අන්ධකාරය වගේ. ඒ වෙලාවට ඔයා මගේ මතකයට නැගෙන්නේ හරියට සඳ මල පිපී හිනහෙනවා වගේ. මම ඔයාට ආදරෙයි. තවමත් ආදරෙයි. ඒ නිසාමයි මගේ හිත උමතුවෙන් වගේ. ඔයාව හොයන්නේ...

එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය හඬට මේ පදපෙළ කොතරම් ගැලපෙනවද පුංචි කාලේ ඉඳලාම එඩ්වඩ්ගේ හඬට ප්‍රියකළ විපුල් ධර්මප්‍රිය ජයසේකරගේ හීනයක්‌ සැබෑවීමක්‌ තමයි මේ. ඔහුගේ පදපෙළක්‌ එඩ්වඩ් ගැයීම.

ආදරය කියන්නේ කොතරම් කලක්‌ ගියත් මහලු නොවෙන සිතිවිල්ලක්‌. කලකට පෙර ආදරය කළ අය අදත් හැමතැනම සොයන මිත්‍රයන් මට හමුවෙලා තියෙනවා. අනේ එයා දැන් කොහෙද දන්නෙ නැහැ. ආයෙත් දකින්න තියෙනවා නම්... කියලා මගේ යාලුවෝ නිතර මට කියා තිබෙනවා. වෙලාවකට මටත් හිතෙනවා මගේ පංතියේ යාලුවෝ අද කොහේ ඇත්ද කියලා... ඉතින් මෙන්න මේ සිතුවිල්ල තමයි ගී පද පෙළකට පෙරළුනේ... විපුල් ධර්මප්‍රිය ගීයේ රචකයා අදහස පළ කළා.

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා
නිදන නින්දද මුදා හරිමින්
අවදි කොට මා තබනවා... තබනවා
මං ආදරෙයි... මං ආදරෙයි..
උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා

ඔයා ගැන මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් හරියට වෙරළක්‌ වගේ. ඒ වෙරළේ හැපී බිඳෙන රළ පෙළ ඔබ ගැන උපදින සිතිවිලියි. මගේ දෑස්‌ කැළඹිලා නිදන්න ගියත් දෑස්‌ පියවෙන්නේ නැහැ. දෙනෙත් මා අවදිකරලා... මං ඔයාට ආදරෙයි. මගේ හිත උමතුවෙලා.. මම ඔයාගේ හිත හොයනවා...

මම මේ සිංදුව කළේ මගේ සඟවන්නෙපා හසරැල් සීඩී එකට මම පොඩි කාලේ ඉඳලම එඩ්වඩ් ජයකොඩි ශිල්පියාගේ හඬට ආසයි. ඒ කාලේ එඩ්වඩ් ජයකොඩි කියන්නේ තරුණ තරුණියන් වශී වුණ ගායකයෙක්‌. චරිතා ප්‍රියදර්ශනී පීරිස්‌ට "අහස්‌ ගැබේ තරුකැට ගානේ..." සිංදුව ලියුවාටත් පස්‌සේ තමයි එඩ්වඩ්ට මේ සිංදුව දුන්නේ. මේ සිංදුවේ "උමතුවෙන්..." කියන කොටස තමයි උච්චතම අවස්‌ථාව... ඉතිං මම එඩ්වඩ් ජයකොඩිට කිව්වා... උමතුවෙන්. කියන කොටස මට හොඳටම ඕනේ කියලා හරි මල්ලි මම ඒක උමතුවෙන් වගේම කියන්නම් කෝ... මං උඹව නග්ගලා ගන්නම්කෝ මේ සිංදුවෙන් කියා එඩ්වඩ් කිව්වා..

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස්‌
මසිත මිහිරක්‌ මවනවා... මවනවා..
මං ආදරෙයි... මං ආදරෙයි
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා...

තාරුකා බබලන්නේ ළඟක ඉඳන් නොවේ. ඒවා ඈත දුරක ඉඳන් ලෙලදෙන අයුරු නෙතගින් මට පෙනෙනවා. තාරකා වගේ දීප්තියෙන් බබලන ඔයාගේ ඇස්‌දෙක දකින්න මම මොනතරම් ආසයිද ඒ දීප්තිමත් නුවන් යුග මගේ හිතේ මවන්නේ මිහිරක්‌ මිස අන් කවරක්‌ද මං ඔයාට ආදරෙයි. ආදරෙයි. ඒ නිසාම මම පිස්‌සුවෙන් වගේ ඔයාගේ හිත හොයනවා. ඔයා කොහේ ඇත්ද...

ආදරයෙන් උමතු වූ මේ පෙම්වතාගේ හිත විපුල් ධර්මප්‍රියගේ පද පෙළින් කදිමට විවරණය වෙනවා. ඒ පද පෙළේ අරුතටම ගැලපෙන සංගීතය යොදා ගයන එඩ්වඩ්ගේ හඬට උමතු වූ රසික රසිකාවියන් මේ ගීයට ද එදත් අදත් හෙටත් පෙම් බඳින බවට නම් සැකයක්‌ නැහැ.

(උපුටා ගැනීම මීවිත)



දිලීප පොඩි පුතූ ...

1959 නොවැම්බර් 30 වෙනිදා ගාලු මුවදොර මහ හෝටලයේදී කරුණාරත්න අබේසේකරයන් හා ඉරාණි හේරත් සියලු බාධක බිඳ විවාහ වූහ. එහෙත් වසර 10 ක් ගතවනතුරු දරු සුරතල් බැලීමට නොහැකි විය.

දරුවන්ට ආදරය කළ කරුණාරත්න අබේසේකරයන් ඉරානි හේරත් මෙනවිය කසාද බැඳ දිගු කලක් ගතවුනත් ඔවුනට දරු සම්පතක්‌ ලැබුණේ නැත. දරුවකු පතා ඔවුන් නොගිය දේවාලයක්‌, කෝවිලක්‌, විහාරස්‌ථානයක්‌, කතෝලික පූජාස්‌ථානයක්‌ද නොවීය. එහෙත් දස වසරකට පසු කෙනකු ඔහුට අංගොඩ පොඩි වෙද මහත්මයා ගැන කීවෙන් කේන්දර දෙකද රැගෙන එතුමන් හමුවූ අබේසේකර යුවළට එක දරුවකුගේ පුතෙකුගේ බල තියෙනවා කී පොඩි වෙද මහත්මයා සුළු යාතු කර්මයක්‌ සිදු කළේය. කරු අයියාට රජකම ලැබුණාක්‌ මෙනි. ඉරාණි මහත්මිය එක්‌ දිනක කුඩා පුතකු ප්‍රසූත කළාය. 1969 ජුනි 30 වෙනිදා එනම් කරු හා ඉරාණිගේ පුතු දිලීප ජගදීශ් අබේසේකර උපන්නේය. ඒ කරුගේ උපන් දිනය වීමද විශේෂය. 

දස වසරක්‌ පෙරුම් පිරූ තාත්තා අම්මා යුවළගේ සතුට ගැන තවත් කිව යුතුද?
 
