Thursday, July 16, 2020

සිරකුසා සිසිලියා දූපතේ කතානියා ...

සුන්දර ඉතාලියේ තනි වීම 

මෑතකදී බිහිවුණු ගීත අතර ප්‍රසංග වේදිකාවේ ඉතා ජනප්‍රිය වුන ගිතයක් තමයි ධනපාල උඩවත්ත මහතා ගායනා කරන "මං ඉතාලියේ තනි උනා" ගීතය. මේ ගීතය රචනා වෙන්නේ 2014 වසරේ ධනපාල උඩවත්ත මහතා ඉතාලියේ කරපු ප්‍රසංග සංචාරයක අත්දැකීම් ඇසුරින් . 

විදේශගත වුනු අපේ හිතවතුන්ට මතක ඇති තමුන් මුලින්ම මව් රටෙන් පිටවෙලා බටහිර රටක හෝ මැද පෙරදිග හෝ කොරියාව වැනි  රටක රැකියාව සඳහා හෝ ඉගෙනීම සඳහා හෝ පදිංචි වීම සඳහා ගිය ගමන. බොහෝ දෙනෙක්ට අලුත් රටක භාෂාවෙන් මුලින්ම මතක හිටින්නේ තමුන් සංචාරය කල සිත්ගන්නා ස්ථාන වල නම් සහ ඒ රටේ නිතරම භාවිතා වන පාරිභාෂික වචන.

නෑදෑයන් හිතවතුන් කවුරුත් නැති ඉතාලි රටට මොන ක්‍රමේට හරි ගිහින් මුල් කාලෙ එහි පැරණි නගර වල සුන්දරත්වය අත් විඳින අතර මව් රටේ තමුන්ගෙ පෙම්වතිය සිහියට නැගුණ තරුණයෙක්ට දැනෙන තනිකම තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ.

ගීතය රචනා කර ගායනා කරන ධනපාල උඩවත්ත මහතා සඳහන් කලා මේ ගීතයේ සඳහන් ස්ථාන ඔහු දැක්කෙ ලස්සන ඉතාලි ලඳුන් හැටියට කියලා. ඒ ස්ථාන ගැන ඉතා අලංකාරව චිත්ත රූප නිර්මාණය කරලා තියෙනවා ගීතයේ පද මාලාව තුලින් .

ඉතින් ගීතය රස විඳින පොඩ්ඩක් දැනුවත් වෙමු ගීතයක් ලියලා වර්ණනා කරන්න තරම් ඉතාලියේ තියෙන ලස්සන ස්ථාන මොනවාද කියලා .

ඉතාලිය කියන්නේ වසර දෙදහසකටත් වඩා පැරණි ශිෂ්ටාචාරයක් තියෙන රටක්. මීට සියවස් කීපයකට පෙර ශුද්ධ වූ රෝම අධිරාජ්‍ය බිඳවැටීම සමග ඉතාලිය කුඩා  රාජ්‍ය ගණනාවකට බෙදී ගියා. එහෙම බෙදුනු ඉතාලිය නැවතත් එක්සත් වෙලා තනි රටක් බවට පත් වුනේ 1870දි. සිසිලියා එහෙම නැතිනම් සිසිලි දූපත තියෙන්නේ ඉතාලියේ දකුණු කෙලවරේ සිට කිලෝමීටර් 4ක් මුහුදෙන් වෙන් වෙලා . 

ඔයාල අහල ඇති නේද ඔයාල අහල ඇතිනේ මහා විද්‍යාඥ ආකිමිඩීස් ගැන. සිසිලියා දූපතේ සිරකුසා නගරයේ  ආකිමිඩිස් ජීවත් වුණේ ශ්‍රී ලංකාවේ දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ රජ කරපු කාලේ. ඔටුන්නෙ රත්‍රං වලට රිදී කලවම් කරලද කියලා හොයාගන්න ක්‍රමය දැනගත්ත ආකිමිඩිස් යුරේක යුරේකා කියා කෑගසමින් නාන කාමරේ ඉඳලා රජ මාලිගාවට නිරුවතින්ම දිව්වෙ සිරකුසා නගරයේ වීදි දිගේ තමයි. වසර දහසකට වඩා පැරණි ගොඩනැගිලි සහ බලකොටු තවමත් එහි ආරක්ෂා වෙලා තියෙනවා .

