Thursday, July 16, 2020

සක්මන් කරන මළුව පාළුයි දේවි ...

දස්කොන් ප්‍රමිලා පෙම් පුවත..

ප්‍රංශ ජාතික අද්මිරාල් වරයෙකු වූ "ලාහේ" නම් නැව් පතියා තම පිරිස සමඟ ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොඩ බසින්නේ වර්ෂ 1672 දීය. මේ ගමන අතර තුරදී ඔවුන්ට ලන්දේසීන් සමග සටන් කීපයකටම මුහුණ දීමට සිදුවන අතර ඒ සෑම සටනක්ම ජයගනිමින් තමයි ඔවුන් ලංකාද්වීපයට ගොඩ බසින්නේ. ඔවුන් ගොඩ බට පුවත එවක මහනුවර රාජධානියේ රජකල දෙවන රාජසිංහ රජුට සැලවන අතර රජුගෙන් ඔවුන්ට හිමි වන්නේ ඉහල පිලි ගැනීමක්. හේතුව වූයේ ඒ වන විට රාජසිංහ රජුගේද ප්‍රධාන සතුරන් වී සිටියේ ලන්දේසීන් වීමයි. 

රාජසිංහ රජුගේ ආදර සංග්‍රහ විඳිමින් ටික කලක් ගතවූ පසු එම පිරිස නැවත තම මව් රටට යාමට සූදානම් වනවා. නමුත් මෙම කණ්ඩායමෙහි දෙවන නිළධාරියා ලෙස කටයුතු කල "ගැස්කොන්" ලංකාවේ නැවතීමට තීරණය කරනවා. රජුගෙන්ද එයට විරුද්ධතාවයක් නොවූ හෙයින් කලකට පසු ඔහු පෘතුගීසි කාන්තාවක් වූ "නෙස්ක්‍රිඤ්ඤා" සමඟ විවාහ වී මහනුවර පදිංචි වෙනවා. ටික කලකින් ඔවුන්ට පිරිමි දරුවෙකු ලැබෙන අතර ඔහුට "පේද්රූ ගැස්කොන්" යන නාමය තබනවා. දරුවා කුඩා කල පටන්ම ඔහුගේ දෙමාපියන් විසින් ඔහුව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන අතර දෙවන රාජසිංහ රජුගේ පුත් කුමරා වූ නරේන්ද්‍රසිංහ කුමාරයාද ඒ වන විට පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටිනවා. තම පියවරුන්ගේ තිබෙන හිතවත් කම මතත් එකම පිරිවෙනක ඉගෙනුම ලබන නිසාත් මේ දෙදෙනා ඉතාමත් හොඳ මිතුරන් බවට පත් වෙනවා.

කාලයාගේ ඇවෑමෙන් දෙවන රාජසිංහ රජු අභාවප්‍රාප්ත වන අතර හිස්වූ රජ කිරුළ නරේන්ද්‍රසිංහ කුමරුට හිමි විය යුතු වුවත් එයට කන්ද උඩරට බොහොමයක් රදල වරු කැමති වෙන්නේ නෑ. ඔවුන් කුමාරයාට විරුද්ධව කැරැල්ලක් ඇති කරන අතර කුමාරයා වනයට පලාගොස් සැඟවෙනවා. එසේ සිටින ගමන් සේනා සංවිධානය කරන කුමරුට තනි නොතනියට හා සහයට ලඟින්ම හිටියේ ඔහුගේ මිතුරා වූ "ගැස්කොන්". පසුව තම සේනාවන්ද සමඟ සන්නද්ධව පැමිණි නරේන්ද්‍රසිංහ කුමරු 1707 දී උඩරට රාජ්‍ය බලය තමන් සතු කර ගන්නවා. ඔහු කිරුළු පළදින්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින්. කළගුන අමතක නොකල රජු සිංහල ප්‍රධානීන්ගේ දැඩි අකමැත්ත මත වුවත් තම හිත මිතුරු ගැස්කොන් ට මහාධිකාරම ධූරය පිරිණමනවා. කාලයාගේ ඇවෑමෙන් ගැස්කොන් නාමය දස්කොන් බවට පත් වන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ භාවිතයේ පහසුව පිණිසයි.

නරේන්ද්‍රසිංහ රජු කෙලිලොල් ජීවිතයකට හුරු පුරුදුව සිටියා. සුරාවට සහ ස්ත්‍රීන්ට දැඩි කැමැත්තක් දැක්වූ ඔහුට සෙංකඩගලට අමතරව කුණ්ඩසාලේ සහ හඟුරන්කෙත ද මාළිගා තිබුනා. වර්ෂ 1708 දී ඉන්දියාවෙන් ගෙන්වාගත් නායක්කාර් වංශික කුමරියක වූ ප්‍රමිලා බිසව සිටියේ හඟුරන්කෙත මාළිගාවෙහිය. ඇය කවි ලිවීමෙහි නිපුන තාවයක් පෙන්නුවා. පිරිවෙන් අධ්‍යාපනයක් ලැබූ දස්කොන්ට ද කවි ලිවීමෙහි හා කීමෙහි මනා හැකියාවක් තිබුනා. මේ හේතුව නිසාම දෙදෙනා අතර සමීප ඇසුරක් ගොඩ නැගෙනවා ප්‍රමිලා හඟුරන්කෙතත් රජු සෙංකඩගලත් වීම මෙයට තවත් එක් හේතුවක් වුනා විය හැකියි.

