Thursday, July 16, 2020

සඟවා ගනු මැන ...

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ
මුව මත ගැටෙතැයි මා හද බිය වී
සැලී සැලී යයි

මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරුවේ මා හද

සොමි සඳ වත ලෙස රුසිරු නොවී නම්
දහසක් නෙත් ඔබැ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත

ගී පද රචනය - බණ්ඩාර කේ විජේතුංග 
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

මේ නම්, නියම පෙම්වතියක් ගැන යැයි නොසිතමි. නියම නොවන පෙම්වතියක් වේ නම් ඇය අනියම් පෙම්වතියක් විය යුතුය. එබැවින් මේ අනියම් පෙම්වතියක් ගැනම යැයි මට හැඟේ. ( මේ නියම් අනියම් කතාව සමාජ ව්‍යවහාරය අනුව ගත්තකි. මා මෙහි යම් තැනක ලියා ඇත්තක් සේ, ආදරයට නියම් අනියම් භේදයක් තිබිය නොහැකිය. එහෙත් ආදරයකින් තොරව හුදු කායික සන්තර්පනය සඳහා පමණක් කරණු ලබන එවැනි ඇසුරකදී නම්, ඒ වචනයෙහි ඇති ගැලපීම ගැන වාදයකට නොඑළඹෙමි.

සමහර අයට රහස් තිබේ. ඒ රහස් වලින් සමහර ඒවා රසය. රස වුවත් රහස් වන බැවින් රහස් සැඟවිය යුතුය. රස රහස් සැඟවූ විට එහි රසය අඩුය. රස රහස් වල රස වැඩි වෙන්නේ විශ්වාසවන්ත යමෙකුට කී විටය. මේ නොකිය යුතු රහස මෙලෙස නම් ගම් රහිතව කියන්නේ තනියම සිතේ පැළපදියම් වූ කල එහි සැබෑ රස මතු නොවන නිසාය.

මෙය අත්දැකීමක්ද? අත්විඳීමක්ද යන්න ගැන විවිධ අය අතරේ විවිධ මත ඇත. 

තතු දන්නා බව කියන සමහර අයගෙන් අසාගත් සමහර තතු මා සතුව ඇත. එහෙත් නිසි තතු නොදැන ඒ ගැන යමක් නොකිව යුතුයැයි සිතේ. නිසි තතු දැන ගත්තද, සමහර තතු නොකිවමනාය. එබැවින් කණින් කොණින් ඇසූ ඒ සමහර තතු, නොකියා ම සිටිමි.

මෙහි ඇත්තේ ආදරයේ ඉරිසියාවද? නැතිනම් රාගයේ ඉරිසියාවද? මට නම් හිතෙනුයේ රාගයේ ඉරිසියාව කියායි. එය ලියැවී ඇති අයුර අනුව වඩාත් එලෙස සිතන්නට යොමු වෙයි.

ආදරය යනු අති පිරිසිදු දෙයකි, රාගය එසේත් නැති නම් අනුරාගය යනු අති අපිරිසිදු දෙයකි වැනි කතාවකට මුල පිරීමක් නොවේ එය. මා සිතන ලෙසින් නම්, එක් එක් කෙනා මොන මොන දේ කිව්වත්, ඕවා වෙන වෙනම බඳුන් වල පවතින වෙනම පිරිසිදු සහ අපිරිසිදු ද්‍රව්‍යයන් නොවේ. එකම බඳුනේ එක් එක් ප්‍රමාණවලින් මිශ්‍ර වී තිබෙන එක් සංයෝගයකි එය. විවිධ ස්වභාවයන් තත්වයන් අනුව සංයෝගයේ එක් එක් සංඝටකයෙහි ඇති ගුණ අඩු වැඩි වන ආකාරයේ එකකි එය. ඒ මා කියනා දෙයයි. ඔබේ දැකීම ඊට වඩා වෙනස් විය හැකිය.

කෙනෙක් ආදරය මලක සුවඳට සම කරයි නම්, සදාකල්හි ම මලේ සුවඳ පමණක් පතා සිටී දැයි මට සිතා ගත නොහැකිය. මට සිතෙන්නේ ටික දිනකින්ම ඔහු හෝ ඈ මල දකිනු රිසි සිතින් පෙළෙනු ඇත කියාය. මලේ වරුණ නෙත දුටු සඳ, තවත් කලකින් ඔහුට හෝ ඈට මලේ ස්පර්ෂය විඳිනු රිසිවනු ඇත. මලේ පෙත්තක මතු පැත්තේ සුමුදු බවද, යට පැත්තේ තරමක් රළුවට දැනෙන්නා වූ ස්වභාවයද ඔවුන් එක සේ පතනු ඇත. සුවඳ ඈතට දැනුනත්, ළං කර ගෙන සිඹින්නට සිතනු නිසැකය. එපා යැයි කියනවා නම් එසේ වනු ඇත්තේ, තියුණු විස කටුවක කටුකත්වය පමණි.

ඉතින්, කොහොමද ආදරය හා අනුරාගය වෙන්ව තබනුයේ. 

එහෙත් මේ ගීතයේ වඩාත් මතුවන්නේ ආදරයට වැඩියෙන් අනුරාගයද? මට නම් සිතෙන්නේ අනුරාගයද නොව ඒ හා බැඳුනු මමත්වයයි. ඒ මමත්වය නිසා ඇති වුණු ඉරිසියාවයි.

