Thursday, July 16, 2020

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස ...

1983 වසරේ සුනිල් සරත් පෙරේරා විසින් රචිත මහකන්ද ආශ්‍රිත ‘‘ඔබ මා සමඟ අතිනත ගන්නා දවස’ ගීතය.   

මහකන්ද ගීතයට නිමිත්ත වන්නේ 1983 වස​රේදී ගේය පද රචක සුනිල් සරත් පෙරේරා, ආචාර්ය පණ්ඩිත් අමරදේව හා මහාචාර්ය ජේ.බී. දිසානායක යන ත්‍රිත්වය රජරටට දුම්රියකින් ගිය ගමනකි. රජරට ගුවන් විදුලි සේවයේ පාලක තිලක සුධර්මන් ද සිල්වාගේ ඇරයුමින් එහි ගිය මේ තිදෙනාට දවස පුරාම සාහිත්‍ය උත්සවයකට සහභාගි වීමට සිදු විණ. මේ උළෙල සංවිධානය කර තිබී ඇත්තේ රජරට සේවයේ වැඩසටහන් නිෂ්පාදක නිව්ටන් ගුණසේකර විසිනි. රජරට යන ගමන තුළින් මට මේ ගීතය ලිවීමට හොඳ අත්දැකීම් සමුදායක් ලබා දුන්නා. දුම්රිය තලාව පසු කරන විට රන්වන් ඉරු රැස් අවට කඳුවැටිවල තැවරිලා තිබුණෙ. මගේ බිරිඳ සරෝජිනීගේ ගම රඹුක්කන. රඹුක්කන පහු කරල, අලගල්ල කන්ද අසල උස් කඳු බෑවුමක බිරිඳගේ මහ ගෙදර පිහිටලා තිබුණෙ. ඒ නිවසට මෙන්ම අවට කඳුකර පරිසරයට මම ආදරය කළා. මගේ කවි සිතුවිලි පිබිදුණා.   

ස​රෝජිනීගේ නිවස අසල රඹුක්කන් ඔයේ අතු ශාඛාවක් ගලා බසිනවා. මේ දර්ශනය තුළින් මම ගීත කිහිපයක් ලියලා තියෙනවා. එදා මා දුම්රියෙන් යන විට අලගල්ල කන්ද පහු කරලා කඩිගමුවේ බිං ගෙයක් පහු කරලා යන විට දුටු දර්ශනීය පරිසරයෙන් මම විකසිත වෙලා හිටියෙ. අපි රජරටට ගිහින් දවල් කෑම ගන්නා විට තිලක සුධර්මන් මෙහෙම කිව්වා.   

‘‘අපිට රජරටින්ම බිහි වුණු දක්‍ෂ සංගීත කණ්ඩායමක් ඉන්නවා. ගීතයක් ලියමුද? සරත්, රජරට වැව් බැඳි රාජ්‍යයත් නුවර කලාවියත් තේමා කරගෙන. අමරෙට කියල තනුවක් හදලා අදම පටිගත කරමු.’’   

මේ අභියෝගය මම බාර ගත්තා. එකවරම මට ‘‘සුවඳ පද්ම ඕලු ආදී....’’ ගීතය මතකයට ආවා. මම පැයක් ඇතුළත ගීතය ලිව්වා. එක පාරටම ලිව්වා පද පේළිය ‘‘වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි’’ රූපකය ප්‍රබල භාෂාත්මක උපක්‍රමයක් ලෙස ගීතයකදී යොදාගත් අවස්ථාවක් හැටියට මහකන්ද ගීතය හඳුන්වන්න පුළුවන්. හිරු රැස් සහිත කන්ද පරිසරය තුළින් ගොඩනැගුණා. රාත්‍රී කාලයේ මේ කන්ද පාළුයි. හැන්දෑවට හුදකලාව රජ කරනවා. කිරලාගේ වැළපීම, පාළුව, වැව් ගම්වල රජ කරනවා.   

නොකියූ රහස හද උතුරා වාන් දමයි   
මතකයෙ සුවඳ තවමත් මා හදට දැනෙයි.’’ 
හද තුළ නොකියූ රහස වං දමන්නේ දරාගන්න බැරිම තැනයි.   

මගේ ගීතවලින් කාලය අනිච්චතාවක් අනිච්චාවයෙන් මතුවන සුන්දරත්වය මතු කිරීමටත් බොහෝ විට උත්සාහ ගත්තා. ථෙර ථෙරී ගාථාවල ජීවත් වූ මෙහෙනින් වහන්සේ ගිහි ජීවිතයේ නිරාමිස සතුටක් ලැබෙන්නේ අල්පේච්ඡතාව රාගයෙන් තොර උපේක්‍ෂාවෙන් ජීවිතය දෙස බලන විදිහටයි. කාලයාගේ ඇවෑමෙන් පසුත් කන්ද වෙනස් වී නෑ.   

අපි ප්‍රේම කරන කාලේ කියනවා- ‘‘අපේ ආදරය මේ කන්ද වගෙ වෙනස් වෙන්නේ නෑ’’ ‘‘ඉර හඳ වගේ අපේ ආදරය ස්ථිරයි.’’ කියලා. ඒත් පසු කාලෙක අපි වෙනස් වෙලා. කන්ද වෙනස් වෙලා නැහැ.’’   

අමර​දේව ගීය හිමින් ගයලා මා දිහා බලා හීන් හිනාවක් පෑවා. ඒ කියන්නෙ ගීයේ සාර්ථක බවයි. සුනිල් සරත් පෙරේරා කියන්නේ මේ ගීතය ශ්‍රව්‍ය දෘෂ්‍ය රූප එකතුවක් කියාය. ආඛ්‍යාන රූපත්, දෘෂ්‍ය රූපකයත් එකට සංකලයක් කියාය. අමරදේවයන් ගේය පද රචනය බලා කිසිදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව කඩද‌ාසික තනුව ස්වර ලිපි සටහන් කර ගෙන ඇත. මෙහි තනුව සඳහා ඔහු නිශ්චිත රාගයක් ඇසුරු නොකොට මිශ්‍ර රාගත්, එහි පරිබාහිර නාද රූපත් මතු කර ගත් බව සරත් පවසයි.   

මේ ගීතය ‘එසැණ ගීතයක්’ ලෙස හඳුන්වන්න පුළුවන්. එක මොහොතකින් ක්‍ෂණිකව ලියූ ගීයක්. අමරදේවයන් භාවමය හැඟීම මතුවන ලෙස වචන බර කොට වරෙක හඬ නගලා ගායනා කළා. ඒ ඒ බර හඬින් ගයලා මා දෙස බලා හීන් හිනාවක් පෑවා. එයින් ව්‍යංගයෙන් කියවුණ 

ගීත රචනයේ සාර්ථක බවයි.’’ මේ ගීතය එදිනම රජරටින් උපන් යොවුන් සංගීත කණ්ඩායම විසින් සංගීතය මෙහෙයවා පටිගත කොට එදිනම රජරට ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය වී ඇත.   

මහකන්දට සුනිල් සරත් පෙරේරා කොතරම් ආදරයද යත් ඔහු 1995 ප්‍රකාශයට පත් කරන ලද ගීත රචනා එකතුවද නම් කර ඇත්තේ ‘මහ කන්ද’ නමිනි. එය පිළිගන්වා ඇත්තේ මෙසේය.   

‘‘බාල වියේ සිට මට මහා කන්දක් වූ තාත්තටත් අම්මාටත් මෙම ‘මහකන්ද’ භක්ත්‍යාදරයෙන් පිළිගන්වමි.’’ කියාය.   

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව 

ලංකාදීප



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...