තාත්තා පුතාගේ සිඟිති ඇඟ දෙස බලා මෙතෙක්‌ නොලියූ පදවැල්ද සිතේ මවා ගත්තේය. මාපිය දෙදෙනාගේ රජ දහනෙහි උපන් කුමාරයා ගැන අපූරු කවිපෙලක් ලියුවේය. කරුණාරත්න අබේසේකර ශූරීන් පුවත්පතකට ලියූ එම කවි පෙළ ඇසුරින් “දිලීප පොඩි පුතු” ගීය ක්ලැරන්ස් ගැයුවේය. එය ඔහුගේ මුල්ම තනි ගීතයයි.
 
 "දිලීප පොඩි පුතු සනීපයට නිදි... මවගේ උකුළු යහනේ..." යනුවෙන් කී ඔහු දුටුවේ මිට මොළවා ඇති රෝස පැහැති අතේ ඔහු තබාගෙන ඇත්තේ "මා නොලියූ ගීතය" බවය. එම පදවැල් ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන ගායකයාගේ හඬින් මනා ලෙස ගීතවත් විය. 

එවන් අවස්‌ථාවකදී සාහිත්‍ය රසයෙන් සංවේදී වන රචකයාගේ හැම වචනයක්‌ම එම ගැයීමට පණ පෙව්වාක්‌ වැන්න. අද එම පියාණන්ද ගීතය ගැයූ ගායකයාණන්ද ජීවතුන් අතර නැත. එහෙත් දිලීප පොඩි පුතු තාත්තා මෙන් ගීත කවි නොලීවද දැන්වීම් කලාවේ ඉහළටම ගොස්‌ අපූරු සන්නිවේදන දක්‌ෂතා දක්‌වමින් අබේසේකර නම බබළවමින් සිටී. 

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

පරවි දෙපා වැනි 
සුලලිත කෝමල 
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන් 
සඟවා ගෙන ඇත 
මා නොලියුව ගීතේ

මහද විමානයෙ 
තැන්පත් කල ලේ 
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන 
බිලිඳු වෙසින් ආ 
වස්තුව ඔබය පුතේ

දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ

ගායනය, සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කරුණාරත්න අබේසේකර



රන් කෙන්දෙන් බැඳ ...

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..

රන් කෙන්දෙන්..

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///

1976 වසරේදී තිරගත වූ දුහුළු මලක් විජය ධර්ම ශ්‍රී ගේ අධ්‍යක්ෂණයකි. සංගීතය සරත් දසනයකගෙනි. දුහුළු මලක් චිත්‍රපටයේ කතාව සිංහල සිනමාවේ සම්ප්‍රදායික ප්‍රේම කතාව අතික්‍රමණය කල කතා පුවතකි. එය අසම්මත ප්‍රේමයක් මුල් කරගෙන ගලා යයි. ටෝනි රණසිංහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද නීටා ප්‍රනාන්දු ඔහුගේ බිරිය ලෙසද රවින්ද්‍ර රන්දෙනිය අසම්මත ප්‍රේමවන්තයා ලෙසද රඟපායි. චිත්‍රපටය පුරාවටම ගීත හතරක් ඇති අතර මේ ගීතවලින් පමණක් වුවද මේ කතාව තේරුම් ගත හැක. රන් කෙන්දෙන් බැද ගීතය මෙහි තුන්වන ගීතයයි.

නිලුපා (නීටා ප්‍රනාන්දු) සුරේ (ටෝනි රණසිංහ) ගේ බිරිඳයි. එක් දරුවකුගේ මවක් වූ නිලුපා සම්ප්‍රදායික පවුල් ජිවිතයක් ගත කරයි. සුරේ සමග නොගැලපීමක් නැති වුවත් ගැලපීමක් ද නැත. චිත්‍රපටය ආරම්භයේදීම වගේ ගෙවල් ඉස්සරහින් ගමන් කරන රොහාන් (රවින්ද්‍ර රන්දෙනිය) දකින විට ඔහු ගැලපෙන්නේ නිලුපාට බව පවසනුයේ මෙහෙකාරියයි. චිත්‍රපටයේ පළමු ගීතය වන ඉන්ද්‍රානි පෙරේරා ගේ 'සීතලේ දිලි' ගීතය නිලුපාගේ අභ්‍යන්තරය ප්‍රේක්ෂකයාට කියා පෑමට ගත් උත්සාහයකි. කෙසේ හෝ නිලුපා හා රොහාන් අතර ප්‍රේමයක් ගොඩ නැගෙන අතර, ප්‍රේමයේ උපරිමය 'බොඳ මීදුම් ' ගීතයෙන් ගෙනහැර පායි. අවසානයේ මිල්ටන් මල්ලවාරච්චි ගයන 'රෝමය ගිනිගැනේ' ගීතය බිරිඳගේ රහස් පෙම නිසා සිත් තැවුලට පත් ස්වාමි පුරුෂයාගේ සිතුවිලි කියා පායි.

රන් කෙන්දෙන් ගීතය කතාවේ ඝට්ටනය ආරම්භයේදීය. නිලුපාට දෙයාකාරයක ආදරයක් හිමි. එකක් අතැඟිලි රන් කෙන්දකින් බැඳ ඇති කර ගත ආදර යයි. අනික ප්‍රේමයෙන් බැඳී සිතැඟි වලට ඉඩදී ඇති වූ ආදර යයි. කවුරු මොනවා කිවත් අසම්මත ප්‍රේමය සම්මත ප්‍රේමයට වඩා චමත්කාරය. සම්මත ප්‍රේමයේ පවතින, ගේ දොර දරුවන්ගේ ප්‍රශ්න වල සිට රෑට කන්නේ මොනවද කියන ප්‍රශ්නය දක්වා කිසිත් අසම්මත ප්‍රේමයේ නැත. එහි ඇත්තේ හමුවීම, කතා කිරීම හෝ තනිවීම ආදී ප්‍රශ්නය. එය හුදෙක් හැඟීම් හා සිතුවිලි සමගින් සිතුවම් කරනා චිත්‍රයකි. ඒ නිසා වර්ණවත්ය. මොහොතකට හෝ සම්මත ප්‍රේමය අසම්මත ප්‍රේමයේ ප්‍රශ්න වලින් පුරවා ගත කල එය අසම්මත ප්‍රේමයට වඩා රසවත්ය. වර්ණවත්ය.

කෙසේ වෙතත් අසම්මත ප්‍රේමයේ දී අවසානය රසවත් නොවේ. සමහර විට එය සම්මතයට පත් වී අර රසවත් වූ චිත්‍රයම විනාස කර දමයි. සමහර විට ජිවිත වලින් පවා විශාල විනාසයක් ගෙන දෙයි. මේ කුමන ආකාරයකින් අවසාන වුවද ගැහැනියකට එය මහත් වෙහෙසක් එසේ නැති නම් පිඩාවක් ගෙනදෙයි. නිදහසේ පියඹා යන කිරිල්ලියක සේ අසම්මත ප්‍රේමය ගොඩ නැගුවද අවසානයේ එය විඩාවකි. එය හුදෙක් ප්‍රේම දෙකක අතරමං වීම නිසා පමණක් නොවේ. සමාජයෙන් තමා චපල ගැහැනියක් යැයි ඇතිවන බලපෑම සේම තමන් ආදරය කරන කෙනෙකුට කරනා රැවටීම සමගින් තමන්ට ආදරය කරන කෙනෙකු සමග ඒ ආදරය විඳීමට නොහැකි වීම නිසා මානසිකව ව්‍යකුලත්වය මෙසේ ඇයට විඩාව ගෙන දෙයි. එක් අතකින් බැලු කල මේ ගැහැණිය ප්‍රේමය උපරිමයෙන් හිමිය. ඇයට සම්මත හා අසම්මත ප්‍රේමයේ ඉවුරු දෙකම හිමිය. ඇයගේ ලෝකයේ හිරු කසාද සැමියා ය. ඇයගේ ජීවිතය එළිය කරනුයේ ඔහුය. එසේම ඇය සොයන සෞම්‍ය වූ සෙනෙහස ආදරය ගෙන එනුයේ ඒ අසම්මත පෙම්වතාය. ඔහු සඳුසේය. සෞම්‍යය. ජිවිතයේ විඩාව නිවාලයි. ඇයගේ දෑත මේ දෙදෙනාටම හිමිය. මේ හිරුත් සඳුත් දෙකම ඇති විට වුවද ඇයගේ ප්‍රේම විජිතයම අඳුරුය.