ඒ නිසා නොවේද මෙලෙස සිතනුයේ
මහ වන පියසක අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද

තවත් යම් පිරිමි ඇසක් මතු නොව, හිරු රැස් පවා ඈ රුව දකිනු නොරිසි වෙයි ඔහු. එය එතරම්ම වූ ඉරිසියාවකි. එහෙත්, ඉරිසියාව යැයි කියමින් කවියා කවියෙන් කියන්නට උත්සහ කරණුයේ ඈ හා ඒ මොහොතේ ඇති වුණු බැඳීම ගැන මිස මහ පොළොව මත ක්‍රියාත්මක කරන්නට අදහස් කරණ ඉරිසියාවෙන් පිරුණු වැඩ පිලිවෙලක් ගැන යම් ඉඟි කිරීමක් නොවේය යන්නයි මගේ නම් සිතුවිල්ල.

සොමි සඳ වත ලෙස රුසුරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

මෙහි ද, අප පවත්වාගෙන යන මුසාවක් ගැන කතාවක් ඇත. එනම්,

මම නම් ආදරේ ආදරයට මිස වෙන කිසිවකට නොවේ. මම නම් ආදරේ ඇගේ හදවතට මිස අන් කිසිවකට නොවේ. මම නම් ආදරේ ඈටම මිස ඈ සතු අන් දේ වලට නොවේ යන අප පෙනී නොපෙනී රැක බලා ගන්නා මුසාවයි. මේ පෙම්වතා නම් බැඳී ඇත්තේ ඈ රුවටමය. ඈ කයටමය. ඈ රන් රුවැත්තියක නොවුණා නම් රංචු පිටින් එන මිනිසුන් ඈ රුව ඇසින් නොව වෙනත් අයුරකින් ස්පර්ෂ කළද ඔහුට කම් නැත.

මේ නම් කැත අදහසකැයි කෙනෙක් සිතනු ඇත. එලෙසින් සිතා කවියාට ගරහනු ඇත. එහෙත් කවියා සාමාන්‍ය මිනිස් ස්වභාවයට සිනාසෙන බව, ඒ අනුව තමන්ටද සිනාසෙන බව ඔවුන් නොදනී. මෙහි අවසන් දෙපදය බලන්න. 
 
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

ඔහු ද ඈ රුව නිසි ලෙස දැක ඇත්තේ ඊයේය. ඔහු මේ ගීය ලියන්නේ ඒ උණුසුම තවමත් නොනිවුණු සිතිනි. ඔහු මේ ගීය ලියන්නේ ඒ උණුසුම තවමත් නොනිවුණු සිතිනි යනුවෙන් කී විට, මෙය ගීත රචකයාගේ සැබෑම අත්දැකීමකි. ඔහුගේ සැබෑ ස්වරූපය එයය වැනි අදහස් ඔබට මතු විය හැකිය. එහෙත් මෙය ඔහුගේම අත්දැකීමක් දැයි මම නිසැකව නොදනිමි. විවිධ කතා බස් ඇත. සෑම කතා බහක්ම සත්‍යයමයැයි සැකයකින් කොරව කීමට මට නොහැකිය.

ඔහු ඈ රුවින් මත්ව ඇත. කුමන අයුරකින් මත් වුවද, එවිට පියවි සිහියක් නැත. සිහියෙන් නොසිටින්නේ අසිහියෙන්, මළා සේ ඇද වැටුණු අය පමණක් නොවේ. සිහියෙන් සිටින්නා සේ පෙනෙන බොහෝ දෙනද, බොහෝ විට අසිහියෙන් සිටිනවා විය හැකිය.

කෙසේ වෙතත්, යළිත් කිව යුත්ත වන්නේ, ඈ සඳමඬල සේ හැඩ වැඩ නොවුණි නම්, ඇය කාට හිමි වුණද ඔහුට කම් නැති පවය. ඔහු ඈට මෙතරම් ගිජුව ඇත්තේ, ඇගේ රූ සිරි හේතුවෙනි. ඔහු ඇගේ රුව නම්, බාධාවකින් තොරව දැක ඇත. ඇගේ හද දුටු බවට මෙහි කිසිදු සාක්ෂියක් ඔහු ඉතිරි කර නැත. එවැනි සාක්ෂියක් සත්‍ය වශයෙන්ම නොතිබුණාද? නැති නම් ගීතය තුළ උත්ප්‍රාසවත් බව වැඩි වැඩියෙන් සුරැකීමටද? මට නම් සිතෙන්නේ මේ ගීතය ලියැවී ඇති රටාව අනුව, රුව මිස හද දැකුමට ඉඩක් නොතිබූ බවය. එය රචකයාගේ වරදක් හෝ ගීතයෙහි අඩුවක් නොවේ. මිනිස් සමාජයේ ඇති අඩුවක් කිසිදු අඩුවකින් තොරව එහි ගැබ් කිරීමයි.

1939 ජනවාරි 28 වැනිදා කුරුණෑගල වැලිගන්වත්තේ දී උපත ලද "සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක" නොහොත් "බණ්ඩාර කේ.විජේතුන්ගයන්" බදුල්ල සාන්ත බීඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද  පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වූයේ ය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ ඔහුට ආනන්ද විද්‍යාලය කළා කුසලතා සඳහා තෝතැන්නක් විය .ඔහු ආනන්ද විදුහලේ සිටියදී ලේඛන කලාවෙන් හා චිත්‍ර කලාවෙන් දැක්වූයේ අසමසම කුසලතාවකි.1957 දී අනතර් පාඨශාලීය චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය .1958 දී "The Anandian" නමැති විද්‍යාලිය සඟරාවේ සම සංස්කාරක ධුරය දැරිය ,හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය ,හොඳම රචනාව ,හොඳම ඉංග්‍රීසි රචනාව ,හොඳම චිත්‍ර නිර්මාණය සඳහා වූ ත්‍යාග වසර ගණනාවක් අඛණ්ඩව දිනා ගත්තේය .



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...