Thursday, July 16, 2020

බෝ මලුවෙ මල් සුවදක පැටලි ...

මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගායනා කරන "බෝ මලුවේ මල් " කියන ගීතය. මේ ගීත රචනයට හිමිකම් කියන්නේ ප්‍රියානන්ද විජේසුන්දර මහතා. රචකයා ගැන මුලින්ම හැදින්වීමක් කරන්නම්.. මොකද ගොඩක් අය සිංදු ඇහුවට ගීත රචකයන් ගැන දැනුවත් නැති නිසා. ප්‍රියානන්ද විජේසුන්දර මහතා කියන්⁣නේ ගීත 2000 ක පමණ හිමිකරුවෙක්. ඒ අතරින් ගීත 200ක් පමණ ජනප්‍රියයි. දැනට එතුමන් ජීවත් වෙන්නේ නවසීලන්තයේ.

මේ ගීතය සනත් නන්දසිරි මහතා  මුහුණ පෑ සත්‍ය සිදුවීමකට අනුව ලියවුණු ගීතයක්. ඒ වගේම සංගීතය නිර්මාණය වෙන්නේ සනත් නන්දසිරි මහතා අතින්...

සනත් නන්දසිරි මහතා.
දවසක් සනත් නන්දසිරි මහතා කුලියාපිටිය පැත්තේ දුර පලාතකට රාත්‍රී ප්‍රසංගයකට යනවා. මේ ගමනේදී ගම්මානයක් මැදින් යන අතරතුර හුළු අත්තක් බැදගෙන පොල් වත්තක් මැදින් වඩින අවුරුදු හතක, අටක කුඩා හාමුදුරුනමක් සනත් නන්දසිරි මහතා දකිනවා. මේක දකින සනත් නන්දසිරි මහතා රියදුරාට කියනවා කරුණාකරලා වාහනේ පොඩ්ඩක් නතර කරන්න කියලා. සනත් නන්දසිරි මහතා මේ පුංචි හාමුදුරුවන්ට කතා කරනවා.

අපේ පොඩි හාමුදුරුවනේ කොහෙද වඩින්නේ?.

මම පංසලට වඩින්නේ...

දුරද පංසල? නෑ මේ ලඟ.

මොකද මේ රෑවෙලා පොඩි හාමුදුරුවනේ ?.

මම අම්මා බලන්න ගියා මහත්තයා...

මගේ කාර් එකට වඩින්න පොඩි හාමුදුරුවනේ මම පංසලට එක්කන් යන්නම්. (පොඩි හාමුදුරුවන්ට මේ කවුද කියලා නම් අදුරගන්න බැරි වුණා)

මම තමයි සනත් නන්දසිරි කියන්න. බයවෙන්න එපා... වඩින්න හාමුදුරුවනේ..

නෑ මහත්තයා.. මගේ පංසල ලඟයි මම තනියම වඩින්නම්...

ඉතින් පොඩි හාමුදුරුවන්ට සමු දීලා සනත් නන්දසිරි මහතා නැවතත් තමන්ගේ ගමන යන්න පිටත් වෙනවා. කොහෙම හරි මේ සිද්ධිය ගීතයක් නිර්මාණයට හොද කතාවක් විදිහට සනත් නන්දසිරි මහතා මතකේ තියාගන්න අමතක කරේ නෑ...

දවසක් හැන්දෑවක සනත් නන්දසිරි මහතාගේ ගෙදරට ආපු ප්‍රියානන්ද විජේසුන්දර මහතාට මේ සිදුවීම කියලා මේ ගැන ගීතයක් ලියලා දෙන්න කියලා සනත් නන්දසිරි මහතා ඉල්ලීමක් කරනවා...

ඒ වගේම සනත් නන්දසිරි මහතා විශේෂයෙන් ප්‍රියානන්ද මහතාට කියනවා ...

" ප්‍රියානන්ද හැබැයි මේ සිංදුවේ අන්තිම වචනේ ලියන්න "අම්මේ අම්මා නිවන් දැක්කහාම මම අම්මාගේ කිරි සුවදේ ඉතිරෙන්න එන්නම්" කියලා. එහෙම හිතෙන කොටම මතක් වෙනවා "අනේ අම්මත් නෑ නේද එතකොට" ... කියලා ...."

ඉතින් ගීතයේ අවසානය රචනා වෙන්නේ සනත් නන්දසිරි මහතා ඒ කරපු යෝජනාවට අනුවයි. ඒ විදිහට සිදුවුණු සත්‍ය සිදුවීමට තමයි මේ අති සංවේදී ගීතය නිර්මාණය වෙන්නේ.

බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…

එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

බෝ මලුවේ මල්…

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ...

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා"

ගායනය - සනත් නන්දසිරි මහතා.
රචනය - ප්‍රියානන්ද විජේසුන්දර මහතා.
සංගීතය - සනත් නන්දසිරි මහතා



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...