ඇය, ඇයට අවශ්‍ය දේ සොයයි. ඒත් සමාජ සම්මතයන් ඒ සියල්ල අභිබවා යයි. මේ සමාජ සම්මත රීතින් හරියට කනාටු සුළගක් වැනිය. එය කිසි කෙනෙකුට සිසිලක්, අස්වැසිල්ලක් ගෙන දෙන්නේ නැත. ඇය ඒ සුළඟට හසු වූ දුහුල් මලක් වැනිය. ඒ මේ අත ගසා ගෙන යයි. සමහරු ඇය නිවැරදි කියයි සමහරු ඇය වැරදි කියයි. තවත් විටක මේ සුළඟ දැඩි වූ විට මේ දුහුල් මලේ පෙති ගැලවී විනාස වී යයි. කෙසේ වෙතත් ඇයට ඇත්තේ කා ලඟට යනවාද යන ප්‍රශ්නය නොවේ. කාගෙන්ද සමුගන්නේ යන්නය. මන්ද ඇයට මේ දෙකම අවශ්‍යය.

'දුහුළු මලක්' චිත්‍රපටයේ එක් ගීතය බැගින්  ප්‍රේමකිර්ති හා ධර්මසිරි ගමගේ රචනා කරන අතර 'බොඳ මිදුම්' ගීතය හා 'රන් කෙන්දෙන්' ගීතය අජන්තා රණසිංහ ද රචනා කරයි. රන් කෙන්දෙන් ගීතය අජන්තා රචනා කරනුයේ ගැහැණියකගේ මනසින් මේ කාරණය දකින ආකාරයෙනි. මේ පදවැල සරලය. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට අවශ්‍යය කතාව පරිපුර්ණ ලෙස ඔහු ගීතය තුල සඳහන් කරයි. එයට අමතරව අධ්‍යක්ෂකට පැවසීමට හෝ සිනමාවට නැගීමට නොහැකි දේ ඔහුගේ පදවැල් තුල දැකිය හැක. දෙවන ස්ථායි කොටස මේ සඳහා කදිම උදාහරණයකි. සරත් දසනායක සංගීත නිර්මාණකරුවා සිංහල සංගීතයේ තම අනන්‍යතාවය නිර්මාණය කර ගන්නේ සිනමා සංගීතය තුලින්ය. ඔහුගේ චිත්‍රපට ගීත බොහොමයක් තවමත් අතිශයින් ජනප්‍රියය. ඉන්දියානු තනු වලින් මිදී නමුත් එලෙසම ප්‍රේක්ෂක ග්‍රහණයක් ලබා ගැනීමට තරම් ඔහුගේ ගී තනු ආකර්ශනීය සේම එය සිනමාව සමග කදිමට බද්ධ වී ඇත. මෙහි මුල් ගායනය දී නන්දා මාලිනියගේ කටහඬ තරුණය. නමුත් ඇය ඉන්පසු කල පටිගත කිරීම් වල ඒ හඬේ භාවපුර්ණ බවක් දැකිය හැකි අතර ගීතයේ අරුත සමග කදිමට ගැලපේ. චිත්‍රපටය අභිබවා ගීතය තවමත් ජනප්‍රිය වීමට නන්දා මාලනීයගේ හඬත් අජන්තාගේ පදත් සේම සරත් දසනයකයන්ගේ තනුවත් හේතු වුවාට සැක නැත.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//  

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ඉතාමත් විශිෂ්ට ගී පදරචනයක්. සිංහල සිනමාවේ චිත්‍රපටයේ සම්පූර්ණ කතාව හා අන්තර්ගතය එක් ගීතයකින් ප්‍රකාශ කරන දෙවැනි චිත්‍රපටය ගීතය මෙයයි.






සිහිවටනය සේ කුමක් ලියන්නද ...

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ

සමරු පොත... 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු කල පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් එක් වී තිබුනා. සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ ප්‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් තව කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි උණු බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ හිත ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.

මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි. සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා. එක දවසක් එළිමහන් ප්‍රසංගයක නිවේදන කටයුතු කරන අවස්ථාවක ලසන්ත තරුණ ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත ත් පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා ඒ වෙලාවේ. ඒ චකිතය නිසාම කුමක් ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි අත්සන එහි සටහන් කරලා. නමුත් ඒ ගෑණු ළමයගේ රුව නිතරම මතකයේ තිබිලා. ඒ සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ. 

මේ විදිහට ලියූ ගීතය ධර්ම ශ්‍රී ඔහුගේ මිතුරෙකු වන ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි අතට පත් කළා. නමුත් මේ ගීතය අවසානයේ අබේවර්ධන බාලසූරිය අතට පත් කළා. 

සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති. ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායකගේ. වික්ටර්ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ. ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා. අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.



මා එක්කලා අමනාපව වී දබර ...

මා එක්කලා අමනාපව වී දබර
මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා 
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා 
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...

හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ 
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ 
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ 
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...

මේ ගීතයේ රචකයාත්, සංගීත නිර්මාණකරුවාත් ගායිකාවත් ජීවතුන් අතර නැත. අසා ඇති ආකාරයට මේ ගීතය තනුවකට පදවැල් එක්වීමෙන් නිර්මාණය වී ඇත. ඔස්ටින් මුණසිංහ ශුරින් මුලින්ම මේ තනුව නිර්මාණය කර ඇත්තේ භක්ති ගීත වැඩසටහනකටය. දිනක් ප්‍රේමකීර්ති ඔහුගේ ගෙදර පැමිණි විට මේ තනුව වාදනය කර පෙන්වා ඇත. පසුව ප්‍රේමකීර්ති මේ අපුර්ව පදවැල නිර්මාණය කර  ඇත. ගීතයට අවැසිම කටහඬ මාලනී බුලත්සිංහලගේය.