දස්කොන් විසින් ප්‍රමිලාට පළමුව යොමුකලා යැයි සැලකෙන කවිය

රන් මාලය පැළඳාගෙන ගෙල සුවි පුල්ලා
ඉන් ආලය වඩයි මගෙ හිත නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුනත් උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා ගුල්ලා

එයට ප්‍රමිලාගෙන් ලැබෙන පිලිතුර වූයේ

යන්නෝ මෙ මඟ රෑ දහවල් තොර වෙද්ද
බොන්නෝ මෙ මඟ දිය බොර කරලා බොද්ද
දෙන්නෝ පහස ගෙට අඩගහලා දෙද්ද
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද..

(බිසවගේ කාමරයෙහි දොරට මිණි ගෙඩියක් ගැට ගසා තබන්නේ කිසිවකු විසින් හෝ දොර අරියි නම් එය දැන ගැනීමටයි)

මෙසේ ප්‍රමිලාගේ අවසරය ලැබුනු නිසා දෙදෙනා හැකි සෑම විටකම රිසිසේ පෙම් සුව විඳින්නට වුනා. 

තවත් කලක් ගතවන විට හදිසියේම ප්‍රමිලාට යම් හඳුනාගත නොහැකි අසනීපයක් වැලඳෙන අතර ඉන් සුව වීමට නම් ශාන්තිකර්මයක් කල යුතු බව පැවසෙනවා. ඒ සඳහා ප්‍රමිලාගේ ජීවමාන ප්‍රමාණයේ මැටි බලි රූපයක් ඇඹීමට අවශ්‍ය වන අතර එම කාර්‍යය අති දක්ෂ මූර්ති ශිල්පියෙකුට පැවරෙනවා. ඔහු විසින් ඉතා මනරම් ලෙස ප්‍රතිමාව නිර්මාණය කරන අතර එහි අධික්ෂණ කටයුතු භාර වූ දස්කොන්ට එහි යම්කිසි අඩුවක් දකින්න ලැබෙනවා. ඒ ප්‍රමිලාගේ කලවයෙහි වූ උපන් ලපයයි. මූර්ති ශිල්පියා ඇමතූ ඔහු නියම ස්ථානයේ ඔහු ලවා ඇගේ උපන් ලපය අන්දවනවා. දැන් සියල්ල සූධානම්. මහ රජු පැමිණ පිළිමය දැක ඉතා සතුටට පත්වන අතර ක්ෂණයකින් ඔහුගේ ඇස යන්නේ ඇගේ කලවයෙහි වූ උපන් ලපයටයි. ඔහු හැර තව කිසිවෙක් ප්‍රමිලාගේ උපන් ලපය දුටුවේ කෙසේද.. මූර්ති ශිල්පියාගෙන් කරුණු විමසීමේදී හෙලි වන්නේ දස්කොන් අධිකාරම ගේ උපදෙස් මත එය ඇන්ද බවයි. ඒ ඔස්සේ පරීක්ෂණ කරන රජුට දැන ගැනීමට ලැබෙන්නේ ඇය සහ දස්කොන් අතර කිට්ටු සම්බන්ධයක් තිබී ඇති බවයි. රජුගේ අණින් වහාම දස්කොන් අධිකාරම සිරගත කරන අතර හිස් වන පුරප්පාඩුවට ලෙව්කේ රාල පත් කරනවා. 

සිරගතව සිටින දස්කොන් තම නිවැරදි භාවය විස්තර කොට "නෝක්කාඩු මාලය" නම් වූ කවි සංග්‍රහයක් ලියා එය ලෙව්කේ රාල හරහා රජුට එවූ නමුත් ලෙව්කේ රාල එය රජුට භාර දෙන්නේ නෑ. තම නිවැරදි භාවය ඔප්පු කිරීමට දස්කොන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා අයුරු දකින රජු ඒ ගැන උරණ වී බෝගම්බරදි ඔහුගේ හිස ගසා දැමීමට නියම කරනවා. එසේ ඔහුව දණ්ගෙඩියට ගෙන යන අතර ප්‍රමිලා විසින් පවසන්නේ

සක්මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද
දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද..

එයට පිළිතුරු දෙන දස්කොන්

විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මහිස් එකක් දීනම් නුඹෙ නමට කිමා

(එකල රාවණා නම් වූ රජුන් සීතාවන්ගේ පහස නොලබා ඇය නිසා ඔහුට තම ඔළු දහයම (රාවණා ට ඔළු දහයක් තිබූ බව ඇතැම් කතාවල සඳහන්‍ ය) පුදන්නට වුනා නම් ඔබගේ පහස උපරිමයෙන් විඳි මා මගේ එකම එක හිස ඔබ වෙනුවෙන් පිදුවාට කුමක් වේද..)

ලෙස පවසා කිසිදු බියකින් තොරව මරණයට මුහුණ දුන් බව පැවසේ. පසුව ප්‍රමිලාද නියඟලා අල ආහාරයට ගෙන තම ජීවිතය නැතිකර ගත් බවත් සඳහන් ය.

දස්කොන් ප්‍රමිලා පෙම් පුවත ඇසුරින් ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් අතින් නිම වූ මේ පද පෙල ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේ සමගින් සමිතා එරන්දතී මුදුන්කොටුව යි. තනුව සහ සංගීතය විශරද ගුණදාස කපුගේ ගූරීන්ගෙනි.

සක්මන් කරන මළුව පාළුයි දේවි
මං විතරයි ඔබ කිසි දිනක නො ඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී බිඳෙන්නේ //
රන්තරු දෑස පියන රෑ සඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

සක්මන් කරන මළුව ... //

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කදුළු මට සිහි නොවුනේ //
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ 
මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව... //



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...