Thursday, July 16, 2020

තිරය ඇරෙනවා ...

ප්‍රවීන ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතා ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන ඔහුට පේරාදෙණිය විශ්ව විද්‍යාල පිවිසුම් වරම් හිමිවෙයි. විශ්ව විද්‍යාල සමයේදි වේදිකාවට පෙම් බැඳි ඔහු ගීත රචනා කිරීමට පෙළඹුනේ තම විවාහයෙනුත් පසු කාළයක දී  ය.

ඔහුගේ පළමු ගීත නිර්මාණයෙන්ම රසිකයින් අතරට ප්‍රබල පණිවිඩයක් යවන්නට ඔහු සමත් වූ බව නිසැක ය. පළමු නිර්මාණය වූ 'තිරය ඇරෙනවා තිරය වැසෙනවා' මුලින්ම ප්‍රචාරය වන්නේ 1983 මාර්තු මාසයේ වුවත්, ඊට පාදක වූ සිදුවීම ඔහුගේ පාසල් අවධිය දක්වා අතීතයට දිව යයි. "මා අතින් ගීයක් ලියවෙනවා මිසක මම ගීත ලියලා දෙනව හරි අඩුයි. එහෙම ලියද්දි මා අතින් ලියවෙන්නේ ප්‍රේමය ද විරහව ද දරිද්‍රතාවය ද මවු ගුණද පිය ගුණද කියන්න මම දන්නේ නැහැ. නිර්මාණය නිර්මාණයක් ලෙස එලියට එනවා මිසක, බලෙන් නිර්මාණ එලියට අද්දවා ගැනීමේ ක්‍රමයක් මට නැහැ.

මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ. මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ. සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

"මේ ගීතය ගායනා කරන්න භාර ගන්නා විට සුනිල් එදිරිසිංහයන් මගේ මිතුරෙක් නොවේ. නමුත් මා මිත්‍ර ජයලත් මනෝරත්නයන් හරහා ඔහු වෙත යවපු ගීත කිහිපයක් අතරින් මෙම ගීතය සහ ලෝකයක් තනන්නට කියන ගීත දෙක ගුවන් විදුලියේ සරළ ගී වැඩහටහන සඳහා ඔහු තෝරා ගත්තා.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...