මේ ගීතය ප්‍රේම් කවුදැයි යන්න එළිකරන ගීතයක්දයි මට සිතේ. ප්‍රේමකිර්තිගේ  පළමු කසාද බිරිඳ දයා ද  අල්විස්ය. ඔවුන් දෙපලට  සුරංගි නම් දුවෙක් සිටි. කෙසේ හෝ මේ කසාදය වැඩිකල් පැවති නැත. මොනයම් හේතුවක් නිසා එය දෙදරා ගොස් ඇත. අපේ සමාජයේ කසාදයක් දෙදරා යන්නේ බටහිර සමාජයේ මෙන් ක්ෂණිකව නොවේ. බටහිර සමාජයේ දික්කසාද වීමට හෝ වෙන්වීමට දෙදෙනා අතර රුපවාහිනිය නිවසේ තැබිය යුතු දිශාව පිලිබඳ ආරවුලක් ප්‍රමාණවත්ය. අපේ සමාජයේ එවැනි දේ වලට දික්කසාද වන අවස්ථා විරලය. මීට පෙර දෙදෙනා අතර නොයෙක් අමනාපකම් තිබෙන්නට ඇත. සමහරවිට දයා සමග අමනාප වී ප්‍රේම් නිවසින් ගිය අවස්ථා ද තිබෙන්නට ඇත. එසේ අනුමාන කරන දෙය ඒ ලෙසම සිදුවුයේ නම් ප්‍රේම් පදවලට නගන්නේ දයා ද අල්විස්ගේ අත්දැකීම් හා හැඟීම්ය. ඒ අත්දැකීම් හා හැඟීම් ඇතිවීමට හේතුකාරනා වන්නේ ද ප්‍රේමකිර්තිය.

මෙලෙස හිතළු ගලපන අතර දයා ද අල්විස් අතර හා ප්‍රේමකීර්ති අතර තවත් දේ ගීතවල ඇතිදැයි සිතේ. දයා ද අල්විස්ගේ පළමු සැමියා සෝමපාල රණතුන්ගයන්ය. ඔහු ද ප්‍රවීන ලේඛකයෙකි. 'ඇස් දෙක' ඔහුගේ නවකතාවකි. ඔහු මෙලොවින් සමුගන්නේ නොසිතු මොහොතකය. සමන් ආතාවුදහෙට්ටි පවසන ආකාරයට ප්‍රේමකීර්ති දක්‍ෂ ගීත රචකයෙකු වුවද පොත් කියවනවා දකිනුයේ බොහොමත් අඩුවෙනි. ප්‍රේම් කියාවා ඇති එකම නවකතාව සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව බව සමන් ආතාවුදහෙට්ටි පවසයි. ප්‍රේම් ගේ 'සද කැන් වැසිලා 'ගීතයේ මෙලෙස පද පේලියක් වේ.

"මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයෙනු දැනේ.."

මෙලෙස බැලුකල ප්‍රේම් කියවුයේ සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව පමණක්මද සිතේ.

කෙසේ හෝ ප්‍රේම් ගේ පෙර සඳහන් කල ගීතය ගීත විෂයෙහි බොහොම අඩුවෙන් ස්පර්ශ කරන මාතෘකාවකි. ගීතය කියනුයේ මව විසින් තම දියණියටය. මව පියා ආමන්ත්‍රණය කරනුයේ 'දුවගේ තාත්තා' යනුවෙනි. පියා නිවසින් ගොස් ඇත්තේ මව සමග අමනාප වී මිස දුව සමග අමනාපයෙන් නොවන බව මුල් පද පෙලින්ම පවසයි. අනික මේ දබරයෙන් පියා නිවසින් ගොස් ඇත්තේ ඔහුගේ උවමනවටය.

ගීතයේ සඳහන් තැනැත්තිය තම සැමියාගේ නිවසින් බැහැර වීම ගැන කන්නස්සල්ලෙන් පසුවන බව පැහැදිලිය. ගේදොර අස්කර පිළිවෙලකට තබා ගන්න ඈ උත්සුක වන්නේ නැවත සැමියා ගෙදර පැමිණෙයි යන අපේක්ෂාවෙනි. ගේ ළඟ කඩුල්ලට බැරි බරක් දරන්න සිදුවෙන්නේ කාරනා දෙකක් මතය. පළමුව තමාගේත් දුවගේත් ආරක්ෂාව සහ දෙවනුව ආර්ථික අඩුපාඩුකම්ය. පියා නොමැති නිවසට මව විසින් මේ කාරනා දෙකම සැලැස්විය යුතුය. එය මවට දැරිය නොහැකි බරකි. එපමණක් නොව සැමියා නිවසින් යෑම ඇයට සැපතක් නොවේ. රැය පුරා ඇයට නින්දක් නැත. ඒ නිසා ඇය ගෙමිදුලට වී සැමියා එනතුරු බලා සිටී. 

අඳුර එළඹෙත්ම ඔවුන්ගේ දුක කියන්නට කවුරුත් නැත. අඩුම තරමින් සඳ හෝ පායා නැත. සඳ තිබුණි නම් අඩුම තරමින් සඳට හෝ මේ දුක කිව හැක. කාලය වැය කිරීම සඳහා තරු ගනින්නේ ඒ නිසාවෙනි. මේ ගීතයේ 'සඳ මාමා' යන්න යෙදුම අපුරුය. ගීතය දුවට කියන බවත් පියා නොමැති ගෙදර මව විසින් ඇය ව සුරංගනා ලොවකට ගෙනයන්න දරන නිරර්ථක උත්සාහයත් අපුරු ලෙස හැඟවීමට ප්‍රේම්ට හැකිව ඇත්තේ මේ නිසාය. පියාව නැවත ගෙදර ගේනවා ගැනීමට මවගේ හෝ දුවගේ දුක පමණක් දන්වා යවා පලක් නැත. පියාට දෙදෙනාගේම දුක දැන්විය යුතුය. එය තල් අත්තක ලියනුයේ කඩදාසියක ලියු දෙයක් ලෙස මැකී දියවී නොයන නිසාවෙනි. මේ දුක ගැන පියාට දිගින් දිගටම මතකයේ රැඳවිය යුතුය. එවිට ඔහු නැවත මෙවැනි ගමන් නොයනු ඇත. මේ පණිවිඩය යැවීමට සුදුසුම තැනැත්තා සඳ මාමා ය. පියා ට දහවල් වෙලාවේ විවිධ රාජකාරි නිසා මවගේත් දුවගේත් දුක ගැන අවබෝධ නොවන්නට පුළුවන. එහෙත් රාත්‍රියට සඳ මාමා එනවිට පියාට තම දු සිගිත්ත හා බිරිඳ ගැන සිතුවිලි ගලාගෙන එනු ඇත. ඒ නිසා සඳ මාමා පණිවිඩය දුන් සැනින් හෙට තාත්තා ගෙදර එන බවට මවට විස්වාසයක් ඇත.

ප්‍රේම් නම් පුදුමාකාර නිර්මාණ කරුවෙකි. වචන වලට එහා ගිය දිගු කතාවක් පද කිහිපයකින් පැවසීමට ඔහුට තිබෙන හැකියාව මා පුදුම කරවයි.  ආරම්භයේ මාලනීගේ උච්ච ස්වරයෙන් පවසන මුල් පද පේලිය වැලපිමකට සමානය. මුළු ගීතයේම හරය ඒ පළමු පද පෙලියේම කැටි කිරීමට මාලනී සමත්වී ඇත. තවත් මෙවන් කටහඬ ගීත වලට අවැසි මොතක මාලනී අප අතරින් සමු ගැනීම සැබවින්ම විශාල පාඩුවකි. තවමත් මාලනී ගේ ඒ හිස් තැන පිරවීමට කිසිම ගායිකාවක් සමත් වී නැත.මුණසිංහයන්ගේ සංගීතයත් මුළු ගීතය පුරාවටම තිබෙන ශෝකී බව මානව පිළිබිඹු කරයි. විශේෂයෙන් අන්තරා කොටසේ වැයෙන බටනලාවත්, ගීතය සමග හඬන වයලීනයත් මුළු ගීතය පුරාවටම හදවතේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත් වී ඇත.