කතානියා කියල කියන්නේ සිසිලියා දූපතේ තියෙන තවත් පැරණි නගරයක්. එය එට්නා ගිණි කන්දේ පිපිරීම් නිසා ඉතිහාසයේ කීප වතාවක් විනාශ වෙලා තියෙනවා .

ජෙනොවා කියන්නේ මධ්‍යතන යුගයේ ප්‍රධානම වරාය නගරයක්. සුප්‍රසිද්ධ නාවිකයෙක් වූ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඉපදුනේ ජෙනොවා නගරයේ .

වෙරොනා නගරයත් වසර 2500 ක් විතර පැරණි නගරයක්. විලියම් ෂේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් කතාව ගොඩනගල තියෙන්නේ වෙරෝනාව ඇසුරින් . අදටත් ජුලියට්ගේ ලිපිනයට වසරකට ලිපි 5,000ට වඩා ලැබෙනවා කියලා වාර්තා වෙනවා .

මෙසීනා කියන්නෙත් සිසිලියා දූපතේ තියෙන තවත් ඉපැරණි නගරයක්. ඉතාලි රටේ ඉඳලා සිසිලියා දූපතට ඇතුළු වන ප්‍රධාන ස්ථානය තමයි මෙසීනා නගරය .

කෝමො කියන්නේ මිලානෝ සිට කිලෝමීටර් 50ක් විතර උතුරින් ඉතාලි ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක්. නගරය ආශ්‍රිතව තියෙන කෝමො විල නිසා අපුරු ස්වභාව සෞන්දර්යක් මෙහිදී අත් විඳින්න පුලුවන්. රෝම අධිරාජ්‍ය යුගයේ විසුවියස් ගිණිකන්ද පුපුරා යාම ගැන ඇසින් දුටු සටහනක් ලියපු ප්ලිනී කියන ලේඛකයා , විද්‍යුත් බැටරිය මුලින්ම සොයාගත් ඇලෙක්සැන්ඩර් වෝල්ටා ඉපදිලා තියෙන්නේ කෝමො නගරයේ.

ප්‍රොන්තො කියන්නේ ඉතාලි ජාතිකයන් දුරකථන ඇමතුමක් ආමන්ත්‍රණය කරන වචනය. අපි හලෝ කියනවා වගේ ඉතාලියේ අය කියන්නේ ප්‍රොන්තො කියලා.

පාදුවා නගරය ප්‍රසිද්ධ වෙන්නේ එහි තියෙන ඉපැරණි පාදුවා විශ්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ඉදිකල සුවිශාල දේවස්ථානය නිසා. පාදුවා විශ්ව විද්‍යාලය ඉදිවෙලා තියෙන්නේ ක්‍රි.ව. 1222 දි. ලංකාවේ ඒ වෙනකොට පොලොන්නරුව රාජ්‍යය කාලිංග මාඝගේ ආක්‍රමණයට යටත් වෙලා තිබුණෙ . පාදුවා  ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිවෙලා තියෙන්නේ ක්‍රි.ව. 1232-1310 කාලෙ .

බ්‍රෙශියා නගරය තියෙන්නේ මිලානෝ සිට වෙරොනා යන අතරමග . පැරණි කතෝලික දේවස්ථාන වලට ගිහින් තියෙන අය දැකලා ඇති පල්ලියේ ඉදිරිපස දොරටුවට ඉහලින් තියෙන වීදුරු ජනේලය . මේ ජනේල වල තියෙන විශේෂත්වය තමයි දෙව්මැදුර තුල සිට ජනේලය දෙස බලන කෙනෙකුට ඉතා අලංකාර වෛවර්ණ චිත්‍රයක් දර්ශනය වීම . ඉතින් මධ්‍යතන යුගයේ පැරණි ගොතික් සම්ප්‍රදායට අනුව නිර්මාණය වුන දෙව්මැදුරු වල මේ ඉදිරිපස ජනේලය රෝස මලක් හැටියට දර්ශනය වෙන්න තමයි හදලා තියෙන්නේ. බ්‍රෙශියා නගරයේ ප්‍රධාන   දේවස්ථානය තුලත් මෙවැනි අපූරු කලා නිර්මාණ දැකගන්න ලැබෙනවා .