අපි ආයෙත් හමු නොවුනා නම්...

ප්‍රේමය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එහි අර්ථය මෙන්න මේ වගේ කියලා කිසිදු කෙනෙකුට විස්තර කරලා කියන්න අමාරුයි. ඒත් ප්‍රේමය තුළ සතුට, සැනසුම වගේම දුක, කලකිරීම කියන දේ මුසුවී තිබෙනවා කියලා නම් කියන්න පුළුවන්. ආදරය කරලා එක්වුණාම, එහෙමත් නැත්නම් එයින් ජයග්‍රහණයක් අත්වුණාම ලැබෙන සතුට, සැනසුම පරාජයේදී හිමිවෙන්නෙ නෑ. ඇතැම් විට ජීවිත කාලය පුරාවටම දුක, කලකිරීම වගේම පසුතැවීම සෙවනැල්ලක් වගේ ළඟ රැදෙන්න පුළුවන්.

ප්‍රවීණ ගීත රචකයකු වූ ආචාර්ය අජන්තා රණසිංහයන්ටත් මේ වගේ කාලයක් තිබුණා. ඔහු ඒ අත්දැකීම මුසුකොට ගෙන අපූරු විරහ ගීතයක් රචනා කළා.

"තරුණ කාලේ අපි ආදර සබඳතා වල පැටලෙනවා. මටත් එහෙම අත්දැකීමක් තිබුණා". නමුත් අපි වෙන්වුණා. ඔහොම ටික කාලයක් ගෙවී ගියා. එක දවසක් මට මේ ගෑණු ළමයා අහම්බෙන් වගේ මුණ ගැහුණා. ඒ මුණගැසීමත් එක්කම මගේ යටගියාව නැවත සිහිවෙන්න පටන් ගත්තා. 

අපහසුවෙන් අමතක කර දමන අතීතයක් නැවත වර්තමානය හා මුසුවන විට හදවත බොහොම දරුණු විදිහට ලෙඩ වෙනවා. ඒකට බෙහෙත් හොයන්න හුඟක් අමාරුයි. ආචාර්ය අජන්තා රණසිංහයන් තුලත් මේ කැළඹීම එදා ඇතුවුණා. ඇයි අපි නැවත හමුවුණේ. ඔහු හදවත තුළ නැඟුණු ප්‍රශ්නයට දිගින් දිගටම උත්තර හොයන්න උත්සාහ ගත්තා. 

කෙනෙකුට දරුණු විදිහට ආදරය කළාම ඒ තුලින් හිමිවන විරහ වේදනාව දරාගන්න අපහසුයි. ඒ වගේම හුඟක් දුක් විඳලා අමතක කර දමන අතීතය යළි ඇස් දෙකට පෙනෙන්න එනවිට හිත කෙතරම් අසරණ වෙනවාද? මමත් ඔන්න ඔය අත්දැකීමට මුහුණ දුන්නා. ඇයව යලි අහම්බෙන් මුණගැසීම තුළ මා වින්ද වේදනාව හා ගැටලු සහගත තත්ත්වය තමයි මේ ගීතය තුළ මම ඉස්මතු කොට පෙන්නුවේ. 

ඔබ නාඳුනන විරහ වේදනාව පෙරදා වින්දේ මා පමණයි. අදත් විඳින්නේ මා පමණයි කියලා මම සටහන් කළේ ඒකයි. 

මේ විරහ ගීතයට අපූරුවට ගැලපෙන ලයාන්විත මිහිරි තනුවක් යෙදුවේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. 

මම මේ කාලය වෙද්දී ආචාර්ය අජන්තා රණසිංහයන් රචනා කළ ගීතයක් ගායනා කොට තිබුණේ නෑ වගේම වික්ටර් රත්නායකයන් තනු නිර්මාණය කළ ගීතයක් කියලා තිබුණේ නෑ.  මට මේ අවස්ථාවන් දෙකම මේ ගීතය නිසා හිමිවුණා. මේ දෙපොළ මා වෙනුවෙන් නිර්මාණය කළ පළමු ගීතය බවට පත්වුණා. මෙහෙම කිව්වේ ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහයි.

ඔහු පවසන පරිදි මේ ගීතයට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙනුයි. විශ්වවිද්‍යාල සිසුන් සංවිධානය කරන බොහෝ ප්‍රසංග වලදී මේ ගීතය ගායනා කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒක ඇත්තටම විශේෂ දෙයක්.

අපි ආයෙත් හමු නොවුනා නම්....
ඉස්‌සර දවසක මිය ගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්.....
  
ඔබ නාදුනනා විරහ වේදනා....
පෙරදා වින්දෙ මා පමණයි......//
හුඟ කලකින් හමුවි සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි..

අපි ආයෙත් හමු නොවුනා නම්..

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමු වන්නේ.....//
ආදරයේ කඳුලින් මිය යන්නද
ජිවිත ඉරණම විසඳෙන්නේ....

අපි ආයෙත් හමු නොවුනා නම්..

පදරචනය - ආචාර්ය අජන්තා රණසිංහ 
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක 
ගායනය - සෝමතිලක ජයමහ 

(උපුටා ගැනීම - සමන් ප්‍රියංකර නම්මුනිගේ)



රුවක් ඇදෙනවා ...

රුවක් ඇදෙනවා- කවුදෝ එනවා
මීව්ත ඇඳීරිය දෑස වසනවා
හද පොදි බැඳී දුක දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා....

මහින්ද දිසානායකත් ගුණදාස කපුගේ සුසංයෝගයෙන් බිහිවීමේ ආරම්භය සනිටුහන් වනුයේ එතැන් පටන්ය.

‘ඇත්තටම කපුගේ මහත්තයා රජරට සේවයට ආවට මම ඔහුව හඳුනාගෙන හිටියේ නැහැ. ඔහුට කියා ගීතයක් කියවා ගන්න තියෙනවා නම් කියන සුවිශාල බලාපොරොත්තුව මටත් තිබුණා.ඒ කාලේ වාදක මණ්ඩලයේ සේවය කළා ධනසේන කඹුරුගමුව කියලා මගේ මිතුරෙක් .ඔහු ගුණදාස කපුගේ මහතාගේ හොඳ යාළුවෙක්.ඒ කාලේ එයාගේ ගෙදර තමයි කරුණාරත්න දිවුල්ගනේත් නැවතිලා හිටියේ.දවසක් ඔහුට මම කිවුවා මගේ ආසාව ගැන. ඔහු කිවිවා ඕක සුළු දෙයක්නේ අයියා සින්දුව ලියන්නකෝ කියලා . දවසක් ඔහු ඔහුගේ ගෙදර රාත්‍රී කෑමක් ලෑස්ති කළා. මටත් ආරාධනා කළා. මාත් එක්ක ජයතිලක බණ්ඩාරත් ගියා.රාත්‍රියේ ඉතින් මධු පානයෙන් එහෙම පස්සේ කපුගේ මහත්තයා සර්පිනාව ගහලා සින්දු කියන්න පනේ ගත්තා. මේ වෙලාවේ මගේ මිතුරා කිවුවා මේ මහින්ද අයියත් සින්දු ලියන කෙනෙක් . එයා සින්දුවක් ලියාගෙනත් ඇවිල්ලා තියෙනවා කියලා.ඒ පාර කෝ දෙන්න බලන්න කියපා කපුගේ මගෙන් සින්දුව ඉල්ලා ගත්තා.සින්දුව දිහා ටිකක් වෙලා බලා ඉඳලා මගේ මුහුණ දිහාත් බලලා. මහින්ද මොකකද්ද කියන්න හදන්නේ කියලා ඇහුවා. මම කිවුවා මැදි වියේ කෙනෙක් ආපන ශාලාවක සුරාව පානය කරමින් ඉන්නවා.ඒ වෙලාවේ එයාගේ මේසේ ලඟට තරුණයෙක් ඇවිත් ඉඳ ගන්නවා.එතකොට මැදි වියේ කෙනා තරුණයාගෙන් ප්‍රශ්න කරනවා. ඇයි මල්ලි මේවගේ තැනකට ආවේ කියලා.එයා කියනවා මම ප්‍රේමයෙන් පැරදුණා .හිතේ දුකට ආවා කියලා.එතකො අර මැදි වියේ කෙනා කියනවා මල්ලි බීලා ඕවා විසඳන්න බැහැ කරුණාකරල යන්න කියලා. ඔය අදහස මම ලියලා තිබුණෙ මෙහෙමයි.

මී විතෙන් ගිනි කණ වැටුනු ඇස
කාගේ රුවදෝ ඇදෙන්නේ
නිමේෂයකින් ඔබව සසඳන
හිතවතෙක් ඔහු දකින්නේ

කපුගේ මහත්තයා මේක දිහා බලලා තියනවා මේක මහින්ද ගීපද රචනයක් නෙමෙයි මේක කවියක්.කවිය නැවත නැවත කියවලා කෙනෙකුට අදහස වටහා ගන්න පුළුවන්.නමුත් ගීතයක් එහෙම නොවෙයි.දැන් අර ඉස්සරලා ආව කෙනා මත් වෙලානේ. එයාට පේන්නේ කවුදෝ එනවා වගේ. අන්න එහෙම පටන් ගත්තොත් හොඳ නැද්ද? ඊට පස්සේ මම පැත්තකට ගිහින් ආයෙත් ගීතය ලියනවා

රුවක් ඇදෙනවා- කවුදෝ එනවා
මීවිත ඇඳීරිය දෑස වසනවා
හද පොද් බැඳී දුක- දියකර පාකර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

මේ වචන ටික පෙන්නුවාම ‘‘අන්න හරි කියලා කිවුවා. ඊට පස්සේ එතැන ඉඳන්ම මම ගීතය සම්පූර්ණ කළා. කපුගේ මහත්තයා එතැන ඉඳන්ම තනුව දැම්මා. දිවුල්ගනේත් එතැනම හිටි නිසා දෙන්න එක්ක ගායනා කළා. ඊට පස්සේ කොළඹ ආවම සරල ගී වලට මෙක රෙකෝඩ් කළා.ඒ ගීතය නිර්මාණය වුණේ එහෙමයි.

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා ...
මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා ...
මොහොතින් එනවා

නැඟුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා ...//
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නඟලා

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා ...
මොහොතින් එනවා

ගායනය - විශාරද ගුණදාස කපුගේ සමග කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ



උදුම්බරා මනාලියේ ...

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොණේ මවා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා

කෝකිල රජදහන් පවා හඬින් උමතු වෙලා
සීගිරි සුර දූත ළඳුන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//
උදුම්බරා

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද - උපාලි ධනවලවිතාන
තනුව - සරත් දසනායක

මේ ගීතය පුරාම කාන්තාවක් වරණනය කරන හැටි දැක ගන්න පුළුවන්. ඒත් උදුම්බරා කියන්නෙ කවුද? සමහර අය සිරි කාලකන්නි ජාතකය අහලා ඇති. සිරි කාලකන්නියා නැතිනම් පිංගුත්තර දිසාපාමොක් ඇඳුරු ලඟ ඉගනුමට යනවා. හොඳම ශිෂ්‍යයාට තම දියණිය පාවා දීම සිරිතක් වුන නිසා ඇදුරු දියණියව පිංගුත්තරට පාවා දෙනවා.

මුල්ම දවසෙ හොඳින් සැරසිලා සිරි යහනට කුමරිය යන කොටම මේ කාලකන්නියා බිමට බහිනවා. කුමරිය බිමට එනකොට මේ පිංගුත්තර නැති නම් කාලකන්නියා ඇඳට යනවා. ඔහොම කරලා මහන්සි වුනාම මේ සෙල්ලම නවත්තලා කුමාරිය තමන්ගෙ පාඩුවෙ ඉන්නවා. සතියක් ඇදුරු නිවසෙ මෙහෙම ගත කලත් රූප සෝබාවෙන් අනූන මේ කුමරියට පිංගුත්තරගෙ සිත යන්නෙම නෑ

නමුත් සිරිත් විදිහට කුමරියත් කැඳවා ගෙන තම රටට යන්න වෙනවා. යන අතරමඟදි කුසගින්නක් දැනිලා කුමරියව දිඹුල් ගසකට නග්ගනවා. දිඹුල් කියන්නෙ අට්ටික්කා කියලයි අහලා තියෙන්නෙ. කාලකන්නියා නැති නම් පිංගුත්තර දිඹුල් ගසේ යට කටු ගොඩක් වට කරලා දානවා කුමාරියට බහින්න බැරි වෙන්න. එහෙම කරලා පිංගුත්තර තනියම තම රටට යනවා. 

ඊට පස්සෙ උයන් කෙලියකට ආව රජතුමා මේ කුමාරියව දැකලා රූප සෝබාවට වශී වෙලා අරන් යනවා. දිඹුල් ගහේ හිටපු නිසා ‘උදුම්බරා’ කියලා නම දානවා. ඉතින් මේ කුමාරියගේ රූප සෝබාවට සමාන කරලා පෙම්වතෙක් තම හිත ගිය පෙම්වතිය වර්ණනා කරන හැටි තමා මේ ගීතයෙන් කියන්නෙ... 

වෙන කාටවත් ප්‍රේමයේ දොරටු නාරින ලෙස ආයාචනාවක්ද කරනවා. ඒ වගේම දයාරත්න රණතුංගයන්ගේ කටහඬත් මේ ගීතයත් සමඟ මනාවට ඒකාත්මික වෙනවා.



ඇසට අසුවන මායිමේ ...

ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල්විලේ
ළසෝ ලැවිගිනි ඇවිලුණා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ

මහින්ද දිසානායකයන් වරක් කරුණාරත්න දිවුල්ගනේට එහෙම ලිව්වේය.බොහෝ දෙනෙක් මෙය හුදු විරහ ගීතයක් ලෙසින්ම අර්ථ ගත්තා වුවද මෙහි පදනම ඉන් එහා ගිය එකකි.