ඉතාලියේ අගනුවර වන රෝම නගරය ඇතුළත තමයි වතිකානු මාලිගය පිහිටා තියෙන්නේ . රෝම නගරය තුල පිහිටියත් වතිකානුව වෙනමම රටක් වගේ තමයි පාලනය වෙන්නේ . වතිකානුවේ බිත්ති සහ සීලිමේ මයිකල් ආන්ජලෝ , ලියනාඩෝ ඩාවින්චි, රෆායෙල් වැනි පුනරුද යුගයේ කලා ශිල්පීන් රැසකගේ නිර්මාණ දැකගන්න ලැබෙනවා . 

ලංකාවේ වසභ රජතුමා රජකල කාලෙ තමයි රෝම අධිරාජ්‍ය කොලෝසියම් ක්‍රීඩාංගණය නිර්මාණය කලේ.

පීසා හි ඇලවෙන කුලුන ගැනත් ඔයාල අහල ඇතිනේ. සුප්‍රකට විද්‍යාඥ ගැලිලියො ගැලිලි උපත ලැබුවෙත් පීසා නගරයේ . කිරිගරුඬවලින් නිමවා ඇති පීසා හි ඇලවෙන කුලුණ ගොඩනැගීම ආරම්භ වෙලා තියෙන්නේ ලංකාවේ මහා පරාක්‍රමබාහු රජතුමා පොලොන්නරුව රාජ්‍ය කරන කාලෙ . බාගයක් හදන කොට කුළුණ ඇල වෙන්න පටන් ගත්ත නිසා වැඩ නිමා වෙන්න වසර දෙසීයකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා.

උතුරු ඉතාලියේ පිහිටා තියෙන මිලානෝ කියන්නේ ඉතාලියේ දෙවෙනි විශාලතම නගරය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පසු වැඩිම ශ්‍රී ලාංකික පිරිසක් ජීවත් වෙන නගරය මිලානෝ කියලා තමයි කියන්නේ .

දෝමො කියන්නේ ඉතාලියානුවන් දේවස්ථාන වලට යොදා ගන්න නමක්. නමුත් දෝමො නමින් වැඩිපුර ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ෆ්ලොරන්ස් හි ශාන්ත මරියා දෙව් මැදුර. කතෝලික බැතිමතුන් බොහොමයක් දේවස්ථාන ආශ්‍රිත දේව හාස්කම් ගැන විශ්වාස කරනවා. මේ ෆ්ලොරන්ස් හි දෝමො දෙව්මැදුරත් එවැනි හාස්කම් සහිත එකක් බවයි පැවසෙන්නේ .  රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන "කුමාරයා" නම් පොත රචනා කරපු නිකොලෝ මකියාවෙලි ඉපදිලා තියෙන්නනෙත් ෆ්ලොරන්ස් නගරයේ තමයි .

පෙම්වතිය සිහිවීමෙන් මේ තරුණයාගේ හිතේ නැගෙන ගින්න සමාන කරලා තියෙන්නේ සිසිලියා දූපතේ ඇති එඩ්නා ගිණිකන්දේ පුපුරා යාමට. ඉතා සක්‍රිය එට්නා ගිණිකන්ද 2008 සිට මේ දක්වා සෑම වසරකම කිහිප වතාවක් බැගින්  පුපුරා ගොස් තියෙනවා.

චාවො කියන්නේ ටටා බායි වගේ සමු දීමට භාවිතා කරන වචනයක්.
අල්ලෝරා කියන්නේ ඉතාලි භාෂාවෙ තියෙන ඉතා වැදගත් වචනයක් . සිංහල භාෂාවෙ " ඉතින්, එතකොට " කියන වචන වලට  ආසන්න තේරුමක් තමයි අල්ලෝරා කියන වචනයට තියෙන්නේ.

සිරකුසා සිසිලියා දූපතේ කතානියා
ජෙනොවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමො මං ඉතාලියේ තනි උනා

පා දොවා මෙත් විලේ - සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ - අන්තෝනි මුනි දිලේ
බ්‍රෙශියා නගරයේ - රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ - සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා

සිරකුසා සිසිලියා ...

මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
දෝමො  පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එට්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා

සිරකුසා සිසිලියා දූපතේ කතානියා
ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා
වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා
ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමො මං ඉතාලියේ තනි උනා
චාවෝ මං ඉතාලියේ තනි උනා
අල්ලෝරා මං ඉතාලියේ තනි උනා
චාවෝ මං ඉතාලියේ තනි උනා.

පද රචනය සහ ගායනය : ධනපාල උඩවත්ත 
සංගීතය : ගයාන් උඩවත්ත



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...