‘‘අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලේ අපිට නියම වෙලා තිබුණු ගද්‍ය සාහිත්‍ය අතර ‘‘ සුළු කළිඳු දා වත ත් තිබුණා.ධර්ම ප්‍රදීපිකාවේ එන සුළු කළිඟු දාවත හරිම ලස්සනයි.ඒ කාලේ අපිට උගන්වපු හැටියට පාඩම් කරලා අපි උත්තර ලියලා උපාධියත් සමත් වුණා. නමුත් මම ගීත රචකයෙකු වශයෙන් මතු වෙන්න ගන්න කොට අපට උපදෙස් දුන්න ස්වර්ණ ශ්‍රීශශ්‍රී බණ්ඩාරයන් හැම තිස්සේම කිවුවේ නිතරම හොඳ බස් වහරක් පාවිච්චි කරන්න කියලයි . එතකොට මට ආයෙත් මතක් වුණා අපි විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත්ත සුළු කළිඟු දාවත. මම නැවත වතාවත් සුළු තළිඟු දාවත කියවන්න පටන් ගත්තා .ඒ වෙනකොට මම ගුරු පත්වීමත් ලැබිලා උසස් පෙළ දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන ගුරුවරයෙක්.ඒ කියවීමෙන් ඇතිවුණ හැඟීම තමයි මම “‘ ඇසට අසුවන මායිමේ ‘‘ ගීතය ලිවුවේ.මේ පොතේ තිබුණෙ චුල්ලකාලික කුමාරයා හා මහාකාලික කුමාරයා අතර ඇතිවන විරසකයක්.මේ නිසා චුල්ලකාලික කුමාරයා ජීවිතේ බේර ගන්න හිමාලයට පැනලා යනවා.ඒ වෙනකොට හිමාලයේ වැහි කාලය.විල් පිරිලා. විල්වල මල් පිපිලා.ගස්වැල් හොඳට හැදිලා . ගස්වල මල් පිපිලා.මල්වල රොන් ගන්න බඹරු ආවා.හැබැයි මේ කිසිවක සුන්දරත්වයක් චුල්ලකාලික කුමාරයාට දැනුණෙ නෑ.ඔහුට වසන්ත කාලයත් දැනුණෙ ගිම්හානයක් වගේ.එතැන හරි මනෝවිද්‍යාත්මක සත්‍යයක් තියෙනවා.මොකද ? කෙනෙකු ගේ ජීවිතේ දුකක් ඇති වුණාම සුන්දර පරිසරයක හිටියත් ඒ සුන්දරත්වය දැනෙන්නේ නෑ.අන්න ඒ හැඟිම ඇති කරන්න තමයි මම ඔය ගීතය ලිව්වේ.

මේ ගීතය ගායනය සඳහා ආරාධනා කරන්නේත් තවත් රජරටින් බිහිවූ කලා ලොවේ මිණි කැටයකට. ඔහු කරුණාරත්න දිවුල්ගනේ. මේ ගීතය සංගීත්වත් කරන්නේ ඊටත් නොදැවෙනි සංගීතඥයෙක් වන ගුණදාස කපුගේ ශූරීන්. මෙහිදී ඔහු හින්දුස්ථානී රාගධාරී සංගීතය සමග දේශීය සංගීතය මුසුකොට මෙහි සංගීත නිර්මාණය කල අයුරක් පෙන්නුම් කෙරෙනවා. මේ කපුගේ, දිවුල්ගනේ සුසංයෝගය සැම විටම ඉතා වටිනා නිර්මාණ අපට දායාද කර තිබෙනවා. 

විරහවෙන් මුසපත් වී සිටින මොහොතක වුනත් අතීතාවර්ජනයක  යෙදෙමින් ප්‍රෙමයේ වු රස තැන්, දුක දනවූ තැන් මෙන්ම ශෘංගාරය දනවන තැන් ජීවමාන ලෙස විඳීමට ඇති හැකියාව මේ ගීතයෙන් මනාව පැහැදිලි කරනවා. 

තරු එලියකින් එකලු කරන්නට නොහැකිවූ සිත් අහස එකලු කල සඳවතියගේ නික්මයාම. විරහවක් කියන්නට සිත් දුන්නේ නැති වුනත් විරහවකට අරුතක් ජනිත කල ඔබේ නික්මයාම මා සිත අහසේ ලසෝ ලැව් ගිණි අවුලන්නට සමත් වූ බව ඔබ දන්නේද? හුදකලාව රජයන ලොවක අතරමංවූ මා දෙනෙත් අභියස බඹර කැල පවත්වති සැනකෙලි කලතා මල්විල. දකින දසුනට ලොබ බඳින්නට නොහැකිය මට මන්ද ඔබේ මගේ අතීතාවර්ජනය  මහද කලඹයි. එදවස් නැවත මතකයට එන්නේ මහදේ ඇතිවූ ගිණි පුලිඟු ලැව් ගින්නකට මග පෙහෙලි කරමිනි. 

සියපතින් පිරි විලක් අභියස අපේ විරහව විඳින්නෙමි මම. මා දෙනෙතට දිස්වන එක් සියපතකට වැටේ පිණි බිඳු එකිනෙක. හමා හැමුවේ සැඩ සුලං ඒ වැටුනු පිණි බිඳු සී සී කඩ කරමින්. අප අතර ඇනුම් බැනුම් නොතිබුනාම නොවේනේ. මේ සැඩ සුළං හරියට ඒ ගැටුම් වගේමයි. ඒ ගැටුම් අවසන ඔබ හඬනායුරු හරියටම මේ සියපතට වැටෙන පිණි බිඳු සැඩ සුළඟට විසිරී යනවා වගේමයි. සර සර හඬ නඟමින් වැටෙනා පිණි බිඳු සිහි කරන්නේ එදවසක ඔබ දෙනෙතින් ගලා හැලුනු කඳුළු බිඳුම නොවේද. සියපතේ පෙති තුලින් රත් පැහැ ගැන්වුනු ඔබේ දෙකොපුල් සිහිවෙන්නේ මසිත තවත් අප්‍රාණික කරමින්. මා විසින් ඔබට දුන් රිදුම් වලින් නැඟුනු කඳුලු කැට රූටා වැටෙද්දී , පිසදමන්නට තිබූ නොපිසිදුනු කඳුලු විරහවට මං තැනුවාද නොදනිමි. 

සතර අත පෙති විහිදාගෙන සිටින මේ සියපත මා දෙනෙතට නැවත හසුවේ. මෙවර මලේ මධු වැගිරෙන ආකාරය මා සිත් කලඹයි. ඔබේ දෙතොල් පෙති වල පහසින් මත්වූ කලෙක මෙන් මා මත්වී ඇත. ඔබේ දෙතොල් පෙති සිපගත් ඒ සොඳුරු මතකයන් මා සලිත කරවයි. පෙර දිනෙක නොව දිනයන්හි මා මත් කිරීමට මීවිත අවශ්යය නොවූයේ ඔබේ ලවන් මගින් මා මත්කල බැවිනි. නා දල්ලක පැහැ සුමුදු තොල්පෙති කෙසේ මා මත්කරාදැයි නොදනිමි. විරහවේ වේදනාව මොහොතකට මට අමතක වූ සේයාවකි. ඔබේ ස්මරණයන් මා ගත හැඟුම් පුබුදුවන්නට සමත් වූ අපූරුව....

ඉතින් කෙටියෙන් පවසනවා නම් සිය පෙම්වතියගෙන් වෙන්ව යාමෙන් හුදකලා දිවියක් ගතකරන තරුණයෙකුගේ අතීතාවර්ජන නිසා ඔහු තුල මතුවන ශෘංගාරාත්මක සිතුවිලි අවට පරිසරයත් සමග බද්ධ කිරීමට රචකයා ගෙන ඇති සොඳුරු වෑයමකි මේ. මෙහි පද යොදාගෙන ඇති ආකාරය ගැන තෘප්තිමත් විය හැකිය. බමර සැණකෙළි, හෙත, මල් මී මමනයුරු.. ආදී යෙදුම් නිසා මෙහි සාහිත්යමය රසය තීව්‍ර වී ඇත. 

ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ

සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ



ඈත කඳුකර හිමව් අරණේ ...

ලංකාවේ ගීත අතරේ බොහෝමයක් අප දකින්නේ ස්ත්‍රී වර්ණනා කිරීම්ය. ස්ත්‍රීත්වය වර්ණනාවේ දී විවිධාකාරයේ යෙදුම් භාවිතා කරනු දැකිය හැකි වේ. නමුත් සංස්කෘතිමය හෝ කලාත්මක වශයෙන් පුරුෂ වර්ණනාවක් දැකිය හැකි වන්නේ කලාතුරකිනි. මා එවන් අවස්ථා දෙකක් සිහි කරමි. ඉන් එකක් නම් යසෝධරාව විසින් බුදුන් වහන්සේ වර්ණනා කිරීමයි. දෙවැන්න නල දමයන්ති කතාව තුලයි.

මා මෙහි සඳහන් කරන්නේ එකී දෙවැනි කතාව තුලින් නිර්මිත ගීතයේ කතාවයි. ගීතයේ අරුත පිලිබඳ සිතන්නට කලින් ගීතයේ කතාව පිලිබඳ අව‌බෝධයක් ලබා ගැනීම සුදුසු යැයි මා සිතමි. මහා භාරතයේ එන් නල දමයන්ති කතාව ඇසුරින් චිත්‍රසේනයන් නිර්මාණය කල නල දමයන්ති මුද්‍රා නාටකය ඇසුරින් නිර්මිත මෙම ගීතයේ කතා නායකයා වනුයේ හංසයෙකි. මහගම සේකරයන් විසින් රචිත ගීතයට තනුව ලබා දෙන්නේ ආචාර්ය ලයනල් අල්ගමයන් විසිනුයි. පණ්ඩිත් අමරද‌ේවයන් විසින් ගායනා කරන මෙම ගීතය ඉතා අපූර්ව අයුරින් පුරුෂයා වර්ණනා කරයි.

නල දමයන්ති කතාවට අනුව නිෂධ රාජ්‍යයේ විසූ නල කුමරුවන් රූප ශ්‍රීයෙන් මෙන්ම අශ්වයන් ධාවනයේ අති දක‍්ෂයෙක් වීය. ධර්මිෂ්ඨ පාලකයෙකු වූ හෙතෙම විවිධ රටවල තොරතුරු රැස් කිරීම උදෙසා චරපුරෂයින් යොදවා තිබින. දිනක් ඉන් එක් චරපුරුෂයෙකු පැමිණ විදර්භ නම් දේශයේ පාලකයා වන හිම රජුන්ගේ වැඩිමහල් දරුවා වන දමයන්ති කුමරිය පිළිබඳව සැල කර සිටින්නට විය. වරෙක තමා ඈ දුටු බවත් කුමරියගේ රූපශ්‍රීය දුටුවනම තමාට නල කුමරුවන් සිහි වූ බවත් එම කුමරියට ගැලපෙන්නේ නල කුමරුවන් බවත් සැල කර සිටියේය. දමයන්ති කුමරියගේ රූ සිරිය පිලිබඳ ඇසූ නල කුමරුවන් සිතෙන් ඇයට ආලය කරන්නට විය.

දමයන්ති කුමරිය පිලිබඳ සිතමින් විල් තෙරක ඇවිදමින් සිටින නල රජු ඉතා ශෝභමාන වූ හංසයෙකු දකිනවා. නල කුමරු එම හංසයා සැනෙකින් අල්වා ගත් පසු හංසයා තමාට ජීවිත දානය දෙන ලෙසත් නල කුමරුවන්ගේ සි

සිතෙහි ඇති ආදරය පිළිබඳ තමා දන්නා බවත් සැක කර සිටින්නට විය. කෙසේ හෝ දමයන්ති කුමරියට නලකුමරුන් පිලිබඳ පුවත සැල කරන්නටත් ඇයගේ සිතෙහි නල කුමරුවන් ගැන අදහසක් ඇති කරනන්නටත් හංසයා පොරොන්දු විය. එම පොරොන්දුව අසා සිටි නල කුමරුන් සතුටුව හංසයා නිදහස් කරන ලද්දේය. පොරොන්දු පරිදි දමයන්තිය සොයා ගිය හංසයා නල කුමරුවන් වර්ණනා කරන්නට විය. ඇගේ සිතේ කුමරුවන් පිලිබඳ ආදරයක් ඇති කරන්නට තරම් ඒ් වර්ණනාව සමත් විය.

මෙම ගීතයේ කියැවෙන්නේ එකී වර්ණනාවයි.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ්
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සඳුන් ගස් වලින් පිරුනු සීතල හිම වනාන්තර අතරින් හමාගෙන එන සීතල හුලං වල පාවෙලා එන්නේ ඔහු‌ගේ නාමයයි. හංසයා දමයන්තියට නල කුමරුවන් පිළිබඳ වර්ණනාව අරඹන්නේ එලෙසයි. ඔහු පිළිබඳ නොදත් අයෙත් නැහැ. ඒ වගේම ඔහුව දන්නේ ධර්මිෂ්ඨයෙකු නිසා සුන්දරවයි ඔහුගේ නාමය පිලිබඳ මිනිසුන් දන්නේ.

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

අහසේ තාරකා තියෙන රාත්‍රියක මැණික් සඳලු තලයක ඉන්න වෙලාවක් ගැන හංසයා මතක් කරන්නේ ඒ තියෙන සුන්දරත්වය ඉතාමත් ඉහල නිසයි. එහෙම සුන්දරත්වයක ඉන්න සුන්දර කුමාරිකාවන්ගේ වුනත් සිහින වල ඉන්නේ නල කුමාරයා. ඒ සුන්දර මොහොතට වඩා නල කුමාරයාගේ සුන්දරත්වය වැඩි බව හංසයා පෙන්වන්නේ එහෙමයි.

රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

රත්තරනින් කලා වගේ තියෙන පිරුණු පපුවක් තමයි නල කුමාරයාට තියෙන්නේ. ඒ තරම් සුවිසල් වටිනා කියල හදවතක් හිමි කුමාරයෙක්ට තුරුල් වුනාම කාන්තාවන්ගේ පයෝධර මුසපත් වෙනවා. හදවතේ ආදරය හට ගන්නවා. ඔහුගේ ඇස් සරාගයෙන් පිරිලා නුරා රසය ඉතිරී යනවා. ඒ තරම් ඔහු ලස්සනයි. පෞරුෂයක් හිමියි.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ //

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ //
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගම සේකර
සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...